ලංකාව යනු ආදරය නොහදුනන රටක් සිංහල භාෂාව පිළිබද දේශක අකිල විමංග සෙනවිරත්න


“ ආදරය “  මඟහැර යන්නට නොහැකි, විශ්වාසයට කියන තවත් නමකි, තව පැත්තකින්, ප්‍රේමය යනු රූස්ස ගස් වගේ මිනිස්සු ද පරඬැල් වගේ දිය කරවන මහ පුදුම හැඟීමකි. ආදරය තරම්, මේ ලෝකය සුවපත් කරන්න හැකි සැනසිලිදායක හැඟීමක් ලොව කොතැනකවත් නැතැයි මා විශ්වාස කරමි.  හැම වසන්තයක්ම  දලුලන්නේ බලාපොරොත්තු කන්දක් සමඟ වුණත්, හැම වසන්තයකම ආදරබර මල් පිපුණත් ජීවිතය මැද, මුල, අග මේ සෑම තැනකදීම ප්‍රේමය හමුවීමෙන් සුන්දර වෙන තරමටම ප්‍රේමය අහිමි වීම, වෙන්වීම, වේදනාබර  දුක, පසුතැවිල්ල පොදු ධර්මතාවකි. මේ බැඳීම් විවිධාකර වුණත්, යොවුන් වියේ දී ඇතිවෙන ප්‍රේමය, කලකදී බිඳී විසිරි ගිය විට එයට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න දරාගත නොහැකිව,  වෛරයෙන්  පිහිතුඩෙන් ආදරය පසාරු කර ගිය ආදර කතා බොහෝයි.  ප්‍රේමය සහ වෛරය අතර ඇති පරතරය කොතරම් සංකීර්ණ වුවත්, ප්‍රේමණීය වෙන්වීමක දී වේදනාව දරාගෙන ජීවිතයට මුහුණ දීම ඉතාම කර්කශ වුණත්, සිත් නිවාගත් පෙම්වතුන් ද නැතුවාම නොවේ. 
මනමේ කුමරුගේ ප්‍රේමවන්තිය වූ මනමේ කුමරිය, හිටිහැටියේ පෙමින් වෙළුණ වැදි රජුට අවසානයේ කඩුව දුන්නේ මනමේ මරා වැදි රජු හා දීග යන්නට වුවත්, එය දැක දැකත් මනමේ පුන පුනා  කුමරිය වැරදි නැති වග ඉලක්ෂ ජයවර්ධන කවියට නගා තිබුණේ මෙසේය, 


“රැක ගන්න මට බැරිවුණා මිස 
අතින් අත්හැර නොයාවී 
කඩුව දුන්නත් උදුරගත්තත් වැරදි නැහැ මගෙ කුමාරි” 
කවියට අනුව තම ප්‍රේමයට කොතෙක් පිටු පෑවත්, කුමරියට මනමේ වෛර බැන්දේ නැත. ප්‍රේමයේ නාමයෙන් ඔහු වරද පටවා ගත්තේ ඔහුටම ය. එදා  මනමේලා එසේ සිතුවාට,  අද මනමේලාට එසේ සිතන්නට තරම්  දියුණු මනසක් නැත. තම පෙම්බරී තප්පර ගණනකට පිටු පෑවත් කිණිස්සකින් ගෙල සිඳ තම ප්‍රාණය නිරුද්ධ කරගන්නට තරම් අද යොවුන් ප්‍රේමය සාහසික වී ඇත.  ආදරය ප්‍රේමය වැනි මාතෘකාවල සරසවි  ප්‍රේමය මෙන්ම වර්තමාන තාරුණ්‍යයේ ආදරය යන විෂයෙහිලා දක්වන පටු සීමාව, මේ වෙන විට බොහෝ දුර උඩුගම් බලා ගොස් ය.  පෙම්වතුන්ගේ දිනයට සති කිහිපයක් තියා, ඊට ආසන්නතම උදාහරණය වාර්තා වුයේ රත්නපුර, ඇලපාත පදිංචි කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වූ තරුණියකු සිය උපධාරි පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර පෙම්වතාද වස පානය කිරීමේ අනුවේදනීය පුවතය. “ආදරය කොතැනද, එතැන ජීවිතය පවතී” මහත්මා ගාන්ධි පැවසුවද, එය වටහාගත නෙහැකි ආදර කතා බොහෝය. ආදරවන්තියන්ගේ දිනය ගෙවී ගොස් හරියටම දින දෙකකි. මේ කතාව ආදරවන්තයන් වෙනුවෙන්ම වෙන් වුණ කතාවකි.  
ප්‍රේමය දරාගැනීම කියන කාරණා සම්බන්ධව  ලංකාවේ පාසල් තුළ ප්‍රගුණ කරන්න ඕනෑ. 
“ප්‍රේමය සහ දරාගැනීම ගැන කතා කරද්දී, ඒ පිළිබඳව පාසල තුළින්වත් අපිට කියලා දෙන්නේ නැහැ. යශෝදරාව සිද්ධාර්ථ දාලා ගියාම, ඒ අප මහා බෝසතාණන් වහන්සේ කියන එක පැත්තකින් තියලා සිතුවොත්, ඔහු තමන්ගේ බිරිඳට දරුවා ලබුණු දවසේ දාලා යනවා. යශෝදරාවත කියපු ජන කවියාට ඕනා වුණේ ප්‍රේමයේ අහිමිවීම ඇතුළේ දරා ගැනීම, අතීතයේ විරහව දරා ගැනීම, ඒ වේදනාව විඳගත්ත අකාරය කියන්න. ඒත් ඒ දේ කෘතියක් ඇතුළෙවත් පාසල් දරුවන්ට උගන්වන්න බැරි වුණා. ඒ වගේම තමයි, ලංකාව වගේ රටක ප්‍රේම කරන්නේ හොරෙන්. ප්‍රේමය හොරෙන් කරන්න, එන ප්‍රශ්නවලදී මිනිස්සු හැසිරෙන විදිහ දැන්නේ නැහැ.  අපේ රටේ ආදරය කරන්න නිදහස් තැනක් නැහැ. පාර්ක් එකක කතා කළොත් පොලිසියෙන් කුදලගෙන යනවා. බස් හෝල්ට් එක්ක කතා කරකර හිටියොත් ගෙදරට පණිවිඩේ යනවා. ග්‍රාමීය සංස්කෘතිය ඇතුළේ කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතා කරන එක දකින්නේ මැජික් එකක් විදිහට. 


පළවෙනිම දේ, ලංකාවේ ප්‍රේමය කියන දේ සම්බන්ධයෙන් ‘‘මැජික් එක’’ කියන සංකල්පය නැති වෙන්න ඕනෑ. එතකොට තමයි මිනිස්සුන්ට ප්‍රේමය සම්බන්ධව කෙළින් කතා කරන්න පුළුවන් වෙන්නෙ. ප්‍රේමය කියනේ දේ මැජික් එකක් කියල හිතන එක නතර කරගත්ත රටක විතරයි ප්‍රේමයේ විරහව දරන්න පුළුවන් මිනිස්සු කොට්ඨාසයක් හැදෙන්නේ. ලංකාව කියන්නේ ආදරේ කියන්නේ මොකද්ද කියලා හරියට දන්නේ නැති රටක්.
කුණ්ඩලකේශි සිටු කුමාරියගේ කතාව ගත්තාම, මේ ලස්සනම ලස්සන සිටු කුමාරිය හොරෙකුට ආදරේ කරනවා. ඇය ලස්සන නිසා තාත්තා ඇයව සිර කරලා තියනවා පිරිමි පුලුටක්වත් දකින්නේ නැති වෙන්න. ඔය අතරෙදී හොරෙක් දැකලා ඇය ඒ හොරාට ආදරේ කරනවා. හැබැයි හොරා තමන්ව මරන්න එන තැනදී කුණ්ඩලකේසි ගලෙන් පහළට තල්ලු කරලා හොරාව මරනවා. පාසලේදී අපට කියලා දුන්නේ හොරෙකුට ආදරේ කරලා ගැහැනියකට වැරදිච්ච විදිහ විතරයි. ඇත්තම කතාව නම්, කුණ්ඩලකේසීට වැරදුණේ නැහැ. අපිට කොතනකදිවත් කිව්වේ නැහැ, තමන්ගේ ප්‍රේමය විසින්ම තමන්ට වළ කපන්න එද්දී බේරෙන්න ඕනැ විදිහ ගැන. පටචාරාවට ජීවිතේ වටිනාම වස්තූන් නැති වෙනවා. ඒත් කොතනකදිවත් කිව්වේ නැහැ, ඒ ගැහැනියගේ දරා ගැනීම ගැන එහෙනම් ප්‍රේමය සම්බන්ධව නිවැරදි දැක්මක් ලංකාවේ පාසල් තුළ ප්‍රගුණ කළ යුතුමයි.
ආදරය අායාසයෙන් රැකගත යුතු නැහැ.
 තමන්ගේ සතුට තියෙන්නේ කොතන ද, ඒ සතුට හොයා යන තැන තමයි ප්‍රේමය තියෙන්නේ. ඒ නිසා ඕනෑම ප්‍රේමයක් පටන් ගන්න ඕනෑ කවදාහරි දවසක අත් හරින්න බලාගෙන. එතකොට දුක අඩුයි. ප්‍රේමය කියන්නේ ලෝකයේ තියෙන ලස්සම බැඳීමක්. හැබැයි ඒක ලස්සන වෙන්නේ අවබෝධයෙන් කළොත් පමණයි. 
පොරොන්දු කඩන මිනිස්සුන්ට නිදහසේ යන්න දෙන්න. ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟ තැන නතර වෙන්න. මොකද, පොරොන්දු කඩන, වචන රකින්න බැරි මිනිස්සු කොන්ද පණ තියෙන පිරිමිත් නෙමෙයි ගැහැනුත් නෙමෙයි. හැඟීම් සම්බන්ධව කෙනෙක් තව කෙනෙක්ව රිදවන්නේ කොතැන ද අනිවාර්ය​ෙයන්ම ඔහුට තැවීමක් රිදවීමක් සොබාදහම දෙනවාමයි. වගකීම ගන්න බැරි නම් පොරොන්දු වගේ දේවල් තව මිනිස්සුගේ හිත්වලට ඇතුළු කරන්න එපා. එහෙම ඇතුළත් වෙන වචන ඒ මනුස්සයාගේ මුළු ආත්මය වෙනස් කරනවා. හැඟීමට විතරක් වහල් වෙලා  රකින්න බැරි පොරොන්දු වචන දෙන්න එපා. කිසිම දවසක තමන්ව දාලා ගිය කෙනෙක් ළඟ ‘‘අනේ මාව දාලා යන්න එපා’’ කියලා කවදාවත් අඬා වැටෙන්න එපා. ඔබ ඒ බාල්දු කරන්නේ ඔබේ ආදරේ. 
නොගැළපීම් තියාගෙන, බැන්දාම වෙනස් වෙයි කියල කවදාවත් විවාහයකට යන්න එපා.  
අප තේරුම් අරන් නැති එකම දේ තමයි ආදරයයි කසාදයයි කියන්නේ දෙකක් කියන එක. ලංකාවේ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළු වුණාම. දෙන්නාගේ අදහස් ගැළපෙන්නේ නැත්නම්. ප්‍රේමය වෙන්වීමකට ගියොත්,  විශේෂයෙන් ගැහැනු ළමයාගේ අම්මලා කොච්චර විරුද්ධ වෙනවා ද?  හේතුව තමයි ඒ කොල්ලා ගෙදර ආවා, ගමේ අය දන්නවා, අපි කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ කියන කාරණය. කවදාවත් ලෝකයා මොන කතා කිව්වාත්, නොගැළපීම් දාහක් තියෙද්දී ගළපගන්නවත් බැරිනම්, බැන්දාම වෙනස් වෙයි කියලවත් විවාහයකට නම් යන්න එපා.  
පළවෙනියටම තෙරුම් ගන්න ඕනෑ ආදරෙ කරන කාලේ කියන්නේ තමන් කසාද බඳින්න කෙනෙක් තොරගනිමින් ඉන්න කාලේ.  විවාහ වෙනවා කියන්නේ හරිම බැරෑරුම් දෙයක්. ප්‍රේම කරන කාලේ සියයට සියයක් ගැලපුන දේවල්, කසාද බැන්දාට පස්සේ එකින් එක නොගැළපීම් මතුවෙන්න පටන් ගන්න පුළුවන්.  කසාදයක් ඇතුළේ මානසික නිදහස නැත්නම්, මම දකින්නේ දික්කසාද වෙන එක වරදක් නෙමෙයි. මොකද, අපි ජීවත් වෙන්නේ බොහොම කෙටි කාලයයි. ඒ කෙටි කාලය ඇතුළත අපි අපේ නිදහස නැති වෙන තැනක ඉන්නේ මොකටද? ඒ වගේම තමයි ලංකාවේ කසාදේ සම්බන්ධව මිනිස්සු ඉන්න මතය සම්පූර්ණ වැරදියි. 
ලංකාවේ කසාදයක් කියන්නේ  ඔළුව උඩ කළුගලක් තියාගෙන ඉන්නවා වගේ වැඩක්. ගැහැනු ළමයෙකුගේ පැත්තෙන් ගත්තොත්, කසාද බැන්ද දවසේ උයාගෙන පිහාගෙන ළමයි හදාගෙන කසාද ජීවිතේ ඇතුළෙ ඒක වෙනුවෙන්ම අර ලස්සන ගෑනිගේ ලස්සන ජීවිතේ කැපවෙනවා. කසාද ජීවිතේ ඇතුළෙම ගැහැනියගේ මනස විනාශ වෙනවා. පිරිමිත් එහෙමයි. සල්ලි හම්බ කරන්න, ගෙවල් හදන්න දුවනවා. ඇත්තම කියනවානම්, ලංකාවේ කසාදය කියන්නේ වහක්. කසාද බැඳලා ටික කාලයක් යද්දී ඒ ප්‍රේමය නැති වෙනවා. ඊට පස්සේ බිරිඳ ස්වාමියා ජීවත් වෙන්නේ පුරුද්දට. මේ මගේ සැමියානේ, මේ මගේ බිරිඳනේ කියලා. 
අපේ ශිෂ්ටාචාරය ඇතුළේ අපි කොච්චර ලිබරල්ව ජීවත් වෙච්ච ජාතියක්ද? අතීතයේ  කතා ගත්තොත් එහෙම, සුප්පා දේවිය  කියන රජ කුලේ ගැහැනිය ගිහිල්ලා තමන් ආසකරන පිරිමියා ගාව, වනවාසි සිංහයෙක් ළඟ නතර වෙනවා. අතීතයේ එකගෙයි කෑම කොච්චර ලිබරල් වුණත්, දැන් ඒවා අපට අප්පිරියයි වගේ සිතුනට, ඒ කාලේ අපට කොච්චර ලිංගික නිදහසක්  තියෙන්න ඇත්ද? 
බැඳිම් අල්ල ගන්න ඕනැ අතමිට මොළවලා නෙමෙ, ඇඟිලි දෙක තුනෙන්. 
සාමාන්‍යයෙන් ආදරයක් නතර වුණාම, පැති කිහිපයකින් ප්‍රශ්න එනවා. පළමු ප්‍රශ්නය එන්නේ හිතින්. මං කොහොමද එයා නැතුව ඉන්නේ?. හැමෝම දන්න ප්‍රේම සම්බන්ධතාවක් නතර වුණාම, ඊළඟ ප්‍රශ්නය එන්නේ සමාජයෙන්. දැන් කොහොමද මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ? ඊළඟ ප්‍රශ්නය, මගෙන් මිදුනාට පස්සේ එයා මොනවා කරයි ද? මේ ප්‍රශ්න ටිකට හරියට උත්තර හොයාගන්න පුළුවන් නම්, ආදරයක් නැතිවුණු පළියට ඒ මත්තෙම ඇලි ඇලී ඉන්න අවශ්‍ය නැහැ. අපි තේරුම් ගත යුතු  ප්‍රධානම කාරණය තමයි, තමන්ට තමන් හැර වෙන කිසිම කෙනෙක්  සදාකාලිකව අපි ළඟ නැහැ කියන සත්‍යය.  

නදීෂා අතුකෝරළ