අතීතයේදී වමට එරෙහිව දකුණ පෙළගැසුණ හැටි



බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ බිහිවූ මෙරට ප්‍රථම දේශපාලන පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය පොපිමල් ව්‍යාපාරයට විරුද්ධ සූරිය මල් ව්‍යාපාරය තුළින් මෙරට මැලේරියා වසංගතය නිසා අසරණ වූ ජනතාවට පිහිටවෙමින් ජනතා ප්‍රසාදය දිනෙන් දින ලබා  ගනිද්දී 1940/41 වකවානුවේ තුන්වැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය පැවැත්වීමට  නියමිතව තිබුණත් දෙවැනි ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵලයක් වශයෙන් මැතිවරණය කල් දැමීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව තීන්දු කළේය.

එසේ වුවද යුද විරෝධී මෙරට ප්‍රබලම සංවිධානය වශයෙන් ලංකා සම සමාජ පක්ෂය වැඩ කරන ජනතාව අතර ඉදිරියෙන්ම සිටිමින් වෘත්තීය සමිතිවලට නායකත්වය දෙනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා විසින් 1940 ජුනි 18 වැනිදා සමසමාජ නායකයන් වූ ඇන්. ඇම්. පෙරේරා,  පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර් ද සිල්වා, එඩ්මන් සමරක්කොඩි අත්අඩංගුවට ගෙන නඩු විභාගයකින් තොරව සිරගත කරනු ලැබූ අතර කොලොන්නාවේ පිහිටි සම සමාජ පක්ෂ මුද්‍රණාලයට සීල් තබා ලංකා සමසමාජ පක්ෂය නීති විරෝධි පක්ෂයක් බවට ප්‍රකාශයට  පත් කරනු ලැබීය. සමසමාජ පක්ෂ බැඳීම මෙන්ම ඊට සහයෝගය දීම බරපතළ වරදක් ලෙස ද ප්‍රකාශයට පත් කරනු ලැබීය.

නමුත් 1942 අප්‍රේල් 05 වැනි දින මධ්‍යම රාත්‍රියේ අත්අඩංගුවේ සිටි සම සමාජ නායකයෝ මහනුවර බෝගම්බර සිරගේ කඩාගෙන ඉන්දියාවට  පැන ගියහ. 1943 ජුලි 15 වැනිදා ඉන්දියාවේදී සිරභාරයට ගෙන ඔවුන් ලංකාවට ගෙනවින් සිරෙන් පැනයාමට පිළිබඳ නඩු අසා බරපතළ වැඩ  සහිත සිරදඬුවමකට යටත් කරන ලද අතර 1945 ජුනි 24  වැනි දින කොන්දේසි විරහිතව නිදහස් කරන ලදී. ඒ අතරතුර සමසමාජ පක්ෂයේ න්‍යායික, මතභේදය උත්සන්න වී 1940  අප්‍රේල් 18 වැනිදා සෝවියට් සංගමයේ පිළිවෙත සාධාරණ බව ප්‍රකාශ කළ එස්. ඒ. වික්‍රමසිංහ, එම්. ජී. මැන්ඩිස්, ආරියවංශ ගුණසේකර, ඩබ්ලිව්. ආරියරත්න, කේ. රාමනාදන් යන අය විධායක කාරක සභාවෙන් නෙරපා හරින ලදහ. එහි ප්‍රතිපලයක් ලෙස සාකච්ඡා වට ගණනාවකින් පසු 1943 ජුලි මස ලංකා කොමියුනිස්ට් පක්ෂය නමින් සමසමාජ පක්ෂයෙන් කැඩී ගිය පිරිස වෙනම පක්ෂයක් පිහිටුවා ගනු ලැබූහ. මේ අනුව ට්‍රොට්ස්කිවාදි පක්ෂය ලෙස ලංකා සමසමාජ පක්ෂය ස්ටැලින්වාදි පක්ෂයක් ලෙස කොමියුනිස්ට් පක්ෂයත් ක්‍රියාත්මක විය. 

දෙවැනි ලෝක යුද්ධය අවසන් වී ලංකාවට  ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් ප්‍රකාශයට පත් කිරීමට සෝල්බරී කොමිසන් සභාව උත්සාහ ගනිද්දී 1947 දී මහ මැතිවරණයක් පැවැත්වීමටත් මන්ත්‍රී කොට්ඨාස මැතිවරණයක් පැවැත්වීමටත් මන්ත්‍රී  සංඛ්‍යාව 95 දක්වා වැඩි කිරීමටත් තීරණය කළේය. 1947 මහ මැතිවරණය ආසන්න වෙත්ම ලංකා සමසමාජ පක්ෂය තවත් වරක්  කැඩී ගියේ පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙනි. ඔහු සමසමාජ පක්ෂය විසින් නෙරපා හරින ලද අතර කොල්වින් ආර් ද සිල්වා, හෙන්රි පිරිස්, ලෙස්ලි ගුණවර්ධන, ඩොරික්ද සූසා වැන්නවුන් එක්වී පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන්  බෝල්ෂෙවික් ලෙනිස්ට් පක්ෂය පිහිටුවා ගත්හ. මේ විට  වම බෙදී ගියත් ජාතික නායකයන් නායකත්වය දුන් ලංකා ජාතික සංගමය සිංහල මහ සභාව, ලංකා මුස්ලිම් සංගමය හා දමිළ නියෝජිතයන් එක්වී 1946 සැප්. 06 වනදින එක්සත් ජාතික පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් බිහිකරනු ලැබීය.

1947 ජුලි 26 වැනිදා නාම යෝජනා පත්‍ර භාරගත් අතර එදිනම පුත්තලම් ආසනයට මුස්ලිම් නායකයකු වූ එච්. එස්. ස්මයිල් මහතා නිතරගයෙන් තේරී පත්විය. වමේ පක්ෂවලට එක්වී තරග කරන ලෙස ලංකා සමසමාජ පක්ෂයේ  වී. කරාලසිංහම් මහතා ඉල්ලා සිටියද කොමියුනිස්ට් පක්ෂය තනියම තරග කිරීමට කටයුතු කළේය. සමසමාජ පක්ෂය හා බෝල්ෂෙවික් ලෙනිස්ට් පක්ෂය බොහෝ දුරට  තම අපේක්ෂකයන් එකිනෙකා නොගැටෙන ලෙස තරග කිරීමට උත්සුක විය. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් ඇතැම්විට කීපදෙනෙක් එකම ආසනයට ඉදිරිපත්වීම ද දැකිය හැකි විය.  

ආසන 95 සඳහා අපේක්ෂකයන් 98 ක් තරග කළ එ.ජා. පක්ෂයට දිනාගත හැකිවූයේ මන්ත්‍රී ධුර 42 පමණි. ආසන 28 සඳහා තරග වැදුණු ලංකා සමසමාජ පක්ෂයට ආසන් 10ක්ද ආසන 10 සඳහා තරග වැදුණු බෝල්ෂෙවික් ලෙනිස්ට් පක්ෂය ආසන 05ක්ද ආසන 13  සඳහා තරග වැදුණු කොමියුනිස්ට් පක්ෂයට ආසන 03ක්ද හිමි විය. ආසන 09 සඳහා  තරග වැදුණු ද්‍රවිඩ සංගමයට ආසන 07ක්ද  ආසන 07ක් සඳහා තරග වැදුණු ඉන්දියානු සංගමයට ආසන 06ක්ද ආසන 09ක්  සඳහා තරග වැදුණු කම්කරු පක්ෂයට ආසන 01ක්ද හිමි වූ අතර ස්වාධීනව තරග වැදුණු 181ක් අතුරෙන් 21 දෙනෙක් තේරී පත්වූහ.

ලංකා සමසමාජ පක්ෂයට හා බෝල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයට ඡන්ද 317,213ක් හෙවත් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 17.2% ක් හිමිවීම දැකිය හැකිවිය. ලංකා කොමියුනිස්ට් පක්ෂයට ඡන්ද 70,331ක් හිමිවිය. මෙම තුනේ එකතුව මුළු  ඡන්ද සංඛ්‍යාවෙන් 20.5%කි. එ.ජා. පක්ෂයට ලැබුණේ මුළු ඡන්ද 751,432කි.

මේ අනුව වාමාංශික බලවේගයට විශාල ආසන සංඛ්‍යාවක් හා  ඡන්ද සංඛ්‍යාවක්  ලැබීම නිසා එ.ජා. පක්ෂ විරෝධි පක්ෂවල නායකයන් හා ස්වාධීන මන්ත්‍රීවරු එක්ව සභාග රජයක් පිහිටුවීමේ හැකියාවක් දක්නට වූ නිසා කොළඹ එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ ‘යමුනා’ නිවසේ දී ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා වට කීපයක්ම පවත්වන ලදී. 

නමුත් වාමාංශික පක්ෂවල නායකයන්ගේ දැඩි උද්ධච්චභාවය පටු ආකල්ප, න්‍යායාත්මක මතභේද නිසා පොදු එකඟතාවක් ඇතිකර ගැනීම අතිශයින් දුෂ්කර විය. විශේෂයෙන් ස්වාධීන මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහාය  ලබා ගැනීමට හැකියාව  තිබියදී ඔවුන් හා එකතු වීමට බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය දැඩි ලෙස විරෝධය පළ කළේය. පොදු සතුරාට විරුද්ධව එකතුවීමේ මූලික න්‍යාය හිතාමතා කඩා දැමීම නිසා වමේ බලය  ගොඩනැගීමට ලැබුණු ප්‍රථම අවස්ථාව අවාසනාවන්ත ලෙස වමෙන් ගිලිහී ගියේය. එහි ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතික පක්ෂය ස්වාධීන කණ්ඩායමක්ද එක්කර ගනිමින් ආණ්ඩුවක් පිහිටුවා ඩී. එස්. සේනානායක ඇමැති ලෙස පත්වීමය.

ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට ආරම්භයේ සිට වැළඳී තිබුණු පොතේගුරු වාදය හා න්‍යායාත්මක සටන් පාඨ උච්චාරණය  හැර දමා එදා ‘යමුනා’ හි දී එකඟතාවකට ප්‍රවේශ්වී නම් ‘වමේ බලය’ ගොඩනැඟු ප්‍රථම අවස්ථාව ලෙස 1947 ඉතිහාසයට එක්වීම වැළැක්විය නොහැක. අවසානයේ සමසමාජ පක්ෂයට විපක්ෂනායක ධුරය ලැබී ඇන්.ඇම්. පෙරේරා  විපක්ෂනායක ධුරයට පත්වීම සිදුවිය.


 බණ්ඩාරගම සමරසේන මුදලිගේ