අධ්‍යක්ෂ ජනරාල් ගෙදර යනකම් උද්ඝෝෂණ කරන්න කියා ඇමැති කිව්වා කියනවා


ශර්මිලා රාජපක්ෂ

ඇමැතිත් එක්ක හැප්පෙන සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය කියන කතාව

  • ගැහැනියක් හැටියට මට තියෙන​ ධෛර්යය මට වඩා ඇතැම් උසස් නිලධාරීන්ටත් නෑ.
  •  මම මේක ද‌ාල යන්නෙ නෑ. ජනාධිපතිතුමා කීවොත් පමණක් අයින් වෙනවා
  • ජනාධිපතිතුමාත් වැඩකරන්නේ  ලොකු පීඩනයක
  • මම වියත්මගේ ආරම්භක සාමාජිකයන්​ දොළොස්දෙනාගෙන් කෙනෙක්

 

මේ දිනවල කතාබහට ලක්වන චරිතයක් වන ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මෙවර ‘මුහුණට - මුහුණ’ හා එක් වේ.

 

ශර්මිලා මේ තනතුරට පත්වෙන්නෙ කොහොමද? අපි එතැනින් කතාව පටන් ගමු.   


මගෙන් ජනාධිපතිතුමා ඇහුවා සත්වෝද්‍යානවල සත්තු ටික බලාගන්න කෙනෙක් ඕනෑ ඔයාට ඒ වැඩේ බාර අරගෙන කරන්න පුළුවන් ද කියලා. එතුමා දන්නවා මං සත්තුන්ට ආදරෙයි කියලා. ඉතින් මම ඒ යෝජනාවට හා කිව්වා.   

 


ඒ වගේ යෝජනාවක් කරන්න මොකක්ද ජනාධිපතිට ඔබ ගැන තිබුණු විශ්වාසය?   


මම ඊට කලින් හිටියේ ජනාධිපති මාධ්‍ය අංශයේ. ඒත් පෞද්ගලික හේතුවක් නිසා මම එතනින් ඉවත් වුණා. ඊට පස්සේ මට නොයෙකුත් දේවල්වලට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා ආවා. ඒත් ඒවා බාරගන්න පුළුවන් වුණේ නෑ. ඒත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ තනතුර බාරගන්න කිව්වම මම ඒකට කැමැති වුණා. ජනාධිපතිතුමාටත් තේරෙන්න ඇති එතන යම් යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා කියලා. ඒක වෙන්න ඇති එතුමාට මාව මතක් වෙන්න ඇත්තේ. ඊට පස්සේ කැබිනට් එකට ද‌ාලා කැබිනට් අනුමැතිය අරගෙන තමයි මාව ඒකට පත් කළේ. 

 

ඔබ මේ සබ්ජෙක්ට් එක ගැන මොනවද දන්නේ?

   
විෂයය සම්බන්ධව ගත්තොත් ඇත්තටම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කියන්නේ සත්තු බලා කියා ගන්න හෝ සත්තුන්ට බේත් හේත් කරන තනතුරක් නෙවෙයි. අධ්‍යක්ෂ ජනරාල් කියන්නේ පරිපාලනය මෙහෙයවන කෙනා. එතන ඉන්න කණ්ඩායමට මඟ පෙන්වලා ආයතනයේ අරමුණු කරා ආයතනය අරගෙන යන්න පුළුවන් නියමුවෙක්. අධ්‍යක්ෂ ජනරාල් යටතේ ඉන්නවා අධ්‍යක්ෂවරු කීප දෙනෙක්. මෙහෙයුම් බාරව ඉන්නේ විද්‍යාත්මක සේවයේ අය. ඒ අය සූලොජිස්ට්ලා. ඒ අය තමයි මෙහෙයුම් බලන්නේ. මට ඒ අයගේ සියලු සහාය ලැබෙනවා. අධ්‍යක්ෂ ජනරාල් හැටියට පරිපාලන කටයුතු කරන්න. ඒ වගේම සතුන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය සම්බන්ධයෙන් ඉන්නවා පශුවෛද්‍යවරු. ඒ අයට උඩින් ඉන්නවා අධ්‍යක්ෂවරයෙක්. එයත් පශු වෛද්‍යවරයෙක්. ඒ අයගෙනුත් අවශ්‍ය සහාය මට ලැබෙනවා. මේ විදියට තමයි මගේ කාර්යය ක්‍රමානුකූලව කරගෙන යන්නේ.   


ඔබ මුලින්ම කිව්ව ඔබේ සත්ව ප්‍රේමය ගැන ජනාධිපතිතුමා පවා දන්නවා කියලා. කොහෙන්ද මේක එන්නේ. ගෙදරින්මද?   


පොඩි කාලෙ ඉඳලම තිබිච්ච එකක් ඒක. මම චූටි කාලෙ ඉඳලම මට බල්ලෙක් හිටියා. එක්කෙනෙක් නැති වෙනකොට එක්කෙනෙක් ගේනවා. මම එයාගෙ සාත්තු සාප්පායම් කරද්දී අපේ ආච්චි විහිළුවට මට මතකයි කියනවා මෙයාට දරුවෙක් එහෙම හම්බවෙච්ච දවසට දරුවව කොහොම බලාගනීද දන්නේ නෑ කියලා. සත්තුන්ට තියෙන ආදරේ පුංචි කාලෙ ඉඳලම තියෙන එකක්.   


මේ ආණ්ඩුව යටතේ කවුරුහරි රාජපක්ෂ කෙනෙකුට තනතුරක් ලැබුණොත් ඒ කෙනා මහින්ද රාජපක්ෂලගේ කාගෙ කවුද කියල විමසිල්ලක් ඇතිවෙනවා. ශර්මිලා ගැනත් එහෙම කතා ඇතිවුණා නේද? ඇත්තටම ඔබ මහින්දලගේ නෑයොද?   


එහෙම කිසිම ඥ‌ාති සම්බන්ධයක් අපි අතර නෑ. ඔබ කියනවා වගේ එවැනි අදහස් සමාජය තුළ මතුවුණා. ඇත්තටම ඒ නිසාම සමාජයෙන් මට යම් වෛරයකුත් ආවා. එහෙම අදහස් සමාජ මාධ්‍යවල එහෙම පළවෙලා තිබුණා. මගේ මේ පත්වීමට මගේ වාසගම නිසාම ආපු යම් යම් විරෝධයන් තිබුණා. ඇත්තටම මටත් ඒක ෂොක් එකක්. මම දන්නේ නෑ මිනිස්සු එච්චරම වාසගමත් එක්ක පවා පැටලෙන්නෙ කියලා. දන්න අය දන්නවා මම කවද‌ාවත් මගේ වාසගමෙන් අයුතු ප්‍රයෝජන අරගෙන නෑ කියලා.   


ඔබ වියත් මගෙත් ආරම්භක සාමාජිකාවක් නේද?   


ඔව්. වියත් මග ආරම්භක සාමාජිකයන් දෙළොස් දෙනාගෙන් කෙනෙක් මමත්. අපි ඒක පටන් ගත්තේ 2016. ඒත් ඊට කලින් ඉඳලම සමාජ මාධ්‍ය හරහා යම්කිසි හඬක් නගමින් හිටියා. මම ඒකට පෙළඹුණේ ජිනීවා මානව හිමිකම් කවුන්සිල් එකේ අපේ රටට විරුද්ධව යෝජනාවක් සම්මත කරගත්ත වෙලාවෙ. අපේ රට අපේම පිරිසක් පාවා දෙන්න හදන වෙලාවක ඒ ගැන ඇතිවුණු කම්පනයෙන් තමයි මම මේ සඳහා ක්‍රියාකාරී වුණේ. රට රැකගන්න නම් අපේ දේශපාලන කියවීම මත රටට ආදරය කරන දේශපාලන නායකත්වයක් ගේන්න ඕනැ කියන අධිෂ්ඨානය උඩ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් අපි පෙනී සිටින්නේ. එතුමාගේ නිල සමාජ මාධ්‍ය කටයුතු ගැන මම මැදිහත් වුණා. ඒ වගේම එතුමා ජනාධිපති වුණාට පස්සේ ජනාධිපති මාධ්‍ය අංශයේ කටයුතුවලට හවුල් වුණා.   


රට ගැන ලස්සන ලස්සන අදහස් එක්ක ආරම්භ වුණත් අද වෙද්දි වියත් මග රට ඇතුළෙ ජෝක් වෙනවා. ඔබට ඒ ගැන අදහසක් තියෙනවද?   


රට ගැන සුබවාදී අදහස්වලින් යහපත් අරමුණු එක්ක තමයි අපි මේක පටන් ගත්තේ. මේක මොන ආණ්ඩුවක් යටතේ වුණත් ‘තින්ක් ටෑන්ක්’ එකක් විදියට ක්‍රියාත්මක වෙන්න ඕනැ කියන අදහසින් තමයි ආරම්භ කළේ. රට ගොඩනගන වැඩපිළිවෙලක් අපි මේකෙන් යෝජනා කළා.   


වියත්මග ආයතනය නෙවෙයි ඇත්තටම හාස්‍යයට ලක්වෙන්නේ. මේක දේශපාලන පක්ෂයක් නොවෙයි. අපි විද්වත් අදහස් සහ වැඩ පිළිවෙලක් යෝජනා කළා පමණයි. ඒව ක්‍රියාත්මක කරන්න කියලා අපි කිව්වා. ඒ වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවටනේ. ඒක ක්‍රියාත්මක කරන්න ඕනැ දේශපාලන නායකයෝ. ඔය ගැටලු මතුවුණේ ඒ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව. අපිට දේශපාලන බලයක් නෑ. බලය තියෙන අයගේ වගකීම තමයි අපි යෝජනා කළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම.   


හැබැයි ඔය වියත් මග කියලා හද‌ාගෙන ගෝඨාභය රාජපක්ෂට කැම්පේන් කරලා ඔහු බලයට ආවට පස්සේ ඒකෙ ඔක්කොටොම වගේ එක එක තනතුරු දුන්නා. ඉතිං ඔබලාට බලයක් නෑ කියන්නේ කො​හොමද?   
වියත් මගේ පත්වීම් ගත්තු අයගෙන් බොහෝ දෙනෙක් සාර්ථක ප්‍රතිඵල පෙන්නුවා. ගත්තු තනතුරුවල වගකීම් ඉටු කළා. හැබැයි ඒ අයට හරියට වැඩ කරගෙන ඉන්න පුළුවන් වුණේ නෑ විවිධ ගැටලු නිසා. සභාපතිවරු කී දෙනෙක් ඉල්ලා අස්වුණාද? ඒ අය ඉල්ලා අස්වුණේ වැඩ කරන්න බැරුව නෙවෙයි. වැඩ කරන්න දෙන්නේ නැති නිසා. මටත් අපේ ඒ වගේ ප්‍රශ්නයක්. අපේ රටේ මිනිස්සුන්ගේ පොලිටිකල් ලිරසි’ එක ගැන බරපතළ ප්‍රශ්නයක් තියෙනවනෙ. දිගටම එන දේශපාලන සංස්කෘතිය එකපාරට වෙනස් කරන්න අමාරුයි.   


ඔබ කියනවා රටේ මිනිස්සුන්ගෙ දේශපාලන ඔබට නම් සංතෝසයි. හැබැයි මිනිස්සුන්ට කන්නත් නෑ, ලයිටුත් නෑ, පෝරත් නෑ. රටේ ඩොලරුත් නෑ. මේ ආණ්ඩුව ආවත් හරි නැති වාද‌මම විතරයි කියලනේ මිනිස්සු කියන්නේ. ඇතිවෙන්න තියෙන දේකට පේන්නේ පෝලිම් විතරයි.  සාක්ෂරතාව ප්‍රශ්නයක් තියෙනවා කියලා. වියත්මගෙන් ඇවිල්ල ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ගිහින් ඇමැතිකම් එහෙමත් අරගත්තු අයගෙ දේශපාලන සාක්ෂරතාව ගැනත් අපිට නම් ප්‍රශ්නයක් තියෙනවා. නැවක් ගිනි අරගෙන රට වටේම මුහුදට විශාල හානියක් වුණාම වාරකන්වලටත් මාළු මැරිල ගොඩගහනවා කියපු වියත්තුනේ මේගොල්ලො.   


ඔය සිද්ධියේදී නම් වුණෙත් ඇමැතිවරයා කියපු ප්‍රකාශයේ එක කොටසක් විතරක් අරගෙන තැන තැන පළවෙච්ච පුවත් නිසානේ. ඇමැතිවරයාගේ සම්පූර්ණ කතාව ඇතුළෙ ඔහොම අදහසක් නෑ. මාධ්‍යවලත් යන්නේ හැමවිටම ඇත්තම ද කියන ප්‍රශ්නයකුත් තියෙනවනේ. අල්ලලා යන කෑල්ලක් නිව්ස්වල ගහනවා මිසක් මාධ්‍ය වුණත් ප්‍රවෘත්තියක සත්‍ය තත්ත්වය නිතරම කියනවද කියල සැකයි. මම සමහර වෙලාවට කියන කතා වුණත් විකෘති වෙලා මාධ්‍යවල පළවෙනවා. පොඩි කෑල්ලක් දැකලා සම්පූර්ණ චිත්‍රය ගැන අදහසකට එන්න එපා.   


 හැබැයි වියත් මගේ මන්ත්‍රීලා කරන කියන දේවල් වියත් ද කියන එක ගැන ප්‍රශ්නය ලඝු කරන්න බෑ. ඒ වගේම තමයි වියත්මගෙන් පත්වුණු ආයතන සභාපතිවරු පවා ඇමැතිල එක්ක වැඩ කරන්න බෑ කියල දමලගහල ගෙදර ගියා මිසක් ෆයිට් කරලා වියත් මගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ නෑ.   
ඒ ගොල්ලො තනතුරු දාල යනවද ද‌ාල යන තැනට වැඩ සිද්ධ කරනවද කියන එකයි මෙතන ප්‍රශ්නෙ.   


ඇයි එතකොට වියත්මඟ ඉස්සරහට ද‌ාගෙන ලොකු කතන්දර කියාගෙන බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වියත් මගේ අය වෙනුවෙන් පෙනී ඉඳලා ඔවුන් රකින්න ඉදිරිපත් වෙන්නෙ නැත්තේ. බැලුවම ජනාධිපතිටත් ලොකු ඔහු ගේන්න දර දිය ඇද්ද වියත් මඟට වඩා ඇමැතිලානෙ.   


 ජනාධිපතිතුමා ජනාධිපති තනතුරේ ඉන්නකොට විධායකය, ව්‍යවස්ථාද‌ායකය, අධිකරණය කියන තුනම බැලන්ස් කරන්න ඕනැ. ඔහුට විධායකයේ බලය තිබුණට ව්‍යවස්ථාද‌ායකයේ බලය තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. ජනාධිපතිතුමාට සිද්ධ වෙනවා මේ දෙපැත්තම බැලන්ස් කරන්න. ඒක ලේසි වැඩක් නෙවෙයි. මොකක් හරි ප්‍රශ්නයක් ආවම දේශපාලකයො කියනවා අපි තමයි මේ ආණ්ඩුව පත් කළේ අපිට ඕනැ විදියට වැඩ කරන්න අවශ්‍යයි කියලා. අපිත් කියනවා මේ ආණ්ඩුව පත්කරන්න සහාය දුන්නා. ඒ නිසා අපි යෝජනා කරපු වැඩපිළිවෙලට අනුව වැඩ කරන්න ඕන කියලා. මෙතනදී ජනාධිපතිතුමා ප්‍රශ්නයක හිරවෙනවා. මේ දෙපැත්ත බැලන්ස් කරන්න යාමේදී. මොකක්ද හරි මොකක්ද වැරදි කියන එකට වඩා මෙතන බලවත් වෙන්නේ වැඩි පීඩනය ද‌ාන අය. මේ සාම්ප්‍රද‌ායික රාමුව වෙනස් කරන්න ඕනැ කියලා අපි දිගින් දිගටමම කියන්නේ මේ නිසා තමයි. මම දන්නවා ගැහැනියක් හැටියට මට තියෙන ධෛර්යය මට වඩා ඇතැම් උසස් නිලධාරීන්ට පවා නෑ කියලා.   


දැන් කතා කරමුකො මොකක්ද මේ ඔබ පැටලිච්ච ආරවුල කියලා? 

 
මම පත්වුණාට පස්සේ අපි වැඩ ටික ලස්සනට කරගෙන ආවා. මේ ගැන ටිකක් අධ්‍යයනය කළාම මට තේරුණ දෙයක් තමයි කණ්ඩායම් දෙකක් අතර කාලයක් තිස්සේ බල අරගලයක් තිබුණ කියන එක. විද්‍යාත්මක සේවයේ අය සහ පශු වෛද්‍යවරුන් අතර යම් ප්‍රශ්නයක් තිබිල තියෙනවා. මේකෙ බළල් අතක් විදියට එක යුනියන් එකක් පාවිච්චි වෙලා තියෙනවා. මම මේ අයට කතා කරලා කිව්වා මීට පෙර තිබුණු ප්‍රශ්න අමතක කරලා ආයතනයක් හැටියට ඉදිරියට යමු කියලා. සීයට අනූනවයක් විතර සේවකයෝ ඒකට එකඟ වුණා. අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනා ඒකට එකඟ වුණා. මම අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ සඳහා විශේෂ පුහුණුවකුත් ලබා දුන්න ට්‍රේනර් කෙනෙක් ලව්වා. ඊට පස්සේ ප්‍රශ්නයක් වුණේ එක යුනියන් ලීඩර් කෙනෙක්. ඔහු පහුගිය කාලෙ අධ්‍යක්ෂ ජනරාල් වෙලා ඉඳපු අය හරහා හවුල්වෙලා තිබුණා පරිපාලනයට. මේ පුද්ගලයා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයට අනුයුක්ත කරලා තීන්දු තීරණ ගැනීමට පවා මේ පුද්ගලයා සම්බන්ධ කරගෙන තිබුණා. ඔහු ආයතනයේ ක්ෂේත්‍ර සහායක කෙනෙක්. ඔහුට බෑ අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩවලට හවුල් වෙන්න. ආයතනයේ තීන්දු තීරණ ගනිද්දී යුනියන්වල ඉන්පුට් එක ගන්නවා. හැබැයි ඔහු ‘ඩිසිෂන් මේකර්’ කෙනෙක් නෙවෙයි. මම එන්න කලින් ඔහු ඒ වැඩ කරලා තිබුණා. මම ආවට පස්සේ ඒක නැවැත්තුවා. දැන් ඔහුට තියෙන ප්‍රශ්නය ඒක. ඔහු හිතාගෙන ඉඳලා තියෙන්නේ කලින් අධ්‍යක්ෂ ජනරාලුයි ඔහුයි එකයි කියල වගේ. අධ්‍යක්ෂ ජනරාල්ගෙ වාහනේ පවා ඔහු ගමන් බිමන් ගිහින් තියෙනවා. මම මේ වැඩේ නතර කළාම ඔහු මාත් එක්ක වෛරයක් ඇති කරගත්තා. ඔහු සෙසු සේවකයෝ යටකරගෙන බලයක් ගොඩනගා ගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඔහුට බිමට වැටිච්ච එක දරාගන්න බැරුව තමයි මාත් එක්ක ප්‍රශ්නයක් හදාගෙන තියෙන්නේ.   
 සමහරු පෙන්නන්න හදනවා මට විරුද්ධව සේවකයෝ මේ ආයතනය තුළ ක්‍රියාත්මක වෙනවා කියලා. ආයතන සේවකයෝ අටසීයෙන් මේ පුද්ගලයා එක්ක ඉන්න පිරිස එකොළොස් දෙනයි.   


විෂය භාර ඇමැතිගෙ භූමිකාව කොයි වගේද මේ ප්‍රශ්නෙදි?   


 මම ඒ ගැන කෙළින්ම කියන්නත් කැමැති නෑ. මොනවා වුණත් ඔහු මගේ විෂය භාර ඇමැතිතුමානේ. මම එයා එක්ක තවදුරටත් වැඩ කරන්න ඕනැනේ. මම ස්තූතිවන්ත වෙනවා මාස දෙක හමාරක් විතර වැඩ කරගෙන යන්න දීපු සහයෝගයට. මගේ තීරණවලට බාධා කළේ නෑ එතුමා. දැන් එතුමටත් තියෙන්නේ පක්ෂ දේශපාලනය හරහා එන බලපෑමක්. මේ පොදුජන පෙරමුණේ යුනියන් එකේ අය එතුමට කියනවා ඔවුන් තමයි ජනාධිපති බලයට ගේන්න ආණ්ඩුව පත්කරන්න වැඩ කළේ ඒ නිසා ඒ අයට ඕනැ ඕනැ විදියට වැඩ කරන්න ඉඩ දෙන්න කියලා. මට එතුමා එක්ක මේ ගැන කතා කරන්න හම්බ වුණේ නෑ. මෙයාලා කියනවා අධ්‍යක්ෂ ජනරාල්තුමිය ගෙදර යනකම් උද්ඝෝෂණ කරන්න කියලා ඇමැතිතුමා එයාලට කිව්වා කියලා. ඒකෙ ඇත්ත බොරු මම දන්නේ නෑ.   


මේ අයගෙ පොහොර ප්‍රශ්නෙ මොකක්ද?   


මේ අය කරපු පොහොර ව්‍යාපෘතියක් තියෙනවා. විෂය භාර ඇමැතිවරු තුන්දෙනා සහ මේ යුනියන් එක්ක මේ ගැන කතා කරල අපි විසඳුම් ලබා දුන්නා. හරි විදියට ඒ පොහොර ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්න අපි උදවු කරනවා කියලා. ඇමැතිතුමත් අපිත් කිව්වා. ඒත් මේ අය ඒ විසඳුම්වලට කැමැති නෑ. ඇත්තටම මේක දැන් වෘත්තිය අරගලයක් නෙවෙයි. මේ අය දැන් බළල් අතක් විතරයි. මේ අය පිටිපස්සෙ එන්.ජී.ඕ. සංවිධානයකුත් තියෙනවා. මම ඒ අය ගැනත් තීන්දුවක් ගත්තා. ඒක නිසා මට එන විරෝධයේ විවිධ මුහුණුවර දකින්න පුළුවන්. ඒ වගේම මේ අය ආයතනය ඇතුළෙ කරපු නොයෙකුත් ආද‌ායම් ලැබෙන ව්‍යාපෘති මම එක්ක කරගෙන යන්න බැරි නිසා තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ. මේක වෘත්තීය සමිති අරගලයක් නෙවෙයි ඇත්තටම දැන්.   


විමලවීර දිසානායක ඇමැතිවරයා ඔබේ පත්වීම ගැන අප්සෙට් එකෙන්ද ඉන්නේ?   


එතුමා මට මූණටම කිව්වා ‘ජනාධිපතිතුමා ඔබව පත්කරද්දී මගෙන් ඇහුවෙවත් නෑ’ කියලා. ඒ කියන්නේ එතුමා ඒ පත්කිරීම පිළිබඳ සතුටු නෑ කියන එකනේ. ඒක එතුමා ජනාධිපතිතුමා එක්ක බේරගන්න ඕනෑ ප්‍රශ්නයක්.

   
ඔබට විරුද්ධව ආයතන නිලධාරීන් පෙළඹවීමට විමලවීර දිසානායක ඇමැතිත් හවුල් කියල හිතනවද?   
ඒකට මට කෙළින්ම උත්තරයක් දෙන්න අමාරුයි. මගේ පිළිතුරු ටික ඇතුළෙ ඔබට ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඇති කියල මම හිතනවා.   


මේ ප්‍රශ්න නිසා ඔබත් අනිත් අය වගේ තනතුර ද‌ාල ගෙදර යනවද නැත්නම් ෆයිට් කරගෙන තවදුරටත් ඉන්නවද?   


මම තීරණය කරලා තියෙන්නේ මම මේක ද‌ාල යන්නේ නෑ කියලා. ජනාධිපතිතුමා කිව්වොත් ඉවත්වෙන්න කියලා අයින්​ වෙනවා.   


මේ ප්‍රශ්නෙ තියෙන්නේ එකම කඳවුරේ පිරිසක් අතරෙනේ. ජනාධිපති හෝ අගමැති හෝ පොදුජන පෙරමුණේ නායකයෝ හෝ මේකට මැදිහත් වෙලා මේ ආරවුල බේරුමක් කරන්නෙ නැත්තෙ ඇයි? 

 
මටත් තියෙන ප්‍රශ්නෙ ඒක තමයි. අපි ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වැනි නායකයෝ විශ්වාස කළේ රටට යහපත් දෙයක් කරයි කියලා. දැන් පොදුජන පෙරමුණ ඔවුන්ගේ වෘත්තීය සමිති නායකයො ගැන හරි තීන්දුවක් ගන්න ඕනැ. නැත්නම් මේක අපි කාට කාටත් ලජ්ජාවක්.   


විශාල කැම්පේන් එකක් කරලා, වියත්මග හරහා කැඳවාගෙන ඇවිත් වැඩ කරන විරුවා කියලා උත්කර්ෂයට නංවපු ජනාධිපතිවරයා ද දැන් ඉන්නේ. ඔබලාගේ වැඩපිළිවෙල ද ක්‍රියාත්මක වෙන්නේ?   


ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. ඒක කාටවත් නෑ කියන්න බෑ. කොවිඩ් මධ්‍යයේ වුණත් සතුටු විය හැකි වැඩ ප්‍රමාණයක් කරල තියෙනවා. අභියෝග තියෙනවා. අඩුපාඩු තියෙනවා. සර්වසම්පූර්ණ නෑනෙ කවුරුවත්. විවිධ ගැටුම් ඇතිවෙලා තියෙනවා. නිලධාරීන් හා ඇමැතිවරු අතර ප්‍රශ්න තියෙනවා. මේව ඉතින් එක දවසින් කණපිට ගහල වෙනස් කරන්න අමාරුයි. ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව අතර සන්නිවේදන දුර්වලතා තියෙනවා. ගොඩක් ප්‍රශ්නවලට හේතුව ඒක. ඇතුළෙ විසඳගන්න ඕනැ ප්‍රශ්න පවා එළියේ කෑගහලා නැති අවුල් ඇති කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා පහුවද‌ා ඉඳන් රට සීයට සීයක් වෙනස් වෙයි කියලා කවුරු හරි හිතනවා නම් ඒක වැරදියි. සිස්ටම් චේන්ජ් එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ වෙනකම් ආපු ගමනේ ප්‍රෝග්‍රෑම් එක ගැන සංතෝසයි.  


ඔබට නම් සංතෝසයි. හැබැයි මිනිස්සුන්ට කන්නත් නෑ, ලයිටුත් නෑ, පෝරත් නෑ. රටේ ඩොලරුත් නෑ. මේ ආණ්ඩුව ආවත් හරි නැති වාද‌මම විතරයි කියලනේ මිනිස්සු කියන්නේ. ඇතිවෙන්න තියෙන දේකට පේන්නේ පෝලිම් විතරයි.  


 ප්‍රශ්න තියෙනවා. අභියෝග එනවා. ඒවා කළමනාකරණය කරගෙන යාම තමයි වැදගත්. ඒකට අපි හැමෝටම වගකීමක් තියෙනවා. තනි තනි පුද්ගලයා විදියට තම තමන්ගේ වගකීම ගැනත් හිතන්න ඕනෑ හැමෝම. විවේචනය ලේසියි. අභියෝග ජයගෙන ඉදිරියට යන එක අමාරුයි. මම කලින් කිව්වා වගේ රට එක රැයකින් වෙනස් කරන්න බෑ.  


සමහරු කියන්නේ ‘සර් ෆේල්’ කියලා ඔබ හිතනවද ඊළඟ වතාවෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න ඕනැ කියලා?  


මම හිතන්නේ ඔහු ඊළඟ වතාවෙත් ජනාධිපති විය යුතුයි. එතුමා එක්ක ඉඳපු හැම දෙනාම එතුමාට අවශ්‍ය සහ​යෝගය දුන්නද කියන ගැටලුව තියෙනවා. ජනාධිපතිතුමත් ලොකු පීඩනයක් මැද තමයි වැඩ කරන්නේ.

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි