53 හර්තාලයේ ඇසින් දුටු සාක්ෂි



ඩී.ඇස්. සේනානායක අගමැතිතුමාගේ හදිසි අභාවයෙන් පසු ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මෙ ලක අගමැති ධුරයට පත්ව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මුදල් ඇමැතිවරයා වශයෙන් පත්කර ගන්නා ලදී. එවකට පැවති ඇමෙරිකන්-කොටියන් යුද්ධය නිසා ලෝක වෙළෙඳපොළේ සහල් මිල විශාල ලෙස ඉහළ ගියේය. රට හාලට පුරුදුවී සිටි අපටද ඒ අනුව යමින් මෙරට සහල් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ නංවීමට රජයට සිදුවිය. ඒ අනුව එතෙක් ශත 25ට දුන් හාල් සේරුව ශත 75 දක්වාත්, සීනි, පරිප්පු හා අනිකුත් සිල්ලර බඩු මිල දෙගුණයකින් වැඩි කිරීමට සිදුවිය. මෙම අදහස දැනගත් සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා අනිකුත් කම්කරු පක්ෂ එකතුව ඊට විරුද්ධව රට පුරා ජනතාව ඒකරාශි කරමින් මහා වැඩවර්ජනයක් හර්තාලයක් අගෝස්තු මස 12 වැනිදාට දියත් කිරීමට තීරණය කළහ.

මෙසේ තිබියදී 1953 අගෝස්තු මස 9 වැනිදා ශත 25ට දුන් හාල් සේරුව ශත 75 දක්වාත්, අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දෙගුණයකින් වැඩි කරමින් නිවේදනයක් නිකුත් කර එය සෑම වෙළෙඳසලකටත් සමුපකාර සමිතියකටත් දන්වා තිබුණි. එබැවින් මෙම නව මිල ගණන් සමුපකාර සමිතිවල දැන්වීම් පුවරුවල සටහන් විය.
ඒ 9 වැනිදා සඳුදා දිනයකය. සඳුදා හාල් ගැනීමට සමුපකාරයට ගිය ජනයා දැන්වීම් පුවරුවේ සටහන්ව තිබූ මෙම නව මිල ගණන් දැක මහත් කැලඹීමකට පත්ව රන්දොඹේ සමුපකාර සමිතිය ඉදිරිපිට මහත් කැලඹිලි තත්ත්වයක් ඇති කළහ. ඒ වන විට මා ගුරුවරයකු වශයෙන් සේවය කරමින් සිටියේ වතුගෙදර බෞද්ධ මිශ්‍ර මහ විද්‍යාලයේය. එසේම බළපිටිය අම්බලන්ගොඩ ප්‍රදේශයේ සමසමාජ පක්ෂයේ ලේකම් හා හර්තාල් කමිටුවේද ලේකම්ද වශයෙනි. මෙසේ මේ කලබලකාරී තත්ත්වය ඇතිවෙද්දී එහිවූ අප සාමාජික මහත්මයෙක් අප විද්‍යාලය වෙත පැමිණ මට කතා කොට රන්දොඹේ ප්‍රදේශයේ උදාවී ඇති තත්ත්වය ප්‍රකාශ කර එහි යෑම සුදුසුයයි කියා සිටියේය. එවිට මම ද මගේ පාපැදිය ගෙන කිසිවෙකුටත් නොදන්වා ඔහුත් නංවාගෙන එහි ළඟා වීමි.

මා එහි පැමිණෙත්ම මා ගැන දන්නා පිරිස මා වටකරගෙන සටන් පාඨ කියමින් මහා මාර්ගය අවහිර වන සේ මාර්ගය පුරා වාඩිගත්හ. මෙහි වැඩිවශයෙන්ම සිටියේ මැදිවියේ පසුවූ කාන්තාවන් පිරිසකි. මෙසේ මාර්ගය අවහිර වූයෙන් මාර්ගය දෙපස එක දිගට වාහන නතර කර තිබුණි. එවිට ඒ අසලම වූ අම්බලන්ගොඩ පොලිසියේ නිලධාරි පිරිසක් ජීප් රථවලින් පැමිණ පිරිසට ඉවත්ව යන ලෙස අණ කළෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූයෙන් බැටන් පොලු ගත් නිලධාරි පිරිස බැටන් ප්‍රහාරයක් කිරීමට සැරසෙත්ම ඉදිරියේම වාඩිගෙන සිටි මැදිවියේ කාන්තා පිරිසක් කිසිදු චකිතයක්, භයක්, ලජ්ජාවක් නොමැතිව නැගී සිටිමින් ‘‘ගහපල්ලා ඔය බැටන් පොලු අපේ මෙන්න මෙතැන’’යි කියමින් රෙදි උහා පා ‘‘ඔයිට වැඩිය ලොකු ලොකු ලෙලි තළන කිතුල් පොලු අපි ළඟ තියෙනවා’’යි කියමින් මලුවල තිබූ කිතුල් පොලු එලියට ගත්හ.

එවිට පොලිස් නිලධාරි මහතුන්ටත් කරකියා ගත හැකි දෙයක් නොවූයෙන් මා වෙත පැමිණ මා අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කළහ. එවිට මා ඔවුන්ගෙන් පොඩි අවසරයක් ලබාගනිමින් රැස්ව සිටි පිරිස අමතා, මා අසල වූ තැපැල් කාර්යාලයට ගොස් එවකට අප මන්ත්‍රීතුමන් වූ විලියම් ද සිල්වා මහතා හා දුරකතනයෙන් කතා කර එනතෙක් නිහඬව සිටින්න යැයි කියා තැපැල් කාර්යාලයට දෙසට ගොස් සුළු වේලාවකින් ආපසු පැමිණ අප මන්ත්‍රීතුමා තව පැය දෙකකින් පමණ මෙහි පැමිණෙන බැවින් නිශ්ශබ්දව සිටින්න යයි ඉල්ලා සිටින බව කී විට පිරිස මාර්ගය ඉඩහැර දෙපසට වී සිටගත්හ. එසේම කලබලකාරී තත්ත්වය මගහැරී ගියෙන් මම ද මාගේ විද්‍යාලය වෙත පැමිණියෙමි.


ඊට පසුදා 10 වැනිදා මට දැනගන්නට ලැබුණේ බලපිටිය නගර ප්‍රදේශයේ කලබලකාරී තත්ත්වයක් ඇති බවය. මා එහි යන විට දකින්නට ලැබුණේ අප සමිතියේ නිලධාරි පිරිසක් සහ විශාල ජනතාවක් මාර්ගය අවහිර කරමින් සිටින අයුරුය. නගරයේ සියලුම වෙළෙඳසල් වසා තිබුණි. මාර්ගය දෙපස රථවාහන නතර කර තිබූ අතර, මාර්ගයේ සෙනඟ මැද පැට්ට්‍රල් පිරවූ බවුසරයක් හා ස්වාමීන් වහන්සේලා පිරිසක් රැගත් බසයක්ද නතර වී තිබුණි. එහි පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් කියා සිටියේ විසිර නොගියහොත් බැටන් ප්‍රහාරයක් එල්ල කරන බවය. එවිට පිරිසේ කිහිප දෙනෙක් ඔවුන් අත වූ යකඩ ඉල්ලම් කූරු පෙන්වමින් එසේ වුවහොත් පැට්ටල් බවුසරය හිල්කර පැට්ට්‍රල් ගලායාමට සලස්වා මුළු නගරයම ගිනි තබන බවයි. එවිට පොලිස් නිලධාරි පිරිස නිහඬව බලා සිටියහ.

දවල් වෙත්ම කාන්තාවන් පිරිසක් තම නිවෙස්වලට ගොස් පොල්ගාගෙන විත් වෙළෙඳසලකින් පාන්පිටි ලබාගනිමින් පාර මැද ළිප් බැඳ රොටි පුලුස්සා සම්බල්ද සාදා ස්වාමීන් වහන්සේලාට දවල් දානය පිරිනැමූහ.

එදින දවල් 1 පමණ වන විට කලබලකාරී තත්ත්වය මගහැරී සියලු දෙනාම විසිර ගියහ. ඒ 10 වැනිදාය. 

ඊට පසු 11 වැනිදා අහුන්ගල්ල ප්‍රදේශයේ කලබලකාරී තත්ත්වයක් ඇති බව ආරංචි වූයෙන් මා එහි යන විට දැක ගත හැකි වූයේ මුළු ප්‍රදේශයේම ජනතාව රැස්වී මහා මාර්ගය අවහිර කර ඇති බවය. මෙහි මූලිකත්වය ගෙන තිබුණේ කණ්ඩායම් නායකයින් කිහිප දෙනෙක් හා නගර සභාවේ සභාපතිතුමන් හා සාමාජික කිහිප දෙනෙකි. එහි තත්ත්වය ඉතාමත්ම උග්‍ර වූයෙන් අම්බලන්ගොඩ හා කොස්ගොඩ පොලිස් ස්ථානවලින් නිලධාරි මහතුන් පිරිසක් පැමිණ සිටියහ. එහෙත් තත්ත්වය ඉතාමත් උග්‍ර විය. කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම ප්‍රදේශයේ උසාවියේ නඩුකාර විනිශ්චයකාරවරයකුගෙන් හෝ උසස් රාජ්‍ය නිලධාරිවරයෙකුගෙන් නියමයක් නොමැතිව කළ නොහැකි වූයෙන් බලපිටිය උසාවියේ විනිශ්චයකාරතුමා කැඳවාගෙන එන ලදී. එතුමා පැමිණ රැස්ව සිටි පිරිස අමතා විසිර යන ලෙස අණ කළත් ඊට අවනත වීමක් නොවූයෙන් දෙවැනි තුන්වැනි වරටද එම ඉල්ලීම කළත් පිරිස ඊට එකඟ නොවූයෙන් කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාරය එල්ල කිරීමට පොලිස් නිලධාරින්ට අවසර දී එම ස්ථානයෙන් ඉවත්ව ගියේය. අවසරය ලත් පොලිස් නිලධාරීන් පිරිස කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරත්ම කලින් සූදානම්ව පැමිණ සිටි පිරිස ද තමා රැගෙනවිත් තිබුණ ගල් හා පොලුවලින් පොලිස් නිලධාරින්ටද පහර දුන්හ. රැස්ව සිටි පිරිස බොහෝ දෙනෙක් දෑත් අතික් වසාගනිමින් හැරුණු හැරුණු දෙසට දිව ගියහ. කලහකාරී තත්ත්වය තරමක් සංසිඳෙන විට දෙපිරිස අතරේම තුවාලකරුවන් වූයෙන් පොලිසිය මගින් තුවාලකරුවන් බලපිටිය රෝහල වෙත ගෙනවිත් දමා සටන් නායක තුවාලකරුවන් පොලිස් මුරකාවල් යටතේ තබා ගත්හ. ඒ 11 වැනිදාය.

එහෙත් 11 වැනිදා සවස් වන විට හර්තාල්කරුවන් 12 වැනිදා පැවැත්වීමට නියමිත මහා හර්තාලය වෙනුවෙන් සූදානම් වීම සඳහා මහාමාර්ග පමණක් නොව අතුරු මාර්ග ද අවහිර වන සේ මාර්ග දෙපස වූ ගස් කපා පාරට දැමීමටත්, බෝක්කු පාලම් අවශ්‍ය වුවහොත් කඩා දැමීමටත් ඒවාට ඩයිනමයිට් සවි කිරීමටත් පටන් ගත්හ. දුම්රිය ගමන වැළැක්වීම සඳහා දොඩන්දූව - රත්ගම අතර දුම්රිය මාර්ගයේ පැට්ට්‍රල් හා බූමිතෙල් වත්කර ගිනි තැබීමෙන් සිල්පර කොටන් පුලුස්සා දැමීමටත් ක්‍රියා කළහ. එසේම රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ පිරිසක් රේල් මාර්ගයේ පීලිවල මූට්ටු ගලවා සිල්පර කොටන් සමගම මුහුද දෙසට ඇදගෙන ගොස් දමන ලදී.

හර්තාලය පැවැත්වීමේ දිනය වන 12 වැනිදා වන විට කිසිම මාර්ගයක වාහනයක් තබා පාපැදියක්වත් ගමන් කළ නොහැකි විය. හර්තාල්කරුවන්ගේ නොසන්සුන් තත්ත්වය වඩ වඩාත් උග්‍ර විය. මින් බියට පත්වූ අගමැති ඩඩ්ලි සේනානායක මහත්මා සහ ඇමැති මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවැත්වීම කෙළේ අගනුවර වරායේ තරමක දුරින් නවතා තිබුණු නැවකය. එහිදී ඔවුන්ගේ තීරණය වූයේ කෙසේ හෝ හර්තාලය මැඩපැවැත්වීම සඳහා හර්තාලයට සහාය දක්වන ප්‍රධානීන්ට පොලිසිය ලවා වෙඩි තැබ්බවීමටය. මේ සඳහා නියමිත වාර්තාවක් ජේ.ආර්. ජයවර්ධන ඇමැතිතුමා විසින් සකස් කර ඊට අනුමැතිය ලබාගැනීමට අගමැති ඩඩ්ලි සේසානායක තුමන් වෙත ඉදිරිපත් කළත්, ඔහු  ඊට එතරම් කැමැත්තක් නොදැක්වූයෙන් ජේ.ආර්. ජයවර්ධන ඇමැතිතුමා පෑන අගමැතිතුමාගේ අතේ තබමින් අත්සන ලබාගෙන එහි පිටපත් රාශියක් ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යැවූයෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් හර්තාල්කරුවන් වෙත වෙඩි තැබූයෙන් දොඩන්දූව, 

රත්ගම ප්‍රදේශයේ දෙදෙනෙක්ද, බෙන්තර ප්‍රදේශයේ දෙදෙනෙක්ද කොළඹ අවට හා මීගමුව ප්‍රදේශයේ කිහිප දෙනෙක්ද පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූහ. තවද බොහෝ දෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිසියේ රඳවාගෙන උසාවියට ඉදිරිපත් කරන ලදී. මෙසේ හර්තාලය මැඩපැවැත්වුවද,  දින ගණනක් යනතුරු කාර්යාලවලට සේවක පිරිස් නොපැමිණියෙන් කාර්යාල හා කර්මාන්තශාලා පමණක් නොව පාසල්වලට ළමුන් හා ගුරු පිරිස නොපැමිණියෙන් ඉබේම වසා තැබීමටද සිදුවිය. එබැවින් මෙලක්දිව පළමුවරට පැවැත්වූ මෙය මහා හර්තාලය විය. මින් ටික දිනක් පසුවෙත්ම මහත් කලකිරීමට පත්වූ අගමැතිතුමා පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් තමන්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය.

අත්අඩංගුවට ගත් බොහෝ දෙනෙක් උසාවියට ඉදිරිපත්කර නඩු පැවරූයෙන් ඔවුන් වෙනුවෙන් සම සමාජ පාක්ෂික කොල්වින් ආර්. ද සිල්වා නීතිඥතුමන් ඇතුළු වාමාංශික නීතිඥවරුන් නොමිලයේම ඉදිරිපත් වී බොහෝ දෙනෙක් නිදහස් කරගත් අතර කිහිප දෙනෙකුට පමණක් දින ගණනාවකට සිරගතවීමට සිදුවිය. මෙසේ මේ හර්තාලයේ ප්‍රතිඵලය වශයෙන් රටේ දේශපාලන තත්ත්වය ද වෙනස් විය.


  • සි. මාදුවගේ