කර්මාන්තයක් සහ කලාවක් ලෙස පුවත්පත අදටත් ජනප්‍රිය මාධ්‍යයක් බව නම් නොරහසකි. කාර්යක්ෂම වූත්, ආකර්ෂණීය වූත්, නව සන්නිවේදන තාක්ෂණය හමුවේ පුවත්පත අදටත් නොනැසී පවතින්නේ සම්ප්‍රදායික මාධ්‍යයක් ලෙසිනි. මේ කෙරෙහි මිනිසුන් දැඩි විශ්වාසයක් රඳවා ඇත්තේ එය සමාජයෙන් බැහැර කළ නොහැකි ජනගත සංස්කෘතිකාංගයක් බැවිනි.
යාපනයේ පැරණිම පුවත්පත් අලෙවිසල වශයෙන් අතීතයේ මෙන්ම වර්තමානයේ ද ප්‍රසිද්ධව තිබෙන්නේ, පූබාලසිංහම් අලෙවිසලයි. යාපනය බස් නැවතුම්පොළ අසල දිස්ත්‍රික් මහ රෝහල මාවතේ පිහිටා ඇති මෙම අලෙවිසල 1945 වර්ෂයේ ආරම්භ කරන ලදී. එහි විශේෂත්වය නම් එදා සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ අලෙවි වන සිංහල මාධ්‍ය ජාතික පුවත්පත් සියල්ලම යාපනය වැනි ප්‍රදේශයකට ගෙන්වා අලෙවි කිරීමය. එම පුවත්පත් සඳහා යාපනයේ වෙසෙන සිංහල ප්‍රජාව අතර ඉහළ ඉල්ලුමක් පවතී. පූබාලසිංහම් අලෙවිසලේ දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යය පුවත්පත් අලෙවි කරන අතර සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යය පොත්පත් ද විකිණීමට තබා ඇත. පොත් ප්‍රකාශකයින් ලෙසත් පූබාලසිංහම් අලෙවිසලෙහි කටයුතු සිදුවේ.
ශ්‍රී ලංකාවේ පළකෙරෙන සිංහල මාධ්‍යය ජාතික පුවත්පත් සෑම එකක්ම පාහේ අලෙවි කරනු ලබන යාපනයේ එකම පුවත්පත් අලෙවිසල පූබාලසිංහම් වෙළෙඳසලයි. මෙම අලෙවිසල භාරව කටයුතු කරන්නේ වීරවාහු මහාලිංගම් මහතාය. මෙහි ව්‍යාපාරික කටයුතු කිරීමේදී මුහුණ දුන් සිදුවීම් හා ලද අත්දැකීම් පිළිබඳව මහාලිංගම් මහතා අප සමග කතා බහ ආරම්භ කළේ මෙසේය.
“පූබාලසිංහම් අලෙවිසලේ නිර්මාතෘවරයා වන්නේ, මගේ මාමා පූබාලසිංහම් මහතා. මාමා කිව්වේ මගේ අම්මාගේ වැඩිමහල් සහෝදරයා. ඔහු සුළුවෙන් මෙම අලෙවිසල පටන් ගත්තෙ. මුලදී මෙහි විකුණනු ලැබුවේ පොත් හා කොළඹ යාපනය ප්‍රදේශවලින් ප්‍රකාශයට පත්කරන ඉංග්‍රීසි දමිළ පුවත්පත් විතරයි. නමුත් පසුකාලීනව ඒ කියන්නේ, 1960 ගණන් වෙනවිට කොළඹින් ගෙන්වාගත් සිංහල පුවත්පත් ද අලෙවි කරන්න පටන් ගත්තා. මේ වෙනවිට මෙම අලෙවිසල පවත්වාගෙන යන්නේ 3 වන පරම්පරාව. ඉස්සර යාපනයේ දමිළ මිනිස්සුන්ට කතා කරන්න, ලියන්න පුළුවන් ඉංග්‍රීසි හා දමිළ යන භාෂා දෙකයි. ඒත් දැන් යාපනයේ ඉන්න සමහර දමිළ වැසියන්ට ටික ටික සිංහල භාෂාව කතා කරන්නත් ලියන්නත් පුළුවන්. ඒකට හේතුව දැන් යාපනයේ සිංහල වෙෙළඳසල් හිමියන් සමගත්, යාපනයේ රජයේ කාර්යාලවල වැඩ කරන සිංහල නිලධාරීන් සමගත් කතාබහ කරලා ඇතිකරගත් හුරුව. ඒ නිසා හැමෝම එක්ක අදහස් හුවමාරු කරගැනීමට පහසු වෙලා තියෙනවා.” 83 කළු ජූලියෙන් පසුව එල්.ටී.ටී.ඊ. සටන් ඇතිවෙන විට යාපනය නගරයේ පදිංචිව සිටි සිංහල ජනතාව තම ගම්බිම් අතහැර දමා ගියහ. පොලිස් හා ආරක්ෂක හමුදා සාමාජිකයන් හැරුණු විට රජයේ ආයතනවල හා ව්‍යාපාරික ස්ථානවල සේවය කළ සිංහල සුළු පිරිසද ඒවා අතහැර දමා ගියහ.
එදා තත්ත්වය එසේ වුවත් අද වෙනවිට සිංහල පවුල් කිහිපයක් පදිංචි වී සිටින සිංහල ගමක් නාවක්කුලිහි ඇත. යුද සමයේ යාපනයේ පදිංචි වී සිටි සිංහල පවුල් කිහිපයක් දැන් එහි පදිංචි වී සිටිති. දැනට මෙම ගමෙහි පවුල් 17 ක් පමණ පදිංචි වී සිටින අතර එහි බෞද්ධ විහාරස්ථානයක් ද ඇත. එහි වෙසෙන ජනයා තම අවශ්‍යතා ඉටු කර ගැනීමට පැමිණෙන්නේ, යාපනය නගරයටය.
යුද සමය දශක 03 ක පමණ කාලයක් පැවතුණි. ඒ කාලපරිච්ඡේදයේ දී උතුරු නැගෙනහිර පුරා යුද ගැටුම් තිබුණු නිසා යුද හමුදාවේ සහ කොටි ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ සිටීමට දමිළ ජනතාවට සිදුවිය. සමහර ප්‍රදේශ කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින විට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් නිල නොවන ඊළාම් රාජ්‍ය පාලනයක් එම ප්‍රදේශවල පවත්වාගෙන යන ලදී. එසේම හමුදා බලය තහවුරු කරගෙන සිටි ප්‍රදේශවල පාලනය හමුදාව විසින් කරගෙන යන ලදී. මෙවැනි කාල පරිච්ඡේදයක දී මහාලිංගම් මහතා පුවත්පත් අලෙවිසල පවත්වාගෙන යාමට ද කටයුතු කළේය. ඒ සමයේ අත්දැකීම් පිළිබඳව මහාලිංගම් මහතා ප්‍රකාශ කළේ මෙසේය.
“යුද්ධය පැවති සමයේ යාපනයේ බලය එල්.ටී.ටී.ඊ.ය අත්පත් කරගෙන තිබුණු අවධියේ ගෙන්විය යුතු පුවත්පත් පිළිබඳව තහවුරු කරන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයයි. ඒ සමයේ බහුතරයක් අලෙවි කළේ යාපනයේ මුද්‍රණය කරනු ලබන පුවත්පත්. කොළඹින් මුද්‍රණය කරලා ගෙනෙන පුවත්පත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් තහනම් කරලයි තිබුණේ.
පසු කාලය වන විට ඒ කියන්නේ, එල්.ටී.ටී.ඊ සංවිධානයේ බලය ගිලිහී යමින් පැවති සමයේ අපි කොළඹ මුද්‍රණය කරනු ලබන සිංහල, දමිළ හා ඉංග්‍රීසි ජාතික පුවත්පත් කිලාලි කලපුව හරහා ගෙන්වාගෙන අලෙවි කළා. ත්‍රිවිධ හමුදාවේ කෑම්ප් සියල්ලටම පාහේ සිංහල පුවත්පත් මෙන්ම ඉංග්‍රීසි පුවත්පත් අලෙවි කරන්නේ, පූබාලසිංහම් අලෙවිසලෙන්. ඒ තත්වය එදා වගේම අදත් එහෙමයි.”
ලෝකයේ ජනමාධ්‍ය අතරින් ජනප්‍රියම මාධ්‍යය වන්නේ, මුද්‍රිත මාධ්‍යය බව අවිවාදිතය. එකී මාධ්‍ය අතර පුවත්පතට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. නව මාධ්‍ය තාක්ෂණයත් සමග පුවත්පත් කියවන්නන් අඩු වනු ඇතැයි යන මතය ඉදිරිපත් වුවත්, සමාජ විකාශනය දෙස බැලීමේදී පෙනීයන කරුණ නම්, ඒ ඒ මාධ්‍යයට හිමි අනන්‍යතාව අනුව ඒවා සමාජයේ තහවුරු වී ඇති බවය.
“ඒ කාලයේ වගේ නෙවෙයි. අද පත්තර කොම්පැනියෙන්ම ගෙන්වා ගැනීම පහසුයි. ඒ වගේම පත්තර අලෙවි කරන්නත් අමාරු නැහැ. අද පුවත්පත් කලාව දියුණු වෙලා. බෙදාහැරීමේ ක්‍රමය දියුණු වෙලා. අද පුවත්පත් සංඛ්‍යාවත් වැඩියි. නියෝජිතයන් ගණනත් වැඩියි. එහෙම වුණා කියලා පත්තර අලෙවියට බාධා වෙලා නැහැ. මිනිස්සු පත්තර ගන්නවා. අද වෙනවිට මෙහේ සිංහල මාධ්‍ය ජාතික පුවත්පත් සෑහෙන ප්‍රමාණයක් අලෙවි වෙනවා. ඒ වගේම සති අන්ත පුවත්පත්වලටත් ඉල්ලුම තියෙනවා. ආරක්ෂක අංශවල සිටින අය, රජයේ රැකියා කරන අය වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවත් පත්තර ගන්න එනවා. යාපනයේ පූබාලසිංහම් අලෙවිසල් තුනක් තියෙනවා. එකක් මේක. තවත් අලෙවිසල් දෙකක් නල්ලූර්වල හා වෙම්පඩි උසස් පාසල ආසන්නයේ තිබෙනවා.”
මිනිසා යනු භාෂණය සහ කියවීමේ අයිතිය හිමි නිදහස් පුද්ගලයෙකි. එබැවින් යහපත් සමාජ ක්‍රමයක ප්‍රගමනය උදෙසා පුද්ගලයා නිදහස් හා ස්වාධීනවීම වැදගත් වේ.
“යාපනය නගරය අද බොහෝ දියුණුයි. කඩ සාප්පු කොළඹ වගේ තමයි. නැති බඩුවක් නැහැ. මිනිස්සුන්ට දැන් යුද්ධය මතක නැහැ. මේ පැත්තේ සිංහල කඩ එකයි දෙකයි තියෙන්නෙ. සිංහල කෑම කන්න ආසා මිනිස්සු සිංහල හෝටලයට යනවා. පත්තර හොඳට විකිණෙනවා. හැම සිංහල පත්තරයක්ම තියෙනවා. දෛනික පුවත්පත් හා සති අන්ත පුවත්පත් එදිනම අලුයම වෙද්දි අපට ලැබෙනවා.”
“පූබාලසිංහම් මහතාට අලෙවිසල ආරම්භ කිරීමට නිශ්චිත අරමුණක් තිබුණා. ඒ තමයි දැනුම ලබා දිය යුතුයි කියන දෙය.”
එම අරමුණ පූබාලසිංහම් මහතාගේ තෙවන පරම්පරාවේ පවුලේ සාමාජිකත්වය ඉටු කරමින් තිබේ.
“යාපනයේ සිංහල මිනිස්සු මගෙත් එක්ක හරි සුහදයි. එයාල පත්තර ගන්නවා. මං ඒ දිහා බලලා සන්තෝස වෙනවා. අපි ගැන විශ්වාසය තැබීම ගැන, ගනුදෙනු කිරීම ගැන ඔවුන්ට මම ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් වීරවාහු මහාලිංගම් අවසාන වශයෙන් සඳහන් කළේය.
එම්. තාරික්