2050 වනවිට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් කරන්න සියල්ල සූදානම්


වර්ෂ 2050 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යය බවට පත් කරලීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම දැන් සකස්කර අවසන් බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේදී පැවැසීය.

මෙය ඉතා අභියෝගාත්මක කාර්යය බවත්, විවිධ මතිමතාන්තර දරන පුද්ගල සමූයහක් සමඟ ඉතා ඉවසිලිවන්තව හා විමසිලිවන්තව මේ කාර්යය ඉදිරියට ගෙන යා යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ සිංගප්පූරු වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යංශය සහ සිංගප්පූරු ව්‍යාපාරික සමුළුව සමඟ එක්ව සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා - සිංගප්පූරු ව්‍යාපාරික හමුවේ ප්‍රශ්නෝත්තර වාරයකට සහභාගී වෙමිනි.

සිංගප්පූරුවේ වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන් මහතා ද මෙහිදී අදහස් දැක්වීය. 

සිංගප්පූරුවේ ජැන් ටැංග්ලින් හිදී පැවති සමුළුවට ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයින් විශාල පිරිස එක්ව සිටියහ.

ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වැදගත්කම ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති බැවින්, ආර්ථික, මූල්‍ය හා සමාජයීය කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම දීර්ඝ කාලීන ඉලක්කය යැයදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

නව තාක්ෂණය දායාද කර ගනිමින්, අපනයන ආර්ථික අරමුණු කරගත සමාජ රටාව බිහිරකලීමට ශ්‍රී ලංකාව ඇප කැපවී ක්‍රියා කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

ලෝකයේ සියලු රටවල් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිප්තතිය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, ඉදිරියේ දී ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, කොරියාව, ජපානය හා චීනය වැනි ආසියානු රටවල් සමඟ ඇති සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරලීමට වෙහෙසන බව ද පැවසීය.

දේශීය වශයෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වන ආර්ථික, කර්මාන්ත හා සංචාරක කලාප පිළිබඳව පැහැදිලි කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ - මහනුවර හා හම්බන්තොට යා කෙරෙන අධිවේගී මාර්ග පද්ධතිය අවට වෙසෙන මිලියන 9ක ජනතාව ඉලක්ක කර ගනිමින් කළ හැකි ආයෝජන පිළිබඳව පෙන්වා දුන්නේය.

මෙහිදී සංවිධානය කර තිබූ ප්‍රශ්නෝත්තර වාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකළ ප්‍රශ්න සහ ඒවාට අග්‍රාමාත්‍යවරයා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාව තුළ ව්‍යාවසායකත්ව සංවර්ධන වෙනුවන් තිබෙන සැලසුම් මොනවාද?

පිළිතුර - පළමුව ව්‍යවසායකත්වය පිළිබඳ සංස්කෘතිය රට තුළ වර්ධනය කළ යුතුයි. අප සාම්ප්‍රදායිකවම ව්‍යාපාරික රටක් බව කිව යුතුයි. ඒ සාම්ප්‍රදායිකත්වය තවමත් අප රට තුළ දකින්න ලැබෙනවා. 

තරුණ ව්‍යවසායකයන් රැසක් රට තුළ සිටින අතර ඔවුන්ට තිබෙන එකම ප්‍රශ්නය වන්නේ මූල්‍ය පදනම සොයා ගැනීමයි. අපේ රටේ බැංකු තවමත් කටයුතු කරන්නේ ඉතා ප්‍රවේශමෙන් සහ සාම්ප්‍රදායික ආකාරයටයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා රජය කොපමණ උපකාර කළද බැංකුවලින් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නැහැ.
ඒ නිසා දැනට ව්‍යාපාර ආරම්භ කර තිබෙන ව්‍යවසායකයින් සඳහා සහන දීමට රජය පියවර ගනිමින් සිටිනවා. ඒ වගේම මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට ණය පහසුකම් දීමේ ක්‍රියාවලිය ද වේගවත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පවතින බැංකු ව්‍යාපෘති මූලික ආයතන බවට පත් විය යුතුයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අපනයන සංස්කෘතිය හඳුන්වා දිය යුතුයි.

ප්‍රශ්නය - කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති කරන බලපෑම කෙබඳුද?

පිළිතුර - කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළේ දේපළ වෙළෙඳාම සංවර්ධනය සඳහායි. නමුත් අප රජය යටතේ එය ජාත්‍යන්තර මූල්‍ය නගරය බවට පත් කිරීමට පියවර ගත්තා.

ලබන වසර වනවිට එහි ගොඩ කිරීම් කටයුතු අවසන් වීමට නියමිත අතර අනතුරුව ඉදිකිරීම් කටයුතු කෙරෙනවා. දැනටමත් මෙවැනි මූල්‍ය නගර කිහිපයක් ඉන්දියානු සාගරය අවට පිහිටුවා තිබෙවා. ඒ නිසා එහි අලුතෙන් ඇති කළයුතු සේවා මොනවාදැයි කල්පනා කළ යුතුයි. මෙය දස අවුරුදු සැළැස්ම සහිත ව්‍යාපෘතියයි.

මීට සති කිහිපයකට පෙර මා එංගලන්තයේ සංචාරයක නිතර වූ අවස්ථාවේ දී මූල්‍ය නගරය ආශ්‍රිතව එංගලන්ත නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකි වුණා. ඒ සඳහා උදව් උපකාර කිරීමට එංගලන්තය සූදානම් බව දැනුම් දුන්නා. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉදිවන මූල්‍ය නගරයට අදාළ නව නීති කිහිපයක් හඳුන්වා දීමට දැනටමත් කටයුතු කරගෙන යනවා. එහි එක් පියවරක් වන්නේ මූල්‍ය කොමිෂන් සභාව ස්ථාපිත කිරීමයි. 

ඒ සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන අතර වරාය මූල්‍ය නගර ව්‍යාපෘතියේ මූල්‍ය කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සඳහා නව කැබිනට් පත්‍රිකාව ඉදිරි මාස දෙක ඇතුළත ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය - ඉදිරි අනාගත දැක්මට සමගාමීව රටේ දත්ත එකතුව හා විශ්ලේෂණ ක්‍රියාවලිය කරන්නේ කෙසේද?

පිළිතුර - මේ වන විටත් දේශීය දත්ත එක්රැස් කිරීමේ කටයුතු කෙරෙමින් පවතිනවා. ඒ හරහා රටේ ආර්ථිකයට වන බලපෑම විශ්ලේෂණය කරනු ලබනවා.

ඉදිරියේ දී අනෙකුත් රටවල් සමග දත්ත එකතු කිරීම හා විශ්ලේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අවසාන පියවර එය යැයිද’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

සමුළුව ආරම්භ කරමින් මුඛ්‍ය දේශනය පැවැත්වූ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසුයේ, ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධන අභිප්‍රායන් පිළිබඳව මුළු ලෝකයටම යහපත් පණිවුඩය ලැබෙන බවය.

ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරලීම සඳහා රජය කැපවී සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ කාර්ය දැන් කෙරෙමින් පවතින බවත් මලික් සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේය. 
ආසියානු සැපයුම් ජාලය පිළිබඳව වැඩි බරක් තබමින් ඒ හා එක්වීමට හැකි පරිසරය අපනයන කර්මාන්ත ඔස්සේ බිහිකරලීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා, රටවල් ගණනාවක් සමඟ ද්වීපාර්ශවික ගිවිසුම්වලට එළැඹීමට අපේක්ෂා කරන්නේ යයි ද කීවේය.

මේ අවස්ථාවට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති නිමල් වීරරත්න, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.