මේ වාද්‍ය වෘන්දය ලෙහෙසි පහසු එකක් නොවේ මොනරාගල මහානාම විද්‍යාලයෙන් වාර්තා තැබූ වැඩක්


සාහිත්‍යය කන්න දැයි ඇසූ රටක සෞන්දර්ය විෂයන් පාසල්  අධ්‍යාපනයට අවශ්‍ය දැයි ඕනෑම අයෙකුට විමසිය හැකිය. සෞන්දර්ය විෂයයන් මගින් සමාජයට සිදුවන මෙහෙවර පිළිබඳව බොහෝ දෙනෙකුට නොවැටහෙන්නේ එය නූතන සමාජයේ සුළුකොට තැකීම නිසාය. මීට මාසයකට දෙකකට පමණ පෙර සිට සමාජ 
මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය  ඔස්සේ ප්‍රචාරය වූ පාසල් විෂය මාලාවෙහි සෞන්දර්ය විෂයයන් අනිවාර්ය නොකරන බව කියන කාරණාවට බොහෝ දෙනා නිහඬව සිටියේ එහි  ඇති බරපතළකම නොදැනය.
 
අතීතයේ පටන්ම පාසල් විෂය මාලාවේ අඩු සැලකිලි ලැබූ විෂය වූයේ සෞන්දර්ය විෂයයයි. සාමාන්‍ය පෙළ විභාගය දක්වා අනිවාර්ය විෂයක්ව තිබුණු සංගීත, චිත්‍ර, නැටුම් විෂයයන් තුනට දරුවන් අපමණ දක්ෂතාවක් දැක්වූවත් උසස් පෙළට එම විෂයයන් තුනෙන් එකක් හෝ හැදෑරීමට දරුවන්ට ඉඩකඩ ලැබුණේ කලාතුරකිනි. බොහෝ මවුපියන්ගේ  මතය වී තිබුණේ ගණිත අංශයෙන්, ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළට ලියා අසමත් වූවත් 
නම්බුය යන්නයි.
 
අපේ රටේ පාසල් විෂය මාලාවට සෞන්දර්යය විෂය එකතු වූයේ 1972 දීය. ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේය. එහිදී හය වැනි වසරේ සිට සෑම දරුවෙකුම පාසලේදී උගතයුතු අනිවාර්ය විෂයක්  ලෙස සෞන්දර්ය විෂයයන් හඳුන්වාදෙනු ලැබුණි. එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සැබෑම අරමුණ වූයේ 
චිත්‍ර, නැටුම්, සංගීතය, නාට්‍ය හා රංග 
කලාව වැනි විෂයන්  පිළිබඳව මූලික අවබෝධයක් ලබාදීමය.  
එම  කරුණු කාරණා එසේ සිදුවෙද්දී සෞන්දර්යය විෂය මාලාව දරුවන්ගේ ජීවිතයට මොනතරම් වෙනසක් කරන්නට තුඩු දෙන්නේ දැයි ලොවට පසක් කරන අපූරු භක්ති ගීත වැඩසටහනක් මොනරාගල මහානාම ජාතික පාසලේදී එළිදැක්විණි.
මොනරාගල මහානාම ජාතික පාසල මොනරාගල දිස්ත්‍රික්කයේ පමණක් නොව සමස්ත රට තුළම නම රැඳවූයේ අද ඊයේක නොවේ. සංගීතයට, නර්තනයට, චිත්‍ර කර්මයට සුවිශේෂී දස්කම් පෑ දරුවන් රැසක් මෙම පාසලෙන් බිහිවූයේ එම විෂයන් සඳහා මූලිකත්වය ගත්, එම විෂයන් තුළ ඇති වටිනාකම් මනාව අවබෝධ කරගත් විදුහල්පතිවරු මෙන්ම ගුරු මණ්ඩලයක් එදා සිට අද දක්වාම විදුහලට උරුම වූ බැවිනි.
“අමාදහර” බැති ගී වැඩසටහන සඳහා පෙරමුණ ගන්නේද එවක  විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ මේ වෙනවිට වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස උසස්වීම් ලැබූ බන්දුල රාජපක්ෂය.
 
“මහානාමය කියන්නෙ දක්ෂ දරුවන් පිරුණු තැනක්. විශේෂයෙන් සංගීතයට. මේ භක්ති ගීත ප්‍රසංගයට මුල් වන ඉරෝෂන් ශෂී මැණික්විටිය ගුරුවරයා සොයාගන්නෙත් මම. ඔහුගේ දක්ෂතාව දැකපු නිසා මගේ සේවා කාලය තුළ ඔහු පාසලට සම්බන්ධ කරගන්නවා. මීට කලින් පාසලේ මේ වගේ වැඩ සිදුවෙලා තිබුණත් මම තමයි යෝජනා කළේ භක්ති ගීත වැඩසටහන කරනවා නම් අනිවාර්යයෙන්ම වැඩි දරුවන් පිරිසකට අවස්ථාව දෙන්න ඕන කියලා. අඩුම තරමේ වාද්‍ය වෘන්දය සියයකට එහා පැත්තෙ ඉන්න ඕන කිව්වා. එතකොට ගායක කණ්ඩායම ඊට වඩා වැඩි 
වෙන්න ඕනනේ.
ඇත්තටම මම එහෙම යෝජනාවක් ගෙනාවේ කාරණාවක් උඩ. බොහෝ වෙලාවට ඔය වගේ දෙයක් පාසලක් ඇතුළේ ක්‍රියාත්මක වෙනකොට හැමදාම අවස්ථාව ලැබෙන්නේ එකම දරු පිරිසකට. සංගීත තරගයකට වුණත් ඉදිරිපත් කරන්න වෙන්නෙ සීමිත දරුවන් පිරිසක්. ඉතින් මෙහෙම අවස්ථාවකදී තමයි ​බොහෝ පිරිසකට අවස්ථාවක් හිමිවන්නේ. මේක ටිකක් බරපතළ අභියෝගයක්. ඒත් ශෂී ඇතුළු සංගීත  ගුරු මණ්‍ඩලය එය ඉතා කැමැත්තෙන් බාර ගත්තා.”
මෙම භක්ති ගීත කණ්ඩායම සඳහා වාදනයෙන් සහය වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව සියයකට වැඩි මිසක් අඩු නොවෙන අතර ගායනයෙන් එක් කණ්ඩායමකට දරුවන් දෙසීයකට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී තිබුණි.
“සෞන්දර්යය කියන්නෙ එක විෂයක් තමයි. නමුත් ඒ තුළින් නිවුණු  මිනිසෙක් බිහිකරන්න පුළුවන්. අද ගොඩක් දරුවො හඹායන්නෙ විෂය දැනුම විතරයි. ක්‍රීඩාව, සංගීතය, නර්තනය වැනි දේවල්වලට යොමුවනවා ඉතාම අඩුයි. එහෙම දරුවන්ට තමන්ගෙ ජීවිතේ එන පුංචි ප්‍රශ්නයක්වත් දරාගන්න බැහැ. අපට ඕන එහෙම දරුවන් නෙවෙයි. එහෙම හිතලම තමයි දරුවන් රැසකට වැඩි අවස්ථාවක් දෙන්න මේ වගේ වැඩසටහනක් දියත් කළේ.” යැයි හිටපු විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
“මහානාමයට එන්න කලින් මම වැඩ කළේ මැදිරිය රාජ්‍යානන්ද විදුහලේ. එම පාසලෙත් මේ වගේ වැඩසටහන් කරලා තියෙනවා. නමුත් මේවගේ වාද්‍ය වෘන්දයක් එක්ක නෙමෙයි. විදුහල්පතිවරයා මුලින්ම කිව්වා ප්‍රසංගය කරනවා නම් සංගීතය සපයන්න ඕන දරුවො පමණයි ගුරුවරු සම්බන්ධ කරගන්න එපා කියලා. එ්ක තමයි ලොකුම අභියෝගය. ඒ නිසා  හය වසරේ සිට දහතුන වසරේ සංගීතයට කැමති දරුවන් සහභාගී වුණා. ඇත්තටම ගණන් කළෙත් නැහැ දරුවන් සංඛ්‍යාව. සියයකට එහා පැත්තෙ හිටියා. වයලීන් පමණක් තිහකට ආසන්න සංඛ්‍යාවක් වාදනය කළා.”
එසේ  පැවැසුවේ විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු ලෙස කටයුතු කරන ඉරෝෂන් ශෂි මැණික්විටියයි. ඔහු සමග මෙම දැවැන්ත කාර්යය සඳහා විද්‍යාලයේ සංගීතය උගන්වන වයි.කේ. සරත් කුමාර, තේජා  සමනලී ෆොන්සේකා, චන්ද්‍රිකා පුස්සැල්ල, ගයනි කුමාරි යන ගුරුවරු කැපවීමෙන් වැඩ කළහ.
 
“බොහෝ දෙනකුගේ මතයක් තිබෙනවා මේ වගේ  බාහිර ක්‍රියාකාරකම් එක්ක පාසලේ දි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මගඇරෙනවා කියන එක. ඇත්තටම එහෙම නැහැ. මේ දරුවො පුහුණුවීම්වලට එන්නේ උදේ හයයි තිහට. අපි පාසල පටන් ගන්නකම් පුහුණුවීම් කරනවා. ඒ වගේම තමයි මේ වාදනය කරන බොහෝ දරුවො සංගීතය විෂයක් හැටියට පාසලේදි හදාරන දරුවො නොවෙයි. උසස් පෙළ ගණිතය, විද්‍යාව, වාණිජ්‍ය වැනි විෂයන් හදාරන දරුවොත් ඉන්නවා. ඒ දරුවො වෙහෙසක් දැනුණ හැටියෙ දුවගෙන එන්නෙ මෙතනට. මොන  විෂය හැදෑරුවත් හොඳ මිනිසෙකු වී සමාජගත වෙන්න සෞන්දර්ය විෂයන් වැදගත් කියන එක අපේ දරුවො වගේම ගුරුවරුත් හැමෝම අවබෝධ කරගෙන ඉන්නෙ. ඒක විශාල සතුටක්. මේ පාසලේ ගුරු මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ලබාදුන් සහයෝගය විශිෂ්ටයි. ඒ වගේම තමයි මම විශ්වාස කරනවා මේ වාද්‍ය වෘන්දය තමයි ලංකාවේ පාසල්  අතර තිබෙන විශාලම වාද්‍ය වෘන්දය කියලා.”
ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කොළඹට කිරි ගමට කැකිරි  සංකල්පය අදටත් බොහෝ විට වලංගු අතර ජනප්‍රිය පාසල් බොහොමයකට යාන වාහන ඇතුළු සියලු‍ වරප්‍රසාද ලැබෙද්දී අදටත්  ගම්වල දරුවෝ හැතැක්ම ගණන් දුරු කතර ගෙවා පාසල් යති. නගරයෙන් එපිට බොහෝ පාසල්වල විවිධ විෂයන් සඳහා ගුරු හිඟය අහස උසටය. ඒ අතර  ප්‍රධානම තැනක් ගන්නේ සෞන්දර්ය විෂයන්ය. ඒ සියලු‍ අභියෝග  මහානාමයටත් පොදුය. බොහෝ දරුවන්ගේ මවුපියන් ජීවන අරගලයට මුහුණදී සිටින හෙයින් මෙවැනි කර්තව්‍යයකදී ඔවුන්ටද බර පැටවිය නොහැකිය.
“මේ හැම වැඩක්ම පාසල හරහා අපි කළේ. හැම වියදමක්ම පාසල  දරාගත්තා. ඒත් මේ වෙද්දි පාසලට විශාල සංගීත භාණ්ඩ හිඟයක් තිබෙනවා. දරුවො වැඩි හරියක් වාදනය කරන්නෙ තමන්ගෙ  භාණ්ඩයක්. ඒවගේම තමයි මගේ සංගීත භාණ්ඩ පහළොවක් පමණ තියෙන්නෙත් පාසලේමයි. දරුවො වෙනුවෙන් ඒ ටිකත් දීලා තිබෙනවා. පොඩි වැඩක්  කරගන්නවත් පාසලට සවුන්ඩ් සෙට් එකක් නැහැ. අඩුපාඩු තිබෙනවා කියලා වැඩ නොකර බැහැ. ඒ තරම් මේ දරුවො දක්ෂයි. ඇත්තටම මමත් වයලීන් වාදකයෙක්. නමුත් මෙතැන ඉන්න ඇතැම් දරුවො මටත් වඩා හොඳට වයලීනය වාදනය කරනවා. ඒක මට ආඩම්බරයක්. සංගීතයට දක්ෂ මේ වගේ දක්ෂතා පිරුණු දරුවො ඉන්න රටක පාසල් අධ්‍යාපනයෙන් එය ඉවත් කරනවා කියන්නෙ අනාගතයේ අපට මේ  දරුවන්ගෙන් ගුණයහපත්කම, සංවේදීබව බලාපොරොත්තු වෙන්න බැරිවෙයි. ”
සමාජය වෙනස්කළ හැක්කේ ගුරුවරයාට බව මොනරාගල  මහානාම ජාතික පාසලෙන් ඔප්පු වී අවසන් ය. හෙට දවසේ දී සංගීත  ක්ෂේත්‍රය තුළ ගෞරවාන්විතව කළ එළි බසින්නේ මොනරාගලින් බිහිවූ  අපේම දරුවන් විය හැකිය. ඒ දරුවන් වෙනුවෙන් අලු‍ත් ලෝකයක් ගොඩනංවන්නට මහානාමයේ නව විදුහල්පති රුවන් විජේවීර ද සැදී පැහැදී සිටී.
“මම පාසලට එකතු වුණේ ඉතාම මෑතකදි. හිටපු  විදුහල්පතිවරයාගේ සංකල්පයක් මත තමයි අමාදහර බැති ගී ප්‍රසංගය සංවිධානය වන්නේ. ඒ සඳහා පාසලේ සංගීත අංශය සහ ගුරු මණ්ඩලය , අනධ්‍යයන කාර්ය මණ්ඩලය, දෙමාපියන් මේ හැමෝම එකට එකතු වී දැක්වූ සහයෝගය හිතාගන්න බැරි තරම්. ලංකාවේ පාසලක මේ තරම් විශාල වාද්‍ය වෘන්දයක් ඉන්නවා නම් ඒ මොනරාගල මහානාමයේ තමයි. ඒක  අපට විශාල  ආශීර්වාදයක්. 
 
ඇත්තටම මේ දරුවො පුදුම දක්ෂයි. කිසිම දෙයක් නොදැන ආ දරුවො වාද්‍ය භාණ්ඩ වාදනය කරනවා දැක්කම පුදුම හිතෙනවා. අද   දරුවො ඉන්නෙ ලොකු පීඩනයක. විවිධ සමාජීය ප්‍රශ්න තියෙනවා. මේ වගේ ක්‍රියාකාරකම්වලට යොමුවීමෙන් ඒ පීඩනය ඔවුන්ට දරාගන්න  පුළුවන් වෙනවා. කවදාවත් දරුවකුගෙන් සෞන්දර්ය විෂයන් ඈත් කරන්න නරකයි. පුළුවන් හැම වෙලාවකම දරුවන් මේ දේවල්වලට යොමු කිරීම තුළින් යහපත් සංවේදී දරුවෙක් අපට වගේම රටටත් 
ඉතිරි වෙනවා..”
සුජිත් ප්‍රසංග