අද ලොව මහත් ආන්දෝලනයකට පත්වී ඇති අවිධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම, අපද්‍රව්‍ය කඳු බිහිවීම සහ එමඟින් ඇතිවී තිබෙන පාරිසරික, සෞඛ්‍යමය, සමාජීය, සහ ආර්ථික ව්‍යසනයන් රැසකට මුලපිරුවේ දිරා නොයන ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතයයි. මෙවැනි ගැටලු සඳහා ලොව පුරා රටවල් රාශියක් පොලිතීන් නිෂ්පාදනය සහ භාවිතය තහනම් කිරීමට පියවර ගෙන සහ ගනිමින් සිටියි. The World Counts වෙබ්අඩවියේ පරිදි ලොව පුරා වසරකට පොලිතීන් බෑග් භාවිතය දළ වශයෙන් ට්‍රිලියන 5 ක් වන අතර තත්පරයකදී පරිභෝජනය 160,000ක් වේ. සෑම වසර 10කට වරක් ලොව පොලිතීන් පරිභෝජනය තුන් ගුණයකින් ඉහළ යයි. පැසිෆික් සාගරයේ උතුරු පැසිෆික් ජයර්හි පිහිටා තිබෙන “The Great Pacific Garbage Patch” ලෙස හඳුන්වන පැසිෆික් සාගරයේ පාවෙන කසළ වැඩිවශයෙන් සමන්විත වන්නේ ප්ලාස්ටික් සහ පොලිතීන්වලිනි. එය ටෙක්සාස් ප්‍රාන්තයට වඩා දෙගුණයක් පමණ විශාල (වර්ග කිලෝමීටර මිලියන20) වන අතර අපද්‍රව්‍ය ටොන් මිලියන 100ක් පමණ අඩංගු වේ. ලොව භාවිත වන පොලිතීන් බෑග්වලින් ප්‍රතිචක්‍රීකරණය වන්නේ 1-3% ප්‍රමාණයකි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේද ඉතා උණුසුම් මාතෘකාවක් බවට පත්වී ඇති අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුව මහජන විරෝධතා, උසාවි නියෝග, දේශපාලන මත ගැටුම්, සහ අන් කවරකටත් වඩා උග්‍ර පාරිසරික, සෞඛ්‍යමය සහ සාමාජික ගැටලු රාශියකට තුඩුදෙන දැවෙන ප්‍රශ්නයකි. 2009.03.09 සිදුවූ බ්ලුමැන්ඩල් කුණු කන්දේ ඛේදවාචකය, 2017.04.14 සිදුවූ මීතොටමුල්ල ඛේදවාචකය එයට කදිම නිදසුන්ය. එසේම කරදියාන, මුතුරාජවෙල ආදී ප්‍රදේශවල අපද්‍රව්‍ය බැහැර කිරීම තවත් අනතුරකට අතවනමින් සිටියි.
කැලණිය විශ්වවිද්‍යාලය සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් එක්ව කරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ දිනකට භාවිත වන ලන්ච් ෂීට් (lunch sheet) ප්‍රමාණය මිලියන 15 ක් පමණ වේ. ඉවතලන පොලිතීන් බෑග් ප්‍රමාණය මිලියන 20-22 අතර වේ. යෝගට් කෝප්ප මසකට මිලියන 20ක් ද, සැෂෙ පැකට් (සෝස්, ෂැම්පු, ජෑම් ආදිය) මසකට මිලියනයක් ද, බැහැර කරයි. මධ්‍යම පරිසර අධිකාරියේ සමීක්ෂණ දත්තවලට අනුව දිනකට කොළඹ මහා නගර සභාව විසින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය 730 MT පමණ වේ. ඉන් 6% ක්ම පොලිතීන්ය. එසේම දත්තවලට අනුව, සෑම නිෙවසකින්ම දිනකට බැහැර කරන පොලිතීන් බෑග් ප්‍රමාණය 5-6 අතර වේ. මිලියන 4ක් පමණ වන ලංකාවේ පවුල්වලින් දිනකට බැහැර කරන පොලිතීන් බෑග් ප්‍රමාණය කොතරම්දැයි ඉන් පැහැදිලි වේ. එසේම වසරකට මෙරටට ආනයනය කරන පොලිතීන් ප්‍රමාණය 500,000MT වේ. ඉන් 70%ක්ම දේශීය වශයෙන් භාවිතයට ගනී. ඉතිරි 30% අපනයන භාණ්ඩ ඇසුරුම් කිරීමට යොදා ගනී.
පොලිතීන් යනු මොනවාද?
පොලිතීන් නිෂ්පාදන ප්‍රධාන වශයෙන් වර්ග 2ක් ඇත. එනම් High Density polyethylene (HDPE) සහ Low Density polyethylene (LDPE) ලෙසය. පොලිඑතිලින් සමන්විත වන්නේ දිගු දාමවලිනි. එතිලින් ස්වභාවික වායු සහ පෙට්‍රෝලියම්වලින් හටගනී. මෙම පොලිතීන් බෑග් නිෂ්පාදනයේදී වර්ණ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය එකතු කරනු ලබයි.
ප්‍රතිචක්‍රීකරණය කළ හැකි පොලිතීන් ලෙස හඳුන්වනු ලබන ජෛවහායනයට ලක්වන පොලිඑතිලින් දාම හෝ පොලි ලැක්ටික් ඇසිඩ් ජීර්ණය විය හැකි ලැක්ටික් අම්ලයෙන් හට ගන්න පොලිමර් ආකාරයකි. මේවා ක්ෂුද්‍ර ජීවීන් මගින් ජීර්ණය වීමේ හැකියාව ඇත.පොලිතීන්/ප්ලාස්ටික් භාවිතයෙන් ඇතිවී තිබෙන පාරිසරික බලපෑම්
පොලිතීන්/ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම ක්‍රමවත් ලෙස සිදු නොවීම නිසා වායුගෝලය, සාගර, මුහුදු, සහ මිරිදිය ජලාශවල සිට ගොඩබිම පරිසරය දක්වාම බලපා ඇති පාරිසරික දුෂණය අතිමහත්ය. ඒ අතර, ජෛව පද්ධති විනාශවීම, කාණු පද්ධති අවහිරවීම නිසා ඇතිවන ඩෙංගු වැනි වසංගත තත්ත්ව, ක්ෂණික ජල ගැලීම්, විවිධ බැර ලෝහ සහ රසායනික ද්‍රව්‍ය පරිසරයට බැහැරවීම සහ ඉන් ඇතිවන රෝගාබාධ සඳහන් කළ හැකිය. ප්ලාස්ටික්/පොලිතීන් බොහෝ ඒවා ජෛව හායනයට ලක් නොවන අතර ඒවා හිරුඑළියට නිරාවරණය වූ විට හිරු එළිය මගින් ප්ලාස්ටික් පොලිමර්ස්වල බන්ධන දුර්වල වී කුඩා කොටස්වලට කැඩෙයි. එසේම Biophenol A නමැති රසායනිකය පිටවේ. 2012 සමීක්ෂණ දත්තවලට අනුව, මෙසේ අවිධිමත් ලෙස බැහැර කළ පොලිතීන් සහ ප්ලාස්ටික් මිලියන ටොන් 165ක් පමණ මුහුදු පතුලේ තැන්පත්ව ඇත.
ඉන් වසරකට මිය යන මුහුදු ජීවින් ප්‍රමාණය ලක්ෂය ඉක්මවන අතර මුහුදු පක්ෂීන් ගණන මිලියනය ඉක්මවයි. මෙහි ඇති විෂ සහිත diethyl hexyl phthalate පිළිකා ජනක වේ. එයින් මුහුදු ජීවීන් හරහා ආහාර දාම ඔස්සේ මිනිසුන්ටද මෙම විෂ ඇතුළු වේ. පොලිතීන් දිරා යාම ඉතාමත් සෙමින් සිදුවන නිසා ගොඩබිම පරිසරයට ද බොහෝ හානි ගෙනදෙයි. බොහෝවිට ලංකාවේ සිදුවන අවිධිමත් බිම් පිරවීම (dumping / landfilling) නිසා කුණු කඳු ඇතිවී තිබේ. ගොඩබිම වසන අලින්, මුවන් සහ කුරුල්ලන් මෙම කසළ කඳුවලින් ආහාර ගැනීමට පැමිණෙති. එයින් මෙම සතුන් බොහෝවිට මරණයට පත් වන්නේ පොලිතීන් කොටස් ජීර්ණ පද්ධතියේ සිරවීමෙනි. එසේම, බොහෝවිට මෙම බැහැර කිරීමේ බිම් පිහිටා ඇත්තේ ජලාශ ආශ්‍රිතවය. එබැවින් ඉන් ජනිතවන අපදියරය (leachate) මගින් පස සහ ඒ අවට ජල ප්‍රභවයන්ද දුෂණය වේ. අප සිදුකළ පරීක්ෂණයක් තුළින් හෙළිවූයේ මෙවැනි බිම් පිරවුමක් අසල පසෙහි බැර ලෝහ බොහොමයක් වැඩි අගයක පවතින බවයි. මෙවැනි බැර ලෝහ අතර Pb (ඊයම්) සහ Ni (නිකල්) අධික වීමට හේතුව අපද්‍රව්‍ය සමඟ බැටරි සහ වෙනත් ටින් ආදිය ද බැහැර කිරීමයි. එසේම බිම් පිරවීම් (landfilling) වලින් පිටවන හරිහරිතාගාර වායුවක් වන මීතේන් නිසා හරිතාගාර අචරණය ඇතිවේ. තවද, බොහෝ පිරිස් දිරා නොයන පොලිතීන්/ප්ලාස්ටික් පිළිස්සීම සිදුකිරීම නිසා විෂ සහිත වායු ලෙස කාබන් ඩයොක්සයිඩ්, ඩයොක්සීන සහ කාබන් මොනොක්සයිඩ් වායුගෝලයට එක්වේ. එසේම ප්ලාස්ටික් බෑග් සාදන්නේ ස්වභාවික වායු සහ පෙට්‍රෝලියම්වලින් නිසා එය නිෂ්පාදනය කිරීම පරිසර දුෂණයකි.
පොලිතීන්/ප්ලාස්ටික්වලින් ඇතිවන ගැටලු විසඳීමට 3R සංකල්පයෙන් හැකිද?
පසුගිය දශක ගණනක් පුරාම ක්‍රියාත්මක කිරීමට යෙදුණු 3R සංකල්පය (Reduce, Reuse, Recycle) අද වන විට වචනයට පමණක් සීමාවී ඇත. වෙළඳ පළෙහි භාණ්ඩයක් මිලදී ගැනීමේදී එය බොහෝවිට ඇසුරුම් කිහිපයක දමා ඇත. එවිට පාරිභෝගිකයන්ට එවැනි භාණ්ඩ මිලදී ගැනීමට සිදුවනු විනා වෙනත් විකල්පයක් නොමැත. ලෝක බැංකු දත්තයන්ට අනුව 2012 වසරේ දී ශ්‍රී ලංකාව වැඩිම දෛනික ඒක පුද්ගල නාගරික කසළ ජනනය කරන රටවල් අතර ඉදිරියෙන් සිටී. එය 5.1 Kgක් වේ. අඩුම දෛනික ඒකපුද්ගල නාගරික කසළ ජනනය කරන රට ඝානාවයි. එය 0.09 Kgක්වේ.
එසේම බොහෝ විට අප දිරායන ද්‍රව්‍ය සහ නොදිරන ද්‍රව්‍ය ලෙස අපද්‍රව්‍ය වෙන් කළ ද ඒවා රැගෙන යන ඇතැම් නාගරික/ප්‍රාදේශීය සභා රථ නැවතත් ඒවා මිශ්‍රකොට රැගෙන යති. ලංකාවේ ක්‍රියාත්මක වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළහි එක් අංගයක් වූයේ ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමයි. නමුත් ලන්ච් ෂීට් සහ පොලිතීන් බෑග් එක්වරම මෙම ක්‍රියාවලිය සඳහා යොදා ගැනීම අපහසු විය. ඒවා සෝදා පිරිසිදු කිරීමට වෙනම සේදීමේ අංගන අවශ්‍ය විය. මෙවැනි ගැටලු රාශියක් නිසා පොලිතීන්වලට දිය හැකි විසඳුම් අවමවී ඇත. ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකි දිරායන අපද්‍රව්‍ය පවා අද බොහෝ ගම්බද ජනතාව ඒවා එක්රැස් කිරීමේ රථවලට දීමට පෙළඹී ඇත. අතීතයේ බොහෝවිට ඔවුන් මුළුතැන්ගෙයි සහ ගෙවත්තේ අපද්‍රව්‍ය නිවසේදීම වළක් කපා එයට දැමීම සිදු කළහ. මෙසේ තමන්ටම කළමනාකරණය කළ හැකි අපද්‍රව්‍ය පවා ප්‍රාදේශීය/නගර සභාවලට පැටවීම හේතුවෙන් නගර සභා, ප්‍රාදේශීය සභාවලට කළමනාකරණය කළ යුතු අපද්‍රව්‍ය ප්‍රමාණය ඉතා විශාල ලෙස වැඩිවී තිබේ. එසේම රජය මගින් ක්‍රියාත්මක වූ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ‘පිළිසරු’ ව්‍යාපෘතිය මගින් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ මධ්‍යස්ථාන 100 කට වඩා පවතී. එසේම බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ අධිකාරිය ද එවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යයි.
මෙහිදී වැඩි වශයෙන්ම නාගරික අපද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පත් කිරීම සිදු වේ. කෙසේ වෙතත් මෙම මධ්‍යස්ථානවල පොලිතීන් වැනි ද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ගැටලු පවතින අතර අතර ඒවා අවිධිමත් ලෙස බිම් පිරවීමට (landfilling) යොදා ගන්නා බැවින් එහි කාර්යක්ෂමභාවය පිළිබඳ හුදෙක් සැහීමකට පත්වීය නොහැකිය. පොලිතීන් තහනම් වුවහොත් ප්‍රාදේශීය/නාගරික සභා සහ වෙනත් කොම්පෝස්ට් සැදීමේ ආයතන කාර්යක්ෂම ලෙස එහි ජෛව හායනයට ලක්වන අපද්‍රව්‍ය කළමනාකරණ කරනු ඇත. දැනටමත් නාගරික කසළ කොම්පෝස්ට්වල ගුණාත්මය සඳහා නිර්ණායක සහ නිර්දේශිත තත්ත්ව සකස් කරමින් පවතී.
පොලිතීන් නිෂ්පාදනය සහ භාවිතය තහනම් කිරීම තුළින් දැවෙන කසළ ප්‍රශ්නය විසඳේද?
ශ්‍රී ලංකාවේ පොලිතීන් තහනම මයික්‍රෝන 20ට අඩු පොලිතීන් සඳහා පැනවුයේ 2016 ජනවාරි 1 වැනිදාය. මෙවැනිම තහනමක් 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව 2006 ඔක්තෝබර් 10 වැනිදා අංක 1465/5 දරණ විශේෂ ගැසට් පත මගින්ද ක්‍රියාත්මක කර ඇත. නමුත් ඉහත අවස්ථා 2 ෙකන්ම පැනවූ පොලිතීන් තහනම අද නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.
2017 වසරේ සැප්තැම්බර් 01 දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පොලිතීන් නිෂ්පාදනය සහ භාවිතය තහනම් කිරීම හුදෙක් නෛතික තහනම් කිරීමක්වීම අපේක්ෂා නොකළ යුතුය. කසළ කළමනාකරණය අප හැමගේ චර්යාත්මක වෙනස්වීම මගින් සිදුවිය යුතුය. කසළ කළමනාකරණය පොලිතීන් තහනම් කිරීම තුළින්ම විසඳේ යයි මා විශ්වාස නොකරමි. පොලිතීන් නිෂ්පාදන කරුවන් සහ පොලිතීන් ආනයනකරුවන්ගෙන් මෙයට දැඩි විරෝධතා මතුවී ඇති බව නොරහසකි. කෙසේ වුවත් ඔවුන් සඳහා ක්‍රමවත් විකල්ප මාර්ග සලසාදීම රජයේ වගකීමකි.
එසේම නගරවල අනවශ්‍ය ලෙස යොදා ඇති බැනර්, පෝස්ටර් ආදිය ද නවත්වා ඒවාට සුදුසු ස්ථාන පමණක් ලබාදිය යුතුය. විවිධ උත්සව, දේශපාලන රැස්වීම් සඳහා සැරසිලිවලට යොදා ගන්නා පොලිතීන් නවතා දැමිය යුතුය. සෑම විටම වෙෙළඳ සලකට යන විට රෙදි හෝ වෙනත් මල්ලක් (පන්, වේවැල්) රැගෙන යාම පුරුද්දක් කරගත යුතුය. එය විලාසිතාවක් බවට පත් කරගත යුතුය. මෙවැනි දේ කීම ඉතා ලෙහෙසි වුවත් ඒවා ක්‍රියාත්මක කිරීමට අපහසු බව ඇතැමුන් පවසන්නට පුළුවන. නමුත් තමාගේ චර්යා වෙනස් කර ගැනීම නෛතික රාමුවකට කොටුවීමට වඩා පහසුය. පොලිතීන්/ප්ලාස්ටික් භාවිතය ක්‍රමයෙන් නතර කිරීම තුළින් අවසන් බැහැර කිරීම් (final disposal) ඉතා අඩු අගයකට පත්කළ හැකිය. බොහෝ දියුණු රටවල අවසන් කසළ බැහැර කිරීම 1% දක්වා අඩු කර තිබේ.
2017 සැප්තැම්බර් සිට ක්‍රියාත්මක කිරීමට අනියමිත පොලිතීන්/ප්ලාස්ටික් තහනම අදියර 3කින් රජය ප්‍රකාශයට පත්කොට ඇත.
කෙටිකාලීන ක්‍රියාමාර්ග
• සියලු උත්සව කටයුතුවලදී පොලිතීන් භාවිතය තහනම් කිරීම.
• මයික්‍රෝන 20ට අඩු හෝ මයික්‍රෝන 20 පොලිතීන් සඳහා වන පවතින නීති භාවිතය, විකිණීම සහ නිෂ්පාදනය සඳහා ක්‍රියාත්මක කිරීම.
• මයික්‍රෝන 20ට වඩා අඩු පොලිතීන් අත්‍යවශ්‍ය කටයුතු සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබාගත් අනුමැතිය මත පමණක් භාවිත කිරීමට ඉඩ සැලසීම.
• ලන්ච් ෂීට් විකිණීම, ආනයනය සහ නිෂ්පාදනය තහනම් කිරීම.
• ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය වූ (polystyrene/Styrofoam) හැඳි, කෝප්ප, පිඟන් සහ ආහාර ඇසුරුම් කරන පෙට්ටි විකිණීම, ආනයනය සහ නිෂ්පාදනය සහ භාවිතය තහනම් කිරීම.
• සකස් කළ හෝ පිසූ ආහාර පොලිතීන් කවරවල විකිණීම තහනම් කිරීම.
• පොලිතීන් ඇසුරුම්වලට විකල්ප ලෙස, රෙදි, පන් හෝ කඩදාසි, පරිසර හිතකාමී ඇසුරුම්, මළු වැනි විකල්ප භාවිත කිරීම.
• විවෘත භුමිවල පොලිතීන් සහ ප්ලාස්ටික් පිළිස්සීම තහනම් කිරීම.
• දිරාපත්වන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය හඳුන්වාදීම සහ ප්‍රචලිත කිරීම.
රජය මගින් ප්‍රකාශයට පත්කළ ඉහත සඳහන් ක්‍රියාකාරකම් වඩා කාර්යක්ෂමව සිදුවීමට නම් පොලිතීන්/ප්ලාස්ටික් නිෂ්පාදන සහ අලෙවිකරුවන්හට ක්‍රමවත් විකල්ප මාර්ග හඳුන්වා දිය යුතුය. එසේම පන්, වේවැල්, කෙසෙල් පට්ටා, රෙදි බෑග්/මලු සඳහා නව නිෂ්පාදකයන් සහ දැනට ඒ සඳහා යොමුවී ඇති කර්මාන්තකරුවන් දිරි ගැන්වීම කළ යුතුය. පරිසර හිතකාමී බෑග් නිෂ්පාදනය සඳහා නව වෙළඳපළක් ඇති කළ යුතුය. තවද, ප්‍රතිචක්‍රීකරණය සඳහා දිරි දීමක් ලෙස එයට බදු සහන ලබා දිය යුතුය.
පොලිතින් තහනම ඔබටත්, රටේ අනාගතයටත් කොතරම් හිතකර දැයි ඔබට සිතීමට කාලය එළැඹ ඇත.
ආචාර්ය
රාජිකා අමරසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
පාංශු අධ්‍යනාංශය, කෘෂිකර්ම පීඨය,
රුහුණ විශ්වවිද්‍යාලය.