20 න් කරන්නේ ගණනක් මිම්මක් නැතිව මුල්‍ය පාලන බලය ගඟේ මුහුදේ දැමීමක්


(*** විනීතා එම්. ගමගේ)

ගණනක් මිම්මක් නැතුවම මූල්‍ය පාලන බලය ගඟේ මුහුදේ දැමීමට 20වැනි සංශෝධනය තුළින් උත්සාහ කෙරෙන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.  

ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය මෙන්ම නිලධාරීන් සංස්ථා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල ජනතාවගේ බදු මුදල්වලට සාධාරණය ඉෂ්ඨ කර දී ඇත්ද? මීට වඩා සාධාරණයක් ඉෂ්ඨ කරන්න ඉඩ තිබුණාදැයි පැහැදිලි කෙරෙන්නේ විගණන වාර්තාවෙන් යැයි ද 20 වැනි සංශෝධනය නිසා එය ඇහිරී ඇතැයි ද ඔහු කියා සිටියේය.

හඳුන්නෙත්ති මහතා මේ අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148වැනි වගන්තිය යටතේ සමස්ත මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතු බවත් ඒ වෙනුවෙන් වාර්තා සැපයීමට බලය පවරා ඇත්තේ විගණකාධිපතිවරයාට බවත් කීය.

විගණන නිලධාරීන් හා සුපරීක්‍ෂකවරුන් විසින් කාලයෙන් කාලයට රාජ්‍ය ආයතන පරීක්‍ෂා කර කාර්තුමය වාර්තා, අර්ධ වාර්ෂික වාර්තා සහ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර ඒ ගිණුම් වාර්තා මත පදනම්ව සවිස්තර වාර්තාවක් රාජ්‍ය ගිණුම් කාරක සභාවට සහ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කෙරෙන්නේ යැයි ද ඔහු පැවැසීය.

සමස්ත විගණන ක්‍රියාවලියෙන්ම අපේක්‍ෂා කරන්නේ රජය ජනතාවගේ බදු මුදල් සාධාරණ හා ප්‍රතිලාභ ලබාගත හැකි අන්දමින් යොදවා ඇත්ද යන්න සෙවීම බවද ඔහු කීය.

විගණන කොමිසම නොතිබුණත්, විගණකාධිපතිවරයාගේ වාර්තා නැතිව වුණත් මේ ආයතන කෝප් කමිටුවට කැඳවන්න පුළුවන් නේදැයි කෙනෙක් ප්‍රශ්න කළ හැකි නමුත් විගණකාධිපතිවරයා ලබාදෙන වාර්තා අනුව ඒ ආයතන සම්බන්ධයෙන් කෝප් කමිටුව ස්වාධීන පරීක්‍ෂණයක් සිදුකරන බැවින් එය පළක් නැතිවනු ඇතැයි ද කීය.

එදා ප්‍රසම්පාදන කොමිසමක් තිබියදීත් වංචා දූෂණ සිදුකළා නම් එසේ නැති තත්ත්වයක් තුළ කවර තත්ත්වයක් උදාවේදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

කෙසේ වෙතත් 20වැනි සංශෝධනය බලගැන්වූ පසු ප්‍රසම්පාදන කොමිසම අහෝසි වීම නිසා ඒ පිළිබඳව ප්‍රශ්න කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.  

ජනාධිපතිවරයා කට වචනයෙන් පවසන දෙයක් සම්බන්ධයෙන් චක්‍රලේඛන අවශ්‍ය නැති බව කියන හෙයින් සර්කියුලර් වෙනුවට මේ දවස්වල ජනාධිපතිතුමා කියන පරිදි  “සර් කියූ දේ” සර්කියුලර් බවට පත්වෙන බවද ඔහු සඳහන් කළේය.

මේ සියල්ල සකස් වෙන්නේ විගණන කොමිසමේ ක්‍රියාවලියෙන් එළියට ගිහිල්ලා නම්, නීතියක් නැති රටක් බවට පත්වෙනවා නම්, චක්‍රලේඛ වලංගු නැති තත්ත්වයට පත්වෙනවා නම් මූල්‍ය පාලනය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවෙන් ගැලවිලා “සර් කියූ දේ” බවට පත්වීම ඉතා භයානක යැයි ද ඔහු කියා සිටියේය.

 20වැනි සංශෝධනය මගින් යෝජනා කර තිබෙන විගණනයට සම්බන්ධ අනර්ථකාරී කරුණු ගැන විගණන සේවා සංගමය විසින් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන්ට බාරදී තිබෙන වාර්තාවක මේ සම්බන්ධ දත්ත සියල්ලම ඇතුළත් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.  

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා හොස්පිට්ල් ආයතනය, ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, රක්නා ලංකා ආරක්‍ෂක සේවය, සීනෝර් පදනම, මිල්කෝ ආයතනය විශාල දූෂණ සිදුවූ තැන් බවත් මේ රටේ ජනතාවට අවධාරණය කරන්නේ ඔවුන්ගේ බදු මුදල්වලින් ක්‍රියාත්මක වන ආයතන 117ක කිසිම වගකීමක් විගණනය හරහා පාර්ලිමේන්තුවට එන්නේ නැති බවත් යැයි ද එමෙන්ම නවක මන්ත්‍රීවරයෙක් කෝප් කමිටුවට පත්කිරීම බොහෝ දෙනාගේ සාකච්ඡාවට ලක්වන්නේ යැයි ද හඳුන්නෙත්ති මහතා කීය.

නීතිය උඩ ලැග ව්‍යවස්ථාව විනාශ කර පාර්ලිමේන්තුව ඒ අයගේ රූකඩ බවට පත් කරගන්න අපේ රටේ ජනතාව බලය දුන්නා කියා තමන් නොසිතන්නේ යැයි ද රටේ ජනතාව දිනාගෙන ඇති බලතල අහිමි කරමින් ජනාධිපතිතුමා කොහේ රිංගුවත් පළක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

රටේ මහජනතාවගේ මුදල් මංකොල්ල කෑමට සුජාතභාවය හදන මේ සමස්ත පසුබිම නිර්මාණය කිරීමට ගේන 20වැනි ව්‍යවස්ථා සංශෝධනයට මහජනතාව විරුද්ධ විය යුතු යැයි ද හෘද සාක්‍ෂියක් ඇත්නම් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් මීට විරුද්ධ විය යුතු යැයි ද කී ඔහු 87 ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව හෘදය සාක්‍ෂියට අනුව ක්‍රියා කළ කෙනෙක් අද කතානායකවරයා ලෙස සිටින බැවින් එසේ හෘදය සාක්‍ෂියට අනුව ක්‍රියා කරන්නැයි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගෙන් බලකර ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

විගණකාධිපතිවරයා කරන්නේ පශ්චාත් පරීක්ෂණයක් බව කී හඳුන්නෙත්ති මහතා සිදු වූ වියදම් පිළිබඳව පසුව කරන විගණනයක් පමණක් නොව තමන් යෝජනා කරමින් තිබුණේ තත්කාලීන විගණනයක් බවත් යම් ආයතනයක ව්‍යාපෘතියක් සිදුවෙන විට විගණනයක් වියයුතු බව තම මතය වී යැයි ද කීය.

විගණකාධිපතිවරයාට යම් අයථා දෙයක් සිදුවෙන විට එය නැවැත්වීමේ බලයක් නොතිබූ නමුත් තමාගේ කාලයේ නමුත් ස්ථානීය පරීක්ෂණ කරන තත්ත්වයට කෝප් කමිටුව පැමිණියේ යැයි ද අයථා දෙයක් සිදුවන විට එය පරීක්ෂා කිරීමේ තත්ත්වයට කෝප් කමිටුව ගිය බව ද ඔහු කීය.