2025ට නියමිත අයවැය එළිදක්වමින් ජනාධිපතිවරයා මෙරට සෞඛ්‍ය පද්ධතියට බිලියන 604ක සැලකිය යුතු මුදලක් වෙන් කළ අතර එය මෙතෙක් වෙන්කළ වැඩිම මුදල වෙයි. එහිදී ජනාධිපතිවරයා අදහස් දැක්වූයේ, “බෙහෙත් හිඟයක් ඇති වීමට කිසිදු හේතුවක් නෑ. මුදල් ප්‍රතිපාදන දෙස බැලුවොත් වෙන ප්‍රශ්නයක් එතන තිබෙනවා. ඒ ප්‍රශ්නය සෞඛ්‍ය අමාත්‍යවරයා විසඳයි කියලා බලාපොරොත්තු
වෙනවා.” යනුවෙනි.
ජනාධිපතිවරයාගේ පටන් හැමෝගෙම බලාපොරොත්තු අහස උසටය. කොපමණ මුදලක් සෞඛ්‍යයට වෙන් කර තිබුණ ද පසුගිය කාල සීමාව තුළ මෙරට ශල්‍යකර්ම සඳහා රෝහල් ගතවන රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ රෝහල්වලට බාහිරින් ගෙන ඒමට සිදුවිය. එම තත්ත්වය තවමත් එසේමය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වසර ගණනාවක සිට නොමිලේ වෛද්‍ය සේවාව ලබාදෙන කාර්යක්ෂම පද්ධතියක් ලෙස හැඳින්වුවත් වර්තමාන තත්ත්වය හේතුවෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය දැඩි අභියෝගයට ලක්වී ඇත. ශල්‍ය උපකරණ අවශ්‍යතාව මෙන්ම රෝහල්වල පවතින බෙහෙත් හිඟය නිසා රෝගීන් හා ඔවුන්ගේ පවුල් පත්ව ඇත්තේ ද දැඩි පීඩනයකටය.
ඇත්තම ගැටලුව ඖෂධ නැතිකමද? කළමනාකරණයද?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ඖෂධ හිඟය සම්බන්ධව කියා සිටින්නේ ඖෂධ හිඟයකට වඩා වර්තමානයේ පවතින්නේ ඖෂධ බෙදාහැරීමේ ගැටලුවක් සහ ඖෂධ තොග කළමනාකරණය කිරීමේ ගැටලුවක් බවත් රටේ තිබෙන සියලුම මුදල් ඖෂධ ගෙන්නන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන්න ද රටේ ඖෂධ හිඟය මගහැරවිය නොහැකි බවත්ය.
“පසුගිය කාලයේ අත්‍යවශ්‍ය ඖෂධ හැටක් පමණ හිඟවෙන තැනට ඇවිත් තිබුණා. වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබුණා අත්‍යවශ්‍ය ඖෂධ 300ක පමණ විශාල හිඟයක් පවතිනවා කියලා. නමුත් මධ්‍යම ඖෂධ ගබඩාවේ එහෙම අඩු වූ පමණින් රෝහල් පද්ධතියෙ ඖෂධ නෑ කියන්න බැහැ. ඒ වගේ ප්‍රකාශයක් සිදුකිරීමම යම් කිසි ආකාරයක ගැටලුවක් වෙනවා. දැන් පවතින ඖෂධ හිඟයට හේතු වෙලා තියෙන්නේ ඖෂධ නැති වීමට වඩා තියෙන ඖෂධ බෙදාහැරීමේ ගැටලුවක් සහ ඖෂධ තොග කළමනාකරණය කිරීමයි. ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ඖෂධ තොග බෙදාහැරීම හා කළමනාකරණය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයන්ගේ නිසි සම්බන්ධීකරණයක්, හොඳ සන්නිවේදනයක් හෝ පද්ධතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්නෙ නැතිතම් මේ කාර්ය සිද්ධ වෙන්නෙ නැහැ.”
බොහෝ ප්‍රාදේශීය මට්ටමේ රෝහල්වල ප්‍රතිජීවක ඖෂධ, වේදනා නාශක ඖෂධ මෙන්ම ආතරයිටීස් වැනි රෝගවලට ලබා දෙන ඖෂධ, හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව ආදී බෝ නොවන රෝගවලට අත්‍යවශ්‍ය ඖෂධවල හිඟතාවක් පවතින බවත් ඇතැම් ශල්‍ය රෝගීන්ට බෙහෙත් හා උපකරණ පිටින් ගෙනෙන්නට සිදුව ඇති බවත් ඇතැම් රෝහල් වාට්ටු තුළ නොමැති ද්‍රව්‍ය ලැයිස්තු ප්‍රදර්ශනය කර ඇති බවත් රෝගී ජනතාව මැසිවිලි නගති. විශේෂයෙන් මේ වන විට ඖෂධ හිඟය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇත්තේ පිළිකා රෝගීන්ය.
වෛද්‍ය චමිල් විජේසිංහ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ විශේෂයෙන් අපේක්ෂා රෝහලේ සහ යම් යම් දිස්ත්‍රික් මට්ටමින් රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟතාවය පිළිබඳව තොරතුරු දැනගැනීමට හඳුන්වා දී ඇති ස්වස්ථ දත්ත පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම මෙම ඖෂධ ගැටලුවට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
“ස්වස්ථ දත්ත පද්ධතිය මඟින් සියලුම රෝහල් පද්ධතිය ආවරණය කරමින් මේ ඖෂධ තොග බෙදා හැරීම සහ කළමනාකරණය කිරීම සිද්ධ වෙනවා. නමුත් එහිත් ගැටලු කීපයක් තියෙනවා. මේ ගැටලු හඳුනාගැනීම සහ විසඳා ගැනීම සම්බන්ධයෙන් තමයි මේ ගැටලුව ඇති වී පවතින්නෙ. මේ දත්ත පද්ධතියෙන් ගත හැකි ප්‍රයෝජනය නිවැරදිව නොගැනීම තමයි ගැටලුව. ඒ වගේම වර්තමාන ආණ්ඩුවට පවා අමතක වී තිබෙන මේ බෙහෙත්වල පවතින මිල ගණන් වල තත්ත්වය ගැන. මේ මිල ගණන් පාලනය කිරීම සඳහා විධිමත් සහ ක්‍රමානුකූල යාන්ත්‍රණයක් අවශ්‍යයි.”
අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟද?
මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක අරුණ ජයසේකර මහතාගෙන් ද වත්මන් ඖෂධ හිඟය පිළිබඳ විමසීමක් සිදු කළ අතර එහි දී ඔහු ප්‍රකාශ කළේ එම රෝහල තුළ කිසිඳු ඖෂධ හිඟයක් නොමැති බවත් රෝහලේ නොමැති යම් යම් ඖෂධ පිටින් ලබාගැනීමට සිදුවන බවත්ය.
රෝහලේ අධ්‍යක්ෂකවරයා මෙසේ පැවසුවද රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් පවසන්නේ ඔවුන්ට යම් යම් ඖෂධ විශාල මුදලක් ලබා දී පිටින් මිලදී ගැනීමට සිදුවන බවය. ඖෂධ ලබා ගැනීමට මුදල් නොමැතිකම නිසා ප්‍රතිකාර කිරීමද අත්හැර දමා ඇති බව ද ඇතැම් රෝගීහු කියා සිටියහ.
ජීවත්වීමේ ආසාව මෙලොව උපදින සෑම ජීවියෙකුටම පොදුය. එහෙත් අපේක්ෂා රෝහල් භූමිය තුළ මරණසහතිකය අතේ දරාන සැරිසරන මේ රෝගීන්ට රජයෙන් ලබාදෙන බෙහෙත් පෙත්ත ඇරෙන්න වෙනත් සරණක් නැත. මේ වන විට රෝහල් පද්ධතිය තුළ පවතින ඖෂධ හිඟය නිසා දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙන්නේ කුඩා දරුවන් සහ
පිළිකා රෝගීන්ය.
මේ සම්බන්ධව අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ කළ ගවේෂණයක දී රෝගීන් ඖෂධ සම්බන්ධව පත්ව ඇති අසරණ තත්ත්වය ප්‍රකාශ කළේ මෙසේය.
“මම අපේක්ෂා රෝහලට එන්නෙ නාවලපිටියෙ ඉඳලා. මගේ දරුවගෙ වයස අවුරුදු 10යි. කොඳුඇට පෙළෙහි හා දණහිස් ආශ්‍රිතව පිළිකාවක් තමයි තියෙන්නේ. ලෙඩේ මාස පහක් හයක් වෙනවා. දරුවට බයි කාබනේට් බෙහෙත දෙන්න නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේ තවත් ගොඩක් බෙහෙත් වර්ග පිටින් තමයි ගන්න වෙලා තියෙන්නෙ. එක බෙහෙත් ඩෝස් එකක් 1100 මුදලක් වෙනවා. බයි කාබනේට් බෙහෙත් එක වේලකට 6ක් අවශ්‍ය වෙනවා. රෝහලේ තියෙන්නෙ ඉන්දියන් බෙහෙත් කියලා කියනවා. රෝහලේ බෙහෙත්වලට වඩා පිටින් ගන්න බෙහෙත්වල ගුණාත්මක බව වැඩියි කියලා සමහර වෛද්‍යවරුම කියනවා. කවුරු ඇත්ත කියනවද කියන්න අපි දන්නෙ නැහැ. ඒ වුණාට හැමදාම බෙහෙත් ෆාමසිවලින් ගන්න අමාරුයි. බෙහෙත්වලට අඩුම මාසෙකට 30,000කට එහා වියදමක් දරන්න
සිදු වෙනවා.”
අපේක්ෂා රෝහලෙන් හෙළි වූ තොරතුරු මත කුඩා ළමුන් සඳහා අවශ්‍ය කරන ළමා ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක හිඟයක් පවතින බව අප හට දැනගන්නට ලැබිණි. එමෙන්ම රෝහල්වලට අත්‍යවශ්‍ය රෝදපුටු වැනි උපකරණ ද හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීමට ප්‍රමාණවත් තරමක් රෝහල තුළ නොමැති බවද රෝහල් සේවකයකු කියා සිටියේය. පියයුරු පිළිකාවකින් පෙළෙන සහ උදරය ආශ්‍රිතව පිළිකාවක් ඇති රෝගීන් පවා කියා සිටියේ එකී රෝගී තත්ත්වයන් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග රෝහල තුළ නොමැති බවයි.
“මගේ දරුවට තියෙන්නේ ලේ පිළිකාවක්. ලේ පිළිකාවට අවශ්‍ය maturus azacitidine කියන බෙහෙත ගොඩක් වෙලාවට අපිට මිලදී ගන්න සිදු වෙලා තියෙන්නේ ෆාමසිවලින්. එකක් රුපියල් 36,450 ක් වෙනවා. එදා වේල හම්බකරගෙන කන අපිට මේ තත්වය දරාගන්න අමාරුයි සමහර දවසට බෙහෙත් ගන්න සල්ලි නැති වුණාම දරුවත් එක්කම මැරෙන්න හිතෙන අවස්ථා එමටයි.”
ඒ තවත් මවකගේ වේදනාවකි. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ රෝගීන් පත්ව ඇති අසීරුතාවය පිළිබඳව කරුණු පැහැදිලි කරගැනීමට අප පෞද්ගලික අංශයේ ඔසුසල් හිමියන් වෙත ද ගියෙමු. එහිදී මෙම රෝහල්වල ඖෂධ හිඟය මුසාවක් නොවන බවට අපට තහවුරු කර ගැනීමට
හැකියාව ලැබුණි.
“කැන්සර් හොස්පිට්ල් එකේ ඒ ඒ වර්ගයේ කැන්සර් එකට ගැළපෙන බෙහෙත් ප්‍රමාණය අවමයි. ඉන්දියන් බෙහෙත් වර්ග තමයි හොස්පිට්ල්වලට එන්නෙ. අතේ සල්ලි නැති මිනිස්සු ගුණාත්මක බව බලන්නෙ නැතුව අඩුවට බෙහෙත් ටික ගන්න තමයි බලන්නෙ. එහෙමවත් දෙන්න හොස්පිට්ල්වල බෙහෙත් නැහැ.” ෆාමසි සේවකයෙක් පැවසීය.
දවසකට පිළිකා රෝහල අසල ෆාමසිවලට බෙහෙත් තුණ්ඩු 20කට වැඩි ප්‍රමාණයක් ලැබෙන බවත් ඒවා සියල්ලක්ම රුපියල් 30,000කට ඉහළ බෙහෙත් බවත් එම ෆාමසි සේවකයා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඒ අනුව පිළිකා රෝහල තුළ මේ වන විට arimidex tablets, inj american 500mg, potassium chloride 600mg වැනි බෙහෙත් නොමැති බවට ද රෝගීහු මැසිවිලි නගති.
පරීක්ෂණ උපකරණ මදි
ඖෂධ හිඟය මෙන්ම රෝගීන්ට දැඩි ලෙස බලපා ඇති අනෙකුත් පීඩාකාරී ගැටලුව වන්නේ යම් රෝගී තත්ත්වයන්ට අදාළ පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය උපකරණ රෝහල් පද්ධතිය තුළ නොමැති බව සහ පරීක්ෂණ යන්ත්‍ර අකර්මණ්‍ය වීමයි.
දිවයින පුරා පවතින රෝහල්, වගේම කොළඹ ජාතික රෝහලේ මේ වනවිට පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ සඳහා අවශ්‍ය වන MRI පරීක්ෂණ යන්ත්‍ර මෙන්ම PET SCAN පරීක්ෂණ සඳහා අවශ්‍ය වන යන්ත්‍ර හිඟ මට්ටමක පවතින බවත්, කොළඹ ජාතික රෝහලේ MRI උපකරන අලුත්වැඩියා කිරීම අවුරුද්දකට වඩා වැඩි කාලයක සිට ප්‍රමාද වී ඇති බවත් එහි නඩත්තු කටයුතු නිසියාකාරව පවත්වා ගෙන යාම දුෂ්කර වී ඇත්තේ පවතින මිනිස් අවශ්‍යතාවය හිඟ මට්ටමක පැවතීම බවත් විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි. දැනට ලංකාවේ පවතින යන්ත්‍ර සූත්‍රවලින් උපරිම ඵල නෙලා ගැනීමට හැකියාව තිබුණද එය පැය 24 ම සේවය කිරීමට ඉඩ ලබා නොදී සේවය සීමිත කිරීමද හේතු කරගෙන සාමාන්‍ය රෝගීන්ට CC හා MRI වැනි පරීක්ෂණ සඳහා පොරොත්තු ලේඛනයේ දිගු කාලයක් රැඳී සිටීමට සිදුවී ඇති බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ගැටලු නිරීක්ෂණය සඳහා තිබෙන්නේ එක් යන්ත්‍රණයක් පමණි. පේරාදෙණිය සිරිමවෝ බණ්ඩාරනායක ළමා රෝහලට MRI පරීක්ෂණ යන්ත්‍රයක අවශ්‍යතාව අවුරුදු 4ක පමණ කාලයක ඉඳලා තිබුණත් මේ වනවිටත් එය සැපයීමට අදාළ අංශ අසමත් වෙලා තිබෙනවා. රෝහල්වලට අලුතින් උපකරණ ගෙන්වීම අවශ්‍ය නැහැ. කළ යුත්තේ රෝහල්වල ඇති යන්ත්‍ර නඩත්තු කිරීමයි.
“MRI වැනි යන්ත්‍රෝපකරණවල පවතින ඌනතාව හේතුකොටගෙන රිජ්වේ ආර්යා ළමා රෝහලේ පොරොත්තු ලේඛනයේ මාස 6ක ප්‍රමාදයක්, ජාතික රෝහලේ මාස 4කට වඩා වැඩි පොරොත්තු ලේඛන ප්‍රමාදයක් අනුරාධපුර හා කරාපිටිය ශික්ෂණ රෝහලේ වසරකට ආසන්න පොරොත්තු ලේඛන ප්‍රමාදයක් වගේම මහනුවර ජාතික රෝහලේ මාස 5ක පමණ ප්‍රමාදයක් ඇතිවෙලා තියෙනවා. මේ සීමිත යන්ත්‍රෝපකරණවලින් හෝ පැය 24 පුරාම සේවය කරන්න ඉඩ සලසලා දෙනවනම් සහ පවතින උපකරණ ඌනතාවන්ට නිසි ක්‍රියාමාර්ග ගත්තනම් මේ පොරොත්තු ලේඛන ප්‍රමාදය නැතිකර රෝගීන්ගේ අවශ්‍යතාවන්ට සේවය කරන්න හැකියාව පවතිනවා.” යැයි චානක මහතා පවසා සිටියේය.
ඖෂධ සහ උපකරණ හිඟයට අමතරව මේ දිනවල වකුගඩු රෝගීන් ද විශාල ගැටලුවකට පත්ව ඇත. ඔවුන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීමෙන් ජීවතයෙන් පවා වන්දි ගෙවීමට සිදුව ඇත. වකුගඩු රෝගය ජාතික සෞඛ්‍ය ව්‍යසනයක් බවට පත්වෙමින් පවතින අතරම එය නොපෙනන ඝාතකයෙකු ලෙස ගම් දනව් සිසාරා සැරිසරා හමාරය. මෙරට වකුගඩු රෝගීන් දෙලක්ෂයක් පමණ සිටින අතර නිසි ප්‍රතිකාර නොමැති නිසා ඔවුන්ගෙන් දස දහසක පමණ පිරිසක් වාර්ෂිකව නිකරුණේ මියැදෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය හෙළි කරයි.
බෝ නොවන රෝගවලට ගොදුරු වූවන්ගේ ඉරණම
මේ පිළිබඳව හලාවත මහ රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතාගෙන් අප කළ විමසීමක දී ඒ මහතා දැක්වූයේ මෙවන් වූ අදහසකි.
“අධික රුධිර පීඩනය, අධික ස්ථුලතාව, කාලාන්තරයක පටන් අක්‍රමවත් දේශීය බෙහෙත් වර්ග ලබාගැනීම වැනි හේතු සාධක පවතිනවා සේම වර්තමානය වනවිට සෑම වැඩිහිටියන් 1/4ටම දියවැඩියා රෝගය වැලඳීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන අතර මෙය 2026 වර්ෂය වනවිට සෑම වැඩිහිටියන් 3/1ටම දියවැඩියා රෝගය වැළඳීමේ ප්‍රවනතාවක් දැකගත හැකියි. මෙම තත්ත්වය ඉතාමත් බරපතළයි. පෙර වසරවලට සාපේක්ශව මෑත කාලීනව වකුගඩු බද්ධ කිරීම, රුධිර කාන්දුකරණය හා පරිකාර කාන්දුකරනය සිදුකළ යුතු රෝගීන් සංඛ්‍යාව වැඩිවෙලා තියෙනව. එම නිසා අසාධ්‍ය රෝගීන් හමුවීමේ ප්‍රවණතාවක් හඳුනා ගත හැකි අතරම රෝගීන්ගේ ඉල්ලුමට සරිලන ඖෂධ සැපයුමක් ලබා දීමට නොහැකි වීම කනගාටුවට කාරණයක්.”
ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දෙනු ලැබූවේ වකුගඩු රෝගීන්ගේ උක්ත ප්‍රතිකාර කිරීම සඳහා එක් වරකට අධික මුදලක් වැය කිරීම සාමාන්‍ය රෝගීන්ට දරාගත නොහැකි බවයි. මේ තත්ත්වය පිළිබඳව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා තවදුරටත් සඳහන් කර සිටියේ අද වන විට දිවයින පුරා සිටින වකුගඩු රෝගීන් අතරින් දස දහසකට ආසන්න පිරිසක් රුධිර කාන්දු පෙරනයට ලක්වන අතර රුධිර කාන්දු පෙරනය සඳහා පවතින පහසුකම් අඩුවීමෙන් මෙම රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්වන බවත් රෝහල්වල රුධිර කාන්දු පෙරන අවස්ථා ගණන 50කට ආසන්න ප්‍රමාණයට සීමා කිරීම නිසා ඉන් පසුව ඔවුන්ට රුධිර කාන්දු පෙරන සඳහා පෞද්ගලික අංශයට යොමුවීමෙන් වරකට රුපියල් දස දහසකට ආසන්න මුදලක් ගෙවීමට සිදුවන බවත්ය.
අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල මොනරාගල ත්‍රිකුණාමලය අම්පාර බදුල්ල වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල රෝගීන්ගේ ව්‍යාප්තිය බහුල බවත් වකුගඩු අක්‍රීය නිසා බොහෝ රෝගීන් වකුගඩු බද්ධයට යොමු විය යුතු වුවත් වකුගඩු බද්ධය සඳහා ප්‍රමාණවත් දායකයින් නොමැති වීමත් දුප්පත්කම නිසා බොහෝ දෙනෙක් අදාළ වෛද්‍ය ප්‍රතිකර්මට යොමු නොවීමෙන් රෝගී ජීවිත වල ආයු කාලය අඩුවී ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. මෙකී වකුගඩු බද්ධය සඳහා රුපියල් ලක්ෂ විසිපහකට තිහකට ආසන්න මුදලක් වැයවීම සාමාන්‍ය රෝගීන්ට දරා ගත නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.
ඖෂධ හා උපකරණ ගැටලුව සම්බන්ධව බලධාරීන් විවිධ අර්ථකතන සපයති. ඒවා නිවැරදි හෝ වැරදි කුමක් වුවද අවසානයේ අසරණ රෝගීන් පත්වන්නේ දැඩි අසීරුතාවකට ය. සෞඛ්‍ය සම්පන්න බව රටක ඉදිරි පැවැත්ම සඳහා බලගතුම අවිය වන්නා සේම නිදහස් සෞඛ්‍ය මිනිසුන්ගේ පූර්ණ කාලීන අවශ්‍යතාවක් බව නොරහසකි.