(නාලක සංජීව දහනායක)
අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මෙරට නීතියේ අන්තර්ගත කොටසක් බවට පත්ව නැති තත්ත්වයක් තුළ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම ඉතාම භයානක තත්ත්වයක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (5) පැවසීය.
මෙම කාර්යාලය තනිකරම රණවිරුවන් දඩයම් කරන රාජ්‍ය නොවන සංවිධානයක කොම්පැණියක් මිස රජයේ ආයතනයක් නොවන බව ද හෙතෙම කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (5) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේද පැවසීය.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සම්බන්ධ තත්ත්වයත් ඉතාම භයානක මුහුණුවරක් ගෙන තිබෙනවා. මේ කාර්යාලය තනිකරම කොම්පැණියක් මිස රජයේ කාර්යාලයක් නෙවෙයි. ඒ ආයතනයේ එකම අරමුණ ත්‍රිවිධ හමුදා දඩයම් කිරීමයි. ඒ කාර්යාලය සිදුකරන සියලුම විමර්ශන සම්බන්ධයෙන් මෙරට සාක්‍ෂි සම්බන්ධයෙන් පවතින නීතිය කිසිසේත් බලනොපාන බව මේ පනතේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා.
දිවා රාත්‍රී සීමාවකින් තොරව ඕනෑම වෙලාවකදී මේ කාර්යාලයේ නිලධාරීන්ට හමුදා කඳවුරු හා පොලිස් ස්ථානවලට ඇතුළු වී නිලධාරීන්ගෙන් සාක්කි විමසීමට හා ඒ ස්ථානවල තිබෙන ලිපි ලේඛන ලබාගැනීමට පූර්ණ බලතල පැවරී තිබෙනවා. එමෙන්ම අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් විසින් අසනු ලබන ප්‍රශ්න සඳහා පිළිතුරුදීමට හමුදාවේ හා පොලිස් නිලධාරීන් බැඳී සිටිනවා. එසේ පිළිතුරු නොදුන්නොත් අභියාචනාධිකරණයට සිදු වූ අපහාසයක් සේ සලකා ඒ නිලධාරීන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමටත් හැකියාව ලැබෙනවා.
අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මෙරට නීතියේ අන්තර්ගත කොටසක් හැටියට පිළිගැනීම පවා මෙතෙක් දුරකට කෙරිලා නැහැ. මෙම සතියේ බදාදා දිනයේදී ඒ පනත පාර්ලිමේන්තුවේ විවාදයට බඳුන්වෙනවා. පනත පාර්ලිමේන්තුවෙන් සම්මතවීමටත් පෙර කාර්යාලයට සාමාජිකයන් හත් දෙනෙක් පත්කර තිබෙනවා. මේකට එකම හේතුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පිනවීමයි. ඒ සඳහා රුපියල් මිලියන එක්දහස් දෙසීයක් වෙන්කර තිබෙනවා. බලපෑම්වලට යටවීම නිසා රජය කුණාටුවකට හසු වූ ඔරුවක් වැනි තත්ත්වයකට පත්ව තිබෙනවා.
මෙම කාර්යාලයට පත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් අපි විරෝධය පළ කරනවා. මේ ඇතැම් පුද්ගලයන් ජිනීවා නුවරදී අපේ රටේ කීර්තිනාමය කෙලෙසීමට ක්‍රියා කළ උදවියයි. මොවුන් රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන උදවියයි. මේ පත්වීම් හෙළාදකින බව රජයේ අමාත්‍යවරයකු වන ජෝන් සෙනෙවිරත්න මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබුණා.
ආණ්ඩුවේ සිටිමින් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමේ කිසිම වටිනාකමක් නැහැ. ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරුන් මේ ක්‍රියාවලට එකඟ නැත්නම් ඒවා සම්බන්ධයෙන් පියවර ගත යුතුයි.
අප රට සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය මීට පෙර කිසිම රටක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී නැහැ. ඒ බව මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරුත් ප්‍රකාශ කර තිබෙනවා. අපේ රජය තමන්ගේම යෝජනාවක් ලෙස පිළිගත් 30/1 යෝජනාවෙන් අපේ රටේ අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් ඉතා ගැඹුරින් සඳහන් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම, හමුදාව සිටින උතුරේ ඉඩම්වලින් හමුදාව ඉවත්වීම, හමුදාව හා පොලිසිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම ආදී යෝජනා එහි සඳහන් වෙනවා. මේ යෝජනා ක්‍රියාත්මක කළොත් පාර්ලිමේන්තුව සතු සියලු බලතල විදේශීය ආයතනයකට පවරා දීමක් සිදුවෙනවා. එහෙමනම් රටකට පාර්ලිමේන්තුවක් මොකටද?
මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම හරහා අපේ රට ජාත්‍යන්තරයේ පාපිස්සක් වෙනවා. අපේ රට සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට පසුගිය වසරේදී තවත් යෝජනාවක් ඉදිරිපත් වුණා. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා තවත් දෙවසරක කාලයක් ලබාදෙන ලෙස රජය බොහොම බැගෑපත් ඉල්ලීමක් කළා. රජය මෙම පොරොන්දු ඉටුකරන ලෙස පසුගිය සතියේදී ජිනීවා මානව හිමිකම් මණ්ඩලය අමතමින් කැනඩාවේ විදේශ ඇමැතිනිය ක්‍රිස්ටියා ෆ්‍රීලන් මහත්මිය ප්‍රකාශයක් කළා. රජය මේ දේශද්‍රෝහී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා ජාතියක් වශයෙන් අපිට ඉතාම ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවී තිබෙනවා.
එමෙන්ම පසුගිය සතියේදී මිරේඩි අල් හුසේන් කුමරු අපේ රටට පැමිණ මුහමලේ ප්‍රදේශයට ගොස් තිබෙනවා. ඒ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළකට සම්බන්ධ වීම සඳහායි. බිම්බෝම්බ ඉවත් කිරීම කිසිසේත්ම අලුත් වැඩක් නෙවෙයි. බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය රජය විශාල කාර්යභාරයක් කර තිබුණා. මේ සම්බන්ධයෙන් විශේෂඥ සහාය ලබාගැනීම සඳහා නෝර්වේ රටින් ඉල්ලීමක් කළා. ඔවුන් ඒ සඳහා වසර හතක් ගත වන බව ප්‍රකාශ කළා. නමුත් මහින්ද රාජපක්‍ෂ රජය බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩ කටයුතු ඉතාම විධිමත් ආකාරයට ඉක්මනින්ම අවසන් කළා. ඒ නිසා උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන් වූ ජනතාව නැවතත් එම ප්‍රදේශවල ඉක්මනින්ම පදිංචි කිරීමටත් හැකියාවක් ලැබුණා.
ත්‍රස්තවාදී පනත හකුලාගන්නා බවටත් රජය ජාත්‍යන්තරයට පොරොන්දු වී තිබෙනවා. මේ රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගන්නේ බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කිරීම සඳහායි. උතුරේ හා දකුණේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය පොලිසියට දෙන උපදෙස් එකිනෙකට වෙනස්. හමුදාව උතුරේ ඉඩම්වලින් ඉවත්විය යුතු බවට මුලතිව් ප්‍රදේශයේ පසුගියදා විශාල උද්ඝෝෂණයක් පැවැත්වුණා. මිනින්දොරු දෙපාර්තමේන්තුවට අයත් වාහනයක් පවා කුඩු වුණා. නමුත් පොලිසිය එහිදී ඉතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කළා. නමුත් ජලය ඉල්ලා උද්ඝෝෂණයක නිරතවුණු තඹුත්තේගම ගොවි ජනතාවට එරෙහිව රජය විශාල මර්දනයක් දියත් කළා. එවැනි තත්ත්වයක් මුලතිව් සිද්ධියේදී වාර්තා වුණේ නැහැ.
යුද සමයේදී ත්‍රස්තවාදීන් වෙනුවෙන් වේග ප්‍රහාරක යාත්‍රා නිපදවූ පුද්ගලයන් පිරිසක් ඔස්ටේ්‍රලියානු රජය විසින් මෙරටට එව්වා. නමුත් රජය ඔවුන් සම්බන්ධයෙන් කිසිවක් සිදු කළේ නැහැ. මීට අමතරව යුද සමයේදී මරණයට පත්වූ පිරිස හත්දහස නොඉක්මවන බව නේස්බී සාමීවරයා ප්‍රකාශ කළා. ඔහු ඒ මතය ප්‍රකාශ කළේ යුද සමයේදී මෙරට පිහිටි බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ලන්ඩන් නුවරට යවන ලද වාර්තා පදනම් කරනිමිනුයි. නමුත් ත්‍රිවිධ හමුදා ආරක්‍ෂා කිරීම සඳහා රජය කිසිම පියවරක් ගත්තේ නැහැ.
මේ රජයට වැඩි කල් පවතින්න බැහැ. වත්මන් රජය වෙනස් වූ සැණින්ම අපි නේස්බී සාමීවරයාගේ සාක්‍ෂි හා පසුගිය රජය විසින් සකස් කළ විශේෂඥයන්ගේ වාර්තා ආශ්‍රයෙන් මෙරට හමුදා අතින් කිසිම වැරැද්දක් සිදු නොවූ බව ඔප්පු කර පෙන්වනවා. ත්‍රිවිධ හමුදාව සිදුකළේ තමන්ගේ යුතුකම් ඉටුකිරීම පමණයි. සිවිල් වැසියන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවාගෙන සිටියදී ඕනෑම හමුදාවකට පුරවැසියන්ගේ නිදහස වෙනුවෙන් මැදිහත්වීමට හැකියාවක් තිබෙනවා.” යැයි ද කීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ද සහභාගී විය.