මිනී කඳු උඩ ඉඳන් තවමත් හඬන ගම් අටක්



තිස් වසරක කුරිරු යුදමය අත්දැකීම් සහිත ජනතාවක් සිටින රටක, ඒ අතීත කඳුළු මතක සිහිකරමින් සුසුම් හෙළන කැබිතිගොල්ලෑව, යකාවැව බස් බෝම්බය පුපුරා වසර දහඅටක් ගතවී හමාරය. ඒ කම්පිත සිදුවීම 2006 ජුනි මස 15 වැනිදා කැබිතිගොල්ලෑව යකාවැව දී සිවිල් වැසියන් 69 දෙනෙකුට මරු කැඳවමින් පුපුරා ගියේය. වසර දහ අටක් පුරා අත්විඳි දුක්ඛ දෝමනස්සයන් ඉතිරි කර ඔවුන්ගේ ජන ජීවිතය හා බැඳුණු දහසකුත් එකක් ප්‍රශ්නවලට “අංශු මාත්‍රයක” හෝ උත්තර ඉල්ලන මායිම් ගම්මාන දෙස බලධාරීන් තවමත් බෙල්ල හරවා බලා නොමැති බවට ගම්මු චෝදනා කරති. 

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි තල්ගහවැව, නිකවැව, කණුගහවැව, යකාවැව, හල්මිල්ල වැටිය, විහාර හල්මිල්ලෑව, වයි හන්දිය සහ වවුනියා පාර යන මායිම් ගම්මාන අටේ ජීවත් වන ගම්වාසීහු දැඩි දුෂ්කර ජීවිතයකට පාත්‍රව සිටිති. මෙම ගම්මාන අටේ දරුවන් එකසිය පනහකට වැඩි පිරිසක් කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයට දිනපතා ලංගම බස් රථයක නැගී පැමිණෙන විලාසය පිළිබඳව මවුපියන් විස්තර කළේ කඳුළු පිරි දෑසිනි.
 

අනතුරට ලක්වූවන් ගැන සොයා බැලීමට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ස්ථානයට ගොස් සිටි අයුරු


 

කැබිතිගොල්ලෑව නිකවැව පදිංචි දිනේෂා ලක්මාලි අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“අපේ ළමයින්ට කැබිතිගොල්ලෑවේ ඉස්කෝලෙට යන්න බස් රථයක් නෑ. මේ ළඟම තියෙන නිකවැව කෑම්ප් එක ළඟින් තමයි උදේ බස් එක පටන් ගන්නේ. හමුදාවේ මහත්වරු දහයක් පහළොවක් විතර උදේ බස් එකේ එනවා. එයාලා තනි තනියෙන් තමයි ආසනවල ඉඳගෙන ඉන්නේ. ඒකට විරුද්ධ වෙන්න අපට බැහැ. ඒත් ඇතැම් වෙලාවට දැරියන් ඒ ආසනවල ඉඳගන්න මැළිකමක් දක්වන බව කියනවා. කිසිම දවසක අපේ ළමයින්ට ඉස්කෝලෙ පටන් ගන්න කලින් වෙලාවට යන්න ලැබෙන්නේ නෑ. අපේ ගමේ ඉඳලා කැබිතිගොල්ලෑවට කිලෝමීටර් පහළොවක් විතර තියෙනවා. එකම බස් එක පස් වතාවක් ගමට එනවා. ඉස්කෝලෙ නැති දවස්වලට ඒ එන වාර ගණන අඩුවෙනවා. එතකොට සීසන් අරගෙන ඉන්න අපේ දරුවන්ට ටියුෂන් යන්න විදියක් නෑ. මෙහෙම වෙනකොට ළමයි අමාරුවෙ වැටෙනවා. එයාලට ඉගෙනීමත් එපා වෙන තැනට දැන් පත්වෙලා ඉන්නේ. කැබිතිගොල්ලෑව ඩිපෝවෙන් පාසල් බස් රථයක් ඉල්ලන්න ගියාම නිදහසට කරුණු කියනවා. මහපොළොවත් එක්ක පොර බදලා ජීවත් වෙන අපට අපේ ළමයින්ගේ අනාගතය හදාගන්න වෙනම පාසල් බස්රථයක් ලබා දෙන්න කියලා තමයි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.”  
 
එදා දරුණු ලෙස යුද්ධයෙන් බැට කෑ නිකවැව ගමට යාබද තල්ගහවැවද වෙඩි උණ්ඩයට සහ බෝම්බයට බිලිවූ ගමකි. 
 
ඒ ගමේ පදිංචි ජී. දිලිනි මධුෂිකා තම දරුවන්ට පාසල් බස්රථයක් නොමැති නිසා එම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව වැඩිදුර බලාපොරොත්තු තැබිය නොහැකි යැයි දුක්මුසුව කටහඬ අවදි කළාය.  
 
“කැබිතිගොල්ලෑවේ පැත්තෙ ඉස්කෝල බස් එකක් හරි සිසු සැරියක් හරි නැති එකම ප්‍රදේශය තමයි මේ අපේ ගම්මාන කිහිපය. උදේට එක බස් එකක් ගමට එනවා. ඒ බස් එකේ ගම්මාන හය හතක මිනිස්සු දිනපතාම නගරෙට යනවා. ඉස්කෝලෙ ළමයිනුත් ඒකට නගිනවා. බස් එක ලෝඩ් වෙනකොට අපේ ළමයින්ට හුස්ම ගන්නවත් බැරි තරමට හිරවෙනවා. හැමදාම මේ දුක විඳගෙන ඉස්කෝලෙට යනකොට සමහර දවස්වලට පළමුවැනි පීරියඩ් එකත් පටන් අරගෙන. අපේ ළමයින්ට කවදාවත් උදේ රැස්වීමට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබී නෑ. එක හමාරට ඉස්කෝලේ ඇරුණාම ගෙදර එන්න බස් එකක් නෑ. බස් එක එන්නේ දෙක හමාරට. පැයක කාලයක් දරුවන් නිකරුණේ බඩගින්නේ සාගින්නේ වේලි වේලි ටවුමේ ඉන්නවා. මේ පැය ඇතුළත දරුවන්ගේ ආරක්ෂාවත් ප්‍රශ්නයක්. කියන්න තියෙන වගකිවයුතු හැම නිලධාරියටම අපි මේ ගැන කියලා තියෙනවා. හැබැයි අපේ දරුවො තවමත් තැලිලා පොඩි වෙලා මිරිකිලා පොල් පැටෙව්වා වගේ තමයි ඉස්කෝලේ යන්නේ.” කටුක මහ පොළොව සමගින් පොරබදා ජනතාවට බත සපයන නිවහල් මිනිසුන් වූ ඔවුන්ට තවත් බොහෝ දෑ අහිමිව ඇත. ඒ සියල්ල ඉටුකර ගැනීමට ආයාචනා කිරීම හෝ ඉල්ලා සිටීම පසෙක දමා ඔවුන් බලධාරීන් හමුවේ වැඳවැටෙන්නේ තම ප්‍රාණය හා සමාන දරු දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පමණකි. අධ්‍යාපනය යැයි කීවද විශාල ඉල්ලීම් තොගයක් එහි නැත. ඇත්තේ එකම එක ඉල්ලීමක් පමණකි. ඒ මෙම මායිම් ගම්මානවල සිටින පාසල් දරුවන්ට පාසල් බස්රථයක් හෝ සිසු සැරියක් ලබා දෙන ලෙසය. 
 
කණුගහවැව පදිංචි ටී. ජයසේන මහතා ඉරිදා ලංකාදීපයෙන් කළ ඉල්ලීම වනුයේ කියාගන්න කෙනෙකු නොමැතිව සිටි අපේ දුක අහන්න ඉරිදා ලංකාදීප පුවත්පතින් පැමිණියා සේම අපේ ළමයි ඉස්කෝලේ යන හැටි බලන්න වගකිවයුතු මහත්වරුන්ට එන්න කියන්න කියාය.
 
යකාවැව යනු මිනී හැටපහක් එක පෙළට ගොඩගැසූ ගමක් බව කනගාටුවෙන් වුවද පිළිගත යුතුය. යකාවැව ගමේ සමාජ සේවිකාවක වූ එම්. මල්ලිකාවතී මෙසේ ප්‍රශ්න කළාය.
 
“මා අපේ පළාතේ බලධාරීන්ගෙන්, වගකිවයුත්තන්ගෙන් අහන්නේ එකම එක ප්‍රශ්නයයි. අපි එක වතාවක් යුද්ධයෙන් අවතැන් වුණා. කවුරුවත් අපට මේ වෙනතුරු පිහිටක් පිළිසරණක් වුණේ නෑ. දැන් අපේ දරුවොත් ඉස්කෝලේ යාගන්න බැරුව දහදුක් විඳිනවා. ඒක නිසා අපි දෙවැනි වතාවටත් අසරණ වෙලා. ජනතාවක් දෙවතාවක් අවතැන් කරන්න පුළුවන්ද ?” 
 
බස් එකක් ගැන නීරස බස් ගොඩක් ඇසෙද්දී හල්මිල්ලවැටිය ගමේ පදිංචි දුෂානී රුද්‍රිගු පැවසූයේ වෙනස්ම කතාවකි.
 
“සිසුන්ට පාසල් බසයක් නෑ කියන්නේ ලොකු අඩුවක්. උදේ බස් එක එන්නේ පොල් පැටෙව්වා වගේ ළමයින් සහ ගමේ මිනිස්සු පුරවාගෙන. ඒ අතර හැමදාම හමුදාවේ දහයක් පහළොවක්වත් අඩුම ගානේ බස් එකේ ඉන්නවා. දැරියන් පවා පාපුවරුවේ යනවා. බැරිම තැන මා මේ බව පොලිසියටත් දවස් කීපයක් කෝල් කර කිව්වා. සිසු දරුවන්ගේ පිටේ එල්ලාගෙන තියෙන බෑග් එක කොන්දොස්තර ගලවලා බෝල ගහන්නා වගේ ඒක උඩට වීසි කරනවා. ඉස්කෝලෙට ගිහිල්ලා බලනකොට බෑග් එකේ තියෙන බත් පාර්සලය කන්න බැරි තරමට පොඩි පට්ටම් වෙලා. මේකද ඉස්කෝල දරුවන්ගේ සුන්දර පාසල් ජීවිතය. අසරණ මිනිස්සු තව තවත් පාගලා දමන්න එපා. මේ ගම්මාන හතට ඉස්කෝල බස් එකක් ලබා දෙන තුරු ඉදිරියේදී මවුපියන් දැඩි ක්‍රියාමාර්ගයකට එළැඹෙනවා.” 
 
 

ටී. ජයසේන


 

දිලිනි  මදුෂිකා


 

දිනේෂා      ලක්මාලි


 

එම්. මල්ලිකාවතී


 

දුෂේනි රුද්‍රිගෝ


 

කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති පී. සේනාරත්නගේ අදහස වූයේ මෙවැන්නකි.

 
“මේ ගම්වල ළමයි ඉස්කෝලෙට එද්දි විනාඩි කිහිපයක් පරක්කු වෙනවා තමයි. මේක ඒ දරුවන්ටත් ඉස්කෝලේ ගුරුවරුන්ටත් ලොකු ප්‍රශ්නයක්. මා මේ ගැන ඩිපෝ කළමනාකරු එක්ක කතා කළා. පුළුවන් නම් තව විනාඩි දහයක් විතර කලින් බස් එක එවන්න කියලා මා ඉල්ලීමක් කළා. මගේ අදහසත් මේ කියන ගම්මානවලට පාසල් බස් රථයක් අත්‍යවශ්‍යයි කියන එක.”
 
පාසල් බස් රථයක ගැටලු‍ව පිළිබඳ අප කැබිතිගොල්ලෑව ලංගම ඩිපෝවේ කළමනාකරු එන්. නලීන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.
 
“පාසල් සිසුන් වෙනුවෙන් සහ මගීන් වෙනුවෙන් එක බස් එකක් තමයි යොදවා තිබෙන්නේ. ඒ බස් එක වාර හයක් දුවනවා. මම කියලා තියෙනවා උදේම එන බස් එකට ඉස්කෝලේ ළමයි විතරක් දාගන්න කියලා. ආපහු උදේ අටට ගිහිල්ලා ඉතුරු මගීන් අරගෙන එන්න කියලා. මා අදාළ රියැදුරන්ට උපදෙස් දී තියෙනවා. ඒක කොයි විදියට සිද්ධ වෙනවද කියලා මම හොයලා බලන්නම්. ඉස්කෝලේ එකයි තිහට ඇරුණාම දෙකයි තිහ වෙනකම් ළමයින්ට රස්තියාදු වෙන්න වෙනවා කියන කතාව මා පිළිගන්නේ නෑ. අපි බස් එක දෙකට ඉස්කෝලේ ළඟට එවනවා. ඒ වෙලාවත් වැඩි නම් එකයි හතළිස් පහට බස් එක ඉස්කෝලේ ළඟට එවන්නට පුළුවන්ද කියලා මා සොයා බලන්නම්. ඔය කියන ගම්වලට පාසල් බස් රථයක් දැමිය යුතුයි කියන අදහසේ මාත් ඉන්නවා. ඒත් අපේ ඩිපෝවේ සේවක හිඟයක් තියෙනවා. දැනට අපිට කොන්දොස්තරවරු දොළහක් සහ රියැදුරන් අටක් පුරප්පාඩුයි. ඒවා සපුරාගෙන ඉහළ බලධාරීන් සමග මේ ගැටලු‍ව සාකච්ඡා කර පාසල් බස් රථයක් දීමට අදාළ වැඩපිළිවෙළක් හදන්නට උත්සාහ කර බලන්නම්.”
 
යකාවැව ගම් ප්‍රදේශයෙන් අප සමුගෙන එද්දී, දෑසට හසුවුණු බොහෝ නටබුන් ඔවුන්ගේ ජීවිතවලට සමීප බව අපට සිතුණි. ඔවුන්ගේ ගැටලු‍‍ පිළිබඳ කතා කරන විට යුද්ධය යන වචනය අමතක කළ නොහැකිය. එය ගසට පොත්ත සේ ඔවුන් සහ ඔවුන්ගේ දහසක් දුක් අඳෝනාවලට බද්ධ වී ඇත.
 
“දොයියෝ කියා සිටි බිළිඳුන් උකුල් කොනේ
බයියෝ කියා නළවන්නත් නොහැකි වුනේ
දෙයියෝ කොහෙද මේ ඩිංගට සැපත් වුනේ
අයියෝ කැබිතිගොල්ලෑවට ගහපු හෙනේ ”
 

කැබිතිගොල්ලෑව 
හේමන්ත රණසූරිය