සංචාරක කර්මාන්තයට ඇති අනතුර පාතාලය පමණද?


එකිනෙකට සම්බන්ධ පාතාලයත් මත්ද්‍රව්‍ය ජාවාරමත් නැති කිරීම සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයට වැදගත්.
සීගිරියට එන විදෙස් සංචාරකයන් ගෙන් ඩොලර් 35 ක් අය කරනවා. ඉන්දියාවේ ටජ් මහල බලන්න එන සංචාරකයන්ගෙන් අය කරන්නෙ ඩොලර් 15 යි. ඒත් සීගිරියේ පහසුකම් ගැන සංචාරකයන්ට සතුටක් නෑ.
සමහර සංචාරකයන් තරු හෝටල්වල නතර වෙලා කෑම පිට ගෙවල්වලින් ගන්නවා. අඩු වියදමකින් උපරිම අත්දැකීමක් ලබාගන්න තමයි මේ අය උත්සාහ කරන්නෙ.

පාතාල කල්ලි අතර ගැටුම් උග්‍ර වී මිනිසුන් මරා දැමීම් ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය රටේ සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම් ඇති කරන බවට ද මත පළ වේ. පසුගියදාක විපක්ෂ නායකවරයා ද ඒ ගැන අදහස් දක්වා තිබිණි. එහෙත් සංචාරක ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුරංග සිල්වා පෙන්වා දෙන්නේ පාතාල කටයුතුවලින් මෙම කර්මාන්තයට  යම් බලපෑමක් වුව ද ඊටත් වඩා දැඩි අහිතකර බලපෑම් එල්ල වෙන අංශ ගණනාවක් පවතින බවය. පාතාල ක්‍රියාකාරකම් ත්‍රස්තවාදයක් තරමට උලුප්පවා දැක්වීමෙන් රටේ ගොඩනැගෙමින් තිබෙන සංචාරක ආර්ථිකයට අනර්ථයක් විය හැකි බව ද ඔහු සිහි කරයි. මේ ඒ සම්බන්ධයෙන් මහාචාර්යවරයා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකි. 


පාතාලය සහ සංචාරක ව්‍යාපාරය 


පාතාල ක්‍රියාකාරකම්වල වැඩිවීමක් දැකිය හැකි ය. එයින් සංචාරක ව්‍යාපාරයට බලපෑම් එල්ල වෙන බවත් ප්‍රකාශ වේ. එහෙත් මාගේ පෞද්ගලික නිරීක්ෂණය අනුව සංචාරක ව්‍යාපාරයට පාතාල ක්‍රියාකාරකම් මගින් එල්ල වෙන්නේ ඉතා අඩු බලපෑමකි. පාතාලය හොඳින් ක්‍රියාත්මක වෙන අවස්ථාවල වුව සංචාරක කර්මාන්තය දියුණු වූ රටවල් පිළිබඳ උදාහරණ තිබේ. ඉන්දුනීසියාවේ බාලි දූපත, තායිලන්තයේ පතායා, මෙක්සිකෝව සහ ඉතාලිය ඊට දැක්විය හැකි උදාහරණ කිහිපයකි. මෙම රටවල මත්ද්‍රව්‍ය කේන්ද්‍ර කරගත් පාතාලයක් ක්‍රියාත්මක වුව ද සංචාරක කර්මාන්තය ද ක්‍රියාත්මක වේ. මෙක්සිකෝව ගතහොත් එරටට වසරකට මිලියන 38 ක් සංචාරකයෝ පැමිණෙති. මෙක්සිකෝව යනු පාතාල පුරයක් වුව ද සංචාරක පැමිණීම්වල අඩුවක් පෙනෙන්නට නැත. එහි අදහස පාතාල ක්‍රියාකාරකම්වලින් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් ඇති නොකරන බවය. මේ අනුව සංචාරක කර්මාන්තයට බලපෑම් ඇති නොකරන්නේ යැයි තීරණය කළ නොහැක. එහෙත් බලපෑම අවම බව පෙනීයයි.
ලංකාවේ යුද ගැටුම් පැවති අවධියේත් වසරකට ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංචාරකයෝ පිරිසක් ලංකාවට පැමිණියහ. යුද්ධය අවසන් වූ පසු සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් වර්ධනය විය. රටක සාමකාමී පරිසරයක් තිබීම මේ කර්මාන්තයේ පැවැත්මට ඉතා වැදගත් ය. පාතාල සාමාජිකයන් අතර සිදු වෙන වෙඩි තබාගැනීම්, මිනී මැරීම් කාලයක සිට සිදු වේ. ඇතැම් විධායක ජනාධිපතිවරුන් පක්ෂ සංවිධායක තනතුරු පවා පාතාල නායකයන්ට ලබා දුන් ඉතිහාසය අපට මතකය. ශ්‍රී ලංකාවේ පාතාලය වර්ධනය වූයේ 1970 ගණන්වලට පසුව බව පිළිගැනේ. එබැවින් පාතාලය යනු මෙරටේ තිබූ දෙයකි. පාතාල ක්‍රියාකාරකම් සංචාරක කර්මාන්තයේ කඩාවැටීමට හේතුවක් ය යන්න හුවා දැක්වීම මේ කර්මාන්තයට එතරම් සුබ දෙයක් නොවේ. සංචාරක කර්මාන්තය රැකගැනීම සඳහා පාතාලය තුරන් කිරීමට වඩා කළ යුතු බොහෝ දේවල් ඇත.


ප්‍රශ්නය පාතාලය පමණ ද? 


පාතාල ක්‍රියාකාරකම් නිසා සංචාරක ආර්ථිකයෙහි ආයෝජන කිරීමට කැමැත්තෙන් සිටින ආයෝජකයන් හා ව්‍යාපාරිකයන් අධෛර්යයවත් වෙන්නේ නම් එයින් සංචාරක කර්මාන්තයට බලපෑමක් වෙන බව පිළිගත යුතු ය. එහෙත් එවැනි බලපෑමක් මෙතෙක් දකින්නට නොමැත. පාතාල ක්‍රියාකාරකම් උත්සන්න වී ඇති අවස්ථාවක මිනිසුන්ගේ සාමාන්‍ය ජීවන රටාවට ප්‍රශ්න ඇති වේ. සංචාරකයන් වැඩි වශයෙන් යනෙන තැන්වල වෙඩි තබාගැනීම් සිදු වුව හොත් ඒවායෙන් සංචාරකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වුවහොත් එමගින් මෙම කර්මාන්තයට අහිතකර බලපෑම් ඇති විය හැකි ය. එහෙත් පාතාල කණ්ඩායම් අතර සිදු වෙන වෙඩි තබා ගැනීම් සංචාරක කර්මාන්තයට අදාළව සිදුව ඇති බවක් පෙනෙන්නට නැත.  ඉහත අවධාරණය කළ පරිදි මෙම කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් පාතාලය තුරන් කිරීමට වඩා වැඩි දේවල් කළ යුතුව ඇත. 
එක් උදාහරණයක් නම් මෙරට ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් වෙන සීගිරිය අවට නීතිවිරෝධී සංචරක මගපෙන්වන්නන් විසින් සිදු කරනු ලබන අනීතික කටයුතු ය. ඇල්ල ඔඩිසි දුම්රියේ කෙරෙන ගමන් බලපත්‍ර ජාවාරම තව එකකි. පාතාල ක්‍රියාකාරකම්වලින් සංචාරක කර්මාන්තයට යම් බලපෑමක් වේද ඊටත් වඩා වැඩි අහිතකර බලපෑමක් මෙවැනි කටයුතුවලින් සිදු වේ. ඇල්ල සංචාරක ගමනාන්තය ස්වභාව සෞන්දර්යය සමග සම්බන්ධ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ වුවත් ඇතැම් මත්ද්‍රව්‍ය සමග එහි සබඳකමක් තිබේ. සමහර සංචාරකයන් ඇල්ලට යන්නේත් එම මත්ද්‍රව්‍ය බලාපොරොත්තුවෙනි. එය ලංකාවට පමණක් ආගන්තුක තත්ත්වයක් ද නොවේ. ඇතැම් යුරෝපීය රටවල කෝපි අවන්හල්වල පවා මරිජුවානා වැනි මත්ද්‍රව්‍ය අලෙවි කෙරේ. මෙවැනි පසුබිමක පාතාල ක්‍රියාකාරකම් රටේ ත්‍රස්තවාදයක් තරමට උලුප්පවා එයින් සංචාරක කර්මාන්තයට ප්‍රබල බලපෑමක් එල්ල වේය යන මතය සමාජගත කිරීම එකඟ විය නොහැකි තත්ත්වයකි. එහෙත් නැවතත් මතක් කරන්නේ පාතාල ක්‍රියාකාරකම් මගින් මෙම කර්මාන්තයට බලපෑමක් නොවන්නේය යන්න අසත්‍ය බවය.


ආයෝජකයන්ට ඇති සැබෑ ප්‍රශ්න 


සංචාරක කර්මාන්තයෙහි ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින ආයෝජකයන්ට වඩාත් දැඩිව බලපාන්නේ පාතාලය ද නැතිනම් ආයෝජන කටයුතු වෙනුවෙන් අවශ්‍ය අනුමැතීන් ගැනීමට මාස පහ හය තරම් දිගු කාලයක් ගැනීම ද යන්න විමසිය යුතුය. නිෂ්පාදන පිරිවැය ඉහළ අගයක පැවතීම සහ පාතාලය යන දෙකෙන් කවරක් ගැන ආයෝජකයන් සැලකිලිමත් වෙන්නේ ද යන්නත් ඇසිය යුතු ප්‍රශ්නයකි. ඉතාම පැහැදිලිව ආයෝජකයන්ට බලපාන්නේ සහ ඔවුන් සැලකිලිමත් වෙන්නේ පාතාල ක්‍රියාකාරකම්වලට වඩා සෙසු කාරණාවලටය. එනම් අනුමතය ලබා ගැනීමට යන කාලය සහ නිෂ්පාදන පිරිවැයටයි.
Global Travel and Tourism Index  නමැති දර්ශකයට අනුව ශ්‍රී ලංකාව එහි පසුවෙන්නේ 77 වැනි ස්ථානයේ ය. ලංකාවේ සංචාරක ආකර්ෂණීය ගමනාන්ත තිබුණ ද ඇතැම් ගමනාන්ත සඳහා පහසු ප්‍රවේශ නොමැත. එකී ආකර්ෂණීයභාවය පදනම් කර ගත් ක්‍රියාකාරකම් නොමැත. නිදසුනක් ලෙස සීගිරිය ගතහොත් හුදෙක් එය නැගීම හා බැසීම හැරුණු විට ඒ ආශ්‍රිත වෙනත් කිසිදු ක්‍රියාකාරකම් නොමැත. මාදු ගඟ සම්බන්ධ අත්දැකීමත් එසේම ය. එවැනි ක්‍රියාකාරකම් වැදගත් වෙන්නේ ඒ ස්ථානවලට යන සංචාරකයන්ට එය අමතක නොවෙන අත්දැකීමක් බවට පත් කිරීමට අවශ්‍ය හෙයිනි. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතු ය.


කෘත්‍රිම පාතාලය 


ලංකාවේ තිබෙන්නේ ඉල්ලුම හා සැපයුම මත සකස් වූ පාතාලයක් නොවේ. එය දේශපාලනඥයන් විසින් නිර්මාණය කරනු ලැබූවකි. එනම්, මිනිසුන් ඝාතනය කිරීම සඳහා ඉල්ලුමක් ද ඒ සඳහා සැපයුමක් ද තිබිය යුතු ය. එහෙත් ලංකාවේ තිබෙන්නේ දේශපාලනඥයන් තමන්ට වාසි සහගත වාතාවරණයක් ඇති කර ගැනීම වෙනුවෙන් කෘත්‍රිමව ගොඩනගා ගත් පාතාලයකි. එය මත්ද්‍රව්‍ය ජාවාරම සමග ද සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ද ඇතැම් දේශපාලනඥයෝ සම්බන්ධ වෙති. දේශපාලනය, මත්ද්‍රව්‍ය හා පාතාලය එකිනෙකට සම්බන්ධ වී තිබේ. පාතාලය තුරන් කළ ද මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා පාතාලය අවශ්‍ය වේ. එබැවින් මේ දෙකම නැති කළ යුතු ය. එය සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයටත් වැදගත් ය. සෝලෝ සංචාරක කර්මාන්තයේ අංක එක බවට ලංකාව පත් විය. එසේම ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය බවට ද ලංකාව පත් විය. එහි ඇඟවුම සංචාරකයන් අතර ශ්‍රී ලංකාවට ඉහළ ඉල්ලුමක් පවතින බවය. මේ තත්ත්වය තවත් ඔසවා තැබීම අවශ්‍ය වේ.


සංචාරකයාගේ ස්වභාවය සහ පහසුකම්


රටට එන සංචාරකයා වියදම් කළ හැකි කෙනෙකු වීම වැදගත් ය. එසේම සංචාරකයා අපේ පරිසරයට ප්‍රජාවට සංවේදී අයෙකු විය යුතු ය. තිරසාර සංචාරක කර්මාන්තයට ඔවුන් සම්බන්ධ කළ හැකි නම් යහපත් ය. ප්‍රධාන අභියෝගයක් නම් සංචාරක ගමනාන්ත කොතෙක් තිබුණ ද පහසු ප්‍රවේශ නොතිබීමය. ඇල්ල, යාල, සීගිරිය වැනි ප්‍රකට සංචාරක ගමනාන්තවලට තිබෙන්නේ දුෂ්කර ප්‍රවේශය. එම තත්ත්වය වෙනස් කර පහසු ප්‍රවේශ ඇති කිරීමත් සංචාරකයන්ට වැඩි අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගත හැකි පරිදි ක්‍රියාකාරකම් සුලභ කිරීමත් අවශ්‍ය වේ.
සංචාරයට පැමිණෙන පිරිස් විවිධ ව්‍යාපාර කටයුතු සිදු කිරීම නතර කළ යුතු ය. සංචාරකයන්ට රැකියාවල නිරත වීම තහනම් ය. රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයෝ දිගු කලක් මෙරට රැඳී සිටිති. චීන සංචාරකයන් ද එසේමය. ඔවුන් කරන්නේ නිවෙසක් කුලියට ගෙන තමන්ගේ රටින් එන සංචාරකයන්ට නවාතැන් ගැනීම පිණිස එම නිවෙස මුදලට ලබා දීමය. ඒ ආදායම් රටට ලැබෙන්නේ නැත. එයින් සංචාරක හෝටල් ක්ෂේත්‍රයට අහිතකර බලපෑම් ඇති කරයි. හික්කඩුව වැනි ප්‍රදේශවල මේ තත්ත්වය බහුලව දැකිය හැකි ය. මෙහි යම් ධනාත්මක පැත්තක් ද තිබේ. එනම්, එලෙස වසරක් වැනි කාලයකට නිවෙසක් කුලියට ගැනීමේදී මුළු මුදල නිවෙස හිමි පුද්ගලයාට ගෙවීම නිසා එම මුදල ආයෝජනය කර වෙනත් ව්‍යාපාරයක් කිරීමට නිවෙස හිමි පුද්ගලයාට හැකි වීමය.
ඇතැම් සංචාරකයන් තරු පන්තියේ හෝටල්වල නවාතැන් ගත්ත ද ඒවායෙන් ආහාර නොගෙන හෝටලය අවට ගෙදරකින් අඩු මුදලකට ආහාර මිල දී ගන්නා තත්ත්වයක් ද සමහර ප්‍රදේශවලින් වාර්තා වෙයි. මෙවැනි දේවල්වලින් වියදම් පිරිමසා ගැනීමට සංචාරකයෝ පෙලඹෙති. මෙහි තවත් පැත්තක් තිබේ. එනම්, තමන් සූරා කෑමක් වැනි හැඟීමක් ඇතැම් ස්ථානවලදී සංචාරකයන්ට දැනීමය. ඊට දැක්විය හැකි හොඳම උදාහරණය නම් සීගිරියයි. එම ස්ථානයට ඇතුළු වීම සඳහා ඩොලර් 35 ක් වැනි ඉහළ මුදලක් විදේශ සංචාරකයන්ගෙන් අය කරනු ලබයි. එහෙත් දේශීය සංචාරකයන්ගෙන් අය කරන්නේ ඉතා අඩු මුදලකි. තමන් වැඩි මුදලක් ගෙවා සීගිරියට ඇතුළු වුව ද නිසි පහසුකම් නොතිබීම ගැන ඔවුහු කනස්සල්ලට පත් වෙති. ලෝක ප්‍රකට සංචාරක ගමනාන්තයක් වෙන ඉන්දියාවේ ටජ්මහල් නැරඹීම වෙනුවෙන් විදේශිකයන්ගෙන් අය කරනු ලබන්නේ ඩොලර් 15 ක් පමණි.
 පාතාලයට වඩා දැඩි බලපෑමක් සංචාරක කර්මාන්තයට ඇති කරන අංග තිබෙන බව මේ උදාහරණවලින් ඔබට තේරුම් යනු ඇත. මුලින් ම ඒවා නිවැරදි කළ යුතු ය. පාතාල ක්‍රියාකාරකම් නිසා සංචාරකයකුට හානි වුව හොත් එය සෘජුවම මේ කර්මාන්තයට බලපායි. 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ අවස්ථාවේත් සංචාරකයෝ රටට ආහ. එබැවින් පාතාලය නිසා අපේ සංචාරක කර්මාන්තය අනතුරේ වැනි තත්ත්වයක් උලුප්පා දැක්වීම සුදුසු නැත. මන්ද, සංචාරක කර්මාන්තය යනු රටට විදේශ විනිමය ගෙනෙන නැගී එන කර්මාන්තයකි. ශ්‍රී ලංකාවේ වාර්ෂික ආනයන-අපනයන පරතරය ඩොලර් බිලියන 6 කි. ලබා ගත් විදේශ ණය වෙනුවෙන් 2028 සිට වසරකට ඩොලර් බිලියන 8 ක් වැනි මුදලක් ගෙවීමට සිදු වේ. ඒ දෙකෙහි එකතුව ඩොලර් බිලියන 14 කි. ඒ සඳහා මුදල් සොයා ගැනීමට රටට කර්මාන්තයක් තිබේ ද යන ප්‍රශ්නය මම නගමි. ඒ සඳහා ඇති එකම මග සංචාරක කර්මාන්තය ගොඩනැගීමය. අපි ඒ වෙනුවෙන් මහන්සි විය යුතු වෙමු.
සංචාරකයන්ගේ ආරක්ෂාව ගැන සාවධාන වීම ද වැදගත් ය. කොළඹ-බදුල්ල දුම්රියේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් විදේශ සංචාරකයන් මිය ගිය සිද්ධි පසුගිය කාලයේ දී වාර්තා විය. ඒවාත් මෙම කර්මාන්තය මන්දගාමී වීමට බලපායි. එබැවන් සංචාරක කර්මාන්තයේ තිබෙන ප්‍රධාන ගැටලුව පාතාලය නොවන බව සිහිපත් කළ යුතුය. පාතාලය ගැටලුවක් නොවන බව එයින් අදහස් නොවේ. පාතාල කටයුතු නතර කළ හැකි නම් හොඳ ය. එවිට කිසිදු බියක් සැකක් නැතුව සංචාරකයන්ට නිදහසේ සංචරණය කළ හැකි ය. අපේ ප්‍රධාන අවධානය යොමු විය යුත්තේ මෙම කර්මාන්තය දියුණු කළ හැක්කේ කවර දෙසකට ද යන්න යි.