ගෙවුණු මාස 12ට බාලවයස්කාර ගැබ් ගැනීම් 53ක්
රටේ ජීවනාලිය දරුවන් ය. එමෙන්ම රටක අනාගතය තීරණය කිරීමෙහි ලා ඉතාමත් වැදගත් හා ප්‍රබලතම සාධකය වෙන්නේ දරුවන් බැවින්, දරුවන් සඳහා සුරක්ෂිත සමාජ වටපිටාවක් සකස් කරලීම සියලු දෙනාගේ ම යුතුකමක් හා වගකීමක් වෙන්නේම ය. එනමුත් පිපෙන්නට කලින් තැළී පොඩි වී මිලින වී යන සමාජය තුළ අසරණ වූ පුංචි මල් කැකුළු ගැන සෝචනීය, ඉතා ආන්දෝලනාත්මක විවිධ පුවත් රැසක් පසුගිය කාලය පුරාම විටින් විට අහන්න ලැබුණේ ශිෂ්ටත්වය සදාචාරය සංස්කෘතිය මහා ඉහළින් කතාකරන සමාජ වටපිටාවක දී ය. 2024 වසර තුළ බරපතළ ලිංගික අපයෝජනයට ලක් වූ දරුවන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණන 321ක් බවත්, පසුගිය වසර කිහිපය දෙස ආපසු හැරී බැලීමේ දී මෙරට වැඩිම ළමා අපයෝජන සංඛ්‍යාවක් වාර්තා වූ වසරක් ලෙස 2024 වසර හඳුනාගත හැකි බවත්, ළමා ආරක්ෂක අධිකාරියේ සංඛ්‍යාලේඛනවලින් පැහැදිලි වේ.
මෙය රටේ සිදුවෙමින් පවතින සමාජ පරිහානිය හා සෝදාපාළුව පෙන්වන බිහිසුණු ප්‍රවෘත්තියකි. එහෙත් දරුවන් සම්බන්ධයෙන් කතා කරන වගකිවයුතු ආයතන කොතරම් තිබුණත් මේ පුවත සම්බන්ධයෙන් තිගැස්මක් නම් ඇති වූ බවක් නොපෙනේ.
සියලු දරුවන් ගේ ආරක්ෂාව හා යහපැවැත්ම තහවුරු කරමින් ඔවුනට ජීවත්වීමට වඩාත් සුරක්ෂිත හා යහපත් පරිසරයක් උදා කරලීමේ දැවැන්ත අභියෝගය ජය ගැනීමේ වගකීම මුළු මහත් සමාජයක් වෙතම පැවැරී ඇත. සහකම්පනයක් නැති රටක දරුවන් ගැන අනාගතයක් සිතිය හැකිද ? 2024 වර්ෂයේ දී දරුවන් සම්බන්ධයෙන් බරපතළ ලිංගික අපයෝජන පිළිබඳ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 321 වූ අතර, එකී වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට දෙසැම්බර් මස 31 වැනි දා දක්වා වූ කාලය තුළ ලිංගික අතවර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණන580කි. එම කාලය තුළ ළමුන් සම්බන්ධයෙන් ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 8,746ක් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන අතර, ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් 2,746ක් ලැබී ඇත්තේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි ය. ළමුන් කෘෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,950ක් ලැබී ඇති අතර, යාචකයින් ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 229ක් ලැබී තිබේ. ඒ අතර ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 42ක් ලැබී ඇත. ලිංගික ක්‍රියාවන් සඳහා ළමුන් යොමු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 25ක් ලැබී ඇති බව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දත්ත පෙන්වා දෙයි. මේ අතර, ළමා විවාහ සම්බන්ධයෙන් පැමිණිලි 14ක් පසුගිය වර්ෂය තුළ වාර්තා වී ඇත. එමෙන්ම නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කිරීම පිළිබඳ පැමිණිලි 151ක් ලැබී ඇත . සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය හඳුනාගත හැකි අතර, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ දරුවන් අපයෝජනයට ලක්වීමේ ප්‍රධානතම මෙවලමක් බවට අන්තර්ජාලය පත්ව ඇති බවට විවිධ සාක්ෂි සැපයෙමින් පවතී.
අන්තර්ජාලය තුළ, විවිධ හිංසනයන්ට පත්වූ දරුවන් පිළිබඳ තොරතුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනාවරණය වී තිබේ. ඒ අතරින් ශ්‍රී ලංකාවේ දරුවන් වැඩි වශයෙන් භාවිතා කෙරෙන මුහුණු පොත හෙවත් Face Book තුළ ළමුන් නිරන්තරයෙන් සැරිසරන අතර, ඒ තුළ විවිධ අපයෝජනවලට දරුවන් ගොදුරුවීම වැඩි ප්‍රවණතාවක් ඇති බවක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති සංඛ්‍යාත්මක දත්ත අනුව අනාවරණය වේ. මෙම හේතු සාධක මත, පසුගිය වසර තුළ දරුවන් බොහොමයක ගේ ජීවිත අඳුරු වී ඇති අතරම දරුවන් ගණනාවක්ම සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවා ඇත. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ කිසිදු අධික්ෂණයකින් තොරව අන්තර්ජාල පහසුකම් භාවිතය, අයාලේ යෑමට ඉඩහැරීම නිසාම, අවභාවිතය ඉහළ යාම හා ඒ සඳහා පවත්නා නීති නිවැරදිව ක්‍රියාත්මක නොවීමය. එම නිසා මෙම තත්ත්වය පැහැදිලි ලෙසම වෙනස් කළ යුතු වුවත්, මේ වෙන විට ලංකාවේ ‘‘සිස්ටම්’’ සමග මෙම ගැටලුවට පිළිතුරු සෙවීම සුළුපටු නැත. තවද මෙම තත්ත්වයන් අභිමුඛව, බාලවයස්කාර ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 53ක් පසුගිය වර්ෂය තුළ ලැබී ඇති අතර, උප්පැන්න සහතික නොමැති ළමුන් පිළිබඳ පැමිණිලි 39ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සංඛ්‍යාත්මක දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.
ළමා අපරාධ අපයෝජන වැඩිවීමට ප්‍රධානතම හේතුව නිසියාකාර වැඩිහිටි භාරකාරීත්වයක් නොමැති වීමයි
ළමා හා කාන්තා අපයෝජන විමර්ශන සහ වැළැක්වීමේ අංශයේ නියෝජ්‍ය පොලිස්පති, රේණුකා ජයසුන්දර
“ළමා අපයෝජන හා අපරාධ මෙම කාලවකවානුව තුළ පෙරට වඩා වර්ධනයක් තිබෙනවා. පසුගිය වසර කිහිපයට සාපේක්ෂව, 2024 වසර තුළ බරපතළ ලෙස වාර්තා වූ ළමා අපරාධ හා අපයෝජන සම්බන්ධ පැමිණිලි ගොඩාක් වාර්තාවෙලා තිබෙනවා. එයට ප්‍රධානතම හේතු සාධක අතර ළමයින්ට නිසියාකාර භාරකාරීත්වයක් නොමැතිවීම හඳුනාගෙන තිබෙනවා වගේම අතවරවීම්, මත්ද්‍රව්‍යවලට යොමුවීම්, බාලවයස්කාර විවාහ සහ ගැබ් ගැනීම් ආදී නොයෙකුත් අපචාර සහ අපයෝජන වැනි අනෙකුත් හේතු කාරණා වටා තිබෙන්නේ මෙම දරුවන්ට නිසි භාරකාරීත්වයක් නොමැතිවීම. මේ වෙනකොට දරුවන් සම්බන්ධ මෙවැනි ප්‍රශ්නවලදී දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම පාසල් මටට්මින් ළමා අපයෝජනයන් සම්බන්ධයෙන් දරුවන්ව දැනුවත් කිරීම් කටයුතු වැඩි වශයෙන් කරගෙන යනවා.”
2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනතේ 360 (ඉ) වගන්තියට අනුව, ලිංගිකව අපයෝජනය කිරීමේ කාර්යය සඳහා ළමයකු පොලඹවාගැනීමට ඇවිටිලි කරන ඕනෑම තැනැත්තකුට එරෙහිව අවුරුදු 10කට වැඩි නොවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයක් නැතහොත් දෙයාකාරයෙන් එක් ආකාරයක හෝ එම දඬුවම් දෙකම හෝ ලබා දිය හැක. 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනතේ 286 (අ) වැනි වගන්තියට අනුව, ළමයින්ට අදාළව අසභ්‍ය පළකිරීම් හා ප්‍රදර්ශන ආදිය සිදුකරන ඕනෑම තැනැත්තෙකුට එරෙහිව අවුරුදු 2 කට නොඅඩු හා අවුරුදු 10ක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමක් සිදුකළ හැක. තවද එම තැනැත්තාට දඩ මුදලක්ද ගෙවීමට සිදුවේ. එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 286 වෙනි වගන්තිය යටතේ ළමුන්ගේ අසභ්‍ය දර්ශන, වීඩියෝ පට, ඡායාරූප බෙදාහැරීම වරදක් ලෙස සැලකෙන අතරම අසභ්‍ය ප්‍රකාශන පනත යටතේත් එය වරදක් ලෙස පැහැදිලිව දක්වා ඇත. එවැනි නිරුවත් ඡායාරූප, නිල් චිත්‍රපට, වීඩියෝ දර්ශන තව කෙනකුට යැවීම, ෆෝවර්ඩ් කිරීම, ෂෙයාර් කිරීම එම නීතින් යටතේ වරදක් බවට පත් වේ. අප්ලෝඩ් කළ තැනැත්තා පමණක් නොව බෙදාහරින තැනැත්තාත් වරදකරු බවට පත් වේ. අන්තර්ජාලය තුළ පවතින Face Book වැනි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ළමයින්ව අපයෝජනය කරන හා අපයෝජනය සඳහා පොලඹවන තැනැත්තන්ට එරෙහිව ඉහත පනත් 02 කට අදාළව ඉහත පරිදි දඬුවම් නියම කළ හැක. මෙවැනි ක්‍රමවේදයන් ක්‍රියාත්මක වූ කාලවකවානුවක වුවද 2024 වසරේ ළමා අපචාර හා අපයෝජන වැඩි වූ බවනම් කනගාටුවට කරුණකි.
දරුවන්ගේ ආරක්ෂාව, පීඩාවන්, අතවර සම්බන්ධයෙන් මගහැර යානොහැකි ප්‍රශ්න බොහොමයක් පවතින මොහොතක නීතිවේදී නීතීඤ මනෝජි අමරසිරි ගුණවර්ධන මහත්මිය ද දරුවන් සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව සම්බන්ධයෙන්ද මෙලෙස අදහස් දක්වා සිටියාය.
“වර්තමානය වෙන විට දරුවන් විවිධ අයුරින් ළමා අපචාරයන්ට මුහුණ දෙන සිදුවීම් බහුලව අහන්න දකින්න ලැබෙනවා. මෙම ප්‍රශ්නවලට සමාජ මාධ්‍යවල අනිසි බලපෑමක් ඉතා දැඩි ලෙස තිබෙනවා. විශේෂයෙන් වැඩිපුරම පීඩනයන්ට ලක්වෙන්නේ ගැහැනු දරුවන්. විශේෂයෙන් තාක්ෂණික දියුණුවත් එක්ක සමාජ මාධ්‍ය හරහා වැරදිවලට පාසල් දරුවන් විතරක් නෙමෙයි තරුණ, හොඳට දැනුම් තේරුම් තිබෙන දරුවනුත් පෙලඹෙනවා. මේ සම්බන්ධව තිබෙන නීති ප්‍රමාණවත් නැහැ. ඒ නිසා දෙමාපියන් හා ගුරුවරුන් ළමයින්ගේ ප්‍රධානතම මාර්ගෝපදේශකයන් විය යුතුයි . ළමයෙක් කියන්නේ පුහුණු නොකළ රියැදුරෙකු බඳුයි. එවැනි දරුවකු ඕනෑම ආකාරයක පෙළඹවීමකට මෙන්ම අකටයුතුකමකට බඳුන්වීමේ ඉඩකඩ වැඩියි. ළමයා සහ දෙමාපියන් අතර පවතින සුහදතාව, ඕනෑම දෙයක් කතා කිරීමේ හැකියාව මෙන්ම ගුරුවරුන් ලෙස ලිංගික අධ්‍යාපනයේ නිසි මාර්ගෝපදේශකත්වය ද ලබාදීමට කටයුතු කළ යුතුයි. දැන් අධිකරණ වෙත ලැබෙන මාර්ගගත ළමා අපචාර හා අපයෝජන පැමිණිලි වැඩි වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම තමයි, ලංකාව තුළ ලිංගික වින්දිතයන්ට, ගොදුරු වූ වින්දිතයන් සඳහා යුක්තිය ඉටුවෙන්නේ ඉතා මන්දගාමීවයි. ඒ සඳහා ඇති නීති රාමු අකාර්යක්ෂමයි. නමුත් හැකි සෑම විටකම මේ දේවල්වලට එදිරිව කටයුතු කිරීමට මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත හරහා ද ක්‍රියා කිරීමට කටයුතු කරනවා” එතුමිය වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියාය.
පරිවාසවල සිට බන්ධනාගාර වෙත ළමයින් ප්‍රවාහනය කිරීමේ දී නිසි ක්‍රියා පටිපාටියක් නැහැ, දරුවන් අනාරක්ෂිතයි
පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත රෝහණ කුමාර
ළමා අයිතින් තහවුරු වූ, දරුවන්ට සංවේදී හිතකර සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින් බිහි වූ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලික මෙහෙවර වෙනුයේ ජාතික ප්‍රතිපත්තීන් හා ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූල ව අනාථ, අත්හළ හා අසරණ ළමයින් ද නීතිමය ගැටලුවට බඳුන් වූ ළමයින් ද සුවිශේෂ කරගනිමින් සියලුම ළමුන්ගේ අයිතිවාසිකම් තහවුරු වෙන පරිදි ඔවුන්ට සමාන අවස්ථාවන් උදාකර දීමය. මෙකී අරමුණු උදෙසා පිහිටුවා ඇති පරිවාසයන්හි වර්තමානය වෙන විට, විටින් විට දරුවන් සම්බන්ධයෙන් ගැටළු මතුවෙන නමුත් මේ වෙන විට උද්ගතව ඇති ප්‍රධානතම ගැටලුවක් වෙනුයේ පරිවාසවල සිට අධිකරණය වෙත ළමයින් ප්‍රවාහනය කිරීමේදී ඒ සඳහා නිසි ක්‍රියා පටිපාටියක් නොමැතිවීමය.
සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත රෝහණ කුමාර පවසා සිටින්නේ, සමස්ත පරිවාස පද්ධතිය තුළ සේවයේ නියුතු නිලධාරීන් සිටිනුයේ 337ක් පමණක් බව, මෙහිදී උසාවි වෙත ළමයින් ප්‍රවාහනය කිරීමේ දී වාහන සොයා ගැනීමේ ගැටලු මෙන් ම විශේෂයෙන් ගැහැනු දරුවන් ප්‍රවාහනයේදී ඒ සඳහා කාන්තා නිලධාරින් සොයා ගැනීමේ දී දැඩි ගැටලුවලට නිලධාරීන් පත්ව ඇති බවද පවසයි.
2010 වර්ෂයේ සිට සියලු ම ආණ්ඩුවල විෂය භාර ඇමතිවරුන් සමඟ මෙම ගැටලුව සාකච්ඡා කළත් මේ ගැටලුවට සාධනීය පිළිතුරක් නො ලැබුණු බවත්, මේ වෙන විට සංගමයක් ලෙස මේ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, මෙම ප්‍රවාහනය ගැටලුව සම්බන්ධ කටයුතු තවදුරටත් පරිවාස නිලධාරීන්ගේ කර මත පටවා තැබීම කළ නොහැක්කක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මුල් කාලයේ බන්ධනාගාර හා පරිවාස මධ්‍යම ආණ්ඩුව යටතේ එකට ක්‍රියාත්මක වූ අතර බන්ධනාගාර හා පරිවාස වෙන් ව ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 1956 වසරේ ය. ඉන්පසු පළාත් සභා පිහිටුවීමෙන් පසු ව පරිවාසවල පරිපාලන කටයුතු පළාත් සභාව වෙත පැවරුණු අතර ඒ අනුව ළමා නිවාස නඩත්තු කිරීම, ළමයින් අධිකරණයට ඉදිරිපත් කිරීම් ආදී නඩු කටයුතු ආදිය සිදු කරනුයේ මෙම පළාත් සභා මගිනි. එහිදී මෙම කටයුතු දිවයිනේ විවිධ පළාත්වල සම්පත් විසිරී ඇති ප්‍රමාණය අනුව විවිධ ලෙස සිදු වේ.
පරිවාසවල ව්‍යුහය පිළිබඳ සලකා බැලූ විට, පරිවාස සඳහා විවිධ ස්වභාවයේ ළමයින් ඇතුළත් කර ගන්නා අතර අධිකරණය මගින් වැරදිකරුවන් ලෙස නම්කරන ළමයි යොමු කරනුයේ සහතික කළ පාසල් නම් වූ රැඳවුම් මධ්‍යස්ථාන සඳහා ය. එසේම අසරණ, අනාථ, අත්හළ, මෙහෙකාර සේවයේ යෙදවූ සහ අතරමං වූ ළමයින් බඳවාගන්නා පරිවාස නිවාස, නිවර්තන නිවාස ලෙස හඳුන්වයි. එසේ ම ළමයින් උසාවියට ඉදිරිපත් කර වැරදිකරුවන් බවට තහවුරු වෙන තුරු සහ භාරකරුවන් සම්බන්ධ ගැටලු තහවුරු වෙනතුරු රඳවා ගන්නා ස්ථාන රැඳවුම් නිවාස නම් වේ. රජයේ බාර ගැනීමේ ළමා නිවාස යනු වයස අවුරුදු 5 ට අඩු දරුවන් රඳවා තබා ගන්නා මධ්‍යස්ථාන වේ.මෙකී සියලු මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙනුයේ රජය යටතේ ය. කෙසේ වෙතත්, දිවයින පුරා මෙකී විවිධ ළමා රැඳවුම් මධ්‍යස්ථාන 7000 කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක ය.
ළමයින් පරිවාස සඳහා යොමු කිරීමේ ක්‍රමවේද 3 ක් යටතේ පවතී. ඒවා නම් උසාවිය ඔස්සේ, පරිවාස හා ළමා ආරක්ෂක කොමසාරිස්වරයා මඟින් සහ රෝහල් අධ්‍යක්ෂකවරු මඟින් ය. මෙසේ පරිවාස රැඳවුම් භාරයේ තබා සිටින දරුවන්ට විවිධ නඩු කටයුතුවල දී විත්තිකරුවන් ලෙස, වින්දිතයන් ලෙස, සාක්ෂි ලබාගැනීම සඳහා, DNA ලබාගැනීම සඳහා, නිවසට භාරදීමේ අධිකරණ නියෝග ලබාගැනීම සඳහා ආදී විවිධ අරමුණුවලට අධිකරණය වෙත රැගෙන යාමට සිදු වේ.
මෙහි දී මුල් කාලයේ ළමයින් අධිකරණය වෙත ප්‍රවාහනය කිරීම සිදු වූයේ බන්ධනාගාර බස් රථ මඟින් ය. නමුත් වැඩිහිටි අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ළමයින් ප්‍රවාහනය කිරීම නුසුදුසුය. එහිදී දරුවන් විවිධ පීඩනයන්ට ගොදුවීමේ වැඩි ඉඩකඩක් පවතී. විශේෂයෙන් රන්මුතුගල ළමා නිවාසයේ දැරියකගේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ ව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමකින් ද අනතුරුව 2010 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලද්දේ බන්ධනාගාරය මඟින් ළමයින් ප්‍රවාහනය නුසුදුසු බවත් ඒ සඳහා පරිවාස දෙපාර්තමේන්තුව මඟින් විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ය. ඒ අනුව සියලු පළාත් සභාවලට අයත් පරිවාස කාර්යාල එක් ව සාකච්ඡා පවත්වා පරිවාස ළමුන් ප්‍රවාහනය සඳහා වෙන ම ප්‍රවාහන ඒකකයක් පිහිටුවීම සඳහා යෝජනාවලියක් සකස් කොට 2010 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට සහ පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යංශයට එම යෝජනාවලිය භාර දුන්නද තාමයි ඒවාට විධිමත් වැඩපිළිවෙළක් නැත.
ප්‍රවාහන ගැටලුවට තිරසාර විසඳුමක් සෙවීමත් ළමා මිතුරු පරිසරයක් ඇති කිරීමත් අරමුණු කරගනිමින් සකස් වූ මෙම යෝජනාවලියෙන් පළාත් සභා 9 සඳහා නිවාස මාතාවන් දෙදෙනෙක්, රියදුරන් දෙදෙනෙක් සහ ආරක්ෂකයින් දෙදෙනෙක් වශයෙන් නව නිලධාරී තනතුරු 54 ක් ඇති කිරීමට යෝජනා වී ඇත. එහි දී පළාත් 5 කට දැනටමත් වාහන ලබාදී ඇති අතර අනෙක් පළාත්වලට ද වාහන ලබාදීමට එකඟතාව පළ වී ඇත. නමුත් මෙහි පවතින එකම ගැටලුව වෙනුයේ පළාත් මට්ටමින් මෙම නිලධාරීන් බඳවාගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි නො වීමයි. ඊට හේතුව වී ඇත්තේ රාජ්‍ය සේවයේ නව තනතුරු සඳහා නිලධාරීන් බඳවාගැනීම නවතා තිබීමයි
ඒ අනුව 2010 වසරේ සිට වර්තමානය දක්වාම පරිවාසවල සිට අධිකරණ වෙත ළමයින් ප්‍රවාහනය සිදුවෙනුයේ පරිවාස නිලධාරීන් මඟින් ය. මෙම නිලධාරීන් ළමුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් කිසිදු පුහුණුවක් ලබා නොමැති අතර ඔවුන්ට එවන් රාජකාරියක් ද පැවරී නැත. පරිවාසවල සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සහ මිනීමැරුම් ආදී විවිධ ආපරාධවලට සම්බන්ධ වූ දරුවන් ප්‍රවාහනයේ දී නිලධාරීන්ට විවිධ අවස්ථාවලදී විවිධ අර්බුදයන්ට මුහුණ දීමට ද සිදු වී ඇත. එක් අවස්ථාවක ඌව පරිවාස නිලධාරියකු සමග අධිකරණය වෙත ගමන් කරමින් සිටිය දී දරුවකු බදුලු ඔයට පැනීමට තැත් කර ඇති අතර ඊට අමතරව අත සපා පලායාමක්, පරිවාස නිලධාරියකු තල්ලු කර පැන යාමට උත්සාහ කිරීමක් සහ වාහනයක තිබූ බෝතලයකින් පරිවාස නිලධාරියෙකුගේ හිසට පහරදී පලායාමට උත්සාහ කිරීමක් පිළිබඳව ආදී වශයෙන් විවිධ අවස්ථාවල විවිධ ප්‍රදේශවල පරිවාස නිලධාරීන් මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පරිවාස නිලධාරින්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ ව පෙත්සමක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී විභාගයට ගැනුණ ද එහිදී සාකච්ඡා වූයේ ද සියලු පළාත් සඳහා සභා නව ප්‍රවාහන සැලැස්මක් ඇති කිරීමට එකඟ නමුත් මෙහි ඇති ගැටලුව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් පරිවාස නිලධාරීන් බඳවා නොගැනීම බවයි. ඒ අනුව, එහිදීද මෙම ගැටලුවට සාධනීය පිළිතුරක් ලැබී නොමැති බව පෙනීයයි.
උක්ත ගැටලුව නිසා වර්තමානය වෙන විට පරිවාස සේවය සඳහා නිලධාරීන් බැඳීමේ ද මැළිකමක් දක්වන අතර දැනට සේවයේ නියුතු සේවකයින් ද සේවය අත්හැරයාමේ දැඩි ප්‍රවණතාවක් පවතියි.
එසේම මෙම ගැටලුව හේතුවෙන් උද්ගත විය හැකි බරපතළ තත්ත්වයන් පවතී. දැනට එවැන්නක් උද්ගත නොවූවත් යම් සිදුවීමක් සිදු වූ පසුව ඒ සඳහා විසඳුම් සෙවීමෙන් ඵලක් නැත. බලධාරීන් මෙම ගැටලුවේ බරපතළකම ගැන නොතැකීම හා ඔවුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන්ට වගකියන්නේ කවුරුන්ද යන්න ප්‍රහේලිකාවකි.
මධුෂා දිල්ෂා
ලවංගා මාධවී දෑරංගල