අගමැති කතා කළාම ආරක්ෂක මණ්ඩලය ආවෙ නෑ


සෞඛ්‍ය හා පෝෂණ ඇමැති
රාජිත සේනාරත්න

 

පාස්කු ඉරිද‌ා ප්‍රහාරය රටම ලේ කුහරයක ගිල්වීමට සමත් විය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ අභියෝගයක් ඇත. මෙහි වගකීම බාරගන්නේ කවුද? මේ උවදුරෙන් රට ගලවා ගැනීමට සමත් වැඩපිළිවෙළක් වේද? සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.

• ප්‍රශ්නය:- පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධ වගකීම ඔබට අනුව ගත යුත්තේ ආණ්ඩුවද ජනාධිපතිවරයාද?


පිළිතුර:- මුළු මහත් රජයම වගකීම බාරගත යුතුයි. මොකද රජයක් හැටියට රජය වගකීම බාරගත යුතුයි.  


• ප්‍රශ්නය:- නමුත් ඔබ කිව්වා ඔක්තෝබර් 26 න් පස්සේ ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට අගමැති රනිල්ට ආරාධනා නෑ කියලා?  


පිළිතුර:- ඔව්. ඔබ කියන විදියෙ ප්‍රශ්නයක් තියෙනවා. රජය හැටියට වගකීම බාරගත්තත් එවැනි සාමූහිකත්වයක් තිබුණා ද? ඔක්තෝබර් 26 න් පස්සේ රටේ සමස්ත ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම ජනාධිපතිතුමා බාරගත්තා. ආරක්ෂාවට අද‌ාළව රාජ්‍ය ඇමැතිවරයෙක් හිටියට ඔහුට කිසිම වගකීමක් පවරලා නෑ. පොලිසිය බාර අමාත්‍යවරයත් ජනාධිපතිවරයමයි. ජනාධිපතිතුමා රටින් බැහැර වෙන කොට වැඩබලන ආරක්ෂක ඇමැතිවරයෙක් රටේ නෑ. පොලිසිය බාර වැඩබලන ඇමැතිවරයෙක් නෑ. ඒ විතරක් නොවෙයි. ජනාධිපති ක්‍රමය ආරම්භ කරපු දවසේ ඉඳලම හැම කාලයකම නියෝජ්‍ය ආරක්ෂක ඇමැති හා අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයෙ නිත්‍ය සාමාජිකයෝ. ඔක්තෝබර් 26වැනිද‌ා අර්බුදයෙන් පස්සේ අගමැතිවරයාව ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම්වලට කැඳෙව්වේ නෑ. රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන කැදෙව්වේ නෑ. ආරක්ෂාව සම්බන්ධ සම්පූර්ණ වගකීම තිබුණේ ජනාධිපතිතුමා අතේ. ඒක තමයි එකම සත්‍යය. අනිත් එක ආරක්ෂක මණ්ඩලය දන්නෙත් නෑ. අප්‍රේල් 4වැනිද‌ා තමයි ජාත්‍යන්තර බුද්ධි අංශ මගින් අපේ බුද්ධි අංශවලට දැන්වූවේ මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. ඒක 9 වැනිද‌ා බුද්ධි අංශය මගින් ආරක්ෂක ඇමැතිවරයාටත් එදාම ආරක්ෂක අමාත්‍යාංශය මේක පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. 11වැනිද‌ා පොලිස් විශේෂ ආරක්ෂක අංශ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් සියලුම ප්‍රභූ ආරක්ෂක අංශවලට දැනුම් දුන්නා. නමුත් ප්‍රභූ ආරක්ෂක අංශ මගින් අගමැති ආරක්ෂක අංශයට දැනුම් දීලා නෑ. ජනාධිපති ආරක්ෂක අංශයට දැනුම් දීලත් නෑ.  


• ප්‍රශ්නය:- ඒකට විශේෂ හේතුවක් හොයාගෙන තියෙනව ද?  


පිළිතුර:- ජනාධිපති ආරක්ෂක අංශයට අමුතුවෙන් දැනුම් දෙන්න අවශ්‍ය නෑ. ජනාධිපතිතුමා ආරක්ෂක ඇමැති නිසා. අගමැතිතුමාට මේක දැනුම් දීලත් නෑ. ඒ නිසා මේ සියල්ලම වෙනකම් අගමැතිතුමා කිසිවක්ම දැනගෙන හිටියේ නෑ. මෙන්න මේක තමයි තත්ත්වය.  


• ප්‍රශ්නය:- අගමැති රනිල් ආරක්ෂක මණ්ඩලය රැස්කරන්න ගිහින් ප්‍රශ්නයකුත් වුණා?  


පිළිතුර:- ඔව්. මේ සිද්ධිය වුණාට පස්සේ රටේ ආරක්ෂක ඇමැති හා පොලිසිය බාර ඇමැති නෑ. ඒ කියන්නේ ජනාධිපතිවරයා ලංකාවේ නැහැ. ඒ නිසා අගමැතිතුමා ආරක්ෂක මණ්ඩලයට එන්න කිව්වා අරලියගහ මන්දිරයට. ඔවුන් ආවේ නෑ. ඔවුන් ප්‍රතික්ෂේප කළා.  


• ප්‍රශ්නය:- ආරක්ෂක මණ්ඩලය කැඳවන්න අගමැතිවරයාට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන තියෙනවා ද?  


පිළිතුර:- තියෙනවනේ. අගමැතිවරයට සියලු බලතල තියෙනවා ආරක්ෂක මණ්ඩලය කැඳවන්න. එද‌ා තිබුණ බලතලවලටත් වඩා අද අගමැතිවරයට බලතල තියෙනවා 19 වැනි ව්‍යවස්ථාවෙන්. ඒ අනුවයි අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයට එන්න කිව්වේ. නමුත් ඔවුන් ආවේ නෑ.  


• ප්‍රශ්නය:- ආරක්ෂක මණ්ඩලය අගමැතිවරයාට අවනත නෑ කියන එකත් බරපතළ ප්‍රශ්නයක්?  


පිළිතුර:- බරපතළ ප්‍රශ්නයක්. අගමැතිතුමා ඒවා ගැන බැලුවේ නැහැ. රටේ බරපතළ තත්ත්වයක් තියෙන්නේ. ආරක්ෂක මණ්ඩලයට ඒ වගකීම තේරුම් ගන්න බැරි වුණාට අගමැතිතුමා වහාම ගියා ආරක්ෂක අමාත්‍යාංශයට. ආරක්ෂක අමාත්‍යාංශයට එන්න කියලා ආරක්ෂක මණ්ඩලය දැනුම් දුන්නා. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයට ගිහින් විනාඩි 20 ක් ගියා ආරක්ෂක මණ්ඩල රැස්වීමට යන්න. එතකන් අගමැතිතුමා රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාගේ කාමරයට වෙලා හිටියා. ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකින් පස්සේ තමයි අගමැතිතුමා ගෙන්වා ගෙන අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යළිත් රැස්වුණේ. අගමැතිතුමා ඒ වෙලාවේ ආරක්ෂක තොරතුරු බලල ඔය වෙච්ච දේවල් ගැන මුකුත් කතා කරන්නේ නැතිව අවශ්‍ය තීන්දු තීරණ ගත්තා. ඊට පස්සේ අගමැතිතුමා කැබිනට් මණ්ඩලය කැඳෙව්වා. කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගත්තා ආරක්ෂක අංශයේ ප්‍රධානීන් කැඳවලා තොරතුරු විමසන්න ඕනෑ කියලා.  


• ප්‍රශ්නය:- නමුත් ත්‍ර්‍රිවිධ හමුද‌ාපතිවරු ආවේ නෑ?  


පිළිතුර:- ඔව්. ඔවුන් ආවේ නෑ. ආරක්ෂක මණ්ඩලය ආවේ නැතිවුණාම විපක්ෂනායකතුමාට කතා කරලා ඇහුවා 7 ට එන්න පුළුවන් ද කියලා. ඒ අනුව මහින්ද රාජපක්ෂ විපක්ෂනායකතුමත් කතානායකතුමත් අරලියගහ මන්දිරයට ආවා. රටේ විපක්ෂනායකතුමාටත් කතානායකතුමාටත් එන්න පුළුවන්. ඒත් ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානීන්ට එන්න බෑ. ඔන්න ඕකයි තත්ත්වය.  


• ප්‍රශ්නය:- ආරක්ෂක මණ්ඩලය ආවෙ නැත්තේ ඇයි? මොනවා හරි බලපෑම් නිසා ද?  


පිළිතුර:- ඔවුන් කිව්වේ ඔවුන්ට ඉහළින් ලැබුණ නියෝග නිසා එන්න බැරි වුණා කියලයි. ඔය කතාව අගමැතිතුමා ජනාධිපතිතුමාට කිව්වම ජනාධිපතිතුමා ඒක ප්‍රතික්ෂේප කළා. ජනාධිපතිතුමා කිව්වා එසේ නොපැමිණීම ගැන පරීක්ෂණ පවත්වනවා කියලා.  


• ප්‍රශ්නය:- ඔබ හිතන විදියට මෙතැනදී මොකක්ද වෙන්න ඇත්තේ?  


පිළිතුර:- අපි බලමු ඉතින්.. එතුමා කිව්වනේ පරීක්ෂණයක් කරනවා කියලා. එතුමා එන්න එපා කියලා කිව්වේ නැත්නම් එතුමාට පුළුවන් ක්‍රියාමාර්ගයක් ගන්න. අඩුතරමින් අගමැතිවරයාගෙන් සමාව ගැනීමට හෝ නැවත කැ​ෙඳව්වොත් යන්න හරි කියන්න වෙනවා. මෙන්න මේ තත්ත්වය තමයි තියෙන්නේ. අපි රටට වගකියන්න ඕනෑ. නමුත් ඒ වගවීමට අවශ්‍ය ප්‍රතිපාදන නැති එක ගැනත් කියන්න ඕනෑ.   


• ප්‍රශ්නය:- තත්ත්වය ඕක නම් ඔහොම ආණ්ඩුවක ඉන්නේ ඇයි?  


පිළිතුර:- ඇත්තටම අපට මේ වගේ අවස්ථාවක දේශපාලන තීන්දු ගන්න බෑ. මේ සියලු අඩුපාඩුකම් අතරෙත් අපි අපේ වගකීම ඉටුකරන්න ඕනෑ. ජනාධිපතිතුමා රටට ඇවිත් පහුවද‌ා ආරක්ෂක මණ්ඩලය කැ​ෙඳව්වා. ඒකට අගමැතිතුමාටත් රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමාටත් ආරාධනා ලැබුණා.  


• ප්‍රශ්නය:- එතැනදී වි​ෙශ්ෂයෙන් වුණේ?  


පිළිතුර:- එතැනදී ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ බුද්ධි අංශ වාර්තා ගැන මුකුත් දන්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් බුද්ධි අංශ වාර්තා දිනපතා ජනාධිපතිටත් නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිට, පොලිසිය බාර ඇමැතිට දෙනවා. පහුගිය කාලයේ හිටපු සාගල රත්නායක ඇමැතිතුමාටත්, රංජිත් මද්දුමබණ්ඩර ඇමැතිතුමාටත් ඒ වාර්තා ආවා.

ජනාධිපතිතුමාට අනිවාර්යයෙන්ම එනවා. ජනාධිපතිතුමා සමහර අවස්ථාවල මටම පෙන්වල තියෙනවා ඒ බුද්ධි අංශ වාර්තා. ඒ වාර්තා ලබාදීම පහුගිය කාලේ නතර වුණා ද කියලා මම දන්නේ නෑ. ජනාධිපතිතුමා නම් කියන්නේ එතුමා දන්නේ නැහැ කියලා.  


• ප්‍රශ්නය:- ආරක්ෂක ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තියෙනව ද? 

 
පිළිතුර:- ආරක්ෂක ලේකම්වරයා අපේ මැති ඇමැතිවරුන්ට කියලා තියෙන්නේ ඔහු ජනාධිපතිතුමාට දැන්වූවා කියලා.  


• ප්‍රශ්නය:- එතකොට කවුද හරි?  


පිළිතුර:- ඇත්තටම හරි මොකක්ද කියලා මම දන්නේ නෑ. ඕක තමයි තියෙන තත්ත්වය. මේ ගැන හරි විභාගයක් කරලා අඩුම තරමේ කැබිනට් එකටවත් කියන්න ඕනෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. එහෙම නැතිව ක්‍රියාමාර්ග ගන්න බෑ.  


• ප්‍රශ්නය:- රටේ ආරක්ෂක තත්ත්වය ඕක නම් මේ වගේ ප්‍රහාර එල්ලවීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ.  


පිළිතුර:- ඔව්. ඉතින්. මේකෙන් තේරෙනවා ආරක්ෂක තත්ත්වය ඉතා දුර්වල අඩියකට වැටිලා තියෙනවා කියලා. මේ වගේ දෙයක් වුණාම ආරක්ෂක අංශත් හරි විදියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. දැන් වාර්තා එනවා. මේකේ සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගත්තාම එක් එක් මුස්ලිම් ආණ්ඩුකාරවරුන්ට අවශ්‍ය විදියට ඒ අයව නිදහස් කරලා කියලා වාර්තා වෙනවා.  


• ප්‍රශ්නය:- කවුද ඒ මුස්ලිම් ආණ්ඩුකාරවරුන්?  


පිළිතුර:- නම් ගම් කියන එක දැන් හරි නෑ. නමුත් අපි ජනාධිපතිතුමාට දැන්වූවා. එතකොට ජනාධිපතිතුමා ඇහුවා ‘ඉහළින්’ කියන්නේ මම ද කියලා. අපේ ඇමැතිවරු ඇත්ත තත්ත්වය කිව්වා. ඒ වෙලාවේ ඒ ගැනත් විභාග කරනවා කියලා ජනාධිපතිතුමා කිව්වා. හැබැයි ජනාධිපතිතුමාට කිව්වා ‘මෙහෙම කට්ටියක් අත්අඩංගුවට ගත්තාම මුස්ලිම් නායකයෝ වටේ කතා කරලා නිදහස් කර ගන්නවා.’ කියලා. ඒකත් එතුමා අපිට කිව්වා. කොහොම හරි අන්තිමට එතුමා කිව්වේ අපි එකට එකතු වෙලා මේකට මුහුණ දෙමු කියලා. එතැන ඉඳලා ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා.  


• ප්‍රශ්නය:- ඇමැති හරින් පවා මේ ප්‍රහාරය ගැන කලින් දැනගෙන හිටියා කියලා ඔහුම කිව්වා?  


පිළිතුර:- ඇත්තටම. දැන් කාදිනල්තුමා කියන්නෙත් හරින් හරියට කල්පනා කළා නම් බුද්ධි අංශවලින් අහලා අගමැතිතුමාට හරි දැනුම් දෙන්න තිබුණා කියලා. එහෙම කළා නම් කොච්චිකඩේ පල්ලියේ වෙච්ච විනාශයවත් නතර කරගන්න තිබුණා.  


• ප්‍රශ්නය:- මේ ප්‍රහාරය එල්ල කළේ කවුද? නිවැරැදි හඳුනාගැනීමක් කළා ද?  


පිළිතුර:- පැහැදිලිවම තියෙනවනේ. මේ තව්හික් ජමාත් කියන සංවිධානය තමයි මේ ප්‍රහාරය මෙහෙයවලා තියෙන්නේ කියලා බුද්ධි අංශ වාර්තා කරලා තියෙනවා. මේක මෙහෙයවීමේ වගකීම අයිඑස්අයිඑස් සංවිධානය කළේ කියලා පිළිඅරගෙන තියෙනවා. එබඳු ජාත්‍යන්තර සම්බන්ධතාවයකින් තොරව මෙවැනි ප්‍රහාරයක් කරන්න බෑ.  


• ප්‍රශ්නය:- එහෙම දෙයක් කරන්න පුළුවන් තරමට රටේ ආරක්ෂාව පිරිහීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි?  


පිළිතුර:- ර​ෙට් ආරක්ෂාව නොපිරිහුණත් දැන් අයිඑස්අයිඑස් එකෙන් බේරෙන්න බැරිවෙලා තියෙනවා මීට වඩා ඉතා දියුණු ලෝකයේ ආරක්ෂක අංශවලටවත්. අද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමාගෙන් ඇහුවම ලංකාවේ තත්ත්වය ගැන එතුමා කිව්වේ, එතුමා කතා කළා අපේ අගමැතිතුමාට.‘අපි මේක බාරගන්නේ අපේ රටේ ජනතාවට සිද්ධ වෙච්ච දෙයක් හැටියට. මේක තමයි මුස්ලිම් ත්‍රස්තවාදය. මේකට විරුද්ධව මම විශාල සටනක් ගෙනියනවා. මට ඒකට අවශ්‍ය සහයෝගය අනික් රටවල නායකයන්ගෙන් ලැබෙන්නේ නෑ කියලයි. එතකොට මේ ත්‍රස්තවාදයට එරෙහි සටන ​ෙද්ශපාලන පක්ෂ ද, පාට ද, කුලය ද කියලා බේදයක් නෑ. මම නම් මගේ මුළු දේශපාලන ජීවිතයේදී කොයි පැත්තෙන්ද ත්‍රස්තවාදය පැමිණියේ ඒ ත්‍රස්තවාදයට එරෙහිව මම නැගී ඉඳලා තියෙනවා. කොන්දේසි විරහිතව ඒ නැගී සිටියේ ත්‍රස්තවාදයට එරෙහිව මිසක් ඒවායේ මතවාදයන්ට වඩා තිබුණේ ත්‍රස්තවාදයක්. ඒවාට විරුද්ධවයි මම නැගී සිටියේ. මේකෙන් තේරෙනවා බොහෝ දෙනෙකුට ත්‍රස්තවාදයේ බරපතළකම. ත්‍රස්තවාදය කොයි පැත්තෙන් ආවත් උතුරෙන් ද නැගෙනහිරෙන්ද බටහිරෙන්ද දකුණෙන් ද කොහෙන් ආවත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි.  


• ප්‍රශ්නය:- බුද්ධි අංශ අකර්මන්‍ය කරලා ජාතික ආරක්ෂාව මේ ආණ්ඩුව බිලි දුන්නා කියලා මේ ආණ්ඩුවට චෝදනාවක් තියෙනවා?  


පිළිතුර:- අමුතුවෙන් දුර්වල කරන්න දෙයක් නැහැ. ඔය බුද්ධි අංශ හොඳින් තියෙන කාලේ කොච්චර සිද්ධි වුණා ද? යුද්ධය තිබුණ කාලේ මීටර සීයෙන් සීයට මාර්ග බාධක තිබුණා. හන්දියක් හන්දියක් ගානේ ගහක් ගලක් ගානේ ත්‍රිවිධ හමුද‌ාව හා පොලිසිය ද‌ාලා තිබුණා. ඔය කියන ඉතාම නිර්මල බුද්ධි අංශය තිබුණ කාලේත් හමුද‌ා මූලස්ථානය ඇතුළේ හමුද‌ාපති ඉලක්ක කරගෙන බෝම්බ පිපුරුවානේ. ඒ නිසා ත්‍රස්තවාදියකුට අවශ්‍ය එක මොහොතක් පමණයි. අපි පැය 24 ක් පුරා ආරක්ෂක විධි විධාන තර කරගෙන හිටියට දුර්වල එක තත්ත්පරය ඇති. මේක තමයි ඇත්ත. ඒ නිසා මේ දුර්වලතා සියල්ල ඉවත්කරගත යුතුයි. එහෙම කොච්චර කළත් ත්‍රස්තවාදියා පසුබහින්නෙත් නෑ.  


• ප්‍රශ්නය:- විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කිව්වා ‘ඉතිරිවෙලා ඉන්න බුද්ධි අංශ නිලධාරින්වත් හිරේ ද‌ාන්න’ කියලා?  


පිළිතුර:- බුද්ධි අංශ නිලධාරින් කරපු හොරකම් හා මිනීමැරුම් එක්ක මේවා සම්බන්ධ කරන්න බැහැ. අර දෙමළ දරුවන් එකළොස්දෙනා මරපු එකට මහින්ද රාජපක්ෂගේ දරුවෙකුත් ඒකට අහුවුණා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා මොකක්ද කියන්නේ? අපේ කැබිනට් මණ්ඩලයේ හිටපු ෆීලික්ස් පෙරෙරා ඇයි ඒකට විරුද්ධව හිටියේ? ඔහු පියෙක් හැටියට ඒ දරුවන් වෙනුවෙන්. ඒ දරුවන් මරපු අය කොහොමද රණවිරුවන් වෙන්නේ? එහෙම මිනීමරුවන් කොහොමද බුද්ධි අංශ නිලධාරින් වෙන්නේ? රණවිරුවන් වෙන්නේ? මේවා මිනීමැරුම්නේ. මිග් ගනුදෙනුව කොහොමද රණවිරු ක්‍රියාවක් වෙන්නේ?  


• ප්‍රශ්නය:- නමුත් දෙමළ ඩයස්පෝරාව?  


පිළිතුර:- පොඩ්ඩක් ඉන්න... අද මේ බුද්ධි අංශය කොච්චර කඩිසරව කාර්යක්ෂමව කටයුතු කරලා තියෙනව ද? වාහන අත්අඩංගුවට ගන්නවා. සැකකරුවන් 24 ක් අත්අඩංගුවට ගන්නවා. ඒ හරහා ලැබෙන තොරතුරුවලින් සියලු දෙනාම අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. පැය 24 තුළදී ඒ සාර්ථක මෙහෙයුම් කළේ නැද්ද? බුද්ධි අංශවල ප්‍රශ්නයක් නොවෙයි මෙතැන තියෙන්නේ. මෙතැන තියෙන්නේ බුද්ධි අංශ තොරතුරුවලට පැහැදිලි දේශපාලන නායකත්වයක් නොදීමයි.  


• ප්‍රශ්නය:- මන්ත්‍රී විජයද‌ාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කිව්වා ‘මම නම් ගම් සහිතව ත්‍රස්තවාදීන් හෙළි කළා. නමුත් එජාපයේ මන්ත්‍රීවරු මට ශාප කළා විතරයි’ කියලා?  


පිළිතුර:- එතුමා කතා කරන්නේ 2016 ගැනනේ. මේකේ පළමු වාර්තාව ඇවිත් තියෙන්නේ 2010 දී. ඊට පස්සේ 2014 දී යළිත් පැමිණිලි කරලා තියෙනවා. මොනවද ඒ ආණ්ඩුව ගත්ත ක්‍රියමාර්ගය? එතකොට හිටියේ මහින්ද රාජපක්ෂ ඇතුළු බුද්ධි අංශයනේ. ඒ කාලයෙනේ මේක වර්ධනය වුණේ. ඒ වර්ධනය වෙච්ච ත්‍රස්තවාදී සංවිධානයමනේ අපට හමුවුණේ 2015 ඉඳලා.  


• ප්‍රශ්නය:- රට පුරා තැන් ගණනාවක එකවර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් මේ රජයට වගකීමක් නෑ?  


පිළිතුර:- මේ ආණ්ඩුවේ විතරක් නොවෙයි ගිය ආණ්ඩුවෙත් වගකීමක්. 2010 ඉඳලා මේක වර්ධනය වෙලා තියෙන්නේ. මතක තියාගන්න එල්ටීටීඊ එක කියන්නේ එක භූමියක ඉඳගෙන සටන් කරපු සංවිධානයක්. මහින්ද රාජපක්ෂගේ කාලය වෙනකොට එල්ටීටීඊ එකත් සාම්ප්‍රද‌ායික හමුදාවක් බවට පත්වෙලා. මුහුණට මුහුණ සටන් කරන හමුද‌ාවක් බවට පත්වෙලා, ගරිල්ලා සටන් මාදිලියෙන් ඈත්වෙලා හිටියෙ. ගරිල්ලා සටන්වලදී ඔවුන් දිගටම සාර්ථකයි. 2009 වෙනකොටත් ඔවුන් ගරිල්ලා සටන් උපක්‍රමය අනුගමනය කළා. ඔවුන් ගුවනෙන් ගොඩබිමෙන් මුහුදෙන් ගැහුවා. ඒවා සාර්ථක වුණා. ඒ සටන් අසාර්ථක වෙන්න පටන් ගත්තේ ඒ ගරිල්ලා සටන් ශෛලියෙන් ඉවත් වුණ නිසයි. දිගටම ඔවුන් ඒ සටන් ක්‍රමයෙ හිටියා නම් සමහර විට අදටත් අපිට මර්දනය කරන්න බැරිවෙන්න තිබුණා. දැන් මේක ඒ වගේ ගරිල්ලා සටනක්. ගරිල්ලා පහරදීම් මර්දනය කිරීම ඉතාම අපහසුයි. ලෝකයේ කිසිම රටක් ඔය කියන තරම් පහසුවෙන් ගරිල්ලා සටන් මර්දනය කරලා නැහැ.  


• ප්‍රශ්නය:- මම ඔබ සමඟ මේ සාකච්ඡාව කරන්නේ කොළඹ ඔබේ නිල නිවෙසේ. කොළඹ පාරවල් පාළුවට ගිහින්. ඔබේ නිවෙස ඉදිරිපිටත් දැඩි මුරකාවල්. ඔබ ඔබේ නිල නිවසේදීම නිවාස අඩස්සියට පත්වෙලා කියලා මම කිව්වොත්?  


පිළිතුර:- ඔව්. සමහර වෙලාවට. එහෙම කියන්න පුළුවන්. මම හැමද‌ාම 1980 දශකයේ ඉඳලා ත්‍රස්තවාදයට මුහුණ දීපු කෙනෙක්. මම පැනලා ගිය කෙනෙක් නෙමෙයි. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන්න මම තීරණය කරපු මිනිහෙක්. මම සටන් කළා. මම ඒ හැම සටනකින්ම බේරුණේ මගේ ආරක්ෂකයන් මට දුන් උපදෙස් මම ගරු කළා. ඒ නිසා තෙවැනි වටයටත් සටන් කරන්න මම ඉතිරිවෙලා ඉන්නවා.  


• ප්‍රශ්නය:- දස වසරක් නිදහසේ හුස්ම ගැනීමෙන් පසු මේ අත්දැකීම විඳීමට සිදුවීම ගැන මොකද හිතෙන්නේ?  


පිළිතුර:- ඔව් ඉතින් දස වසරක් කියන්නේ... අපි දකුණේ ත්‍රස්තවාදයෙන් 80 දශකයේදී බැටකෑවා. යුද තත්ත්වයට ආවට පස්සේ උතුරේ ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. දැන් තව දශකයකට පස්සේ මුස්ලිම් ත්‍රස්තවාදයට මුහුණ දෙනවා. මේ ත්‍රස්තවාදය එල්ටීටීඊ ත්‍රස්තවාදය වගේ දීර්ඝ කාලයක් ගෙනියන්න බැහැ. මොකද මේ මුස්ලිම් ත්‍රස්තවාදයට රට තුළ ඉල්ලීමක් නැහැ. ජනතා විමුක්ති පෙරමු​ෙණ් ත්‍රස්තවාදය තුළ සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රකාශනයක් තිබුණා. ඒ නිසා ජනතාවගේ සහයෝගය ලැබුණා. එල්ටීටීඊ එකම තමන්ටම වෙන් වූ භූමියක් වෙනුවෙන් කරපු සටනක් නිසා ඒකටත් තිබුණා කිසියම් ඉල්ලීමක්. නමුත් මේකේ කිසිම ඉල්ලීමක් නැහැ. ඔවුන්ට තියෙන්නෙ ත්‍රස්තවාදී ක්‍රමවේදයක් විතරයි. ගරිල්ලා සටන් ශෛලිය මර්දනය කිරීම අසීරුවුණත් ඉල්ලුමක් නැත්නම් දීර්ඝ කාලයක් ගෙනියන්නත් බැහැ.  


• ප්‍රශ්නය:- මේ අනතුරුද‌ායක තත්ත්වය තුරන් කරලා රට සාමකාමී කරන්න ආණ්ඩුවට ශක්තියත් තියෙනව ද?  


පිළිතුර:- පැහැදිළිවම පුළුවන්. එකම වැඩේ තියෙන්නේ ජනාධිපතියි අගමැතිගෙයි ප්‍රධානත්වයෙන් රජයක් හැටියට එකඟතාවයකට ඇවිත් එකට හිටගෙන මුහුණ දුන්නොත් මේක මර්දනය කළ හැකියි. මේ සඳහා විපක්ෂනායකවරයා ඇතුළු විපක්ෂයත් සහාය දිය යුතුයි. ත්‍රස්තවාදය ආවොත් මියයන්නේ ආණ්ඩු පක්ෂයෙන් ද විපක්ෂයෙන් ද කියලා වෙනසක් නෑ. ඒ ත්‍රස්තවාදීන්ට එහෙම වෙනසක් නෑ. අපිත් එහෙම වෙනසක් නැතිව එකතු විය යුතුයි. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂ රජය තුළ මේ සටන යද්දිත් එක්සත් ජාතික පක්ෂ විරෝධි වටේ බලකොටුවේ ඉඳගෙන ජවිපෙ ත්‍රස්තවාදයට එරෙහිව මම එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිට ගත්තා. දෙවැනි වටයේදී මහින්ද රාජපක්ෂ ඊළාම් විරෝධි සටන ගෙන යනකොටත් එක්සත් ජාතික පක්ෂයෙ සිටි මම යෝජනා කළා විපක්ෂයට යුද්ධයට සහයෝගය දීලා මහින්දත් සමඟ ජාතික ආණ්ඩුවකට යා යුතුයි කියලා. ඒක වුණේ නැති වුණාම අපි දහසය දෙනෙක් මහින්ද රජයට ගිහින් යුද්ධය කරගෙන යන්න ඒ ආණ්ඩුවට ශක්තිය දුන්නේ. ත්‍රස්තවාදයට මුහුණ දෙන්න ​ෙද්ශපාලන පක්ෂ හා අද මේ මොහොතේදීත් ත්‍රස්තවාදයට එරෙහි මේ සටනේදීත් මට දේශපාලන පක්ෂ හා. අපි පක්ෂ දේශපාලන පක්ෂ කොටුවෙන් එළියට පැමිණ සහයෝගය දිය යුතුයි.

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්