මෙරට ජනගහණයේ අඩු-වැඩිවීම් පිළිබඳව තොරතුරු රැස් කිරීමත්, ඒවා ජනතාවගේ දැන ගැනීම සඳහා නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සිදු කරනු ලබන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගිනි. ඒ අනුව එම දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙන එක් භාරදූර කාර්යයක් වන්නේ වසර දහයකට වතාවක් රට පුරා ජන සංගණනයක් පවත්වා එහි ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමයි.
එම ක්‍රමවේදයට අනුව 1971 මුල් කාර්තුවේදී රට පුරා නිවාස සහ ජන සංගණනයක් පැවැත්වීමට නියමිතව තිබුණේය. එහෙත් 1971 අප්‍රේල් මස 5දා අලුයම වැල්ලවාය පොලීසියට නාඳුනන පිරිසක් විසින් කළ පහරදීමත් සමග රටපුරා හදිසි තත්ත්වයක් පැන නැගුණෙන් යෝජිත ජන සංගණනය දින නියමයක් නොමැතිව කල් දැමුණේය.
ආණ්ඩුව එම තරුණ කැරැල්ල බලය යොදා යටපත් කළ අතර එවකට සිටි විපක්‍ෂය නැඟූ චෝදනාවක් වූයේ තරුණ තරුණියන් හතළිස් දහසකට අධික පිරිසක් කැරැල්ලට සම්බන්ධ යැයි කියමින් අමු අමුවේ ඝාතනය කර ඇති බවයි. කතරගම ප්‍රේමාවතී මනම්පේරි නමැති තරුණිය හමුදා නිලධාරීන් විසින් තිරස්චීන ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය විපක්‍ෂය ඒ සඳහා දැක්වූ එක් උදාහරණයක් විය. එලෙස නොමඟ ගිය තරුණ පිරිස් පුනරුත්ථාපනය කිරීමේ මුවාවෙන් තවත් සෑහෙන පිරිසක් පුනරුත්ථාපන කඳවුරුවල ගාල් කර සිටින බවටද ඔවුහු චෝදනා කළහ.
මේ අතර පැතිර ගිය තවත් දූෂමාන ආරංචියකින් කියැවුණේ එම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ජන සංගණනය කල් දැමීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බවයි.
“කැරැල්ල මර්දනය කිරීමේදී අමු අමුවේ ඝාතනය කෙරුණ තරුණ පිරිසකගේ සහ ගිනි තබා විනාශ කරන ලද නිවාස සංඛ්‍යාව හෙළිදරවු වන නිසා ආණ්ඩුව ජන සංගණනය දින නියමයක් නොමැතිව කල් දමන්න හදනවා...” යි කියමින් එකල පාර්ලිමේන්තුවේ සිටි විපක්‍ෂ මන්ත්‍රීවරුන් ලොකු අඬහැරයක් නඟා තිබුණේ මේ අතරතුරය.
එකල පැවැති දිනපතා පුවත්පත්වලින් දැවැන්ත ප්‍රචාරයක් ලබාදී තිබුණු එම ප්‍රවෘත්තිය ඇස ගැසුණු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ජන හා සංඛයාලේඛන දෙපාර්තමේන්තුව භාරව සිටි ඇමැතිවරයා ගෙන් ඒ ගැන විමසා තිබුණාය.
“ඒ නිවුස් එකේ කිසිම ඇත්තක් නෑ. ඒත් මේ කලබල නිසා ජන සංගණනය පැවැත්වීමට අදාළ පුහුණුවීම් කරන්න කාලයක් නොතිබුණු නිසයි සංගණනය ලබන අවුරුද්දට කල් දාන්න තීරණය කෙරුවේ” යි කියමින් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ඇමැතිවරයා නිදහසට කරුණු දැක්වූවද ඒ බව නොපිළිගත් අගමැතිනිය කෙසේ හෝ එම වසර ඇතුළත ජන සංගණනය පවත්වන ලෙස නියෝග කළාය.
ඒ අනුව යෝජිත නිවාස සහ ජන සංගණනය 1971 අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට ලහි ලහියේ කටයුතු සූදානම් කෙරුණේය. ඒ සඳහා අවශ්‍ය පෝරම සකස් කර මුද්‍රණය කෙරුණේද සංගණනය සඳහා යොදවා ගැනෙන ස්වේච්ඡා සේවකයන් පුහුණු කෙරුණේද ඉතාමත් කඩිනමිනි.
මේ කාලය වනවිට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සිය දූ දරුවන් සමග රොස්මිඩ් නිවස අතහැර අරලියගහ මන්දිරයේ පදිංචිව සිටියාය.
“නෑ... නෑ... මට මෙතන හොඳයි. මේක මගේ පුරුදු තැනනේ.” යි මුලින් කී එතුමිය පසුව අකමැත්තෙන් හෝ අරලියගහ මන්දිරයේ පදිංචියට පැමිණ තිබුණේ තම ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරී අනුරුද්ධ රත්වත්තේ, පොලිස්පති ස්ටැන්ලි සේනානායක සහ යුද හමුදාපති සේපාල ආටිගල වැනි ආරක්‍ෂක බලධාරීන්ගේ බලකිරීමටය.
මේ කාලයේ චන්ද්‍රිකා විදේශගතව ඉගෙනුම ලැබූ අතර සුනේත්‍රා සහ අනුර තම මව සමග රැඳී සිටියහ. එසේම අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියක වශයෙන්ද සුනේත්‍රා සේවය කළාය. විදේශගතව අධ්‍යාපනය ලබා ආපසු පැමිණ සිටි අනුර මේ වනවිට ශ්‍රී ලං.නි.ප. යේ හෝ තම මවගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිදු තනතුරක් හෝ වගකීමක් නොදැරූ අතර ඔහු බොහෝ විට සමවියේ මිතුරන් සමග ගත කළේ සෙල්ලක්කාර ජීවිතයකි.
ජිත් පීරිස්, සෙනේ කිරිදෙන, ක්‍රිෂාන්ත කුරේ වැනි තමන්ගේ සමීප මිතුරන් සමග රට පුරා විනෝද සවාරි ගිය අනුර එකල රාජ්‍ය සේවයට හෝ දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ කර ගැනීමට මැතිනිය සෑහෙන උත්සාහයක් දැරුවද එම සියලු උත්සාහයන් ගඟට කැපූ ඉණි මෙන් නිෂ්ඵල වී තිබුණේය. මේ අතර 1971 නිවාස සහ ජන සංගණනය නිමිත්තෙන් ගෘහමූලිකයෙකු විසින්ම සම්පූර්ණ කළයුතු මුද්‍රිත පෝරමයක් අරලියගහ මංදිරයටද ලැබී තිබුණේය.
අගමැතිනිය එම සංගණන පෝරමය සම්පූර්ණ කිරීමේ වගකීම පවරා තිබුණේ තම පෞද්ගලික යතුරු ලේඛකයෙකු වූ විලීටය. ඔහු එමගින් විමසා තිබූ කාරණා සම්පූර්ණ කළද අනුරගේ රැකියාව සඳහන් කළ යුතු ස්ථානය හිස්ව තබා තිබුණේ එය අනුරගෙන්ම විමසිය යුතු යැයි සිතූ බැවිනි.
එම පෝරමය සම්පූර්ණ කර ආපසු බාරදිය යුතු දිනය ද අත ළඟටම පැමිණ තිබුණෙන් විලීට දෙලොව රත්වී අනුර සොයා ඒ මේ අත දිව්වේය. අන්තිමේදී ඔහුට අනුර මුණ ගැසුණේ මිතුරන් පිරිස සමග විනෝද සවාරියක් යාමට සූදානමින් තම අලුත්ම රේසින් කාරය පණ ගන්වමින් සිටින අතරතුරය.
“අනුර බේබි, වන් සෙකඩ්...” යි කියමින් වාහනය අසලට දිව ගිය විලී තම අවශ්‍යතාව ඉංග්‍රීසි බසින් පැහැදිලි කළේය.
“යූ හෑව් ටු පුට් මයි ජොබ් ඈස් අ ෆාමර්...” යි සිනාසෙමින් කී අනුර කුරුල්ලා මිටෙන් ඇරියාක් මෙන් වාහනය පදවාගෙන ගොස් ගාලු පාරට දැම්මේය. ඒ අනුව එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ අනුර බණ්ඩාරනායක යන නමට ඉදිරියෙන් රැකියාව ගොවිකම ලෙස සඳහන් කළ සංගණන පෝරමය විලී විසින් අදාළ ස්වේච්ඡා නිලධාරීන්ට එදිනම භාරදීමයි.
මේ කාලය වනවිට පාර්ලිමේන්තුවේ සිටි එ.ජා.ප. ය නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව අතළොස්සකට සීමා විය. එසේ වුවද එ.ජා.ප. ය සතුව ඉතාමත් කාර්යක්‍ෂම නිල නොවන බුද්ධි සේවයක් තිබුණේය. අරලියගහ මංදිරයේ වෙසෙන අගමැතිනියගේ එකම පුත්‍රයාගේ රැකියාව “ගොවිකම” ලෙස ජන සංගණන පෝරමයේ සඳහන්ව ඇතැයි ඔවුහු තම දේශපාලන හාම්පුතුන්ට ඒසැණින් වාර්තා කළහ.
අන්තිමේදී වැඩේ පත්තුවී ගියේ පාර්ලිමේන්තුවේ පැවැති වැදගත් විවාදයක් නැරඹීමට පැමිණි අනුර එහි නිලධාරීන්ගේ ගැලරියේ සිටින අයුරු දුටු විපක්‍ෂ මන්ත්‍රීවරුන් කීප දෙනෙකු “අර ඉන්නේ අරලියගහ මන්දිරයේ ජීවත්වෙන ගොවියා ද?”යි මහ හඬින් ප්‍රශ්න කිරීමෙන් පසුවය. වෙනදා අනුර ගැන ප්‍රශ්නයක් මතුවූ විගස විපක්‍ෂය සමග කට ගසාගෙන යන ඔහුගේ හිතවත් මන්ත්‍රීවරුන් පවා එදින නිහඬව බිම බලාගෙන සිටියේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් ලෙසිනි.
නිහාල් ජගත්චන්ද්‍ර