හිටපු විනිසුරුගේ රියේ හැපී මියගිය කාන්තාවට ලක්ෂ 5 ක වන්දියක්


අධිකරණය රටක නීතිය හා සාමය ස්ථාපිත කිරීමට පිහිටුවා ඇති ආයතනයයි. මේ නිසාම මෙම උත්තරීතර ආයතනය තුළ නීතිය ක්‍රියාත්මක කරවන විනිසුරුවරුන් කෙරෙහි ජනතාව තුළ පවතින්නේ විශ්වාසයක්, ගෞරවය පෙරදැරිවූ බියකි.


මෙවැනි වාතාවරණක් තුළ නීතිය ක්‍රියාත්මක කරවන්නා වූ ගෞරවණීය විනිසුරුවරයට ලැබෙන සැලකිල්ල සේවයෙන් විශ්‍රාමික වූ විනිසුරුවරයාටද සමාජයෙන් ඉබේම හිමි වේ.


නමුත් පසුගිය සතියේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වූයේ එම ගෞරවය කෙළෙසන ආකාරයේ සිදුවීමකි.


විශ්‍රාමික හිටපු මහාධිකරණ විනිසුරුවරයකු පැදවූ මෝටර් රථයක හැපීමෙන් තරුණ දෙදරු මවක මියගොස් ඇගේ වැඩිමල් දියණිය බරපතළ තුවාල ලැබීම එම සිදුවීමයි. මෙම මාරක රිය අනතුරට වගකිවයුතු වූ හිටපු විනිසුරුවරයා අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිටි බව අනාවරණය වීම එම ගෞරවය කෙලෙසා දැමූ සිදුවීම විය.


ජනතාවගේ ගෞරවයට පාත්‍රවන්නා වූ අධිකරණ ක්ෂේත්‍රයේ ගෞරවය කෙලෙසා ගත් විනිසුරුවරුන් පිළිබඳව සිදුවීම් මෑත කාලයේ අවස්ථා ගණනාවකදීම වාර්තා විය. මෙයද එම සිදුවීම් ගොන්නටම එකතු වූ තවත් සිදුවීමක් විය.


වාරියපොළ මිනුවන්ගැටේ ගැටුලාවේ පදිංචි එච්.එම්. මදූෂා සඳමාලි දෙදරු මවකි. තිස්පස් හැවිරිදි මධුෂානිගේ සැමියා පවුලේ බර කරට ගනිමින් මැදපෙරදිග රැකියාවක නිරතව සිටියේය. නියඟයෙන් වගා හානිවූවන්ට නියං සහනාධාර ලබාදෙන බැවින් මධූෂා සිය වැඩමලු දියණිය වූ දහහත් හැවිරිදි පබෝධා කලණිද සමග ඒවා ලබා ගැනීමට පසුගිය 19 වැනි දින සවස් වරුවේ මිනුවන්ගැටේ නගරයට ගොස් ඇත.


ඔවුන් දෙදෙනා ගොස් තිබුණේ නිවසේ තිබූ පැරණි යතුරු පැදියකිනි. මධුෂා එය පැදවූවාය. ඔවුන් මිනුවන්ගැටේ මංසන්ධිය පෙනෙන තෙක් මානයට ළංවත්ම මාරවේශයෙන් මෙන් පසුපසින් පැමිණි මෝටර් රියක් යතුරුපැදියත් සමග දෙදෙනාම යටකරගෙන ගියේ ඔවුන්ට මොහොතක් හෝ සිතීමට ඉඩක් නොතබාය.


මවත් දියණියත් අඩි ගණනාවක් දුරට විසිවී ගොස් වැටු​ෙණ් මෝටර් රථය යතුරැපැදියෙහි ගැටුණු අධික වේගය නිසාමය. ඒ වන විටද මෝටර් රථය ඔවුන් පැමිණි යතුරුපැදිය සේම මාර්ගය අයිනේ නවතා තිබූ තවත් යතුරු පැදි දෙකකද හැපී ඒවාටද හානි සිදුකරමින් මාර්ගයේ වූ දුරකථන රැහැන් ගෙනයන කණුවකද හැපී නතර වි තිබුණි.


අනතුරේ ස්වභාවය අනුව එය මාරක රිය අනතුරක්ම විය. මධුෂා සඳමාලි ඒවන විටද ජීවිතයෙන් සමුගෙන සිටියාය. අනතුර කොතරම් බරපතළදැයි කිවහොත් මධුෂාගේ එක් පාදයක් සිරුරෙන් වෙන්වී ගොස් තිබූ බව පැවසේ. දියණිය වූ පබෝදාට බරපතළ තුවාල සිදුව තිබුණි. ඇගේ දෙපා දරුණු ලෙස බිඳී ගොස් ඒ හා සමානවම වම් අතටද දැඩි හානි සිදුව තිබුණි. සිහිසුන්ව සිටි ඇය වහාම කුරුණාගල ශික්ෂණ රෝහල කරා යැවුනේ ඒ වන විටද අවදානම්ව තිබූ ඇගේ ජීවිතය බේරා ගැනීම සඳහාය.


ඔවුන් දෙදෙනා පැමිණි යතුරුපැදිය ඇඹරී කුඩු පට්ටම් වී තිබූ අතර මෝටර් රථයේද ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී තිබුණි. මෙයින් කියා පෑවේ එම අනතුරේ දරුණු ස්වභාවයයි.


අනතුරට සම්බන්ධ රථය පැදවූ පුද්ගලයාට සුළු තුවාල සිදුවී ඔහුගේ ජීවිතය බේරී තිබුණේ එම රථයේ තිබූ නවීන අංගෝපාංගවලට පින්සිදුවන්නටය.


දරුණු අනතුරක් වූ බැවින් අනතුර සිදුවී සුළු මොහොතින් වාරියපොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වහාම එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.
මෝටර් රථය පරීක්ෂාවට ලක් කළ පොලිස් ස්ථානාධිපති නිලන්ත බණ්ඩාර මහතා දුටුවේ මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවේ අධිකරණ අමාත්‍යාංශය යනුවෙන් නාම පුවරුවක්ද සවිකර තිබෙන බවය. ඒ වන විටද අනතුරෙන් තුවාල ලබා සිටි රිය පැදවූ පුද්ගලයාද රෝහල කරා රැගෙන ගොස් තිබූ බැවින් වහාම මෙම අනතුර පිළිබඳව තම උසස් පොලිස් නිලධාරින් දැනුම්වත් කිරීමට නිලන්ත බණ්ඩාර මහතා පියවර ගත්තේය.


ඒ අනුව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එඩ්මන් මහේන්ද්‍ර මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් මෙම මාරක රිය අනතුර පිළිබඳ පරරීක්ෂණ ආරම්භ කෙරුණේය. ඔවුන් ඒ විටත් මෙම අනතුරේ බරපතළකම ඒ වන විටද තේරුම් ගෙන තිබුණි.


අධික වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය සම්පූර්ණයෙන්ම මාර්ගයේ විරුද්ධ පසට ධාවනය වී මෙම අනතුර සිදුව තිබීමෙන්ම ඒ වන විටද රියදුරා එම අනතුරට වගකිව යුතු බව අනතුර දැක සහ දැන එම ස්ථානයට රැස්වී ජනතාවගේ අදහස විය.


මෙම අනතුර වඩාත් තීව්‍ර වී තිබුණේ අනතුරට සම්බන්ධ සැකකාර රියදුරා මෙරට අධිකරණ පද්ධතියේ ඉහළම තනතුරක් හෙබවූ අයෙකු බැවිනි. කලක් කුරුණෑගල මහේස්තාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කළ ඔහු ඉන් පසුව මෙරට ප්‍රධාන පෙළේ මහාධිකරණ විනිසුරුවරයකු ලෙස සේවය කොට විශ්‍රාම ගිය අයෙකු විය. විශ්‍රාම යාමෙන් පසු ඔහු අධිකරණ අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස සේවය කරමින් සිටින බව ඔහු පැදවූ අනතුරට ලක්වූ මෝටර් රථයේ සවිකර තිබූ පුවරුවෙන් අනාවරණය විය.


සැකකාර රියදුරා හිටපු විනිසුරුවරයකු වීම නිසාම ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පොලිසිය වැළකී සිටිවී යැයි සැකකොට අනතුරෙන් පසු කුපිතව සිටින ජනතාව සිවිල් උද්ඝෝෂණයට පෙළඹීමෙන් ප්‍රදේශ​ෙය් සාමයට බාධා එල්ල වේයැයි සිතූ කුරුණෑගල උසස් පොලිස් නිලධාරිහු එම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වහාම ගනු ලැබූහ.


එහි ප්‍රතිපලය වූයේ ඒ වන විටත් අනතුරෙන් සිදුවූ තුවාලවලට ප්‍රතිකාර ගැනීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වී සිටි හිටපු විනිසුරුවරයාව ඔහුගේ තරාතිරම නොබලා මාරක රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගැනීමය.


පොලිසියේ ඊළඟ පියවර වූයේ සැකකාර හිටපු විනිසුරුවරයා රිය අනතුරක් සම්බන්ධයෙන් සිදුකෙරෙන මීළඟ ක්‍රියාදාමය වූ රියදුරා අධිකරණ වෛද්‍යෙවරයා වෙත යොමුකිරීමය. ඒ අනතුර සිදුවන විටදී රියැදුරා බීමත්ව සිටියේදැයි සොයා බැලීමටය.


පොලිසියේ නිගමනය නිවැරැදි විය. සැකකාර හිටපු විනිසුරුවරයා රිය පදවා තිබුණේ බීමතින් බව ඔහු පරික්ෂාවට ලක්කළ කුරුණෑගල ශික්ෂණ රෝහ​ෙල් අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.කේ. වීරක්ගොඩි මහතාගේ නිගමනය විය.


ඒ අනුව මාරක රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාව යටතේ සැකපිට හිටපු මහාධිකරණ විනිසුරු විමල් එස්. නම්බුවසම් මහතා මහතා වාරියපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එම පැමිණිල්ල සළකා බැලූ එදින කුරුණෑගල වැඩබැලූ මහේස්ත්‍රාත් නීතිඥ ජයප්‍රේම බී. තෙන්නකෝන් මහතා සැකකාර හිටපු විනිසුරුවරයා රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියම කළේය.


පොලිසිය විසින් ගන්නා ලද එම තීරණයට හිටපු විනිසුරුවරයා කිසිදු විරෝධයක් පළ නොකළා සේම පොලිසියට කිසිදු බලපෑමක් එල්ල කර නොතිබුණේ ඔහු නීතිය පිළිබඳව හොඳින් දැන සිටිය නිසා විය හැකිය. හිටපු විනිසුරුවරයාගේ එම හැසිරීමද එක් අතකට අගය කළ යුතුය.


නැවත දින දෙකකට පසුව වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු මහාධිකරණ විනිසුරුවරයාව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ ශ්‍රීමතී රාජපක්ෂ මහත්මිය නියම කළාය.


එ​ෙස් ඇප මත නිදහස් වූ නම්බුවසම් මහතා අධිකරණයට පැමිණ සිටි මියගිය මධුෂා සඳමාලි මහත්මිය​ෙග් සැමියා වන තිලකරත්න බණ්ඩාර මහතා වෙත රුපියල් ලක්ෂ පහක මුදලක් ස්වෙච්ඡාවෙන්ම ලබා දුන්​ෙන් මියගිය සඳමාලි වෙනුවෙන්ය.


ඊට අමතරව මේ වන විට රෝහල්ගතව අසාධය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන පබෝධාට සහ අැගේ නැගණියගේ අනාගත අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අඛණ්ඩව උදවු උපකාර කරන බවටද සැකකරු මෙහිදී මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පොරොන්දුවක්ද දුන්නේය.


මෙහිදී හිටපු විනිසුරුවරයා ඇමැතූ වැඩබලන මහේස්ත්‍රාත් රාජපක්ෂ මහත්මිය මෙම අනතුර හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයට මෙම සිද්ධිය මත ඕනෑම අවස්ථාවක අධිකරණයේ සිවිල් නඩුවක් පැවරීමට ඇති හැකියාවට අභියෝගයක් නොවන පරිදි මෙම සහන ලබාදීමට අවස්ථාව ලබා දෙන බව සඳහන් කළාය.


හිටපු විනිසුරුවරයා වෙනුවෙන් නීතිඥවරුන් අටදෙනෙකුම පෙනී සිටීම විශේෂත්වයක් විය. ඔවුන් අතර වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වන නීතිඥ මංගල රණරාජා මහතාද විය. මෙම නඩුව ලබන අප්‍රේල් මස 5 වැනි දින යළි කැඳවීමටද වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියම කළාය.


මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් සිදුකෙරුනු පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ සැකකාර හිටපු විනිසුරුවරයා අනුරාධපුර ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ආපසු කෑගල්ලේ මොලගොඩ පිහිටි තම නිවෙස කරා යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවය. මත්පැන් පානය කොට රිය පැදවීමේදී රිය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව තිබෙන බව මෙහිදී අනාවරණය වූ කරුණු වේ.
තමන් කාලයක් විනිසුරුවරයකු ලෙස සේවය කළ ප්‍රදේශයකදීම මෙවැනි සිදුවීමකට මුහුණ පා රක්ෂිත බන්ධනාගාරගත වීමට හිටපු විනිසුරුවරයාට සිදුවීමද දෛවෝපගත සිදුවීමකි.


තමන් අධිකරණයේ නඩු කටයුතු සිදුකරත්දී තමන් සේම බීමතින් රිය පදවා අනතුරු සිදුකළ රියදුරන්ට දඬුවම් නියම කළ ආකාරයෙන්ම තමන්ටද නීතිය ක්‍රියාත්මක වූවා නේදැයි හිටපු විනිසුරුවරයාට මෙහිදී අනන්තවාරයක් සිතෙන්නට ඇත.


ඒ ආකාරයට යුක්තිය පසිඳලීමෙහි යෙදී සිටි විනිසුරුවරයකු සේවයෙන් විශ්‍රාම ගැන්වී සිටියදී වුවද රටට, සමාජයට ආදර්ශමත් චරිතයක් විය යුතුව සිටියදී මේ ආකාරයව බීමත්ව හැසිරීම කිසිසේ්ත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවකි. එසේම බරපතළ වරදකි.


ඔහුගේ ඒ නොසැලකිලිමත් ක්‍රියාවෙන් වටිනා තරුණ ජීවිතයකට අකාලයේ මරුකැඳ වූවා සේම සැමියෙකුට ආදරණීය බිරිඳද, දියණියන් දෙදෙනකුට ආදරණීය මවද අහිමි වූහ.


මෙම අනතුරෙන් සිදුවූ වඩාත්ම අභාග්‍යසම්පන්න සිදුවීම වන්නේ ලබන වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටින දැරියකට එම අවස්ථාව අහිමි වීමය. අනතුරෙන් ඇය බරපතළ ලෙස තුවාල ලබා සිටින්නීය. දෙපා සහ දෑත් බිදී හුස්ම ගැනීමේ අපහසුතාවයකටද ලක්ව සිටින මේ දියණියට බොහෝ කලක් යනතුරුම දෙපයින් නැගී සිටීමට නොහැකි වනු ඇත. ඒ නිසාම ඇගේ අධ්‍යාපනයටද අඳුරම් කලදසාවක් එළඹෙනු ඇත.


මෙයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ නීතිය හොඳින් දැන සිටියද එය නොසලකා හරිමින් කටයුතු කළ කලක් නීතිය පසිඳලූ හිටපු විනිසුරුතුමාය. ඔහුට ඒ වැරැද්දෙන් ගැලවිය නොහැකිය.

 

 

 

 

 

 

 

සටහන - පුෂ්පකුමාර ජයරත්න
සේයාරු කුරුණෑගල - අධිකරණ රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ