පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය සතු මහාවංශය පුස්තකය ලෝක උරුමයක් වශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්‍රෙ ඔසෝලේ මැතිනියගේ ප්‍රධානත්වයෙන් එම පුස්තකාලයේදී පැවැත්විණි.
එම අවස්ථාවට එක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක මහතා සඳහන් කර සිටියේ පත්තිරු 233 කින් සමන්විත මෙම පුස්කොළ පොත, ක්‍රිස්තු පූර්ව 06 වැනි සියවසේ සිට 1815 දක්වා අඛණ්ඩව එකම භාෂා ශෛලියකින් ලියවී ඇති බවක් පෙනීයන බවත්, ලෝකයේ ඇති එවැනි එකම පොත මෙය බවත්ය. මෙම පුස්කොළ පොත ලෝක උරුමයක් බවත්, එහි එක්තරා ආගමක එක්තරා ජාතියක ඉතිහාසයක් එහි ලියැවී නොමැති බවත්, එහි පදනම වී ඇත්තේ ලංකාවේ අඛණ්ඩ ඉතිහාසය බවත් ඔහු පැවසීය. ඇතැම් වෙනත් රටවලට අඛණ්ඩ ඉතිහාසයක් ඇතත් මේ ආකාරයට දින වකවානු අනුව ලියවී ඇති පැරණිතම ලියවිල්ල මෙය බවද මහාචාර්යවරයා පැවසීය.
ඉන්දියාවේ ඉතිහාසය ලියවී ඇති රාජතරංගනී පොත ලියවීම ආරම්භ වී ඇත්තේ මහාවංශය ලිවීම ආරම්භ වී වසර දහසකට පමණ පසුව බවද මහාචාර්යවරයා කීය. ඔවුන්ගේ ඉතිහාස මූලාශ්‍ර ආවරණය කරගැනීම සඳහා පවා මහාවංශය උපකාරී වී ඇත්තේ බුදුන් වහන්සේගේ උප්පත්තියේ පටන් ඔවුන්ගේ රාජවංශ ගැන ද මහාවංශයේ සඳහන්ව තිබීම හේතුවෙන් බව පැවසූ මහාචාර්යවරයා, ඒ තුළින් ඉන්දියානු ඉතිහාසය ආවරණය කරගැනීමට ඔවුන්ට හැකිව තිබෙන බව ද පැවසීය .
මෙම මහා පුස්තකය ජාතියක් නියෝජනය වන්නක් පමණක් නොවන බව සඳහන් කළ මහාචාර්යවරයා, ඒ තුළ කාලානුරූපීව සෑම ජාතියක් ගැනම කරුණු ඇතුළත්ව තිබෙන බව අවධාරණය කළේය.
රටක ඉතිහාසය යුගයෙන් යුගයට සනිටුහන් කරමින් අපගේ අතීත මුතුන් මිත්තන්ගේ සාක්‍ෂරතාව ලොවටම කියා දෙන ලොව ඇති පැරණිතම ලියවිල්ල වශයෙන් එම පුස්තකය නම් කළ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අවධාරණය කර සිටියේ, මෙම පුස්තකය මින් ඉදිරියට මුළු ලෝකයටම උරුම පුස්තකයක් බවයි.
ලෝකයේ දීර්ඝතම හා අඛණ්ඩව ලියන ලද ඓතිහාසික වාර්තාවක් වශයෙන් සැලකෙන මහාවංශයට පරිණත ඉතිහාස සම්ප්‍රදායන් අනුගමනය කරමින් ක්‍රිස්තු පූර්ව 06 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමිකව 1815 උඩරට ගිවිසුම අත්සන් කොට මෙරට රාජ වංශය අවසන් වන තෙක් ඉතිහාස තොරතුරු ඇතුළත් වීම විශේෂත්වයකි.
දකුණු ආසියාවේ මෙම ගණයට අයත් පළමු ඉතිහාස ග්‍රන්ථය මහාවංශය බවට තහවුරු වී ඇත. මෙම ග්‍රන්ථයේ ඇති නිරවද්‍යතාව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ දී කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් සනාථ වී තිබේ. එය බුදුන් වහන්සේ ජීවත්වූ කාලය හා අශෝක අධිරාජයා වැනි රජවරුන් ජීවත්වූ සමය මෙන්ම, ලෝක ආගමක් ලෙස බුද්ධාගමේ නැගීම පිළිබඳ තීරණාත්මක තොරතුරු අඩංගු දකුණු ආසියාවේ වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස සැලකේ.
අග්නිදිග ආසියාවේ බුද්ධාගම ප්‍රචලිත කිරීමට මෙම ලේඛනය සැලකිය යුතු කාර්යභාරයක් සිදුකොට ඇති අතර, ඉන්දියානු ඉතිහාසයේ අශෝක අධිරාජයාගේ අනන්‍යතාවට අද්විතීය ලෙස දායක වී තිබේ. රටවල් කීපයක මහාවංශයේ අත්පිටපත් ගණනාවක් පැවතීම මෙන්ම අග්නිදිග ආසියාතික සහ යුරෝපීය භාෂා කීපයකට මහාවංශය පරිවර්තනය වී තිබීම විශේෂත්වයකි. එය අති විශාල ඓතිහාසික, සංස්කෘතික වචනාර්ථ සහ ශාස්ත්‍රීය වටිනාකම්වලට සාක්ෂි දරයි.
එම අවස්ථාවේදී එම පුස්තකයට හිමි ලෝක උරුම සහතිකය යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා වෙත පිළිගන්වනු ලැබූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා විසින් යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ පේරාදෙණිය විශ්වවිද්‍යාල ගමන සනිටුහන් කරමින් විශේෂ පොතක්ද තිළිණ කරනු ලැබීය. මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපති ආචාර්ය එම්. මහේශ්වරන් මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ .
ෂේන් සෙනෙවිරත්න