සංවේදී සිද්ධිවල රහසිගත ප්‍රකාශ හෙළි කරන්න එපා


මෙරට සිදුවෙන බරපතළ ගණයේ අපරාධ ස්ත්‍රී දූෂණ වැනි අතිශ්‍ය වැදගත් සංවේදී අධිකරණ කටයුතුවලට සම්බන්ධ සිද්ධීන්වල දී වින්දිතයන් සහ චූදිතයන් පොලිසියට ලබා දෙනු ලබන රහසිගත ප්‍රකාශ විවිධ ක්‍රමවලින් සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් විද්‍යුත් මාධ්‍ය ලබාගෙන ඒවා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ඉකුත් සතියේ දැඩි ආන්දෝලනයක් ඇති කළේය.

මෙවැනි සිදුවීම් දැනට වසර ගණනාවක සිට සිදුවෙමින් පවතිද්දී එහි ඉතා මෑත කාලීන සිදුවීම වූයේ විශේෂඥ වෛද්‍යවරියක මුහුණ පෑ ඉතාමත් අශිෂ්ට සිදුවීමයි.

මෙවැනි සිදුවීමක දී, අපරාධකරු සොයාගැනීම සම්බන්ධයෙන් මෙන්ම ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මාධ්‍යයේ වගකීමක් වුවද, අපරාධකරු කොටුවීමෙන් පසු, විශේෂයෙන් සමාජ මාධ්‍ය හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් ඇති කළ යුතු බව ඉකුත් සතියේ සිදුවීමෙන් පෙන්නුම් කරයි.

එම වෛද්‍යවරිය මුහුණ දුන් ඉතාමත් අභාග්‍ය සම්පන්න අවස්ථාව පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කොට සිටින්නේ, ඇය එය රසවත් කොට හෝ සොමිබර අදහසකින් නොව, ඇය මුහුණ දුන් අභාග්‍ය සම්පන්න සිදුවීමට නීතියේ ආධිපත්‍යය තුළ කිසියම් වූ සාධාරණයක් ලබාගැනීමටයි.

එවැනි අවස්ථාවක, තමන්ගේ ශ්‍රේණිගත කිරීම් (රේටින්ග්ස්) වැඩි කරගැනීමට වින්දිතයාගේ හා චූදිතයාගේ අධිකරණ කටයුත්ත පසෙකදා, විශේෂයෙන් වින්දිතයන් විසින් පොලිසියට ලබාදෙන ප්‍රකාශ සියල්ල කිසියම් හෝ ක්‍රමෝපායකින් ලබාගෙන, එය සමාජගත කිරීම තුළින් සිදුවෙන විනාශය ඔවුන් තඹ දොයිතුවකට හෝ මායිම් කරන බවක් පෙනෙන්නට නොමැත. ඔවුන් එය මායිම් කරනු ලබන්නේ ඔවුන්ගේ මවකට, දියණියකට, සහෝදරියකට හෝ ළඟම හිතෛෂියකුට එවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුවහොත් පමණි.

මෙම ලිපියේ අරමුණ පැහැදිලි කිරීමට ඉහත කොටස ලිපියට එකතු කළ ද, සැබවින්ම එවැනි අධිකරණ කටයුතුවල රහසිගත තොරතුරු මාධ්‍යයට අනාවරණය කිරීමේ සැබෑ පාර්ශ්වකරුවන් වශයෙන් චෝදනාවට ලක් වෙන්නේ පොලිස් නිලධාරීහුය.

විශේෂඥ වෛද්‍යවරියගේ සිද්ධියේ දී, ඇය මුහුණ පෑ අනපේක්ෂිත, ඉතාමත් අශිෂ්ට ක්‍රියාව සම්බන්ධයෙන්, ඇය පොලිසියට දී තිබූ ඉතාමත් සංවේදී ප්‍රකාශයන් ඒ අයුරින්ම පොලිස් නිලධාරීන් විසින් මාධ්‍යයට ලබාදීම තුළින්, ඇය  ඇයගේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් ඉදිරියේ පත්වෙන අපහසුතාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් මීට වඩා සංවේදීව සිතිය යුතුව ඇත. 

ඉකුත් සතියේ ඒ සම්බන්ධයෙන් වූ හඳුනාගැනීමේ පෙරට්ටුවට ද එම වෛද්‍යවරිය ඉදිරිපත් නොවීම, එම පොලිස් නිලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් නිසා සිදු වූයේ ද යන්න සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතුව ඇත.

පොලිසිය සහ මාධ්‍ය විසින් සිදු කරනු ලබන මෙවැනි වගකීම් විරහිත ක්‍රියාවන් සම්බන්ධයෙන්, නිරන්තරයෙන් හඬක් නගනු ලබන චරිතයක් වශයෙන් හඳුන්වා දිය හැක්කේ මහනුවර ප්‍රදේශය කේන්ද්‍රගතව සිටින රජයේ වෛද්‍යවරයකු මෙන්ම නීතිඥයෙකු වශයෙන් ද කටයුතු කරන පාලිත බණ්ඩාර සුභසිංහයි. ඒ මහතා, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉකුත් සතියේ ශ්‍රී ලංකා පොලිසියට දැඩිව චෝදනා කරමින්, වැඩ බලන පොලිස්පතිවරයාට ලිපියක් ද ඉදිරිපත් කොට තිබුණි.

පවතින මෙම ගැටලු‍කාරී තත්ත්වය සම්බන්ධයෙන්, නීතිමය පැත්තෙන් මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රය තුළින් සිදු කළ හැකි මෙහෙවර සම්බන්ධයෙන් සුභසිංහ මහතාගෙන් කළ විමසීමක දී ඔහු පවසා සිටියේ මෙවන් කතාවකි.

‘‘සැබවින්ම මෙය ඉතාමත් ශෝචනීය තත්ත්වයක්. එම වෛද්‍යවරියගේ සිදුවීම කුමන හෝ ක්‍රමයකින් සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ලබාගෙන, එය ඒ ආකාරයෙන්ම පළකොට තිබෙන ආකාරය දැකගත හැකි වූවා. ඇතැම් විද්‍යුත් මාධ්‍ය, ඇයගේ එම ප්‍රකාශයට කාන්තාවක යොදවාගෙන හඬකවා ප්‍රචාරය කරන ආකාරයද දැක ගත හැකි වූවා. මෙය මහා අශිෂ්ට ක්‍රියාවක් වශයෙන් මා දකිනවා.

මෙවැනි දේ පළකිරීමේ දී, මාධ්‍ය ද යම් වගකීමක් ඇතිව කටයුතු කළ යුතුව තිබෙනවා. පොලිස් නිලධාරීන් මේ ප්‍රකාශ ලබා දෙනු ලබන්නේ ඔවුන්ගේ මතකය අනුවයි. එසේ නොමැතිව ප්‍රකාශ සටහන් කළ පොත බලාගෙන නෙවෙයි. එවැනි දෑ පළ කරන මාධ්‍යවේදීන්, යම් තැනක හිරවී අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදු වුවහොත් එය මාධ්‍යයට ලබාදුන් පොලිස් නිලධාරියා මගහැර යාම නියතයි. එම පොලිස් නිලධාරියාට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවුව ද ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කොට සිටින්නේ ඔහු එවැනි ප්‍රකාශයක් මාධ්‍යයට ලබා නොදුන් බවයි’’

එදිනට සමාජ මාධ්‍යයේ ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට යන්නේ එම සිදුවීම වාර්තා කරන ආයතන බවද, මෙවැනි වගකීම් විරහිත සමාජ මාධ්‍යකරුවෝ දැනගත යුතුව ඇති බවද නීතිඥ සුභසිංහ පෙන්වා දෙයි.

මෙවැනි අපරාධමය සිදුවීමක දී, වින්දිත තැනැත්තා විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙනු ලබන්නේ ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කොට ඔහුට හෝ ඇයට සාධාරණයක් ඉටු කරදීම සඳහායි. එවැනි ප්‍රකාශයක් පොලිසිය විසින් මාධ්‍යයට ලබා දෙනවානම්, වින්දිතයන් සිදුවීමේ අතිශ්‍ය සංවේදී සිදුවීම් පොලිසියට ප්‍රකාශ වශයෙන් ලබාදීම සඟවා සිටිය හැකියි.

මෙය ඉතා බරපතළ තත්ත්වයක්. වින්දිතයන් විසින් කරනු ලබන ප්‍රකාශයන් පොලිසිය විසින් ඉදිරිපත් කළ යුත්තේ අධිකරණයට පමණයි. එහි  රහස්‍ය භාවය රැකීමට පොලිසිය බැඳී සිටිනවා සේම එහි ප්‍රකාශයන් එළියට ගියහොත් එහි අධිකරණමය කටයුත්තට දැඩි ලෙස බාධාවක් ඇති විය හැකියි.

මාධ්‍ය මගින් සිදු කරන අනෙත් බරපතළ කරුණ නම් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ යුතු චූදිතයෙකුගේ ඡායාරූප මාධ්‍ය මගින් පළ කිරීමයි. එවැනි අවස්ථාවක දී, හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක නීත්‍යනුකූල භාවය සම්බන්ධයෙන් අධිකරණයේ දී බලපෑම් ඇති විය හැකියි. වින්දිතයකු හෝ චූදිතයකු වරදකට සම්බන්ධ යම් ප්‍රකාශයක් ලබා දෙනු ලබන්නේ රජයේ නිලධාරියෙකුටයි. ඔහු එහි රහස්‍යභාවය රැකීමට බැඳී සිටිනවා. එසේම එවැනි සිදුවීම්වලදී පුද්ගලයන් ප්‍රකෝප වුවහොත් චූදිතයාගේ දෙමව්පියන් මෙන්ම ඥාතීන්ට ද ඔවුන්ගේ දේපළවලටද හානි සිදු විය හැකිය. 

‘‘යම් වින්දිතයෙකු හෝ චුදිතයෙකු පොලිසියට  ලබාදෙනු ලබන ප්‍රකාශය  ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට වාර්තා කරනවා හැරෙන්නට එය කිසි ලෙසකින්වත් මාධ්‍යයට හෝ තුන්වෙනි පාර්ශ්වයකට යා නොහැකිය. ‘‘365 ඇ’’ වගන්තීය යටතේ ලිංගික කටයුතු ඇතුළු කරුණු අටකට සම්බන්ධව අධිකරණය හමුවේ තිබෙන කිසිදු කරුණක් අධිකරණයේ පූර්ව අවසරයක් නොමැතිව ප්‍රචාරය කළ නොහැකි බවට එහි සඳහන්. එසේ වුවහොත් එය ලබාදුන් පුද්ගලයාට සහ එය ප්‍රචාරය කළ පුද්ගලයාට වසර 02ක සිර දඬුවමක් ලබා දීමේ නීති ප්‍රතිපාදන තිබෙනවා’’ යැයි ද නීතිඥ සුභසිංහ පැවසීය.

රටේ ආන්දෝලනාත්මක  නඩු නිමිති ගෙන, එය තමාට වූ දෙයක් මෙන් වීඩියෝ හෝ වෙනත් ශබ්ද කැවීම් සිදුකර, වැඩසටහන් නිෂ්පාදනය කොට ප්‍රචාරය කිරීම ද අධිකරණය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ඔහු අවධාරණය කළේය.

එසේම මෙවැනි විශේෂ ගණයේ වූ අපරාධ නඩු, වසර 12 - 15 වැනි කාල වකවානු අධිකරණය තුළ නඩු ඇසීම තුළින් විශේෂයෙන් වින්දිතයන් දැඩි අපහසුතාවකට පත්වෙන බවද ඔහු කීය. 

ස්ත්‍රී දූෂණ, බරපතළ ලිංගික අපයෝජනය වැනි ලිංගික වැරදි සම්බන්ධයක් 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 365 ඇ(1) සහ (3) වගන්තිය කෙරෙහි අවධානය යොමු කළ විට ලිංගික වැරදිවලට අදාළ ඇතැම් කරුණු පළ කිරීම තහනම් කොට තිබෙන අතර ඒ අනුව 365 ඇ(1)  මගින් කියවෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ දක්වා ඇති ලිංගික අතවර, කුට්ටනය කිරීම, ස්ත්‍රි දූෂණය, බරපතළ ලිංගික අපයෝජනය, වව්‍යාභිචාරය, ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම සහ තැනැත්තන් අතර සිදුවෙන අශිෂ්ඨ ක්‍රියාවන් හෝ අස්වාභාවික ලිංගික ක්‍රියාවන් යන වැරදිවලට ගොදුරුවෙන තැනැත්තන්ගේ නම හෝ අනන්‍යතාව හෝ හෙළිදරව් වෙන යම් කාරණයක් මුද්‍රණය කරන හෝ පළ කරන කවර හෝ තැනැත්තෙකුට අවුරුදු 02ක් දක්වා බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කිරීමට සහ ඊට අමතරව දඩයක් නියම කිරීමට ද හැකි බවයි.

ඒ අනුව ඉහත වැරදිවලට අදාළව යම් අධිකරණයක පැවැත්වෙන නඩු කටයුත්තකට අදාළව යම් කරුණක් ඒ අධිකරණය පූර්ව අවසරයක් නොමැතිව මුද්‍රණය කරන හෝ පළකරන කවර හෝ

තැනැත්තෙකුට එරෙහිව අධිකරණය මගින් දඬුවම් පැමිණවීමේ ප්‍රතිපාදන තිබේ.
මේ අනුව පැහැදිලිවම පෙනී යන්නේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාවක සඳහන් කිසිවක් අධිකරණයේ පූර්ව අවසරයක් නොමැතිව ප්‍රචාරය කළ නොහැකි බවයි.

මීට අමතරව, 2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ 20 වගන්තිය යටතේ යම් අපරාධයක් සම්බන්ධව විමර්ශනයක් සඳහා ලබාදී ඇති ප්‍රකාශ හෝ රැස්කරගත් තොරතුරුවලට අනුව වින්දිතයකුගේ හෝ සාක්ෂිකරුවකුගේ අනන්‍යතාව හෙළිවෙන කරුණු තුන්වැනි පාර්ශ්වයකට හෙළිදරව් කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම පිළිබඳව සීමා පනවා තිබෙන බවද නීතිඥ සුභසිංහ පැවසීය.

ෂේන් සෙනෙවිරත්න