
යාපනය තම උපන් බිම කොටගත් සිංහලයෝ ගණනාවක් තම උරුමය සොයා යාපනයට පැමිණියහ. යාපනයේ උපන් මල්කාන්ති වික්‍රමසිංහ මහත්මිය ද එසේ පැමිණි පවුල් අතර කාන්තාවකි. අදටත් ඔවුන් එදා යාපනයේ සතුටින් ජීවත් වූ ආකාරය සිහිපත් කරන්නේ, නැවතත් එවන් අර්බුදකාරී වාතාවරණයක සේයාවක්
හෝ නොපතමිනි.
“මගේ උපන් බිම යාපනය. 1983 කළු ජූලියෙන් පස්සේ යාපනයේ සිටි සිංහලයන් හමුදා ආරක්ෂාව මැද යාපනයෙන් පිටත් වෙලා දකුණට ආවා. එහෙම එද්දි අපිට ලොකු කනගාටුවක් තිබුණා. අපි මුල් කාලයේ ඉඳලා දමිළ මිනිස්සු එක්ක සහයෝගයෙන් සිටියෙ. නැවත අපි යාපනයට පය තිබ්බේ 2010 වසරේදි. අපි ආපසු යාපනයට යද්දි අපි හිටපු ගෙවල් දොරවල් ඉතිරි වෙලා තිබුණේ නැහැ. ඒ ඉඩකඩම්වලට අයිතිවාසිකම් කිව්වෙත් වෙන මිනිස්සු. ඉතින් 2010 දී සිංහල පවුල් 135 ක් පමණ යාපනයට ආවත්, අපිට ඉන්න තැනක් තිබුණේ නැහැ. ඒ පවුල් 135 ම යාපනයේ ඉපදුණ අය. ඔවුන් සහ ඔවුන්ගේ දරු මුනුබුරන් තමයි හිටියෙ. නවාතැන් ගන්න අපිට සිද්ද වුණේ එවකට ජරාජීර්ණ වෙලා තිබුණ යාපනය දුම්රිය ස්ථානයේ. ඒ කාලය තුළ දී නාගදීපයේ ස්වාමීන්වහන්සේ හාල් එහෙම, කනබොන දේවල්, පොඩි ළමයිට අවශ්‍ය දේවල් එහෙම ගෙනැවිත් දුන්නා. ඒ වගේම වන්දනාවේ එන අයත් අපිට උදව් කළා. එහෙම අපි යාපනයේ දුම්රිය ස්ථානයේ මාස 06 කට ආසන්න කාලයක් තාවකාලිකව නවාතැන් අරගෙන හිටියා. අපිට අන්තිමේ දී නාවක්කුලියෙන් ඉඩම් දුන්නා.”
නාවක්කුලියේ ඉඩම නිවාස සංවර්ධන අධිකාරියට අයත් රජයේ ඉඩමකි. නාවක්කුලිය ගම්මානය පිහිටුවීමට මූලිකත්වය ගෙන ක්‍රියා කර ඇත්තේ, මල්කාන්ති වික්‍රමසිංහ මහත්මියයි. නාවක්කුලිය ගම්මානයේ පවුල්වල සාමාජිකයන් පිහිටුවාගෙන ඇති උත්තර ලංකා සිංහල සුබසාධක සංගමයේ සභාපතිනිය වෙන්නේ ද මල්කාන්ති
වික්‍රමසිංහ මහත්මියයි.
“අපි ලොකු සටනක් දියත් කරලා බලධාරීන්ගේ අවධානය අප වෙත යොමු කර ගත්තා. ඒ අනුව එක පවුලකට පර්චස් 15 බැගින් ඉඩම් කොටස් ලැබුණා. මුලින් කැලෑ වැදිලා තිබුණේ. හමුදාවේ සහ දමිළ මිනිසුන්ගේ ද සහාය ඇතිවයි සුද්ද පවිත්‍ර කරගත්තෙ. මුලදී අපි පැල්පත් තනාගෙන තමයි ජීවත් වුණේ. රතන ස්වාමීන්වහන්සේ මූලික වෙලා අපට තහඩු ලබා දුන්නා. සිංහල රාවය සංවිධානය අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. එහි සභාපති අක්මීමන දයාරතන හාමුදුරුවෝ ප්‍රමුඛ හාමුදුරුවරු සහ වෛද්‍ය රණතුංග මහතා වැනි ගිහි නිලධාරීන් අපිට මූල්‍යමය වශයෙන් උදව් කළා. ඒකෙන් අපි ප්‍රජා ශාලාවක් හදා ගත්තා. ගෙවල් දොරවල් හැදුවා. හමුදාවේ මහත්වරුන්ගෙනුත් අපිට ගෙවල් සාදා ගන්න උදව් ලැබුණා. මෙහෙ පවුල්වල අයට මේ ඉඩම්වල අයිතිය නීත්‍යනුකූලව ලබා
දීලා තියෙනවා.
දමිළ ජනයා බහුතරයක් වෙසෙන යාපනයේ තිබෙන එකම සිංහල ගම්මානය වෙන නාවක්කුලියෙහි වෙසෙන සිංහල ජනතාව ජීවත්වෙන්නේ, දමිළ ජනතාවගේ මිත්‍රශීලී සහයෝගය සහ සහජීවනය මධ්‍යයේ බව සඳහන් කළ යුතුය.
“2010 වසරේදී අපි යාපනයට ඇවිත් පදිංචි වුණාම, සමහර දමිළ වැසියන් විරුද්ධ වුණා. නමුත් අපි ඒ අය එක්ක යාපනයේ දමිළ භාෂාවෙන් කතා කළා. අපි ගැන කිව්වා. අපි යාපනයේ දමිළ භාෂාවෙන් කතා කරන එක ගැන ඒ අය පුදුම වුණා. අපි දැන් බොහෝම සහයෝගයෙන් කටයුතු කරන්නෙ. මගේ බාල පුතා විවාහ වෙලා ඉන්නේ, යාපනයේ දමිළ තරුණියක් සමගයි. අපි ජාති ආගම් භේදයකින් තොරව දමිළ ජනතාව සමඟ
සහයෝගයෙන් ජීවත්වෙනවා.
යුද්ධය නිමාවීමෙන් පසුව නාවක්කූලිය සිංහල ග්‍රාමයේ බෞද්ධ විහාරස්ථානයක් ද අලුතින් ගොඩනගන ලදී. ශ්‍රී සමිද්ධි සුමන විහාරය ලෙස හැඳින්වෙන එහි, විහාරාධිපති ලෙස හංවැල්ලේ රතනසිරි හිමියෝ වැඩවසති.
“දැන් ගමේ සිංහල ස්ථීර පවුල් තියෙන්නේ 32 යි. ගොඩක් සිංහල පවුල් නාවක්කුලියෙන් යන්න හේතුව, ගමට පාසලක් නැති වීමයි. සිංහල මහා විද්‍යාලය තිබුණු ඉඩමේ දැන් තියෙන්නේ හමුදා කඳවුරක්. කොහොම හරි ඉදිරි අනාගතයේ දී වත් අපේ ගමට පාසලක් ලබා දෙන්න කටයුතු කරන්න රජය මැදිහත් වෙනවා නම් ලොකු පිනක්.”
නාවක්කුලිය ගමේ බොහෝ පිරිස් රක්ෂාව වශයෙන් සිදු කරන්නේ, වඩු වැඩ සහ සුළු ව්‍යාපාරික කටයුතු ය.
“වන්දනාවේ එන පිරිසට වෙළෙඳාම් කටයුතු කරලා සහ නවාතැන් දීලා එහෙම තමයි අපි ජීවත් වෙන්නෙ. වන්දනාකරුවන්ට නවාතැන් ගන්න දැනට තියෙන පහසුකම් මදි. ඒ නිසා අපේ වෙළෙඳාම් කටයුතු දියුණු කරගන්නයි, නවාතැන්වල පහසුකම් වර්ධනය කර ගන්නයි මුදල් අවශ්‍යයි. අපිට රජය මූලික වෙලා හරි ණය ආධාරයක් දුන්නොත් ලොකු උදව්වක් වේවි. අපිට ඒ ණය මුදල ගෙවන්න හැකියාව තියෙනවා.” යනුවෙන් මල්කාන්ති වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළාය.
මල්කාන්ති වික්‍රමසිංහ මහත්මියගේ ලේලියවන සුවාජි ගනේෂන් භවානි නාවක්කුලිය ගම්මානය ගැන මෙසේ කීවාය.
“මගේ අම්මාගේ උපන් ගම යාපනය. දැන් මම කසාද බැඳලා මාසයක කුඩා දරුවෙකුත් ඉන්නවා. මගේ ස්වාමිපුරුෂයා රස්සාව විදිහට නාවක්කූලිය ගමේ වඩු වැඩ කරනවා. මෙහෙ ඉන්න පවුල්වල අය ආර්ථික අපහසුතා මැද්දේ තමයි ජීවත්වෙන්නෙ. අපිට මේ භූමිය දාලා වෙන තැනකට යන්න බැහැ. මගේ ස්වාමිපුරුෂයා වඩු වැඩ කළාට වැඩ කරන්න සමහර මැෂින් උපකරණ ගන්න වත්කමක් නැහැ. මෙහෙ ඉන්න පවුල්වලට ණය මුදලක් හරි රජයෙන් දෙනවා නම් ජීවත් වෙන්න කරන රස්සාව තවත් දියුණු කරගන්න පුළුවන්. වගකිවයුතු බලධාරීන්ගෙන් අපි ඉල්ලන්නේ ඒ උපකාරයයි.” යනුවෙන් පවනි මහත්මිය සඳහන් කළාය.
නාවක්කුලිය සිංහල ග්‍රාමයේ, නාවක්කුලිය බටහිර ජේ 294 ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාමනිලධාරි ලෙස කටයුතු කරන්නේ, ධර්මලිංගම් මතුන්ගන් මහතාය. ඒ මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“මම නාවක්කුලිය බටහිර වසමේ සිංහල ග්‍රාමයේ ග්‍රාම නිලධාරි වශයෙන් සේවය කරනවා. මම දමිළ ජාතිකයෙකු වුවත්, මෙම සිංහල ගමේ වැසියන් සමඟ රාජකාරි කටයුතු කරන්න පහසුයි. දැනට මෙහි සිටින අලුත් පරම්පරාවට දමිළ භාෂාව හොඳින් කතා බහ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහේ ජාති භේදයක් නැතිව සිංහල දමිළ මිනිසුන් සාමුහිකව පොදු ප්‍රශ්නවලදී පෙනීසිටිනවා. මෙහි වෙසෙන මිනිස්සු බහුතරය එදා වේල හොයා ගන්න රැකියා කරන අය. මේ මිනිස්සුන්ට කුමනාකාරයෙන් හෝ ඔවුන්ගේ ආර්ථිකය වර්ධනය කරගැනීමට රජය මඟින් ආධාර උපකාර සපයන්නේ නම් ග්‍රාමයේ ජනතාවගේ ජීවන තත්ත්වයේ වර්ධනයට රුකුලක් වේවි.”
උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වී වසර 15 කට පසු, බැලූබැල්මට යුද්ධයක් සිදුවූවාද යන්න සොයාගැනීමට අපහසු තරම්ය. උතුරේ සහ දකුණේ නගර අතර එතරම් වෙනසක් නැත. උතුරේ දමිළ වැසියන් හා සිංහල වැසියන් යන දෙපිරිසටම ඇත්තේ එකම ආර්ථික, සමාජ හා සංස්කෘතික ගැටලු බව මේ වෙන විට එකිනෙකා අවබෝධ කරගෙන ඇත. අපේ රටේ දේශපාලනඥයන්ගේ සැබෑ අරමුණ කුමක්ද යන්න ඔවුන් විසින් අවබෝධ කරගෙන ඇත. ඒ අනුව එහි සිංහල දමිළ වැසියන් අතර සාමකාමී බවක්, සාමූහික බවක් සහ සාමාන්‍ය බවක් අද වෙනවිට පෙනෙන්නට තිබෙන බව මෙහි අවසානයේ සඳහන් කළ යුතුය.
එම්. තාරික්