වර්තමාන තරැණ පරම්පරාවේ බොහොම පිරිසකට තාක්ෂණය හොඳට හුරැ පුරැදුය. ඔවුනට කරන්නට බැරි දෙයක් අද ඉතිරිවද නොමැති තරම්ය. ඒ තරමට තාක්ෂණය මෑත කාලයේ දියුණු තියුණු වී නගරයෙන් ගමට ද ගොස් හමාරය. කෙටි කාලයක දී තාක්ෂණය දියුණු වූ සමාජයක වයෝවෘද්ධ පුද්ගලයන්ට නම් එහි හැරෙන්න ගැවසෙන්න තියා සමහරකුට ස්මාට් ජංගම දුරකතනයකින් ඇමතුමක්වත් ගැනීමටවත් දැනුමක් නැත. එවන් වකවානුවක තරුණ තරුණියන් අභියෝගයකට ලක් කරමින් නවීන තාක්ෂණයේ අස්සක් මුල්ලක් නෑර හිනි පෙත්තටම නැග කටයුතු කර 70 හැවිරිදි අත්තම්මා කෙනකු ඉකුත් දා අහම්බෙන් කෑගල්ල රඹුක්කන මාර්ගයේ හිරිවඩුන්න නගරයේ ධනංජය කොමිනිකේෂන්හිදී මුණගැසුණි.
ඇය නමින් සුධර්මා ජයකොඩි ය. සුදර්මාගේ උපන් ගම මහනුවර ගලගෙදර උඩුව ප්‍රදේශයේ ය. රඹුක්කන පින්නවල පොල්තෙල් නිෂ්පාදන මෝලක සේවය කරමින් සිටි තරුණයකු සමග විවාහ වී ඇති සුධර්මා ජයකොඩි පසුව සැමියාගේ පින්නවල නිවසේ පදිංචි වූවාය. බන්දුනී මනෝරී ලියනආරච්චි ඇගේ වැඩිමහල් දියණියයි. ඇය නැවක සේවය කරන තරුණයෙකු සමග විවාහ වී දැනට මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටින්නීය. දෙවැනි දරැවා නිලන්ත ලියනආරච්චිය. ඔහු පොල්ගහවෙල සුමිත්‍ර ඇඟලුම් ආයතනයේ කළමනාකරුවෙකි. තෙවැනි පුතා ධනංජය ලියනආරච්චිය. ඔහු අහුංගල්ලේ රිව් හෝටලයේ වැඩ පරීක්ෂකවරයෙකි. බාල පිරිමි දරුවා සංජය ලියනආරච්චිය. ඔහු අලව්වේ පදිංචිව වෙළඳාම් කරන්නෙකි.
සුධර්මාගේ සැමියා 1998 දී හෘදයාබාධයක් සෑදී මියගිය අතර ඒ වෙනවිට දරු සිව්දෙනා තාරුණ්‍යයට එළඹ සිටියහ. දෙවැනි පුත් ධනංජය ලියනආරච්චි විසින් 2002 වර්ෂයේ හිරිවඩුන්න නගරයේ ධනංජය නමින් කොමියුනිකේෂන් එකක් ආරම්භ කිරීමට මුල පිරැවේය.. සුධර්මා ජයකොඩි එදා ඊට හාත්පසින්ම විරැද්ධ වූවාය. ඒ එය පවත්වාගෙන යන්නට කෙනෙකු නොමැතිකම නිසාය. විරෝධතාව මැද්දේ කොමියුනිකේෂන් එක ආරම්භ කළද සේවයට කෙනෙකු නොමැති වූ බැවින් පළමු දින සිටම සුධර්මා ජයකොඩි එහි එන්න යන්න පටන් ගත්තාය. ජායා පිටපත්, බයින්ඩින්, ලැමිනේටින් හා සී.ඩී. තැටි මුලදී රොකෝඩ් කරදීම සිදුකෙරිණි. පසුව ඕනෑම ආකාරයක ටයිප් සෙටින් ඊමේල්, ස්කෑන්, මුද්‍රණ කටයුතු, ජල විදුලි ඇතුළු සියලුම ගෙවීම් බිල්පත්, දුරකතන අමතර කොටස් අලෙවිය ඇතුළු වර්තමානයේ ඇති සියලු දේවල් වැඩි කාලයක් යන්නට ඇය ටිකෙන් ටික පුරුදු පුහුණු වූවාය.
වර්තමානයේ තරගකාරී සමාජයට ඈ හුරු වී හමාරය. ප්‍රදේශයේ සෑම කෙනකුම සියලු අවශ්‍යතා ඉටුකර ගැනීමට පැමිණෙන්නේ හිරිවඩුන්නේ ධනංජය කොමිනිකේෂන් එකටය. ඒ තරමට ඈ විශ්වාසවන්තව කටයුතු සිදුකර දෙන නිසාත් නවීන තාක්ෂණයට හුරු වී කටයුතු සිදුකිරීමට ඇය හුරැපුරැදු වී ඇති නිසාය. පෝය දින හැර සෑම දිනකම උදේ 7 සිට රාත්‍රි 8ට දක්වා සේවය කරන සුධර්මා නිවසේ සිට සැතපුම් කිහිපයක් දුරින් කොමිනිකේෂන් එක පිහිටා තිබීමද සුවිශේෂීය.
කොමිනිකේෂන් එක ආරම්භ කරපු කාලයේ රුපියල් 50කවත් ආදායමක් තිබුණේ නෑ. කෙනෙක් දාලා කරන්න වැටුපක් ගෙවන්න විදිහක් තිබුණේ නෑ. ආරම්භ කරලා අවුරුදු ගාණකට පස්සේ තමයි පුතා කොළඹ ගිහිල්ලා කොම්පියුටරයක් ගෙනාවේ. මම ඊට පස්සේ ටික ටික පුතාගෙන් අහලා ඉගෙනගත්තා. අද මම තරගකාරී තාක්ෂණයත් සමග හුරුවෙලා සිටිනවා. ඕනෑම දෙයක් සුළු මොහොතකින් කරලා දෙන්න හැකියාව තියෙනවා සුධර්මා ජයකොඩි අත්තම්මා පැවසුවේ කිහිප දෙනකුට සේවාවද සපයන අතරතුර සිනාමුසු මුහුණින්ය.
මට අද මුණුපුරු මිණිපිරියන් 11 දෙනෙක් සිටිනවා. මම පදිංචිව සිටින නිවෙස දෙපැත්තේ පුතාලා දෙන්නෙක් ගෙවල් දෙකක් හදාගෙන ජීවත්වෙනවා. මම දරුවෝ බලනවා හදනවා. මම එයාලාගේ පවුල් ජීවිතවලට ඇඟිලි ගහන්නේ නෑ. ලේලිලා අතර ප්‍රශ්න, ගැටලු මේ වන තුරු ඇතිවෙලා නැහැ. මම ගෙදර ඉන්න කාලයෙත් අනුන්ගේ දේවල් හෙව්වේ නෑ. පාඩුවේ ජීවත්වනවා. ආරම්භ කාලයට වඩා හොඳ ආදායමක් වර්තමානයේ ලැබෙනවා. මට ඕනෑම දෙයක් ඉගෙනගන්න වැඩි කාලයක් ගතවෙන්නේ නෑ. ඒ මගේ හැකියාව වෙන්න ඇති. නවීන තාක්ෂණයක් සමග අපි වගේ අයට දෙයක් කරන්න බෑ. නමුත් අද මම ලොකු සතුටක් ලබනවා නවීන තාක්ෂණයක් සමග තරගකාරී සමාජයේ මේ වැඩ ටික කරන්න පුළුවන්වීම ගැන යැයි සුධර්මා ජයකොඩි අත්තම්මා පැවැසුවාය.
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න