බිස්කට් සහ රසය වෙන්කළ නොහැක්කකි. ලංකාවේ මැලිබන් ව්‍යාපාරය පටන් ගන්නා විට තිබුණේ ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ බිස්කට්ය. වසර කීපයකට පෙර මෙරට ප්‍රකට දේශපාලනඥෙයකු වන මර්වින් සිල්වා බිස්කට් කොම්පැනියක උදෑසන ‘ටී පාටි’ වැඩසටහනකට සහභාගි වූයේ ආරාධනයක් අනුවය.
“මොනවද කන බිස්කට්” නිවේදකයා මර්වින් සිල්වාගෙන් ඇසුවේය.
“මැලිබන් බිස්කට් තමයි. මැලිබන් මුදලාලි අක්මීමන, අපේ දකුණෙනේ.’’
නිවේදකයා නිරුත්තර විය. වැඩසටහනේ පසුබිම සකසා තිබුණේ වෙනත් බිස්කට් වර්ගයකිනි. මේ වැඩසටහනට බරපැන දරා තිබුණේ එම සමාගමයි.
‘‘කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැහැයි’’ කියමනක් ඇත්තේ මේ නිසාය. මැලිබන් ව්‍යාපාරය ලෝක ප්‍රකට ව්‍යාපාරයක් කළ අභීත සෙන්පතියා පිළිබඳ පසුගිය බදාදා සෝබර ආරංචියක් ආවේය.මෙතෙක් බෙදා දුන් රසවත් දේ වෙනුවට අමිහිරි පුවතකි එය. ඔහු සියල්ලන් හැරදමා මෙලොව හැර ගොස්ය. මැලිබන් සභාපති ඒ. ජී. රත්නපාල සමරවීරය. දිවියෙන් සමුගන්නා විට ඔහු 83 වැනි වියේ පසුවිය. මැලිබන් ව්‍යාපාරයේ ආරම්භයත්, මැලිබන් නිර්මාතෘ ඒ.ජී. හින්නිඅප්පුහාමිගේ ජීවිත කතාවත් ඒ. ජී. සමරවීරගේ මියෙන තුරු ජීවිත කතාවත් එකක් නිසා මුලින්ම මැලිබන් ව්‍යාපාරය ආරම්භ වූ අයුරු සිහිපත් කිරීම කළගුණ සැලකීමක් ලෙස කළ යුතුමය.
ගාල්ල, අක්මීමන, ඉහළගොඩදී ඒ. ජී. හින්නිඅප්පුහාමි උපන්නේ 1902 දෙසැම්බර් දෙවැනිදාය. හින්නිඅප්පුහාමිගේ පවුලේ සිටි සහෝදර සහෝදරියන් ගණන නවයකි. පවුලේ ආර්ථිකය නරක තත්ත්වයට පත්වෙන විට හින්නිඅප්පුහාමිගේ පියා වූ කොරනේලිස් අප්පුහාමි තම පුතා රැකියාවක් පිණිස කොළඹ ප්‍රදේශයට එවන ලදී.
හින්නිඅප්පුහාමි කොළඹ ආවේ තාත්තාගෙන් ඉල්ලාගත් ශත 75ක් අතැතිවය. කොළඹ නවතින්නට හින්නිඅප්පුහාමිගේ පිහිටට ආවේ තම බාප්පා වූ කුරුං අප්පුහාමිය. එදා සුද්දන්ගේ අණසක යටතේ පැවති ‘මැකිනොන් මැකන්සි’ කැන්ටිම හින්නිඅප්පුහාමිගේ මුල්ම රැකියා පියස විය. එවකට මේ කැන්ටිම පිහිටියේ කොළඹ කොටුවේ චැතම් වීදියේය. සුද්දන්ගේ කැන්ටිමේ රස්සාවට වැඩි ආයුෂ තිබුණේ නැත. හින්නිඅප්පුහාමිගේ සහායට ආ බාප්පා වූ කුරුං අප්පුහාමි විසින් හින්නි අප්පුහාමිට රැකියාවක් සොයා දුන්නේ වික්ටෝරියා හෝටලයේය.
තමන් කළ සුළු රැකියාවලින් ලැබුණ වැටුපෙන් කොටසක් හින්නිඅප්පුහාමි එකතු කළේ තමාගේම ව්‍යාපාරයක් ඇරඹීමටය. 1921 දී ඔහු තම බලාපොරොත්තු ඉටු කරගත්තේය. ඔහු මැලිබන් වීදියේ කුඩා කඩයක් රුපියල් 35/-කට කුලියට ගත්තේය.
මැලිබන් වීදියේ ආරම්භ කළ එම හෝටලය ‘මැලිබන් හෝටලය’ විය. එහි අයිතිකරු මැලිබන් මුදලාලි බවට පත්විය. කඩයේ ආදායම දවසකට රුපියල් 75-80 ත් අතර ඉහළ නගිද්දී මැලිබන් මුදලාලි තම මල්ලිලා දෙදෙනා වූ වික්‍රමපාල හා ජිනදාස තම සහායට ගෙන්වා ගත්තේය.
තුන් සොහොයුරු මැලිබන් ව්‍යාපාරය කෙතරම් දියුණු වූවාදැයි කිවහොත් පිටකොටුවේ කිහිප තැනක මැලිබන් හෝටල් විවෘත විය. හෝටල්වලට අවශ්‍ය පාන් පිටින් ගන්නවාට වඩා තමාගේම බේකරියක් ගැන සිහින මැවූ මැලිබන් මුදලාලි 1932 දී කොටහේන වෑන්රායන් වීදියේ බේකරියක් විවෘත කළේය.
මැලිබන් මුදලාලි විස්කෝතු රාත්තල් කිහිපයක් හැදූ බිස්කට් වැඩේට අත ගැසුවේ එතැනදීය. හදාගත් විස්කෝතු විකුණාගැනීමට සතියක් දුක් මහන්සි වෙන්නට මැලිබන් මුදලාලිට සිදුවිය. කොළඹ හතේ බංගලාවලට නම් ඒවා වද්දාගත්තේ නැත. කොළඹ හතේ බංගලාවල ළමාතැනීලා හින්නි අප්පුහාමිගේ බිස්කට් හඳුන්වන ලද්දේ ‘ලෑතර’ නමිනි. එකල ලංකාවේ රජකළේ හන්ට්ලි ඇන්ඩ් ෆාමර්ස් වැනි ඉංගිරිසි විස්කෝතුය. තමන්ගේ විස්කෝතුවලට ‘ලෑතර’ යයි කරන අවමන් අසා සිටි මැලිබන් මුදලාලි අදිටනක් කරගත්තේ ලංකාවේ සුද්දන්ගේ බිස්කට් ඒකාධිකාරය බිඳ දැමීමටය.
1952 ජූලි 19 වැනිදා මැලිබන් මුදලාලි නැව් නැග්ගේ බිස්කට් මැසිමක් ගේන්න එංගලන්තයටය.
1954 දී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට හින්නිඅප්පුහාමි යාන්ත්‍රිකව බිස්කට් නිෂ්පාදන ආරම්භ කළේය. එහෙත් විදේශීය බිස්කට් පෙට්ටියක් ගෙදරකට ගෙන ගියාට ‘මැලිබන්’ බිස්කට් පෙට්ටියක් ගෙන යාම මුලින් කවුරුත් සැලකුවේ මදිකමක් ලෙසය. මැලිබන් ආයතනයේ දේශීය බිස්කට් ව්‍යාපාරය දුටු එවක රජය විසින් 1958දී විදෙස් විස්කෝතු තහනම් කරන ලදී.
මේ වෙන විට හින්නිඅප්පුහාමිගේ පුත් සමරවීර මැලිබන් ව්‍යාපාරයට ටිකෙන් ටික සම්බන්ධ වී හමාරය.
‘‘තාත්තට කියන්නේ මැලිබන් මුදලාලි, කඩවලට කියන්නේ මැලිබන් හෝටල්. සිසිල් බීමවලට තාත්තා දැම්මේ මැලිබන් සිසිල් බීම කියලා. අපි පටන්ගත්ත අලුත් චොකලට් කොම්පැනියට දාමු ‘‘සෙලර්ස්’’ කියලා මැලිබන් මුදලාලිගේ පුත් සමරවීර තාත්තාට යෝජනා කළේය.
මීට අමතරට මේ වකවානුව වෙන විට මැලිබන්, කිරිපට්ටි ව්‍යාපාරයකට ද අතගසා තිබුණි.
ලෝක ප්‍රවණතා ගැන හොඳ අවබෝධයකින් සිටි සමරවීර තම තාත්තා වූ මැලිබන් මුදලාලිට යෝජනා කළේ මැලිබන් බිස්කට් ලෝක වෙළෙඳපොළට පිවිසිය යුතු බවය. මුලින්ම ලංකාවේ මැලිබන් බිස්කට් තොගයක් පිටරට යවන ලද්දේ වසර 60කට පෙර 1964 දී ය.
2004 දී මැලිබන් ව්‍යාපාරයට වසර 50ක් පිරුණුවිට රත්මලාන කර්මාන්ත ශාලාවේදී උත්සවයක් පැවැත්වුණි. එහිදී මැලිබන් සභාපති රත්නපාල සමරවීර මැලිබන් බිස්කට් අපනයනය කළ අවස්ථාව ගැන තම අතීත මතකය ස්මරණය කළේ මෙසේය.
“බිස්කට් නිෂ්පාදනයේදී එහි ප්‍රමිතිය තම ආගම ලෙස සැලකිල්ලට ගන්න කියල තමයි මගේ තාත්තා හින්නිඅප්පුහාමි මට බිස්කට් අපනයනය කරන්න පටන් ගන්නකොට කිව්වේ. තාත්තා මටත් සහෝදර සේවක සේවිකාවන්ටත් දුන්න උපදේශය මම අද දක්වා පිළිපදිනවා. “දෙස් විදෙස් බිස්කට් වෙළෙඳ පොළේ මැලිබන් බිස්කට් ජයග්‍රහණය කරවන්න.” ඒ උපදෙසයි.
1954 දී මුල් මැලිබන් කර්මාන්ත ශාලාව විවෘත කොට ඇත්තේ සර් ජෝන් කොතලාවල විසිනි.
‘‘තාත්තා ඒ කාලේ කියනවා සර් ජෝන් කිව්වලු එංගලන්තේ සුද්දන්ටත් කලක් ලංකාවේ බිස්කට් හැදුවේ තමුසෙනේ. දැන් මේ බිස්කට් නම් මරුවට තියෙනවා. හැබැයි හැමදාම තමුසේ හොඳ බිස්කට් හදනවා’’
මැලිබන් මුදලාලි විවාහයට පත්වෙන්නේ 1926 දී ය. ඇය කොත්මලේ ගම්බද පවුලක තරුණියක වූවාය. ඇගේ නම කේ.කේ. විමලාවතීය.
මැලිබන් යුවළට මුලින්ම දරු සුරතල් බලන්නට ලැබෙන්නේ 1930 දී ය. ඉන්පසු දරුවන් නවයකගේ දරු සුරතල් බලන්නට මේ යුවළ සමත්විය. ඉන්පසු මැලිබන් මුදලාලි බම්බලපිටියේ පර්චස් හතළිහක් ගෙන නිවසක් තැනීය. හින්නිඅප්පු නම් යුවලට උපන් දරුවන් නවයෙන් හත් දෙනෙක්ම දියණියෝ වූහ.
වැඩිමහල් පුතා වූයේ පසුගිය බදාදා අභාවප්‍රාප්ත වූ රත්නපාල සමරවීරය. සමරවීරගේ සහෝදරියන් විවාහ වූ සමාජයේ ඉහළ තලවල අය අතර සුප්‍රකට ලේඛකයකු වූ අධිනීතිඥ කේ. ඩී. පී. වික්‍රමසිංහ සුවිශේෂ චරිතයක් විය.
‘‘අපි හිටියේ බම්බලපිටියේ සාගර පාරේ ගේක. කොච්චර සේවකයෝ හිටියත් තාත්තට ඉඳෙන මාළු බත් පිනි හැදුවේ අම්මාගේ අතින්ම තමයි. තාත්තා නැත්නම් කන්නේ නෑ.” සමරවීර තම මතකය අලුත් කරමින් වරක් පැවසීය.
මැලිබන් කර්මාන්ත ශාලාව රත්මලානට ගෙන එන්නට අක්කර 10ක ඉඩමක් මිලදී ගත්තේ 1961 දීය. රත්මලානේ කර්මාන්ත ශාලාව ආරම්භ වීමත් සමග එංගලන්තයේ බිස්කට් විශේෂඥයකු මැලිබන් කර්මාන්ත ශාලාවේ සේවයට පැමිණියේ ඒ කාලේ රුපියල් දහස් ගණනක පඩියකටය. අලුත් විශේෂඥයන් අලුත් බිස්කට් මැෂිම සමග ඇවිත් හදපු බිස්කට් වෙළෙඳපොළෙහි මැලිබන් කීර්ති නාමයට බරපතළ හානියක් විය.
‘‘මට එතකොට අවුරුදු 18 යි. මං තාත්තට කිව්වා මේ සුද්දාව මට විශ්වාස නැහැ. බිස්කට්වල මාත්තුවවත් පෙන්නන්නෑ කියලා. මං කිව්ව තාත්තට මේ සුද්දව අයින් කරන්න කියල.”
සමරවීර පුතාගේ උපදෙස් පිට මැලිබන් මුදලාලි සුද්දාගේ ටිකට් කපා එංගලන්තයට යවා වෙනත් බිස්කට් විශේෂඥයකු යොදා නිෂ්පාදන කටයුතු රත්මලානෙන් ඇරඹීය. මැලිබන් ව්‍යාපාරය ගැන සඟරාවක්ද රත්මලාන කර්මාන්ත ශාලාව ආරම්භ කළ දින නිකුත් විය. සඟරාවේ නම ‘මැලිබන් විත්ති’ නම් විය. එහි කර්තෘවරයා මැලිබන් මුදලාලිගේ සමීපතම පත්තර මිතුරකු වූ ගුණදාස ලියනගේය.
රත්නපාල සමරවීර නිතර පැවසුවේ තම පියා ආරම්භ කළ මැලිබන් ව්‍යාපාරයේ මුදුන් මල්කඩ මැලිබන් බිස්කට් බවය. එම්. ජී. ඕර්ගනයිශේෂන්, ලිට්ල් ලයන්, සෙලර්ස් චොකලට් සහ වොන්ඩර් පැක් ද මැලිබන් ව්‍යාපාරය ආරම්භ කළ ව්‍යාපාර විය. රත්නපාල සමරවීර මියෙන තුරුත් තමාගේ පියා ආරම්භ කළ මැලිබන් ව්‍යාපාරය රැකගත් සේවකයන් ඇතුළු සියලු දෙනාට තම ප්‍රණාමය පුදකර සිටියේය.
රත්නපාල සමරවීර මියෙන තුරුත් කියා සිටියේ මැලිබන් ව්‍යාපාරය රැකියා ලබාදිය හැකි සුවිශේෂ එකක් විය යුතු බවය. ජනතාවට තත්ත්වයෙන් උසස් නිෂ්පාදන හඳුන්වා දෙමින් අපේ රටට විදේශ විනිමය හා කීර්තිය ගෙන ආ යුතු බවය.
“මට මග පෙන්වූයේ මගේ පියා විශ්වාස කළ සහ පිළිපැද්ද ආචාර ධර්මයි. මේ රටේ වගකිව යුතු පවුලක් සහ පුද්ලයෙකු ලෙස මම ඒ ආචාර ධර්ම තුන්වැනි පරම්පරාවටත් ලබා දුන්නා. මගේ පියා වරක් මට කිව්වා “පුතේ ඔයාටවත් ඔයාගේ පවුලේ සාමාජිකයන්ටවත් කන්න බැරි නුසුදුසු බිස්කට් කවදාවත් වෙළෙඳපොළට නිකුත් කරන්න එපා” කියලා. ඔහු කියූ දේ වෙනත් වචනවලින් කියනවා නම් තමන්ගේ පාරිභෝගිකයන්ට තමන්ගේ පවුලේ සාමාජිකයන්ට වගේ සලක්නන කියන එකයි. මම ඒ සංකල්පය දැඩිව විශ්වාස කරනවා” රත්නපාල මහතා වරක් කියා තිබුණි.
ඔහුගේ අරමුණ සපල විය. ඔහු සුබසාධක කටයුතු හා පුණ්‍ය කටයුතුවල නිරතවෙමින් සමාජය සුවපත් කළේය. ඔහුගේ අභාවයත් සමගම එම මෙහෙවර ඉදිරියට ගෙනයාම ජාතික ව්‍යාපාරයක් වූ මැලිබන් ආයතනයේ තෙවැනි පරම්පරාවේ යුතුකම වෙනු නියත ය.
මහින්ද රණවීර