රස නහර පිනවන පලතුරක් එහෙමත් නැත්තම් එළවළුවක් ලෙස ලොව සුපතළ කෙසෙල් ගැන අප නොදත් කතා බොහෝය. ලොව පුරා වගා කරන වැදගත් භෝග අතරින් සිව්වැනි ස්ථානය හිමි කරගත් කෙසෙල්, දොඩම්වලට පමණක් දෙවැනි වන බවට මතයක් පවතී. ශ්‍රී ලංකාවේ වගා කර ඇති මුළු පලතුරු භූමි වපසරියෙන් සියයට54 ක් කෙසෙල් වීම සුවිශේෂි වන අතර ලොව පුරා පවතින කෙසෙල් වර්ග 1000න් ශ්‍රී ලංකාව තුළ වැවෙන්නේ කෙසෙල් වර්ග 29කි. කතාව එසේ වුවත් ලංකාවට කෙසෙල් සමග තිබෙන නෑකම ක්‍රි. ව 341 දක්වා ඈතට විහිදී යන්නකි.
ශ්‍රී ලංකා රජ පෙළපතේ සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු ලෙස ප්‍රකට බුද්ධදාස රජු ලියූ සාරාර්ථ සංග්‍රහයෙහි කෙසෙල් ගසේ විවිධ කොටස්වල තිබෙන ඖෂධීය ගුණ ගැන විස්තර කර ඇත. මෙම ඉතිහාසය අමතක කළ බොහෝ දෙනෙක් අද කෙසෙල් ගසේ සැබෑ තොරතුරු නොදැන සිටීම විමතියට කරුණක් නොවේ. කලාවේ හරි අපූර්ව තැනක සිට කලාව කොතරම් ඉවසිලිවන්තව සිදු කළ යුතුද යන්න සහ ඉවතලන කෙසෙල් ගසෙන් වැළලී ගිය ඉතිහාසයට ජීවය දෙමින් කප්රුකට කෙසෙල් ගස සමකළ ව්‍යවසායකයෙකු පසුගිය දා අපට වත්තල ප්‍රදේශයෙන් හමු විය.
“සිරිලක දේ සිරිසැප දේ” යන කියමනට පණ දෙමින් කෙසෙල් කෙඳිවලින් දේශීයව මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළේ ද විස්කම් දක්වන 54 වැනි වියේ පසු වන ඔහු නමින් ලයනල් නිශාන්තය. 1998 දී මීගමුව දොන් බොස්කෝ කාර්මික විද්‍යාලයෙන් පාඨමාලාවක් හදාරා පසුව එම ආයතනයේම ගුරුවරයෙකු ලෙස සේවය කළ ලයනල්ගේ ජීවිතය උඩුයටිකුරු වන්නේ 2019 වසරේදීය. කොරෝනා වසංගතයත් සමග නිවසේම කාලය ගත කිරීමට සිදු වූ ඔහු එම කාලය ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමට සිතුවේ වෙනස්ම අදහසක් සමගය. තම වත්තේ කෙසෙල් ගසේ කැන කපා ගත් පසු ඵලදායී ලෙස බැහැර කළ හැකි ක්‍රමයක් ගැන සිතූ ඔහු ඊට විසඳුමක් ලෙස තමා උගත් ශිල්පය භාවිත කරමින් කැන කපා ඉවත් කරන කෙසෙල් කඳ, කෙඳි බවට පත් කළ හැකි යන්ත්‍රයක් නිපදවූයේය.
කෙසෙල් ගස යැයි පැවසුවද එය මීටර් කිහිපයක් උසට වැවෙන පැළෑටියක් බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. කෙසෙල් ගසෙහි කඳ වෙනත් ගස්වල මෙන් ලීයක් නොවීමට හේතුව කෙසෙල් කඳ තදට එතුණු කෙසෙල් කොළවලින් සෑදී තිබීමය.
“කෙසෙල් කඳ කෙඳි බවට පත්කරන මැෂින් එක මා විසින්ම නිර්මාණය කළා. පසුව කපා ඉවත දමන කෙසෙල් ගසේ කඳ කොටස මැෂින් එකක් ආධාරයෙන් කෙඳි බවට පත්කරලා ඒ කෙඳි එක් එක් ප්‍රමාණවලින් එකතු කරමින් නූල් සැකසුවා. මෙම නූල් මිලිමීටර් 4 සිට පොයින්ට් 5 තෙක් ඝනකමින් යුක්ත වෙනවා. ඒ විදිහට සකසා ගත් නූල් ආධාරයෙන් විසිතුරු බෑග්, සෙරෙප්පු, ටේබල් මැට්, මැක්‍රම්, බුමුතුරුණු, ඇඳුම් වැනි බොහෝ දේ මම නිර්මාණය කළා’’
ඉවතලන කෙසෙල් කඳට වටිනාකමක් එක් කරමින් ලයනල් අතින් නිමවෙන නිර්මාණ බොහෝය. එසේම කෙසෙල් කෙඳි සකසා අවසානයේ ඉතුරුවන ඩස්ට් එකද ඉවත නොදමා ‘‘කෙහෙල් බත් යන විශේෂ නාමයෙන් හඳුන්වන පවුඩර් එකක් බවට පත්කිරීමට ද තවත් මැෂින් එකක් ලයනල් විසින්ම නිපදවීය. කෙඳිවලින් ඉතිරි වෙන ඩස්ට් එක විසි නොකර ඉන් ප්‍රයෝජනය ගැනීමටත් මම මැෂින් එකක් නිර්මාණය කළා. ඒ මැෂින් එක මගින් කෙහෙල් බත් කොටස පවුඩර් එකක් බවට පත් වෙනවා. ඒ පවුඩර් එක පල්ප් එකක් ලෙස සකසලා ස්ප්‍රීන් එකක් ආධාරයෙන් විවිධ ඝනකමින් යුතු පොත්, කාඩ්, ජුවලරි බොක්ස් මෙන්ම විවිධ හැඩයෙන් යුත් පෝච්චි නිර්මාණය කරලා තිබෙනවා.”
කාලාන්තරයක් ශක්තිමත්ව භාවිත කළ හැකි මෙම නිෂ්පාදනවලට වසර 20ක පමණ ආයු කාලයක් පවතින බවත්, මෙය ප්ලාසටික් සහ නයිලෝන් සඳහා ආදේශකයක් බවත් ලයනල් පවසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාව පුරාම වර්ග ගණනාවකට අයත් කෙසෙල් වර්ග වසර පුරාම පහසුවෙන් වැවෙන බැවින් ඇඹිලිපිටිය, සූරියවැව, හම්බන්තොට යන ප්‍රදේශ කෙසෙල් වගාව ව්‍යාපාරික මට්ටමින් සිදු කරන ප්‍රදේශ අතර ප්‍රධාන තැනක් ගනී. මෙම කෙසෙල් කෙඳි නිෂ්පාදන සඳහා එම ප්‍රදේශවලින් අමුද්‍රව්‍ය සපයා ගන්නා බව පැවසූ ඔහු එම ක්‍රියාවලිය ගැන අප හමුවේ තවදුරටත් මෙසේ විස්තර කළේය.
“කුණු කියලා ඉවත දාන කෙසෙල් ගස් තමයි අපි රුපියල් විස්සක් වගේ මුදලකට ඔවුන්ගෙන් මිලදී ගන්නෙ. ඒ අමුද්‍රව්‍යවලින් කෙඳි සකස් කර ගත්තට පස්සෙ ඒ කෙඳි ප්‍රාදේශීය වශයෙන් සංවිධානය වෙලා ඉන්න කුඩා කාන්තා කණ්ඩායම්වලට දීලා ඔවුන්ගේ අතින් තමයි මේ නිර්මාණ සකස් වෙන්නේ. ඒ විදිහට බොහෝ ප්‍රදේශවල ස්වයං රැකියා රැසකුත් මේ තුළින් බිහිවෙලා තියෙනවා.”
ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක වගා කළ හැකි විශේෂයෙන්ම ගෙවතු බෝගයක් ලෙසත් සුළු මධ්‍ය හා මහා පරිමාණ සාර්ථක ආර්ථික බෝගයක් ලෙසත් වගාකරන කෙසෙල්වල, කෙසෙල් කෙඳි නිෂ්පාදනවලටද ඉල්ලුමක් ඇති බව 2019 වසරේ සිට පූර්ණකාලීනව මෙම නිෂ්පාදන කටයුතුවල නිරත වන නිශාන්ත පවසා සිටියේය. ඔහුගේ මෙම කෙඳිවලින් සිදු කරන නිර්මාණවලට ජාත්‍යන්තර වශයෙන් ඇත්තේ දැඩි ඉල්ලුමකි. එමෙන්ම දේශීයව ද කෙසෙල් කෙඳිවලින් සිදු කරන විසිතුරු බෑග් සඳහා කාන්තා පාර්ශ්වයෙන් ඇත්තේද දැඩි ඉල්ලුමකි.
එවන් පසුබිමක කෙසෙල් කෙඳි නිෂ්පාදනය ව්‍යාපාරයක් ලෙසින් වසර ගණනාවක් පුරා පවත්වාගෙන එමින් ස්ථීර රැකියා 10ක් මෙන්ම වක්‍ර රැකියා 60-70ක් පමණ නිර්මාණය කර තිබීම ව්‍යවසායකයෙකු ලෙස ඔහු ලද ජයග්‍රහණයකි. එසේම මේ සඳහා කැමැත්ත, ආශාව ඇති නව ව්‍යවසායකයන්ට විදාතා ආයතනය හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශය ඔස්සේ පුහුණු වැඩසටහන් පැවැත්වේ.
මෙම නිෂ්පාදන සිදු කිරීමට අම්බලන්තොට ප්‍රදේශයෙන් ඉඩමක් සමග ගොඩනැගිල්ලක් කර්මාන්ත අමාත්‍යාංශයෙන් ලබාදී ඇතත් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම් එහි නොමැති වීම ගැටලුවකි.
වර්තමානයේ පවතින ප්ලාස්ටික් අර්බුදයට ආදේශකයක් ලෙස ඉදිරිපත් කෙරෙන මෙම කෙසෙල් කෙඳි නිෂ්පාදන සඳහා ලැබෙන රාජ්‍ය අනුග්‍රහයෙහි පවතින මන්දගාමීත්වය මෙම නිෂ්පාදනයට තිබෙන විශාල අභියෝගයකි. කෙසෙල් කෙඳි නිෂ්පාදන ප්‍රායෝගික නැතැයි කියමින් සිදුකරන බොහෝ දෝෂාරෝපණවලට නිෂ්පාදකයන් ප්‍රායෝගික පිළිතුරු ලබාදී එම අභියෝග සාර්ථකව ජයගෙන ඇත. එහෙත් ලෝකයට මෙම නිෂ්පාදන පෙන්වීමට සුදුසු වෙළඳපොළක් නොමැති වීම අවාසනාවකි. ඇතැමෙක් මේ සඳහා ලංකාවෙ ලක්සල නිර්දේශ කළද එහිදී කෙසෙල් සම්බන්ධ නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් නොමැති වීම ව්‍යවසායකයන්ගේ බලාපොරොත්තු බිඳදැමීමට හේතු වෙයි.
ඉවත දමන කෙසෙල් කඳෙන් කරන නිෂ්පාදන සඳහා පැවැත්මක් නැති බවට කරන සියලු චෝදනා බිඳ දමමින් ලයනල් දැන් සැරසෙන්නේ කෙසෙල් කෙඳිවලින් පුටු, හැඳි, ගෑරූප්පු වැනි නිෂ්පාදන ඇරඹීමටය. විශේෂයෙන්ම ලංකාවේ තවමත් නූල් සෑදීමට ස්ථානයක් නොමැති හෙයින් චීනයෙන් හෝ ඉන්දියාවෙන් ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රයක් ලබාගෙන කෙසෙල් කෙඳිවලින් සාරි නිපදවීම තමාගේ ඊළඟ අරමුණ බව පැවසූ ඔහු දේශීය දේ නඟා සිටුවමින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ඔසවා තැබීමට ව්‍යවසායකයෙකු ලෙස ගත් මේ වෑයම ප්‍රශංසාවට ලක් විය යුතුය. කෙසෙල් ආහාරයක් පමණක් බව සිතන දහස් සංඛ්‍යාත පුරවැසියන්ට කෙසෙල් කෙන්ඳෙන් සිදු කරන මෙම නිෂ්පාදන විටෙක අරුමෙකි, විටෙක විහිළුවකි. එහෙත් එය සැබෑවක් බව ඔහු රටට ඔප්පු කර අවසන්ය.
උත්සාහය, වීර්ය මෙන්ම නොපසුබට ධෛර්යයද අතැතිව වර්තමානයේ බොහෝ දේශීය ව්‍යවසායකයන් මෙන්ම ස්වයං රැකියාද බිහිවෙයි. එහෙත් ඔවුන්ට ලැබෙන දිරිගැන්වීම්, ප්‍රශංසාවලට වඩා ගල් මුල් ප්‍රහාර වැඩි බව අපි දනිමු. එය තවමත් සංවර්ධිත රටක් වීමේ සිහිනය පසුපස නොනවත්වා හඹා යන තුන්වන ලෝකයේ රටක වෙසෙන ව්‍යවසායකයන්ගේ කකුලෙන් අදින තිත්ත ඇත්තකි.
සටහන
කෞශල්‍යා ලක්ෂානි, දුලක්ෂි ලියනගේ