ලංකාවේ පාසල් දරුවන්ගෙන් 40% ක් ශාරීරිකව සහ මානසිකව අවපිඩනයට ලක් වෙලා


වරදකාරී හැඟීමෙන් ලියමි. තරුණ ජීවිත මෙසේ අකාලයේ මිලින වෙන්නට ඉඩ දී සිටීම ගැන තැවෙමි. මේ එවන් පළමු අකල් මරණය නොවුණ ද මෙය එවන් අවසන් අකල් මරණය වෙනු 
ඇතැයි අපේක්ෂාවෙන් ඇයගේ කතාව 
මෙසේ ලියා තබමි.    
ඇය නමින් රාධ්‍යා ගුණසේකරය.  15 වැනි වියේ පසු වූ රාධ්‍යා, කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වූ අතර කොළඹ 7 ග්‍රෙගරි මාවතේ පිහිටි කොළඹ ජාත්‍යන්තර පාසලේ  10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දියණියකි.  රාධ්‍යා, දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණියයි. රාධ්‍යාගේ පියා ව්‍යාපාරිකයෙකු වෙන අතර ඇය සැපවත් ජීවිතයක් විඳිමින් කෙළිදෙලෙන් ජීවිතය ගත කළ යෞවනියකි. එලෙස ජීවත් වූ  රාධ්‍යා,  පසුගිය 7 වැනිදා ජීවිතයේ සියල්ල සමාප්ත කරමින් ජීවිතයෙන් පලා යන්නේ ඒ තුළ මහත් අබිරහසක් ඉතිරි කරමිනි.
පසුගිය 07 වැනිදා පස්වරුවේ පාසල නිමවීමෙන් අනතුරුව ඇය කුරුඳුවත්තේ සිට කොළඹ නෙළුම් කුලුනට පැමිණෙන්නේ  පාසල් නිල ඇඳුමින්මය. ඇය පැමිණ ඇත්තේ තනිවමය. ප්‍රවේශ පත්‍රයක්ද රැගෙන  නෙළුම් කුලුනේ 29 වෙනි මහලට නැඟ පාසල් නිල ඇඳුම් සිය පොත් බෑගයේ දමා වෙනත් ඇඳුමකින් සැරසී, නෙළුම් කුලුනේ නැරඹුම් මහලට ගොස් සිය සපත්තු ගලවා බැම්ම මතට නැඟ කෙටි කාලයක් තුළ අවස්ථා කිහිපයක දීම සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇත. ඇය බිමට පැන ඇත්තේ සවස 3.30ත් 4.00ත් අතර කාලයේ දී බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත. නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී ඇත්තේ ඇය විනාඩි 15ත් 20ත් අතර කාලයක අවස්ථා කිහිපයකදීම ඉන් පැනීමට උත්සහ කර ඇති බවය.
නැරඹුම් මහලේ සිට බිමට පනින ඇය එහි දී වැටී ඇත්තේ තෙවැනි මහලේ කොන්ක්‍රිට් තට්ටුව මතටය. මෙම සිසුවිය නෙළුම් කුලුනට පැමිණ ඉහළ මහල වෙත ගමන් කරන අයුරු මෙන්ම නැරඹුම් මහලේ ඇය සැරිසරන අයුරු ආරක්ෂක කැමරාවල ද සටහන්ව තිබෙන බව නෙළුම් කුලුන භාර කළමනාරිත්වය පවසන අතර  මෙම සිසුවිය නෙළුම් කුලුනෙන් බිමට පැන්න නැරඹුම් ස්ථානයේ සිට ඇය බිමට වැටුණු තුන්වැනි මහල අතර උස මීටර් 250ට වැඩි බවත් මෙරට ඉතිහාසයේ ගොඩනැඟිල්ලක මෙතරම් ඉහළකින් බිමට පැන සිය දිවි හානිකර ගැනීමක් සිදුකළ පළමු අවස්ථාව මෙන්ම නෙළුම් කුලුනෙන් පැන සියදිවි හානිකරගත් පළමු තැනැත්තිය ඇය වෙන බවත් නෙළුම් කුලුන පාලනාධිකාරිය පවසයි. ඇය බිමට පැන ඇත්තේ ද ආරක්ෂක නිලධාරීන් මෙන්ම නැරඹුම් මහලේ සිටි බොහෝ පිරිසක් මඟ හැර හුදෙකලා ස්ථානයකින් බව ද විමර්ශනයේ දී හෙළි වී ඇත.
මෙම ඛේදවාචකයේදී නෙළුම් කුලුන නැරඹුම් මැදිරියේ ආරක්ෂක නිලධාරින් සේවය පැහැර හරියා ද? රාධ්‍යා එහි ආරක්ෂක නිලධාරින්ගේ ඇස නොගැටී උඩින් පහළට පැන්නේ කෙසේ ද?  ප්‍රශ්නාර්ථයකි. මේ සිද්ධිය පිළිබඳ තවමත් ඇසෙන්නේ විවිධ කතාය. තවමත් අබිරහසක් වුණ රාධ්‍යා සියදිවි නසා ගත්තේ කිසිවකුගේ බලපෑම නිසාද..? නැතිනම් ඇය තුළ වූ මානසික ගැටලුවක් නිසාද ? මේ ගැන තවමත් ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. 
‘‘දුවගේ පන්තියේම හිටපු දුවගේ හොඳම යාළුවෝ දෙන්නා සියදිවි නසා ගත්තාට පස්සේ එයා හිටියේ ගොඩාක් දුකින් සහ දැඩි කම්පනයෙන්’’ යැයි කොළඹ නෙළුම් කුලුනේ 29 වැනි මහලේ පිහිටි නැරඹුම් මැදිරියෙන් පැන සියදිවි නසාගත් රාධ්‍යා මෙත්මලී ගුණසේකර දැරියගේ පියා  මංගල ගුණසේකර කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි ඉදිරියේ සාක්කි දෙමින් කියා සිටියේය.
‘‘මට දුවලා දෙන්නයි. මේ මියගොස් සිටින්නේ මගේ බාලම දුව. මෙයාට අක්ක කෙනෙක් ඉන්නවා. එයා  උසස් අධ්‍යාපන වෙනුවෙන් ඉන්නේ බෙලරූස්වල. මමයි මගේ බිරිඳයි තමයි දුවගේ හැමදේම බලන්නේ. මම ව්‍යාපාරිකයෙක්. මට රබර් නිෂ්පාදන ව්‍යාපාරයක් තියෙනවා. අපි පදිංචි වෙලා ඉන්නේ කොල්ලුපිටිය ප්‍රදේශයේ. රාධ්‍යා දුව ඉගෙන ගත්තේ කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලේ.  එයා මේ අවුරුද්දේ ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට තමයි හිටියේ.  එයාව පාසලට එක්ක යන්නේ එක්ක එන්නේ අම්මා හරි මම හරි තමයි. පසුගිය 07 වැනිදා, ඒ කියන්නේ දුව මේ විපත සිදු කරගත්ත දවසේ,  උදේ 07.10 ට මම වෙනදා වගේම එයාව පාසල් ඇරලුවා. 
දුව කිව්වා එදා ගීතිකා පුහුණුවක් හා අමතර පන්තියක් තියෙනවා කියලා.  අපි දුවට ෆෝන් එකක් දීලා තියෙනවා. එදා එයා මට මැසේජ් එකක් දැම්මා පාසල ඉවර වෙලා, කෑම එකක් ගෙනත් දෙන්න කියලා. ඒ අනුව මම දවල් 2 ට විතර පාසල ළඟට ගිහින් දුවට කෑම එකක් දුන්නා. කෑම එක ගන්න වෙලාවේ එයා ගේට්ටුව ළඟට ආවේ එයාගේ යාළුවෙක් එක්ක. ඉතිං මම දුවට කතා කරලා කෑම එක දීලා ගෙදර ගියා. හවස 04.55 ට විතර මම දුවගේ පෝන් එකට කතා කළා, අමතර පන්තිය ඉවර වෙන වෙලාව අහන්න. ඒ වෙලාවේ  ආන්සර් කළේ පොලිසියෙන්. පොලිසියෙන් කීවා දුවට අනතුරක්, නෙළුම් කුලුනට එන්න කියලා. ඊට පස්සෙ තමයි මම විස්තරේ දැන ගත්තේ.”
ඉකුත් ජූලි මාසයේදී කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි නසාගත් ඩිවෝන් සහ රෝස් යන පාසල් සිසුන්ගේ මරණ ද රාධ්‍යාගේ මරණින්  පසු නැවතත් කරළිය පැමිණ ඇත.
ඒ සියදිවි නසාගත් රෝස් නමැති පාසල් සිසුවිය නෙළුම් කුලුනෙන් පහළට පැන සිය දිවි නසාගත් රාධ්‍යාගේ හොඳම පාසල් මිතුරියක් බව කියැවෙන්නේ රාධ්‍යාගේ පියා රාධ්‍යාගේ මරණ පරීක්ෂණයේ දී දුන් පොලිස්  සාක්ෂියත් සමඟය. එතැනින් පසු රාධ්‍යාගේ මරණය කරළියට  එන්නේ වෙනස්ම කතාවකිනි.
සපත්තු හා බෑග් පනින තැන ආදි දේවල් ඇයගේ යෙහෙළිය මියගිය ආකාරයට සමාන මුහුණුවරකින්  රාධ්‍යාගේ අවසානය ද ඇය සිදුකරගෙන ඇති මෙම මරණ තුනම එකිනෙක සම්බන්ධිත ගැටලුවක් නිසා සිදුවූවා ද යන්න ප්‍රහේලිකාවකි.
“දුව  ඉතාම හොඳට හිටියා. දැන් සති කිහිපයක වගේ ඉඳලා දුව හිටපු ගමන් පාසල් යන්න බැහැ කිව්වා. ගිය සතියෙත් දවස් දෙකක් පාසල් ගියේ නැහැ. සමහර වෙලාවට මහන්සියි කියලා පාසල් යන්න බැහැ කියනවා. මානසික ආතතිය එයාට තිබුණා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඉඳලා ගිය අගෝස්තු වෙනකල් එයා මානසික ආතතියට බෙහෙත් බිව්වා. එයා හිටපු ගමන් ගොඩක් කලබල වෙලා එකපාරටම නිහඬ වෙනවා. පසුගිය ජුලි මාසයේදී කොම්පඤ්ඤවීදිය අල්ටෙයාර් කුලුනෙන් පැනල සියදිවි නසාගත්ත ළමයි දෙන්නත් දුවගේ පන්තියේම හිටපු දුවගේ හොඳම යාළුවෝ. 
සියදිවි නසාගත් ළමයා අවසන් වරට පන්තියෙන් පිටව යෑමේදී  ඒ කියන්නේ සියදිවි නසා ගැනීමට දින දෙකකට ඉහත දී දුවත් එක්ක කතාබහ කරලා කිහිපවරක්ම මුහුණ සිප වැලඳ තමයි සමු අරන් තියෙන්නේ. ඒ ළමයි සියදිවි නසාගත්ත දවසේ ඉඳලා මගේ දුව සෑහෙන්න දුකින් හිටියේ. පාසලෙන් පවා කීවා මගේ දුව හොඳයි. ඒත් එයාගේ යාළුවෝ දෙන්නා  සියදිවි නසා ගත්තට පස්සේ එයා 
සිටියේ ගොඩාක් දුකින් සහ දැඩි කම්පනයෙන් කියලා.
ඒ වගේම තමයි දුවගේ ඉස්කෝලේ නවක වදය ලොකුවට තියෙනවා කියලා එයා කියලා තියෙනවා. නවක වදයට දෙන්නේ මොන වගේ වදයක්ද කියලා ඇහුවට එයා කියන්නේ නැහැ.  මේක පෞද්ගලික මිශ්‍ර පාසලක්. පාසලෙන් ශාරීරිකව හෝ මානසිකව යම්  අවපීඩන තත්ත්වයක සිටියා ද කියලාත් හිතෙනවා. දුවගේ මානසික තත්ත්වය ගැන මට කියන්න තියෙන්නේ එච්චරයි. මට හිතෙන්නේ මෙයා සැලසුම් කරලම තමයි මේ දෙය කරගෙන තියෙන්නේ. නෙළුම් කුලුනට කොහොම ගියාද කියලා මම දන්නේ නැහැ.
අපි එයාගේ අතට ලොකුවට සල්ලි දෙන්නේ නැහැ. එයාට බැංකු ගිණුමක් තිබුණත් එයාට ඒ සල්ලි ගන්න බැහැ අවුරුදු 18 ට අඩු නිසා. ඇත්තටම එයාට ලොකුවට මුදල් අවශ්‍යතාවක් නැහැ. අපි හැමදේම එයාට අඩුවක් නැතුව දුන්නා. දුව අමතර පන්තිවලට යන්නේ සෙනසුරාදා, ඉරිදා දවස්වල. ඒවටත් එක්ක යන්නේ, එක්ක එන්නේ අම්මා හරි මම හරි තමයි. ඊට අමතරව, නිවසටත් ටියුෂන් ගුරුවරු ගෙන්නලා පන්ති දෙකක් කළා. ඒවටත් සාමාන්‍ය විදිහට සහභාගී වුණා. එයාගේ ජංගම දුරකතනයත් අපි විටින් විට පරීක්ෂා කරනවා. දුව මේ කරදරය කරගත්ත දවසේ  එයාගේ ළඟම යාළුවාටත් බොරුවක් කියලා තමයි නෙළුම් කුලුනට ගිහින් මේ අපරාධය කරගෙන තිබෙන්නේ’’ යැයි රාධ්‍යාගේ මරණ පරීක්ෂණයේ දී  පියා සාක්ෂි දෙමින් ප්‍රකාශ කොට ඇත.
කෙසේ නමුත් රාධ්‍යාගේ සියදිවි නසා ගැනීම තාමත් අබිරහසකි. රාධ්‍යාගේ සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් මේ වෙන විට පුද්ගලයන් 05 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ඇති අතර අදාළ සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇත්තේ බහුවිධ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය. කෙසේ වෙතත් මෙම සිසුවිය එලෙස සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.
 සියදිවි නසා ගැනීමට තරම් ගැටවර 
 වියේ දරුවන්ගේ මානසිකත්වය  
 පත්වෙන්නේ ඇයි?  
මේ සම්බන්ධයෙන් මනෝ වෛද්‍ය  එන්. කුමාරනායක මහතා අදහස් පළ කළේ මෙලෙසය.
‘‘සිය දිවි හානිකර ගැනීම අතිශය සංකීර්ණ මානුෂීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මෙයට හේතු බොහොමයක් තියෙනවා.
ගැටවර වියේ දී ඇතිවෙන මානසික අවපීඩනය හඳුනා ගැනීමට අපහසු දෙයක්. ඔහුට හෝ ඇයට හැඟීම් පාලනයට අපහසු බව කිපෙන සුලු බව, හුදෙකලා වී සිටීමට ඇති ආශාව, අධ්‍යාපනයට ඇති උනන්දුව නැති වී යාම තමන්ගේ පිරිසිදුකම හා සෞඛ්‍ය ගැන නොසැලකිලිමත් වීම අපිළිවෙළ වගේ බහුලව මානසික අවපීඩාවන්ගෙන් පෙළෙන දරුවන් තුළ මේ ලක්ෂණ දැකගත හැකි වෙනවා. 
 ගැටවර වියේ දී හැඟීම් පාලනයට 
 අපහසු ඇයි?  
අවුරුදු 10- 18 අතර සිටින ගැටවර වියේ දරුවෙක් කියන්නේ මනෝ විද්‍යාවට අනුව හැඟීම් පාලනය කරගැනීමට අපහසු වයසක්.  ලංකාවේ දරුවන්  සියදිවි නසා ගන්නා දරුවන්ගෙන් සියයට 90 ක්ම විශාදයට ගොදුරු වූ අය බව සමීක්ෂණ වාර්තා වලින් තහවුරු වී තිබෙනවා. 
ගැටවර විය කියන්නේ ජීවිතයේ පෞර්ෂ වර්ධනයේ ඉතා වැදගත් අවස්ථාවක්. මොළයේ වම් පස ලලාට කණ්ඩිකාව කියන්නේ අපිව පාලනය කරන බුද්ධියේ කොටස. ඔවුන්ගේ හැඟීම් පාලනයට අදාළව මොළයේ වම් පස වැඩෙමින් පවතින කාලයක්. මේ වයසේ දරුවන්ගේ ක්‍රියාකාරී වෙන්නේ දකුණු පස මොළය. ඒ කියන්නේ ඒ දරුවන් හරිම හැඟීම් බරයි. දරාගැනීමේ ශක්තිය අඩුයි. මේ තත්ත්වය මව්පියන් තේරුම් ගත යුතු වෙනවා. 
ඒ වගේම  දරුවන්ට යාළුවෙක් වෙන්න, ඔවුන් එක්ක කාලය ගත කරන්න. දරුවන් ඇඟ පතින් කොයි තරම් උස් මහත් වුණත් පොඩි හරි වෙලාවක් දරුවන් වෙනුවෙන් වෙන් කරන්න මව්පියන්ගේ වගකීම වෙනවා. බොහෝ ගැටවර වියේ දරුවන් මොකක් හෝ ගැටලුවක් පැන නැගුණ විගස  තමන්ටම වෛර කරගන්නත් පෙලඹිලා තියෙන්නේ ඔවුන්ට ඇහුම් කන් දෙන්න කෙනෙක් නැති වීම නිසා. 
 පාසල් තුළ මානසික හා ශාරීරක  
 අපයෝජන ඉහළට 
යුනිසෙෆ් ආයතනය මගින් නැගෙනහිර, දකුණ, බස්නාහිර, උතුර යන පළාත් 4 තුළ සිදුකර ඇති සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා, දරුවන්ගෙන් සියයට 40 ක්ම මානසික හෝ ශාරීරික 
අපයෝජනයන්ට ගොදුරු වෙන බව සමහර ගුරුවරුන් පවා මේ අපයෝජනයන්ට හවුල් වෙලා තියෙනවා. 
දරුවන් මෙසේ අපයෝජනයට ලක් වීමෙන් ඔවුන්ගේ අධ්‍යාපනය බිඳ වැටීම, දැඩි ආතතීන්ට ගොදුරුවීම වැනි දේ සිදු වෙන්න පුළුවන්. එම තත්ත්වයන්  සියදිවි නසා ගැනීම්වලින් කෙළවර විය හැකිය. නෙළුම් කුලුනෙන් පැන සියදිවි නසාගත් දැරියගේ පියා එක තැනකදී කියනවා ඇයගේ පාසලේ නවක වදය තදින්ම තිබුණා කියලා පවසා තියෙනවා කියලා. මේ කතාවේ සත්‍ය සිදුවීම් මම අත් විඳලා තියෙනවා, මගේ ළඟට එහෙම දරුවෝ ඇවිත් තියෙනවා. 
“එක දරුවෙක් හිටියා, අවුරුදු 17 යි. උසස් පෙළට කොළඹ ජනප්‍රිය පාසලකට ආවා. ඇයව අපයෝජනය කළේ ඇගේ උඩුකය නිරුවත්ව පෙන්නවන ලෙසටයි. මේ සිදුවීම දිගින් දිගටම වෙනකොට ඇයට ජීවිතේ එපා වුණා, පාසල් ගමන එපා වුණා. එතන දී දෙමාපියන් විමසිලිවන්තව ළමයාගේ වෙනස හඳුනාගෙන ප්‍රතිකාරවලට යොමු කළ නිසා ජීවතය බේරුණා.” 
“කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්න අවුරුදු 16 ක දරුවෙක්  ආවා. මේ ළමයාට තවත් කෙනෙක් බල කරනවා පිරිමි ළමයකුට පෙම් හසුනක් ලියන්න කියලා. මේ දැරිය එය ප්‍රතික්ෂේප කරන්න කරන්න ඇයට දෙන මානසික පීඩනය වැඩි වුණා. දරිය දැඩි මානසික කම්පනයකට පත්වෙලා පාසල් ගමන ප්‍රතික්ෂේපම කළා. සමහර දරුවන්ට පාසලේදී සිගරට් 
බොන්නම කියලා බල කරනවා. බිව්වේ නැත්නම් ගහනවා. 
මේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමය සහ විභාග ආතතිය, ගුරුවරුන්ගේ ක්‍රියා කලාප නිසාම පාසල් දරුවන්ගෙන් සියයට 40 කට පමණ ජීවිතය එපා වෙලා.  
 සියදිවි නසාගැනීම ගැටවර වියේ 
 මෝස්තරයක් වෙලා ද?
මං ඉහතදිත් සඳහන් කළා අවුරුදු 10 – 25 අතර දූරුවන් හැඟීම් පාලනයේ දී දුර්වල බව. ඒ අය ප්‍රශ්න විසඳීමේ දී හා තීරණ ගැනීමේ දී ඉතාම දුර්වලයි. ඒ නිසාම ඔවුන් අනුකරණවලට පෙලඹෙනවා. හොඳටම දන්න ළඟම ඉන්න යාළුවෝ ඒ අයට ආව ගැටලු නිරාකරණය කරගත් ආකාරයටම විසඳ ගන්න යනවා. තරුණ වයසේ ජීවිතේ නැතිකර ගැනීම  මේ ආකාරයට රැල්ලක් විදිහට පැතිරෙන්න පුළුවන්. 
මීට දින කිහිපයකට ඉහත දී නෙළුම් කුලුනෙන් පැන සියදිවි නසා ගත් දියණියගේ පියා කියනවා එක තැනක දී ‘පසුගිය ජුලි මාසයේ දී කොම්පඤ්ඤවීදිය අල්ටෙයාර් කුලුනෙන් පැනල සියදිවි නසාගත්ත දරුවෝ දෙන්නත් දුවගේ පන්තියේම හිටපු දරුවෝ. ඒ අය සියදිවි නසාගත්ත දවසේ ඉඳලා මගේ දුව සෑහෙන්න දුකින් හිටියේ’ කියලා. කොහොම වුණත් මේ මරණයෙදී ඇය අනුගමනය කරලා තියෙන්නේ ඒ මිතුරිය සහ මිතුරා ජීවිතය නැති කර ගත් ආකාරයමයි.  
විශේෂයෙන්ම ගුරුවරුන්ටත් දරුවන්ගේ මනස පිළිබඳව මනෝ විද්‍යාත්මක වැඩමුළු පැවැත්ම අනිවාර්ය‌යෙන් කළ යුත්තක්. 
කෙනෙකු සිය දිවි නසා ගන්න පෙලඹෙන්නේ බොහෝ විට පුද්ගලික කරුණු නිසායි. සිය දිවි නසා ගැනීමට ඕනෑම මට්ටමක කෙනෙක් පෙලඹීමේ හැකියාව තියෙනවා. එයට කෙනෙකුගේ අධ්‍යාපන මට්ටම, ආර්ථික තත්ත්වය හෝ වෙනත් කාරණා බලපාන්නේ නැහැ. සියදිවි නසා ගන්නේ කවුරුන්දැයි කල් තියා හඳුනාගැනීම දුෂ්කර වුණත් බොහෝ විට එවැනි කෙනෙක් ඒ ගැන තමන්ගේ සමීපතමයකුට සිය 
දිවි නසාගැනීමට උත්සාහ කිරීමට පෙර ඉඟි ලබා දෙනවා. විශාදය තත්ත්වයේ දී වැඩිහිටියකුගෙන් පෙන්නුම් කරන ලක්ෂණවලට වඩා ගැටවර වියේ දරුවකුගෙන් පෙන්නුම් කරන ලක්ෂණ හාත්පසින්ම වෙනස්.

මෙවැනි තත්ත්වයක දී ගැටවර වියේ දරුවන් සිටිනා මව්වරුන් දරුවාව තේරුම් ගැනීම ඔවුන්ගේ විශේෂ වගකීමක් වෙනවා. විශේෂයෙන් දරුවන් ඇසුරු කරන යහළුවන් යන එන ස්ථාන, දරුවාගේ පසුබෑම්වල දී එයාව තවත් අධෛර්යමත් කිරීම වෙනුවට වෙනදාට වඩා සෙනෙහසින් දරුවාට ළංවීම සිදු කළ යුතුය. 
විශාදය රෝගයෙන් පෙළෙන පුද්ගලයකු දිගු කාලයක් තිස්සෙ පවතින ශෝකී බව සහ හිස් බව ඔහුගේ චර්යාව තුළින්ම නිරූපණය කරනවා. ඇතැම් අවස්ථාවලදී නව යොවුන් වියේ තරුණ තරුණියන් අතර මෙම ශෝකී බව වෙනුවට නිතර කේන්ති යනසුලු ගතිය සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම දැක ගත හැකිය.
නදීශා අතුකෝරළ