ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හවුල් උරුමය රාමායණයෙන් ආරම්භ වෙන ප්‍රාග් ඉතිහාසය දක්වා තවත් ඈතට විහිදෙන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ දී පැවසීය.
රනිල් වික්‍රමසිංහ මේ බව කීවේ ඉන්දියාවේ ඉන්දෝර්හි ශ්‍රී සත්‍ය සායි විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දෙසුමකට සහභාගී වෙමිනි.
එහිදී රනිල් වික්‍රමසිංහ මෙසේද
සඳහන් කළේය.
‘‘රාවණා අද ශ්‍රී ලාංකිකයන් අතර ඉතා ප්‍රසිද්ධයි. මිත්‍යා හෝ සැබෑ හෝ වේවා, රාම දෙවියන්, රාවණාගේ සහෝදරයා වූ විභීෂණට ලංකාද්වීපය ප්‍රදානය කළ බව කියනු ලබනවා. එමගින් රාජධානියක් ලෙස ශ්‍රී ලංකාවේ වෙනම අනන්‍යතාව තහවුරු වුණා. අනෙක් අතට, ශ්‍රී ලංකාවේ මහාවංශය ඇතුළු වෙනත් වංශ කතාවල, දිවයිනේ මූලාරම්භය ක්‍රි.පූ. 6 වැනි සියවසේදී උතුරු ඉන්දියාවේ කාලිංගයේ සිට පැමිණි විජය
දක්වා දිවෙනවා.
කෙසේ වුවද, ක්‍රි.පූ. 1 වැනි සහස්‍රයේදීත් ලංකාවේ හොඳින් දියුණු වූ ජනාවාස පැවති බවට පුරාවිද්‍යාඥයින් විසින් සාක්ෂි සොයාගෙන තිබෙනවා. මහාවංශය යනු ක්‍රි.ව. 5 වැනි සියවසේදී පමණ පාලි භාෂාවෙන් ලියා ඇති ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක්. එමගින් ශ්‍රී ලංකා රාජධානිය ආක්‍රමණය කළ දකුණු ඉන්දියානු දමිළ පාලකයන්ගෙන් දිවයිනේ අනන්‍යතාව වෙන්ව පැවැති බව අවධාරණය කිරීමට උත්සාහ
කර තිබෙනවා.
මේ වංශකතා මගින්, මහා අශෝක අධිරාජයාගේ මෞර්ය අධිරාජ්‍යයේ උසස් සංස්කෘතිය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීමට උත්සාහ ගන්නවා. අශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ ඉන්දෝර් සිට කිලෝමීටර් 230ක් දුරින් පිහිටි සාංචි නගරයෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ දා සිට මෙම හවුල් උරුමයට ශ්‍රී ලංකාවේ මධ්‍ය ප්‍රදේශය ද සම්බන්ධ වෙනවා.
අශෝක අධිරාජ්‍යයාගේ ශ්‍රී ලංකා බෞද්ධ දූත මෙහෙවරේ ප්‍රධානියා වූයේ අරහත් මිහිඳු හිමියන්ය. ඒ ක්‍රි.පූ. 250 දී පට්ටලිපුත්‍රවලදී (දැන් පට්නා) පැවැත් වූ 3 වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස නිර්මල බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවට වැඩම කරවූවා. ඉන්දියාවේ බුද්ධාගම අතුරුදහන් වී බොහෝ කලකට පසුව ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහා විහාරය විසින් ථෙරවාද බුද්ධාගම සංරක්ෂණය කර, ආරක්ෂා කර, ප්‍රවර්ධනය කළා.
සංඝමිත්තා තෙරණිය විසින් රෝපනය කරන ලද ලොව පැරණිතම ශාකය, ජය ශ්‍රී මහා බෝධිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොබිඳෙන බැඳීමක් ලෙස සලකනවා. වසර කිහිපයකට පසු, මිහිඳු මහරහතන් වහන්සේගේ සොහොයුරිය, සංඝමිත්තා තෙරණිය ශ්‍රී ලංකාවට වැඩම කර ඇත්තේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ද රැගෙනය. ඒ අනුව අනුරාධපුර මහා විහාරය අද ථෙරවාදී බුදුදහමේ නිවහන ලෙස සැලකෙනවා.
දෙරටේ හවුල් ආගමික උරුමයන් බුදුදහමට පමණක් සීමා වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව හින්දු ආගමටත් නිවහනක් වෙනවා. පංච ඊශ්වරම් යනු ශ්‍රී ලංකාවේ අනාදිමත් කාලයක සිට පවතින කෝවිල් පහක් වෙන අතර, ඒවා ශෛව සිද්ධාන්ත ධර්මයට කැපවී තිබෙනවා. දිවයිනේ නැගෙනහිරින් ත්‍රිකුණාමලයේ පිහිටි කෝනේශ්වරන්, කෛලාශ් කන්දට සමාන අක්ෂාංශයක පිහිටා ඇති අතර, එය දක්ෂිණ කයිලාෂ් ලෙස හැඳින්වෙනවා.
උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව අතර ශිව නමස්කාරය බහුලයි. කඳුකරයේ හින්දු සහ බෞද්ධයන් විසින් විෂ්ණු නමස්කාරය සිදු කරනවා. ඒ වගේම බොහෝ බෞද්ධ විහාරස්ථානවල විෂ්ණු වන්දනාව සඳහා වෙනම
සිද්ධස්ථාන තිබෙනවා.
බෞද්ධයන් විසින් වන්දනාමාන කරන අනෙකුත් දෙවිවරුන් අතරට ගණ දෙවියන්, මුරුගන් දෙවියන්, පත්තිනි දේවියන් සහ කාලි දේවියන් ඇතුළත් වෙනවා. එපමණක් ද නොව, මෙරට බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් විසින් තවමත් පාලි සහ සංස්කෘත භාෂා භාවිත කරනවා. සිංහල භාෂාව ප්‍රාකෘත භාෂාවට ඉතා සමීපව සම්බන්ධයි. ඒ වගේම සිංහල අක්ෂර, පල්ලව අක්ෂරයෙන් ආරම්භ වූ ග්‍රන්ථ අක්ෂරවලට සමානකම් තිබෙනවා. පාලි ග්‍රන්ථ, ථෙරවාද ත්‍රිපිටකය සහ අනෙකුත් බෞද්ධ ලේඛනවල ගබඩාව ශ්‍රී ලංකාවයි. සිංහල භාෂාව වගේ ම දමිළ භාෂාවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවන් වෙනවා. ඉන්දියාව හැරුණුවිට ලොව දෙවැනි විශාලතම දෙමළ කතාකරන ජනගහනය, දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලාංකේය ජනතාවයි. ශ්‍රී ලංකාවේ තෛපොංගල් සමරනු ලබන අතර, ඒ සමගම දීපවාලි උත්සවයත් රජයේ නිවාඩු
දින වෙනවා.
දකුණු ඉන්දියාව සමඟ බෙදා හදා ගත් සිංහල සහ දමිළ සිරිත් විරිත් ගණනාවක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ බහුතර කාන්තාවන් අඳින ඉන්දීය සාරිය සහ දමිළ පිරිමින් අඳින වෙට්ටියත් දෙරටේ බහුලව දක්නට ලැබෙනවා. කේරල කුළුබඩු වෙළෙන්දන් කුළු බඩු වෙළෙඳාම සිංහල සමාජය සමග ඈඳා ගැනීමත් සමගම විශේෂයෙන්ම කේරල කුළුබඩු දෙරටටම පොදු සාධකයක් බවට පත්වී තිබෙනවා.
දකුණු ඉන්දීය සම්භවයක් සහිත අලගක්කෝනාර, කාලයක් දිවයිනේ පහතරට රාජධානිය පාලනය කළා. එමගින් ද බොහෝ කේරල සිරිත් විරිත් ශ්‍රී ලාංකේය සිංහල හා දෙමළ ජනතාව විසින් අවශෝෂණය කරගෙන තිබෙනවා.
මලයාලම් ජ්‍යොතිශ ශාස්ත්‍රය සහ රාහු කාලය පිළිගැනීම දෙරටේ මෙම බැඳීමට හොඳම උදාහරණ වෙනවා. නාඩි වාක්‍ය කියවීම සඳහා චෙන්නායි වෙත යන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු ඉන්නවා. ආයුර්වේද සහ සිද්ධ වෛද්‍ය ක්‍රම මෙන්ම වෛදික ජ්‍යොතිෂයත් ශ්‍රී ලාංකේය උරුමයේ තවත් කොටසක්. බෙදාහදා ගත් උරුමයට අප්පම්, ඉඳි අප්පම් සහ පිට්ටු වැනි ආහාර ද ඇතුළත් වෙනවා.
එසේම, දකුණු ඉන්දීය දෙමළ රාජධානි සහ යාපනය අතර අන්තර් ක්‍රියා රට පුරා ප්‍රචලිතවීම හරහා තෝසා, සාම්බාර්, රසම්, ඉඩ්ලි, වඩයි සහ මුරුක්කු වැනි ද්‍රවිඩ ආහාර වර්ග ද බෙදාහදාගත් උරුමය තුළින් ශ්‍රී ලංකාවට දායාද වී තිබෙනවා. භරත නාට්‍ය තවදුරටත් යාපනයට සීමා වී නැහැ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ දී වතු කම්කරුවන් ලෙස මුලින් පැමිණි, දැන් කඳුකරයේ සහ දකුණේ ජීවත් වෙන දෙමළ ජනතාව ද ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස ඒකාබද්ධ කර ගැනීම ද ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂත්වයක් වෙනවා.
”බුදුන්වහන්සේගේ ඉගැන්වීම්වල අමිල දායාදය ලොවට ලබාදීමට අපේ කලාපයට ආශීර්වාදය ලැබී තිබෙනවා”. ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවති වෙසක් ආලෝකකරණ උත්සවයේදී සඳහන් කළේ දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව අතර සංස්කෘතික බැඳීම් බෙදාගත් උරුමයේ දාමයක් නිර්මාණය කළේ බුදුදහමේ මෙම තිළිණය කියායි.
අශෝක අධිරාජයාගේ සෙල් ලිපි ආඥාවලට අනුව, අධිරාජ්‍යයා බෞද්ධ ධර්ම දූතයින් ස්වර්ණ භූමි (වර්තමාන මියන්මාරය සහ තායිලන්තය) වෙත යැව්වා. ඉන්දියානු වෙළෙඳුන් ඒ වෙන විටත් ආසියාවේ මේ කොටසේ වෙළෙඳ ජනාවාස සමඟ ශක්තිමත් සබඳතා ඇති කරගෙන සිටීම ඒ කලාපය සමඟ මෞර්ය අධිරාජ්‍යයේ පැවති සමීප සබඳතාව
තහවුරු වෙනවා.
ඒ වගේම, ඉන්දියාව සහ චීනය අතර නැව් මාර්ගවල ආධිපත්‍යය දැරූ මැලේ ජාතිකයන් ඉන්දියාවට නිරන්තරයෙන් පැමිණ තිබෙනවා. ඒ අනුව ඉන්දියානු ප්‍රධාන ආගම් වූ හින්දු ආගම සහ බුද්ධාගම ද, ඉන්දියාවේ භාෂා වූ සංස්කෘත සහ පාලි ද ඉන්දියානු සංස්කෘතිය හා වටිනාකම් අග්නිදිග ආසියාවේ හවුල් උරුමයක් ගොඩනැගීමේ අමුද්‍රව්‍ය බවට පත්වී තිබෙනවා.
දැන් වියට්නාමයේ කොටසක් වෙන ෆුනාන් අධිරාජ්‍යයේ ආරම්භය ද ශ්‍රී ලංකාවේ විජය කුමරු කතාවට සමානයි. චීනයට නැවෙන් ගමන් කරන බ්‍රාහ්මණ වෙළෙන්දන් වියට්නාම මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයකින් පරාජය වෙනවා. නාවිකයන්ට නායකත්වය දුන් බ්‍රාහ්මණයෙකු වූ “කවුන්ඩින්‍ය” පසුව මුහුදු කොල්ලකරුවන්ගේ නායකයා වූ සෝමා කුමරිය සමඟ විවාහ වී ඉන්පසුව ඔවුන් ෆුනාන් රාජධානිය පිහිටුවනවා. පසුකාලීනව ඉන්දියානුකරණය වූ ෆුනාන් පාලකයන් ඉන්දියාවේ ක්‍රමවේදයට අනුකූල වෙන පරිදි තම රටේ නීති වෙනස් කර තිබෙනවා.
සමහරුන් කවුන්ඩින්‍යාවේ මූලාරම්භය සොයා ගිය විට ඔඩිෂා හි විජය කුමරුගේ පියා වන සිංහබාහු ජීවත් වූ ප්‍රදේශයේම ජීවත් වූ “කෞන්ඩින්‍ය” බ්‍රහ්මණයන් බව පෙනී ගොස් තිබෙනවා. ඒ නිසා ඔඩීෂා වැසියන්ට ජාතීන් ගොඩනඟන්නන් ලෙස හඳුන්වන්න පුළුවනි.
මුල් බෞද්ධ දූත මණ්ඩල වගේම බ්‍රාහ්මණයනුත් ගොඩබිම් මාර්ගයෙන් අග්නිදිග ආසියාවට ගමන් කර තිබෙනවා. සමුද්‍ර වෙළෙඳාම දියුණුවීමත් සමඟ අද ඉන්දුනීසියානු දූපත්වලට මුහුදු මාර්ගයෙන් ළඟාවීමට හැකියි. 8 වැනි සියවස පමණ වෙද්දි මහායාන බුද්ධාගම ඉන්දුනීසියාවේ මලයානු භූමි ප්‍රදේශය සහ දූපත් ආක්‍රමණය කර තිබුණා. සංස්කෘත භාෂාව වියත් උගතුන්ගේ භාෂාව බවට පත්ව තිබුණා.
බොහෝ රාජකීය උසාවිවලට බ්‍රාහ්මණ චාරිත්‍ර හඳුන්වා දුන්නා. හින්දු භක්තිකයන් ශෛවයින් සහ වෛෂ්ණවයින් අතරට බෙදී ගියා. පසුව, විෂ්ණු දෙවියන්ගේ සහ ශිව දෙවියන්ගේ එකමුතුව හඟවන හරිහර
ජනප්‍රිය වුණා.
එසේම මහායාන බුද්ධාගමට සමගාමීව අවලෝකිතේශ්වර නිකාය ද ජනප්‍රිය වුණා. දකුණු ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල මෙන් නොව මෙහි ආගම් අතර වෙනස අපැහැදිලි වූ අතර, ආගමික සංකේත ද එකිනෙකට හුවමාරු වුණා. ථෙරවාදී බෞද්ධයෝ සුළුතරයක් වුණා. මහායාන ආගම, හින්දු ආගම, අවලෝකිතේශ්වර සහ ප්‍රාදේශීය විශ්වාසයන් ඒකාබද්ධ කිරීම දේවරාජා නිකායේ නව දේශපාලන පර්යායක් තහවුරු කරන පූජක පන්තියක් බිහි වීමට හේතු වුණා. කර්තනාගර, සුප්‍රසිද්ධ ජාවා රජු ශිව-බුද්ධ ලෙස ගෞරවයට පාත්‍ර වුණා.
හින්දු ආගම සහ මහායාන බුද්ධාගම අතර සමාන්තරවාදයේ එක් ප්‍රතිඵලයක් ලෙස ලොව විශාලතම හින්දු සහ බෞද්ධ විහාරස්ථාන කිහිපයක් බිහිවුණා. II වැනි සූර්යවර්මන් විසින් විෂ්ණු දෙවියන්ට කැප වූ Angkor Wat ඉදිකරනු ලැබුවා. ඔහුගේ අනුප්‍රාප්තිකයෙකු වූ II වන ජයවර්මා බයියෝන් මහායාන දේවාලය ඉදිකළා.
ප්ලෝ ක්ලෝං ගරායි හින්දු කුලුන, විහාරස්ථානය, චම්පා හි ඩොං ඩුඕං කෝවිල් සංකීර්ණය, සුමාත්‍රාහි බොරෝබුදුර් සහ ජාවාහි ප්‍රම්බනන් ආදී ස්ථාන එවක නිර්මාණය වූ විශිෂ්ටතම නිර්මාණවලින් කිහිපයක් වෙනවා.
13 වැනි සියවසේ පමණ සිට, පාලක පන්තීන් ආරක්ෂා කළ ආගම්, නව ජනතාවාදී ආගම් විසින් අභියෝගයට ලක්වුණා. ඉස්ලාම් ආගම ඉන්දුනීසියාවට පැමිණියේ අරාබියෙන් වගේම ඉන්දියාවෙනි. සමුද්‍ර පාසායි හි පාලකයා වූ Talikusaleh 13 වැනි සියවසේ මැද භාගයේදී ඉස්ලාම් ආගමට හැරුණු ප්‍රථමයා විය. මැලේ අර්ධද්වීපයේ ඉස්ලාම් ආගමට හැරුණු පළමු පාලකයා වූයේ මලක්කාවේ පරමේෂ්වරන්ය.
16 වැනි ශතවර්ෂයේ අවසානය වෙනවිට, ඉන්දුනීසියානු දූපත් සමූහය සහ මැලේසියානු අර්ධද්වීපය පුරා ඉස්ලාම් ආගම ව්‍යාප්ත වුණා. චීන අද්මිරාල් ෂෙන්ග් නම් මුස්ලිම් ජාතිකයා මෙම දූපත්වල චීන මුස්ලිම්වරුන් පදිංචි කළා. වෙළෙඳ ප්‍රජාවන්ගේ ද්‍රව්‍යමය හා සමාජීය අවශ්‍යතාවලට සරිලන දියුණුව සඳහා ඉස්ලාම් ආගම ඔවුනට අවස්ථා ලබා දුන්නා. එය හින්දු සහ මහායාන බෞද්ධයන්ගේ ධූරාවලි සමාජ ව්‍යුහයන් මගහැර ගිය ආගමක් වුණා.
10 වැනි පිටුවට...