ජාතික ජනබලවේග රජයේ මංගල අයවැය යෝජනාවලිය එන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනතා විමුක්ති පෙරමුණට අයත් මුදල් ඇමැතිවරයකු විසින් අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලබන පළමු අවස්ථාව මෙයයි. මුදල් ඇමැතිවරයා වන ජනාධිපතිවරයා විසින්ම අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරනු ඇත. අතීතයේ වාමාංශික පක්ෂයක් ලෙස පැවැති ජනතා විමුක්ති පෙරමුණෙන් නිර්මාණය වූ ජාතික ජනබලවේගය - ආණ්ඩුකරණයේ දී වාමාංශික ගමන් මාර්ගයක නොගියත්, මෙතෙක් පැවැති ප්‍රභූවාදී පක්ෂවල අයවැය යෝජනාවලට වඩා පෙරැළිකාරී බවක් මෙවර අයවැය යෝජනාවලියෙන් දැකගත හැකි වේ දැයි දේශපාලනයට උනන්දුවක් දක්වන්නෝ අවධානයෙන් සිටිති.
ලංකාවේ පාලන බලය හෙබවූ පක්ෂ පෙරැළිකාර අයවැය යෝජනා ඉදිරිපත් කළේ අවස්ථා දෙකකදී පමණකි.
පළමුවැන්න - 1970 සමගි පෙරමුණු ආණ්ඩුව යටතේ මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා සමාජවාදී ආර්ථිකයක්? බිහිකිරීම සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියයි. දෙවැන්න - සමගි පෙරමුණේ ආර්ථික රටාවෙන් පීඩාවට පත්ව සිටි රටවැසියන් ඉලක්ක කර නිදහස් ආර්ථික රටාවක්? ස්ථාපනය කරමින් ආර්ථිකය දක්ෂිණාංශයට හැරවූ, 1977 එජාප රජයේ මුදල් ඇමැති රොනී ද මැල් ගේ අයවැය යෝජනාවලිය යි. මේ අයවැය යෝජනාවලි දෙකම රටවැසියන්ගේ ජීවන රටාවට තදබල ලෙස බලපෑවේය.
1970 සමගි පෙරමුණු ආණ්ඩුව බලයට ආවේ මෙරට සමාජවාදී සමාජයක් ඇතිකරන බව පවසමිනි. ශ්‍රීලනිපය, ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, සමගි පෙරමුණට ඇතුළත් විය. සමාජවාදය ගොඩනැගීම සඳහා බලය දෙන්නැයි මැතිවරණ සමයේ ඉල්ලා සිටි එම රජය, බලයට පැමිණි පසු 1970 නොවැම්බරයේ ඉදිරිපත් කළ මුල්ම අය වැය සමාජවාදය ඇති කිරීම සඳහා පියවර ගණනාවක් ගත්තේය.
ඒ සඳහා ආනයන භාණ්ඩ සීමාකර දේශීය නිෂ්පාදනවලට තැන ලබාදෙන බව - මුදල් ඇමති ඇන්.ඇම්.පෙරේරා පැවසුවේය. බදු හොරුන් - නොගෙවා කට්ටි පනින ආදායම් බදු එකතු කර ගැනීම සඳහා අලුත්ම උපායක් හඳුන්වා දෙමින් එතෙක් පැවැති රුපියල් 50 සහ 100 මුදල් නෝට්ටු අවලංගු කළේය. පැරණි නෝට්ටු බැංකුවලට ඉදිරිපත් කර අලුත් නෝට්ටු මාරුකර ගත හැකි බව කී මුදල් ඇමැතිවරයා මෙමගින් රජය රුපියල් කෝටි 10ක ආදායම් බදු බලාපොරොත්තු වන බව කීවේය.
එහිදී බඩු මිල ඉහළ ගිය ආකාරය සරලව මෙසේය.
පැට්‍රල් ගැලුමක මිල සත 25 කින්ද, සිගරැට්ටුවක මිල සතයකින්ද, බීර බෝතලයක මිල සත 42 කින්ද, කොළඹින් පිට පළාත්වලට ගන්නා ටෙලිෆෝන් ඇමතුමක ගාස්තුව සත 20 සිට 25 දක්වා සත පහකින්ද ඉහළ ගියේය. සමාජවාදී රටවල ආධාරයෙන් රුපියල් හත් කෝටියක භාණ්ඩ රටට ලැබෙනු ඇතැයි මුදල් ඇමැතිවරයා කීවේය.
මෙම අයවැයෙන් පසු රට පුරාම උග්‍ර ආහාර හිඟයක් ඇති විය. එයට හේතුව වූයේ අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමය. සේවක අර්ථසාධක අරමුදල සඳහා එතෙක් කපා ගත් සියයට හයේ සහ හතරේ දායක මුදල සියයට නවයේ සහ හයේ පරිමාණයට වැඩි කළ මුදල් ඇමැතිවරයා එමගින් රුපියල් හත්කෝටියක ආදායමක් බලාපොරොත්තු විය. සැබැවින්ම මෙම අනුපාත වැඩිකිරීම සේවකයාට යහපත් වුවත්, සේවකයා ගේ යහපත පිටින් දමා රජය කපාගන්නා මුදල් ප්‍රමාණය වැඩි කළේ අර්ථසාධක අරමුදල් සේවකයාට ආපසු ගෙවන්නේ එම රජයෙන් නොව පසුකාලීන වෙනත් ආණ්ඩුවලින් නිසාය.
1975 දක්වාම ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනා පරිභෝජනය සීමා කිරීමට ජනතාව යොමු කළ අයවැය යෝජනා මාලාවක් විය. එකල රජයේ සේවක වැටුප ඉතා අවම විය. ඉහළ වැටුප් ලබන පෞද්ගලික අංශයක් නැති තරම් ය. මුදල් ඇමතිවරයා කියා සිටියේ, රුපියල් දහසකට වඩා මාසික වැටුප් ලබන රජයේ සේවකයන් 17000ක් සිටියත් - ඒ අයගෙන් පන්දහසක් දෙනා බදු නොගෙවා කට්ටි පනින බවය.
මෝටර් රථ ගෙන්වීම සීමා කිරීම සඳහා රජය ගත් පියවර වූ‘යේ , “ශ්‍රී” කාර්වලින් අමතර බද්දක් අය කිරීමය. ඉදිරියට පුද්ගලයන් අමතර කාර් දෙක තුන ගෙන්වීම එමගින් නතර වනු ඇතැයි ද, එමගින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි වේයැයි ද, මුදල් ඇමැතිවරයා කීවේය.‘ ශ්‍රී කාර් යනු - 1959 න් පසු ගෙන ආ මෝටර් රථය. එතෙක් පැවැතියේ ඉංග්‍රීසි අකුරු ක්‍රමයකි.
මුදල් ඇමැතිවරයාගේ සහ රජයේ වැඩ පිළිවෙළ වූයේ රටින් ආහාර නොගෙන්වා වගා සංග්‍රාමයකින් ආහාර ප්‍රශ්නය ජය ගැනීමය. එහෙත් වගා සංග්‍රාමය සිතූ තරම් ලෙහෙසි වූයේ නැත. හාල්, සීනි, පාන් පිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය පෞද්ගලික වෙළෙඳසල්වල නොතිබූ අතර, රජයේ සමුපකාර සහ සතොස වෙළෙඳ සැල්වල පමණක් එම ආහාර ද්‍රව්‍ය තිබිණි. එහෙත් ආහාර මිලදී ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳෙන්නට ජනතාවට සිදුවිය. එයින් සිදුවූයේ රජය පමණක් නොව, සමාජවාදයත් ජනතාවට තිත්ත වීමය. ලංකාවේ ජනතාව සෑමවිටම අන් සියළු දේට වඩා තම කුස ගැන සිතන බව රජයට අමතක වී තිබිණි. දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයකට වී සහ සහල් ගෙන යාම නීතියෙන් තහනම් කෙරිණි. එය නැවැත්වීම සඳහා තැනින් තැන පරීක්ෂණ මුර කපොලු පිහිටුවිණි. සහල් ගෙනයාම පරීක්ෂා කළ පරීක්ෂණ මුර කපොලු “හාල් පොල්ල” ලෙස ජනතාව අතර ප්‍රචලිත විය. එයට හේතු වූයේ වාහනවලින් ගමන් ගන්නා සියලු රටවැසියන් පරීක්ෂණ ස්ථානයේ දී වාහනයෙන් බැස - තම වාහන සහ ගමන් මලුවල සහල් හෝ වී තිබේ දැයි පරීක්ෂා කිරීමට ඉඩ දිය යුතු වීමය. මිරිස් සඳහා ද මෙම ක්‍රමයම ක්‍රියාත්මක විය. පරිභෝජනය සඳහා මෙරට වැවෙන මිරිස් ප්‍රමාණය ප්‍රමාණවත් නැත. ඒ නිසා සෑම කාලයකම පිටරටින් මිරිස් ගෙන ඒමට ද සිදුවේ. සමගි පෙරමුණු රජය මිරිස් ගෙන ඒමද සීමා කළ අතර, ඒ නිසා රටේ මිරිස් හිඟයක් ඇතිවිය. ඒ හේතුවෙන් කළු කඩයේ ඉතා ඉහළ මිලට මිරිස් විකුනුණේය.‘“මිරිස් පොල්ල” යෙදුවේ එම තත්ත්වය පාලනය කිරීම සඳහාය.
මහජනතාව එසේ දුෂ්කරතාවට පත් වුවත්, දිගු කාලීනව බලනවිට සෙමින් නමුත් දේශීය ආර්ථිකයක් ගොඩනැගෙමින් තිබුණේය. සීනි ගෙන ඒම නතර කිරීම නිසා ගම්මට්ටමින් පොල් සහ කිතුල් ගස් මැද හකුරු සහ පැණි නිෂ්පාදනය සිදුවිය. කුඩා කර්මාන්ත ආරම්භ විය. කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු කම්හල් පවා සෙමින් සෙමින් දියුණුවක් කරා පිය මනිමින් තිබුණේය. විදේශ විනිමය නිරපරාදේ එතෙරට ඇදී නොයෑම නිසා ජාතික ආර්ථිකය දියුණු වෙමින් තිබුණේය.
එහෙත් 1977 මහ මැතිවරණය එළැඹෙද්දී ජනතාව සිටියේ සමගි පෙරමුණු රජය වහකදුරු සේ ප්‍රතික්ෂේප කරමිනි. ප්‍රතිඵලය වූයේ ආහාර ද්‍රව්‍ය සුලභ කර ජනදුක නිවන බව කී එජාපයේ ජේ.ආර්.ජයවර්ධන ට නොසිතූ විරූ අයුරින් පාර්ලිමේන්තුවේ ආසන හයෙන් පහක අති විශාල ජනවරමක් ලැබීමය. සත් වසරක සමගි පෙරමුණු පාලනය තිත්ත වී සිටි ඡන්දදායකයෝ - තමන් විසින්ම එතෙක් කල් ප්‍රතික්ෂේප කර සිටි එජාප නායක ජේ.ආර්. බැති සිතින් වැලඳ ගත්හ. ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වන්නේ තමාට එතරම් විශාල ජයක් ලැබේ යැයි ඔහු ද නොසිතූ බවය.
ජේ.ආර්.ගේ ආණ්ඩුවේ පළමු අයවැය යෝජනාවලිය ඉදිරිපත් කළ මුදල් ඇමැති රොනී ද මැල් ආන්දෝලනාත්මක අයවැය යෝජනා ගණනාවක් ඉදිරිපත් කළේය. රුපියලේ අගය සියයට සියයකින් බාල්දු කළේය. සහනාධාර ගණනාවක්ම කපා හැරියේය. එතෙක් කල් සෑම රටවැසියකුටම නොමිලේ ලැබුණු හාල් සේරු දෙක සහ රුපියල් දෙකක සහන මුදලකට ලැබුණු හාල් සේරු හය ද කපා හැරියේය. ඒ වෙනුවට ආහාර මුද්දරය නමැති අලුත් ක්‍රමයක් හඳුන්වා දී එම සහනය ලැබෙන සුදුසුකම ලෙස පවුලක මාසික ආදායම රුපියල් තුන්සියයකට අඩුවිය යුතු බවට කොන්දේසියක් පැනවීය.
රුපියල බාල්දු කිරීමත් සමග ඩොලරයක රුපියල් වටිනාකම රුපියල් 16ට ඉහළ ගියේය. ඒ වනවිට ඩොලරයක මිල වූයේ, රුපියල් 8.50 කි. ගොවීන් සතුටු කිරීම පිණිස වී බුසලක සහතික මිල රුපියල් 7කින් ඉහළ දැමුවේය. මේ නිසා ගොවියාට යහපතක් වුව ද සහල් මිල ඉහළ ගියේය. එය මුළු රටටම බලපෑවේ “හාල්පොත” යටතේ එතෙක් රජයෙන් ලබාදුන් සහනාධාරය නතර වූ නිසාය.
මාසික ආදායම රුපියල් 300ට වැඩි අයගේ සහ ඔවුන්ගේ පවුල්වල සහල් සලාක පොත (හාල් පොත) අහෝසි කෙරිණි.
සලාකයට ලබාදුන් සීනි ප්‍රමාණය ද කපා හැරියේය. ඒ සමගම සීනි රාත්තල රුපියල් 3 දක්වා ඉහළ නැංගුවේ ය. සීනි සුලභවීම නිසා ගම් මට්ටමින් සිදු කෙරුණු හකුරු සහ පැණි නිෂ්පාදනය කරගැනීමේ කටයුතු ද ඉබේම නතර විය.
රැකියා නොමැති තරුණ පෙළට රැකියා බැංකු ක්‍රමයක් යෝජනා කළේය. රැකියා නොමැති පුද්ගලයන්ට රුපියල් 50ක මාසික දීමනාවක් ලබාදීම ද ඇරඹුණේය. එහෙත් මේ සහනය වසරක කාලයක්වත් පවත්වා ගෙන ගියේ නැත.
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ උපරිම වැටුප රුපියල් 3500ට සීමා කළේය.
ජේ ආර් ජයවර්ධන ගේ විවෘත ආර්ථික සංකල්පයට පදනම දැමුවේ 1977 නොවැම්බරයේ ඉදිරිපත් කළ රොනීගේ පළමු අයවැය යෝජනාවලියෙනි. ඒ යටතේ සමස්ත ආර්ථිකයම සම්පූර්ණ විපර්යාසයකට ලක් කෙරිණි. ආනයන අපනයන අංශවල පැවැති සියලුම සීමා බන්ධන ඉවත් කිරීමත්, ඒ හරහා ඇති කළ නව නිදහස් ආර්ථික ක්‍රමයත් - ජන ජීවිත උඩු යටිකුරු කළේය. වෙළෙඳසල්වල භාණ්ඩ ඇතත්, මුදල් නොමැතිකම නිසා බොහෝ දෙනාට සිදු වූයේ දෑසින් පමණක් භාණ්‍ඩවල රසය විඳීමටය. විදේශ ආයෝජකයන් ධෛර්යමත් කිරීමට අයවැයෙන් ගත් පියවර නිසා, නිදහස් වෙළෙඳ කලාප ක්‍රමය බිහි විය. එමගින් දහස් ගණනකට රැකියා ලැබිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ද වාමාංශික පක්ෂයක නායකයකු බැවින් - මේ වන විට බොහෝ දෙනා බලා සිටින්නේ, මුදල් ඇමැතිවරයා ලෙස හෙතෙම ඉදිරිපත් කරන අයවැය ලේඛනය දෙසය. සහනාධාර කපා හරියි ද? එසේ නැතිනම් තව තවත් බදු බරක් ජනතාවට උරුම කරයි ද? හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ඇති නිසා ජේ.ආර්. කළ අයුරින් වෙනස්ම ආකාරයේ දේශපාලන සංස්කෘතියක් ඇති කරයි ද? ජනතාව බලා සිටින්නේ මේ මස 17 වැනිදා ජනාධිපතිවරයා ඉදිරිපත් කරන රටේ අනාගත ආර්ථික ගමන් මාර්ගය පිළිබඳවය.
ප්‍රේමකීර්ති රණතුංග