පාරෙන් පිට දුවන රෝද තුනේ කතාව


සති දෙකකට පමණ පෙර පාන්දර යාමයේ කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබුණු ත්‍රිරෝද රථයක පසුපස අසුනේ තිබුණේ තරුණයෙකුගේ මළ සිරුරකි. රියැදුරාගේ යැයි අනුමාන කළ හැකි සිරුරේ කැපුම් තුවාල ද දක්නට ලැබුණු අතර ඒ කාල සීමාවේ පාතාලය සම්බන්ධව විවිධ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වූ බැවින් පොලිසිය ද අනුමාන කළේ පාතාලයේ තවත් ඝාතනයක් විය 
හැකිය යන්නයි.
පොලිසිය මේ පිළිබඳව පුළුල් විමර්ශනයක යෙදුණු අතර එහි ප්‍රතිඵලය වූයේ, එම තරුණයා ඝාතනය කර ඇත්තේ කුඩුකාරයන්  දෙදෙනෙකු විසින් බවත්, ජංගම දුරකතනය මංකොල්ලකෑමේ අවශ්‍යතාව මත එය සිදුකළ බවත් හෙළිවීමය. මියගිය තැනැත්තා බළංගොඩ ප්‍රදේශයේ සිට පැමිණ කොළඹ නගරය අවට ත්‍රිරෝද රැකියාවේ නිරත වෙන තරුණයෙකු බව විමර්ශනවල දී 
හෙළිවී තිබුණි.


වර්තමානය වෙනවිට බොහෝ තරුණයන්ගේ ජීවන වෘත්තිය බවට පත්වී ඇත්තේ ත්‍රිරෝද රැකියාවය. ත්‍රිරෝද රැකියාව පිණිස ඈත ප්‍රදේශවලින් කොළඹ නගරයට සේන්දු වෙන තරුණ පිරිස දිනෙන් දිනම  ඉහළ යමින් පවතී.
දුප්පතාගේ හිතවතා, දුප්පතාගේ වාහනය ලෙසින් ජන හඳ බැදගත්  ත්‍රිරෝදය අපේ රටට හඳුන්වාදෙනු ලැබුවේ අසූව දශකයේය. පා පැදියක්, මෝටර් සයිකලයක් පමණක් තිබුණු මධ්‍යම පාන්තික බොහෝ උදවිය තම නිවෙසට රෝද හතරකට පෙර තුන් රෝදයක් එකතු කර ගැනීමේ ආශාව දැක්වීමත් සමග මේ වෙන විට අපේ රට තුළ ඇති ත්‍රිරෝද සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්ම 
ගොස් ඇත.
මේ හේතුවෙන් නරකම ප්‍රතිඵලය උදාවූයේ තරුණ පරපුරටය. තම නිවෙසේ පරිහරණය සඳහා පමණක් භාවිතයට ගත් ත්‍රිරෝදය කාලයක් ගතවෙද්දී පියාගෙන් පුතාට උරුම වෙන දෑවැද්දක් බවට පත් වූයේ ඇතැම්  තරුණ පිරිස් ත්‍රිරෝද රැකියාවට හුරුකරමිනි. සාමාන්‍ය පෙළ විභාගය ලියා අවසන් වූ පසු නිවසේ තිබෙන ත්‍රිරෝද රථය දෑතට හුරු කරගෙන හැකි වහාම ත්‍රිරෝද රැකියාවට පිවිසීම, ඇතැම් තරුණයන් දුටුවේ සැහැල්ලු සහ අභිමානවත් වෘත්තියක් ලෙසිනි. ඇතැම් මවුපියවරුද තම කන කර උගස් කර හෝ පාසල් ගමන අවසන් කරන තම පුත්‍රයාට ත්‍රිරෝදයක් මිලට ගෙනදුන් අවස්ථා සුලබය.
මෙම තරුණ පිරිස ටික කලක් යනවිට ගමෙන් හරිහැටි ආදායමක් නොලැබෙන තැන සේන්දු වෙන්නේ නගරයටය. මේ වෙනවිට ඈත ගම් පළාත්වලින් පැමිණ කොළඹ නගරයේ ත්‍රිරෝද රැකියාවේ නියැලෙන පිරිස සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගන්නා අතර නව යොවුන් තරුණයන් සේම දරු 
පවුල්කාරයෝ ද බොහෝය.
“පිට පළාත්වලින් කොළඹ නගරයට එන ත්‍රිරෝද රථ නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේ දී ක්‍රියාත්මකයි. බොහෝ වෙලාවට පිටින් එන ත්‍රිරෝද රථ රියැදුරන්ට රථ ගාල් නැහැ. ඔවුන්ට හයර් ගන්න වෙන්නේ සංචාරය කරමින්. මෙහෙම ගියාම එක එක විදියට ගාස්තු පවා අය කරන නිසා තමයි කිලෝ මීටරයට ස්ථීර ගාස්තුවක් නියම කර ඇත්තේ. මෙවැනි පිටින් එන ත්‍රිරෝද රථ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කරන්න කියා පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.”


එසේ පැවැසුවේ පොලිස් රථවාහන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩය. 
මීට ටික කාලයකට පමණ පෙර ගම් පළාත්වලින් පැමිණ ​කොළඹ නගරය පුරා හයර් දුවන ත්‍රිරෝද රථ රියැදුරන්ට ස්ථීර වාසස්ථානයක්  නොවූ අතර ඒ බොහෝ දෙනෙකු තම රථයම නවාතැන කර ගත්තේ  කිසිදු අපහසුවකින් තොරවය. ඇඳුම් බෑගය රථයේ පිටුපස තබාගෙන සියලු‍ ශරීර කෘත්‍යයන් පොදු වැසිකිළිවලින් ඉටුකරගත් පිරිස් පාරක් අයිනේ ත්‍රිරෝදය නවතාගෙන රැය පහන් කරන අයුරු පසුගිය කාලයේ සුලබව දක්නට ලැබුණි. එම ක්‍රමය පසුව වෙනස් වූයේ එසේ නවතා සිටින ත්‍රිරෝද රථ විවිධ කොල්ලකෑම්වලට ලක්වූ බැවිනි. ඊට පසු මේ බොහෝ දෙනා නගරයේ බෝඩිම්වලට ගාල් වූ අතර නුගේගොඩ, විජේරාම, දෙල්කඳ, මහරගම, නාරාහේන්පිට, දෙමටගොඩ, කැලණිය වැනි ප්‍රදේශවල බෝඩිම් කාමරවල වැඩි වශයෙන් වාසය කරන්නේ ත්‍රිරෝද 
රථ රියැදුරන්ය.
ත්‍රිරෝද රථ රැකියාව නොවැදගත්, කමකට නැති රැකියාවක් නොවේ. එම රැකියාවෙන් තම දරු පවුල් ජීවත් කරවා, ගෙවල් දොරවල් සාදා සතුටින් ජීවිතය ගෙවන මිනිසුන්ගේ සංඛ්‍යාව ඉහළ අගයක් ගනී. නමුත්  එය නොසලකා, වගකීම් විරහිතව කටයුතු කරන පුද්ගලයෝ ද ඒ අතර වෙති. පිළිවෙළක් නැති ඇඳුමක් හැඳ, විවිධ විලාසිතාවලට කොටු වූ ඇතැම් රියැදුරන් සමග රැයකට තියා දවාලකටවත් ගමනක් බිමනක් යාමට කාන්තා පාර්ශ්වය පමණක් නොව පිරිමි පාර්ශ්වය ද අදිමදි කරන අවස්ථා ඇත.
ගමෙන් නගරයටත්, නගරයෙන් ගමටත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මෙන්ම  විවිධ මංකොල්ලකෑම්වලට පසුගිය කාලයේ වැඩි වශයෙන් යොදා ගත්තේ ත්‍රිරෝදයයි. එවැනි ක්‍රියාවලට නොදැන හෝ සම්බන්ධ වී මහ උළුගෙදරට සේන්දු වූ අහිංක තරුණයන්ද ඕනෑ තරම්ය. දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව ජීවිතයේ සුන්දරම අවධිය විනාශ කරගන්නේ රටක අනාගතය බව බොහෝ දෙනා වටහා ගන්නේ ඉස්තාලයෙන් අශ්වයා 
පැන ගිය පසුය.
මේ පිළිබඳව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිති සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ 
මෙවන් අදහසකි.
“ලංකාවට ත්‍රිරෝද රථ ඇවිත් මේ වෙද්දී අවුරුදු හතළිහක් පමණ ගතවෙලා. මගේ මතකය අනුව 2019 දී අපේ රටේ වාහන ආනයනය නතර කරන තුරුම ත්‍රිරෝද රථ ගෙන්වා තිබුණෙ දොළොස් ලක්ෂයක් විතර. බොහෝ දෙනෙකු අතර වැරදි මතයක් තිබෙනවා සාමාන්‍ය පෙළ විභාගය අසමත් වෙන ළමයි. එතැනින් පස්සෙ ත්‍රිරෝද රැකියාවට යොමුවෙනවා කියලා. එහෙම බලන්න දත්ත මොනවත් නැහැනෙ. අනෙක මේ වසර හතළිහට ත්‍රිරෝද රථ ගෙන්වා ඇති ප්‍රමාණයයි සාමාන්‍ය පෙළ  විභාගය අසමත් වූ පිරිසයි බැලු‍වොත් ඒ කාරණාව වැටහේවි. අද  වෙද්දී රියැදුරු බලපත්‍ර ගන්න විභාගයකට මුහුණ දෙන්න ඕන. ඒකට සාක්ෂරතාව තියෙන්න ඕන. රියැදුරු රැකියාව කියන්නේ එන්වීකිව් 4 මට්ටමේ රැකියාවක්. අද වෙද්දී තාත්තා අයියා ත්‍රිවිල් පාර්ක් එකක හිටියත් තව කෙනෙකුට එහෙම ත්‍රිරෝදයක් එතැනට දාන්න බැහැ. ඒ නිසයි කියන්නේ ගොඩ පිටින් තරුණ පිරිස් මේ රස්සාවට එකතු වෙන්නෙ නැහැ කියලා.


මේ දේවල්වලට නියාමනයක් තියෙන්න ඕන. මේ නියාමනය කියන වචනයත් ආවේ 2000දී වගේ. 1999 වසරෙ බස්නාහිර පළාත් සභාවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ආවා ත්‍රිරෝද රථ නියාමනය කළ යුතුයි කියලා. ඒක 2002 දී තමයි සභා සම්මත වුණේ. 2003දී තමයි ගැසට් කරන්නේ. දැන් අවුරුදු විසි ගානක් ගතවෙලා. එදා ඉඳලා කළා නම් මේ ගැටලු‍ නැහැ.
ලෝකයේ ජනගහනය වැඩිවෙනවා කියලා සංවාසයේ යෙදෙන්න එපා කියන්නෙ නැහැනෙ. ඒ සඳහා උපත් පාලන ක්‍රම හඳුන්වා දෙන්න ඕන. මේකත් ඒ වගේ. නියාමනයක් කරන්නේ නැතිව ඉහළ නිලධාරීන් බොරු මත හදනවා.
ඒ වගේ තමයි ලංකාවේ හයර් දුවන ත්‍රිරෝදයි, පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කරන ත්‍රිරෝදයි කියල දෙකක් තියෙනවා. ඒක හඳුනගන්න වැඩපිළිවෙළක් නැහැ. ගෙදර තියෙන තාත්තගෙ ත්‍රිරෝදය පුතා බැරිවෙලාවත් අරන් යනවා කවුරුහරි දැක්කොත් හිතෙන්නෙ පොඩි එකෙක් ත්‍රීවිල් එළවනවා කියායි. වෘත්තියක් ලෙස ත්‍රීරෝද රථ පදවන කෙනා හඳුනගන්න ක්‍රම තිබිය යුතුයි.
ඒවගේම තමයි වෙන රස්සාවලට පිට ප්‍රදේශවලින් කොළඹට එනවා වගේම ත්‍රිරෝද රැකියාවටත් එනවා. ඒක වළක්වන්න බැහැ. හැබැයි මේ වෙද්දී ත්‍රිරෝද රථ ආයතන විසින් හැමදේම පහසු කරලා නිසා ඒ එන ප්‍රමාණය වැඩියි. හැම තරුණයෙක් අතේම ෆෝන් එකක් වරදින්නෙ නැහැ​. ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන වැඩේට බහිනවා. මේවා තමයි නියාමනය කළ යුත්තේ. මම විරුද්ධ වෙන්නෙ වෙන රටකින් ඇවිත් අපේ රටේ ත්‍රීවිල් දිව්වොත් විතරයි. හැබැයි මේ දේවල්වල නියාමනයක් නම් තිබිය යුතුයි.”
සාමාන්‍යයෙන් වසරකට සාමාන්‍ය පෙළ විභාගයට සහ උසස් පෙළ විභාගයට දරු දැරියෝ ලක්ෂ පහක් පමණ මුහුණ දෙති. එයින් සාමාන්‍ය පෙළ සමත්ව උසස් ​පෙළට පිවිසෙන්නේ ලක්ෂ තුනත් හතරත් අතර ගණනකි. එයින් ද උසස් පෙළ සමත්ව සරසවි වරම් ලබන්නේ වසරකට හතළිස් පන්දහසකට ආසන්න පිරිසකි. මේ ක්‍රමය මත සමාජගත වෙන තරුණ පරපුර මුහුණදෙන ගැටලු‍ව වෙන්නේ රැකියා නොමැතිකම හා පවතින රැකියා සඳහා සුදුසුකම් නැතිවීමයි. මේ හේතුව මත විශේෂයෙන් තරුණයන් ත්‍රිරෝද රැකියාවට යොමුවන්නේ ඒ සඳහා අවශ්‍ය එකම  සුදුසුකම රිය බලපත්‍රය ගැනීම පමණක් නිසාය. මෙම තරුණ පරපුරට ජීවිතය දිනාගත හැකි විවිධ ක්‍රමවේ ද රට තුළ ක්‍රියාත්මක වුවද බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ඇත්තේ අවම දැනුමකි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ දංකොටුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ උපදේශක සුජිත් හේරත් මහතා පැවසුවේ මෙවන් අදහසකි. “සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලින් පසුව බොහෝ තරුණ තරුණියො මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි ඊළඟට කරන්නේ මොකක්ද කියලා. මේ ගැන ඔවුන්ට නිසි අවබෝධයක් නැති තරම්. ඇත්තටම අපේ රටේ දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය හදාරන්න පහසුකම් තිබෙනවා. උසස් අධ්‍යාපනය ලබන්න බැරි වූ දරුවන්ට මේ පාඨමාලා ඉතා වැදගත්. යම් ක්ෂේත්‍රයක් පිළිබඳව මොනතරම් දැනුමක් තිබුණත් මේ පාඨමාලාවලට බැඳිලා ලැබෙන සහතිකයට පිළිගැනීමක් ලැබෙනවා. 
දැනටත්  අපේ රටේ විවිධ පාඨමාලා තිබුණත් ප්‍රමිතියක් තියෙන එවා හරි අඩුයි. විශේෂයෙන් එන්වීකිව් සහතිකය තිබෙන අයට මේ රටේ වගේම පිටරටත් ඉල්ලු‍මක් තිබෙනවා රැකියා සඳහා. වෘත්තිය පුහුණු අධිකාරිය 1995 දී පනතකින් සම්මත ​වෙලා තිබෙන ආයතනයක්. රට පුරා මධ්‍යස්ථාන 212ක් තිබෙනවා. ඒ තුළ සිටින උපදේශකවරු දැනුම පිරුණු පිරිසක්. එහි පාඨමාලා විශාල සංඛ්‍යාවක් තිබෙනවා. විශාල ඉල්ලු‍මක් ඇති පාඨමාලා 24ක් තිබෙනවා. ඒ වගේම තමයි රැකියාවක් කරන්නෙකුට වුවත් පරීක්ෂණයකට මුහුණ දීලා තමන් රැකියාව කරන ක්ෂේත්‍රයට අදාළ සහතිකය ලබාගන්න පුළුවන්. 


විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ගිවිසුම්ගත වී ඇති බැවින් විදෙස් රැකියා වෙළෙඳපොළ හරහා රැකියාවලට යොමුවීමටත් වැඩපිළිවෙළක් තිබෙනවා. කෙටිකාලීන පාඨමාලා හඳුන්වා දී තිබෙනවා ක්ෂණිකව විදෙස්ගත වෙන අයට සහතික නිකුත් කිරීමට. අවබෝධතා ගිවිසුමක් අනුව එන්.වී.කිව්. 4 දක්වා සහතික පාඨමාලා, 5 සහ 6ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා සහතික හිමිවනවා. එසේම එන්වීකිව් 7 සඳහා තාක්ෂණික විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට පවා පුළුවන්. මේ පිළිබඳව අපේ තරුණ පරපුර දැනුම්වත් නැහැ. ඒ නිසා තමයි සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග අවසානයේ පාසල් මට්ටමින් දැනුම්වත් කරන්නෙ. මෙම පාඨමාලා හදාරන දරුවන්ට මූල්‍යාධාරයක් වගේම ගමන් වාර ප්‍රවේශපත්‍ර සහ නිල ඇඳුම් දෙනවා, සහනදායී මුදලකට අමුද්‍රව්‍ය පවා 
රජයෙන් සපයනවා.’
ත්‍රිරෝද රැකියාව සමාජ සම්මතයෙන් පිට පැන ගිය රැකියාවක්  නොවේ. එම රැකියාවේ නිරතවන්නට ද සමාජයේ යහපත් තැනක් හිමි විය යුතුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි ක්‍රමවේද මගින් ගොඩනැගුණු නියාමනයකි.

 

සුජිත් ප්‍රසංග