දූවරුන් වෙළෙඳ භාණ්ඩ මෙනි


සැවැත්නුවර මිගාර නම් සිටුවරයෙක් සිටියේය. එතුමාට උන්නේද එක පුතෙකි. හේ නමින් පුණ්ණවඞ්ඩන විය. ඔහුට බොහෝ මංගල යෝජනා ආවේය. කැමැති නොවීය. විනෝදයෙන් සිටියේය. සිටු යුවළ පුතාට මෙසේ කීහ.


පුතේ, ඔබ දිනෙන් දින වයසට යයි. අපට ඇත්තේද ඔබ පමණයි. ඔබ අපුත්‍රක වූවොත් අපේ කුලය නැසෙයි. එම නිසා කැමැති තැනකින් දැරියක් ගෙන එන්න.


මට එසේ සොයන්න බෑ. ඔබ සොයන්න


අප සෙවූ ඒවාට ඔබ කැමැති වුණේ නෑනේ.


හොඳයි පංච කල්‍යාණ ලක්ෂණ තියෙන කෙනෙක් සොයා දෙන්න. එවිට ගෙන එන්නම්.


මවුපියෝ කැමැති වූහ. බමුණන් එකසිය අට දෙනකු කැඳවා ගත්හ.


ඔබ දන්නා පංච කල්‍යණියක් නැද්ද? සිටුතුමා ඇසීය. 


දන්න තැනක නැතැයි ඔවුහු කීහ. සිටුතුමා ඒ අයගෙන් අට දෙනකු තෝරා ගත්තේය. මිල මුදල් දුන්නේය. ඔබ දුරු රටවලට යන්න. ඒ ලක්ෂණ ඇති දැරියක් සොයන්න. හමුවූ විට මේ මාලය ඇයට පලඳන්න කීවේය. රන්මාලයක්ද දුන්නේය. බමුණෝ පිටවූහ. ගම් නියම්ගම් නගරවල සැරිසැරූහ. පංචකල්‍යාණියක් හමු නොවූවාය. ඔවුහු සාකේත නුවරටද ඇතුළු වූහ. 


එම නුවර නැකත්කෙළි සමය උදා වී තිබිණි. වෙනදා මහල්වලටම කොටු වී සිටි ස්ත්‍රීහු නැකත් සමයට එළියට බසිති. පයින්ම ගඟට යති. දියනාති, එය දැනගත් මේ බමුණෝ ගංතෙර තුබූ ශාලාවකට වී සිටියහ. දිය නාන තරුණියන් දෙස විමසිල්ලෙන් බලා උන්හ. ඒ අතර විශාඛාව දිය නෑමට ආවාය. එවිට ඇය පසළොස් වියේය. ආවේද පන්සියයක් කුමරියන් සමඟය. සැණින් වැස්සක් වැටිණි.

කුමාරියෝ ශාලාවට දුව ආවෝය. බමුණෝ විමස්ිලිමත්වූහ. ඔවුන් දෙස හොඳින් බැලූහ. පංච කල්‍යාණියක් ඒ අතර නැත. ඒ සමඟ විශාඛා වැස්සට තෙමෙමින් සෙමින් ආවාය. ඇඳුම් තෙමී තිබිණි. බමුණෝ ඇය දෙස ඕනෑකමින් බැලූහ. පංච කලණි ලකුණු හතරක් දුටුහ. නොදැක්කේ දන්ත කල්‍යාණය පමණෙකි. ඔවුහු එය දැකගන්න උපායක් යෙදවූහ.


මේ දුව අලසය. ඇය ලබන සැමියා අවාසනාවන්තයෙකි. ඇගෙන් කැඳ ටිකක්වත් නොලබයි. ඇයට ඇහෙන්න ඔවුහු කීහ. ඒ වදන් විශාඛාවට ඇසිණි.


ඔබ කුමක්ද කීවේ. ඈ ඇසුවාය.


බමුණෝ නිහඬය. ඇගේ හඬ මිහිරිය. දන්ත කල්‍යාණියක්ය. බමුණෝ සතුටු වූහ.


ඔබ කුමක් නිසා මට එසේ කීවේද? ඈ යළි ඇසුවාය.


කුමරිය, අනෙක් කුමරියෝ වස්ත්‍ර තෙමා නොගත්හ. ඒ දිව ආ නිසාය. ඔබ මේ කෙටි දුර දුව නාවාය. වස්ත්‍ර තෙමා ගත්තාය. එබැවින් කීවෙමු. බමුණෝ කීහ.


බමුණෙනි, එසේ නොකියව්. මා මේ කුමරියන්ගේ බාරකරුය. එම නිසා නුදුවා පස්සෙන් ආවෙමි. තවද දැනගනු මෙලොව සතර දෙනකුගේ දිවීම නොහොබි බව. 


කුමරිය, ඒ කවර සතර දෙනකුගේද?


රජවරුන් සියලු අබරණින් සැරැසී රාජාංගණයේ අමුඩයක් ගසාගෙන දිවීම නොහොබී.  මේ මහරජ ගොවියකු මෙන් දුවයි කියා දකින්නෝ කියති. නින්දා අපහාස කරති. එබැවින් රජු සෙමින් යනවිට හොබණෝය. රජුගේ මඟුල් ඇතාද අලංකාරව සැරැසී දිවීම නොහොබී. ඇත් ගමනින් යන විට හොබී. අභිමානවත්ය. පැවිද්දාටද වේගයෙන් ගමන හොඳ නැත. මේ ශ්‍රමණයා ගිහියකු වගේ දුවනවා යැයි ගරහා කරති. දුවන ස්ත්‍රියද ශෝභමාන නොවේ. මේ ස්ත්‍රිය පිරිමියකු වගේ දුවන්නීය යනුවෙන් කියා අපහාස කරති.
කුමරියනි, අපි එය පිළිගනිමු. තවත් කාරණා ඇද්ද බමුණෝ ඇසූහ.


මවුපියෝ දුවගේ අඟපසඟ සකස් කොට පෝෂණය කරති. ඒ වුණත් ඔවුන් විකිණීමට ඇති භාණ්ඩ වගේය. ඒ වෙනත් පවුල්වලට යැවීම සඳහාය. ඉතින් ඔවුන් දුවනවිට රෙදි කෙළවර පෑගී හෝ බිම වැටුණොත් අතපය බිඳෙයි. ගෙදර නැවැතීමට සිදුවෙයි. ඇඳිවත තෙමුණොත් වියළිය හැකිය. එම නිසාද මම නොදිව්වෙමි. විශාඛා පැවැසුවාය.


බමුණෝ ඔබ අනර්ඝය කීහ. ඔබට මෙය සුදුසුය කීහ. රන් මාලය පැලඳ වූහ.


(ධම්මපදට්ඨ කථා ඇසුරිනි)


හලලියේ කරුණාතිලක