කොටි වලස්සු ඌරන් මුවන් සර්පයන් රජයන මහ වන වන මැදට අප පිවිසියේ මුහුදු මට්ටමේ සිට අඩි 1672 ක් පමණ ඉහළින් ස්වාභාවික ගල් පර්වතයක මුහුණතේ පිහිටා තිබූ ශිලා ලේඛනය කියවීමටයි. දූරංගල, දූම රඛ්ඛ පබ්බත, උදුම්බර පබ්බත, උදුම්බර සාල යන නම්වලින් හඳුන්වනු ලබන දිඹුලාගල ප්‍රදේශයේ ගල් දෙබොක්කාවක මුහුණතේ මෙම ශිලා ලේඛනය පිහිටා තිබෙනවා. 2024 ජුනි මස 15 වැනිදා හිමිදිරියෙහි අප ශිලා ලේඛනය අසලට ගියා. අතිශය දුෂ්කරතා මැද්දේ තමයි ගමනාන්තයට ළඟා වුණේ.
විශාල ගල් පර්වත දෙකක් අතර මැද පිහිටා ඇති මෙම ශිලා ලේඛනය කියවීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය පලංචි ආදිය සකස් කර දුන්නා. ඒවා සුව පහසු ඒවා නොවේ. ගල්වැවේ විමල්ඛන්ති හිමියනුත්, වර්තමාන පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් බුද්ධි නාගොඩවිතාන මහතාත්, කන්තලේ සුමිත්ත හිමියනුත් මමත් පලංචිවල නැග ශිලා ලේඛනය කියවීම පටන් ගත්තා. එය පිහිටුවා තිබෙන්නේ ගල් දෙකක් අතර ගල් මුහුණතකයි. ගල් දෙක අතර ඇති පරතරය අඩුයි. දිඹුලාගල ප්‍රදේශයේ මේ දිනවල අව් රශ්මිය වැඩි නිසා දහවල් කාලයේ ශිලා ලේඛනය කියවීම අපහසු කාර්යක් වුණා. අඩි 47 ක් දිග පේළි 10 ක පමණ සංඛ්‍යාවක් එහි තිබෙනවා. දිවා කල අපට කියවන්නට හැකි වූයේ පේළි දෙකක් පමණි.
රාත්‍රියේදී කියවීම සඳහා කන්ද උඩ නැවතීමට අප තීන්දු කළා. පැය ගණනක් ගන අඳුරේ කන්ද මුඳුනේ සිටීමට අපට සිදු වුණා. රාත්‍රී 8 පමණ වෙන විට දිඹුලාගල ආරණ්‍යයේ රාහුලංකාර හිමියන්ගේ සහාය ඇතිව විදුලි අාලෝකය ලබාගැනීමේ හැකියාව ලැබුණා. සතා සීපාවා සිටින නිසා ගල මත ගිනි මැලයක්ද ගැසුවා. රාත්‍රියේ ශිලා ලේඛනය කියවද්දි නිදිමත ආවා. පලංචියේ සිටියදී නින්ද ගියොත් පහළට වැටෙනවා. වැටුණොත් පහළ තිබෙන්නේ ගල් දෙබොක්කා නිසා එ්වා අතරේ හිරවී ජීවිත හානි සිදු විය හැකියි. ඒ නිසා නිදිමත නැති කරගැනීම සඳහා පැය දෙකෙන් දෙකට තේ කහට බොමින්. පසුදා එළිවෙන තුරුම ශිලා ලේඛනය කියෙව්වා. රාත්‍රියේ සැලකිය යුතු ප්‍රමාණයක් කියවීමේ හැකියාව ලැබුණා. 16 දා උදේ 6ට පමණ කන්දෙන් බහින්නට පටන් ගත්තා නැවත 16 වැනිදා හවස 3 ට කන්ද නගින්නට පටන් ගත්තා. අවශ්‍ය විදුලි පන්දම් ආදිය රැගෙන ගියා. සෙල්ලිපිය පිහිටි පරිසරය නිරීක්ෂණය කිරීම අපට අවශ්‍ය වුණා. සෙල්ලිපියෙහිද ඇතැම් නිර්මාණ පිළිබඳව සඳහන් වෙනවා. සුමිත්ත හිමියන් සමග කන්දට නැග අවට පරිසරය නිරීක්ෂණය කළා. කඳු මුදුන හරිම සුන්දර තැනක්.
අප පහළට බහින විට කළුවර වැටෙමින් තිබුණා.විටෙක පාර හොයාගනු බැරිව අප අතරමං වුණා.ඒ බව දුරකථනයෙන් දැනුම් දුන්නා. අප සෙවීම සඳහා පන්දම් රැගත් පිරිස් පැමිණියා. අප ශිලා ලේඛනය කියවීම ඇරඹුවේ රාත්‍රී 7 30ට පමණ. පාන්දර 3 පමණ වෙන විට සෙල් ලිපිය කියවා අවසන් කළා. කියවාගත හැකි අකුරු කියවා අවසන් කළා.
ලොකුම සෙල් ලිපිය |
මෙලෙස ඒ අපූරු අත්දැකීම අප හා බෙදා ගත්තේ දිඹුලාගලින් සොයාගත් මෙරට දීර්ඝතම සහ පැරණිතම ශිලා ලේඛනය කියවා අර්ථ නිරූපණය කිරීම සඳහා පත්කළ කමිටුවේ සම සභාපති මහාචාර්ය කරුණාසේන හෙට්ටි ආරච්චි මහතායි.
සාහිත්‍ය මූලාශ්‍රය මෙන්ම පුරාවිද්‍යා මූලාශ්‍රය ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරාවිද්‍යා මූලාශ්‍රය අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්‍රමුඛ වන අතර සෙල්ලිපි හෙවත් අභිලේඛන මූලාශ්‍රයන්ට හිමි වන්නේ සුවිශේෂ බවකි. අභිලේඛන ලෙස හඳුන්වන්නේ ඕනෑම මතුපිටක ලියූ පැරණි ලේඛන ය. මේවා ගල් මත, මැටි පුවරු මත, තඹපත් මත, රන්පත් මත, තල්පත් මත, සත්ව හෝ මිනිස් අස්ථි මත, කඩදාසි මත, වීදුරු මත ආදී වශයෙන් ඕනෑම මතුපිටක ලියා තිබිය හැක. සාහිත්‍ය මූලාශ්‍ර මෙන් අඛණ්ඩ ඉතිහාසයක් ඒ හරහා හඳුනා ගැනීමට නොහැකි වුවත් සෙල්ලිපි ඔස්සේ ලංකා ඉතිහාසයේ වැදගත් තොරතුරු සමුදායක් වර්තමානය ෙවනවිට අනාවරණය කරගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ පුරාණ පොළොන්නරුව නගරයේ දළදා මළුවෙහි පිහිටි ගල් පොත ශිලා ලේඛනය මෙරට විශාලතම සෙල්ලිපිය සේ සැලකේ. එය නිශ්ශංක මල්ල රජු විසින් කරවන ලද්දකි. මෙය පොළොන්නරු යුගයට අයත් වේ. මෙහි නිශ්ශංකමල්ල රජුගේ ප්‍රතිපත්ති, ඔහු විසින් ජනතාවට දෙන ලද අවවාද, අනුශාසනා, රජුගේ වීර ක්‍රියා, රාජ්‍ය පරපුර ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව දීර්ඝ විස්තරයක් සඳහන් වේ. නිශ්ශංකමල්ල රජුගේ දීර්ඝතම සෙල්ලිපිය ලෙස සැලකෙන ගල්පොත පුවරු ලිපියෙහි ප්‍රමාණය දිග අඩි 26 යි අඟල් 08 ක් පමණ වන අතර පළල අඩි 04 යි අඟල් 07 කි. මෙහි සාමාන්‍ය ඝනකම අඩි 01 යි අඟල් 09 ක් පමණ වේ.
ගල් පොත ශිලා ලේඛනය අබිබවමින් මෙරට විශාලතම සෙල්ලිපිය බවට දිඹුලාගලින් හමු වූ දුර්ලභ ගණයේ සෙල්ලිපිය පත්ව තිබේ. සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් යැයි සැලකේ. ස්වභාවිකව පැළුණු ගල් දෙබොක්කාවක මෙම ශිලා ලේඛනය පිහිටා තිබේ. දිඹුලාගල ශිලා ලේඛනය පිහිටා තිබෙන්නේ උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාමල් පොකුණත්, දිඹුලාගල රජමහා විහාරයත් අතරය. යම් සංසිද්ධියක් හේතුවෙන් පුපුරා ගිය මුහුණතක ශිලා ලිපිය පිහිටා තිබේ. ගල් මුහුණතේ දිග අඩි 55 කි. උස අඩි 18 කි. ශිලා ලේඛනයේ අක්ෂර අඩි 48 අගල් 5 ක කලාපයක ලියා ඇත. අක්ෂර පේළි 10 ක් එහි අඩංගු වන අතර අක්ෂර 1000 ට වැඩි සංඛ්‍යාවක් ඇත. මේ වන තෙක් හමුවී තිබෙන ශිලා ලේඛන අතරින් පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත විශාලතම සහ පැරණිම ශිලා ලේඛනය වන්නේ මෙයයි. මෙය සිංහල ප්‍රාකෘත භාෂාවෙන් ලියවී ඇත.
ඓතිහාසික තොරතුරු |
අතීතයේ පටන් මෙම දිඹුලාගල ප්‍රදේශයේ ඉතා සශ්‍රීක ජනාවාස පැවති බවට සාධක හමුවේ. මහවැලි ගඟ දිඹුලාගල ශිලා ලේඛනය පිහිටි ස්ථානයේ සිට කිලෝ මීටර් 6 ක් පමණ නැගෙනහිර උතුරු කලාපයෙන් ගලා බසී. මහවැලි ගඟේ පිටාර ජලය දිඹුලාගල කලාපයට නිරන්තරයෙන්ම ගලා එයි. එබැවින් දීර්ඝ කාලයක සිට මෙහි මානව ජනාවාස තිබූ බව දැකගත හැකිය. දිඹුලාගල සම්බන්ධයෙන් ලේඛනගත සාක්ෂි පණ්ඩුකාභය කුමාරයාගේ කාලයේ පටන් හමු වී ඇත. ක්‍රිස්තු පූර්ව 4 වැනි සියවසේ සිට එනම් අදින් අවුරුදු 2400 ට පමණ පෙර වංශකතාවල දිඹුලාගල පිළිබදව සඳහන් වේ. පණ්ඩුකාභය කුමරු තම මාමාවරුන් සමග ගැටුමක් ඇති වී කුමරු පලාගොස් ඇත්තේ දිඹුලාගල ආසන්න ප්‍රදේශයකටය. අවි ආයුධ නිර්මාණය කරගෙන ඇත්තේද මෙම ප්‍රදේශයේ සිට බව මහාවංශ ටීකාවේ සඳහන් වේ.
ක්‍රි: පූ: 2 වැනි සියවසේ දී ලියූ ශිලා ලේඛන සැලකිය යුතු ප්‍රමාණයක් දිඹුලාගල ආශ්‍රිත කලාපයෙන් හමු වී ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ මහින්දාගමනයෙන් පසු දිඹුලාගල ආශ්‍රිත නාමල් පොකුණ, කොස්ගහ උල්පත වැනි ප්‍රදේශයන්හි ලෙන් ආරාම තිබී ඇති බවයි. වලගම්බා රජු සමයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරෑඪ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ කුන්ථ ගත්ත තිස්ස මහරහතන් වහන්සේ ග්‍රන්ථාරෑඪ කටයුතු අවසන් කොට නිදහසේ වැඩ සිටීමට දිඹුලාගල පර්වතයට වැඩම කළ බව අස්ගිරිය තල්පතේ සඳහන් වේ. මහානාම රජුගේ කාලයේ එනම් ක්‍රි ව 5 වැනි සියවසේ දී රජුගේ බිසවක විසින් තේරී භික්ෂූන් හට දිඹුලාගල විහාරයක් පූජා කළ බවට සඳහන් වේ.
වසරක මහන්සිය |
බුදුරදුන්ගේ ධාතු තැන්පත් කළ දාගැබක් දිඹුලාගල තිබූ බවද සඳහන් වේ. ලෙන්, දාගැබ් මහා බෝධි මාර්ග ගල් පුවරු අතුරා පිළිසකර කිරීම ආදිය පිළිබඳව ශිලා ලේඛනවල සඳහන් වේ. මහා පරාක්‍රමබාහු රජු සමයේ පොළොන්නරු ගල් විහාර කතිකාවත ලිවීමට උපදෙස් ලබා ගන්නේද දිඹුලාගල වැඩසිටි උදුම්බර ගිරි නිවාසේ මහා කාශ්‍යප හිමිනමගෙනි. දඹදෙණි යුගයේදී භික්ෂූ ශාසනයේ කල් පැවැත්ම චිර පැවැත්ම උදෙසා දඹදෙණි කතිකාවත දෙවැනි පාරාක්‍රමබාහු රජු විසින් පිහිටුවන ලදි. මෙම කතිකාවත සම්පාදනය කරනු ලබන්නේ දිඹුලාගල වැඩසිටි වනවාසී මේධංකර නම් හිමිනම විසිනි.
දිර්ඝ කාලයක සිට දිඹුලාගල ජනාවාස තිබූ බවත්, භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බව සහ රාජ්‍ය අනුග්‍රහය ලැබූ බව ඒ අනුව සනාථ වේ. මෙම සෙල්ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හමුවන්නේ 2023 ජූලි 10 වෙනිදාය. එනම් වසරක් ගත වී ඇත. දිඹුලාගල වනයේ මී කැඩීමට ගිය පුද්ගලයන් පිරිසක් මෙම සෙල්ලිපිය දැක ඒ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීම සිදු කර ඇත. පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තානුර දයානන්ද මහතාගේ මූලිකත්වයෙන් මෙම ශිලා ලේඛනය පිටපත් කර ඇත. මසක පමණ කාලයක් සෙල්ලිපිය පිටපත් කිරීම සඳහා ගත වී ඇත. ශිලා ලේඛනය අර්ථ ගැන්වීම ආරම්භ කර ඇත්තේ 2023 දෙසැම්බර් මාසයේ සිටය.
ශිලා ලේඛනය හමුවීමත් සමග මෙහි අන්තර්ගතය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා විවිධ වූ වැරදි ප්‍රචාරය විය. එම අවස්ථාවේ ශිලා ලේඛනය කියවා අර්ථ නිරූපණය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලදි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අභිලේඛන අධ්‍යක්ෂ අාචාර්ය මාලනී ඩයස් මහත්මිය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ සම සභාපතිත්වයෙන් කමිටුවක් පත්කළ අතර කමිටු සාමාජිකයන් ලෙස බුද්ධි නාගොඩවිතාන මහතා, කන්තලේ සුමිත්ත හාමුදුරුවෝ, අභිලේඛන අංශයේ සියලුම නිලධාරීහු ඇතුළත් වූහ. ශිලා ලේඛනයේ පිටපත අාශ්‍රයෙන් මූලික වාර්තාවක් 2024 පෙබරවාරි 6 වැනි දා පුරාවිද්‍යා අමාත්‍යවරයා වෙත භාරදීමට කමිටුව කටයුතු කළේය. පසුව වැඩිදුර කියවා අර්ථ ගැන්වීම උදෙසා දිඹුලාගල ප්‍රදේශයට ගොස් පියවි ඇසෙන් දැකබලා අර්ථ ගැන්වීමට වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය අවශ්‍ය පහසුකම් සලසා දුන්නේය. ශිලා ලේඛනය කියවීම ආරම්භ කළ අවස්ථාවේ අකුරු මැකීගොස් තිබූ නිසා මුල මැද අග සොයා ගැනීමේ දුෂ්කරතාවක් ඇති විය. කමිටුව මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ශිලා ලේඛනය කියවීම සඳහා නව තාක්ෂණය උපයෝගී කර ගැනීමට පුරවිද්‍යා දෙපාර්තමේන්තුවේ අර්ජුන තන්තිලගේ මහතාගේ සහාය ලබා ගැනීමට හැකි විය. ශිලා ලේඛනයේ ඡායාරූපකරණය සඳහා කිසිදු මුදලක් අය නොකර සුලකෝ ආයතනය විශාල සහායක් ලබා දී ඇත.
රසායනාගාර සහාය |
2024 අප්‍රේල් මස ඔවුහු මෙම ශිලා ලේඛනය ඡායාරූපගත කළහ. බහුවර්ණාලීක්ෂ ඡායාරූපකරණය මගින් ඩ්‍රෝන කැමරා භාවිතයෙන් ශිලා ලේඛනයේ ත්‍රිමානරූපී ඡයාරූප ලබාගැනිණ. මෙහි යාන්ත්‍රික කටයුතු සඳහා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයට සම්බන්ධ මනෝජ් මිහිරංග මහතා, ජයම්පත් සේනානායක මහතා සහ ඉන්දික විතානගේ මහතා සම්බන්ධ වූහ. තව දුරටත් භාෂාව පිළිබඳ විශේෂ සහාය අවශ්‍ය වූ බැවින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව පිළිබද මහාචාර්ය රත්නසිරි අරංගල මහතා සහ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ගල්වැවේ විමලචත්ති හිමියන්ගේ සහාය ලබා ගන්නා ලදි.
ශිලා ලේඛනය මත වසර දහස් ගණනක පටන් විවිධ ඇල්ගී පාසි බැඳී තිබූ බැවින් එහි මතුපිට කළු පැහැගැන්වී තිබුණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව එම දෙපාර්තමේන්තුවේ රසායනාගාර සංරක්ෂණ අංශ ප්‍රධානී ගීතානි කුරුප්පු ආරච්චි මහත්මියගේ අධීක්ෂණය යටතේ පාසි ඉවත් කර පිරිසිදු කිරීම සිදු විය. පාසි ඉවත් කළ පසු නැවත සුලකෝ අායතනයේ මූලිකත්වයෙන් ශිලා ලේඛනය සහ ඒ ආශ්‍රිත අවට කලාපයම ඡායාරූපගත කෙරිණ.
සෙල්ලිපිය සහ අවට පරිසරය එනම් දිඹුලාගල, මාරාවීදිය, නාමල් පොකුණ, කොස්ගහ උල්පත් යනාදී ආරාම සංකීර්ණ සමග ශිලා ලේඛනයට පවතින සම්බන්ධය සොයාබැලීමට 2024 ජූලි 13 14 නැවත ඩ්‍රෝන කැමරා උපයෝගී කරගනිමින් සම්පූර්ණ වටපිටාවම ඡායාරූපගත කෙරිණ . මේ ෙවනවිට ශිලා ලේඛනයේ සැලකිය ප්‍රමාණයක් කියවා අවසන් කොට ඇත.
භික්ෂූන්ට කළ පූජා |
දිඹුලාගල ශිලා ලේඛනය අදින් වසර 2200 කට ඉහත කාලයකදී ලියූවකි. අන්තර්ගතය පිළිබඳව සලකා බැලීමේදී සරලම අදහස වන්නේ භික්ෂූන් වහන්සේලා වෙත කරන ලද පූජා පිළිබඳවය. එහිදී විවිධ දායකයන් එනම් රාජකීය මට්ටමේ දායකයන්, ස්වාමීන් වහසේලා මෙන්ම සාමන්‍ය ජනතාව පිළිබඳව සඳහන් වේ. පූජා කිරීම් අතර ලෙන් පූජා කිරීම්, ජල පහසුකම් සැපයීම් පිළිබඳ තොරතුරු අන්තර්ගත වේ. මාර්ග පහසුකම් සකසා දුන් බවට, කුටි පූජා කිරීම්, බැංකුවලට සමාන මූල්‍ය ආයතන පිළිබඳවද සඳහන් වේ. ක්‍රි. පු. 2 වැනි සියවසේ ජීවත් වූ රාජකීයන් කිහිපදෙනෙකුගේ තොරතුරුද මෙහි සඳහන් වේ. මෙය කිසියම් රාජකීය හෝ විහාරවාසී ස්වාමීන් වහන්සේ නමකගේ මැදිහත් වීමෙන් කරුණු කෙටුම් පත් කර තිබූ ඓතිහාසික ලේඛනයකි.
මෙම ශිලා ලේඛනය සම්බන්ධව ඉතා වැරදි අදහස් බුදුහාමුදුරුවන් සම්බන්ධ කොට ප්‍රචාරය වූ අතර ඒවායෙහි කිසිදු සත්‍යතාවක් නොමැත. වචනයෙන් වචනයට අර්ථ ගැන්වීම ඉදිරියේදී කිරීමට කමිටුව බලාපොරොත්තු වේ. මේ දිනවල භාෂා ලක්ෂණ, ව්‍යාකරණ ලක්ෂණ, අක්ෂර ලක්ෂණ ආදිය පිළිබඳව තොරතුරු විමර්ශන කටයුතු සිදු කරමින් පවතී. එමෙන්ම නවතම ඡායාරූප අාශ්‍රයෙන් ශිලා ලේඛනයේ ගැටලු සහගත තැන් නිරාකරණය කරමින් සිටී.
විවිධ ක්‍රමවේද ඔස්සේ මාස ගණනක සිට තවමත් මෙම ශිලා ලේඛනය කියවමින් පවතී. පළමුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබාගත් ස්පර්ශ ලාංඡන මගින් කියවීම සිදු කෙරිණ. නමුත් ස්පර්ශ ලාංඡන මගින් කියවීමේදී යම් අඩු පාඩු පවතී. පිලි ආදිය පැහැදිලිව ස්පර්ශ ලාංඡන මගින් කියවා ගත නොහැක. පසුව පියවි ඇසෙන් නිරීක්ෂණය කොට කියවීම සිදු කෙරිණ. පියවි ඇසටත් නොපෙනෙන දේ ඡායාරූප හරහා කියවනු ලබයි.
මෙම ශිලා ලේඛනය අර්ථ ගැන්වීමේ කටයුතු සඳහා සහභාගී වන විශ්වවිද්‍යාල අාචාර්යවරුන් කිසිදු මුදලක් අය නොකර ප්‍රතිලභයක් නොලබා ජාතික වගකීමක් ලෙස සලකා මේ කාර්යයට දායක වීම ඉතා අගනේය. ඔවුන් මෙලෙස ඉටු කරන්නේ ඉතා සංකීර්ණ කටයුත්තකි. වචනයක හෝ අර්ථ ගැන්වීම වැරදි වුවහොත් එය විශාල අර්බුදයක් නිර්මාණය වීමට පවා හේතුවිය හැකිය. කියවා අවසන් කිරීම සඳහා කාලය ගතවන්නේද එබැවිනි.
- ශෂිකා අබේරත්න