වසර හතක සිට මං මගේ ලාංකික මව්පියන් සොයනවා අයිස්ලන්තයට දරුකමට හදාගන්නට දුන් ඉන්ගුන් සින්ග්‍රීස් ක්‍රිස්ටන්සන් කියයි


 

ජීවිතයේ විවිධ හැලහැප්පීම් හමුවේ කෙනෙක් සිය සමීපතම මානව සම්බන්ධතා වුවමනාවෙන් අත්හැර දමති. ඒ අතුරින් ඇතැම් අය කාලයත් සමග නැවත ඒ අත්හැරුණු බැඳීම් සොයා එන්නේ, ඉන් තොරව ජීවත් වීමට අසීරු හෙයිනි. එකී ඇතැම් බැඳීම් කෙදිනකවත් අත්හැරිය නොහැකි දයාවන්ත මානව සම්බන්ධතා වේ. ඒ අතර දරුවන් සහ මව්පියන් අතර බැඳීම වඩාත් 
සංවේදී වෙයි.  
හදාගැනීමේ අරමුණින් පිටරටට ලබාදුන් දරුවන්, ලාංකීය ජීව විද්‍යාත්මක බැඳීම සොයා ලංකාවට පැමිණෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළ ගොස් ඇත. එහෙත් ඔවුන්ගේ ජීව විද්‍යාත්මක මව්පියන් සොයා ගැනීම හිතන තරමට පහසු කාර්යයක් වන්නේ නැත. අයිස්ලන්තයේ ජීවත් වන ඉන්ගුන් සිංග්‍රිස් ක්‍රිස්ටන්සන් ද එලෙස වසර 7 ක් තිස්සේ සිය විද්‍යාත්මක මව්පියන් සොයන 39 හැවිරිදි තරුණියකි. ඉන්ගුන් අයිස්ලන්තයේ සිට අප අමතා සිය ලාංකික දෙමාපියන්ගේ තොරතුරු අප වෙත ලබා දුන්නේ 
දෙමාපියන් සොයා ගැනීමේ දැඩි බලාපොරොත්තුවකිනි. 
“මම 1985 ලංකාවේ ඉපදිලා අයිස්ලන්තයට හදාගන්න දෙනකොට මට මාස දෙකයි. උප්පැන්නේ මගේ උපන් දිනය ලෙස සඳහන් වෙන්නේ 1985 ඔක්තෝබර් 14 වැනිදා. මගේ ලාංකික නම ලෙස සඳහන් වෙන්නේ වසන්ති කුමාරි. දරුකමට හදාගැනීමේ ලියකියවිලිවල මගේ ලාංකික මවගේ නම සඳහන් වන්නේ අම්බලන්ගොඩගේ ලලිතා ලෙස. ඇයගේ උපන් දිනය සහ උපන් ස්ථානය ලෙස සඳහන් වෙන්නේ 1957 අප්‍රේල් 8 වැනිදා ගාල්ල ලෙසයි. එහි පියෙකු ගැන කිසිදු සඳහනක් නැහැ. උප්පැන්නේ සඳහන් වාද්දුවේ ලිපිනය සොයාගෙන ගියත්, එය ව්‍යාජ එකක් බව තහවුරු වුණා.  
කොහොම නමුත් මගේ මව යැයි විශ්වාස කරන කාන්තාවක අතේ මා ළදරුවෙකු ලෙස රැඳී සිටින ඡායාරූපයක් මා සතුව තිබෙනවා. ඒ අනුව මම මගේ මව්පියන් සොයාගෙන මුලින්ම ලංකාවට ආවේ 2015 වසරෙදී. මම ලංකාවේ ගත කරපු කාලය තුළ මම ඉපදුණා යැයි උප්පැන්නේ සඳහන් කර ඇති මීගමුව රෝහලට යාමට අවස්ථාව ලැබුණා. නමුත් මගේ උප්පැන්න සහතිකයේ සඳහන් කර ඇති පරිදි මගේ මවගේ නම එම රෝහල් වාර්තාවල සොයාගත නොහැකි වුණා. මා ඉපදුණ දිනම මීගමුව රෝහලේ කාන්තාවක් දියණියක ප්‍රසූත කර ඇති බවට ලත් තොරතුරු අනුව මම සොයාගෙන ගියත්, පසුව මම දැනගත්තා මා ඉපදී ඇත්තේ මීගමුවේ රෝහලේ නොවන බව. ඔක්තෝබර් 14 වෙනිදා දරුවෙකු ප්‍රසූත කළ කාන්තාව මගේ මව නොවන බවත්, මා ළදරුවෙකු ලෙස සිටින මා සතු ඡායාරූපයේ, මගේ මව ලෙස පෙනීසිටින්නේ කුලියට ගත් කාන්තාවක් විය හැකි බවත් 
සිතිය හැකියි. 
නැවත වරක් මම මව්පියන් සෙවීමේ කාර්යයට ලංකාවට පැමිණි අවස්ථාවේ දී රජයේ කාර්යාල හරහා මා සතුව තිබෙන ලිපි ලේඛන අසත්‍ය බවට තහවුරු කර ගත්තා. පසුව මම මගේ දෙමාපියන් සෙවීමේ කාර්යය නතර කළා. මා සන්තකයේ තිබූ තොරතුරු අසත්‍ය බව දැනගත්තාට පසුව මම බොහෝ අසරණ වුණා. 
ඒත් කෙසේ හෝ මගේ දෙමාපියන් සොයා යා යුතු බව මම සිතුවා. වසර ගණනාවකට පසු, 2022 දී මහාචාර්ය අවුරංගා මහත්මිය සමග මට කතා කරන්නට අවස්ථාව ලැබුණා. ඇය මං වගේ දහස් ගණන් දරුවන්ට ලොකු කැපකිරීම් කරමින් දෙමාපියන් සොයා දෙන ආදරණීය මවක්. ඇයට මම මගේ දුක කිව්වා. එදා සිට මේ මොහොත දක්වා දුන් වසර 10ක් තිස්සේ මගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් සොයා දෙන්න මට එතුමිය විශාල උත්සාහයක් ගන්නවා. ඇය මා සමග පැවසූ වදන් නිසා අතහැර දමා තිබු මාපියන් සෙවීමේ සටන නැවත ආරම්භ කරන්න ශක්තිය ලැබුණා. 
මගේ ලියවිලි බොරු බව දැනගත් පසුත් මම ඒ පිළිබඳ සොයා ගියා. එවිටයි මට තේරුම් ගියේ, මම ළමා ජාවාරමේ ගොදුරක් හෝ සොරකම් කළ දරුවෙකු වන බව. ඇත්තටම මා පැමිණියේ කොහෙන්ද යන්න සහ මගේ දෙමාපියන් කවුද යන්න නිශ්චිතවම සොයා ගැනීමට මට අවශ්‍යයි.
අයිස්ලන්තයේ මාව හදාගන්න ගත්ත දෙමාපියන් පෝසත් වගේම හරිම ගුණයහපත්. මට ඒ අය හොඳ ජීවිතයක් ලබාදුන්නා. මට අවුරුදු හය වෙනකොට මාව ලාංකීය මවකගෙන් අරන් හදා ගත්තා කියලා ඔවුන් මට කිව්වා. අයිස්ලන්ත දෙමාපියන්ගෙන් ලැබුණ ආදරය සෙනෙහස එක්ක මම ලාංකික දෙමාපියන් සොයන්න පෙළඹුනේ නැහැ. ලොකු වෙද්දී මට අයිස්ලන්ත දෙමාපියෝ නිතරම කිව්වේ අම්මා මට ගොඩක් ආදරේ නිසාත්, මට හොඳ ජීවිතයක් දෙන්න ඕන නිසාත් තමයි මාව හදාවඩා ගන්න දුන්නේ කියලා. ඇත්තටම මගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් මා සොයා යා යුතුයි කියලා හැඟුණේ මගේ පළමු දරුවා මොලොව එළිය දුටු දවසේ. 
මම දැන් විවාහකයි. මට අවුරුදු තුනක සහ හයක පිරිමි දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මගේ ලොකු පුතා මගේ පසුබිම, මගේ රට, සංස්කෘතිය සහ එයාලගේ අත්තම්මලා සීයලා ගැන නිතරම අහන්න ගත්තා. එදා ඉඳලා මම මගේ දෙමාපියන් සොයාගන්න ගොඩාක් වෙහෙසුනා. 
මා දැනට බලාපොරොත්තු වන්නේ සරල ප්‍රශ්නයකට පිළිතුරක් පමණයි.  මම කොහෙන්ද ආවේ?
මගේ මව යැයි සැලකෙන කාන්තාවගේ ඡායාරූපයක්ද මා සතුව තිබෙනවා. ඒ ඡායාරූපයේ සිටින මගේ මව හඳුනාගන්නා හෝ මගේ දෙමාපියන් ලෙස ඉදිරිපත් වන සහ මගේ ඥාතීන් පිළිබඳ තොරතුරක් දන්නා කෙනෙකු වේ නම්, ඒ බව ලංකාවේ ජීවත්වන පේෂාන් රණසිංහ 077-5000547 මහත්මාට දැනුම් දෙන ලෙස මහත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.”