තම අසුන මතම අවසන් හුස්ම හෙළු කථානායක



ශ්‍රීමත් මොලමුරේගෙන් ගත හැකි ලොකුම ආදර්ශය නම් තමාගේ රාජකාරියට මුල්තැන දීමයි. කලට වේලාවට වැඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට වඩා ගෞරවයක් බලාපොරොත්තු විය හැකි එක ද කෙනෙකු සිටියේ යැයි සිතිය හැකිය. එසේම උදේ 10.00 සිට රාත්‍රී 8 දක්වා වූ අය-වැය විවාදයේ දී ඔහු තරම් සිය ආසනයේ දක්නට සිටි එක මැති ඇමැති කෙනෙක් හෝ නැත. කී දේ නැවත කීමට හෝ නොකී දේ කී දේ මෙන් සඳහන් කිරීමට ඔහු මුලසුන සිටියදී නම් කිසිවකුට කළ නොහැකි විය. 


මෙයින් හරියටම වසර 73කට පෙර 1951 ජනවාරි 23 වැනි දින ලංකා පාර්ලිමේන්තුවේ ලංකා ගුවන් සේවා ඒකාබද්ධ පනත පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබුණි. එවකට කථානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ ඉතා ගරු ගාම්භීරව ධුරය හොබවමින් සිටියේය. ලංකා ගුවන් සේවා (ඒකාබද්ධ) පනත පිළිබඳ විවාදයට සහභාගි වූ එවකට වවුනියාව පාර්ලිමේන්තු මන්ත්‍රී සී. සුන්දරලිංගම් සිය සාරගර්භ වේගවත් කතාව පවත්වමින් සිටියේය

 
සිය අසුනේ සිට එම කතාවට සාවධානව ඇහුම්කන් දෙමින් සිටි කථානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ සුන්දරලිංගම් මහතාට හිසෙන් සංඥාවක් දුන්නේය. ක්ෂණයකින් ඒ පැත්තකට ඇලව ගියේය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ලිපිකරු සැන්ට් ආර්. පී. දැරණියගල, නියෝජ්‍ය කථානායක සර් ඇල්බට් ඇෆ්. පීරිස්, මතුගම මන්ත්‍රී විල්මට් ඒ. පෙරේරා යන අය වහාම කථානායකතුමන් වාත්තු කරගෙන සභා ගර්භයෙන් පිටව යාමට අවශ්‍ය විධි සැලසුම් කළහ.
 
බලාපොරොත්තු රහිත මෙම සිදුවීමෙන් වික්ෂිප්තියට පත් මැති ඇමැතිවරු සිය අසුන්වලින් නැගිට බිමට යොමා ගත් දෑසින් යුතුව හැඟීම්බරව නිශ්ශබ්දව සිටියහ. ඒ ශෝකාකුල දර්ශනයත් සමග පාර්ලිමේන්තු ගැලරියේ සිටි දොස්තර ඇම්. ඩී. කලීල් කථානායකවරයාට අදාළ වෛද්‍ය කාමරයේදී වෛද්‍ය පරීක්ෂාවක් කළේය. මැති සබය තුළ සිටි පත් කළ මන්ත්‍රී දොස්තර පී. ආර්. ෂොක්මන් ඇවිදින රෝහලක් ලෙස හඳුන්වා තිබුණි. ඊට හේතුව වන්නේ හදිසි අවශ්‍යතාවකදී ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය අඩු කුඩුම සහ ඖෂධ ප්‍රමාණයන් රැගෙන යාමේ පුරුද්ද හේතුවෙනි. 
 

ඒ ඇෆ්. මොලමුරේ මහතා 


 

අගමැති ඩී. එස්. සේනානායක ඇඩ්ලින් මොලමුරේ ආර්යාව මොලමුරේ මහතාගේ දියණිය සීතා මොලමුරේ (ඇල්. ජේ. ද ඇස්. සෙනෙවිරත්න මහත්මිය) වහාම එම ස්ථානයට කැඳවීමට සැලසුම් කළේය. කොළඹ හතේ හෝර්ටන් පෙදෙසේ පෞද්ගලික රෝහලකට මොලමුරේ ඇතුළත් කළේය. 
 
 
 
එහෙත් මොලමුරේ පියවි සිහිය නොලබාම ඉන් දින දෙකකට පසු ජනවාරි මස 25 වැනිදා අවසන් හුස්ම හෙළීය. අවසන් කටයුතු ජනවාරි 29 වන දින කොළඹ කනත්තේ සුසාන භූමියේ දී ගරු ගාම්භීරව සිදුකෙරිණි. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද ආණ්ඩුවක් විසින් සිදු කරන ලද ප්‍රථම රාජ්‍ය ගෞරව සහිත ආදාහනය උත්සවය ලෙස සටහන් වේ. 
 

යටගිය මැති සභාවලදිත් සිහළ  බිම 
දිගුකල් ගෙවා පවතින පළපුරුදු  කම 
අමතක නොවන දිවයින් වැසියකුට  නම 
උඩරට දේස පාලකයෙකි පබල  තම 
 
රජ මැති සබාවේ දැදිගම අසුන  කරා 
මුලටම පැමිණ එහි මූලාසනය  දරා 
නොනසින නාමයක් ගරුතර බලය  දරා 
ඇතිකොට තිබේ අවුරුදු ගණනකදි  පුරා 
 
එඩිතර ජීව බලයක් මැද නොපසු  බට 
සේවය කරනු ඇත යුතුකම් ඉදිරි  පිට 
මහජන මැති සබාවෙහිදිත් මුලම  සිට 
උසුලයි සබාපති පදවිය පළමු  කොට 
 
බලංගොඩ - එක්සත් ජාතික පක්ෂය
1951 පෙබරවාරි මස අට වැනිදා ලංකාදීප පත්‍රයේ වම – දකුණ දේශපාලන තීරු ලිපියේ තිබූ සටහනක් අපි නැවත සිහිපත් කරමු. 
 
ශ්‍රීමත් මොලමුරේගෙන් ගත හැකි ලොකුම ආදර්ශය නම් තමාගේ රාජකාරියට මුල් තැන දීමයි. කලට වේලාවට වැඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට වඩා ගෞරවයක් බලාපොරොත්තු විය හැකි එක ද කෙනෙකු සිටියේ යැයි සිතිය හැකිය. එසේම උදේ 10.00 සිට රාත්‍රී 8 දක්වා වූ අය-වැය විවාදයේ දී ඔහු තරම් සිය ආසනයේ දක්නට සිටි එක මැති ඇමැති කෙනෙක් නැත. කී දේ නැවත කීමට හෝ නොකී දේ කී දේ මෙන් සඳහන් කිරීමට ඔහු මුලසුන සිටියදී නම් කිසිවකුට කළ නොහැකි විය. 
 
ව්‍යවස්ථාදායක සභාව මගින් 1927 සැප්තැම්බර් 27 වන දින කෑගල්ල දිස්ත්‍රික් ආසනය වෙනුවෙන් පැවැත්වූ මැතිවරණයෙන් ප්‍රතිඵලය අනුව ඒ. ඇෆ්. මොලමුරේ (ප්‍රැන්සිස් මොලමුරේ) සභා මන්ත්‍රී ධුරයට පත්විය. 
 
ඒ. ඇෆ්. මොලමුරේ - 4583
ඒ. ඒ. වික්‍රමසිංහ - 2938 
වැඩි ඡන්ද - 1645
කෑගල්ල දිස්ත්‍රික් ආසනයේ 
ඡන්දදායකයන් - 12,000
 
1927  අගෝස්තු 06 වැනිදා ඩොනමෝර් සාමිගේ සභාපතිත්වයෙන් යුත් කොමිෂන් සභාවක් පත් කරන ලදී. ඩොනමෝර් කොමිෂන් සභාවේ නිර්දේශ යටතේ සබරගමුව පළාතට ඡන්ද කොට්ඨාස පහක් වෙන් කරන ලදී. රත්නපුර, කෑගල්ල. දැදිගම, රුවන්වැල්ල, බලංගොඩ වශයෙනි. 1931 දී දැදිගම කොට්ඨාසය වෙනුවෙන් ඒ. ඇෆ්. මොලමුරේ  නිතරගයෙන් පත්විය. රුවන්වැල්ල ජේ. එච්. මීදෙණිය අදිකාරම, බලන්ගොඩ ජේ. සී. රත්වත්ත අදිකාරම ද නිතරගයෙන් පත්වූහ. පසුව මීදෙණිය අදිකාරම මරණයට පත්විය. 1931.11.14 වැනිදා පැවැති අතුරු මැතිවරණයෙන් ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමි රුවන්වැල්ල කොට්ඨාසයට පත්වූවාය. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපතිවරයා වශයෙන් පත් කරන ලද්දේ ඒ. ඇ. මොලමුරේය. 
 
ඉම්පිරියල් බැංකුවේ තැන්පත් කර තිබූ මඩුවන්වෙල දිසාවගේ බූදලයේ ප්‍රශ්නයක් මත වූ නඩු නිමිත්තක් නිසා ව්‍යවස්ථාදායක සභාවට පත්වූ ප්‍රථම සභාපති වූ මොලමුරේ මහතාට වසරක සිර දඬුවමක් විඳින්නට සිදුවිය. ඒ පමණක් නොවේ. 
 
අදටත් චිරප්‍රසිද්ධ ලීලාවතී අසරප්පා නෝනා සමග පැවැති අනාචාර සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ තීන්දුවක් මත රුපියල් විසිපස් දහසක් ගෙවන්නටද මොලමුරේට සිදුවිය. අදාළ ඇපෑල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මේ ආරාවුල් සහ අධිකරණමය තීන්දු ඔස්සේ 1935 සැප්තැම්බර් 4 දින පටන් දැදිගම ආසනය හිස් වූ බැව් ප්‍රකාශයට පත්විය. 
 
අවුරුද්දක සිර දඬුවමකට යටත් බන්ධනාගාර ගතවූ මොලමුරේ 1936 ජනවාරි 11 වැනිදා වෛද්‍ය හේතූන් මත ආණ්ඩුකාරවරයා විසින් නිදහස් කරනු ලැබීය. යළිත් 1943 ඔක්තෝබර් 2 වැනිදා පැවැති අතුරු මැතිවරණයේදී ඒ. ඇෆ්. මොලමුරේ යළිත් රාජ්‍ය මන්ත්‍රණ  සභාවට  පත්විය. දෙවැනි ලෝක මහා සංග්‍රාමය හේතු කර ගෙන රාජ්‍ය මන්ත්‍රණ සභාව වසර දෙකක් දීර්ඝ කරන ලදී. යළිත් 1942 පෙබරවාරි මාසයේදී රාජ්‍ය මන්ත්‍රණ සභා නිල කාලය දෙවැනි යුද්ධය අවසාන වනතුරු දීර්ඝ කෙරිණි.
 
1947 ජූලි 4 වැනිදා දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාව පැවැත්විණි. ජූලි 4 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හරින ලදී. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශ අනුව පාර්ලිමේන්තුව ආසන 95 කට බෙදන ලදී. ඒ සබරගමුව පළාතට ඡන්ද කොට්ඨාස 10ක් වෙන් කෙරිණි. 1947 ජූලි 26දාට අභිනව මන්ත්‍රණ සභාවට නියෝජිතයන් පත්කර ගැනීම උදෙසා දින නියම විය. 
 
1943 ඔක්තෝබර් 03 වැනිදා පැවැති අතුරු මැතිවරණයෙන් බාන්ස් රත්වත්තේ සමග තරග කළ මොලමුරේ අතිවිශාල ජයග්‍රහණයක් ලැබීය. ඔහු වැඩි ඡන්ද 24,526 - 7,075 = 17,451ක් ලබාගෙන තිබුණි. 
 
1947 පැවැති මහා මැතිවරණය සඳහා ඒ. ඇෆ්. මොලමුරේ අංක 89 බලන්ගොඩ බහු මන්ත්‍රී ආසනයට එජාපය නියෝජනය කරමින් ඉදිරිපත් වූයේය. ඒ. ඩබ්ලිව්. මැතිව් ද (එජාප) ඉදිරිපත් විය.  
 
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හිටපු සභාපති ඒ. ඇෆ්. මොලමුරේ බලංගොඩ ඡන්ද කොට්ඨාසයේ පළමු මන්ත්‍රී ධුරයට තෝරා පත්විය. ඊ. ඩබ්ලිව්. මැතිව් දෙවැනි මන්ත්‍රී ධුරයට පත්විය. 
 
සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ පිහිටුවන ලද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රථම රැස්වීම 1947 ඔක්තෝබර් 14 වැනිදා පැවැත්විණි. එදින ප්‍රධාන කාර්යය වූයේ කථානායකවරයකු පත්කර ගැනීමය. අග්‍රාණ්ඩුකාරවරයා විසින් නිකුත් කරන ලද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කැඳවීමේ ලිපිය එහි ලිපිකරු සෙනට් ආර්. පී. දැරණියගල විසින් කියවන ලදී. ඉන්පසු තැපැල් සහ විදුලි සංදේශ ඇමැති සී. සිත්තම්පලම් හා ඇස්.යූ.  එදිරිමානසිංහම් මන්ත්‍රීවරයාගේ ද යෝජනා ස්ථිරත්වයෙන් ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඒ. ඇෆ්. මොලමුරේගේ නම ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබීය. 
 
මතුගම මන්ත්‍රී විල්මට් ඒ. පෙරේරා විසින් කුරුණෑගල මන්ත්‍රී රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක කථානායක ධුරයට සුදුසු යැයි යෝජනා කරන ලදී. කයිට්ස් මන්ත්‍රී ඒ. ඇල්. තම්බයියා යෝජනාව ස්ථිර කළේය.
 
ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම සභාපතිවරයා වූ මොලමුරේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රථම කථානායක ධුරයට පත් කෙරිණි. 1947 ඔක්තෝබර් 14 වැනිදා අදාළ වාද විවාද යෝජනාවලින් පසු මොලමුරේ කථානායක  ධුරයට පත්ව උද්දාමයෙන් යුතුව සිය සේවා ස්ථානයේ අදාළ කාර්යයන් ඉතා සාර්ථකව කරගෙන ගියේ 1951 ජනවාරි මාසයේ විසිපස් වන 23 වන දිනය දක්වා පමණි. හෘදයාබාධයට ලක්ව 29 වැනිදා අවසන් කටයුතු ද සිදුකෙරිණි. 
 
එකල චිරප්‍රසිද්ධ සුවඳ මාසික සඟරාවේ සංස්කාරක ප්‍රවීණ කිවියර කපිල ඊ. සෙනෙවිරත්න විසින් 1947 පාර්ලිමේන්තුව අරභයා 1947 නොවැම්බර් මාසයේදී විශේෂ කලාපයක් ප්‍රකාශයට පත් කළේය. මුද්‍රිත ක්‍රවුන් පිටු 80කින් යුක්ත මෙම සඟරාවේ කථානායක සහ ඇමැතිවරුන් අරභයා කවි තුනකින්ද අනෙක් උපඇමැති සහ මන්ත්‍රීවරුන් අරභයා කවි දෙකකින්ද ඡායාරූපයක් සහිතව කෙටි විස්තරයක් පළ කර තිබුණි. 
 
එම විශේෂ සුවඳ සඟරාවේ කථානායක ඒ. ඇෆ්. මොලමුරේ වෙනුවෙන් පළකරන ලද කවි දෙපදය ද සේයාරුව ද අපි ඒ ආකාරයෙන්ම පළ කරමු. 

 


බන්ධුල ආර්. ගුලවත්ත