ලංකාව යුදෙව් කොලනියක් නොවී අනුනවයෙන් බේරුණු හැටි


ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණෙන යුදෙව් සංචාරකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳව බොහෝ කතාබහ පසුගිය දිනවල අපට අසන්නට ලැබිණ. යුදෙව් සංචාරකයන් නිසා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාවට ද තර්ජන එල්ල විය හැකිය යන මතය සමහරු අද දරති.
යුදෙව්වන් හා ශ්‍රී ලංකාව පිළිබඳ කතාව ශත වර්ෂ ගණනාවක් දුරට දිවයන්නකි. මෙහි ඇති විශේෂම සංසිද්ධියක් වන්නේ ශ්‍රී ලංකාවේ යුදෙව් කොලනියක් බිහි කරන ලෙස 19 වැනි සියවසේ ගෙන ආ යෝජනාවකි. 1809 වන විට ලංකාවේ අගවිනිසුරුව සිටියේ ඉංග්‍රීසි ජාතික ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන්ය. 1799 දී බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයකු ලෙස ලංකාවට පැමිණි ජොන්ස්ටන් අගවිනිසුරු ධුරයට පත්වූයේ 1805 වසරේදීය.
අගවිනිසුරු ජොන්ස්ටන් 1809දී බ්‍රිතාන්‍ය රජයට යෝජනාවක් කළේය. ඒ ලොව පුරා සරණාගතයන් ලෙස රටින් රටට යන යුදෙව් ජාතිකයන්ගෙන් කොටසක් එකතු කර යුදෙව් කොලනියක් ලංකාවේ ඇති කරන ලෙසය.
බ්‍රිතාන්‍යයන්ට පෙර ලංකාව පාලනය කළ ලන්දේසීන්ගේ කාලයේ ලංකාවට සෑහෙන යුදෙව් සංක්‍රමණිකයෝ පිරිසක් පැමිණ සිටියහ. සමහරු රජයේ විවිධ තානාන්තරද දැරූහ. මානව වර්ගයා කෙරෙහි පොදුවේ ශ්‍රී ලාංකිකයන් දක්වන සාමකාමී, ලිහිල් ආකල්ප හා ප්‍රතිපත්ති නිසා ඉන්දියාවේ සිටි යුදෙව් ජාතිකයෝද ලංකාවට ඒ වන විට පැමිණෙමින් සිටියහ.
ඓතිහාසික මූලාශ්‍ර අනුව 12 වැනි සියවස පමණ වන විට සිංහල රාජසභාවල ද යුදෙව් ජාතිකයන් සිටි බවට ලිඛිත තොරතුරු ඇත. සිංහල රජවරු අන්තර්ජාතික වෙළෙඳ කටයුතු සඳහා වෙළෙඳාමේ දක්‍ෂ යුදෙව්වන්ගේ උපකාර ලබාගන්නට ඇතැයි අනුමාන කළ හැක. කෙසේ නමුත් ලන්දේසීන් ලංකාව අත්පත් කරගන්නා තෙක් විශාල යුදෙව් ජනගහනයක් ලංකාවේ සිටි බවට කිසිම තොරතුරක් නැත.


1809දී අගවිනිසුරු ජොන්ස්ටන් ලංකාවේ යුදෙව් කොලනියක් අරඹන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කළත්, ජොන්ස්ටන්ගේ එම යෝජනාව බ්‍රිතාන්‍ය රජය ක්‍රියාත්මක කළේ නැත. එවැනි පියවරක් නිසා ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයද අවුල් වී යා හැකි යැයි බ්‍රිතාන්‍ය පාලකයෝ කල්පනා කළා වන්නට ද ඇත. මේ වන විට සිංහලයන් හා බ්‍රිතාන්‍ය රජය අතර නොයෙකුත් ගැටුම් ආරම්භ වී තිබිණි. ලංකාවට විශාල යුදෙව් ජනගහනයක් ගෙන ආවොත් ගැටුම් තවත් උත්සන්නවීමේ අවදානමක් තිබිණ. 
අපේ අසල්වැසි ඉන්දියාවේ 9 වැනි සියවස පමණ වෙන විටත්, යුදෙව් ජාතිකයන් සිටි බවට සාක්‍ෂි ඇත. පසුකාලීනව ඔවුහු දකුණු ඉන්දියාවේ මදුරාසිය, කොචින් වැනි නගරවලද - නැගෙනහිර ඉන්දියාවේ කල්කටා නගරය මෙන්ම උතුරු ඉන්දියාවේ දිල්ලි නගරය ආශ්‍රිතව ජනාවාස ඉදිකරගෙන වෙළෙඳ කටයුතුවල නිරත වූහ. කේරලයේ කොචින් නගරයේ පරණ කොටුවේ අදටත් කුඩා යුදෙව් නගරයක් ඇත. යුදෙව් ජාතිකයෝ කුළුබඩු, තේ වෙළෙඳාමේ දක්‍ෂයෝය. 
දෙවැනි ලෝක යුද සමයේද හිට්ලර්ගේ හිංසනයට බියෙන් දෙදහසක පමණ යුදෙව් ජාතිකයන් පිරිසක් ඩෙන්මාර්කය හරහා ඉතා දුර ගමනකින් පසුව ඉන්දියාවට පැමිණ ඇත. මීට අමතරව එවකට ඉන්දියාවේම කොටසක් ලෙස පැවති, අද පාකිස්ථානයේ රාවල්පින්ඩි හා පෙෂාවර් නගරවලද බංගලාදේශයේ  ඩකා නගරයේද යුදෙව් ජනාවාස තිබී ඇත.


අද ඉන්දියාවට පැමිණෙන බහුතරයක් තරුණ යුදෙව් ජාතික සංචාරකයන් එහි පැමිණෙන්නේ දලයිලාමා තුමා සිටින හිමාචාල් ප්‍රාන්තයේ ධර්මශාලා ප්‍රදේශයේ සංචාරයටයි. ඊශ්‍රායල් ජාතිකයන් බුදුදහම කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන අතර, ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායේ පැවිදි දිවියට ඇතුළු වූ බොහෝ බටහිර තරුණ තරුණියන් අතර සෑහෙන යුදෙව්වෝ පිරිසක් සිටිති. මීට අමතරව තායි සම්ප්‍රදායෙන් මහණ වූ බටහිර භික්‍ෂූන් අතර ද යුදෙව්වන් කැපී පෙනේ.
සංචාරකයන්ට අවශ්‍ය ගමනාගමන පහසුකම් විශේෂයෙන්ම පහසුවෙන් ගමන් කළ හැකි මාර්ග ආදිය සලකා බලනවිට අද බොහෝ බටහිර සංචාරකයෝ ඉන්දියාවට වඩා මාලදිවයින හා ශ්‍රී ලංකාව තෝරා ගනිති. එහෙත් යුදෙව් සංචාරකයන්ට දැන් මාලදිවයිනට යාම ප්‍රශ්නයක්ව ඇත්තේ, එය ඉස්ලාමීය රටක් නිසාය. ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් යුදෙව්වන් දෙස බලන්නේ, ඔවුන්ගේ ප්‍රධාන සතුරා ලෙසය. විශේෂයෙන්ම පසුගිය වසරේ ඔක්තෝබර් මස ආරම්භ වූ ගාසා ඊශ්‍රායල් ගැටුම් වලින් පසුව මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇත. මේ හේතුව නිසා මේ වසරේ මුල් මාස නවය තුළ ලංකාවට පැමිණි ලක්‍ෂ 15ක් පමණ වන සංචාරකයන්ගෙන් විසිදහසක් යුදෙව් ජාතිකයන් වීම පුදුමයක් නොවේ. ලෝක යුදෙව් ජනගහනය ලක්‍ෂ 157ක් වන අතර, ඉන් හරි අඩක් පමණ එනම් ලක්‍ෂ 70ක් පමණ සිටින්නේ ඊශ්‍රායලයේය.
යුදෙව් සංචාරකයන් පිළිබඳ මෙවර ප්‍රශ්නයක් ඇති වූයේ සංචාරක වීසා රැගෙන ලංකාවට ඇතුළුවන ඔවුන්ගෙන් පිරිසක් නැගෙනහිර වෙරළතීරයේ ඔවුන් ලැගුම්ගන්නා ස්ථාන ආශ්‍රිතව නොයෙකුත් වාණිජ කටයුතුවල නිරතවීම නිසාය. එම කටයුතුවලට දේශීය ජනතාවගේ ද සහයෝගය සමහර අවස්ථාවන්හීදී ලැබී ඇති අතර, වසර ගණනාවක්ම යුදෙව්වන් අරුගම්බේ ආශ්‍රිතව නොයෙකුත් වාණිජ ක්‍රියාකාරකම්වල නිරතව ඇත.
විදේශ සංචාරකයන් වාණිජ කටයුතුවල නිරත වීම නැගෙනහිර මෙන්ම දකුණු වෙරළ තීරයේද සුලබව සිදුවන දෙයකි. දකුණේදී එය ජාති ආගම් බේදයක් නැතිව සංචාරකයෝ සෑහෙන පිරිසක් එම ප්‍රදේශවල දේශීය ජනයාද එකතු කරගෙන මෙම කටයුතුවල නිරත වෙති. මුදල් අය කරන සම්භාෂණ සංවිධානය - ඒ අතර වේ.


මැදපෙරදිග දේශපාලන වාතාවරණය සමග මෙවර ආරුගම්බේ ප්‍රදේශයට පැමිණි යුදෙව්වන්ට වැඩි අවධානයක් යොමු විය. කෙසේ නමුත් නැගෙනහිර මෙන්ම දකුණු මුහුදු තීරයේද සංචාරකයන් විසින් කෙරෙන නීතිවිරෝධී කටයුතු නැවැත්වීමේ අවශ්‍යතාව  අරුගම්බේ සිදුවීම් මාලාව නිසා වැඩි වැඩියෙන් දැනෙන්න පටන්ගෙන ඇත. සංචාරක කර්මාන්තයට හානියක් නොවන ලෙස සංචාරකයන්ගේ කටයුතු නියාමනය කිරීමේ අවශ්‍යතාවක් මේ නිසා පැන නැගී ඇත.
යුදෙව් දේශය වන ඊශ්‍රායලය බිහිවූයේ 1948 මැයි 14 වැනිදාය. ඊශ්‍රායලය බිහිවීමෙන් වසර 12කට පසු ශ්‍රී ලංකාවේ තරුණ නීතිඥයෙක් නව රාජ්‍යයේ ප්‍රධානම විශ්වවිද්‍යාලය වන හීබෲ විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතුවල නිරත විය. 1918දී ඇල්බට් අයින්ස්ටයින් විසින් ආරම්භ කරන ලද හීබෲ විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමට ගිය තරුණ නීතිඥයා පසුකලෙක ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ධූරයට පත් විය. ඒ ලලිත් ඇතුලත්මුදලි ය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඊශ්‍රායලය හා ශ්‍රී ලංකා රජය අතර ඇති රාජතාන්ත්‍රික සබඳතා නැවතූ පසුව යළිත් යුදෙව් දේශය සමග ශ්‍රී ලංකාව දේශපාලන සබඳතා ගොඩනැගීමට ලලිත් ඇතුලත්මුදලි මහතා මෙන්ම ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන ද දායක විය. ඔවුන්ගේ මතය වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කිරීමෙහිලා ඊශ්‍රායෙල් සහාය ලබාගැනීම අවශ්‍ය බවයි. මෙසේ නැවත ආරම්භ කළ ශ්‍රී ලංකා - ඊශ්‍රායල් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1992 තෙක් පැවතිණි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා 1992දී එම සබඳතා නැවැත්වීමෙන් පසුව, 2000 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය යටතේ නැවතත් දෙරට අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා ඇරඹිණි. එදා සිට අද දක්වා එම සබඳතා නොකැඩී පැවතේ. එසේ වුවත් ජේ.ආර්. ජයවර්ධන යුගයේ මෙන් ශක්තිමත් සබඳතාවක් ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර අද නැත.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඊශ්‍රායලය කෙරෙහි දක්වන දැඩි ආකල්පය නිසා දෝ  ඊශ්‍රායල් රජය හා ඉතා කිට්ටු සබඳතා ඇති කර ගැනීමට පසුකාලීන ශ්‍රී ලාංකික රජයනුත් මැළිකමක් දැක්වීය.
අද ඊශ්‍රායලය නිසා මැදපෙරදිග ඇතිව ඇති අවුල්සහගත තත්ත්වය දෙස බලන විට 1809දී අගවිනිසුරු ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන්ගේ යෝජනාවට බ්‍රිතාන්‍ය රජය එකඟවූයේ නම්, අද ලංකාව කොතරම් ව්‍යාකූල තත්ත්වයකට ඇදවැටීමට තිබූ ඉඩකඩ පිළිබඳව හිතාගන්නටවත් බැරිය. එසේ වූවානම් බොහෝවිට ගාසා යුද්ධයේ දෙවැනි කොටස රඟ දැක්වෙන්නේ 
අපේ ලංකාවේය.