සංගීතයෙන් මනස සුවවෙයි


මානසික ආතතියෙන් හා මානසික අසමතුලිතතාවෙන් මෙරට ජනගහනයෙන් සියයට25කට අධික ප්‍රමාණයක් පෙළෙන බව මෑත සමීක්ෂණයකදී හෙළි විය. පවුල් ගැටලු‍, ආර්ථික ගැටලු‍, කාර්යාලයීය ගැටලු‍, අධ්‍යාපනික ගැටලු‍ ආදී විවිධ හේතු සාධක මීට බලපා ඇත.  මෙලෙස මානසික ගැටලු‍වලට ලක්වූවන් බහුතරයකට කිසිඳු ප්‍රතිකාරයක් හෝ උපදේශනයක් නොලැබෙන අතර, ඔවුන් නොදැනුවත්වම දීර්ඝ කාලීන මානසික රෝගීන් බවට පත්වෙමින් තිබේ. 
මෙවන් පසුබිමක බිබිලාදෙණියේ මහානාම නම් මෙරට පළමු සංගීත අධ්‍යක්ෂ භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයෙන් ඇරඹි ‘සන්ධාර’ ආධ්‍යාත්මික සහ මානව                 
පර් යේෂණායතනය විසින් නිර්මාණය කරන ලද ලිහිල්වීම (Relaxation) හා භාවනාව (Meditation) සංගීත නිර්මාණ මගින් දහස් සංඛ්‍යාත පිරිසක් මානසික රෝගී බවෙන් නොමිලයේම මුදවාලීමේ සුවිශේෂී මෙහෙවරක් සිදුකරමින් පවතී.

මම විශේෂ වෙන්නේ සංගීතය තුළින් සිදුකර තිබෙන අාධ්‍යාත්මික නිර්මාණ නිසයි. ලිහිල්වීම (Relaxation) හා භාවනාව (Meditation) වෙනුවෙන් සිදුකළ නිර්මාණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වෙනුවෙන් ජාත්‍යන්තරව හා දේශීයව අප භාවිත කරන ජංගම දුරකථන ඇප්ස් ගණනාවක් තිබෙනවා. 
මෙපමණ කල් අපට පුළුවන් වුණේ ඒවා පරිශීලනය කර යම් ලිහිල් භාවයක් හෝ මානසික සංතෘප්ත භාවයක් හෝ මානසික සමතුලිතතාවක් ඇතිකර ගැනීමට උත්සාහ කිරීමක් පමණයි. සන්ධාර ආරම්භ කළාට පසු එවැනි අවශ්‍යතාවක් තිබෙන ඕනෑම අයෙකුට එන්න පුළුවන්. ඒ ඒ පුද්ගලයාගේ අවශ්‍යතාව අනුව කළ යුතු මගපෙන්වීම සිදුකරනවා. ඒ සඳහා අවශ්‍ය හොඳ වටපිටාවක් මෙන්ම ශබ්දාගාර පහසුකම්, විවෘත භාවය මෙතන තිබෙනවා. 
මෙතනදී මියුසික් තෙරපි (සංගීත චිකිත්සාව) භාවිත කරනවාද, ෆ්‍රීක්වන්සි තෙරපි (සංඛ්‍යාත චිකිත්සාව) භාවිත කරනවා ද කියන කාරණය එම පුද්ගලයාගේ ගැටලු‍ව අනුවයි අපි තෝරාගන්නෙ. සමහර විට සමහර අසමතුලිතා තිබෙන්න පුළුවන් මියුසික් හෝ ෆ්‍රීක්වන්සි තෙරපි ඔස්සේ සිද්ධ කරන්න බැරි. ඒ වෙලාවට ඊට අදාළ විශේෂඥයෙකු වෙත යොමු කරනවා.
මම කරපු නිර්මාණ ඔක්කොම එක තැනකට අරන් බැලු‍වොත් අාධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් කළ නිර්මාණ තමයි විශාල ප්‍රමාණයක් තියෙන්නෙ. අපි කොහොමද අාධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් සංගීතය භාවිත කරන්නෙ කියලා ඇහැව්වොත්, අපි සාමාන්‍ය සංගීතය නිර්මාණය කරන්නෙ රසවින්දනය සඳහා පමණයි. හැබැයි ඒ ඇතුළෙත් අපි ග්‍රහණය කරගන්නේ ශබ්ද තරංග. ඒ ශබ්ද තරංගවල තිබෙන සීමාසහිත ස්වභාවය නිසා තමයි අපට ඒක රසවින්දනය සඳහා පමණක් සීමා වෙන්නෙ.
හැබැයි එතනින් එහාට ගියාම මේ සංඛ්‍යාතය, ශබ්දය ඔස්සේ මිනිසාගේ අධ්‍යාත්මයට කළ හැකි බලපෑම ගැන ලෝකයේ ලොකු පර් යේෂණ සිදුවෙමින් තිබෙනවා. ඒව නිසා තමයි සංඛ්‍යාත චිකිත්සාව (ෆ්‍රීක්වන්සි තෙරපි) සංගීත චිකිත්සාව (මියුසික් තෙරපි) වැනි විෂයන් හඳුනගන්නෙ. බොහෝ විට අපගේ මනස අසමතුලිත වන්නේ සිතුවිලි සමගයි. අපේ සිතුවිලිවල ස්වභාවය අනුව මනසේ ස්ථාවරත්වය බිඳෙනවා. මෙම බිඳිච්ච ස්වභාවය ප්‍රකෘති තත්ත්වයට ගැනීමට අවශ්‍ය විවිධ ක්‍රමවේද පවතිනවා. අපි ආගම ඇතුළෙත් උත්සාහ කරන්නෙ මේක තමයි.
සෙත් ශාන්ති වැනි සාම්ප්‍රදායික ක්‍රමවේදවලිනුත් මේක නොදැනුවත්වම උත්සාහ කරලා තියෙනවා. හැබැයි සංගීතය කියන ක්‍රමවේදය ඔස්සේ මේක විද්‍යාත්මකව කරන්න පුළුවන්. මේ වෙනුවෙන් සිදුකළ පර්- යේෂණාත්මක නිර්මාණ යම්කිසි පුද්ගලයෙක් පරිශීලනය කළොත් ඒ පුද්ගලයාගේ මනසේ වෙනස් වෙලා තිබෙන ස්වභාවය, සංකීර්ණත්වයට පත්ව තිබෙන ස්වභාවය, විකෘති ස්වභාවයකට හෝ අසමතුලිතතාවකට පත්ව තිබෙනවා නම් එම ස්වභාවය, සාමාන්‍ය තුලිත ස්වභාවකට පත්කිරීමට අවශ්‍ය සංඛ්‍යාත අර පර්- යේෂණාත්මක නිර්මාණ ඇතුළෙ තියෙනවා. 
මගේ නිර්මාණ විශේෂ වෙන්නේ ඒවා මිනිස් අධ්‍යාත්මයට යම් බලපෑමක් කළ හැකි නිර්මාණ නිසයි. ඒ වෙනුවෙන් භාවිත කළ හැකි නිර්මාණ මෙතෙක් කල් සිදුකළේ වෙනත් ආයතන සඳහායි. 
උදාහරණ ලෙස අපට තිබෙනවා ජංගම දුරකථන යෙදවුමක් Heal Lift (හීල් ලිෆ්ට්) යනුවෙන්. විවිධ මානසික අසමතුලිත භාවයන් වෙනුවෙන් භාවිත කළ හැකි සංගීත නිර්මාණ Heal Lift තුළ පවතිනවා. 
මේ නිර්මාණ මෙච්චර කාලයක් භාවිත කිරීමට හැකිවුණේ මුලින් කී මෘදුකාංග හෝ අන්තර්ජාල හරහායි. හැබැයි සන්ධාර ආරම්භ කිරීම නිසා සන්ධාර ඇතුළෙ ඒවා අහන්න, රසවිඳින්න, ඒ වෙනුවෙන් මිනිසුන් යොමුකරවන්න අවස්ථාව සැලසිලා තිබෙනවා. එවැනි පසුබිමක් තමයි සංගීතයත් එක්ක මගේ තිබෙන්නෙ.
ඒ වගේම අපි ඉන්දියාව තුළ එළිදක්වපු මෘදුකාංගයක් තිබෙනවා Aayu (ආයු) නමින්. එය භාවිත කළ හැක්කේ ඉන්දියාව තුළ පමණයි. 
ලංකාවෙ බොහෝ මිනිසුන්ගෙ ගැටලු‍ තිබෙන්නෙ මානසිකව වුණත් විසඳන්න යන්නෙ භෞතිකවයි. භෞතිකත්වය තුළින් මානසික ප්‍රශ්න විසඳීමට යාම නිසා සාමාන්‍ය ප්‍රශ්න විශාල ප්‍රශ්න බවට පත්වෙනවා. මේ ගැටලු‍ තේරුම් ගෙන, මානසික ගැටලු‍ මානසිකවත්, භෞතික ගැටලු‍ භෞතිකවත් විසඳගන්න ක්‍රමවේදයකුයි අද ලෝකෙ ක්‍රියාත්මක වෙන්නෙ. බුදුහාමුදුරුවො කියල දුන්නෙ ඒ ක්‍රමයයි.

ලිහිල්වීමේ (Relaxation) නිර්මාණ බිහි කිරීමේදී අවධානය යොමු කරන්නේ ලෝකයේ විවිධ මානසික ගැටලු‍ පිළිබඳවයි. කාන්තාවක් සම්බන්ධයෙන් හෝ ආගමිකත්වය හෝ මුදල් සම්බන්ධව හෝ ගත්තම ලෝකය මේ වෙනවිට එම ගැටලු‍ බෙදලා ඉවරයි. සීනි කෑවොත් දියවැඩියාව හැදෙනවා කියලා අපි දන්නවා වගේ මානසික රෝගී තත්ත්වයන් හඳුනාගෙන අවසන්. මේ නිසා අදාළ කාරණය හඳුනාගෙන පර් යේෂණාත්මක, තාක්ෂණිකව හා නිර්මාණාත්මකව කල්පනා කරලා තමයි එම නිර්මාණ සිදුකරලා තියෙන්නෙ.
උදාහරණයක් ලෙස ඇන්සයිටිස්, ස්ට්‍රෙස් හෝ ඇන්සයිමර් හෝ ඩිප්ප්‍රෙෂන් හෝ ඕසීඩී වැනි සංකූලතාවලට ප්‍රතිකර්ම ලෙස නිර්මාණ බිහිකරලා තිබෙනවා. ඒ සම්බන්ධව නිර්මාණ බිහිකරන්නෙ මතවාදිව නොව විද්‍යාත්මකවයි.

‘සන්ධාර’ අාධ්‍යාත්මික සහ මානව පර් යේෂණායතනය ආරම්භ කර වසර 5ක් පමණ වෙනවා. එය මම පෞද්ගලිකව සංගීතයත් එක්ක උපයා ගත්ත දැනුම සහ මගේ අවට සිටින පිරිසගේ දායකත්වයත් එක්ක නිර්මාණය කරපු ආයතනයක්. සමාජයේ ප්‍රගතිශීලිත්වය, ආකල්ප වර්ධනය, මිනිසුන් අතර සහජීවනය වර්ධනය සඳහා කලාව භාවිත කළ හැක්කේ කෙසේද යන්න ගැන පර් යේෂණ සහ නිර්මාණ ආයතනයක් ලෙස සන්ධාර ක්‍රියාත්මක වෙනවා.
‘සන්ධාර’ තුළ අපි මේ කටයුත්ත කරන අතරේ එවැනිම අදහස් දරන තවත් පිරිසකට සහයෝගය සලසනවා සාමූහිකත්වය වර්ධනය කිරීම උදෙසා. සාම්ප්‍රදායික පන්සලක් කියන්නෙ ආගමික කටයුතු පමණක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන්නක්. නමුත් සන්ධාර එතනින් එහාට ගිහින් පරිසරය ගැන, ආගමිකත්වය ගැන, ආගමික සමගිය පිළිබඳව, දේශපාලනික සබුද්ධිකත්වය පිළිබඳව ජාතිවාදි, ආගම්වාදි කෝණයන්ට යටත් නොවී කටයුතු කරනවා. 
මගේ විෂය සංගීතය නිසා සංගීතය ඔස්සේ මිනිස්සු වෙනුවෙන් සිදුකළ කාර්යයන් රැසක් තියෙනවා. මිනිසුන්ගේ අාධ්‍යාත්මිකත්වය වර්ධනය කිරීම, මිනිසුන්ගේ මානසික ගැටලු‍ නිරාකරණය කිරීම, මානසික අසමතුලිතතාව සංහිඳියාවකට පත්කිරීම මෙන්ම විවිධ හේතු මත බෙදෙමින් සිටින මිනිසුන් එකතු කිරීමේ කටයුතු ආදි කාර්යයන් විශාල ප්‍රමාණයක් අපි ‘සන්ධාර’ හරහා සිදුකරමින් සිටිනවා. සම්ප්‍රදායික පන්සලක ආකෘතියෙන් ඔබ්බට ගොස් අප විසින් සකසාගත් ආකෘතියක් සමාජයට හිතෛෂී වැඩපිළිවෙළක් සමගින් මෙහි ක්‍රියාත්මක කෙරෙනවා.
මම මහණ වෙන්නෙ 1999. එවිට මට අවුරැදු 10යි. මට අවුරුදු 20දී පමණ තමයි නිර්මාණ එළිදක්වන්න පටන් ගත්තෙ.
කලාවට සම්බන්ධ පිරිස මට හම්බවෙනවා වැඩියි. මේ පිරිසට සම්බන්ධ වෙන තැනක් විදිහට තමයි සන්ධාර බිහිවෙන්නෙත්. ඒ තුළ ඔවුන් මගේ නිර්මාණ සඳහා සම්බන්ධ වෙනවා. 2013 මගේ පළමු ඇල්බමයටත් ඉන්දියන් ජාතිකයන් වාදනයෙන් දායක වුණා. ඒක මික්ස් මාස්ටරින් කළේ ඇමරිකාවෙ. අද වෙද්දි මගේ නිර්මාණ සඳහා වාදනයෙන් දායක වෙන විදේශිකයින් පිරිස වර්ධනය වෙලා තියෙනවා. 

ලංකාවේ සංගීතය කියන දේ කියවාගන්නේ හුදෙක් විනෝදාස්වාදය සඳහාම සීමා වූ මෙවලමක් විදිහටයි. ඒ තුළ බොහෝ දෙනා සංගීතය භාවිත කරන්නේ විනෝදාස්වාදය සඳහාම පමණයි. සංගීත සංදර්ශන හෝ චිත්‍රපට සඳහා හෝ වෙෙළඳ දැන්වීම් සඳහා හෝ රසවින්දනය සඳහා හෝ පමණයි සංගීතය භාවිත කරන්නෙ. ලංකාවෙ වගේම ලෝක තත්ත්වයත් මේක තමයි. හැබැයි සංගීතය කියන විෂය එතනින් නවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතනින් එහාට ගිය පුළුල් පරාසයක විහිදෙන විෂයයක් තමයි සංගීතය. එම විෂය ඇතුළෙ කරන්න පුළුවන් දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ අතරින් ඉතා අල්ප ප්‍රමාණයක් තමයි අපි ලංකාව ඇතුළෙ කරන්නෙ. 
බෞද්ධ ප්‍රජාවට සංගීතය සම්බන්ධ නිසි පුළුල් කියවීමක් නෑ. ඒකට හේතුව තමයි භික්ෂූන් වහන්සේලාට මේ සම්බන්ධ ඉගැන්වීමක් නැතිකම. මම මේ විෂය ඉගෙන ගත්තට බොහෝ භික්ෂූන් වහන්සේලාට මේ විෂය ඉගෙන ගැනීමේ හැකියාව ලැබිලා නෑ. නමුත් මේ විෂය පිළිබඳ පුළුල් අත්දැකීම් තියෙන භික්ෂූන් වහන්සේලා සේම මේ පිළිබඳව ඉගෙන ගැනීමේ අවශ්‍යතාව තියෙන භික්ෂූන් වහන්සේලා ඉන්න පුළුවන්. එවැනි භික්ෂූන් වහන්සේලාට සන්ධාර සමග එක්වෙලා මේ අවබෝධය ලබාදෙන්න අපි පෙනී සිටිනවා. සෙසු ආගමිකයන්ට මෙන්ම ආගමක් අදහන්නේ නැති අයටත් මේ අවස්ථාව හිමිකර දෙන්න අප කටයුතු කරනවා. 
සංගීතය කියන දේ පන්සල ඇතුළෙ පුහුණු වුණේම නෑ. ඒ නිසාම ලංකාවට සංගීත සංස්කෘතියකුත් නෑ. ලංකාවේ හැම කලාවටම පන්සල මූලික වුණත් සංගීතයට එවැනි මූලිකත්වයක් ලැබී නෑ. අධ්‍යාත්මික නිර්මාණ සඳහා විද්‍යාත්මක ව්‍යුහයක්, ක්‍රමවේදයක් වගේම පර්​යේෂණයක් තිබෙනවා. ඒක සම්පූර්ණයෙන් භාවනාවක්. ඒ හැදෑරීම කරන්න අවශ්‍ය පිරිස වෙනුවෙන් සන්ධාර මූලිකත්වය ගැනීමට සූදානමින් සිටිනවා.

කෙනෙකුට එකපාරටම හිතෙන්න පුළුවන් හාමුදුරු කෙනෙකුට සංගීතය හොඳයිද, කැපයි ද වගේ ගැටලු‍. භික්ෂූන් වහන්සේලාට කැප මොනවද, අකැප මොනවද යන්න දැන් තීරණය කරන්නෙ ගිහි සමාජය විසිනුයි. ශීලය කියන්නෙ පරිබාහිර පුද්ගලයෙක් තීරණය කළ යුතු දෙයක් නොව තමන් තීරණය කළ යුතු අතිශය පෞද්ගලික කාරණයක්. තමන් සිල් රකිනව ද? සිල් කඩනව ද? යන්න තීරණය කළ යුත්තෙ තමන් විසින්මයි. 


කෙසේ නමුත් සංගීතය හා බැඳී ඇති ශික්ෂා පද රාමුව නිසා කෙනෙකුට මේක හොඳයිද නැද්ද කියලා හිතෙන්න පුළුවන්. මෙතෙන්දි මේ සම්බන්ධවද විවිධ මතවාද තිබිය හැකි වුවත් අප සලකා බැලිය යුත්තෙ ආගමික ප්‍රත්පත්ති සමග නූතන ලෝකය කොතරම් ගැටගැසී ඇත්ද යන කාරණයයි. බුදුහාමුදුරුවන් දේශනා කර තිබෙනවා ඕනෑම ශික්ෂා පදයක් කාලානුරූපීව වෙනස් කර ගත හැකි බව. ඛුද්ධානුඛුද්ධක ශික්ෂා පද කියන්නේ ඒවට.
හැබැයි සංගීතය කියන විෂය අපට ප්‍රතික්ෂේප කළ හැකිද යන්න බැලු‍වොත් කිසිම කෙනෙකුට සංගීතය ප්‍රතික්ෂේප කළ නොහැකියි. ශබ්දය ලෙස හඳුන්වන කතා කිරීම හෝ ගාථා සජ්ඣායනය හෝ පරිසරයේ ශබ්ද සංගීතයට අදාළ දේවල්. මේ නිසා කන ඇහෙන ඕනෑම අයෙකුට සංගීතය ප්‍රතික්ෂේප කළ නොහැකියි. අපි බැලිය යුත්තෙ එවැනි පුළුල් දැක්මකින් නිසා මේක කොයි විදිහටද යහපත්ව භාවිතා කළ යුත්තේ යන්නයි. යහපත්ව භාවිත කිරීම ඇතුළෙ සමාජයට අහිතකර තත්ත්වයක් නැතිනම්, ඒකෙන් සිද්ධවෙන්නෙ සමාජයට යහපතක් නම්, එකෙන් සිද්ධවෙන සමාජ උන්නතිය ඉතා ප්‍රබල නම් මම හිතනවා ශික්ෂා පද කියන පෞද්ගලික කාරණයට වඩා පොදු කාරණයක් ලෙස එය සැලකීම වරදක් නැහැ කියල.

තව කාට හරි හිතෙන්න පුළුවන් ඕක ඇතුළෙ අපිට නිවන් දකින්න පුළුවන් ද කියලා. මේකෙන් අපිට නිවන් දකින්න බෑ. මොකද සංගීතය හා නිවන කියන්නෙ කාරණා දෙකක්. නිවන කියලා කියන්නෙ ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය ඇතුළෙ ආර්යෂ්ටාංගික මාර්ගය ඔස්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ ක්‍රියාවලියයි. හැබැයි අප ආර්යෂ්ටාංගික මාර්ගය ලෞකිකව හෝ ලෝකෝත්තරව පුහුණු කළ යුතුයි. 
එහෙම පුහුණු කරන්න අපට පුළුවන්ද? පුහුණු කරන්නත් අපි මේ සමාජයේ ජීවත් විය යුතුයි. ජීවත් වීමේදී පෞද්ගලික ජීවිතේ දෛනික අරගලවලින් අපට පැනයන්න පුළුවන් ද? කොහෙත්ම බෑ. බුදු හාමුදුරුවො කිව්ව විදිහටම ආර්යෂ්ටාංගික මාර්ගයේ යනවා නම් ලෝකෝත්තර භාවයට කලින් ලෞකිකත්වය සාර්ථක කරගන්න ඕනි. ඒකට අවශ්‍ය මගපෙන්වීම තමයි සංගීතය විෂය ඇතුළෙ සිද්ධ වෙන්නෙ. 
නමුත් මේක වෙන විදියකට කියෝනවා මහායාන බෞද්ධ සම්ප්‍රදාය ඇතුළෙ. ඔවුන්ගෙ මතවාදය අනුව කෙනෙකුට සත්‍යය අවබෝධ කරගැනීමට අවශ්‍ය නම් ක්‍රම 80,000ක් තියෙනවා කියල කියනවා. චුල්ල පන්ථක හාමුදුරුවෝ සත්‍ය අවබෝධ කරගන්නෙ රෙදි කෑල්ලක් පොඩිකරලා. ඒ වගේම කෙනෙකුට අවශ්‍ය නම් සංගීතය කමටහනක් කරගන්න බැරි කමකුත් නෑ. හැබැයි ඒක තීරණය කරන්න බෑ සමාජයට. මොකද මගේ කමටහන තෝරාගැනීම මට සාපේක්ෂව මට ආවේණික දෙයක් නිසා.

 

මගේ නිර්මාණවලින් බුදු දහම ප්‍රකට කරන්නෙ කොහොමද කියන කාරණය ගැන මම අවධානය යොමු කරනවා. බුදු දහමේ තිබෙන දේවල්, සෙසු ආගම්වල තිබෙන දේවල්, මිනිසුන්ගේ අත්දැකීම්, පාරිසරික දේශපාලනික කියවාගැනීම්, පොතපත, චිත්‍රපටවලින් ගත් අත්දැකීම් එක්ක තමයි මගේ නිර්මාණ බිහිවෙන්නෙ. මගේ නිර්මාණ ඇතුළෙ කොටස් කිහිපයක් කතාවෙනවා. එකක් තමයි සෘජුව මිනිස්සුන්ගේ මානසිකත්වයට බලපාන නිර්මාණ සිදුකිරීම. තව එකක් තමයි මම අපේක්ෂා කරන සමාජමය ආකල්පය වෙනස් කිරීමේ නිර්මාණ සිදුකිරීම. ඒ නිර්මාණ ඇතුළෙ දාර්ශනික කියවාගැනීම් තියෙනවා. උදාහරණයක් ලෙස ‘Peace for Peace‘  නිර්මාණය දැක්විය හැකියි. මින් උත්සාහ කළේ අන්තර් ආගමික සංහිඳියාව පිළිබඳව කතිකාවකුයි. 
‘ඉවෝල් ඉන්ද වින්ඩ්’ නිර්මාණයට භාවිත කළේ බෞද්ධ දර්ශනයයි. ‘වෝල් ස්ටෝරි‘ කියන නිර්මාණය බෞද්ධ දර්ශනය මූලික කරගෙන තිබෙනවා. ‘සෲයතාම්’ නිර්මාණය මගින් කියවෙන්නේ ධර්මය අහන්න කියලයි. 
හැබැයි නිර්මාණකරුවෙකු ලෙස මගේ තෘප්තිය වෙනුවෙන් සිදුකරන නිර්මාණ සඳහා මම බෞද්ධ දර්ශනය යොදා ගන්නවා. බෞද්ධ භික්ෂුවක් ලෙස මගෙන් සමාජයට ඉටුවිය යුත්තේ කුමක් ද යන්න මම තේරුම් අරගෙන තිබෙනවා. අපි අාධ්‍යාත්මික ගවේෂණයක ඉන්නවා වගේම සමාජයටත් දෙයක් දායාද කළ යුතුයි. ඒ වෙනුවෙන් මම යම්කිසි පුහුණුවක ඉන්නවා. 
මානසික ඒකාග්‍රතාව, ලිහිල් භාවය හා සමතුලිතභාවය වෙනුවෙන් සිදුකළ නිර්මාණ විශාල ප්‍රමාණයක් මගේ යූ ටියුබ් නාළිකාවේ තිබෙනවා. තවත් එතනින් එහාට හොයන්න ඕනි නම් හීල් ලිප්ට් මෘදුකාංගය හරහා සිදු කළ හැකියි.


මීටත් අමතරව තවදුරටත් එහාට ගිහින් කතාබහ කරලා මේ ගැන අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ‘සන්ධාරා’ සූදානමින් සිටිනවා.
මේ පිළිබඳ වැඩි විස්තර www.sandhara.org  හරහා ලබාගත හැකියි.
නිරෝෂාන් ප්‍රේමරත්න