අනිවාර්ය නිවාඩු යවා සිටින වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලීසිය මඟහරිමින් සිට තමා අත්ඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභ වීමෙන් පසුව 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් වීම සහ එහිදී අනාවරණය වූ කරුණු පසුගිය සතියේ රටේ ප්‍රධාන මාතෘකාවක් විය. රටේ පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමත් අවසානයේ රක්ෂිත බන්ධනාගාර ගතකිරීමත් කිසිසේත් සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවේ. 17 වැනිදා අභියාචනාධිකරණයේ දීත් 19 වැනිදා සහ 20 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ දීත් අනාවරණය වූ කරුණු ඊටත් වඩා බරපතළය. මේ එම සතියේ අධිකරණයේ වාර්තා වූ සිද්ධීන්ගේ සංක්ෂිප්තයයි.
රිට් පෙත්සම නිෂ්ප්‍රභයි
2023 දෙසැම්බර් මාසයේ දී වැලිගම ‘ඩබ්ලිව් ෆිෆ්ටීන්’ හෝටලයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට නොගන්නැයි දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් පසුගිය 17 වැනිදා නිෂ්ප්‍රභ කෙරිණ.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන විනිසුරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල වැඩබලන පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියම කර සිටියේය.
නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරන ආයතනයක ප්‍රධානියා වන පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියකු නොවන බවත් නීතියට අනුව ඔහු කටයුතු නොකිරීම බරපතළ වරදක් වනවා පමණක් නොව නීතියේ ආධිපත්‍යය උල්ලංඝනය කිරීමක් වන බවත් පෙන්වා දුන් සභාපති විනිසුරු ලෆාර් තාහිර් මහතා අධිකරණ නියෝගයකට අවනත නොවීණ දින 18ක කාලයක් සැඟව සිටීමේ ඔහුගේ ක්‍රියාව හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳ ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටීමට හැකියාව ඇතැයි පෙන්වා දුන්නේය.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ ක්‍රියාවෙන් මහජන භාර මූලධර්මය සෘජුවම උල්ලංඝනය කිරීමක් වන බවත් අරගලයක් වැනි සිද්ධීන් යළි ඉස්මතු වීමට ඉඩ ඇති බවත් නීතියට ඉහළින් සිටින පුද්ගලයකු වශයෙන් පෙත්සම්කරු ක්‍රියා කර ඇති බවත් පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා පොලිස්පතිවරයා වශයෙන් ඔහු නීතියේ ආධිපත්‍යයට මෙන්ම අධිකරණ නියෝගයන්ට ගරු කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
යමකු අධිකරණයට පැමිණෙන විට පිරිසුදු දෑතින් පැමිණිය යුතු වුවත් පෙත්සම්කරු පිරිසුදු දෑතින් අධිකරණය හමුවට නොපැමිණි බව ඉතාම පැහැදිලි බවත් පෙත්සම්කරු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් නීතියට පටහැණිව කටයුතු කිරීම සඳහා යොදා ගෙන ඇති බවට කරුණු ඉදිරිපත්ව ඇතැයි සඳහන් කළ සභාපති විනිසුරුවරයා නඩුවට පාදක වූ සිද්ධිය වූ අවස්ථාවේ වැටලීම සම්බන්ධයෙන් බලප්‍රදේශයේ පොලිස්ථානාධිතිපතිවරයා හෝ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් නොකර පෙත්සම්කරු ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ සැකකාර පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී ‘පැරා මිලිටරි’ කණ්ඩායමක් ලෙස ප්‍රශ්නගත හෝටලයට වෙඩි තබා ඇති බව මාතර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් කර ඇතැයි පෙන්වා දුන්නේය.
පොලිස් නිලධාරීන් සඳහා රජයෙන් නිකුත් කර ඇති ගිනි අවි නීති විරෝධී කටයුතු සඳහා භාවිත කර ඇති බවත් පෙත්සම්කරු යටතේ සිටි පොලිස් නිලධාරීන් නීතියට පටහැණි අන්දමින් අතුරු හමුදාවක් ලෙස යොදාගෙන ඇති බවත් සිද්ධිය වූ අවස්ථාවේදී එම නිලධාරීන්ගේ රාජකාරි ජංගම දුරකථනයන් ක්‍රියාවිරහිත කර ඇති බවත් සඳහන් කළ සභාපති විනිසුරුවරයා සිද්ධියේ දී තුවාල ලැබූ පුද්ගලයන් ළඟම රෝහලට ගෙන නොයෑම සැක කටයුතු බවත් සිද්ධියට අදාළ කිසිදු සටහනක් පොලිස් පොත්වල සටහන් කර නැති බවත් පෙන්වා දුන්නේය.
පෙත්සම්කරු නිර්දෝෂි පුද්ගලයකු නම් මාතර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය අනුව අධිකරණයේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම තම අධිකරණයට සැක සහිත බවත් 2023 වසරේ වැලිගම ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇති වරෙන්තුව නීත්‍යනුකූල බවත් අවධාරණය කළ අභියාචනාධිකරණය එම වරෙන්තුව ක්‍රියාත්මක කරමින් දේශබන්දු තෙන්නකෝන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
පොලිස්පතිවරයා වශයෙන් පෙත්කසමරුගේ මෙම ක්‍රියාකලාපය නීතියේ ආධිපත්‍යයට කළ බලවත් නිගරුවක් බවත් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම පැවරී ඇති පෙත්සම්කරු වැනි වගකිවයුතු පුද්ගලයකු අධිකරණ නියෝග මඟ හරිමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් අවධාරණය කළේය.
පොලිස්පතිවරයා වශයෙන් පෙත්සම්කරු අධිකරණ නියෝගයන්ට අවනත වී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් විය යුතු බව අධිකරණයේ මතය වන බවත් පුරවැසියකුට වරෙන්තුවක් නිකුත් කළා නම් මේ වන විට ඔහු අත්අඩංගුවටගෙන ඇති බවත් නීතියේ ආධිපත්‍යය සුරකින තැන ප්‍රධානියාගේ මෙම ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බවත් සඳහන් කළ සභාපති විනිසුරුවරයා ඉදිරිපත් වූ කරුණු අනුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් පෙත්සමෙන් ඉල්ලා ඇති සහනයන් ප්‍රදානය කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් සඳහන් කළේය.
පොලිස්පති අධිකරණයට භාරවෙයි
දිවයිනේ සියලුම පොලිස් ස්ථාන, අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී මෙම තීන්දුවෙන් පසු ඔහු 19 දා උදෑසන 8.25 ට පමණ නීතිඥ කණ්ඩායමක් මගින් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර භාර විය.
මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුවන් හා නඩුවලට පෙනී සිටින පුද්ගලයන් වාඩි වී සිටින පුටු පේළියක ඉදිරිපස අසුනක දේශබන්දු තෙන්නකෝන් අසුන් ගෙන සිටියේය.
එහිදී සැකකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මෙසේ කීය.
“ස්වාමිනී වැලිගම ‘ඩබ්ලිව් ෆිෆ්ටීන්’ හෝටලයට වෙඩි තබා අනර්ථය සිදු කිරීම, සාපරාධී බිය ගැන්වීම හා පොදු දේපොළ පරිහරණය ආදී නඩු පැවරීමට තරම් සාක්ෂි ඇති බව පවසමින් මෙම අධිකරණය මාගේ සේවා දායකයා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඕනෑම සැකකරුවකුට හීමි වන නීතියේ ප්‍රතිපාදන යටතේ මෙම සැකකරී මාර්තු 07 වැනිදා රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළා. මාර්තු 10 හා 12 යන දිනවල එම පෙත්සම සලකා බලා එහි තීන්දුව පෙරේදා 17 ප්‍රකාශ කළා. ඒ අනුව රිට් පෙත්සම නිෂ්ප්‍රභ කළා. මෙම උසාවියේ නඩු තීන්දුව මා වෙත ලැබීමට ප්‍රමාද වීමත් ඊට අදාළ ලේඛන සියල්ල එකවර ඉදිරිපත් කිරීමට නොහැකි වීමට එම තීන්දුවට බලපෑවා.
එහෙත් මාතර පළාත්බද මහාධිකරණයට ප්‍රතිශෝධන අයැදුම්පතක් ඉදිරිපත් කොට යළිත් නීතියේ පිහිට ලබා ගැනීමට අවස්ථාව තිබියදී අද උදෑසන 8.20 ට පමණ මාගේ සේවා දායකයා මෙම අධිකරණයට පැමිණ ඉදිරිපත් වුණා. ඔහු පොලිස්පතිවරයා ලෙස සිටියදී යුක්තිය මෙහෙයුම හරහා අපරාධකරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට කොටු කර ගැනීමත් විදෙස්ගතව සිටින අපරාධකරැවන් මෙරටට ගෙන්වාගැනීමත් නිසා ඔහුට දැඩි ලෙස ජීවිත තර්ජන තිබෙනවා. අදටත් ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දී තීබෙනවා. ඒ නිසා අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු ඔහු ඊයේ ආරක්ෂක හේතුන් මත නොපැමිණ අද උදෑසනම මෙම අධිකරණය වෙත පැමිණ බාර වුණා. ප්‍රතිශෝධන ඉල්ලීම් අයිතිවාසිකම තිබුණත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියා ලෙස ඔහු මෙම අධිකරණයේ නියෝගයට අවනත වී ඉදිරිපත් වුණා.
මෙම නඩුවේ සැකකරුවන් හය දෙනකු රිට් පෙත්සමක් ඉදිරිපත් කර එම සහනය ලබා ගෙන තිබෙනවා පසුගිය ඉරිදා එම එකඟතාව ගැන සියලුම මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කළා. ඔවුන් ලබන 21 වැනිදා තෙක් අත්අඩංගුවට නොගන්නා බව ප්‍රකාශ කළා. මාගේ සේවාදායකයා යටතේ සේවය කළ පොලිස් නිලධාරීන් හය දෙනකු රිට් සහනය ලබා තිබෙනවා. එය ව්‍යවස්ථාවෙන් ඔවුන්ට හිමි වූ අයිතියක්. එම කරුණු සලකා බලන ලෙසත් ඉල්ලා සිටිනවා.”
“ඇප පනත ප්‍රකාර ඔහුට ඇප ලබා දීමේ හැකියාව මෙම අධිකරණයට තිබෙනවා. ඔහු පරීක්ෂණවලට බාධා කරලා නෑ. සාක්ෂිකරුවන්ට බලපෑම් කරලා නෑ. 1998 වසරේ ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස එක්වී විවිධ තනතුරුවල නිරත වී ෙශ්‍ර්ෂ්ඨාධිකරණයෙන් තාවකාලිකව පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවන තෙක් මේ රටේ පොලිස්පතිවරයා ලෙස සේවය කළා. යම් හෙයකින් ඇප ලබා නොදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළහොත් ඔහුගේ ජීවිතයට විශාල තර්ජනයක් වෙන්න පුළුවන්. එම කරුණු ද සැලකිල්ලට ගෙන ඕනෑම කොන්දේසියකට යටත්ව ඇප ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.”
ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් කරැණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ කීය.
“අද දින උදෑසන බෙන්ස් රථ දෙකක් හා තවත් වාහන දෙකක් පෙරටු කර ගෙන විවෘත වරෙන්තුකරුවකු සිංහ ලීලාවෙන් මෙම අධිකරණයට ඇවිත් තිබෙනවා. මේ කූඩුවේ දාලා ඉන්න ඕනෑ වරෙන්තුකරුවකු, ටයි කෝට් දාලා මේ පුටුවල වාඩි වී සිටීම මට නම් පුදුමයක්. මුළු පරීක්ෂණ ක්‍රියාවලියම උඩු යටිකුරැ කරමින් දින 20 ක් සැඟවී සිටි රංගන ශිල්පියාගේ නින්දිත අවසානයයි මේ. මොහු පොලිස්පති ධුරයට තියා පොලිස් කොස්තාපල් ධුරයටවත් සුදුසු නෑ. මම ඒ ගැන සමස්ත පොලිස් කොස්තාපල්වරුන්ගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. එවැන්නක් කීමට වීම ගැන. උගත් නීතිඥතුමා කීවා මොහු පාතාලයට එරෙහිව යුද ප්‍රකාශ කළා කියලා. පාතාලයට විතරක් නෙවෙයි. මේ නීතිඥ ප්‍රජාවටත් ඔහු යුද ප්‍රකාශ කළා. අද නීතිඥ කණ්ඩායමක් එක්ක මෙතැනට ඇවිත් ඉන්න මොහු එදා කුඩු ජාවාරම්කරුවන් හා පාතාලයන්ගෙන් නීතිඥයන් යැපෙන බව කියමින් අපහාස කළා.
වැලිගම ‘ඩබ්ලිව් ෆිෆ්ටීන්’ හෝටලයේ සිද්ධිය මොහුට කර්මය පඩිසන් දීමක්. දිට්ඨදම්මවේදනීය කර්මය පඩිසන් දී තිබෙනවා. මොහු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ නඩුවේ පළමු වග උත්තරකරු ලෙස නම් කර තිබෙන්නේ ස්වාමීනී ඔබතුමායි. මොහු අත්අඩංගුවට ගැනීමට දොරටු වසා ගෙන කුමන්ත්‍රණය කළා කියලත් චෝදනා එල්ල කර තිබෙනවා. දණගාගෙන එන්න ඕනෑ විවෘත වරෙන්තුකරුවකු සිංහ ලීලාවෙන් ඇවිත් ඉන්නවා.”
“තමන් යටතේ සිටින කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් හත් දෙනකු සිය රාජකාරි ජංගම දුරකතනත් විසන්ධි කර කොළඹ සිට වැලිගමට එවා තිබෙනවා. රෑ 8.30 ට ඔවුන් කොළඹින් පිටත් වෙලා තිබෙන්නේ. අධිවේගී මාර්ගය ඔස්සේ පැය එක හමාරෙන් එන්න පුළුවන්කම තිබියදී ගාලු පාර දිගේ පහුවදා අලුයම 2 .15 වන තෙක් ඔවුන් වැලිගමට ඇවිත් තිබෙනවා. ඒ දෙසැම්බර් 31 වැනිදා.මැර කල්ලියක් යයි හිතලා වැලිගම පොලිසියේ නිලධාරීන් අතර හිටි හමුදා නිලධාරියකු වෙඩි තියනවා. හරියට ඔවුන් වෙඩි තිබ්බා නම් ඒ හත් දෙනාම ඉතිරි වෙන්නේ නෑ. එහෙම වුණා නම් ඉතිරි වෙන්නේ මෙයා හා අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්ෂ විතරයි. ආපු නිලධාරීන්ගේ දුරකතනය ඉමදුවදී ක්‍රියාත්මක කරන්නේ උදේ 3 30 ට. එහි සිටින නිශාන්ත නිලධාරියා උදේ 3.40 ට පමණ අධ්‍යක්ෂට කෝල් කරලා සිද්ධිය කියනවා අධ්‍යක්ෂ 3.43 ට පොලිස්පතිවරයාව සිටි මෙයාට කියනවා ඒ කියන්නේ 3.42 ටත් මේ අය ඇහැරීගෙන ඉඳලා තියෙනවා. අපරාධය සිදු වූ තැන ඉඳන් ඉමදූවට යන්න විනාඩි 40 ක් ගත වෙලා තිබෙනවා. තුවාල නිලධාරීන් වෑන් රථයේ බිම දාගෙන පාරවල් හොය හොයා ගිහින් තිබෙන්නේ. මේ අය ඉමදූවදී අහු නොවී කොළඹට ගියාම මෙහෙම නඩුවක් කතා නොවෙන්න ඉඩ තිබුණා. සමහර විට හෝටලය විත්තිකරුවන් කරලා වෙනම නඩුවක් හදන්න ඉඩ තිබුණා. ඒ සැලසුම අසාර්ථක වුණා. මෙයාගේ ලිඛිත නියෝගය පරිදි ඒ නිලධාරීන් ඇවිත් තිබෙන්නේ. ඊට පෙර දින හරක් කටාගේ ගෝලයෝ එකොළහක් අත්අඩංගුවට ගත්තලු. ඉතිරි අය ගන්න ආවලු. ඒ වගේ යටිකුට්ටු වැඩ කරලා තිබෙනවා හරි නම් ඉන්න ඕනෑ මේ බංකුවේ නොවේ කූඩුවේ. ”
“මොහුට එස්.ටී.එෆ් ඇතුළු නිලධාරීන් දස දෙනකු ආරක්ෂාවට දී තිබෙනවා. මොහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මත් පැන් බෝතල් 595 ක් සොයා ගත්තා. වටිනාකම කෝටියකට අධිකයි. ගෙදර ස්කාගාරයක් වගෙයි. රාජකාරි පිස්තෝලය ඇදුම් අස්සේ හංගලා තිබුණා. ආරක්ෂක නිලධාරීන් නොමැතිව මොහු දින 20 ක් හැංගිලා හිටියා. නිලමෙලගේ දේශපාලනඥයන්ගේ ගෙවල් සෝදිසි කරන්න ඕනැ තමයි. සූක්ෂ්ම අපරාධකාරයකුටවත් බෑ දවස් 20 ක් මේ විදියට හැංගිලා ඉන්න. හරක් කටා හා මදුෂ්ටත් වඩා සූක්ෂ්ම හැකියාවක් මොහුට තිබෙනවා.”
“2021 න් පසු ඡන්ද හිමි නාම ලේඛනයේ මොහුගෙවත් බිරිඳගෙවත් දරුවගෙවත් නම් නෑ. ස්ථිර ලිපිනයක් හොයා ගන්න නෑ. අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු අපිව සප්‍රයිස් කරන්න වගේ ඇවිත් තිබෙන්නේ. හොර පූසා වගේ ඇවිත් මෙතන වාඩි වෙලා තිබෙනවා.”
“පසුගිය 27 වැනිදා ඉඳන් මෙයා කොහෙද හිටියේ? ඒ හිටපු දවසක් ගානේ අපට තොරතුරැ අවශ්‍යයි. ඔහුට රැකවරණය දුන් සියලු දෙනා මේ අධිකරණයට ගෙන එන්න ඕනෑ. ඒ දින 20 ගැන දින 40 ක් අපට විමර්ශනය කරන්න ඕනෑ.”
“ඒ වගේම ඔබතුමා ඵෙතිහාසික තීන්දුවක් තමයි දීලා තිබෙන්නේ. පිටු 83 ක් ලියලා තිබෙනවා. සාමාන්‍යයෙන් පිටු තුනෙන් ලියන්න පුළුවන් තීන්දුවක් තමයි පිටු 83 ක් ලියලා මේකේ බරපතළකම පෙන්වා දී තිබෙන්නේ. ඒ වගේම මෙහේ පොලිසිවලින් කළ විමර්ශනයක් 2024 ඔක්තෝබර් මාසේ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙන්නේ. මේ නඩුවේ ඉතිරි 7දෙනාත් ඉදිරි සතිය තුළ මේ සැකකරු සමග කූඩුවට දාන්න ඕනෑ. මේ නඩු තීන්දුව ගැන අද සමාජ කතිකාවක් ඇති වෙලා තිබෙනවා.
වෙනත් අපරාධකරුවන් ගෙවල්වලින් පැනලා ගියාම ඔවුන්ගේ පවුල්වල අය කුදලගෙන එනවා. ඒත් මේ සැකකරුගේ පවුලේ අයට එහෙම කරලා නෑ. බිරිඳ හා දරුවාගෙන් ප්‍රකාශයක් පමණක් අරගෙන තිබෙනවා.”
“වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හරියට රාජකාරිය කරලත් ප්‍රධානියාගේ නියෝග පරිදි අමතරව වෙඩි උණ්ඩ පහක් එකතු කර තිබෙනවා. සාක්ෂි වෙනස් කිරීමේ නඩුවට අමතරව ඔහුත් මේ නඩුවේ සැකකරුවකු කළ යුතුයි. ඒ වගේම සාක්ෂි වසන් කිරීමට දායක වූ වැලිගම පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාත් අත්අඩංගුවට ගත යුතු වෙනවා. නෙප්චුන් හෝටලයේ සී.සී.ටී.වී දර්ශන පොලීසියෙන් ගත්තා කියලා අයිතිකාරයා කියනවා. ඒ පෙන් ඩ්‍රයිව් එකේ දර්ශන මකලා. ඒවා නැවත ගන්න පුළුවන්ද කියලා අවිනිශ්චිත තත්ත්වයක් තිබෙන්නේ. මෙයා යටතේ තමයි මේ සියලු දේ සිදු කර තිබෙන්නේ.”
“ඒ නිසා මදුෂ්ලා හරක් කටාලට වඩා සුදු කර පටි පැලඳ ඉන්න මේ වගේ අය භයානකයි. දේශපාලන බලය සමාජ බලය ආගමික නායකයන්ගේ බලය ආදී සියලු බලය මේ අයට තිබෙනවා. මෙයා ගැන ලොකු විමර්ශනයක් අපි ආරම්භ කර තිබෙනවා. ඒ නිසා මොහුට රැකවරණය දුන් සියලු දෙනා අත්අඩංගුවට ගත යුතුයි. මොහුගේ ජංගම දුරකතනය ඇතුළු උපකරණ සියල්ල අධිකරණයට භාර දිය යුතුයි. ඒ නිසා මීළඟ දින නඩුව කැඳවන තෙක් ඇප ලබා දීමට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.”
ඉන් අනතුරුව ජනාධිපති නීතිඥ ශානක රණසිංහ ඕනෑම වරෙන්තුකරුවකුට නීතිඥයකු මගින් හෝ තනිවම අධිකරණය වෙත පැමිණ ඉදිරිපත් වීමට අයිතිවාසිකමක් ඇති බව ප්‍රකාශ කළේය. එසේම හොර පූසෝ වගේ ඇවිත් යයි නීතිඥයන් ඉලක්ක කර ගෙන කළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නා ලෙසට ද කියා සිටියේය.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ තමා හොර පූසෝ වගේ කීවේ නීතිඥ යන්ට නොව මෙම සැකකරැට පමණක් බවයි.
පැය එක හමාරක කාලයක් දෙපාර්ශ්වයේම කරුණුවලට සවන් දුන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරැණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා 20දා සවස 2.00 ට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශ කරන බව දැන්වීය.ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ් භාරයට පත් කළ අතර, බන්ධනාගාර බස් රථ හතරකින් පොලිස් ජීප් රථයකින් අවිගත් නිලධාරීන් සහිතව ඔහු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.
තීන්දුව
20 දා නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප ලබා දුනහොත් අභියාචනාධිකරණය ලබා දුන් නියෝගයේ සඳහන් විධි විධාන ක්‍රියාත්මක කිරීමට බාධා ඇති විය හැකි බැවින් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබන අප්‍රේල් 03 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස තීන්දුව ලබා දුන්නේය.
එසේම ඔහුගේ ජංගම දුරකතන ඇතුළු විද්‍යුත් උපකරණ විමර්ශන නිලධාරීන්ට භාර දීමට නියෝග කළ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට ගොස් සැකකාර පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන්නේය.
ඊට අමතරව සැකකරුට සැඟවී සිටීමට උදව් උපකාර කළ හා පහසුකම් සැපයූ සියලු දෙනා වහා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ ඇප නියෝගය පිටු 12 කින් සමන්විත බව ද ප්‍රකාශ කෙරිණ.
20 දා සවස 2.00 ට පමණ ඇප නියෝගය ලබාදෙන බව 19 දා ප්‍රකාශ කෙරැණ ද දිවා විවේකයෙන් පසු අධිකරණ කටයුතු ආරම්භ කෙරුණේ සවස 2.45 ට පමණය. සවස 1.50 ට පමණ සැකකාර පොලිස්පතිවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාවක් මැද බන්ධනාගාර බසයකින් අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවාගෙන ආවේය. අධිකරණ ශාලාවේ සිර කුටියක වෙනමම රඳවා සිටි දේශබන්දු තෙන්නකෝන් 2.46ට පමණ එම නඩුව කැඳවූ අවස්ථාවේ විත්ති කූඩුව වෙත රැගෙන ආවේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ කීය.
“ස්වාමීනී මා පළමුව ස්තූතිවන්ත වෙනවා නීතියේ ආධිපත්‍යය තහවුරැ වන ආකාරයේ නියෝගයක් ලබාදීම ගැන. කිසිදු තරාතිරමකින් තොරව නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බවට. එයින් ප්‍රබල පණිවුඩයක් සමාජයට දෙනවා.
මෙම නඩුවේ විමර්ශන කඩිනමින් අවසන් කිරීමටත් මෙම සැකකරැට එරෙහිව ඉක්මනින් නඩු පැවරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියා කළ යුතුයි. ඒ වගේම මොහුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සියලු දෙනා අත්අඩංගුවට ගත යුතුව තිබෙනවා. එහෙම වුණොත් තමයි අනෙක් නිලධාරීන් වුණත් මෙවැනි වරදක් කරන්න බිය වන්නේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මාධ්‍ය සංදර්ශනවලට මෙන් අධිකරණයට ආවට වැඩක් නෑ. නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඔවුන් මැදිහත් විය යුතුයි.
පසුගිය කාලයේ රටේ සිදු වූ යම් යම් සිදුවීම් හේතුවෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වුණා. අරාජිකත්වයක් ගොඩ නැගුණා. එවැනි තත්වයක් නැවත ඇති නොවීමට මෙම නඩුවට අදාළ නියෝග ඉවහල් වනු ඇති. ඒ වගේම තවත් නිලධාරීන් මෙවැනි නීති විරෝධී වැඩවලට යොමු නොවන තත්වයක් ඇති වේවි.”
“මෙම අපරාධයට මෙම සැකකරැට ඉහළින් තවත් නිලධාරීන් හෝ දේශපාලනඥයකු සිටී නම් ඔවුන්ට එරෙහිව ද නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි. යම් හෙයකින් මෙම සැකකරැට අද දිනයේ ඇප ලබා දුන්නේ නම් හෙට වන විට සියලු දෙනාට මේ සියල්ල අමතක වෙන්න පුළුවන්. මොහුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් අය අල්ලන්න පසුබට වෙන්න පුළුවන්. එහෙම නොවන්න මේ තීන්දුව ඉතා වැදගත් වෙනවා.
ඔබතුමා ටික කලක් රාජකාරි කර ස්ථාන මාරැ වී යන්න පුළුවන්. ඉන් පසු නව විනිශ්චයකාරතුමෙක් මේ නඩුව විභාග කරන්න පුළුවන්. ඒත් මේ නඩුවේ හරය පිළිබඳව හොඳ අවබෝධයක් ඔබතුමාට තිබෙනවා. ඒ නිසා ඉදිරියටත් ලබාදෙන නියෝග කඩිනමින් ලබාදෙන ලෙස මා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් නිලධාරීන් හය දෙනාගේ නඩුව අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූවා. බොහෝ දුරට ඔවුන් හෙට දිනයේ මෙම අධිකරණයට ඉදිරිපත් වේවී. ඔවුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.
මෙම නියෝගය ඉතා විශිෂ්ටයි. ඔබතුමාගේ හා අභියාචනාධිකරණයේ නියෝගය නිසා මේ රටේ ජනතාව තුළ නීතියේ ආධිපත්‍යය පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති වුණා. ඒ නිසා මෙම නඩු තීන්දුව ඓතිහාසිකයි.”
දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා මෙසේ කීය.
“මෙම නඩුවට අදාළව නීතිඥවරියක් ඊයේ අධිකරණය ඉදිරිපිට දී මාධ්‍යයට ප්‍රකාශයක් දී තිබෙනවා. මගේ චේම්බරයේ ඇය සිටියා නම් මම ඇය ඉවත් කරනවා. අපි අධිකරණ සේවකයන් මිස මාධ්‍ය ඉදිරිපිට රඟපෑම් කරන්නන් නොවෙයි. එම නිසා මෙම නඩුවේ ඇප නියෝගයේ පිටපතක් බාහිර පාර්ශ්වවලට ලබා නොදී මා නම් කරන නීතිඥ මහත්මයකුට පමණක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.”
ඒ අනුව පිටු 12 කින් යුත් ඇප නියෝගයේ පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නම් කරන නිලධාරියකුටත් විත්තියේ ප්‍රධාන නීතිඥවරයා නම් කරන නීතිඥවරයකුටත් ගාස්තු රහිතව ලබා දෙන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරැණ ඉන්ද්‍රජිත් බුද්ධදාස නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සමග පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රැවන් ගුණසේකර ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
සැකකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
මෙම නඩුව දැක බලා ගැනීමට විශාල පිරිසක් අධිකරණ ශාලාව තුළ හා ඉන් පිටත රැඳී සිටියහ. සැකකාර දේශබන්දු තෙන්නකෝන් හිතවත් පිරිස් මෙන්ම ඔහුගේ රාජකාරි කාලය තුළ වැඩ තහනමට හා අසාධාරණයට ලක් වූ හිටපු පොලිස් නිලධාරීහු ද ඒ අතර වූහ.අධිකරණ කාර්ය මණ්ඩලය මෙන්ම නීති ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා මාධ්‍යවේදීන් ද විශාල පිරිසක් පැමිණ සිටි අයුරු දැක ගත හැකි විය.
මෙම නඩුවේ වැඩිදුර විභාගය අප්‍රේල් 03 වැනි දා දක්වා කල්තැබිණ. එයින් පසුව දේශබන්දු තෙන්නකෝන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කෙරුණු අතර පසුව දුම්බර බන්ධනාගාරයට මාරැ කර යැවුණි.
රන්ජන් කටුගම්පොළ ,ක්‍රිෂාන් ජීවක ජයරැක් සහ කඹුරුගමුව තරංග ගුණරත්න