නව බදු පනත සම්බන්ධයෙන් නොනිමි සංවාදයක් නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් හා කාලීන දේශපාලන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- අලුත් අධිකරණ ඇමැතිවරියක් ඇවිත් ඉන්නවා. ඒකට ඒකාබද්ධ විපක්ෂයේ අය ‘ඩිම්’ වෙලා වගෙයි?
පිළිතුර:- දැන් ආණ්ඩුව කල්පනා කරන ආකාරයකට අනුව නම් ඔබ කියන එක හරි. ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලම වැඩ කළේ වෛරයෙන්. පවතින්නෙත් වෛරයෙන්. දැන් මේ ආණ්ඩුව වෛරයෙන්ම පුපුරා යන තත්ත්වයට පත්වෙලා. රට කඩන්නේ නැතිව, බෙදන්නේ නැතිව ත්‍රස්තවාදයෙන් රට බේරා ගත්ත සේනාධිනායක ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්, බුද්ධි අංශ නිලධාරින්, හමුදා නායකයන්, රණවිරුවන්, රජයේ නිලධාරින්, සියලු දෙනාගෙන් ගන්න පුළුවන් උපරිම පලිගැනීම් කරලා තියෙන්නේ. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් එහෙම කරලා නැහැ.
ප්‍රශ්නය:- නමුත් යූඑන්පීයේ පසුපෙළ මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ පරීක්ෂණ කඩිනම් නැහැ කියලයි?
පිළිතුර:- ඔව්. ඔවුන් කියන්නේ මේකේ වේගය මදියි කියලයි. එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් මොනවා හරි කරලා හරියන්නේ නෑ. විමල් වීරවංශ ජාතික නිදහස් පෙරමුණේ නායකයා. වාහන අව භාවිතයට අනුබල දුන්නා කියලා ඇතුළට අරගෙන ඇප නොදී තියාගෙන ඉඳලා එළියට දානවා. උදය ගම්මන්පිල පක්ෂ නායකයෙක්. අවුරුදු ගණනාවකට පෙර විෙද්ශිකයකු කරපු පැමිණිල්ලක් දාලා ඇතුලට අරගෙන එළියට දානවා. දැන් ඒක මදියි කියලයි මේ කියන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමාව ඇතුළට දාන්න උසාවිය නිවාඩු දවසේ රෑ විනිශ්චයකාරතුමා විනිශ්චයසභාරූඨ වෙලා හිටියනේ. ඉතින් මගේ දැනීමේ හා විශ්වාසයෙ හැටියට මෙහෙම නීතිය නැමිල්ලක් මම නම් දැකලා නෑ. ඉතින් මම හිතන්නේ තලතා අතුකෝරළ වැදගත් පවුලක හැදිලා වැඩිලා නීතිඥවරියක් ලෙස සුදුසුකම් ලබලා විභාගය සමත්වූ ඇමැතිවරියක් ලෙස එසේ කියන විදියටම ක්‍රියාත්මක වෙන්න ගියොත් ඇයට අත්වන ඉරණමත් මහා ඛේදවාචකයක් වීම වළක්වන්න බෑ.
ප්‍රශ්නය:- ඔබ කියන්නේ මේ පරීක්ෂණ මුකුත් අවශ්‍ය නෑ. ඔහේ යන් කියලද?
පිළිතුර:- මම නම් දකින්නේ අපේ යුගයේ ජාතික වීරයෙක් වෙච්ච අනගාරික ධර්මපාලතුමාට පල්හොරා කියලා හංවඩු ගැහුවා. මේ විශ්වයේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ‘හෙර’ කියලා පරිභව කරලා ප්‍රජා අයිතිය අහෝසි කරලා දැම්මා. ඉතින් අනගාරික ධර්මපාලතුමාටයි සිරිමාවෝ මැතිනියටයි වෙච්ච දෙයට වඩා වැඩි දෙයක් අපට වෙන්නෙ බැහැනේ. ඒ නිසා අපේ රටේ ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ හෝ එයට දායක ඒ සියලු දෙනා හිරේ යන්න බලාගෙන ඉන්න ඕන.
ප්‍රශ්නය:- 20 වැනි සංශෝධනය ගැන ඒකාබද්ධ විපක්ෂය බොරු මත ප්‍රචාරණය කරනවා කියලා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කියනවා?
පිළිතුර:- ජනතා විමුක්ති පෙරමුණ මේ සියලු දේට වග උත්තරකරුවෙක්නේ. මුලින් කිව්වා ‘ෆොන්සේකා ජනාධිපති වුණොත් මේ රටේ ඔක්කොම ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. ඊට පස්සේ කිව්වා, මහින්ද රාජපක්ෂ රෙජිමය ගෙදර යවපු ගමන් මේ සියලු දෝෂ නිවාරණය වෙනවා’ කියලා. එහෙම කියලා දින 100 වැඩපිළිවෙළක් කියලා හදාගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක විධායක සභාව කියලා එකක් හදාගෙන ආණ්ඩුව කළා. ඉතින් මේ ආණ්ඩුව කරන හැම දෙයටම ඒ අාණ්ඩුව ඇතුළට ගිහින් ආණ්ඩු කරපු අනුර කුමාර මහත්තයත් වගකිවයුතුයි. ඔහු මහත්තයෙක් විදියට ඒ වගකීම බාරගන්න එපැයි. එතුමන්ලනේ ඔය දින 100 වැඩපිළිවෙළ යටතේ අනික් අය අත්අඩංගුවට ගන්න නීතිවිරෝධී මූල්‍ය අපරාධ කොට්ඨාසය හදන්න උපදෙස් දුන්නේ. ඒත් එතුමලා දන්නේ නෑ. දින 100 ඇතුළත පෙබරවාරි මාසයෙදිම මහ දවල් මහ බැංකුවේ ලංකා ඉතිහාසයේ ලොකුම කොල්ලය වුණා කියලා.
ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ 26 දෙනා බොරු කීම ගැනයි?
පිළිතුර:- නෑ බොරු කියන්නේ නෑ. අපේ ගම් මට්ටමේ බිම් මට්ටමේ ඉන්න ගමට හිතවත් සමෘද්ධි නිලධාරින්, කෘෂි නිලධාරින් ඡන්දය ඉල්ලීමේ බලය තිබුණ අය. මන්ත්‍ර්‍රීවරු වෙලා හිටපු අය. ඒ අයගේ බෙල්ල දෙගොල්ලො තුන්ගොල්ලෝ එකතු වෙලා කපන කොට ඒක බල බල නිහඬව ඉන්න පුළුවන් කියලා කියනවා නම් ඒක මේ බිම් මට්ටමේ ක්ෂේත්‍රවල ඉන්න සියලු දෙනාට කරන අසාධාරණයක්නේ. ගමේ මිනිහා හැටියට සමෘද්ධි නිලධාරියා වෙලා ගමේ මිනිසාට වැඩ කරනවා. කෘෂි නිලධාරියත් එහෙමයි. එයා හොඳ අවංක කෙනෙක් කියලා තීන්දු කරලා ප්‍රාදේශීය සභාවට, නගර සභාවට ඒ මිනිහා යවන්න ගමේ මිනිසුන්ට බැරිනම් කාවද යවන්නේ. බිස්නස්කාරයෙක්ද? කුඩු කාරයොද?
ප්‍රශ්නය:- මුදල් ඇමැති මංගල කියනවා. ‘නව බදු පනතට විරුද්ධ වෙන්නේ දේශද්‍රෝහියන්.’ කියලා?
පිළිතුර:- ඔබට තේරෙනවා ඇති අද මේ රටේ අපි නොසිටියා නම් රටට මොකද වෙන්නේ කියලා. අද වෙනකොට හඬක් නගන්න බැරි සියලු මිනිසුන් යටපත් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි ප්‍රථම වතාවට මේ මස ඔබ කියන නව බදු පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දහයක් ගිහින් තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මමයි, සිසිර ජයකොඩි මන්ත්‍රීතුමයි ශ්‍රේෂ්්‍ඨාධිකරණයට ගියා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා වෘත්තිය සමිති, ඒ වගේම නීතිඥ සංගම් ආදී විවිධ පාර්ශව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් තියෙනවා. එහෙම ගියාම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා සමහර ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවෙන්න නම් තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වෙන්න ඕනැ කියලා. සමහර ඒවා සම්මත වෙන්න නම් ජනමත විචාරණයකට යන්න ඕනැ කියලා. එතකොට තේරෙනවනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනිව තමයි මේ පනත හදලා තියෙන්නේ කියලා. මේකට විරුද්ධව අපි රට පුරාම සම්මන්ත්‍රණ මාලාවක් පවත්වාගෙන ගියා. ආගමික නායකයන් දැනුම්වත් කළා. බදු දඩයම කියලා පොතක් ලිව්වා. ඒ නිසාම පනත ගේනකොටම ආණ්ඩුව කිව්වා, සංශෝධන එකසිය ගානක් ගේනවා කියලා.
ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයත් සංශෝධන දුන්නා?
පිළිතුර:- ඔව් අපි සංශෝධන තිස් එකක් ගෙනාවා. එතකොට මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ ගෙනාපු පනතේ ප්‍රශ්නයක් තියෙන නිසා කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවනේ.
ප්‍රශ්නය:- ඔබ කියන විදියට පනතේ තියෙන ප්‍රශ්න මොනවාද?
පිළිතුර:- සරළ ලෙස කිව්වොත් මෙයට පෙර තිබුණ බදු අය කිරීමේ නීතිය තමයි 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත. මේ පනතේ 3 වැනි පරිච්ඡේදයේ පිටු 44 ක් තියෙනවා මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් කෘෂිකර්මයට, කර්මාන්තවලට, අර්ථසාධක අරමුදල්වලට, අපනයනවලට, කලා ක්ෂේත්‍රයට, පුණ්‍යායතනවලට, දීලා තිබුණ බදු සහන සඳහන් වෙනවා. රෙට් සැම ක්ෂේත්‍රයක්ම ආවරණය කෙරෙන විදියට බදු සහන දීලා තිබුණා. නමුත් මේ පනතින් කරන්නේ ඒ සියලුම බදු සහන පිටු දෙකකටත් වඩා අඩු ප්‍රමාණයකට සීමාකරලා, අන් සියල්ලම කපලා දැමීමයි.
ප්‍රශ්නය:- නමුත් මුදල් අමාත්‍යවරයා කියන්නේ බදු සහන දිය යුතු සියල්ලන්ටම දීලා තියෙන බවයි.?
පිළිතුර:- මම ඒ ගැනත් කියන්නම්. උදාහරණයක් විදියට අපේ ආණ්ඩු කාලෙය් තිබුණා 1815 මාර්තු 2 වැනිදාට පෙර රාජකීය ප්‍රදානයන් මගින් ප්‍රදානය කරලා තිබෙන දේපොළවලින් ලැබෙන ආදායම ආදායම් බද්දෙන් නිදහස් කියලා. එහෙම අකුරක්වත් මේ අලුත් එකේ නැහැ. තියෙනවානම් කාට හරි පෙන්වන්න කියන්න. රජ්ජුරුවෝ දීපු නින්දගම් සුද්දගේ කාලෙත් මේවා බද්දෙන් නිදහස්. එතකොට වෙහෙර විහාර, පන්සල්, කෝවිල්, දේවාල ආරාම සියල්ලම බද්දට යටත්. ඒ වගේම ඉස්සර පන්සලක, කෝවිලක ක්‍රීඩා සමාජයක, මරණාධාර සමිතියක පොලී ආදායමෙන් ගන්නේ සියයට 10 යි බදු. දැන් ගන්නවා සියයට 14 ක්. ඊළඟට සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල 2011 දී මහින්ද මහත්තයා බද්දෙන් නිදහස් කළා. දැන් සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් ටික ආපහු ගන්නකොට දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිවනේ ගන්නේ. පෞද්ගලික අංශයේ සේවකයෝ මේක ගන්නේ නිසි වයස් පැමිණියාම දරුවන් දීගතල දෙන්න. ණය තුරුස්වලින් නිදහස් වෙන්න. ඉතිරි කාලය හොඳින් ජීවත් වෙන්න. නමුත් අලුත් පනතෙන් ඒකෙනුත් බදු ගහනවා. එතකොට අර්ථසාධක අරමුදන ආයෝජනය කරලා ලැබෙන ආදායමෙන් සියයට 10 යි බදු අය කළේ. ඒක දැන් සියයට 14 ට වැඩි කරලා. ඊළඟට සේවා නියුක්තවූවන්... රජයේ සේවකයන් හා විවිධ වෘත්තින්හි නියැලෙන අයගේ බදු ප්‍රතිශතය උපරිමව තිබුණේ සියයට 16 යි. ඒක සියයට 24 ට වැඩි වෙනවා. වෛද්‍ය විශේෂඥයෝ, ගණකාධිකාරිවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන් වගේ විශේෂඥ සේවා තියෙන අයට වෙන රටක වැඩ කරලා බැංකුවක් හරහා මේ රටට සල්ලි ගෙනාවොත් ඉස්සර අපේ ආණ්ඩුව කාලයේදී ඔවුන් සම්පූර්ණයන්ම බද්දෙන් නිදහස් කරලා තිබුණේ. නමුත් දැන් ඒවා සියල්ලම බද්දට යටත්.
ප්‍රශ්නය:- නමුත් විදේශිකයෙක් මේ රටේ උපයලා ඒ සල්ලි අරගෙන යනකොට බදු ගහන්නේ නෑ.?
පිළිතුර:- ඒකනේ මෙතන තියෙන බරපතළම ප්‍රශ්නය. ඒ නිසා මේ පනත හදලා තියෙන්නේ ස්වෙද්ශිකයා වනසන්න හා විදේශිකයා සනසන්න. ඊළඟට කලාකාරයෝ ගන්න. තිබුණ බදු පනතේ දේශීය සිනමාවට, නාට්‍යකරණයට, සංගීතයට, ග්‍රන්ථකරණයට මේ විදියට කලාකරුවන්ට මේ කලා ක්ෂේත්‍රය පුළුල් කරන්න බදු සහන රාශියක් දීලා තිබුණා. නමුත් දැන් ඒ සියල්ලම අහෝසියි. ඕවා මේ රටේ ආදායමට විශාල බලපෑමක් කරන ඒවා නොවෙයි. ඒ ක්ෂේත්‍ර ගොඩගන්න බෑ ඒ බදු සහන නැත්නම්.
ප්‍රශ්නය:- ඔබ කියලා තිබුණ සහනධාරවලටත් බදු ගහලා කියලා?
පිළිතුර:- එහෙම බදු ගහන සිරිතක් තියෙනවායැ. දැන් තේ නැවත වගා කරන්න, රබර් නැවත වගා කරන්න, පොල් නැවත වගා කරන්න බදු සහන දුන්නා. එයා බදු ගෙවන කෙනෙක් නොවෙයි. නමුත් දැන් සහනධාර සල්ලි ටික ලැබුණම ඒවටත් බදු ගෙවන්න වෙනවා.
ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හිර කළ ණය උගුල නිසා බදු නොගසා ආර්ථිකය ගොඩ ගන්න බෑ කියලත් කියනවා?
පිළිතුර:- මොකක්ද ඒ ණය උගුල කියලා කියන්නේ. ඕක බොරුවක්නේ. රත්‍රං අශ්වයෝ වගේ ඕකත් බොරු සටන් පාඨයක්නේ. ලංකා ඉතිහාසයේ නිදහසින් පස්සේ තිබුණ ණය උගුල කියලා ජාතිය ඉදිරිපිට රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ 2001, 2002, 2003 හා 2004 කියන අවුරුදුවලදීය. 2001 රාජ්‍ය ණය අනුපාතය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 102 යි. 2003 දී සියයට 105 යි. 2004 දී සියයට 102 යි. ණය හා පොළිය ගෙවන්න රජයේ ආදායමත් මදියි. ඒ නිසා ඉතිහාසයේ ඉඳන් ආපු ණය කන්දෙ උඩටම ගිහිල්ලා තිබුණ කාලේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයයි. ඒ කාලේ එතුමා පාර්ලිමේන්තුවේදියි ඉන් පිටතදියි කිව්වා ‘මෙහෙම රටක් තමයි බාර ගත්තේ’ කියලා. එහෙම කියලා එතුමා වෙනමම නීතියක් ගෙනාවා. ඒක හරි වැදගත්. 2003 අංක 3 දරණ මූල්‍ය කළමනාකරණ වගකීම් පනත, ඒ පනතෙන් කිව්වේ ආණ්ඩුවලට පිස්සු හිතුවක්කාර දේවල් කියන්න බෑ. මූල්‍ය කළමනාකරණය හරියට කරන්න ඕනා කියලා කිව්වා.
ප්‍රශ්නය:- ඒ නීතිය අදටත් වළංගුයි.
පිළිතුර:- ඔව් අදටත් වළංගුයි. හැබැයි ඒ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. 2005 දී මේ මුළු මහත් ණය කන්දරාවම එතුමා බාරගත්තා.
ප්‍රශ්නය:- ඔය ඔබ කියන ලංකා ඉතිහාසයේ ලොකුම ණය කන්ද බිහිවුණ ඒ යූඑන්පී ආණ්ඩුවේ නියෝජ්‍ය මුදල් ඇමැති ඔබයි.
පිළිතුර:- ඔව්. මම නියෝජ්‍ය මුදල් ඇමැති විතරක් නොවෙයි. ආර්ථිකය සෘණ වෙලා මේ ණය අර්බුදය උච්චජතම අවස්ථාවට අැවිල්ලා රට විනාශය කරා යන අවස්ථාවේ මම ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් ඇමැතිවරයා. මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා, ආර්ථික ප්‍රතිපත්ති කමිටුවේ හා ජීවන වියදම් කමිටුවේ හා ටෙන්ඩර් කමිටුවේ සාමාජිකයෙක්. අපි මේ අර්බුදයට මුහුණ දුන්න අය. එතකොට මං අර කියපු පනත සම්මත වෙලා තිබුණේ. හැබැයි ඒක ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුවෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට.
ප්‍රශ්නය:- ඒ වෙනකොට යුද්ධයත් දරුණුම අතට හැරිලා?
පිළිතුර:- නියත වශයෙන්ම. ඒ විතරක් නොවෙයි සුනාමියෙන් විනාශ වෙච්ච රට ගොඩනැගීම, යුද්ධයෙන් රට බේරා ගැනීම, ලෝක ඛනිජ තෙල් අර්බුදය, ලෝක ආහාර අර්බුදය, ලෝක මූල්‍ය අර්බුදය හා රාජ්‍ය ණය අර්බුදය මෙන්ම ආර්ථිකය එක තැන ළැග තිබීමේ අර්බුදය කියන සප්ත අර්බුදයකට එතුමා මුහුණ දුන්නා. එහෙම තිබියදීත් ඒ අනුපාතය 70.7 ට ගේන්න එතුමා සමත් වුණා. මෙන්න වෙනස වුණා. පඩි වැඩි කළා. වාහන ගෙන්වන්න දුන්නා. සමෘද්ධිය වැඩි කළා. සහන දුන්නා. රට සංවර්ධනය කළා. එතකොට මහින්ද රාජපක්ෂගේ අවුරුදු 10 තුළම ණය ගැනීම වර්ෂයකට බිලියන 500 ක් විතර. ඒක රවි අවුරුදු දෙකේදී ණය ගැනීමේ සාමාන්‍යය ඒ වගේ දෙගුණයකට වැඩි කළා. 2016 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන මුදල් වාර්තාව ගැන විගණකාධිපතිතුමා කියනවා මූල්‍ය කළමනාකරණ වගකීම් පනතටත් වඩා වැඩියෙන් සියයට 83.3 ක් මේ ආණ්ඩුව ණය බර උස්සලා තියෙනවා කියලා. එතකොට අපිද මේක කරලා තියෙන්නේ. යුද්ධය ඉවර කරලා 2009 ඉඳන් 2014 ට දුප්පත් රට පහළ මැදි ආදායම් රටක් බවට පත් කරලා උස්සලා තිබ්බ රට අවුරුදු දෙකකදී සම්පූර්ණයෙන්ම ආපස්සට ගෙනිච්චා. ඒකට ඔය විදියේ කතා කියලා ගොඩයන්න බෑ.
ප්‍රශ්නය:- මැතිවරණ එන බව කියැවෙනවා. ඒ නිසා ජනතාවට සහන ටිකක් ලැබෙයි.
පිළිතුර:- මොන පිස්සුද? අර්බුදය උග්‍ර වෙනවා මිසක් වෙන කිසිම දෙයක් වෙන්නේ නෑ.
ප්‍රශ්නය:- නව බදු පනතට මොකක් වෙයිද?
පිළිතුර:- අපි මේ ගැන සුසිල් ප්‍රේම් ජයන්ත, ලසන්ත අලගියවන්න කියන ඇමැතිවරුන් එක්ක කතා කළා. ජෝන් සෙනෙවිරත්න මැති ඇමැතිවරුන් එක්කත් කතා කළා.
ප්‍රශ්නය:- කතා කළා කියන්නේ?
පිළිතුර:- අපි ඔවුන්ට කිව්වා ”මේකට හවුල් වෙන්න එපා’ කියලා. මේක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේවත් ප්‍රතිපත්තිය නොවෙයි. විදේශකයන් පිනවන ස්වෙද්ශිකයන් වනසන මේ පනතට කොහොමද පක්ෂ වෙන්නේ. සුද්දගේ කාලෙත් මේ වගේනේ. සුද්දොත් මේ විදියටම සෘජු බදු ප්‍රතිශතය වැඩි කරන්න ඇඟ බද්ද, බලු බද්ද, තණ බද්ද, වගේ විවිධ බදු පනවා ඒකේ ප්‍රතිඵලය 1815 දී හා 1848 දී කැරලි දෙකක් ගහල ලක්ෂ ගණන් ජනයාට ජීවිතවලින් වන්දි ගෙවන්න සිදුවුණා. ඔය සෘජු බදු ප්‍රතිශතය වැඩිකරනවා කියන්නේ 1815 හා 1848 කැරැලි වලට සම්බන්ධ අයගේ ප්‍රකාශයක්. වක්‍ර බදු ගන්නවා වගේ නොවෙයි සෘජු බදු ගන්නකොට... ප්‍රංශයේ හිටියා දක්ෂ මුදල් අමාත්‍යවරයෙක්. එතුමා කිව්වා ‘ෙම්ක පාත්තයන්ගෙන් පිහාටු ගලවනවා වගේ වැඩක්. උගේ කෑගැසීම අවම වෙන පරිද්දෙන් පිහාටු ගලවගන්න බැරිනම් ප්‍රශ්නය උග්‍ර වෙනවා’ කියලා. නමුත් ෙම් ආණ්ඩුව කෑගහද්දී නොවෙයි මර විළාප තියද්දී තමයි මේ පිහාටු ගලවන්නේ. මේක හරියනවා රවි කරුණානායකට හා ජාත්‍යන්තර මූලය අරමුදලට. එහෙම නැතිව මේ රටට කිසිම සෙතක් අත්වෙන්නේ නෑ. ඒ නිසා පුළුල් ජනතා මැදිහත්වීමකින් මේ සියල්ලම පරාජය කළ යුතු අවසන් මොහොතේ රටක් වශයෙන් අපි පැමිණ සිටිනවා.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්