
ශ්‍රී ලංකාවේ පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා ප්‍රධාන ජල පෝෂක මේ වෙන විට දූෂණයට ලක් වී තිබේ. එම ජල පෝෂකවල ජලය නිසි පිරිපහදුවකින් තොරව පරිභෝජනය කිරීමට යාමෙන් බරපතළ තත්ව ඇතිවිය හැකි බව මේ වෙන විට අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධව 2023 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ පර්‌යේෂණයක් මගින් අනාවරණය කරගෙන තිබුණේ ජලයේ දූෂිත බව සහ එහි සිටින බැක්ටීරියා මෙන්ම අහිතකර දේ ජල පෝෂකවලට බලපාන අන්දම ගැනය. එම පර්‌යේෂණය සිදු කරනු ලැබුවේ කැලණි ගඟ, මහවැලි ගඟ සහ බදුලු ඔයේ ජලය පරීක්ෂා කිරීමෙනි.
ලංකාවේ කඳුකරයේ ප්‍රධාන පානීය ජල සැපයුම්කරු වන මහවැලි ගඟේ බැක්ටීරියා නිසා ඇතිවී ඇති දූෂණ තත්වය විමර්ශනය කිරීම ද මෙම අධ්‍යයනයේ එක් අරමුණක් විය. කොත්මලේ සහ වික්ටෝරියා ජලාශ අතර කිලෝමීටර් 60 ක ගංගා කොටස දිගේ පානීය ජල පිරිපහදු යන්ත්‍ර (DWTP) 14 කින් ලබාගත් ගඟේ මතුපිට ජලය සහ පිරිපහදු කළ ජලය යන දෙකම, මුළු බැක්ටීරියා ගණන (TBC), මුළු කොලිෆෝම් ගණන (TCC) සහ මල කෝලිෆෝම් ගණන (FCC) සඳහා පරීක්ෂා කරවන ලදී. ගඟේ මතුපිට ජලයේ පරීක්ෂාවෙන් තහවුරු වූයේ, එහි විශාල වශයෙන් මලපහ, මල අපද්‍රව්‍ය බැහැර කිරීම සහ සෙප්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් වියළි හා තෙත් කාල අතර DBC, TBC, TCC සහ FCCවල සැලකිය යුතු දූෂණ වෙනස්කම් පෙන්නුම් කරන බවය. ජලය ගලායාමත් සමග අහිතකර බැක්ටීරියා වර්ග විසරණය වීම හේතුවෙන් වැසි කාලවල දී එහි ව්‍යාප්තිය ද වැඩි වී තිබේ. මහවැලි ගඟේ ජල ස්ථරවල ඉතා අඩු කොටගල, තලවකැලේ-ගල්කන්ද, මහනුවර දකුණ, පුණ්ඩළුඔය, උලපනේ, මහනුවර මධ්‍යස්ථ ස්ථාන සහ නාවලපිටිය, පාර දෙක, ඇල්පිටිය, නිල්ලඹ, බලගොල්ල, හාරගම, විශ්ව විද්‍යාල කම්හල, පොල්ගොල්ල සහ ඉහළ තලව කැලේ-නානුඔය ලෙස කාණ්ඩ 3 කට බෙදා මෙම පරීක්ෂාව සිදු විය.

ජලයෙන් බෝවන රෝග යනු වාර්ෂිකව මිලියන 2.2 කට වඩා මරණ ඇති කරන ගෝලීය ගැටලුවකි. පේරාදෙනිය විශ්වවිද්‍යාලය කළ අධ්‍යයනයෙන් හෙළි වූයේ සම්පූර්ණ කොලිෆෝම්, එස්චෙරිචියා කෝලි (ඊ. කෝලි), සැල්මොනෙල්ලා විශේෂ, ෂිගෙල්ලා විශේෂ සහ කැම්පිලොබැක්ටර් විශේෂ මගින් භූගත හා මතුපිට ජලය යන දෙකෙහිම ක්ෂුද්‍ර ජීවින් කැලණි ගංගා ද්‍රෝණියේ සිටින බවය. එහි ප්‍රධාන සංක්‍රාන්ති සහ වංගු සහිත ප්‍රදේශවලින් වසරක කාලයක් (වියළි සහ තෙත් කාල දෙකම) ජලය රැස්කිරීම සඳහා භූගත ජලය හැත්තෑ දෙකක් සහ මතුපිට ජල සාම්පල ලබා ගැනීමේ ස්ථාන 45 ක් තෝරා ගෙන මෙම පර්‌යේෂණ සිදු කර තිබුණි. අධ්‍යයනයේ ප්‍රතිඵලවලින් හෙළි වූයේ මුළු කැලණි ගංගා ද්‍රෝණියම සම්පූර්ණ කොලිෆෝම් සහ ඊ. කෝලි බැක්ටීරියා වලින් දූෂිත වී ඇති බවය. සාම්පල ලබා ගැනීමේ ස්ථාන සියල්ලම පාහේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLS) විසින් පානීය ජලය සඳහා ලබා දී ඇති මාර්ගෝපදේශ අගය (CFU/100ml) ඉක්මවා යන බවත්ය. තවද භූගත ජලය
සැල්මොනෙල්ලා විශේෂ සඳහා ස්ථාන 17 ක් ධනාත්මක වූ අතර, කැම්පිලොබැක්ටර් විශේෂ සඳහා ස්ථාන 2 ක් පමණක් ධනාත්මක විය. මතුපිට ජලයේ සැල්මොනෙල්ලා විශේෂ සඳහා ස්ථාන 26 ක් සහ සාම්පල ලබාගැනීමේ ස්ථාන තුනක් ධනාත්මක විය. එහි කැම්පිලොබැක්ටර් විශේෂ මෙන්ම විවිධ මානව රෝගකාරක සෙරෝවර් 23 ක් විනාශ කළ බවද එම පර්‌යේෂණයේ සඳහන් වෙයි. එමෙන්ම කෙන්ටකි හි සැල්මොනෙල්ලා එන්ටරිකා සෙරෝවර් යන වඩාත් සුලභ බැක්ටීරියා වර්ග ද හඳුනාගෙන ඇත. මේ අනුව අධ්‍යයනයේ ප්‍රතිඵලයෙන් හෙළි වූයේ කැලණි ගංගා ද්‍රෝණියේ අමු ජලය පරිභෝජනය අනාරක්ෂිත බවත් ආමාශ ආන්ත්‍රික රෝග ඇති කළ හැකි බව යැයි එම පර්‌යේෂණ මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
බදුලු ඔය ආශ්‍රිතව කළ පර්‌යේෂණයෙන් ද මේ හා සමාන ප්‍රතිඵල වාර්තා වී තිබේ. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් කළ පර්‌යේෂණය මගින් සොයා ගෙන ඇත්තේ පානීය ජලය ලබාදීමේ දී සියයට සියයක අවශ්‍යතාව මත බැක්ටීරියා විනාශ කරන බවය. එහෙයින් පානීය ජලයේ මෙම බැක්ටීරියා නැති බවය. එහෙත් මෙම ගංගාවල මතුපිට ජලය ආහාර පිසීමට බීමට හෝ ස්නානය මෙන්ම වෙනත් මිනිස් අවශ්‍යතා සඳහා භාවිත කිරීමේ දී ඉන් අහිතකර බලපෑම් ඇති විය හැකි බව ද පෙන්වා දී ඇත.මෙම බැක්ටීරියා හේතුවෙන් යම් හෙයකින් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, චර්ම රෝග, අතීසාරය හා පාචනය වැනි රෝග තත්ත්ව ඇති වුවහොත් ඉක්මනින් සුව නොවෙන බව ද පෙන්වා දී ඇත. ඒ මෙම බැක්‍ටීරියා සහ විෂබීජවල ඇති ප්‍රබලතාව හේතුවෙන් ඖෂධවලට ඔරොත්තු දීමේ අපහසුව නිසාවෙනි.
ජල පෝෂක ආශ්‍රිතව සිදුවෙන මෙම පාරිසරික හානිය අවම කිරීමට ලෝක බැංකු සහ ජයිකා ආධාර යටතේ ලංකාව පුරා ව්‍යාපෘතියක් ද ඇති කළේය. ඒ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මැදිහත් වීමෙනි. එභිදී වතු හා ජනගහන වැඩි ප්‍රදේශවල වැසිකිළි වළවල් මගින් භූගත ජලයට එකතුවෙන බැක්‍ටීරියා අවසානයේ ගංගා ඇළදොළවලට මිශ්‍රවීම වැළැක්වීම එක් අරමුණකි. අනෙක් කාරණාව වූයේ ගලි බවුසර් මගින් එක් කරගන්නා මල අප ජලය මහවැලි කැලණි මෙන්ම බදුලු ඔය ඇතුළු ජල පෝෂක කලාපවලට මුදා හරින හෙයිනි. එහිදී ඉන් ඇතිවෙන ආසාදන අවම කොට පරිසරයට එම ජලය මුදාහැරීම මෙම ව්‍යාපෘතියේ අරමුණකි. ලංකාවේ ප්‍රාදේශීය සභා සහ නගර සභා ආශ්‍රිතව මල ජලය පිරිපහදු කොට මුදාහැරීමේ යන්ත්‍රාගාර පිහිටුවා ගලි බවුසර් මගින් මල ජලය එම ස්ථාන වෙත ගෙනැවිත් පිරිපහදු කොට මුදා හැරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ විය.
මල ජලය පිරිපහදු කිරීමේ යන්ත්‍රාගාර ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 100ක මුදලක් ලෝක බැංකුව සහ ජයිකා ආධාර යටතේ ලබාදුන්නේ ඒ අනුවය. ශීර්ෂය: ජල මූලාශ්‍ර තර්ජනයට ලක්වෙයි: ජල මණ්ඩලයේ අපිරිසිදු මල ජල පිරිපහදු ව්‍යාපෘති මගින් ජීවිත හා පරිසරයට දැඩි බලපෑම් අවම කිරීම ද තවත් අරමුණක් විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉහත කී පර්‌යේෂණයෙන් අනාවරණය වූයේ මහවැලි සහ කැලණි ගඟේ ජලය අතිශයින්ම දූෂිත බවය. ලංකාවේ ජල පිරිපහදු ව්‍යාපෘති බොහෝමයක් මූලික රෝග පාලනය, ජල ආරක්ෂාව සහ පරිසරය ආරක්ෂා කිරීම යන අරමුණු සපුරාලීමට අපොහොසත් වී තිබීමද මේ තත්ත්වය වර්ධනය වීමට බලපෑ තවත් සාධකයකි. තවද ජල පද්ධති වලින් නිකුත් වන ජලය තුළ දැන් ඇන්ටි බැක්ටීරියල් ප්‍රතිරෝධක (PEAS) සහ පර්-එන්ඩ් පොලිෆ්ලෝරෝ ඇල්කයිල් ද්‍රව්‍ය (ABR) ආදිය වැනි අති විසකාරක හා දිගුකාලීන බලපෑම් ඇති කරන අමුද්‍රව්‍ය වාර්තා වීම හේතුවෙන් එය පානීය ජලයට බලපෑමක් ද එල්ල කරයි.
මහවැලි ගඟ සහ කැලණි ගඟ වැනි ප්‍රධාන ජල මූලාශ්‍ර තුළ PEAS සහ ABR ආශ්‍රිත පිරිසිදු නොකළ අපද්‍රව්‍ය මෙම දූෂණයට ප්‍රධාන හේතුවක් වී ඇත. ඊට හේතු වී ඇත්තේ මල ජල පිරිපහදු මධ්‍යස්ථාන බොහොමයක් ද මෙම ගංගා ආසන්නයේ පිහිටා තිබීම ය. එසේ නම් රුපියල් කෝටි 100ක් වියදම් කොට මල ජල ව්‍යාපෘතියක් ඇති කළ ද එම මල ජලය මුදා හරින්නේ මෙම ගංගාවලට මය.
- බැක්ටීරියා සහ විෂබීජවලින් පිරිලා
- රෝගවලට දෙන ඖෂධවල ක්‍රියාකාරීත්වයට වඩා බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩී
- බාගෙට පිරිපහදු කරන මල ජලය නැවතත් ගංගාවලට
- ලෝක බැංකුවෙන් ජයිකා ආධාර යටතේ ලැබුණ මල ජලය පිරිපහදු ව්‍යාපෘතියත් අඩාළයි
ලෝක බැංකු සහ ජයිකා ආධාර යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් තලවාකැලේ, වැලිගේපොළ ඉබ්බාගමුව, රුවන්වැල්ල, බදුල්ල, මොනරාගල, මුලතිව්, කිලිනොච්චිය, බණ්ඩාරවෙල, හලාවත මල ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකර තිබේ.
මෙසේ ඉදිකල මල ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන රැසක් ප‍්‍රයෝජනාත්මක ව්‍යාපෘති කිහිපයක් වුවත් ඒවා ගැන මේ වන විට දැඩි විවේචනකට ලක් වී තිබේ. ඉන් විශේෂයෙන්ම බදුල්ල, බණ්ඩාරවෙල සහ මොනරාගල ආදිය තුළ පිහිට වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන රැසකින්, නියමිත ක්‍රියාකාරීත්වය නොමැතිව මළ ජලය ආසන්න ගංගාවලට පිටකරන බවද වාර්තා වෙයි.
මෙම ව්‍යාපෘති අරමුදල ලෝක බැංකු සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා සංවිධානය (JICA) මගින් අනුග්‍රහය ලැබුවකි. නමුත් මෙවැනි අසාර්ථක සැලසුම්, න්‍යෂ්ටික කළමනාකරණය සහ නීතිමය පාලනයක් නොමැති වීම හේතුවෙන් එම මුදල් දැඩි අවදානමකට ලක්ව ඇත. මෙම තත්ත්වය යටතේ, JICA වැනි අරමුදල් සපයන ආයතන ශ්‍රී ලංකාව තුළ සිදුකරන දියුණුකරන ව්‍යාපෘතිවලට විශ්වාසය අහිමි කරගැනීමේ අවදානමක් ඇත. එය අනාගත ජල සහ පරිසර ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර ආධාර ලබා ගැනීම තවත් අපහසු කරනු ඇත.
එසේම මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වූ ජල මණ්ඩලය තුළ සේවය කරන සමහර ඉංජිනේරුවන් කිහිප දෙනෙකු විසින් තමන්ගේම පුද්ගලික ව්‍යාපාරික සමාගම් පිහිටුවා ගෙන ඇත්තේ ද මෙම ව්‍යාපෘති මුදලින් බව ජල සම්පාදනයේ ප්‍රකාශකයෙකු ද තහවුරු කළේය. එම අය මෙම ව්‍යාපෘති සඳහා උපදේශකයන්, සැලසුම්කරුවන් හෝ ක්ෂේත්‍ර කළමනාකරණ අංශ ලෙස සම්බන්ධ වන බව ද වාර්තා වේ. “තමන්ම නිර්මාණය කළ ව්‍යාපෘතියකට තමාම උපදේශනය කිරීම” වැනි ක්‍රියා මගින්, වැදගත් ව්‍යාපෘති සම්පත් පුද්ගලික වාසි සඳහා භාවිත වන අතර රාජ්‍ය ආයතනයකට අයත් වෘත්තීය විශ්වාසය බිඳ වැටේ. ඒ කෙසේ වෙතත් මීට සම්බන්ධ අය වාහන සේල් පවා දමා ගෙන ඇති බව ද වාර්තා වෙයි. එහෙයින් මෙම ව්‍යාපෘති තත්ත්ව පාලනයකට නතු කළ යුතුය. පාලනයක් ඇති කළ යුතුය.
මේ වැඩේ සාර්ථක හොඳ වැඩක්. නමුත් තවම ව්‍යාපෘතිය අපට භාර දීලා නෑ. බදුල්ලේ ගැටලුවක් වුණා. පරිසර ප්‍රශ්න ආවා. මල ජලය පිරිපහදුව නිසි ලෙස වෙන්නේ නෑ කියා. ඒනිසා පරිසර බලපත්‍ර මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා දීලා නෑ. අපි ව්‍යාපෘතිය භාර ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට සහ මෙම ව්‍යාපෘතිය භාර නිලධාරීන්ට කිව්වේ පරිසර බලපත්‍රය එයාලටම අරගෙන දෙන්න කියලයි.
බදුල්ල මලපහ යන්ත්‍රාගාරය වැඩ කරන්නේ සියයට 70-80යි
මල අපද්‍රව්‍ය යන්නේ බදුලු ඔයට
- බදුල්ල මහ නගර සභාව
මේ ගැන අදහස් දක්වන බදුල්ල මහ නගර සභාවේ ප්‍රකාශකයෙකු පෙන්වා දුන්නේ මෙවැන්නකි.
“එම ව්‍යාපෘතිය අපට තවම එම සමාගම බාර දීලා නෑ. වොෂිප් එකේන් තමයි මෙම ව්‍යාපෘතිය හදලා තියෙන්නේ. මෙම ව්‍යාපෘතියේ දැනට ක්‍රියාත්මක වෙන්නේ සියයට 70-80යි. ඒක තව වැඩි දියුණු වෙන්න ඕන. මෙම ව්‍යාපෘතිය ජල සම්පාදනයේ නිර්මාණයක්. ඒක නිසා වොෂිප් එක තමයි අපට ඒක හරි විදියට නිසි විදියට භාර දෙන්න ඕන.
දැනට සියයට 70-80ක් ක්‍රියාත්මක වුණත්, ඒකේ අඩුපාඩු තියෙනවා. මධ්‍යම පරිසර අධිකාරියෙන් ඊට අදාළ පාරිසරික දත්ත වාර්තාව ලබ දෙන්නේ නෑ. එහි තියෙන අඩුපාඩු නිසා. වාර්තාව අපි ඉල්ලුවා. පිරිපහදු කරලා දාන වතුරේ නයිට්රේට් පොස්පේට් අඩු නෑ. මුදාහරින ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ. රුපියල් කෝටි 14.2ක් වියදම් කළා. මේ ව්‍යාපෘතිය අසාර්ථක වෙන්න එහි සැලැසුමත් බලපෑවා. ඒක නිසා හරියට වෙන්නේ නෑ. අපට මේ ව්‍යාපතිය හරියට භාර දීලා නෑ. මේකෙන් ඉවත්වෙන ජලය කානු පද්ධතිය හරහා බදුලු ඔයට යනවා. මල අපද්‍රව්‍ය සියයට සියයක් පිරිපහදු කරලා නැති නිසා එහි බලපෑමක් තියෙනවා” යැයි එම ප්‍රකාශකයා කීය.
බදුල්ල වැඩේ අවුල් නිසා අපි භාර ගත්තේ නෑ
- බණ්ඩාරවෙල නගර සභාව
මේ සම්බන්ධව අදහස් දැක් වූ බණ්ඩාරවෙල නගර සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙවැන්නකි.
මොකද බදුල්ල වැඩේ ෆේල්. ඒක නිසා තියෙන අඩුපාඩු හදලා අපට භාර දෙන්න කිව්වා. නමුත් දැනට මල ජලය පිරිපහදුව සිදු වෙනවා. එහි ජලය කොම්පෝස් හදපු ඉඩමකට දාන්නේ. ඒ ජලය අන්තිමට වැසි කාලවලදී ජලාශවලට එකතු වෙනවා යැයි එම ප්‍රකාශකයා කීය.
අපේ යන්ත්‍රාගාරය නිසි ලෙස ක්‍රියත්මක වෙනවා
මේ ගැන අදහස් දක්වන රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා පැවසුවේ මෙවැන්නකි.
- රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව
“රුවන්වැල්ල යටියන්තොට දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ගලිවලින් ගෙන එන මල ජලය පිරිපහදු කොට නිසි ලෙස බැහැර කිරීම අපි සිදු කරනවා. අපේ යන්ත්‍රාගාරයේ අඩුපාඩු තිබ්බා මළපහ ජලය පිරිපහදු කිරීමට ගන්නා කෙමිකල්වල ගැටලුවක්. දැන් ඒක හදලා ඉවරයි. සියයට සියයක්ම නිසි ලෙස ඒක වැඩ කරනවා” යැයි ලේකම්වරයා කීය.
රුවන්වැල්ල, බදුල්ල, බණ්ඩාරවෙල ව්‍යාපෘති ෆේල්
ෆේල් වෙන්න හේතුව බලන්නේ නැතිව මට කියන්න බෑ
මම ඒ ව්‍යාපෘති ගැන බලලා කියන්නම්
- මල ජලය පිරිපහදු ව්‍යාපෘති අධ්‍යක්ෂ උදය රණතුංග
මේ සියලු කාරණා ගැන විමසීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්ත ද එය අසාර්ථක විය. අනතුරුව මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ උදය රණතුංගට කතා කළෙමු. ඔහු පැවසුවේ මෙවැන්නකි.
මේ එක ව්‍යාපෘතියක්වත් ෆේල් වෙලා නෑ. බදුල්ල, බණ්ඩාරවෙල රුවන්වැල්ල ෆේල් කියන්නේ මේකයි. බණ්ඩාරවෙල එක තවම හදලා නෑ. වැඩ කරනවා කියන කතාව බොරු. බණ්ඩාරවෙලට තවම එයාලට භාර දීලා නෑ. මල අපද්‍රව්‍ය ගෙන එනවා. බදුල්ල සහ බණ්ඩාරවෙල අඩුපාඩුවක් තියෙනවා නම් බලමු. රුවන්වැල්ල ෆේල්. රුවන්වැල්ල ඒක කර ගන්න ප්‍රාදේශීය සභාවට තේරෙන්නේ නෑ. එයාලට වුවමනාවක් නෑ. ඒක නිසා ඒක ෆේල්. හරි මේ ව්‍යාපෘති ෆේල් වුණේ ඇයි කියලා බලලා තමයි කියන්න වෙන්නේ යැයි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා කීය. අනික් දෙක ගැනත් බලලා මම කියන්නම්* ව්‍යාපෘති අධ්‍යාක්ෂවරයා කීය.
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
සුධාරිකා ගුරුසිංහ