2024 ජනාධිපතිවරණයේ උතුරු - නැගෙනහිර දමිළ - මුස්ලිම් ප්‍රජාවගේ ඡන්ද හැසිරීම


 


මෙරට නව වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවති 2024 ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක ඡන්ද පනස් හය ලක්ෂ තිස් හතර දහස් නවසිය පහළොවක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය. ඒ දිස්ත්‍රික්ක 15 ක් ජයග්‍රහණය කරමිනි. සමගි ජන සන්ධානයේ සජිත් ප්‍රේමදාස දිස්ත්‍රික්ක 07 ක් ජයග්‍රහණය කළේය. විශේෂයෙන් මෙහි දී උතුරු හා නැගෙනහිර පළාත්වල බහුතර දමිළ හා මුස්ලිම් ඡන්ද දායකයන් හැසිරී ඇති අයුරු විමසා බැලීම වැදගත් වේ.
 
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සිතියම් ගත කිරීමේ දී උතුර හා නැගෙනහිර පළාත්වල ප්‍රතිඵල විග්‍රහ කර ගත යුතුය. වාර්ගික පදනම් වලින් සිංහල බහුතරය නොවන මෙම ප්‍රදේශවලින් පෙන්නුම්කරන ප්‍රතිඵලය ගැඹුරු පණිවුඩයක් සම්ප්‍රේෂණය කරන බව සඳහන් කළ යුතුය.
 
  යාපනය දිස්ත්‍රික්කය 

 

සජිත් ප්‍රේමදාස (ස.ජ. සන්ධානය) - ඡන්ද 1,21,177
 
ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම්
 
- ඡන්ද 1,16,668
රනිල් වික්‍රමසිංහ (ස්වාධීන)
 
- ඡන්ද 84,557
අනුර කුමාර දිසානායක (ජා.ජ.බ.)
 
- ඡන්ද 27,088
දිලිත් ජයවීර (සර්ව ජනබලය)
 
- ඡන්ද 495
ලියාපදිංචි ඡන්ද
- 5,93,187
ප්‍රකාශිත ඡන්ද
- 3,97,041
වලංගු ඡන්ද
- 3,71,688
ප්‍රතික්‍ෂේප වූ ඡන්ද
- 25,353
ප්‍රකාශිත ප්‍රතිශතය - 66.94%

යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 25,353 ප්‍රතික්‍ෂේප වීම ද සුවිශේෂී තත්ත්වයකි. සිංහල ජනතාව සුළුතරයක් සිටින යාපනය දිස්ත්‍රික්කයෙන් අනුර කුමාර දිසානායක ඡන්ද 27,088 ක් ලබාගැනීම කැපී පෙනෙන තත්ත්වයකි. තවද උතුරේ දමිළ පොදු අපේක්ෂකයා වන ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම් වෙත ලැබුණු ප්‍රසාදය ද මෙහි දී වැදගත් වේ. 

 
මේ සමඟම දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ ඉදිරි මැතිවරණවලදී තනිව තරග කරන බවත්, ඒ අනුව ඔවුන්ගේ පාර්ලිමේන්තු ආසන ඔවුන් නැවත හිමි කරගනු ඇති බවත් සිතිය හැකිය. එය සාමාන්‍ය යථාර්ථය තුළ නොවැළැක්විය හැකි තත්ත්වයකි. 
 
  වන්නි දිස්ත්‍රික්කය 

 

සජිත් ප්‍රේමදාස  
- ඡන්ද 95,422
රනිල් වික්‍රමසිංහ  
- ඡන්ද 52,573
ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම්  
- ඡන්ද 36,377
අනුර කුමාර දිසානායක  
- ඡන්ද 21,412
දිලිත් ජයවීර  
- ඡන්ද 229
ලියාපදිංචි ඡන්ද
 -  3,06,081
ප්‍රකාශිත ඡන්ද 
2,26,650
වලංගු ඡන්ද
 -  2,17,269
ප්‍රතික්‍ෂේපිත ඡන්ද  -  9381

දමිළ පොදු අපේක්ෂකයා වන ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම්ගේ මැතිවරණ ප්‍රකාශනයේ මූලික අංග වන්නේ, ඔහු උතුරු නැගෙනහිර නීතියෙන් වෙනස් කළාට තමා එය හදවතින් එකතු කළ බවකි. ස්වයං නිර්ණ අයිතිය, බලය බෙදීම සහ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියැවුණු ප්‍රධාන කරුණුය.

 දිගාමඩුල්ල  දිස්ත්‍රික්කය 

 

සජිත් ප්‍රේමදාස
- ඡන්ද 2,00,384
අනුර කුමාර දිසානායක 
- ඡන්ද 1,08,971
රනිල් වික්‍රමසිංහ
- ඡන්ද 86,589
ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම්
 
- ඡන්ද 9985
ලියාපදිංචි ඡන්ද 
 
- 5,55,432
ප්‍රකාශිත 
 
- 4,29,960
වලංගු ඡන්ද 
 
4,23,397
ප්‍රතික්‍ෂේප වූ ඡන්ද
 
  - 6563
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය  - 77.41% කි.

මෙම ප්‍රතිපත්ති පිළිගත් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම නිසැකයෙන්ම තමිල් අරසුකච්චි පක්ෂයට තර්ජනයක් විය. ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම්ගේ ප්‍රතිපත්ති මත පිහිටා ඇතැම් පිරිස් ලබන පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත් වෙනවා නොඅනුමානය. 

මෙවැනි මතවාදයක් බිහිවීමට හේතු වී ඇත්තේ 13 වැනි සංශෝධනය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමත්, ව්‍යවස්ථා සම්පාදනයේදී උතුරේ ජනතාවට එතරම් සැලකිල්ලක් නොදැක්වීම යැයි දේශපාලන විශ්ලේෂකයන් පළකරන අදහස්වලින් හැඟීයයි.
 
 මඩකලපුව  දිස්ත්‍රික්කය 

 

සජිත් ප්‍රේමදාස 
- ඡන්ද 1,39,110
රනිල් වික්‍රමසිංහ
 
- ඡන්ද 91,132
අනුර කුමාර දිසානායක
 
- ඡන්ද 38,832
ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම් 
 
- ඡන්ද 36,905
ලියාපදිංචි ඡන්ද 
 
- 4,49,686
ප්‍රකාශිත ඡන්ද 
 
- 3,27,524
වලංගු ඡන්ද 
 
- 3,18,648
ප්‍රතික්ෂේප වූ ඡන්ද
 
  - 8,876
ප්‍රකාශිත ප්‍රතිශතය  72.83%කි.

ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම් ප්‍රකාශයට පත්කර තිබෙන ප්‍රතිපත්තිවලට පටහැනිව සිංහල භාෂාව කතාකරන ප්‍රදේශයන්හි ඊට විරෝධය මතුවීමට ජාතිවාදී කොටස්වලින් ප්‍රතිවිරෝධතා මතුවීමට ඉඩ තිබේ. 

මේ වෙන විට බංකොලොත් වී යන්තමින් ගොඩ ඒමට සුසුම් හෙළන අපේ රටට ජාතිවාදය අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ජාතීන් අතර සමඟිය තහවුරු කරමින් සාමූහික ක්‍රියාවක යෙදීමය.
 
සිංහල ජාතිකයන් සුළුතරයක් වෙසෙන මඩකළපුව දිස්ත්‍රික්කයෙන් අනුර කුමාර දිසානායක ඡන්ද 38,832 ක් ලබාගැනීම ද කැපී පෙනෙන තත්ත්වයකි. එලෙසම මුස්ලිම් බහුතරයක් වෙසෙන දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කල්මුණේ ඡන්ද බල ප්‍රදේශයෙන් ඡන්ද 10,937ක් ද, එලෙසම මුස්ලිම් හා දමිළ ජන සමූහයක් වෙසෙන පොතුවිල් (ඡන්ද 18,053), මඩකළපුව (ඡන්ද 24,168), කල්කුඩා (ඡන්ද 7,504), පදිරිප්පු (4,681)ක් හා මුතූර් (ඡන්ද 8,706)ක් ලබාගැනීම ද කැපී පෙනෙන තත්ත්වයකි. මේ අනූව දකුණේ බහුතරයේ දේශපාලන අභිලාෂයන්ට වඩා වෙනස් දේශපාලන අභිලාෂයන් මෙම ප්‍රදේශවල ජනතාව සන්තක බව අවබෝධ කරගත යුතුව ඇත. 
 
එසේම ඔවුන්ගේ ගැටලු‍ පිළිබඳ විශේෂ අවධානයක් ලබා දීමට වර්තමාන පාලනය විසින් එම අවබෝධය භාවිත කළ යුතුව තිබේ. එසේම අමතක නොකළ යුතු සත්‍ය නම්, අන් කිසි දිනක නොලැබුණු සුළුතර නමුත් සුවිශේෂී කැමැත්තක් උතුරෙන් ද ජාතික ජනබලවේගය වෙත ලැබී ඇති බවය. එම විශ්වාසය වර්ධනය කරමින් උතුරේ දේශපාලනය තුළ තවදුරටත් වාර්ගික භාවිතයන්ට ඇති ඉඩකඩ අවම කිරීමට වර්තමාන ආණ්ඩුවට හැකියාවක් පවතී.
 
2019 ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායකට උතුරු - නැගෙනහිරින් ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 16,025 කි. එය මෙවර ඡන්ද 246,187 දක්වා එනම් ඡන්ද 230,162 කින් වැඩි කර ගැනීමට හැකි වී තිබේ. වසර පහක කාලයේදී ඡන්ද ලක්ෂ දෙකකට වඩා උතුරු - නැගෙනහිරින් ලබා ගැනීම දැවැන්ත ඉදිරි පිම්මකි. ජාතික දේශපාලන පක්ෂයක් මෑත ඉතිහාසයේ එවැනි ජයග්‍රහණයක් අත්කරගෙන නැත. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයකට උතුරු - නැගෙනහිර මෙවැනි ජන පදනමක් තිබුණේ ද නැත.
 
මීට අමතරව මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දමිළ වතු කම්කරු ප්‍රජාවගෙන් ජාතික ජන බලවේගයට අලු‍ත් ඡන්ද ලක්ෂයකට අධික ප්‍රමාණයක් ලැබී ඇත. විශාල දමිළ වතු කම්කරු ජනතාවක් සිටින නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද එවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට 2024 ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය සමත්ව සිටියි. 2019 ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අනුර කුමාර දිසානායක ඡන්ද 5891 ක් ලබා ගත් අතර එය මෙවර ඡන්ද 105,057 ක් දක්වා ඡන්ද 99,166 කින් වර්ධනය කර ගෙන තිබේ. වතුකර දමිළ තරුණයන් සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනයෙන් ඉවත්වීම මේ වර්ධනයෙන් මනාව පිළිඹිබු වේ.
 
 ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කය 

 

සජිත් ප්‍රේමදාස 
ඡන්ද 1,20,588
රනිල් වික්‍රමසිංහ
ඡන්ද 40,496
අනුර කුමාර දිසානායක
 
- ඡන්ද 49,886
ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම්
 
- ඡන්ද 18,524
ලියාපදිංචි ඡන්ද 
 
- 3,15,925
ප්‍රකාශිත ඡන්ද
2,45,282
වලංගු ඡන්ද
- 2,39,461
ප්‍රතික්ෂේප වූ ඡන්ද 
- 5,821
ප්‍රකාශිත ප්‍රතිශතය - 77.64%

තවද අනුර කුමාර දිසානායක උතුරු නැගෙනහිරින් ඡන්ද 246,187 ලබාගත්තේ කිසිදු සුළු ජාතික පක්ෂයක සහයෝගයකින් තොරවය. ඔහු සෘජුවම උතුරු නැගෙනහිර සහ වතුකරයේ දමිළ ජනතාවට ආමන්ත්‍රණය කර ප්‍රභූ දේශපාලනය පරාජය කිරීමට තමා සමඟ එක්වන ලෙසට ආරාධනා කළේ ය. උතුරු නැගෙනහිර සහ වතුකරයේ දමිළ හා මුස්ලිම් ජනතාව ද තමන් මෙහෙයවන ප්‍රභූ දේශපාලඥයන් පිළිබඳ කලකිරීමෙන් සිටි බැවින් ඔවුහු අනුර කුමාර දිසානායකගේ හඬට කන්දුන්හ. මඩකලපුව, දිගාමඩුල්ල හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි මුස්ලිම් ජනතාව මෙවර ජාතික ජන බලවේගයට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාදුන්හ.

 
තවද ආර්. සම්බන්දන්ගෙන් පසු උතුරේ පවතින දේශපාලන බැඳීම පසුගිය මැතිවරණයේදී මනාව පැහැදිලි වූ බවද ප්‍රතිඵල විග්‍රහයේදී පෙනී යයි. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ ආරියනේත්තිරම් අතරතුරේ ඡන්ද බෙදී ගිය ආකාරය ඒ සඳහා සාක්ෂි සපයයි. එසේම උතුරේ මැතිවරණ ප්‍රතිඵල සඳහා ඉන්දියානු මහා සාධකයේ බලපෑම නිශේධ වූ අවස්ථාවක් ලෙස ද මෙම ජනාධිපතිවරණය සලකුණු කොට තැබිය හැකිය.
 
කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණ  ප්‍රතිඵලය අහම්බකාරකයක් නොවන බවත්, කාලානුරූපීව වෙනස් වූ ජනමතයක පිළිබිඹුවක් බවත් අවසානයේ සඳහන් කළ යුතුය.
 

  • එම්. තාරික්