ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය අධ්‍යයනය කරන විට මහා මැතිවරණ ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවේ අසුන් ගත් පසුව ඡන්ද පෙත්සම හේතු කරගෙන මන්ත්‍රී ධූරය අහිමි වූ ස්වකීය සැමියන් වෙනුවට, අතුරු මැතිවරණ ජයග්‍රහණය කර මැති සබයට පිවිසියා වූ කාන්තා චරිත කීපයක් අපට හමුවෙයි. එසේ සැමියා වෙනුවට පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රථම මන්ත්‍රීවරිය ලෙස වාර්තා පොතට ඇතුළු වන්නේ කුසුමසිරි ගුණවර්ධනය.
1947 ප්‍රථම මහා මැතිවරණයයේ දී අංක: 11 - අවිස්සාවේල්ල ආසනයට තරග වැදී බර්නාඩ් ජයසූරිය (එ.ජා.ප. අලියා 5,676) පරාජයට පත්කර ජයග්‍රහණය අත්කර ගත්තේ ප්‍රබල වාමාංශික නායකයකු වූ ඩී. පී. ආර්. (පිලිප්) ගුණවර්ධනය. මුළු ඡන්ද 17,598 ද, වැඩි ඡන්ද 11,922 ද හිමිකරගෙන විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ නමුත්. වැඩි කලයක් මන්ත්‍රීධුරයේ රැඳී සිටීමට හැකි වූයේ නැත. ‘‘1947 වර්ෂයෙදී රජයේ ලිපිකරු සේවා සංගමයේ මෙයෙවීමෙන් ආරම්භ වූ ඓතිහාසික මහා වැඩ වර්ජනයේදී, රත්මලාන ‘සවුත් වෙස්ටර්න් ’’ බස් සමාගමේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට රැක සිට වැඩට පැමිණෙන සේවකයන් ආපසු හරවා ඉමින් සිටියදී පිලිප් ගුණවර්ධන පොලිස් අත්අඩංගුවට පත්විය. පසුව ඔහුට විරුද්ධව අධිකරණය ඉදිරියේ නඩු පැවරූ අතර ඔහු වරදකරු බවට තීරණය කර මහේස්ත්‍රාත් ජී. සී. අමරසිංහ විසින් හය මාසයක සිරදඬුවමක් නියම කරන ලදී. අධිකරණ නියෝගයට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කළ නමුත් බස් සමාගමේ අයිතිකාර සර් සිරිල් ද සොයිසාගේ සාක්ෂිය ප්‍රබල වූයෙන් ඇපෑල නිෂ්ප්‍රභා වී සිර දඬුවම ස්ථිර විය. (තොරතුරු: පිලිප් - නීතිඥ වර්නන් ගුණසේකර)
මෙම සිදුවීම මුල් කරගෙන අවිස්සාවේල්ල ආසනයේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වූයෙන් අතුරු මැතිවරණයක් පැවැත්වීමට දින නියම කෙරිණ. (මෙය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය තුළ ප්‍රකාශයට පත් කළ ප්‍රථම අතුරු මැතිවරණය ලෙස සටහන් වෙයි) ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම 1948-04-19 දින සිදු කිරීමට නියමිතව තිබුණි. ඒ අවස්ථාවේදී නාම යෝජනා පත්‍ර භාරදීමට තරගයක් නොතිබීමෙන් කුසුමසිරි ගුණවර්ධන අවිස්සාවේල්ල ආසනයේ අභිනව මන්ත්‍රීවරිය වශයෙන් නිතරගයෙන් තේරී පත්වූයේ ඒ ආකාරයට පත් වූ ප්‍රථම සහ එකම මන්ත්‍රීවරිය වීමේ වාර්තාව ද, ගෞරවයද තමා සතුකර ගනිමිනි. 1952 දෙවැනි මහා මැතිවරණයේදී අවිස්සාවේල්ල ආසනය සඳහා පැවැතියේ ‘කාන්තා පොරය’කි. තරග ඉතා තීරණාත්මක ස්වරූපයක් ගත්තේය.
ක්ලෝඩා ජයසූරිය (අත - 18,485) පරදව, කුසුමසිරි ගුණවර්ධන (අලියා) 19,414 ජයග්‍රහණය අත්කර ගත්තේ වැඩි ඡන්ද 929නි. 1956 තෙවැනි මහා මැතිවරණයේ දී පාර්ලිමේන්තු ඉතිහාසයට තවත් වාර්තාවක් එකතු විය. එම මැතිවරණයේ දී පිලිප් ගුණවර්ධන සහ කුසුමසිරි ගුණවර්ධන යන දෙදෙනාම තරග කළේ අලුතෙන් පිහිටුවාගත් මහජන එක්සත් පෙරමුණ (අත) යටතේය. පිලිප් ගුණවර්ධන (අත - 30,070) වැඩි ඡන්ද 22,252ක් ලබා, ක්ලෝඩා ජයසූරිය (එ.ජා.ප - අලියා - 7,818) පරදවා විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ අතර කුසුමසිරි ගුණවර්ධන අංක: 86 - කිරිඇල්ල ආසනයට තේරී පත්වූයේ වැඩි ඡන්ද 9,963ක් ලබා ගනිමිනි. ඇය ඡන්ද 16,272ක් ලැබූ අතර ප්‍රධාන ප්‍රතිවාදි අපේක්ෂක ඒ. ඊ. බී. කිරිඇල්ලට (එ.ජා.ප.) හිමි වූයේ ඡන්ම 6,309ක් පමණි. මේ අනුව පිලිප් - කුසුමා මැතිසබයේ ප්‍රථම අඹුසැමි යුවළ බවට පත්විය. 1960 මාර්තු මැතිවරණයේදී කිරිඇල්ල ආසනයේ 4 වැනි ස්ථානයට පත්වූ ඇය 1960 ජූලි මැතිවරණයට තරග නොකළාය.
1965 මැතිවරණයේ සිට ඇය අංක 17 - කොලොන්නාව ආසනය තෝරා ගත්තාය. පළමු කොලොන්නාව සටනේදී (මා.එ.පෙ. - කරත්ත රෝදය) ඇය ඡන්ද 12,439ක් ලබාගෙන ඩී. ඇස්. සමරසිංහ (ශ්‍රී.ල.නි.ප - අත) 13,267 වෙතින් ඡන්ද 828ක් වැනි සුළු සංඛ්‍යාවකිනි. ඉක්බිති, 1967-02-28 දින පැවති අතුරු ඡන්දයේ දී වැඩි ඡන්ද 3,363ද, 1970 හත්වැනි මහා මැතිවරණයේදී වැඩි ඡන්ද 8,836ද ශ්‍රී.ල.නි.පයේ ටී. බී. ඉලංගරත්න වෙතින් පරාජය වූ පසු දේශපාලනයෙන් සමුගත්තාය.
තමරා කුමාරි ඉලංගරත්න මන්ත්‍රී ධූරය අහිමි වූ සිය සැමියා වූ ටී. බී. ඉලංගරත්න වෙනුවට අතුරු මැතිවරණයකට ඉදිරි පත්ව ජයග්‍රහණය කර මැති සබයට පැමිණි දෙවැනි මන්ත්‍රීවරියද, කන්ද උඩරට නියෝජනය කළ ප්‍රථම කාන්තාවද වූවාය. එයද සිදු වූයේ වෘත්තීය සමිති ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් වශයෙනි. 1947ෙඓතිහාසික වැඩ වර්ජනය සංවිධානය කළ අවස්ථාවේදී රජයේ ලිපිකරු සේවා සංගමයේ සභාපතිවරයා වූයේ ටී. බී. ඉලංගරත්නය. එවකට ඔහු මහනුවර කච්චේරියේ සේවය කරමින් සිටියේය. වැඩ වර්ජනය සංවිධානය කිරීම හේතු කොට ගෙන වැඩ තහනමට යටත් කර පසුව රාජ්‍ය සේවයෙන් පහ කළ ඉලංගරත්න මහතා 1947 ප්‍රථම මහා මැතිවරණයේ දී ‘නිදහස් සමාජවාදී අපේක්ෂකයා ලෙස මහනුවර ආසනයට තරග කළේය. පාලක එ.ජා.ප. යෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව ද නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ ජෝර්ජ් ඊ. සිල්වා ඉදිරිපත් කර තිබුණි.
ඡන්ද 7,942ක් ලබාගත් හෙතෙම, ටී. බී. ඉලංගරත්න (අත 7,737) පරදවා වැඩි ඡන්ද 205ක තියුණු ජයක් ලබා ගත්තේය. එහෙත් එම පත්වීමට විරුද්ධව ඉලංගරත්න මහතා ගොනු කළ ඡන්ද පෙත්සම විභාග කළ වින්හෙම් විනිශ්චයකාර ජෝර්ජ් ඊ ද සිල්වාගේ මන්ත්‍රී ධූරය අහිමි කර සත් වසරකට ප්‍රජා අයිතිය අහෝසි කළේය. ඉන්පසු මහනුවර ආසනයේ ප්‍රථම අතුරු මැතිවරණය 1948.05.18 දින පැවැත්වීය. එ.ජා.පයෙන් තරග කළ ප්‍රෙඩ් ඊ ද සිල්වා (තරාදිය-6508) පරාජය කළ ටි. බී. ඉලංගරත්න (කුඩය - 10,365) පහසු ජයක් ලබාගෙන පළමුවරට මැති සබයේ අසුන් ගත්තේය. එහෙත් එම පත්වීමට එරෙහිව පරාජිත ෙfප්‍රඩ් ඊ. ද සිල්වා ගොනුකළ ඡන්ද පෙත්සම විභාග කළ නාගලිංගම් විනිසුරු තුමා ටි. බී. ඉලංගරත්නගේ මන්ත්‍රී ධුරය අහිමි කර ඔහුටද සත් වසරක තරග තහනමක් පැනවීය.
මහනුවර ආසනය සඳහා වූ දෙවැනි අතුරු මැතිවරණය 1948.06.18 දින පවත්වන බව ආග්‍රාණ්ඩුකාර කාර්යාලය නිවේදනය කළේ ඉක්බිතිවය. ප්‍රගතිශීලි වාමාංශික කණ්ඩායම වෙනුවෙන් තමරා කුමාරි ඉලංගරත්න ‘‘තරුව’’ සලකුණ යටතේ තරග කිරීමට ඉදිරිපත්ව සිටියාය. පළමු ඡන්ද පෙත්සම් විභාගයේදී ෙfප්‍රඩ් ඊ. ද සිල්වාට වසර තුනක තරග තහනමක් පනවා තිබූ පසුබිම යටතේ ඒ. සී. ඇල්. රත්වත්තෙ එ.ජා.ප අපේක්ෂකයා විය.
ඡන්ද 10,062ක් ලැබූ තමරා කුමාරි ඉලංගරත්න ඒ. සී. ඇල්. රත්වත්තෙ (8,012) පරාජයට පත්කර වැඩි ඡන්ද 2,050න් ජයග්‍රහණය කර මැති සබයට පිවිසියාය. තමරා කුමාරි ඉලංගරත්න ජයග්‍රහණය කළහොත්, ඇයගේ පත්වීමට ද එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරනු ඇතැයි තදබල ලෙසම විශ්වාස කළ සංවිධායකයන් ආරම්භයේ පටන්ම ආරක්ෂාකාරී පියවර ගනිමින් ක්‍රියා කළ ආකාරය ටී. බී. ඉලංගරත්නගේ ‘‘යුගයක ගමන’’ නමැති ග්‍රන්ථයේ මෙසේ දක්වා ඇත.
‘‘නාම යෝජනා දිනයට පෙරදා තමරා වෙනත් නිවසක පදිංචි කරවා, පසුදා උදෑසන එච්. ශ්‍රී නිශ්ශංක හා අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල යන අයගේ ආරක්ෂාව ඇතිව ඇය කච්චේරියට ගෙන යනු ලැබුවාය. ඉන්පසු ඇය නීත්‍යනුකූල අපේක්ෂිකාව ලෙස නිල ප්‍රකාශය කරනු ලැබුවාය.’’ සංවිධායකයන් සිතූ පරිදිම ඇයගේ පත්වීමට ද එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් වූ ආකාරය එම ග්‍රන්තයේ තවදුරටත් මෙසේ විස්තර කර තිබේ. ‘‘තමරාට ද ඡන්ද පෙත්සමක් ඉදිරිපත් විය. ඒ සඳහා හේතු වූයේ ප්‍රජා උරුමය තහනම් කරනු ලැබ සිටි මා ඇගේ මැතිවරණ නියෝජිතයෙක් ලෙස ක්‍රියාකර ඇති බවයි. තමරා සමඟ ඡන්ද හැරවීමේ ව්‍යාපාරයේ මා යෙදුන බව ඔප්පු කිරීමට ඡායාරූප ඇති බවද කලක සිටම ප්‍රසිද්ධව තිබුණ නිසා ඇය ජයග්‍රහණය කළ දා සිටම මාගේ ඇඳුම ජාතික ඇඳුමට වෙනස් කර ගතිමි. කොතරම් සාක්ෂි ඉදිරිපත් කළ ද, ඔප්පු කළ නොහැකි වූයෙන් ඡන්ද පෙත්සම නිෂ්ප්‍රභ කරන ලදී.’’ මේ අනුව ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය 1952 අප්‍රේල් දෙවැනි මැතිවරණයේ දී එ.ජා.පයේ ඊ. ඇල්. සේනානායක (11,349) වෙතින් වැඩි ඡන්ද 37,005න් පරාජය වූ ඉලංගරත්න මහත්මිය දීර්ඝ නිහැඬියාවකින් පසු නැවත ඡන්ද පොර පිටියට පිවිසියේ 1965 මාර්තු 22 දින පැවත් වූ හයවැනි මහා මැතිවණයේදීය.
එවර ඇය තෝරාගෙන තිබුණේ 39 - ගලගෙදර මැතිවරණ කොට්ඨාසයයි. ඡන්ද 9,559ක් ලබාගත් ඇය, එ.ජා.ප. යේ ඩබ්ලිව්. ඇම්. ජී. ටී. බණ්ඩාට (10,133) පරාජය වූයේ වැඩි ඡන්ද 574නි. නමුත් ඊළඟට පැවති 1970 මැතිවරණයේදී ඇය (13,211) ශ්‍රී.ල.නි.ප.) ජයග්‍රාහී මාවතට පිවිසියාය. ඩබ්ලිව්. ඇම්. ජී. ටී. බණ්ඩා (10,651) පරාජයට පත් කළ ඇය දෙවැනි වරටද මැති සබයේ අසුන් ගත්තාය. ටී. බී. ඉලංගරත්න ද (ශ්‍රී.ල.නි.ප.) 17- කොලොන්නාව ආසනයට වැඩි ඡන්ද 8,836ක් තේරී පත් වූ අතර ඒ දෙදෙනා එකවර මැති සබය නියෝජනය කළ දෙවැනි මන්ත්‍රී අඹු - සැමි යුවල ලෙස වාර්තා පොතට එක්විය.
මන්ත්‍රීධූරය අහිමි වූ තමාගේ ස්වාමියා වෙනුවට අතුරු ඡන්දයකට තරග කළ තෙවැනි මන්ත්‍රී බිරිඳ අපට හමුවන්නේ ඌව පළාතට අයත් බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයෙනි ඇය නමින් කුසුමා රාජරත්න වූවාය. සිංහල භාෂා ප්‍රේමියකු ලෙස නමක් දිනාගෙන සිටි කේ. ඇම්. පී. රාජරත්න ප්‍රථමවරට දේශපාලනයට අවතීර්ණ වූයේ 1952 මැතිවරණයේ දී 78 - වැලිමඩ ආසනයට ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් තරග කිරීමෙනි. ජයග්‍රාහී ඇම්. පී. බඹරපනේ (ස්වාධීන - යතුර 63,148), කේ. ඩී. ඩේවිඩ් පෙරේරා (ස්වාධීන- කූඩය (5,118) සමග තරග වැදි තෙවැනි ස්ථානයට පත් වුව ද, ඡන්ද 3,327ක් බා ගැනීමට සමත් විය. 1956 මැතිවරණයේදී කේ. ඇම්. පී. රාජරත්න ම.එ.පෙ. අපේක්ෂකයා වූ අතර ඇම්. පී. බඹරපනේ එ.ජා.පයෙන් ඉදිරිපත්ව සිටියේය. මුළු ඡන්ද 12,336ද, වැඩි ඡන්ද 8,018ද හිමිකර ගත් රාජරත්න විශිෂ්ට ජයක් ලබාගත්තේය. ඔහු බණ්ඩාරනායක රජයේ ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි උප ඇමතිවරයාද විය.
එහෙත් මෙම පත්වීමට එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් විය. නඩු නිමිත්ත වූයේ 1952 මැතිවරණයෙන් පසු ඡන්ද වියදම් වාර්තාව මැ:කො: වෙත ඉදිරිපත් නොකිරීමෙන් 1946 මැතිවරණ ආඥා පනතේ 72 කොටස යටතේ වරදක් කර තිබෙන බවයි. 1955 අගෝස්තු මාසයේ දී බදුල්ල දිස්ත්‍රික්ක උසාවියේ දී ඔහු වරද කොට රුපියල් 100/- ක දඩයක්ද පනවා තිබුණි. ඊට එරෙහිව ගොනුකළ ඇපෑල 1956 පෙබරවාරි මාසයේ දී නිෂ්ප්‍රභා කෙරුණි. පසුව දෙවැනි ඇපෑලක් ඉදිරිපත් කළ ඔහු 1956 මැතිවරණයට නාම යෝජනා භාර දුන්නේය. දෙවැනි ඇපෑල රජතුන් කට්ටුවක් ඉදිරියේ විභාගයට ගත් අතර 1957 ජූනි මාසයේ දී ඇපෑල නිෂ්ප්‍රභා කළේය. ඉක්බිති රාජරත්නගේ මන්ත්‍රී ධුරය අවලංගු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රාණ්ඩුකාරතුමා දන්වා යැවීමෙන් පසු වැලිමඩ ආසනය සඳහා ප්‍රථම අතුරු මැතිවරණය 1957-09.07 දින පවත්වන වග නිවේදනය කළේය.
1957.07.31 දින බදුල්ල කච්චේරියේ දී නාමයෝජනා භාර ගන්නට යෙදුනි. එදින කේ. ඇම්. පී. රාජරත්න (මහත්මිය) (කරත්ත රෝදය), ඇම්. බී. ඒ. ජයසුන්දර (අත) කේ. ඒ. දල්පතාදු යන තිදෙනා නාමයෝජනා පත්‍ර භාරදුන් අතර තිදෙනාම ‘ස්වාධීන’ අපේක්ෂකයෝ වූහ. අතුරු ඡන්දයේ දී මුළු 14,069ද, වැඩි ඡන්ද 11,453ද ලබාගත් කේ. ඇම්. පී. රාජරත්න මහත්මිය ජයග්‍රහණය වාර්තා කළේ කේ. ඒ. දල්පතාදුගේ (642) ඇප මුදල රාජසන්තක වීමට ඉඩ හරිමිනි. 1960 මාර්තු, 1960 ජූලි සහ 1965 මැතිවරණ තුනේ දී කේ. ඇම්. පී. රාජරත්න පිහිටුවාගත් ජාතික විමුක්ති පෙරමුණෙ පක්ෂයෙන් අහස් යානය ලකුණ යටතේ අංක: 125 - ඌව පරණගම ආසනයට තරඟ කළ රාජරත්න මහත්මිය පිළිවෙළින් වැඩි ඡන්ද 1967, 2727 හා 1951 න් ජය ලබා ගත්තාය. 1965 ඩඩ්ලි සේනානායක රජයේ (ජාතික ආණ්ඩුව) රජයේ ස්වදේශ කටයුතු උප ඇමතිනිය වශයෙන් පත්වුවද, 1966 ජනවාරි මාසයේදී ඉදිරිපත් කළ දෙමළ භාෂා (විශේෂ) විධි විධාන පනතට විරුද්ධව උප ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූවාය. 1060 මාර්තු, 1960 ජූලි මැතිවරණවලදී වැලිමඩ ආසනයට කේ. ඇම්. පී. රාජරත්න ද නැවත තේරී පත්වූ අතර එකවර මැති සබය නියොජනය කළ තෙවැනි අඹු-සැමි මන්ත්‍රී යුවල වශයෙන් පාර්ලිමේන්තු වාර්තා පොතට එක්විය.
‘මහවලතැන්න බලංගොඩ උරුමය’ තවදුරටත් ආරක්ෂා කරමින් මල්ලිකා එල්ලාවල රත්වත්තේ මහත්මිය පාර්ලිමේන්තු සභා ගර්භය තුළ අසුන් ගත්තේ 1966-10-24 දින පැවැත් වූ අංක : 141 - බළංගොඩ ආසනය සඳහා වූ අතුරු මැතිවරණය ජයග්‍රහණය කරමිනි. 1947 සිට බහු මන්ත්‍රී කොට්ඨාසයක් වූ බළංගොඩ 1960 මාර්තු මැතිවරණයේ සිට ඉදිරියට තනි ඡන්ද කොට්ඨාසයක් බවට පත් වූ අතර 140 - පැල්මඩුල්ල සහ 142 - රක්වාන යනුවෙන් අලුත් ඡන්ද කොට්ඨාස දෙකක් ද ස්ථාපනය කෙරිණ. නව ආසනය සඳහා ශ්‍රී.ල.නි.ප.යෙන් තරග කලේ සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනියගේ සොහොයුරු සේනක ක්ලිfපර්ඩ් රත්වත්තෙ ය. එවකට ඔහු බලංගොඩ සුළු නගර සභාවේ සභාපතිවරයා ද විය. සිය ප්‍රධාන ප්‍රතිවාදියා වූ ඇම්. ඇල්. ඇම්. අබුසාලි (ස්වාධීන - වංගෙඩිය - 5,051) ඇතුළු අපේක්ෂකයන් හය දෙනකු පරදවා සී. ඇස්. රත්වත්තෙ (ශ්‍රී.ල.නි.ප. - අත 9,494) වැඩි ඡන්ද 4,443) ජය ගත්තේය. පසු 1960 ජුලි සහ 1965 මැතිවරණ දෙකේදී ද පිළිවෙළින් වැඩි ඡන්ද 4,124 සහ 3,224න් බලංගොඩ ආසනයට තේරී පත්විය. 1965 මහා මැතිවරණයෙන් පසු රත්වත්තගේ පත්වීමට විරුද්ධව ඡන්ද පෙත්සමක් ඉදිපත් වූ අතර එය විභාගයට ගත් පී. ස්කන්ධරාජා විනිසුරුතුමා රත්වත්තෙගේ මන්ත්‍රී ධුරය අවලංගු කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළේය. මෙම තීන්දුවෙන් නොසතුටට පත් සී. ඇස්. රත්වත්තෙ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. ඇපෑල විභාග කළ ඇම්. සී. සන්සෝනි (අගවිනිසුරු) එච්. ඇන්. ජී. ප්‍රනාන්දු, එච්. ඩබ්ලිව්. තබ්බයිසා යන විනිසුරු තුමන්ලාගෙන් සංයුක්ත වූ රජ තුන් කට්ටුව සී. ඇස්. රත්වත්තෙ රාජ නීතිඥ ජී. ඊ. චිට්ටි මඟින් නඟා තිබු ඡන්ද පෙත්සම විභාග කළ විනිසුරුතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත්කර නැති බවටත්, ඒ අනුව පෙත්සම විභාග කිරීමට විනිසුරුවරයාට බලයක් නොමැති බවටත් වූ චෝදනා ප්‍රතික්ෂේප කර ඇපෑල නිෂ්ප්‍රභා කළේය. එම තීන්දුවෙන් ද අතෘප්තියට පත් රත්වත්තේ රාජාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. මෙම ඇපෑල 1966-10-18 දින ගොඩ්සන් පියර්සන් සාමිවරුන්ගෙන් සමන්විත රාජාධිකරණ කමිටුව ඉදිරියේ විභාගයට ගැනුණි. එහිදී ‘‘අධිකරණව බලය’’ පිළිබඳ තර්කය ඉදිරිපත් කළ රාජනීතිඥ ඊ. ඇෆ්. ඇන්. ග්‍රේෂන්, ඡන්ද නඩු පිළිබඳ හරි හෝ වැරදි අවසාන තීන්දුව කිරීමට බලය ඇති අවසාන අධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණ බවට දැක්වූ මතයද, පෙත්සම්කරුගේ ඉල්ලීම පිළිගැනීමට රාජාධිකරණ කමිටුවට අධිකරණ බලයක් නැති බවට මතු කළ මූලික විරෝධතාවය ද පිළිගෙන ඇපෑල නිෂ්ප්‍රභා කළේය. ඉන්පසු බළංගොඩ ආසනය සඳහා වූ අතුරු මැතිවරණය 1966-10-24 දිනට නියම කෙරුණි. (තොරතුරු ලංකාදීප 1966-10-19) 1966-09-22 දින රත්නපුර කාච්චේරියේ දී නාම යෝජනා පත්‍ර භාර ගැනීම සිදු කෙරිණි. එදින සී. එස්. රත්වත්තේගේ භාර්යාව මල්ලිකා එල්ලාවල රත්වත්තේ (ශ්‍රී.ල.නි.ප - අත) ඇම්. ඇල්. ඇම්. අබුසාලි (එ.ජා.ප. - අලියා), ඇන්. පියදාස (ස්වාධීන - වංගෙඩිය) යන තිදෙනා නාම යෝජනා පත්‍ර භාර දුන්හ.
අතුරු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මෙසේය:
මල්ලිකා එල්ලාවල රත්වත්තේ මහත්මිය 14,471, ඇම්. ඇල්. ඇම්. අබුසාලි 12,731, ඇන්. පියදාස 338 වැඩි ඡන්ද සංඛ්‍යාව 1740, ප්‍රතික්ෂේපිත ඡන්ද: 141, ඡන්දය දුන් මුළු ගණන: 27,681, ලි.ප. ඡන්දායකයන්ගේ මුළු ගණන 31,636 කි. 1970 මැතිවරණයේදී බළංගොඩ ආසනයේ පැවතියේ කාන්තා සටනකි. එ.ජා.පයේ ඇම්. ඇල්. ඇම්. අබුසාලි වෙනුවට ඇම්. සීතා සෙනෙවිරත්න මිය ඉදිරිපත්ව සිටියාය. ඇය 1947 ප්‍රථම පාර්ලිමේන්තුවේ බලංගොඩ (ද්විමන්ත්‍රී) ආසනයේ පළමුවැනි මන්ත්‍රී, ප්‍රථම කථානායක ශ්‍රීමත්. ඒ. ඇෆ්. මොලමුරේගේ දියණිය වූවාය. ඡන්ද 18,808ක් ලැබූ රත්වත්තේ මිය ඇම්. සීතා සෙනෙවිරත්න මිය (11,619) පරදවා වැඩි ඡන්ද 7,189ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙවැනි වරටත් මැති සබයට පිවිසියාය. 1977 මැතිවරණයේදී ඇය ඇම්. ඇල්. ඇම්. අබුසාලි (එ.ජා.ප - 19,502) වෙතින් වැඩි ඡන්ද 3673 ක පරාජයක් ලැබූවාය.
අංක: 111 - දොඩම්ගස්ලන්ද ආසනයට විශේෂ ස්ථානයක් හිමිවූයේ ශ්‍රී ලංකාවේ තුන්වැනි අග්‍රාමාත්‍ය ධුරයට පත් ශ්‍රීමත් ජෝන් එල්. කොතලාවල 1947 සිට 1959 දක්වා පැවති මහා මැතිවරණ තුනේ දී පිළිවෙළින් වැඩි ඡන්ද 15,285, 14,468 සහ 8,274 ක් ලබමින් අඛණ්ඩව නියෝජනය කළ ඡන්ද කොට්ඨාසය වූ බැවිනි. 1960 මාර්තු මැතිවරණයේදී එ.ජා.පයෙන් ඉදිරිපත් වූ ඒ. යූ. රොමානිස් (7561), ප්‍රථම ස්ථානයට පත්ව ආර්. ආර්. ඩබ්ලිව්. රාජපක්ෂ (කො:ප - තරුව 5,638), ප්‍රථම ස්ථානයට පත්ව ආර්. ආර්.ඩබ්ලිව්. රාජපක්ෂ (කො:ප - තරුව 5,638) ඇම්. බී. පුස්සැල්ල (ශ්‍රී.ල.නි.ප.-අත 4,323 ඇතුළු තවත් දෙදෙනකු පරදවා වැඩි ඡන්ද 1933ද, 1960 ජුලි මැතිවරණයේ දී (8,758) වැඩි ඡන්ද 2,511) ද ජයග්‍රහණය කළේය. 1960 ජුලි මැතිවරණයේ දී ස්වාධීන වූ ආර්.ආර්. ඩබ්ලිව්. රාජපක්ෂ ඡන්ද 6,247 ක් ලබාගෙන තිබුණි. 1965 මැතිවරණයේ දී ශ්‍රී.ල.නි.ප අපේක්ෂකයා වූ ආර්. ආර්. ඩබ්ලිව්. රාජපක්ෂ (13,426) පළමු වරට ඒ. යූ. රොමානිස් (12,372) පරදවා ජයග්‍රහණය ලැබීය.
එහෙත්, ඔහුගේ පත්වීමට විරුද්ධ ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කෙරුණි. මැල්සිරිපුර ආර්. ඇම්. කිරිබණ්ඩා ලේනව සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනුකළ ඡන්ද පෙත්සමේ ඇතුළත් ප්‍රධාන චෝදනාව වූයේ රාජපක්ෂ මහතාගේ මැතිවරණ රැස්වීම්වල දී ඒ. යූ. රොමානිස්ගේ පෞද්ගලික චරිතය හා හැසිරීම පිළිබඳව අසත්‍ය ප්‍රකාශ කළ බවයි.
පෙත්සම විභාග කළ වී. මාණික්කවාසගර් විනිසුරුතුමා ආර්. ආර්. ඩබ්ලිව්. රාජපක්ෂගේ මන්ත්‍රීධුරය අවලංගු කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළේය. එම තීන්දුවට විරුද්ධව ගොනු කළ ඇපෑල විභාගයට ගත් එච්. ඇන්. ජී. ප්‍රනාන්දු (අග විනිසුරු), එච්. ඩබ්ලිව්. තම්බයියා සහ ඒ. ඩබ්ලිව්. එච්. අබේසුන්දර යන විනිසුරු තුමන්ලාගෙන් සමන්විත රජතුන් කට්ටුව ඇපෑල ගාස්තුවටත් යටත්කොට නිෂ්ප්‍රභ කරමින් 1966-09-06 දින තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඉක්බිති, දොඩම්ගස්ලන්ද සඳහා අතුරු මැතිවරණය ප්‍රකාශයට පත් කෙරිණ.
1966-11-21 දින නාම යෝජනා පත්‍ර භාරගෙන 1967-01-15 දින ඡන්දය පැවැත්වීය. ශ්‍රී.ල.නි.ප. අපේක්ෂිකාව වූයේ ආසනය අහිමි වූ ආර්. ආර්. ඩබ්ලිව්. රාජපක්ෂගේ බිරිඳ වූ ලිලියන් ලැට්ෂියා රාජපක්ෂ මහත්මියයි. ඇය, මුළු ඡන්ද 14,164ද, වැඩි ඡන්ද 393ද ලබාගෙන, ඇස්.ඩබ්ලිව්. අලවතුවල (එ.ජා.ප. 13,771) පරදවා තියුණු ජයක් වාර්තා කළාය. ඇය. හය වැනි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ 1970 මාර්තු 25 දින දක්වා දොඩම්ගස්ලන්ද ආසනය නියෝජනය කළාය. පැවති මැතිවරණවලට තරග කළේ නැත.
ජී. ආර්. ඩී. බණ්ඩාර