බදුල්ල - බණ්ඩාරවෙල මහා මාර්ගයේ උඩුවර සිට හාලිඇළ දක්වා කොටසේ ඉදිරිය පැහැදිලිව පෙනෙන නිසා වාහන පදවන්නන් මෙම ඉසව්වේදී වේගයෙන් වාහන ධාවනය කරන බව රහසක් නොවේ. වේගය පාලනය කරගත නොහැකිව හෝ රියැදුරාට නින්දයාම නිසා හෝ මේ ඉසව්වේදී වාහන මාර්ගයෙන් ඉවතට ධාවනය වී මාර්ගයට පහළින් පිහිටි බදුලු ඔයට වාහන පෙරළුණ අවස්ථා කීපයක්ම පසුගිය කාලයේ වාර්තා විය.
ආසන්නතම සිදුවීම වූයේ පසුගිය ජනවාරි 31 වැනිදාය.
මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් පියාඹාගොස් බදුළු ඔයට පෙරළුණේ එහි ගමන්ගත් වෛද්‍යවරයෙකු ඇතුළු හත් දෙනෙක් සමගය. වේලාව සවස 5.00 ට පමණ ඇත. “අම්මා අප්පච්චි තමයි ජීවිතේ” යනුවෙන් පිටුපස වීදුරුවේ ස්ටිකර් අලවා තිබූ සුදුපැහැති වෑන් රියක් එම අනතුරට පත්වූ මෝටර් රථයට ඉදිරියෙන් ගමන් කර තිබුණේය.
එය පැදවූයේ අසාමාන්‍ය තරුණයෙකි. මෙම ජීවිත බේරාගැනීමේ මෙහෙයුම සැණින් දියත්කළේ එම අසාමාන්‍ය තරුණයා විසිනි. රත්නායක මුදියන්සේලාගේ ළහිරු නිමේෂ් නමැති 21 හැවිරිදි එම තරුණයා එම සිදුවීම සිහිපත් කළේ මෙසේය.
“මමත් මගේ පුංචිඅම්මාගේ පුතාවන මහේෂ් සහ මා සමග වැඩ කරන සාරද සමග වයරින් වැඩක් සඳහා දියතලාවේ ඉඳල බදුල්ලට එමින් සිටියා. වෑන් එක පැදවූයේ මම. බදුලුඔයට වැටුණ කාර් එක මුහුණට මුහුණ ආවා. ඒක පහුකරලා ඉස්සරහට යනකොට පැති කණ්ණාඩියෙන් බලනකොට එක පාරටම කාර් එක නොපෙනී ගියා. එතකොට අයියාට මම කිව්වා අපි හරවල ගිහින් බලමු කියල. පොඩි ශබ්දයක් ඇහුණා. මම වාහනය නවත්තලා ගිහින් බැලුවත් එක පාරටම මොකුත් දැක්කේ නැහැ. ටිකක් එබිල බලනකොට මංදැක්කා කාර් එකක් පාරට පහළින් තියෙන බදුලු ඔයට වැටිලා තියෙනවා.”
‘‘කවුරුහරි උදව් කරන්න එන්නෝ’’ කියල මං කෑගැහුවා.
එතැනට බහින්න තැනක් තිබුණේ නැහැ. පාර අයිනේ නායගිය පස්ගොඩක් උඩින් අඩිය තියෙනකොට එරෙන්න පටන් ගත්තා. බොහොම අමාරුවෙන් එතැනින් පහළට බැස්සා.
අයියත් මගේ පස්සෙන් බැස්සා. කාර් එකේ කොටසක් ජලයෙන් යටවෙලා, මං දැක්කා කීප දෙනෙක් කාර්එක ඇතුළේ කරකියාගන්න දෙයක් නැතිව ඉන්න බව. ඒකෙ සිටි මහත්තය ( වෛද්‍යවරයා) බෙල්ට් එක ගලවල ඒකේ කැල්ලකින් විදුරුවට ගහල වීදුරුව කඩන්න උත්සාහ කළත් බැරිවුණා.”
“මම එසැණින් අතේ වැලමිටෙන් ගහල වීදුරුව කැඩුවා. අතදාල දොර ඇරියා. ඊට පස්සේ පොඩි ළමයෙක් ඉස්සෙල්ලාම එළියට ගත්තා. එයා ඇඬුවා. එතකොට මං දැනගත්තා එයාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ දෙවැනි ළමයා එළියට ගත්තා. එයාගේ කනෙන් ලේ ගලනව දැක්කා. එයා කතා කළේ නැහැ. මට හරියට බය හිතුණා. මං ඉස්සෙල්ලාම එයා අරන් උඩට දුවල එයා අයියට දීලා ආයෙත් බැහැලා ඉතිරි ළමයි දෙන්නත් එළියට ගත්තා.
මම අයියට කිව්වා ඇතුළේ ඉන්න අනික් කට්ටිය ගැන බලන්න කියලා. එතැන ඒ වෙන විටත් වාහන කීපයක් නතර කරලා තිබුණා. මං ඒගොල්ලන්ගෙන් ඉල්ලුවා මේ ළමයි ගෙනියන්න උදව් කරන්න කියල. ඒත් කවුරුවත් වාහනයක් දුන්නේ නැහැ. මම ගොඩාක් අසරණවුණා. මගේ කකුල් මඩවලින් පිරිලා. මම එතැන තිබුණු හෝටලයකින් වතුර ටිකක් ඉල්ලාගෙන කකුල් දෙක සෝදාගත්තා. කරන්න දෙයක් නැහැ. ඉඩ මදි නිසා මගේ වෑන්එකේ දොර ඇරලා ඇතුළේ තිබුණු මගේ වෑල්ඩින් බඩු එළියට දැම්මා. එතන හිටිය අයගෙත් උදව් ඇතිව, ළමයි හතර දෙනා වෑන් එකට දා ගත්තා. උදව්වට කවුරු හරි නගින්න කියල ඉල්ලුවා. ඒත් කවුරුවත් නැග්ගේ නැහැ. ”
“මගේ අයියා කාර්එකේ ඉතුරු අය බේරාගනියි කියන විශ්වාසය නිසා මම ළමයි අරන් මගේ වාහනයෙන්ම බදුල්ල හොස්පිට්ල් එකට යන්න පටන් ගත්තා. මගේ වෑන් එකේ සයිරන් නළාවක් සහ එමර්ජන්සි ලයිට් තියෙනවා. මොකද, මං ශාන්ත ජෝන් හමුදාවේ සාමාජිකයෙක්.
සයිරන් එක ගහගෙන එමර්ජන්සි ලයිට් සෙට් එක දාගෙන පුළුවන් තරම් වේගයෙන් බදුල්ල හොස්පිට්ල් එක ළඟට එනකොටම හොස්පිට්ල් එකේ ඉඳල ඇම්බියුලන්ස් එකක් පිටත්වෙනවා මම දැක්කා. ළමයි හතරදෙනා හොස්පිට්ල් එකට බාරදුන්නේ බාරකාරයා හැටියට මගේ නමින්. මම ළමයි ළඟින් හෙල්ලුණේ නැහැ. ටික වේලාවකින් ගැබිනි කාන්තාවක් අරන් ඇවිත් තිබුණා.
අයියාත් ආවා. අපි දෙන්නා මේ අයට එක්ස්රේ ගන්න පවා උදව් කළා . අපි රෑ 12 වෙනතෙක් රෝහලේ හිටියා. මේගොල්ලන්ගේ තත්ත්වය ගැන විමසිල්ලෙන් හිටියා. මේගොල්ල දාල යන්න හිත දුන්නේ නැහැ. පස්සේ මම හාලිඇල ගිහින් මගේ වෑන් එකෙන් එළිය දාපු බඩුටික ගත්තා.”
මහේෂ් සේනාරත්න (33) නමැති අයියා සිදුවීම මෙසේ විස්තර කළේය.
“ළහිරු මගේ පුංචි අම්මගෙ පුතා. මම දියතලාව මධ්‍ය මහා විද්‍යාලයේ සංවර්ධන නිලධාරියෙක් ලෙස රැකියාව කරනවා. එදා නිවාඩු දවසක් නිසා මල්ලිගේ උදව්වට මමත් ආවා. මල්ලී කාර්එකේ හිටපු අය එළියට ගන්න පහළට බහිනකොට මමත් එයාගේ පස්සෙන් ගියා. මොකද, කාටහරි මොනව හරි කරදරයක් උනාම මෙයා උදව් කරන්න කලබල වෙනවා.”
“එයාට මොනව හරි වුණොත් කියලා මමත් බහින්න හදනකොට එතැන තිබුණු පස්ගොඩේ දණහිස දක්වා එරුණා. බොහෝම අමාරුවෙන් පහළට බැස්සා. මල්ලි එළියට අරන් දුන් ළමයි අරන් උඩ පාරට නැග්ගා. හතරවෙනි ළමයා අරන් මල්ලි උඩට නැග්ගා. මල්ලි මට කිව්වා, “මේ ළමයින්ට අමාරුයි, මං එයාලා අරන් යනවා, ඔයා අනිත් අය ගන්න” කියලා.”
“මම සාරදත් එක්ක එකතුවෙලා කාර් එක ඇතුළේ හිරවෙලා හිටිය කාන්තාව එළියට ගනිද්දි තවත් අය උදව් කළා. එයා ගැබිනියක් බවත් දැනගත්තා. අපි ගිය තැනින් උඩට එයා ගෙනියන්න අමාරු නිසා වෙනත් පාරකින් එයා උඩට අරන් ඇවිත් ත්‍රීවිලරයක් නවත්තල ඒකෙන් මහත්තය එක්ක බදුල්ල හොස්පිට්ල් එකට යැව්වා. මමයි සාරද මල්ලියි බස් එකක නැගල හොස්පිට්ල් එකට ගියා. අපි රෑ 12 වෙනතෙක් ඒ අයට උදව් කළා’’ යැයිද පැවසීය.
මෝටර් රථය පැදවූ දියතලාව මූලික රෝහලේ වෛද්‍ය අතුලසිරි සරත්චන්ද්‍ර මහතා පැවසුවේ, ළහිරු නමැති තරුණයා දෙවියෙක් මෙන් පැමිණ කළේ පුදුම කැපකිරීමක් බවය.
අතුලසිරි මහතා මේ බිහිසුණු අත්දැකීම විස්තර කළේ මෙසේය.
‘‘මගේ මල්ලී, එයාගේ බිරිඳ සහ අවුරුදු 9 සහ 6 වයසැති පුතාලා දෙන්නා සමග පිළියන්දල සිට බණ්ඩාරවෙල පිහිටි මාගේ නිවසට 30 වැනිදා ආවා. පසුදා ඒ අය සමග මගේ අවුරුදු 13 සහ 9 වයසැති පුතාලා දෙන්නත් කැටුව ගමනක් ගියා. කාර් එක පැදවූයේ මම. බදුල්ලේ ඉඳලා බණ්ඩාරවෙල නිවසට එද්දි, හාලිඇල නගරය පසුකර ටික දුරක් යන විට වංගුවක් ගත්තා වගේ මතකයි. තෙහෙට්ටුව සමග නින්දගොස් කාර්එක එක පාරටම බදුලු ඔයට පෙරළුණා.
ඔයට වැටුණ කාර් එක තුළ අපි හත් දෙනාම හිරවුණා. දොරවල් පවා ලොක්වෙලා. මොනවා කරන්නද හිතාගන්න බැරිව ඉන්න විට, එක පාරටම තරුණයෙක් ඇවිත් කාර්එකේ වීදුරුවක් කඩනවා දැක්කා.
ඒ වෙලාවේ තමයි අපිට ඇත්තටම ආයෙමත් ජීවිතය පිළිබඳව හිතන්න පුළුවන් වුණේ.”
“තරුණයා කඩපු වීදුරුවෙන් අතදාල දොර ඇරලා පුතාලා හතර දෙනා එළියට අරගත්තා. ඇතුළේ හිරවෙලා හිටිය මගේ සහෝදරයාගේ බිරිඳ, එතැනට ආ අනෙක් අයට ගන්න කියලා, පුතාලා හතර දෙනා අරන් හොස්පිට්ල් එක ගිහින් තිබුණා.”
“අපි නම් මේ තරුණයාට සදා ණයගැතියි’’ යනුවෙන්ද ඔහු පැවසීය.
බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම්, පාලිත රජපක්ෂ මහතා,
“ළහිරු නමැති තරුණයා වහාම ඉදිරිපත් වී මෙම අවස්ථාවේ කටයුතු කිරීම අතිශයින්ම ප්‍රසංශනීය දෙයක්. මොකද අද සමාජයේ බියක් තියෙනවා රෝගියෙක් රෝහලට ගෙනාවොත්, පොලිසිවලට හා උසාවිවලට ගිහින් සාක්ෂි දෙන්න වෙයි කියල. මේ තරුණයා ඒ කිසිවක් බලන්නේ නැතිව ඉදිරිපත්වීම නිසා මේ තුවාලකරුවන් හය දෙනෙක් ඉක්මනට රෝහලට ගේන්න පුළුවන් වුණා.
මෙවැනි අය අගය කළ යුතුයි.
වෙනත් රටවල වගේ පාසල් කාලය තුළදීම දරුවන්ට, අනුන්ට උදව් කිරීම සහ ජීවිත ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව උගන්වන ක්‍රියාමාර්ගයක් තිබිය යුතුයි. එසේ වුවහොත් තව අවුරුදු දහයකින් පහළොවකින්වත් මේ සමාජයේ එවැනි පිරිසක් බිහිවෙයි කියා මා සිතනවා.”
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා, බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවෙන රිය අනතුරු පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.
“ඇත්තෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ පසුගිය කාලයේ සිදුවූ රිය අනතුරුවලදී බොහෝ විට අනාවරණය වුණේ, රියැදුරාට නින්දගොස් රිය පාලනය කර ගත නොහැකිව එම අනතුර සිදුවූ බව.
නිදිමතක් එනවා නම්, අනිවාර්යයෙන්ම රිය නවත්වා ටිකක් නිදාගැනීම කළ යුතුයි. නොඑසේනම්, අනතුරට ලක්වී තමාගේ ජීවිතය වගේම රථයේ ගමන්කරන සෙසු අයගේ ජීවිතත් අනතුරට ලක්වෙනවා. ඇතැම්විට මරණය පවා සිදුවෙන අවස්ථා තිබුණා. මේ නිසා සෑම රියැදුරෙක්ම මේ පිළිබදව අවධානය යොමුකළ යුතු බව අවධාරණයෙන් කියා සිටිනවා” යැයිද වෙදමුල්ල මහතා පැවසීය.
කාගේත් බුහුමනට පත්වූ ළහිරු නිමේෂ් ගැන ද අපි සොයාබැලුවෙමු.
දියතලාව මධ්‍ය මහා විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකු වන ළහිරු, පාසල් අවදියේ සිටම ආත්මාරක්ෂක ක්‍රම සහ ප්‍රථමාධාර ක්‍රම ගැන අධ්‍යයනක් ලබා ඇත්තේ ශාන්ත ජෝන් ගිලන්රථ සේවාව වෙතිනි. අදටත් ඔහු ශාන්ත ජෝන් සේවාවේ සේවය කරයි. ඊට අමතරව පෑස්සුම් සහ විදුලි කාර්මික කටයුතු කරන බවද ළහිරු පැවසීය.
තම සේවා කාලය තුළ මිනිස් හා සත්ව ජීවිත බේරාගැනීමේ අමතක නොවන සිදුවීම් රැසක් ක්‍රියාත්මක කළ බවද සඳහන් කළ ඔහු, කතරගම දී සිදුවූ සිදුවීම් දෙකක් පැවසුවේ මෙසේය.
‘‘කතරගම උත්සව කාලේදි ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ අපි එහි කඳවුරු බඳිනවා. එදා දේවාලයේ අතුපන්දලමට අතු දාන රාජකාරියේ යෙදී සිටි කපුමහත්තයෙක්, අතුපන්දලම උඩදි අසනීප වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අපට දැනුම් දුන්නා. අපි වහාම ගිහිල්ල අතුපන්දලම උඩට නැගල, සිහිසුන්ව සිටි ඒ කපු මහත්තය බිමට ගෙනාවා.
එතැනින් ගිය තෙල් ලොරියකට දාගෙන ඉස්පිරිතාලෙට යනකල් එයාට කෘත්‍රිම ස්වසනය ඇතුළු ප්‍රතිකාර ලබාදුන්නා. එනිසා ඒ කපු මහත්තයගේ ජීවිතය බේරාගන්න පුළුවන් වුණා. ඒ කාලයේ කතරගම ඇවිත් මැණික් ගඟේ දිය නාද්දි ගහගෙන ගිය කීප දෙනෙක් බේරාගැනීමටත් පුළුවන් වුණා. මිනිස් ජීවිත පමණක් නොවෙයි, සත්ව ජීවිතත් බේරාගෙන තිබෙනවා’’ යැයි පැවසූ ළහිරු අවසන් වශයෙන් කනගාටුදායක සිදුවීමක් ද සිහිපත් කළේ ඉල්ලීමක් ද කරමිනි.
ලහිරුගේ ෆෝන්එක
‘‘බදුලු ඔයට වැටුණ කාර් එකේ සිටි අය මුදවාගැනීමේ දී මගේ දුරකථනය නැතිවුණා. අයි ෆෝන් වර්ගයේ එම දුරකථනය මගේ ජීවිතය වගේ වටිනා ඡායාරූප සහ තොරතුරු ඇතුළත් එකක්. ඒක ලබාගත් කෙනෙක් සිටීනම් හෝ සොයාගත් කෙනෙක් සිටීනම් මට ආපසු ලබාදෙන්න කියා මම බැගෑපත්ව ඉල්ලා සිටිනවා’’ යැයිද පැවසීය.
සටහන හා ඡායාරූප
බදුල්ලේ පාලිත ආරියවංශ