ආචාර්ය හුටපට
“මේක රංවල දේවතාවුන් වහන්සේත් හෑල්ලු වෙන වැඩක්”, ලංසා ගෑස් සිලින්ඩර කාර්යාලයට පැමිණියේ රනිල් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමට කතා කරන්නට මාතෘකාවක් ලබා දෙමිනි.
“මේක පැණි වරකා ගහට හෙණ ගැහුවා වගේ වැඩක්. මේ ආචාර්ය උපාධි හුටපටේ ගැන මිනිස්සු උනන්දු ඒකයි. මේ අය ආවේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න, කහ මලෙන් උපන් කුමාරවරු වගේ. දැන් මැති සබේ ලොකුම පුටුවත් සුද්ද කරන්න වෙලා” වජිර කීවේ ලංසා උපහාසයෙන් මතුකළ කාරණය ගැනය.
එතෙක් නිහඬව සිටි නායක රනිල්ගේ මතය දැන ගන්නට සියලු දෙනාට වුවමනා වී තිබිණි.
“මේ රටේ සම්ප්‍රදායක් තියෙනවා. අපි විශේෂයෙන් ජනාධිපතිවරු, අගමැතිවරු ගෞරව ආචාර්ය උපාධි තිබුණත් ඒවා පාවිච්චි කළේ නෑ. ජේ.ආර්., චන්ද්‍රිකා ඔය කවුරුවත් ඒවා පාවිච්චි කළේ නෑ. ඔය මටත් ගෞරව ආචාර්ය උපාධි දෙකක්ම තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ ඩීකින් සරසවියෙනුත්, නවසීලන්ත සරසවියකිනුත් දීපු. උපාධිය ආභරණය කරගන්න ඕනැ නෑ. උපාධිය කියන්නේ යම් දැනුම් පද්ධතියක් ලබාගත් බව කියන සංකේත නාමයක් විතරයි. උපාධි තිබුණත් නැතත් වැඩේ කරන්න පුළුවන් නම් එච්චරයි” රනිල් කීය.
“පාර්ලිමේන්තුව වියතුන්ගෙන් පුරවමු කියලා’’ ආවට, දැන් ගොඩක් අයගේ ඇත්ත පට්ටන්දරේ එළියට එනවා නේද? මැති ඇමතිවරු තව කීප දෙනෙක්ගෙම උපාධි බොරු කියලා කතාවක් යනවා. මර්වින්ට මොළේ තිබුණා කොහෙන් හරි කොළ කෑල්ලක්වත් හොයාගෙන එන්න” හරීන් මර්වින්ටත් නම්බුවක් දෙමින් පැවසීය.
“දැන් හරියට විපක්ෂයක් නැතුව වගේ. කථානායකගේ ප්‍රශ්නෙ ඔවුන් කතා කරන්නේ නැත්තේ ඇයි? ඡන්දෙ දීපු අයත් කථානායකට ඉල්ලා අස්වෙන්න කියලා කියනවා. ඒත් ප්‍රධාන විපක්ෂය මොකුත් නොකිය නිහඬව ඉන්නවා. කවුද එක මන්ත්‍රීවරයෙක් විශ්වාස භංගයක් ගේන කතාවකුත් කියල තිබුණා. ඒත් විපක්ෂ නායක නිහඬයි. අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරන්න එයා බයෙන් වත්ද?” තලතා විමසුවාය.
ජාතික ජන බලවේග රජයේ කථානායක ඇතුළු සියලු මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය තනතුරු, ආචාර්ය උපාධි, ඉංජිනේරු, වෛද්‍ය ආදී තනතුරු නාම ඇතුළු සියලු අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කරන්න තේරීම් කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට මෙහිදී තීරණයකට එළඹිණි.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩුකිරීම ගැන මතු වූ ප්‍රශ්නයට රනිල් ලබා දුන්නේ අමුතු විදිහේ උත්තරයකි.
“ආරක්ෂක භටයන් හැට දක්වා අඩු කරනවා කියලා මුලින් අපට දැනුම් දීල තිබුණේ. දෙසැම්බර් මාසේ අන්තිමේ ඒ වැඩ කටයුතු කරන්න ඔක්කොම එකඟ වෙලා තිබුණේ. එක වරම මේ ආරක්ෂාව අඩුකළේ ආචාර්ය උපාධි ප්‍රශ්න, හාල්-පොල් ප්‍රශ්න වහගන්න”
රනිල් කී කතාවට වැඩි යමක් එකතු කළේ ලංසාය. “මහින්දට වගේම චන්ද්‍රිකාටත් තර්ජන තියෙනවා, ඒ අයට මොනවා හරි උනොත් ආණ්ඩුවට වග කියන්න වෙයි”
ගෑස් සිලින්ඩරයට හෙනහුරා පාත්වීම
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකට සිදුවූයේ හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැහුවා වගේ දෙයකි. මීට කලින්, කෙනෙක් එක මන්ත්‍රී ධුරයක් ඩැහැගත්තේය. දෙවැනි සිද්ධිය වූයේ ඉකුත් අඟහරුවාදාය. ඒ ඉතිරි මන්ත්‍රී ධුරයට පක්ෂ නායකයන්ගේ අනුමැතියක් නැතිව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා නම් කිරීමත් සමඟය.
ඒ පත් කිරීමත් සමග එජාප සභාපති වජිර නිවේදනයක් නිකුත් කළේය.
‘‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕනැ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කරන්න කිසිම බලයක් පවරා නෑ. මේක දේශපාලන හොරකමක්. රවීගෙ පත්කිරීම සම්බන්ධයෙනුත් කරුණු වාර්තා කරන්න කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටු වාර්තාව ලැබුණු සැණින් නිසි ක්‍රියාමාර්ග ගන්න නියමිතයි” ඒ නිවේදනයේ එසේ සඳහන්ව තිබිණි.
ගෑස් සිලින්ඩරේට ට්‍රැක්ටරේ ඇවිත්
බ්‍රහස්පතින්දා උදේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කාර්යාලයට අමුත්තෙක් පැමිණියේය. ඒ මුළු රටම දන්නා බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝයි.
සීලරතන හාමුදුරුවන් ආවේ හිස් අතින් නොවේ. ලොකු කිරි හට්ටි දෙකක්, පැණි බෝතලයක් මෙන්ම ගස් ලබු ගෙඩි දෙකක්ද රැගෙනයි.
“මේ ගස් ලබු, පන්සලේ වත්තේ ගහේ හැදිච්චා.” සීලරතන හිමියෝ රනිල්ට ගෙනා තෑගි දෙන ගමන් කීහ. අනතුරුව සීලරතන හිමියෝ රනිල් සමඟ පැය බාගයකට ආසන්න කාලයක් විවිධ දේ කතාබහ කළහ. එහිදී අතීතයේ අපූරු සිද්ධියක් සීලරතන හිමියන් අනාවරණය කළහ.
“මං පොඩි කොල්ලා කාලේ, 1985 බෝමිරිය මධ්‍යම මහා විද්‍යාලෙ ධාවන තරගයකින් දිනුවා. ඒකෙ තෑගි දෙන්න අධ්‍යාපන ඇමති විදිහට ආවේ ඔබතුමා” රනිල්ද ඒ අතීත සිද්ධිය ආසාවෙන් අහගෙන සිටියේය.
ඊට පෙර දිනක දොඩම්පහළ රාහුල හිමියන්ද රනිල් හමුවෙන්නට වැඩම කළේය. ඒ සභාපති වජිර සමගිනි. එහිදී බුද්ධ දර්ශනයේ තිර පැවැත්ම වෙනුවෙන් දීර්ඝ සාකච්ඡාවක් සිදු කෙරුණු බව දැනගන්නට ඇත.
ඊට අමතරව ගෙවුණු සතියේදී දේශපාලන කණ්ඩායම් මෙන්ම දේශපාලන පක්ෂ නායකයෝ මල් පාරේ කාර්යාලයට පැමිණියහ.
‘‘රිළව් පහුගිය අවුරුදු දෙකෙත් ලංකාවෙ හිටියා. ඒ කාලේ පොලුත් තිබුණා. දැන් පොල්වල ප්‍රශ්නය රිළව් පිටින් දාන එක කළමනාකාරීත්වය නොදන්න කණ්ඩායමක් විසින් කරන දෙයක්. අනෙක, ඒ කාලේ ඔය ප්‍රධාන හාල් මෝල් හිමියන් පස්දෙනාම ලංකාවෙ හිටියා. ඒ කාලේ හාලුත් තිබුණා. මේ නිසි කලට නිසි වේලාවට හරි පියවර නොගැනීම නිසා සිද්ධ වෙච්ච ප්‍රශ්න” , වජිර එසේ කීවේ දේශපාලන කාර්යාලයට ආ අමුත්තන්ට රටේ වත්මන් ප්‍රශ්න කැටි කරන පිළිතුරක් වශයෙනි.
කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ?
පසුගිය සතියේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති රැස්වීමකට සහභාගි වූහ. එහිදී කථානායක අශෝක රංවලට ආචාර්ය උපාධියක් තිබෙන බව තහවුරු කිරීමට අසමත් වුණොත් සහ ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නීත්‍යානුකූල පියවරක් නොගතහොත් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කිරීමට තීරණය විය. විපක්ෂයට ‘ෆුල්ටොස්’ පන්දුවක් වූ ආචාර්ය පට්ටම් අර්බුදයෙන් විපක්ෂය ලකුණු දමා ගන්නා ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව බොහෝ දෙනාගේ අදහස වී තිබුණි. එහෙත් විපක්ෂය මේ අවස්ථාවේ දී නිලය බලා පහර දීමේ උත්සාහයක යෙදී සිටියි.
‘‘කථානායකවරයා ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන්ට කියලා තියෙන්නේ ඔහුට ආචාර්ය උපාධියක් තිබෙන ඉංජිනේරුවෙක් බව. අශෝක රන්වල කථානායක ධූරයට යෝජනා කරද්දී, අගමැතිවරිය ඔහුව හැඳින්වූයේ ආචාර්ය අශෝක රන්වල කියන නමින්. කථානායකගේ සුදුසුකම් පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. තවමත් ඔහු ඒ ගැන පැහැදිලි කිරීමක් කරලා නෑ. විශ්වාසනීයත්වය ගැන සැක සංකා ඇතිවුණ කෙනෙක්, අසත්‍ය තොරතුරු පාර්ලිමේන්තුට ඉදිරිපත් කළ පුද්ගලයෙක් රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කැපවෙලා තිබෙන ධූරයක් වෙන කථානායක ධූරය දැරීමට සුදුසු නෑ. ඒ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ හමුවෙලා මේ පිළිබඳව ඉදිරි පියවර ගන්න අපි කටයුතු කරමු. කථානායක අශෝක රන්වල ඉල්ලා අස්වෙන්නේත් නැතිනම්, ඔහුට විරුද්ධව පක්ෂය විසින් ක්‍රියාමාර්ග ගන්නේත් නැතිනම් ඒ ගැන ඉදිරි පියවර ගන්න කටයුතු කරමු. ඉල්ලා අස්වුණේ නැතිවුණොත් අකමැත්තෙන් හරි අපිට අශෝක රන්වලට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න සිදුවෙනවා. මේ ප්‍රශ්නය පක්ෂ අතර තිබෙන ප්‍රශ්නයක් නෙවෙයි නේ. මේ ප්‍රශ්නය සත්‍යගරුකභාවය පිළිබඳ ප්‍රශ්නයක්. අඟහරුවාදාට කලින් අශෝක රන්වල තම සුදුසුකම් පෙන්වන්න ඕනැ. නැතිනම් ඉල්ලා අස්වෙන්න ඕනැ’’ අජිත් පී. පෙරේරා කීවේය.
මේ කතාවට හර්ෂණ රාජකරුණා තවත් අදහසක් ඉදිරිපත් කළේය.
‘‘කථානායක ආචාර්ය පට්ටමක් ගහන් තමයි පාර්ලිමේන්තුවේදි දිවුරුම් දුන්නේ. කථානායකට ආචාර්ය පට්ටමක් තිබෙනවා කියලා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියෙත් තිබුණා. හැබැයි පස්සේ පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් කථානායකගේ ආචාර්ය කෑල්ල ගලවලා තිබුණා මම දැක්කා. මැතිවරණ කාල සිමාවේ දී කථානායක අශෝක රන්වල ඔහුගේ මැතිවරණ පෝස්ටර්වල පවා සඳහන් කර තිබුණේ ආචාර්ය අශෝක රන්වල කියලා. අශෝක රන්වල ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන් නොමග යවලා තිබෙන්නේ. කථානායක මේ සඳහා පිළිතුරක් ලබා නොදීම නිසා පාර්ලිමේන්තුවත් අගෞරවයට ලක් වෙනවා. කථානායකගේ මඩේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන අපිටත් කන්න වෙනවා. විද්වතුන් පත් කළා කියලා ජාතික ජන බලවේගය ජනතාව නොමග යවලා තියෙන්නේ. කථානායකතුමාට ආචාර්ය උපාධි සහතිකය නැත්නම් පාසලේ ක්‍රීඩා සහතික හරි පෙන්වන්න ඕනැ. ඒ වගේම කථානායකවරයා ඔහුට ආචාර්ය උපාධියක් තිබෙන බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර තිබෙනවානම් ඔහු කථානායක ධූරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. ‘භෝඨා පාට් ටූ’ ද මේ ගෙනි යන්නේ කියලා හිතෙනවා.‘‘
හර්ෂණ එසේ කියද්දී චරිත හේරත් කියූවේ ආණ්ඩුවට වී ඇති දේය.
‘‘ආණ්ඩුව ඔවුන් විසින්ම නිර්මාණය කරගත්ත පඹ ගාලක දැන් පැටලිලා ඉන්නේ. නිර්මාණය කළ කඩදාසි මාලිගාව ආරක්ෂා කර ගන්න දැන් ජාතික ජනබලවේගය විශාල උත්සාහයක් ගන්නවා. ජාතික ජන බලවේගය දැන් පොලිටිකල් කොමඩියක් වෙලා තියෙන්නේ. අවුරුදු 76 ක් රට පාලනය කරපු අයට වඩා හොඳම කට්ටිය ජාතික ජනබලවේගයේ ඉන්නවා කියන දේ රටට පෙන්වන්න ගිහින් ඒකේ හිල් හැදුණාම ආණ්ඩුවට ඒ හිල් වහ ගන්න මුළු කාලයම යොදවන්න වෙලා තිබෙනවා. ජාතික ජන බලවේගයේ කයියනායකයන්ට රට කරන්න බැරි බව අපි පසුගිය කාලය පුරාම කිව්වා. මේ ආණ්ඩුවට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙන්නේ ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්නවලට. ජාතික ජනබලවේගය නිර්මාණය කළ කඩදාසි මාලිගාව විනාශ වීමෙන් වළක්වාගන්න, අනවශ්‍ය කලාපයකට සමස්ත දේශපාලන කලාපයම තල්ලු කරගෙන යන්න උත්සහ කරනවා. බොරුවෙන්ම දේශපාලන සංවාදය ආරම්භ කරලා, බොරුවෙන්ම නිර්මාණය කළ කතාවක් ඔස්සේ ඒ බොරුවෙන්ම ජනතාවගේ සහයෝගය ලබාගෙන ඒ සහයෝගය ආරක්ෂා කරගන්න මෙයාලට අවුරුදු 5 ක්ම මහන්සි වෙන්න සිදු වෙයි.‘‘
මෙහිදී රෝහණ බණ්ඩාර කීවේ, “කථානායකවරයා ඉවත් කළ යුත්තේ එතුමාව පත් කළ අගමැතිවරිය ඇතුළු පිරිසමයි. හොරු සහ වංචනිකයන් පන්නා දමමින් පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ තේමා පාඨයෙන් බලයට ආපු ජාතික ජන බලවේගයේ, කථානායකවරයා ලෙස අගමැතිවරියගේ යෝජනාවෙන් පත් කරගෙන ඇත්තේ ආචාර්ය උපාධිය වංචනිකව නිර්මාණය කරගත් පුද්ගලයෙක්. හොරුන්ට දඬුවම් දීමට සහ රට තුළ වෙනසක් සිදුකරන බවට පවසමින් බලයට පැමිණි අනුර දිසානායක, ඔහුගේ වාහනයේ දොර ඇරගෙන බැසීම සහ ඇමතිවරු තිබුණු පුටුව මාරු කිරීමට පමණක් ගැන කතා කළා මිසක වෙන කිසිදු දෙයක් ජනතාව වෙනුවෙන් කරේ නෑ නේ. ” යැයි කීය. මේ අනුව කථානායකට එරෙහිව විශ්වාසභංගයකට අත්සන් කිරීමට විපක්ෂය සිකකුරාදා සවස පටන් ගත්තේය.
කතානායක විශ්වාසභංගයට ආණ්ඩුව ගැසූ ගේම
කතානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවොත් එය පරාජය කිරීම ආණ්ඩුවට අසීරු දෙයක් නොවේ. එහෙත් එයින් ආණ්ඩුව පෙන්වන චිත්‍රය වැරදි වෙයි. කෙහෙළිය රඹුක්වැල්ල සිද්ධියේ දී කෙහෙළිය වෙනුවෙන් ඡන්දය දුන් පිරිස සොරකමට උදව් කළ පිරිසක් ලෙස හැඳින්වුණු අතර, මෙවර කතානායක වැරැද්දක් කර ඇත්නම් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන පිරිස වංචාවට උඩගෙඩි දෙන පිරිසක් වෙයි.
මේ නිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මෙහිදී මොළයෙන් ගේමක් ගසනු ඇතැයි ඔවුන්ගේ ගේම් දන්නා අය විශ්වාස කළහ. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ නැති, එහෙත් පක්ෂයේ නියම ගේම්කාරයන් දෙදෙනාවන ජනාධිපති අනුර සහ මහලේකම් ටිල්වින් දෙදෙනා මෙහිදී පාදයක් පසුපසට ගෙන රන්වල ඉවත් කරනු ඇතැයි බොහෝ දෙනා
බලා සිටියහ.
ඒ සමග ජනාධිපතිවරයා සිකුරාදා උදේ සහතියක් දුන්නේ ජනතා විශ්වාසය බිඳ දමන්නේ නැති බවයි. ඒ හරහා ඔහු තම පක්ෂය කරන්නට යන දේ ගැන ඉඟියක් දුන්නේය. සවස්වනවිට කතානායකවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය. එය ආණ්ඩුව තමන්ට එල්ල විය හැකිව තිබූ බරපතල චෝදනාවකින් ගැලවීමක් විය. මේ කටයුත්ත දිගින් දිගට ඇදී ගියේ නම් තතත්වය වෙනස් වීමට ඉඩ තිබූ බව පැහැදිලි විය.