AKD ගේ ඩබල් පොකට් රාජ්‍යතාන්ත්‍රිකත්වය


අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේ දී එළඹී ආරක්ෂක සහයෝගිතා ගිවිසුම, රජයට එරෙහි වෙන්නන්ගේ ඇහේ කටු ඇනීමක් වී ඇත.

පාර්ලිමේන්තුවේදී, අමාත්‍ය විජිත හේරත්, අවබෝධතා ගිවිසුම, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගැනීමට දැනුම්දුණි. එතරම් සරල නම්, ප්‍රති-ප්‍රශ්නය වෙන්නේ, “ගරු කථානායකතුමනි, මම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එළඹී ආරක්ෂක සහයෝගිතා ගිවිසුම සභාගත කරමි” යි පවසා, එය මන්ත්‍රීවරුන් අතර බෙදාගැනීමට නොසැලැස්වූයේ මන්ද යන්නය.  ගිවිසුම ජනගත නොවීම, එහි අන්තර්ගතය පිළිබඳව සැක, සමපේක්ෂණ ඇති කළේය. 

අදිසි ගිවිසුම!  

මාධ්‍යයට අනුව, ගිවිසුම ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ ආයතනිකකරණය අරමුණු කරගත්තකි. ඉන්දීය විදේශ ලේකම්, වික්‍රම් මිස්රිට අනුව, එය, “පවත්නා ආරක්ෂක සහයෝගීතා ක්‍රමවේද වඩාත් ව්‍යුහගත කරන” අතර, හමුදාපති හමුවීම්, ඒකාබද්ධ හමුදා අභ්‍යාස, ධාරිතා වර්ධනය, මානුෂීය ආධාර සහ ආපදා සහන, නාවික වරාය ඇමතුම් සහ ආරක්ෂක කර්මාන්ත සහයෝගීතාවට ගවේෂණාත්මක සාකච්ඡා පැවැත්වීම අයත් වේ.

රාජ්‍යතාන්ත්‍රිකව “ගවේෂණාත්මක සාකච්ඡාවක්” යනු මූලික හෝ අවිධිමත් අදහස් හුවමාරුවකි. විධිමත් සාකච්ඡා හෝ ගිවිසුම්ගත වීමට පෙර විභව විසඳුම් සාකච්ඡාවට හෝ ගවේෂණයට එය භාවිතා වේ. එසේනම් මහ බියක් නොඑළඹේ! කෙසේ වෙතත්, මෙම යෙදුම දෙබරයකට ගල් ගැසීමක් විය. අවසානයේදී, ගවේෂණාත්මක සාකච්ඡා, සීමානිර්ණයන් කළයුතු අතර, ගැටුම් ඇතිකළ හැකි ඇතැම් ප්‍රාරම්භයන්ගෙන් වැළකීසිටීමට තීරණ ද ගත යුතුය.   

හිටපු ජනාධිපති ලේකම්
ඔස්ටින් ප්‍රනාන්දු

යුදභාණ්ඩ කර්මාන්තය හැර අනෙකුත් නිශ්චිත කාර්යයන් ප්‍රශ්නාර්ථ නොවන ලෙස විවේචකයෝ සලකති. අතීතයේ, ඒවා ආරක්ෂක ක්‍රියාකාරකම්වලට වූ දායකත්වයද ඇගයේ. ඇතැමුන් යුදභාණ්ඩ කර්මාන්ත ක්‍රියාවලිය ප්‍රශ්නාභිමුඛ කළද, අවබෝධතා ගිවිසුමේ අන්තර්ගතය නොදැන මෙය මැනිය නොහේ.  කෙසේ වුවද, මෙම ලිපිය ආරක්ෂක ගිවිසුම සහමුලින්ම ප්‍රතික්ෂේපයට නොව,  ‘ගවේෂණාත්මක සාකච්ඡා’ වලදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන සුපරික්ෂකාරීවීම ඇඟවීමටය.     

මෙම අවබෝධතා ගිවිසුමට වසර පහක කාල රාමුවක් ඇති බැවින්, එකඟ වූ පරිද්දෙන් අවලංගු කළ හැකිය. එහෙත්, බලවතුන් සමගින් ගිවිසුම්වලින් ඉවත්වීම එතරම් සරල නොවේ. වසර පහ තාවකාලික සංඛ්‍යාවක් පමණකි.  යුදභාණ්ඩ කර්මාන්ත ගවේෂණයේදී, ඇබැද්දි අවදානම, ව්‍යාපාර ශක්‍යතාවන් ආදී හේතුන් නිසා, ඉන්දියාව, සාධාරණව, දිගුකාලීන ස්ථාවරත්වයක් ඉල්ලීමට සහ ගිවිසුමට නව කාලපරාස වලංගුකරණයක් නොවළහා ඉල්ලනු ඇත.  

කෙසේ වෙතත්, අප ඉන්දියානු යුදභාණ්ඩ කර්මාන්ත සංස්ථාපිතයේ “නියෝජිතයෙකු” වූවහොත්, අතිශයින්ම පරෙස්සම් වියයුත්තේ, එය යම් විටෙක ආරක්ෂක අවදානම්වලට ‘ආරාධනා’ කරන හෙයිනි  ඉන්දියාවේ යුදභාණ්ඩ කර්මාන්ත බොහොමයක් දකුණේ ස්ථානගත කිරීම, මේ අවදානමේ ස්වයං පැහැදිලි කිරීමකි. එබැවින්, අප ‘ඉන්දියාවේ ඊළඟ යුද කර්මාන්ත ව්‍යාපෘති මූලය නම්, එය සංකීර්ණ, භයානක ගැටයකි. 

සමහර විචාරකයෝ, අවබෝධතා ගිවිසුමේ අන්තර්ගතය පුම්බවා, ඉන්දියාවේ අනාගත යුද්ධවලදී අප හමුදා සහභාගීත්වය පුරෝකථන කරති. ලේකම් මිස්රි එවැන්නක් ප්‍රකාශ නොකරයි. යුද නැව්/සබ්මැරීන 150, රෆායෙල් ප්‍රහාරක යානා 36, සුඛෝයි Su-30MKI ප්‍රහාරක ජෙට් යානා සහ MiG-29 යානා 115 ක් පමණ සතු, ගෝලීය අග්නිප්‍රහාර බල දර්ශකයේ සිව්වැනියා වෙන, ලොව දෙවැනි විශාලතම හමුදා බළකාය සහ විශාලතම ස්වේච්ඡා හමුදාව සතු ඉන්දියාව, එවන් යුද ද්‍රව්‍ය එකකුදු අහිමි අපෙන්, හමුදා සහයෝගීතාව අපේක්ෂා කරන බව පවසා විහිළු‍ සපයති.   

රට බංකොලොත් වෙන තුරු, මිලිටරි ආක්‍රමණ බිය පතුරුවමින්, ඍණාත්මක ආර්ථික ප්‍රතිපල සිතාමතා සඟවමින්, චීන ආයෝජනවලට එරෙහිව කළ විචාර, මෙවන් ලාංකීය පුරෝකථන සඳහා දේශපාලන පරිචයට සාක්ෂිය. ත්‍රිකුණාමලයේ ඇමෙරිකානු-ඉන්දියානු-ශ්‍රී ලංකා ඒකාබද්ධ හමුදා කඳවුරු පිහිටුවීමේ, වික්ටෝරියා නූලන්ඩ්ගේ යෝජනාව, ස්වෛරීත්ව පදනමින්  විවේචනය කරන ලද අතර, ඉන්දියානුවන් පවා එවැන්නක් කළහොත් අනිවාර්යයෙන්ම දැඩිව විවේචනයට ලක්විය යුතුය. එබැවින්, මැදිහත්කරුවන් විය හැකි ජාත්‍යන්තර උපාමාරු, සැලකිල්ලට ගත යුතුය.

ආරක්ෂක ගිවිසුමට හේතු අනුමානය 

ගිවිසුම අනුව, යුදභාණ්ඩ කර්මාන්තමය සහයෝගිතාව දැනට නිෂ්පාදන විභවය ගවේෂණයට සීමාවී ඇතිසේය. ඉන්දියාවට පුළුල් අන්තර්ජාතික යුද කර්මාන්ත සම්බන්ධතාවන් ඇතත්,  ගවේෂණයකදී අප අඩු ප්‍රමුඛතාවක් දක්වයි.  ‘ආත්මනිභාර් භාරත්’ යටතේ දේශීයකරණයක් ඉඟිකළත්, ඉන්දියාව, ඇමෙරිකාව, රුසියාව, ප්‍රංශය හා ඊශ්‍රායලයෙන් ඩොලර් බිලියන ගණනින් ආරක්ෂක මෙවලම් මිලදී ගැනීම් කරයි. එහෙයින් සම්මුතිය ව්‍යාපාරයෙන් බැහැර හේතු මත වෙතැයි අනුමාන වේ.   

අනුමානයන් ගැන සිතුවොත්, ඉන්දියාව මායිම්වලට සබැඳි ආරක්ෂක සංකීර්ණතා කිහිපයකට මුහුණ දෙයි. ඉන්දීය සාගර-කලාපයේ චීන ආර්ථික හා මිලිටරි ව්‍යාප්තවාදය, උතුරු මායිමේ චීන ගැටුම්,  නේපාලයේ කලාපානි පෙදෙසේ අර්බුදය,  පකිස්තාන මායිමේ හා පකිස්තාන-පාලිත අසාද් - ජම්මු කාශ්මීර් ගැටලු, ගිවිසුම්ගතව සිටියද නේපාලය, භූතානය හා බංගලිදේශයට චීන බලපෑම්, පසමිතුරු බංග්ලාදේශය හරහා චීනයෙන් හා පකිස්තානයෙන් වියහැකි ද්වීතික ආරක්ෂක ගැටලු ආදිය නිසා, ඉන්දියාවට ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සබඳතා ශක්තිමත් කරගැනීමටද අවශ්‍යය. ශ්‍රී ලංකාවට අන් බලපෑම් වෙතැයි සැකයෙන්, ඉන්දියාව අප්‍රමාද ද විය යුතුය.   

වර්තමාන රජයේ දේශපාලන මතවාදය සහ අතීතයේ දැක්වූ ප්‍රතිචාර ඉන්දියාව අමතක කළ සේය. ඉන්දියානු සාගරයට මුහුණලා ඇති දක්ෂිණම දේශය වීමටද, ඉන්දීය අවධානය යොමුවෙන්නට ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධාන ක්‍රියාත්මකයේදී, අප ලද ඉන්දීය උපකාර, ගිවිසුම සාකච්ඡා පහසු කරන්නට ද ඇත.  

බාහිර ගිවිසුම් හා මුසුකිරීම්           

අගමැති මෝදි සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෑතදී සිදුවූ ද්විපාර්ශ්වික සාකච්ඡා නව මිලිටරි සබඳතා ඇති කළ අතර, තාක්‍ෂණ හුවමාරුව, නිෂ්පාදන ව්‍යාපාර සහ ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමට උපායමාර්ගික මුලපිරීමකට සූදානමකි. අප  ජාත්‍යන්තර යුදභාණ්ඩ කර්මාන්තයේ දුබලයින් හෙයින්, අවබෝධතා ගිවිසුමෙන් ලැබෙන “ගවේෂණ” ප්‍රතිපල සාපේක්ෂකව අඩුවේ. එසේවුවද, එමගින් නවපන්නයේ ආරක්ෂක සහයෝගිතාවන් විවර කිරීමටද ඉඩ ඇත. 

ඉන්දියාවේ යුදභාණ්ඩ කර්මාන්ත ක්‍රියාවලීන්ට අතිරේකව හෝ ඒකාබද්ධ වීමට අවස්ථා, එක්සත් ජනපද-ඉන්දීය COMPACT මගින් (21 වන සියවස සඳහා මිලිටරි හවුල්කාරිත්වයකි.)  සැලසිය හැකිය. ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම වසර අගදී, දස අවුරුදු ආරක්ෂක රාමුවක් විධිමත් කිරීමට අපේක්ෂා කරන අතර, තාක්ෂණය, වෙළෙඳාම සහ ආරක්ෂක-කාර්මික සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කිරීමෙන් හමුදා හවුල්කාරිත්වයන් වර්ධනය කරනු ඇත. 

ඉන්දියානුවන්ට, ශ්‍රී ලංකාව මේ අංශවලට සහභාගී කරගැනීමට හැකිද? මේවා කවරේදැයි විපරමින් ගවේෂණයට, අනුගමනයට අවස්ථාය. 

එක්සත් ජනපදය සහ ඉන්දියාවQuad හි සාමාජිකයින් හෙයින්, ආරක්ෂක කාර්මික සහයෝගීතාව සඳහා ‘එක්සත් ජනපද-ඉන්දියානු මාර්ග සිතියම’ මත, නායකයින් දෙදෙනා (ට්‍රම්ප්-මෝඩි) ‘ස්වයංක්‍රීය පද්ධති කර්මාන්ත සන්ධානය’ (ASIA) නමින් නව මුලපිරීමක් නිවේදනය කළහ. එය ‘දිය යට’  පර්‌යේෂණ තාක්ෂණයන් කෙරෙහි අවධානය යොමු කරයි.  ඉන්දියාව  එවැනි සංවේදී පද්ධති සඳහා ඇමෙරිකාව සමග සහයෝගය දක්වන පළමුවැන්නාය. 

චීන සාගර විද්‍යාත්මක පර්යේෂණ ඉල්ලීම් පිළිබඳ ඉන්දියානු සංවේදීතාවන් අපි දනිමු. සාගර විද්‍යාත්මක  පර්‌යේෂණවලින් චීනය දුරස්ථ කිරීමට ඉන්දීයයන් ප්‍රියමනාපය. එහෙයින්ම, යම්හෙයකින් ඊට අප අනනුකූල වුවහොත්, ආරක්ෂක අවබෝධතා ගිවිසුමේ මෙහෙයුමට බාධාවක් විය හැකිය. 2024 දෙසැම්බර් ඒකාබද්ධ ප්‍රකාශය හා ආරක්ෂක අවබෝධතා ගිවිසුම සාකච්ඡා කරන විට, සාගර විද්‍යා  පර්‌යේෂණ පිළිබඳ ඉන්දියාවේ සැබෑ උනන්දුව, මිස්රි ලේකම්තුමා නොසැඟවීයයි සිතමි. තොරතුරු සැඟවීම සංවේදී අවශ්‍යතා ආරක්ෂා කරන අතර, මෙහි තවමත් සිදුවී නැතිමුත්, ආඛ්‍යානය (narrative) පාලනයට හෝ සංවේදී සාකච්ඡා සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් එය භාවිතා කරන බවත් දනිමු. ශ්‍රී ලංකාව පැත්තේ සාකච්ඡාකරුවන්, බුද්ධිමත් ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ මා ඇලු‍ම්කරන අතිදක්ෂ අමාත්‍ය ආචාර්ය ජයශංකර් ගැන සැලකිලිමත් විය යුතුය.

ආරක්ෂක සහයෝගිතා අවබෝධතා සඳහා 2024-දෙසැම්බර් ඒකාබද්ධ ප්‍රකාශය දැක්වූ ජලවිද්‍යා ප්‍රමුඛත්වය චීනයට ගැටලුවක් නොවූවත්, ගවේෂණාත්මක සාකච්ඡාවලදී ඉන්දීයයන් සාගරවිද්‍යා කාර්යයන්ට මැදිහත් වූවොත්, ඔවුන් කලබල වෙනු ඇත.  ඉන්දියානුවන් ආරක්ෂක අවබෝධතා ගිවිසුම හරහා සාගර විද්‍යාත්මක පර්‌යේෂණ සඳහා ප්‍රවේශය තනිව ලබා ගතහොත්, තත්ත්වය අතිශයින් අසීරුවෙනු ඇත.

ජනාධිපති දිසානායක, සැඟවුණු ආකාරයකින් ප්‍රතිචාර වෙමින්, අගමැති මෝදිගෙන් ඉල්ලා සිටියේ, සුවිශේෂී ආර්ථික කලාපයෙන් (EEZ) ඔබ්බට, අපගේ මහාද්වීපික තටාකයේ බාහිර සීමාවන් ස්ථාපිත කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව ඉදිරිපත්කර ඇති  හිමිකම් පෑම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික තාක්ෂණික සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට මැදිහත්වෙන ලෙසයි.

ශ්‍රී ලංකාව (2009 සිට) සහ ඉන්දියාව (2024 සිට) පිළිවෙළින් EEZ සහ දකුණු ඉන්දීය සාගරයේ ගවේෂණ අයිතිවාසිකම් ඉල්ලා ‘ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරිය’ වෙත නියෝජන කර ඇති බව දන්නා ජනාධිපති දිසානායක, එමගින් ‘අෆ්නාසේ නිකිතින් සී මවුන්ට්’ ගැටලුවට වංගුවක් ගැසීමට තියුණු විය. 

ඉන්දියානු ඉල්ලීම් අඩක් මෙහෙයවන්නේ සමුද්‍ර කලාපයේ ඔත්තු බලන චීන යාත්‍රා පිළිබඳ ලැබෙන වාර්තා සහ ‘නිකිතින් සී මවුන්ට්’ කබොලෙහි පොහොසත් කොබෝල්ට් සම්පත් කෙරෙහි ඇති උනන්දුව නිසා බව ඔහු දැන සිටියේය. අගමැති මෝදි සහ ලේකම් මිස්රි, ජනාධිපතිතුමාගේ ඉල්ලීම සම්බන්ධයෙන් නිහඬවීම, ගැටලු‍ව මැදිහත්කරුවන්ට භාරදීම ඇඟවීමක් හෝ ඉන්දියානුවන්ගේ  ඍණාත්මකබව ප්‍රදර්ශනයක් විය හැකිය.

ජනාධිපති දිසානායකගේ ඉල්ලීමට ඉන්දියානුවන් එකඟ වුවහොත්, EEZ සීමානිර්ණයට සහාය දුන්, අසල්වැසි, ‘ලේ නෑයෙකුවූ’, ණය අර්බුදයේදී පළමු ප්‍රතිචාරක මිතුරෙකුට එරෙහිවීමට අපහසුව නිසා චීන ඉල්ලීම්වලට එකඟවීමට ඇති දුෂ්කරතාව ගැන  චීනයට පණිවුඩයක් දීමකි.  

එසේ සිදුවුවහොත්, ශ්‍රී ලංකාව මෙම ගැටලු‍ව සම්බන්ධයෙන් ඉන්දියානුවන් සමඟ දැඩිව රැඳී සිටිය යුතුය. විශේෂයෙන් UNHRC සහ ආර්ථික කටයුතුවලදී චීනය උදව් කර ඇති බව සත්‍ය මුත්, විචාරක ජෙහාන් පෙරේරා ලියූවේ, ”‍එහෙත්, මිතුරන් අතර, සෑම විටම පළමුවැන්නෙක් සිටිය යුතුය.”‍ යනුවෙනි. 
තත්ත්වය සමනයට ගවේෂකයන්ට විකල්ප විසඳුමක් සොයාගත හැකිද?

ඉන්දියානු බුද්ධි අංශ, මාක්ස්වාදී මූල, චීන හිතෛශී ජනබලවේග ජයග්‍රහණය පුරෝකථනයක් නිසා, ජනබලවේග රජයක්, චීන ජාතිකයන් EEZ හි සාගර විද්‍යාත්මක පර්‌යේෂණයන්හි සම්බන්ධ කරගනිතැයි සැකය නිසා, 2024 මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඉන්දියානු මැදිහත්වීම සිදුකිරීමට හේතුවීයැයි සැක නිසා, ජනාධිපහිවරයා ගත් පියවර එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරාදමන මිත්‍රශීලී ප්‍රවේශයකි. මැදිහත්කරුවන්ට සම්මුතිවාදී හිතකර ස්ථාවරයන් සෙවිමට මෙය අභිප්‍රේරණය කරනු ඇත.  

ඉන්දියාවේ තෙරපන ප්‍රවේශ  

“අපට පොදු ආරක්ෂක අවශ්‍යතා ඇති බව අපි විශ්වාස කරනවා. දෙරටේම ආරක්ෂාව අන්තර් සම්බන්ධිත සහ සහජීවනයෙන් යුක්තයි”‍ යනුවෙන් අගමැති මෝදි හෙළිකළේ ඉන්දියානු ආරක්ෂක අවශ්‍යතාය. එය පිළිගන්නේ නම් අප ‘අඛණ්ඩ භාරත්‘ සංකල්පය බෙදාහදා  ගන්නේ ද? අපි ඉන්දියානු-රුසියානු-ඇමෙරිකානු-ඊශ්‍රායල ආරක්ෂාව සහ ආරක්ෂක අන්තර් සම්බන්ධතා අපගේ ලෙස අනුමත කරන්නේද? අප චීන-ඉන්දියානු ගැටුම්වලට සම්බන්ධ වෙන්නේ ද? අපට මේවා ගැන සැකසංකා තිබිය හැකිය.   

අගමැති මෝදිගේ උපායමාර්ග තහවුරුවක්, ලේකම් මිස්රි ‘රාජ්‍ය තාන්ත්‍රික අනුමත උපක්‍රමය‘ (diplomatic endorsement tactic) මගින් ඉටුකරන බවට සංකීර්ණ උපුටනයක් දක්වමි.. ආරක්ෂක අවබෝධතා ගිවිසුමට පාදක වූ  උපායමාර්ගික තාර්කිකත්වය පැහැදිලි කරමින්, ලේකම්වරයා මෙසේ පැවසීය: ‘.... ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවේ සම්පූර්ණ අන්තර් සම්බන්ධිත ස්වභාවය දෙපාර්ශ්වයේම ආඛ්‍යානවල සමීප අභිසාරීතාවයෙන් (convergence) හඳුනාගත හැකිවී ඇති බව පවසමි’ සරලව පැවසුවොත් දෙපාර්ශ්වයේම ආරක්ෂක ස්ථාවර නිවුන් සොහොයුරන් මෙනි!

අපගේ සම්පූර්ණ ආරක්ෂක අන්තර් සම්බන්ධතා හඳුනාගැනීමේ අපගේ අයිතිය, ඔහු සුහුරු ලෙස ‘උදුරා’ ගති. අගමැති මෝදිගේ ‘අන්තර් සම්බන්ධතාව සහ ‘සම-යැපීම‘ සංකල්පය නැවත අවධාරණය කරමින්,  ‘ආඛ්‍යානවල අභිසාරීත්වය‘ සහ ‘අන්තර් සම්බන්ධ කිරීම‘ වැනි තාක්ෂණික වදන්  මගින් මිස්රි අපව ඉන්දියාව සමඟ පමණක් තනිකරයි. ඉන්දීයන්, පෝක් බොක්ක ධීවර ගැටලුව හෝ කච්චතිව්, ‘ආරක්ෂක සහ-යැපීම‘ සහ ‘අන්තර් සම්බන්ධ කිරීම‘ යටතේ සලකනු ලැබුවහොත්, මැදිහත්කරුවන් පුදුමයට පත් නොකරනු ඇත. තමිල්නාඩු සාධකය දිල්ලිය “කුලප්පු” කරන හෙයිනි. පරෙස්සම් වෙන්න, මිස්රි අපගේ නිහඬ ලේකම්වරුන් අභිබවා ඉලක්ක ගන්නෙකි!

ලේකම් මිස්රි පැවසුවේ, “ඇත්ත වශයෙන්ම, මට නිවැරදිව මතක නම්, අද සාකච්ඡා අතරතුර ඔහු (ජනාධිපති දිසානායක) පැවසුවේ, ශ්‍රී ලංකාවේ භූමිය හෝ ඒ වටා ඇති සාගරය ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකර ලෙස භාවිතා කිරීමට ඉඩ නොදෙන බවයි.” එය ‘අභිසාරී ආඛ්‍යානය’ පුළුල් කරතියි කෙනෙකුට සිතීමට ඉඩ සලසයි. 

පසුගිය දෙසැම්බරයේ ඒකාබද්ධ ප්‍රකාශයේ, ‘ජනාධිපති දිසානායක ඉන්දියාවේ ආරක්ෂාවට මෙන්ම ‘කලාපීය ස්ථාවරත්වයට’ කිසිදු ආකාරයකින් සතුරු ආකාරයකින් තම භූමිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බවට ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත ස්ථාවරය නැවත අවධාරණය කළේය’ යයි පැවසුණි. ලේකම් මිස්රි, ‘භූමිය’ විශේෂයෙන් අර්ථකථනය කරමින් ‘පුළුල්’ කර ඇත. එය චීන සාගර විද්‍යාත්මක පර්යේෂණ ඉල්ලීම් සෘජුවම ඉලක්ක කිරීමකි. කෙසේ වෙතත්, එහිලා ඉන්දියානු ආකල්ප නොරහසකි.  

මෙම ආරක්ෂක සහයෝගීතා අභ්‍යාසය අනෙකුත් ඉන්දියානු අසල්වැසියන්ටද පොදුය. එබැවින්, සාකච්ඡාකරුවන් ඉන්දියානු ‘අන්තර් සම්බන්ධතා’ සහ ‘සම-යැපීම’ විධිවිධාන තීරණය කිරීමට පෙර, සඳහන් නොකළ දේ අධ්‍යයනය කිරීමේදී පරෙස්සමෙන් සැරිසැරිය යුතුය.  අනෙකුත් ඉන්දියානු සහ ශ්‍රී ලංකා කැපවීම් සංසන්දනය කළ යුතුය. කිසි අන්තර්ජාතික මිලිටරි  තර්ජනයක් අපට නොමැති බැවින්, දැවැන්ත අභිසාරීතාවට ප්‍රමුඛත්වය දීමේදී අපගේ ස්වෛරීභාවය පිළිබඳ අයිතිවාසිකම් රැකගත යුතුය.

ඉන්දියානු සහාය ඇතිව උපමාරුදැමීම (maneuvering)

ඉන්දියාව සහයෝගයෙන් කටයුතු කළහොත්, ආරක්ෂක හෝ ආර්ථික කටයුතු සඳහා ඉන්දියානු මැදිහත්වීම ශ්‍රී ලංකාවට වාසිදායකය. එය උපාමාරු දැමීමෙන්ද විය හැකිය. උදාහරණයක් ඒකාබද්ධ ප්‍රකාශයෙන් උපුටමි. 

එහි 13 (ii) (ඇ) යටතේ, “දැරිය හැකි සහ විශ්වාසදායක බලශක්ති සැපයුම සඳහා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට බහු නිෂ්පාදන නළ මාර්ගයක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සහයෝගීතාව” යනුවෙන් සඳහන් වේ. එයට මෝදි-රනිල් ‘දැක්ම ප්‍රකාශයේ’ (Vision Statement) සලකුණු ද ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම ව්‍යාපෘතියට සහ එහි භූමිකාවට සම්බන්ධ වූයේ කෙසේදැයි කෙනෙකුට සිතෙනු ඇත. ලේකම් මිස්රි ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ හි (-‘Eye on China, India inks Sl deal for energy hub in Trincomalee’ 7-4-2025) වාර්තාවූයේ, “අවබෝධතා ගිවිසුම යටතේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට සාකච්ඡා ආරම්භ වූ පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භූමිකාවේ නිශ්චිත සමෝච්චයන් කුමක්ද යන්න විස්තාරණය කිරීමට නියමිත දෙයක් වනු ඇත.” තරමක රහසිගත සේය.  ඉන්දීය අරමුණ චීනයට ප්‍රහාරයක් දීමටය. 

තවත් බොහෝ සාධාරණීකරණයන් තිබිය හැකි නමුත්, අප දැනුමට හසුවී නැත්තේ ඉන්දියාව, ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එක්සත් ජනපදය අතර උපායමාර්ගික හවුල්කාරිත්වයක් වන I2U2 සංවිධානය සමඟ ඉන්දියාවේ සම්බන්ධයයි. 2022 දී පිහිටුවන ලද එය, කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව, බලශක්ති සංවර්ධනය, යටිතල පහසුකම් සහ ප්‍රවාහනය පිළිබඳ ගැටලු විසඳීමට මැදිහත් වේ. ඒ අතර,, “ලොව පුරා සන්ධාන සහ හවුල්කාරිත්වයන් පද්ධතිය පුනර්ජීවනය කර නැවත බලගැන්වීම පමණක් නොව, කලින් නොතිබූ හෝ ඒවායේ සම්පූර්ණ ධාරිතාවට හවුල්කාරිත්වයන් එකට එකතු කිරීම”ද එහි අපේක්ෂාවයි. 

සරලව පැවසුවහොත්, ඔවුන්ගේ බාහිර සංවිධාන, නව හවුල්කරුවන් සමග සම්බන්ධ කරගැනීමෙන්, ඉන්දියානුවන් ඉන්දියාවට ප්‍රතිලාභ ලබාගනී.  අපට එය විවේචනය කළ නොහැක්කේ රජයන් කළ යුත්තේ එය හෙයිනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අදාළ  නොවුණත්, අපට පිළිගත නොහැකි ඉන්දියානු මිතුරන් සිටිය හැකි හෙයින්,  මැදිහත්කරුවන් එවන් ප්‍රවේශයන් අධ්‍යයනය කළ යුතුය. 

කෙනෙකුට මෙයද බේසමක තවත් කිඹුලෙකු දැකීමක් ලෙස හැඳින්විය හැකිය. නමුත් නිසැකවම එය අප වක්‍රව සහ නොදැනුවත්වම II2U2 හෙවත් ”‍බටහිර ආසියානු ක්වාඩ්”‍ තුළට ඇතුළු වෙනවාද යන්න තීරණය කරයි. මැදිහත්කරුවන් අගමැති මෝදිගේ ‘බෙදාහදාගත් ආරක්ෂා‘ සීමාවන් දැන සිටිය යුත්තේ එහෙයිනි. 

සමාප්තිය 

අලු‍ත් අවුරුදු උදාව සමගින්, ජනාධිපති දිසානායකට ආරක්ෂක සහයෝගිතා අවබෝධතා ගිවිසුමෙන් පැන නගින, මුහුණ දියයුතු ගැටළු හෙළිවෙනු ඇත. ඒවා  සමහරක් ඉහත සාකච්ඡාකර ද  ඇත. අවබෝධතා ගිවිසුමේ ඵල දැරීමට බොහෝ දේ සිදුවිය යුතුව ඇත. එහිදී, විශේෂයෙන්ම යුදභාණ්ඩ කර්මාන්ත ගැටලු‍වලදී ‘ආරක්ෂාවීම’ මුරපදය වේ. ආරක්ෂක අවබෝධතා ගිවිසුමේ, අපට ඇසෙන ඉතිරි කොටස ගැටළු සහගත බවක් නොපෙනේ. එය දැන් ක්‍රියාත්මකද වේ.

උවිඳු කුරුකුලසූරියගේ ෆෙස්බුක් ගිණුමේ, ජනාධිපති දිසානායකගේ  “ඩබල් පොකට් ෂර්ට්” පිළිබඳ හාස්‍යජනක පොස්ටුවක් තිබුණි. එහිදී, හාස්‍ය ජනන ‘සමරේ’, ජනාධිපති දිසානායකගේ “ඩබල් පොකට් ෂර්ට්” හි අර්ථය ඔහුගේ කථන විලාසය අනුකරණයෙන් පැහැදිලි කරයි. ඒ අනුව, ‘ඩබල් පොකට්’ සංකේතවත් කරන්නේ අසමතුලිතයන් සමතුලිත කිරීමට ජනබලවේග රජයට ඇති හැකියාවයි. ජනාධිපතිවරයාගේ ස්වරයෙන් සමරේ කමිස සාක්කු ස්පර්ශ කරමින් “අපට ඉන්දියානු මුදල් දමන්න එක පොකට්ටුවක්” හා “චීන මුදල් සඳහා තවත් පොකට්ටුවක්” තියෙනවා, සහ  “අපට දෙපැත්තම බැලන්ස් කරන්න පුළුවන් ” යි පවසයි.

උපහාසය පසෙක තබා, ආරක්ෂක සහයෝගිතා අවබෝධතා ගිවිසුම සමරේගේ “ඩබල් පොකට්” සිද්ධාන්තය අනුව ක්‍රියාත්මකයෙන්, ගිවිසුමේ සමුච්චය වෙන, චීන සහ ඉන්දියානුවන්ගේ අනනුකුලතා ජනාධිපතිතුමාට ප්‍රායෝගිකව සමනය කළහැකි වේද යන්න සනාථ කරනු ඇත. ජනාධිපති දිසානායකට ඇති අභියෝගයද එයයි. සාර්ථකත්වයට, ඔබට සුබපැතුම්, ජනාධිපතිතුමනි!

(18-4-2025 දින ‘ඩේලි ෆිනෑන්ෂල් ටයිම්ස්’ හි ‘AKD’s ‘double pocket’ diplomacy?’ ලිපිය අනුසාරයෙනි)