(නිමල කොඩිතුවක්කු)
බැදුම්කර වංචාවෙන් එල්ල වන චෝදනාවලින් නිදහස් වීම සදහා පිටිපන, මාරපන වැනි කමිටු පත්කරමින් පණ බේරා ගැනීමේ උත්සාහයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිරත වන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි තිබියදී වැරදිකරුවන්ට දඩුවම් නොකර වසර තුනක් තිස්සේ කට්ටි පනිමින් සිටින මේ ආණ්ඩුව පිළිබඳ තීරණයක් ගැනීමට ජනතාවට වගකීමක් ඇති බවද ඒ මහතා කියයි.
කොළඹ රාමඩා හෝටලයේ දී අද (25) පැවති දේශපේ‍්‍රමී වෘත්තිකයින්ගේ සංසදයේ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
පිටු 1200ක පමණ බැඳුම්කර වාර්ථාව මම දැනට කියවලා තියෙනවා. මෙතන ලොකු වංචාවක් වෙලා තියෙනවා කියලා හැමෝම දන්නවා. මේකේ හානිය අවම කරගන්නේ කොහොමද කියන එක තමයි දැන් රජය මුහුණ දෙන විශාලතම අභියෝගය. මේ කටයුත්තට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා මේක යට ගහන්න.
එහි එක උපායමාර්ගයක් තමයි 2008 සිට 2014 දක්වා කාලයේත් මේක සිදුවුණා කියලා. ඒ කාලේ මම තමයි හිටියේ මහ බැංකු අධිපතිවරයා විදියට. ඒ වගකීම තියෙන්නේ මටයි ඒ කටයුත්ත හරියාකාරව කෙරුනද කියලා බලන්න. මේ රටේ සියලූම ජනතාවට එහෙම කිසි දෙයක් වෙලා නැහැ කියලා මම පැහැදිලිවම කියනවා.
ජනාධිපතිතුමා බොහොම තරහවෙන් කෑ ගැහුවත් අගමැතිතුමා ලැජ්ජාවෙන් කෑ ගැහුවත් ඒ කාලයතුළදී එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. මම කියා සිටියා බොරුවට කෑ ගහන්න එපා ඔනෑම කොමිසමක් දාලා බලන්න කියලා. එම කාලය තුළ බැදුම්කර වාර්ථාවෙන් දීලා තියෙන වචනය තමයි සමහර විට වෙන්න පුලූවන් කියලා. එහෙම නැතුව කොතනකවත් වංචාවක් වුණා කියලා කියලා නැහැ.
අපේ කාලයේ කිසිදු බැඳුම්කර වංචාවක් සිදුව නැහැ. එහෙම නොවෙන්න පුලූවන් මූලික කාරණාව තමයි අපි කරගෙන ගිය ක්රමවේදයයි. ඒ නිසා තමයි අගමැතිවරයාගේ උපදෙස් පරිදි මෙම ක්‍රමවේදය වෙනස් කළේ. අවුරුදු 18ක් තිස්සේ ඒ තිබිච්ච ක්‍රමවේදය නිසා කාටවත් එවැනි දෙයක් කරන්න බැරි වුණා.
මේ ක්‍රමවේදය වෙනස් කරපු අගමැතිවරයාත් එයට සම්බන්ධ අනිකුත් සියලූ දෙනාත් මේ සම්බන්ධයෙන් වගකිවයුතුයි. මාස 27ක් මේ ක්‍රමය සිදුකරගෙන. මේ ක්‍රමය වැරදියි කියලා මේ පිළිබඳ දැනුමක් ඇති අය පැවසුවා. පුවත්පත් වල ලිපි ගියා. 2017 ජූලි මාසයේ නැවත වරක් අර පැරණි ක්‍රමයටම ආවා. පැරණි ක්‍රමයට එද්දි ලැජ්ජ නිසා ඒ පැරණි ක්‍රමය නෙමෙයි කියලා වෙන වෙන නම් දැම්මා. වෙන වෙන බෝඞ් දාලා නම් දාලා සිදුකරාට මේ ගැන දන්න ඕන කෙනෙක් දන්නවා ඒ පැරණි ක්රමවේදයයි කියලා.
මාස 27 වෙච්ච ඒ පාඩුවට දැන් කවුද වග කියන්නේ. ජනාධිපතිතුමා අගමැතිතුමා මේකට වග කිව යුතුයි. මොකද ඒ අය තමයි මේක භාරව ඉන්නේ. ඒ අය වග කියන්නේ නැත්නම් කවුද වග කියන්නේ “යැයි ද ඒ මහතා පැවසීය.