IMF තුන්වැනි වාරිකයෙන් ඔබ්බට


වර්තමානයේ ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දායකත්වය හා බලපෑම ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව පෙනීයන කරුණකි. මෙවන් පසුබිමක තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එහි ක්‍රියාකාරීත්වය මෙන්ම වර්තමානය වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා සම්බන්ධතාවේ ස්වරූපය පිළිබඳව අවබෝධයක් තිබීම සජීවී ආර්ථික ගවේෂකයෙකුට වැදගත් සාධකයකි. 1952 දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සාමාජිකත්වය ලබා ගැනීමත් සමග ආර්ථිකය තුළ විවිධ අවස්ථාවන්හිදී හටගත් මූල්‍යමය ගැටලු විසඳාගැනීම පිණිස ඉන් ලැබුණු දායකත්වය ප්‍රශංසනීය වේ.


විශේෂයෙන්ම එහිලා ලබාගත් ණය හා අරමුදල් ශ්‍රී ලංකා ආර්ථිකය බිඳ නොවැටී ඉදිරියට ගෙන ඒමට මහත් රුකුලක් විය. සමීපස්ථ ණය සැපයුම, දීර්ඝ කරන ලද විස්තීර්ණ අරමුදල් පහසුකම, හානි පූරණ ණය පහසුකම, ව්‍යුහාත්මක ගැළපුම් පහසුකම්, ආපදා ආධාර ආදී විවිධ ණය හා අරමුදල් මේ සඳහා උදාහරණ වශයෙන් ඉදිරිපත් කළ හැකි ය. ණය අරමුදල් සැපයීමට අමතරව ගෙවුම් ශේෂ ගැටලු අවම කරලීම උදෙසා අවශ්‍ය උපදෙස් හා විධිවිධාන සැපයීමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සිදු කරන ප්‍රධානතම කාර්යභාරයක් වශයෙන් හඳුනාගත හැකි ය.
අර්බුදයට පිළියම 
2022 වසරේ මෙරට පැවැති ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අනුමත කළ විස්තීර්ණ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ මුදලක් ලබා ගැනීමට හැකිවිය. මේ වන විට එයින් වාරික දෙකක් ලැබී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය පසුගිය 12 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ දෙවැනි සමාලෝචනය අනුමත කළේය. 
ඒ අනුව ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහය දැක්වීම සඳහා විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) විධිවිධාන යටතේ තෙවැනි වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 336 ක් ලැබීමට නියමිතය.
ඒ අනුව මේ වෙනවිට ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1 ක් පමණ මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම විස්තීර්ණ ණය පහසුකම යටතේ මුදාහැර තිබේ.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, දිළිඳු සහ අවදානමට ලක්වූවන් කෙරෙහි අර්බුදයේ අහිතකර බලපෑම් අවම කිරීම, මූල්‍ය අංශයේ ස්ථායිතාව ආරක්ෂා කිරීම සහ පාලනය මෙන්ම මධ්‍ය කාලීන වර්ධන විභවයන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාමට මෙමගින් අඛණ්ඩ සහාය හිමිවන බව සහතික කෙරේ.
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය 
ශීඝ්‍ර උද්ධමනය, බදු ආදායම වැඩි කිරීම, මූල්‍ය ශේෂ වැඩිදියුණු කිරීම, ශක්තිමත් පරිභෝජනය සහ පෞද්ගලික ආයෝජන මෙන්ම ශක්තිමත් සංචිත සමුච්චය ඇතුළුව ප්‍රශංසනීය ප්‍රතිඵල සමග විස්තීර්ණ ණය පහසුකම යටතේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් ලබා ඇතැයි තීරණය වී තිබේ.  
වත්මන් රජය 2023 දෙසැම්බර් අවසානය වෙනවිට සියලු‍ම ප්‍රමාණාත්මක ඉලක්ක සම්පූර්ණ කිරීමට සමත්ව ඇති බවද මෙහිදී සඳහන් කළ යුතුය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා බහුතරයක් ක්‍රියාත්මක කරමින් රටේ ආර්ථිකය ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළේ සාර්ථකත්වය මෙමගින් තහවුරු කර තිබේ. 2024 අප්‍රේල් අවසානය වන විට බොහෝ ව්‍යුහාත්මක ඉලක්ක ප්‍රමාදයකින් තොරව සපුරාලීමට හෝ ක්‍රියාත්මක කිරීමට රජය සමත්ව ඇත.
මෙරට තිරසර ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් ආර්ථිකය තිරසර ප්‍රතිසාධනය සහ ණය තිරසරභාවය කරා යන මාවතකට ගෙනඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදුන් මෙම තෙවැනි ණය වාරික මුදල ඉතා වැදගත් වන බවද අවධාරණය කළ යුතුය.


තවද, ආර්ථික වර්ධනය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.6ක් දක්වා ධනාත්මක බවට පත් වූ අතර, අඛණ්ඩව කාර්තු 6 ක සංකෝචනයකින් පසුව, එම තත්ත්වය සියයට 4.5ක් දක්වා වැඩි විය. 2022 දී සියයට 7.3 ක් වූ බදු ආදායම 2023 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.8ක් දක්වා ඉහළ නැංවීමත් සමග ප්‍රාථමික ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.6 ක අතිරික්තයක් වාර්තා කර ඇත. 2022 සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 70 ක උපරිමයේ සිට 2024 මැයි මාසයේදී සියයට 0.9ක් දක්වා අඩුවී ඇත. ප්‍රධාන වශයෙන් සැලකිය යුතු විදේශ විනිමය මිලදී ගැනීම් හරහා 2024 අප්‍රේල් අවසානය වන විට දළ නිල සංචිත (GOR ) මුළු තොගය අමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා වැඩිවිය. 
සංචාරක ඉපැයීම්වල සැලකිය යුතු වැඩිවීමක්,  ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල ශක්තිමත්   වර්ධනයක්  සහ  වෙ​ෙළඳ භාණ්ඩ ආනයනයේ විශාල අඩුවීමක් හේතුවෙන්, ශ්‍රී ලංකාව 1977 න් පසු ප්‍රථම වතාවට 2023 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.8 ක ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත්ව තිබේ.
මේ අනුව මධ්‍ය කාලීනව ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. උද්ධමනය තනි ඉලක්කමක මට්ටමේ පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, සංචාරක පැමිණීම් සහ ප්‍රේෂණ වැඩිවීමත් සමග විදේශ අංශයේ ජංගම ගිණුම ධනාත්මකව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
IMF තීරණය 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවෙන් අනතුරුව එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා මහතා අරමුදල් ආධාරක වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත්ව පවතින බව සඳහන් කළේය. එසේම සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කයේ ආන්තික හිඟය හැර, සියලු‍ ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගෙන ඇති බවද පැවසීය.
බොහෝ ව්‍යුහාත්මක ඉලක්ක ප්‍රමාදයකින් හෝ සපුරා ඇති අතර,  ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ගැළපීම් පලදරන මට්ටමකට පැමිණ ඇති බවත් කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළේය. 
එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ද ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන්ගෙන ඇති අතර, උද්ධමනය අඩු මට්ටමක පවතින බවයි. ආදායම් එකතු කිරීම වැඩිදියුණු කිරීමට වත්මන් රජය ක්‍රියාකරමින් සිටින අතර සංචිත අඛණ්ඩව එකතු වන බවද ඒ මහතා සඳහන් කළේය. ඒ හමුවේ මෙම ලබාදෙන ණය වාරිකය නිසා ශ්‍රී ලංකාවේ හදිසි අවදානම් අවම කිරීමට හැකියාව තිබෙන බවද කෙන්ජි ඔකමුරා මහතා පෙන්වා දුන්නේය.
තවද, මූල්‍ය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා, තිරසර ආදායම් බළමුළු ගැන්වීමේ ප්‍රයත්නය, වැඩසටහන් ඉලක්කවලට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් අවසන් කිරීම සහ සමාජ හා ප්‍රාග්ධන වියදම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ. ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය දියුණු කිරීම, මූල්‍ය විනය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර ණය කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම ද අවශ්‍ය වේ.
මුදල් ප්‍රතිපත්තිය මිල ස්ථායීතාවට ප්‍රමුඛත්වය දෙමින් ඉදිරියට යා යුතු අතර,  මූල්‍යකරණයෙන් වැළකී සිටීමට සහ මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට තිරසර කැපවීමකින් සහාය විය යුතුය. අඛණ්ඩ විනිමය අනුපාත නම්‍යශීලීභාවය සහ ගෙවුම් ශේෂය ක්‍රමයෙන් ඉවත් කිරීමද ඉදිරියේදී තීරණාත්මකව සිදු කළ යුතුය.
පසුගියදා ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බවයි.
මෙම වැඩපිළිවෙළ මගින් ලබන සැප්තැම්බර් මාසය වෙන විට ශ්‍රී ලංකාවට බංකොලොත්භාවයෙන් මිදීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන අතර රජයේ එම ප්‍රයත්නයන්ට සහාය දැක්වීමට සාමූහිකව එක්වන ලෙසද ජනාධිපතිවරයා සියලු‍ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා ඇත.
ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව  අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, බැංකුකරුවන්, වාණිජ මණ්ඩල නියෝජිතයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සක්‍රීය දායකත්වය වැදගත් බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.


තවද, බැංකු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ රාජ්‍ය බැංකුවල පාලනය, අධීක්‍ෂණය ශක්තිමත් කිරීම ඇතුළුව ආර්ථික ප්‍රකෘතියට සහාය වීමට ප්‍රමුඛතාව ලබාදිය යුතුය.
දිගු කාලී ව්‍යුහාත්මක අභියෝගවලට මුහුණ දීම සඳහා රාජ්‍ය  ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කළ යුතුය. ඒ අනුව පාලන ප්‍රතිසංස්කරණ ස්ථිරව ක්‍රියාත්මක කිරීම, අපනයන සහ සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා තවදුරටත් වෙළෙඳ ලිබරල්කරණය; කුසලතා වැඩි දියුණු කිරීම සහ කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩි කිරීම සඳහා කම්කරු ප්‍රතිසංස්කරණය; සහ කාර්යක්‍ෂමතාව සහ මූල්‍ය විනිවිදභාවය වැඩි දියුණු කිරීම, මූල්‍ය අවදානම් අවම කිරීම සහ පුද්ගලික අංශයේ සම දායකත්වය ලබාදීම වැනි කරුණු සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුය. එමගින් නැවත ආර්ථික අර්බුදයක් ශ්‍රී ලංකාව තුළ ඇති නොවීමේ තත්ත්වයක් නිර්මාණය කළ හැකි වන බව නොඅනුමානය.
ඒ හැර වත්මන් වැඩපිළිවෙළ අත්හිටුවීම හෝ අත්තනෝමතික ලෙස සංශෝධනයට ලක්කිරීම ආර්ථිකය යළි කඩාවැටීමකට හේතු විය හැකි බවද මෙහිලා අවධාරණය කර යුතුව ඇත. ඡන්ද පොරොන්දු ලෙස මොනවා කිව්වත් ආර්ථිකයේ යථාර්ථය අවබෝධ කරගෙන කටයුතු කිරීම රටේ අනාගතයට වැදගත්ය.