සිය වසකට පසු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ගිය ශ්‍රි ලාංකීය භභික්ෂුව වාඩිගල සමිතරතන හිමි


ඔක්ස්ෆර්ඩ් යනු සරසවි අතර මහ සරසවියකි. මහා බ්‍රිතාන්‍යයේ ස්ථාපිත මෙම විශ්වවිද්‍යාලය හැඳින්වෙන්නේ ඉංග්‍රීසි බස සඳහා වෙන්වූ ලොව පැරණිතම අධ්‍යාපන කේන්ද්‍රස්ථානය ලෙසය. සියවස් නවයකට පෙරදී, එනම් 1096 දී ඇරඹි ඔක්ස්ෆර්ඩ් එදා සිට එක දිගටම ක්‍රියාත්මක වූ ලොව දෙවැනි පැරණිතම විශ්වවිද්‍යාලය ලෙස සඳහන් වේ. එදා මෙදා තුර ඔක්ස්ෆර්ඩ් ගිය, ශ්‍රී ලාංකීය කීර්තිමත් චරිත වෙති. එකී සියලු දෙනා ගිහි චරිතය. සිය වසරකට පසුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යාමට වරම් ලැබූ ශ්‍රී ලාංකීය හිමිනමක ගැන විස්තර දෙස් විදෙස් වශයෙන් මේ දිනවල මාධ්‍ය වාර්තා කරයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ එම ස්වාමීන්වහන්සේ ගැන රටේ බොහෝ දෙනා මාතෘකා කරගත් මොහොතක උන්වහන්සේ ඉරිදා ලංකාදීපය හා සම්බන්ධ වී බොදු දහමට සහ දර්ශනයට සමගාමීව දැක්වූ විග්‍රහයකි මේ.
මා දැනට මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳව දර්ශනපති උපාධිය වෙනුවෙන් හදාරමින් පසුවෙනවා. මේ ශාස්ත්‍රයේ චරණය පිළිබඳව යම් අදහසක් දැක්වීම මගේ අපේක්ෂාවයි. කාලාන්තරයක් මුළුල්ලේ භාෂා, ශාස්ත්‍ර සහ ධර්ම විනය හැදෑරීම්වලට අනුව ථෙරවාද, වජ්‍රයාන, මහායාන හෝ තන්ත්‍රයාන වේවා, බුදුදහම ඓතිහාසික ස්වායත්ත භූගෝලීය කලාපයන්ට පමණක් සීමා වී පවතින්නේ නැහැ. 21 වෙනි සියවස, (මේ මොහොත වන විට) ඒ සියලු සමයාන්තර දේශනාවන්, දර්ශනවාදයන් තුලනාත්මකව පෙරදිග සහ අපරදිග කලාපය, මධ්‍යම යුරෝපය, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව යන මේ සියලු කලාපයන් අතර බහුවිධ න්‍යායන් ඈඳා කරගෙන මේවා නිරීක්ෂණය සහ පර්‌යේෂණය කරමින් ගතවෙන මොහොතක්. ඒ නිසා මේ මොහොතට සාපේක්ෂව මගේ වුවමනාව සහ ඔක්ස්ෆර්ඩ් හි මගේ ශාස්ත්‍රයෙහි වපසරිය සැකසෙමින් තිබෙන්නේ. ථෙරවාද බෞද්ධ දර්ශනය කෙසේද බටහිර දර්ශනවාදය එක්ක තුලනය වෙමින් සැසඳිය හැක්කේ යන කාරණාවයි. ඒ මගින් මානව වර්ගයාගේ යහපත පිණිස, මානව චින්තාවේ අභව්‍ය පිළිබඳව අපට යමක් ගවේෂණය කළ හැකිද යන්නය.


උදාහරණයක් ලෙස ඇරිස්ටෝටල්ගේ Eudaimonia esanabonum සංකල්පය බෞද්ධ නිර්වාණ සංකල්පය එක්ක කොතරම් දුරට පෑහේද යන්නයි. ඇරිස්ටෝටලියානු Eudaimian සහ Nicomachean යන ආචාර ධර්ම තුළ අන්තර්ගතව පවතින ඥාන විභාගවාදය, පාරභෞතික වාදය සහ තවත් උදාහරණයක් ලෙස බුද්ධඝෝෂ ආචාර්යන්ගේ විසුද්ධි මග්ගය තුළින් හෙළිකරන සීල සමාධි ප්‍රඥා යන දැවැන්ත ව්‍යාඛ්‍යානය සමග කෙතරම් දුරට සංකල්පීයව හා න්‍යායාත්මක සැසඳෙනවාද?
ඒ නිසා මගේ ව්‍යායාමය වන්නේ මේ මොහොතේ මේ ශාස්ත්‍රීය විෂයෙහි ග්‍රීක ශිෂ්ටාචාරය, හෙළනික් සම්ප්‍රදායේ අපට හමුවන සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි දාර්ශනික වියතුන් විසින් ඉදිරිපත් කළ චින්තාවන් හා ඓතිහාසික ඉගෙන්වීමක් වන ථෙරවාද මූල බෞද්ධ දර්ශනය එක්ක කෙතරම් දුරට සම විෂමතා දකින්න පුළුවනිද? යන්න විග්‍රහ කරගත හැකිවීමයි. ඒ නිසා මා විශ්වාස කරන්නේ එය එක් කලාපයකට සීමා නොවුණු විශ්වීය සහ ගෝලීය නිරීක්ෂණයක් සහ පරික්ෂාවක් විදිහට. එමෙන්ම ඒ සඳහා සුදුසු තෝතැන්නක් ලෙසයි මම මේ අධ්‍යයනය දකින්නෙ. ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ බෞද්ධ භික්ෂුන් වහන්සේ, ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂුවක් පිළිබඳව මෙහි දක්නට ලැබෙන වාර්තාවන්ට අනුව පළමු සඳහන දක්වා තිබෙන්නේ, වර්ෂ 1919 දී එනම් ලංකාවේ එවකට විසූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නම් භාෂා ශාස්ත්‍රඥය පිළිබඳව මනා නිපුණත්වයක් සතු වූ ස්වාමීන්වහන්සේ ගැනයි. හැරිස් මැන්චෙස්ටර් කොලිජියට පැමිණ ශාස්ත්‍ර අධ්‍යයනය සිද්ධ කළ වග සඳහන්. ඒනිසා මේ ඓතිහාසික ආඛ්‍යානයට සමීප වෙමින් ඒ සඳහා ශාසනික චිරාගත සම්ප්‍රදායට ආලෝකයක් එකතු කරන්නට ලැබීම මා සලකන්නේ භාග්‍යයක් ලෙසයි.
ඒ අර්ථයෙන් මා විශ්වාස කරන්නේ ලෝක විෂයය තුළ මේ ශාස්ත්‍රලාභය මාගේ ආත්ම ලාභයක් නොවේය යන්නයි. මාගේ ආත්ම සංවර්ධණය පිණිස හෝ ආත්ම වෘද්ධිය පිණිස නොවේ. හුදෙක් මේ ථේරීය  සම්බුද්ධ ශාසනයේ අභිවෘදය පිණිසයි. මාගේ මේ ව්‍යායාමය කැප කරන්නේ ඒ පොදු පරාර්තීය චේෂ්ඨාවෙන්. ඒ නිසා මේ තුළ මහත්වය පිරි ශාසනික අරමුණක් සහ මනුෂ්‍ය සිතුවිලි ගැබ්ව තිබෙනවා. එය පාදක කරගෙන, වර්තමාන ශ්‍රී ලාංකීය තරුණ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රීය නැගී සිටීම, මේ මොහොතේ අවශ්‍යයි. එය 21 වෙනි ශත වර්ෂයේ මානව ශිෂ්ටාචාරයේ දියුණුව පිණිස ඒ දාර්ශනික අංකුරවල පිබිදීම අවශ්‍යයි. ඒ කුමක් නිසාදැයි සඳහන් කළොත්? තථාගත ධර්මය හා විනයට අනුකූල නිසයි.
 චූලනෙත් දේශපාලීයිය, මහානෙත් දේශපාලීයිය, පඨිසම්පදාමග්ඝ වැනි මූල ග්‍රන්ථයන්ට අනුකූලව, අංග තුනක් අපට පැහැදිලි කරගත හැකියි. පරියත්ථේ, පඨිපත්ති, පඨිවේද යන මේවා එකිනෙකට දුරස්ව හෝ වෙන්ව පවතින ශානර හෝ අවයව යැයි සිතනවාට වඩා, මේවා එකිනෙකට ඒකාබද්ධව පවතින, අන්‍යෝන්‍යව පවතින අවයව ලෙස සිතුවොතින් මේ ශාසනික රූපය සකස් ගැනීමට අපට හැකි වෙනවා. ඒ ධර්ම විනය සහ භාෂා ශාස්ත්‍රය මැනවින් හැදෑරිය යුතුයි. නමුදු එය පොදු හැදෑරීමකට පමණක් සීමා ද නොවිය යුතුයි. ඒතුළින් අපි එය අපේ ප්‍රායෝගික භාවිතාව හැසිරීම චරණය දක්වා එය ඈඳාගත යුතුයි. ඒ චරණය, හැසිරීම, භාවිතාව තමයි අපට අපේ අවබෝධය පිණිස නිර්වාණාදි ගමන පිණිස අපට පාදක වෙන්නෙ.
 ඒ අනුව භික්ෂුවකගේ ශාස්ත්‍රීය චරණය, උන්වහන්සේගේ භාවිත චරියාව සහ එතුළින් පැන නගින අවබෝධයට පාලම මේ සියල්ල ඒකාබද්ධ වූ පසුව මේ ශාසනයට සැකසෙන්නේ විශාල ආලෝකයක්. එය මේ මහපො​ෙළාව, විශ්වය, සොබාදහම සුවපත් කරවනවා. ඒ අර්ථයෙන් මම අපේ ස්වාමීන්වහන්සේලාට ආරාධනා කරන්නේ නිවැරදිව අපට ඒ පැරණි භාරතීය ශාස්ත්‍රඥයින් කියූ දේශනාවලට අනුව දෛවයෙන් දෙනවාය යන්න අත්හැර අපි ආත්ම ධෛර්ය, ආත්ම වීර්යය, ආත්ම විශ්වාසය මත ගොඩනැගෙන්න යන අදහසයි.
ආත්ම ධෛර්යය, ආත්ම විශ්වාසය, ඇති ඕනෑම පුද්ගලයෙකුට මේ මහපොළොව මත දිනිය නොහැකි, ළඟාවිය නොහැකි, ගතියක් නොමැතියි. එය ලෞකිකවත්, ආධ්‍යාත්මිකවත්, එසේය. අපේ මේ ව්‍යායාමය ඒකාන්ත වශයෙන්ම අාධ්‍යාත්මිකයි. ඒ නිසා මේ අාධ්‍යාත්මික ව්‍යායාමයට අපි සැවොම එකතු විය යුතුයි. එය තවකෙකුට කළ හැකි නම්? තවකෙකුට කළ නොහැකි ඇයි? ඒ තර්කණය තුළ අපි හැමෝම මේ ශාසනය අපේ ආත්මීය විමුක්තිය සලසන මාර්ගයේ මේ ශාසනික දියුණුව පිණිස මේ ශාසනික ශාස්ත්‍ර සම්ප්‍රදානය පිණිස අපි එක්විය යුතුය. අවසාන වශයෙන් මම මේ මොහොතේ කෘතවේදීව බලාපොරොත්තු වන්නේ මෙම ජයග්‍රහණය හෝ අපේ ශාස්ත්‍රීය මට්ටමින් අාධ්‍යාත්මික වශයෙන් ලබන සෑම හිමිකර ගැනීමකම අපට නොපෙනෙන තිර පිටපතක් තිබෙන බවයි. අපි එය හිමිකර ගැනීම හෝ ජයග්‍රහණය ඵලයක් ලෙස අපි සලකන්නේ නම්? ඒ ඵලය අස්වැන්න නෙළන්නට ඒ බීජය මහ පො​ෙළාවෙ පැළකර දිනයේ පටන් එය හැදෙන මොහොත දක්වා ඒ භූමිය මහපො​ෙළාව,  පරිසරය,    ආලෝකය යන මේ සියල්ල ඊට බලපානවා. ඒ වගේ මගේ ජීවිතයත් එලෙසමයි. ඒ නිසා මාගේ පැවිදි ආචාර්ය වහන්සේ වුණු බෙලිඅත්ත හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ආචාර්ය නලගම ධම්මවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙන්ම ප්‍රාචීන භාෂා අධ්‍යයනය සඳහා පිවිසුණු අස්ගිරි විහාර මහා පිරිවෙන, එහි පරිවේණාධිපති, ආචාර්ය නාරම්පනාවේ ආනන්දාභිදාන නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ ඒ තුළ සිටිනවා. එපමණක් නොවෙයි. එතැනින්  ඇරඹි මේ ගමනේදී මට හමුවුණු බෝසත්, ගුණැති තෙරවරු, පිළියන්දල ශ්‍රී විජයනන්දාරාමාධිපති පූජ්‍යපාද  අත්තුඩාවේ ශ්‍රී නන්දසිරි නායකස්වාමින් වහන්සේ, පිළියන්දල, අම්බලන්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති පූජ්‍යපාද කිරම නන්දරතන ස්වාමීන්ද්‍රයන්වහන්සේ, මහා බ්‍රිතාන්‍යයෙහි බර්මින්හැම් ජේතවන මහා විහාරාධිපති පූජ්‍යපාද කැප්පෙටියාගොඩ ගුණවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ලන්ඩන් නුවර අතුලදස්සන විහාරාධිපති පූජ්‍ය වඳුරඹ කස්සප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ආචාර, ප්‍රාචාරයන් වහන්සේලා සහ මාගේ මව් දෙමව්පියන්, මේ සඳහා සහයෝගි වූ ජීවී අජීවී සෑම වස්තුවකටම, වචනයෙන් උපකාර කළ සෑම පුද්ගලයෙකුටම කෘතවේදී වෙමින් මේ අදහස් දැක්වීම නිමා කරනවා.
සඳුන් ගමගේ