ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල
- අවුරුදු එක හමාරක් රජයේ සේවකයන්ගේ වැටුපෙන් එක ශතයක් අඩු කළේ නෑ.
ආණ්ඩුවට අවුරුද්දකි. ගෙවුණු අවුරුද්ද ගැන මොකද හිතෙන්නේ. මේ ඒ ගැන විමසමින් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- ආණ්ඩුවට අවුරුද්දයි. අපට යළිත් වැරදුණා කියලා ජනතාව හිතන බව ඔබට හිතෙන්නේ නැද්ද?
පිළිතුර:- ජනතාව විවිධයි. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව එහෙම හිතන්න නිදහස තියෙනවා.
ප්‍රශ්නය:-මේක ඛේදවාචකයක් කියලා ඔබ හිතන්නේ නැද්ද?
පිළිතුර:- නෑ ඛේදවාචකයක් නොවෙයි. මොකද අපි බලාපොරොත්තු නොවුණා වගේම ජනතාවත් බලාපොරොත්තු නොවුණ දේවල් සිද්ධ වෙනවා. අපි බලාපොරොත්තු වුණේ නෑ. මේ මාරක වසංගතය අපේ මැතිවරණ ප්‍රකාශනය හදන වෙලාවේ සාංකාවක් අපට තිබ්බේ නෑ මෙවැනි තත්ත්වයක් රටේ ඇතිවෙයි කියලා. ජනතාවගෙන් කොටසක් මේක තේරුම් ගත්තත් අති මහත් බහුතරයක් හිතනවා ‘ඇත්ත අපිට තේරෙනවා. අපි මොකද කරන්නේ’ කියලා. ඒ නිසා පොඩි යම් යම් විදියේ දෝෂාරෝපණ අඩුපාඩු අපේ භාෂාවෙන් කියනවා නම් නෝක්කාඩු කියැවෙනවා. නැතුවම නොවෙයි.
ප්‍රශ්නය:- මිනිස්සු බණින්නේ පදනමක් ඇතිවනේ?
පිළිතුර:- මූලිකව අපි බැලුවොත් මේ ප්‍රශ්නය. ලෝක සෞඛ්‍ය සංවිධානය හා එයට අනුබද්ධ සියලුම කණ්ඩායම් කියන්නේ සෞඛ්‍ය විශේෂඥයන් කියන්නේ මේ වසංගතයට තියෙන එකම විසඳුම එන්නත්කරණය කියලයි. දේශපාලනිකව මොන තරම් කුහකත්වයක් පෙන්නුම් කළාද පහුගිය මාස තුන හතර තුළ පාර්ලිමේන්තුවේ පළමු පැය පහුවෙලාම විපක්ෂනායකතුමා ඇතුළු විපක්ෂයේ සියලුම කණ්ඩායම් කිව්වේ ‘මේ ආණ්ඩුවට දැක්මක් නෑ. මේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ. මේ ආණ්ඩුවට එන්නත ගේන්න සල්ලි නෑ. එන්නත ඇණවුම් කිරීම සම්පූර්ණයෙන්ම අවුල්. මේ ආණ්ඩුව අසාර්ථකයි’ කියලා. ඒක තමයි ගෙදර ආලින්දයට යන්නේ. මොකද පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව දෙන නිසා මේවා ඇසෙන කොට කෙනෙකුට ‘ඇත්තක්’ කියලා හිතෙන්නත් පුළුවන්.
ප්‍රශ්නය:- ‘සර් ෆේල්’ කියන එකට නම් සමාජයේ වලංගු භාවයක් තියෙනවා?
පිළිතුර:- තියෙනවා කියලා පෙන්වන්න හදනවා. ජනාධිපතිතුමා ඉතාම නිහඬව මාධ්‍ය හරහා සංදර්ශන දාන්නේ නැතිව... මම ඒ කොවිඩ් මීටින් එකේ මුල් දවසේ ඉඳලා ඉන්න කෙනෙක් හැටියට මම දන්නවා එතුමා ගත්ත නිහඬ උත්සාහය. එක අවස්ථාවක එතුමාට මම රාජ්‍ය නායකයකුගේ නමක් කියල එතුමාට කතා කළොත් හොඳයි’ කියලා කිව්වම ජනාධිපතිතුමා මට කීවා ‘ඇමැතිතුමා මේ වෙනකොට මම හතර පාරක් කතා කරලා තියෙන්නේ’ කියලා අපට ඇස්ට්‍රාසෙනිකා එකේ ප්‍රශ්නයක් ආවනේ. ඒ ප්‍රශ්නය ආවේ ඇයි ?
ප්‍රශ්නය:-නියමිත වෙලාවට ඇණවුම් නොකළ නිසා ?
පිළිතුර:- වැරැදියිනේ. මිලියන 12 ක් ඇණවුම් කරලා තිබුණේ. ඒක අනුමත වෙලත් තිබුණා. නමුත් ඉන්දියාවේ තත්ත්වයත් එක්ක ඒ සමාගමේ ප්‍රධානියා එංගලන්තයට පලා ගියා. අපි සද්භාවයෙන් ඒ ඇණවුම් කිරීම කළේ. අපට සල්ලි නැති ප්‍රශ්නයක් මුකුත් තිබුණේ නෑ. අපි ඒ එන්නතේ පළමු එක ගැහුවේ දෙවැනි ආණවුම් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. ඉතින් අනපේක්ෂිතව අද මුළු ලෝකයෙම ඒ ප්‍රශ්නය මතුවෙලා තියෙනවා අපි පමණක් නොවෙයි යුරෝපා සංගමය නඩු දාන්න යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නඩු දාන්න යනවා. සහතික කරපු ඇණවුම් ලබා නොදීම ගැන. මේ ඇත්ත මේ රටේ විපක්ෂයට වැඩක් නෑ. විපක්ෂය ඉතාම දරුණු ලෙස හා පහත් ලෙස විවේචනය කළා. ඒ නිසාම තමයි ලෝකයේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එක හැර අනික් හැම එන්නතක්ම අපේ රටේ තියෙනවා. ඒකට හේතුවක් කවුරුවත් කතා කරන්නේ නැහැනේ.
ප්‍රශ්නය:- ඔබට ඒ ගැන දැන් කතා කරන්න පුළුවන්?
පිළිතුර:- ඔව්. ඒකට හේතුව තමයි ජනාධිපතිතුමා කොවිඩ් මීටිමේ දී කිව්වේ ‘ලෝකයෙ කොහෙන්ද ගේන්න තියෙන්නේ කුමක්ද ගේන්න තියෙන්නේ. එ්ක ගේනවා කියලා. ඒ නිසා තමයි ඒ ප්‍රශ්නය ඉතාමත්. සාධනීය ලෙස විසඳෙමින් තිබෙන්නේ. ජපානයේ තානාපතිතුමා මගෙත් එක්ක කිව්වා. ජනාධිපතිතුමා ජපානයේ අගමැතිතුමාට පෞද්ගලිකව ලියුමක් එව්වා එන්නත් ලක්ෂ 15ක් ඕනෑ කියලා. ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට ගෞරවයක් පිණිස ඒ ඉල්ලීම හැකි තරම් වේගයෙන් ඉටු කළා’ කියලා.
ප්‍රශ්නය:-එන්නත්කරණය පමාවීම නිසා වේගයෙන් පැතිරුණා ?
පිළිතුර:- මෙහෙමයි අපට කියන්න පුළුවන් පරක්කු වුණා. ඉක්මන් වුණා. වැරදුණා කියලා. ඔහොම දේවල් කියන්න පුළුවන්. හැබැයි ලෝකයේ අනික් රටවල් දිහා බලන්න. දියුණුයි කියන රටවල කොච්චර ද එන්නත් දීලා තියෙන්නේ කියලා. බලන්න ආසියාකරයෙ බලන්නකෝ. එක දවසේ ලක්ෂ පහකට එන්නත දීපු වෙනත් රටක් මට කියන්න. අපේ සෞඛ්‍ය අංශ අපේ ත්‍රිවිධ හමුදාව රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ කැපවීම අගය කරන්න. සමහරු අකමැති ඇයි ? නුවර උදාහරණයට ගන්න. එක දවසක් තුළ ලක්ෂයයි. එක් ලක්ෂ දහදාහක් අතර එන්නත දුන්නා. හැබැයි අවාසනාවට මේ එන්නත ගන්නේ නැති කණ්ඩායමක් ඉන්නවා. දැන් මේ මරණවලින් සියයට 86 ක් එකම එන්නතක්වත් ගත්තෙ නැති අය.
ප්‍රශ්නය:- මේවන විට රෝහල් පිරිලා ඉතිරිලා. කොරිඩෝවල ඇඳන් යට ලෙඩ්ඩු ඉන්නවා?
පිළිතුර:- ඔව්. ඔව්. ඒක අලුත් ප්‍රශ්නයක්. මේ අලුත් ප්‍රශ්නයට උත්තර සපයන්න ඕනා. අපෙත් තියෙනවා ලොකු ප්‍රශ්න ගොඩකුත්. මඟුල් ගෙදරකට යන්න පුළුවන් 150 යි. නමුත් 160 ක් ආවොත් මඟුල් ජෝඩුවක් එක්කම කුදලාගෙන එනවා. හැබැයි ප්‍රභූ මරණයක් වුණොත් කවුරුවත් යන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක කරන්න. අද මේ ඉතාමත් අවාසනාවන්ත ලෙස පොකුරු හදන්න ද කියන්න මම දන් නෑ. කීප දෙනෙක් එකතුවෙලා අහිංසක ගුරුවරු විදුහල්පතිවරු ගෙන්වලා මහා විනාශයක් කරන්න හදනවා. අද ඔප්පු වෙලා තියෙනවා ඒ ඇවිත් හිටපු අයගෙන් බාගයට බාගයක් ගුරුවරුන්, විදුහල්පතිවරුන් නොවෙයි කියලා. අත්අඩංගුවට ගත්ත පිරිසෙන් වැඩිම පිරිසක් ගුරුවරුන් නොවෙයි කියලා ඔප්පු වෙලා තියෙනවා. මේවා ඉස්සරහට හොඳට අනාවරණය වෙයි. නටන්නේ දේශපාලන අරමුණු ඉස්සරහට දාගෙන බොරදියේ මාළු බාන්න හදන කණ්ඩායමක් එක්කයි අපි මේ ගමන යන්නේ.
ප්‍රශ්නය:- ඇයි ආණ්ඩුව ගුරුවරුන්ගේ ප්‍රශ්නයට සංවේදී නොවන්නේ?
පිළිතුර:- කවුද කියන්නේ සංවේදී නෑ කියලා. ප්‍රශ්නය 1994 රිචඩ් පතිරණ මහත්මයා අධ්‍යාපන ඇමැති හැටියට ලංකාවේ වේතන උඩු යටිකුරු කළා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ එකට එකක් වැඩිවන විදියට වැටුප් වැඩි කළා. ඒක හොඳ දෙයක්. ගුරුවරුන්ට කරන්න පුළුවන් හොඳම දේ තමයි රිචඩ් පතිරණ ඇමැතිතුමා එදා ඒ කළේ. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් හැටියට බී.සී පෙරේරා කමිටුව මේ අයට විශාල වශයෙන් වැටුප් වැඩි කිරීමක් කරලා තියෙනවා කියලා අනෙකුත් රජයේ සේවකයන් මේ ප්‍රශ්නයට අවතීර්ණ වුණා. එදා ඉඳන් මෙදා වෙනකල් තිබුණ හැම ආණ්ඩුවක්ම මේ ප්‍රශ්නය දිහා බලපු විදිය වෙනස්. මම එක ප්‍රශ්නයක් අහන්නම්කෝ යහපාලන ආණ්ඩුව මේ වෙනුවෙන් එක වචනයක්වත් කිව්වද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළාට පස්සේ නෙළුම් මාවතේ මම පෞද්ගලිකව දන්නවා. මේ විදුහල්පතිවරු ගුරුවරු වෘත්තිය සමිති හැටියට දැඩි ලෙස ඉල්ලා හිටපු දේ තමයි මේකට විසඳුමක් දෙන්න ඕනෑ කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයට මේක ඇතුළත් කරගන්න දැඩි සටනක් කළා. ඒ අයටයි මේකේ ගෞරවය හිමි විය යුත්තේ. ඔය ස්ටාලින්ලාට, මහින්ද ජයසිංහලාට නොවෙයි. මැතිවරණ ප්‍රකාශනයකට. මේක ප්‍රතිපත්තියක් හැටියට ඇතුළත් කර ගත්තේ අපේ වෘත්තීය සමිති. ඒ නිසාම තමයි පළමු අයවැයේ දී අගමැතිතුමා ප්‍රකාශ කළේ මේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම විසඳනවා කියලා. අපි ඉන්නේ එතැන.
ප්‍රශ්නය:- පොරොන්දු දෙනවා. නමුත් ඉටු කරන්නේ නැහැ.
පිළිතුර:- ප්‍රශ්නය ඒක තමයි. ඒ පොරොන්දුව දුන්නේ සද්භාවයෙන්නේ. අපි බොරු කරනවා නම් ඒ පොරොන්දුව මැතිවරණ ප්‍රකාශනයට දානවාද? හැබැයි අද රටේ තත්ත්වය මොකක්ද? රටේ ප්‍රධානම ආදායම් මාර්ග මොනවාද? රේගුව ආදායම් බදු දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව. මේවායින් තමයි සීයට අනුවක් අපි රාජ්‍ය ආදායම් ලබන්නේ. මේවා සීයට පනහකටත් වඩා අඩුවෙලා. මේ වැටුප් විෂමතාව ඉවත් කරන්න දළ වශයෙන් බිලියන 70 ක් විතර යනවා. හැබැයි අපි ඒකත් කරන්න සූදානම්. අපට දෙන්න ඕනෑනේ කාලයක්. අවුරුදු එක හමාරක් රජයේ සේවකයන්ගේ වැටුපෙන් එක ශතයක් අඩු කළේ නෑ. ගුරුවරුන් අවුරුදු එක හමාරක් ගෙදර ඉඳන් පඩි ගත්තේ. සමහරු සල්ලිවලට ඔන්ලයින් කළා.
ප්‍රශ්නය:-ඔබ ගුරුවරුන්ට කිව්වේ කාලකන්නි කියලා?
පිළිතුර:- මම ඒක නිසා තමයි කිව්වේ තුන් හතර දෙනෙක් එකතුවෙලා කරන මේ වැඩපිළිවෙළ මෙහෙයවන අය කාලකන්නි කියලා. මම ඒක අදත් කියනවා. හෙටත් කියනවා. මම එහෙම කිව්වම මට විශාල වශයෙන් චෝදනා ආවා. අද මොකක්ද වෙලා තියෙන්නේ. අද බහුතරයක් කියනවා ඇත්ත තමයි කියලා. සමහරු ෆේස් බුක් එකේ දාලා තිබුණේ අවජාතක කාලකන්නි කියලා. මොකද හේතුව මේ තියෙන තත්ත්වයත් නොදැන නොවෙයි මේවා කියන්නේ. මහින්ද ජයසිංහ කියන මනුස්සයා කියනවා. ‘මේ වගකීම අපි බාර ගන්නවා. භය නැතිව එන්න.’ කියලා. මේ ගොල්ලන්ට ඕනැ මේක කළේ අපියි කියලා කියවා ගන්න. මොකද මේ අය දේශපාලන වශයෙන් කුඩු පට්ටම් වෙලා තියෙන්නේ. මේ රටේ ජනතාව ශත පහකට මේ අය ගණන් ගන්නේ නෑ. මේ අයට අධ්‍යාපන පසුබිමක් නෑ. එන්ජීඕ කාරයන්ගෙන් සල්ලි අරගෙන මේ කෑ ගහන්නේ. අපි මේ ප්‍රශ්නය විසඳනවා මේගොල්ලෝ මේ බොරුවට දඟලන්නේ.
ප්‍රශ්නය:-මේ ආණ්ඩුවට පොදු සැලැස්මක් නෑ. අද කියන දේ හෙට රිවස් කර ගන්නවා.
පිළිතුර:- මොකක්ද එහෙම රිවස් කරගත්තේ?
ප්‍රශ්නය:-ගැසට් ගහනවා. අකුල ගන්නවා. හාල්වලට ගහපු ගැසට් එක කෝ?
පිළිතුර:- සහල් මාෆියාව ලේසි පහසු නෑනේ. යම් යම් දේවල් වෙනවා කියන එක ගැන මම පුදුම වෙන්නේ නෑ. මේ හය හත් දෙනා බිලියන හතළිහක පමණ ආදායමක් ලබනකොට අවුරුද්දකට ඉතාම අයුතු ලෙස ඔවුන් මුදල්වලින් සමහරුන්ව යටපත් කරගෙන කරන වැඩ කොටසක් තියෙනවා. ඒ නිසා මේ පාර කැබිනට් එකේ තීන්දුවක් ගත්තා රුපියල් 2500 දඩය ලක්ෂය දක්වා වැඩි කරන්න. එහෙම ක්‍රම සහ විධි අපටත් හදාගෙන යන්න වෙලා තියෙනවා.
ප්‍රශ්නය:-‘අපි තමයි හොඳටම කළේ’ කිව්වට සමස්තය ගත්තාම එහෙම නොවෙයි නේද?
පිළිතුර:- අපිට මේ රටේ සියලුම ජනතාව ඡන්දය දුන්නේ නෑනේ. අපට විරුද්ධව ඡන්දය දුන්න විශාල පිරිසකුත් ඉන්නවනේ. ඉතින් ඒ අය තමන්ට ගැළපෙන විදියට තමයි හිතන්නේ. නමුත් ඔවුන්ගේ හෘද සාක්ෂිය ඇත්ත දන්නවා. මෙච්චර අමාරුකම් මැද්දේ වුණත් රට මේ විදියට තියෙන්නේ අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව රට පාලනය කරන නිසා බව ඔය හැම කෙනෙක්ම පිළිගන්නා සත්‍යයක්.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්