ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී
සුසිල් ප්‍රේමජයන්ත
- ජනතා ප්‍රශ්න, ගොවි ප්‍රශ්න කතා කරන්න අපට තැනක් නෑ
- මයික් එකක් ඇල්ලුවම ඇමැතිවරු කොතරම් වල්පල් කතා කරනවාද?
- ආණ්ඩුව, ජනාධිපති රැකගන්න අපි ගත්ත අවදානම් මහින්ද මහත්තයා හොඳට දන්නවා.
- පාර්ලිමේන්තුව මෙහෙම යන එකත් පුදුමයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ධුරයෙන් සුසිල් ප්‍රේම ජයන්ත මහතා ඉකුත්දා නෙරපා හැරියේය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විධායක බලතලවලට අනුවය. ‘මොකද වුණේ’ සුසිල් ප්‍රේම ජයන්ත මහතා සමග මේ සාකච්ඡාව එම ප්‍රශ්නයට පිළිතුරු ලබා ගැනීම පිණිසය.
ප්‍රශ්නය :- මන්ත්‍රීතුමා මොකද වුණේ?
මටනම් මොනවාවත් වෙලා නෑ. අපි ඉතින් යථාර්ථය පෙන්නලා දුන්නාම ඒවා නිවැරැදි කරගන්නවා නම් හොඳයි.
ප්‍රශ්නය :- ඔබ එසේ පෙන්වා දුන් යථාර්ථයන් මොනවද?
මම දෙතුන් වතාවක් කරුණු පෙන්වලා දුන්නා. පාර්ලිමේන්තුවේ විවාද කරද්දී ඒ විවාදවලට කරුණු දන්න උගත්කමක් පළපුරුද්දක් තියෙන අයම ඒ විවාදවලට දාන්න කියලා. දවසක් ඕක මටත් වුණා. ආපහු දවසක අධ්‍යාපන අමාත්‍යාංශයෙ වැය ශීර්ෂය ගන්න කොට ඇමැතිතුමාම තමයි මට කිව්වේ අවසාන කතාව කරන්න කියලා. හැබැයි මම යනකොට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඒක වෙනස් කරලා.
ප්‍රශ්නය :- අවසාන කතාව දුන්නේ පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාට?
ඔව්. පියල් නිශාන්තට තමයි දීලා තිබුණේ. අවසාන කතාවට උඩින් මගේ කතාව දාලා. මට නම් ප්‍රශ්නයක් නෑ. අධ්‍යාපන අමාත්‍යාංශය වගේ අමාත්‍යාංශයක සම්පූර්ණ පිළිතුරක් දෙන්න ඕනෑනේ අවසන් කතාවේදී. ඒක වුණෙත් නෑ. මේ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ අපහසුතාවයට පත්වෙන්නේ වැරැදි මිනිස්සු ඒ තනතුරුවලට පත්කිරීම නිසයි. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන පළපුරුද්දක් නෑ. මේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂයත් සමග ගැටෙන්නේ නැතිව සාර්ථක පාර්ලිමේන්තුවක් හැටියට යන්න පුළුවන් පරිසරයක් හදාගත යුතුයිනේ. නමුත් ඒක වුණෙත් නෑ. ඕවා කීප සැරයක් අපි පෙන්වලා දුන්නා.
ප්‍රශ්නය :- දෙල්කඳ පොළේදි ඔබ ආණ්ඩුව විවේචනය කරන්නේ සංවිධානාත්මකව යම් සැලැස්මකට අනුව?
කොහොමටවත් නෑ. අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මාස තුනකින් විතර රැස්වෙලා නෑ. තිබ්බත් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සාකච්ඡා කරල රැස්වීම ඉවර කරනවා. ඒ නිසා පසුගිය මාස තුන හතරක් තුළ ගෑස් ප්‍රශ්නය, භූමිතෙල් ප්‍රශ්නය, කිරිපිටි ප්‍රශ්නය, එළවළු නැතිකම, බඩුමිල ඉහළ යාම මේ වගේ ප්‍රශ්න ගණනාවක් ආවා. මගෙන් මේවා එළියට ආවට ඔය පසුපෙළ ඉන්න කීප දෙනෙක් ඇරුණම ඈත දුෂ්කර ප්‍රදේශවල එළවළු හදන ප්‍රදේශවල, වී හදන ප්‍රදේශවල ඉන්න මන්ත්‍රීවරුන් අපිත් එක්ක කතා කරනකොට කියනවනේ ‘මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා. අපි කොහොමද ගමට යන්නේ’ කියලා. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් ඒවා ගැන කතා කරන්න අවස්ථාව ලැබුණේ නෑ.
ප්‍රශ්නය :- මගේ ප්‍රශ්නය වුණේ ‘දෙල්කඳ ප්‍රකාශය’ සංවිධානාත්මකව කළ එකක් කියලයි. නැත්නම් කොහොමද කැමරාකරුවෙක් හිටියේ?
මම ගියේ පොළට. මේ මාධ්‍යවේදියා තනියෙන් හිටියේ. එයා වෙෙළඳුන්ගෙන් මිනිසුන්ගෙන් ප්‍රශ්න අහ අහා හිටියේ. එක පාරටම මගෙන් ඇහුවා ‘මිරිස් 1200 යි කියනවා. මේ ගැන ඔබතුමා මොකක්ද කියන්නේ කියලා? ඉතින් මගේ අදහස් මම කිව්වා. ඒකයි. ඊට පසුවදාට පහුවදා කැබිනට් එක තිබුණා. කැබිනට් එක තුළදි සාකච්ඡා වෙලා තියෙනවා ආණ්ඩුව ගැන කතා කරන අය ගැන. ඒගොල්ලෝ කියන්නේ ‘විවේචනය’ කියලයි. මම නම් කළේ විවේචනය නොවෙයිනේ. කරුණු පෙන්වාදීමක් කළේ. ඒක ඒ විදියට ගන්න බැරිනම් ඒවාට ප්‍රතිචාරය මේ ආාකරනම් ඒක ජනතාව තමයි තීරණය කරන්න ඕනැ.
ප්‍රශ්නය :- පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන දන්නේ නැති පාර්ලිමේන්තුව හසුරුවාගන්න බැරි කෙනෙක් ගැන ඔබ කිව්ව. ඒ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු?
මම ඉතින් නම් කියන්න කැමැති නෑ. මේ පාර්ලිමේන්තුවේ මම අවුරුදු 22 ක් තිස්සේ ඉන්නවනේ. අපි ඉදිරිපෙළත් හිටියනේ ඇමැතිවරුන් හැටියට. අපි කවදාවත් පාර්ලිමේන්තුව මග හරින්නෙත් නෑනේ. ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටියනේ. ඒක හොඳට දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා. අපි ගත්ත අවදානම් රජය රැකගන්න, ජනාධිපතිතුමා රැකගන්න, ඒක මහින්ද මහත්තයා හොඳට දන්නවා. හිටපු අගවිනිසුරු තුමියට එරෙහිව ගෙනාපු දෝෂාභියෝගය වෙලාවේ. ඒ පැනල් එකේ අපි නීතිඥයෝ හැටියට හිටියා. පාර්ලිමේන්තුවේ ගෞරවයත් රැකලා එතුමියගේ ගෞරවයත් රැකලා අපි ඒ පරීක්ෂණය කළා. මේ ගොල්ලන්ට පුළුවන් ද එහෙම කරන්න. ඔය එක අවස්ථාවක්. ව්‍යවස්ථා සංශෝධනවලදී ක්‍රියාකාරි දායකත්වය අපි ලබා දීලා තියෙනවා. ඒවත් එක්ක බලනකොට පාර්ලිමේන්තුව මෙහෙම යන එකත් පුදුමයි. මේවායින් වෙන්නේ ආණ්ඩුවයි පිරිහෙන්නේ. ඉතින් ඒක නවත්ත ගන්න ඒ අය දැනගන්න ඕනැ. ඒවා පෙන්වලා දුන්නාම පෙන්වලා දෙන කෙනාට දඬුවම් කරනවා නම් ඉතින් මම දන්නෑ මොකක්ද කරන්නේ කියලා.
ප්‍රශ්නය :- අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීත් ඔබ බොහොම වේදනාවෙන් කතා කළා?
එදා මට කතාවක් තිබුණේ නෑ. මම කතාවක් ඉල්ලලා තිබුණා. ඒ කතාවත් කපලා තිබුණා. අධිකරණ අමාත්‍යාංශයෙ වැය ශීර්ෂය දවසේ අපේ පැත්තෙන් එක නීතිඥයයි කතා කළේ. ඒ නාමල් රාජපක්ෂ ඇමැතිතුමා විතරයි. මහේස්ත්‍රාත් අධිකරණය කොයි වෙලාවේ හරි කඩාගෙන වැටෙනවා. අවුරුද්දයි මාස තුනකට පස්සේ මම ගිය බදාදා ගියාම ඒ විදියමයි. කිසිම වෙනසක් වෙලා නෑ.
ප්‍රශ්නය :- ඒකට අලුත් ගොඩනැගිලි සංකීර්ණයක් හදනවා?
ඒක ඇත්ත. අධිකරණ ශාලා හොඳට තියෙන්න ඕනැනේ. මේ තත්ත්වයත් අපට කියන්න තිබුණා. ඒවා කියන්නනේ කොමිටි තියෙන්නේ. ඒවා කියන්නේ කොහොමද උසාවි නොයන අය. අපට සාධාරණ හේතු තියෙනවා මෙහෙම කතා කරන්න.
ප්‍රශ්නය :- කැබිනට් එකේදි ඔබ ගැන කතාව පටන් අරගෙන තියෙන්නේ කවුද කියලා ඔබ දැන් දන්නවද?
මට ලැබුණු ආරංචිය හැටියට නම් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා තමයි කතාව පටන් ගත්තා කියන්නේ.
ප්‍රශ්නය :- ඒ කියන්නේ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු?
ඔව්. ඒ වගේම තමන්ගේ විෂයන් ගැන කතා කිරීම සම්බන්ධයෙන් අතෘප්තියට පත් තවත් ඇමැතිවරු ඉන්න ඇති. එහෙම තමයි වෙලා තියෙන්නේ. හැබැයි ඒකම වෙන්න බෑ.
ප්‍රශ්නය :- එහෙම නම්?
පහුගිය කාලයේ මුල ඉඳලම නොවෙයි. අපි මේ කරුණු පෙන්වලා දෙන්න පටන් ගත්තේ පහුගිය මාස දෙක තුන ඇතුළත. එතකන් අපි කොහොමහරි ඉවසා ගෙන මේවා නිවැරැදි කරගන්න ඕනෑ කියලා හිතුවා. හැබැයි දැන් කියනවා ‘අපි ජ්‍යෙෂ්ඨ අය ආදර්ශ පෙන්වන්න ඕනැ’ කියලා. ජ්‍යෙෂ්ඨ අයගෙන් ආදර්ශ අවශ්‍ය නම් ඒ ලබාදෙන ආදර්ශ පිළිඅරගෙන ඒ අනුව වැඩ කරන්න ඕනැ. ජ්‍යෙෂ්ඨයන්ටමනේ අන්තිමට ජනතාව චෝදනා කරන්නේ ‘ඔබලා ජ්‍යෙෂ්ඨ අය. අැයි මේවා ගැන කතා කරන්නේ නැත්තේ ඇයි’ කියලා. අපි මහජන නියෝජිතයො හැටියට ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනැ. කණ්ඩායම් රැස්වීමේ කතා කරන්න ඕනැ. පක්ෂය තුළ කතාකරන්න ඕනැ.
ප්‍රශ්නය :- නමුත් ඔබ කතා කරන්නේ එළියෙ?
එළියෙ කතා කරනවා කියලනේ චෝදනා කරන්නේ. ඉතින් මැති ඇමැතිවරු කොච්චර කතා කරනවද වල්පල්. මයික් එකක් ඇල්ලුවම. අපි එහෙම නොවෙයිනේ. මයික් එක අල්ලලා මිරිස් මෙහෙම ගණන් ඇයි කියල ඇහුවම මේ පළමුවැනි වතාව නොවෙයිනේ. මිරිස් මිල වැඩියි. ඒක ඇත්ත. මම වෙළෙඳුන්ගෙන් ඇහුවම ඔවුන් කිව්වේ ‘ගොවියන්ට පොහොර නෑ. කෘමිනාශක නෑ. ඒ නිසා වෙනදා ගන්න ඵලදාව ගන්න බෑ’ කියලා. ඵලදාව අඩුයි. ඉල්ලුම වැඩියි. මිල ඉහළයි. සරළ දේනේ ඕක. ඉතින් ඕක කියන එක වරදක්ද?
ප්‍රශ්නය :- ඔබ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්. ඇමැතිකමක් නොලැබුණ වේදනාවට ඔබ කතා කරන්නේ?
නෑ. අපි ඇමැතිකම් දාල ආපු අය. ඒ පහුගිය යහපාලන කාලයේදී යහපාලන ආණ්ඩුවට විද්‍යා තාක්ෂණ ඇමැති විදියට කිසිම ප්‍රශ්නයක් නැතිව මම වැඩ කළා. ජාත්‍යන්තර සමුළුවකුත් මම ලංකාවේ තිබ්බා. හැබැයි ප්‍රතිපත්තිමය කරුණු මත විශ්වාසභංග යෝජනාවේදී අපි ඡන්දය පාවිච්චි කරලා අපේම සමහර අය අපව පාවලා දෙද්දී අපි 16 ක් එළියට ආවා. ඒ නිසා ඇමැතිකම් කියන ඒවා මට මහ ලොකු දෙයක් නොවෙයි. මේකත් මේ රාජ්‍ය ඇමැතිකම මම ගත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විෂය තිබුණ නිසයි. නැත්නම් මට රාජ්‍ය ඇමැතිකමක් බාරගන්න අවශ්‍ය නෑ. පාර්ලිමේන්තුවට ගිය ගමන්ම මම ඇමැති කෙනෙක්. කැබිනට් ඇමැති කෙනෙක්. අනික මොකෝ අපි ඉගෙන ගෙන නැද්ද? අපිට වෘත්තිය දැනුමක් නැද්ද? පළපුරුද්දක් නැද්ද? අපට චෝදනා තියෙනවද මොනවා හරි? ඒ මොකක්වත් නෑනේ. ජ්‍යෙෂ්ඨත්වය නැද්ද? මම අවුරුදු 10 ක් සන්ධානයෙ හිටපු මහලේකම්. ඒ නිසා අපට ඔය තනතුරු කියන ඒවා මහලොකු දේවල් නෙවෙයි. අපට ඕන අපි වැඩක් කරන්න බාරගත්තා නම් ඒ වෙනුවෙන් ජනතාව පෙළගැස්සුවා නම් ජනතාව පෙරළා අපෙන් ප්‍රශ්න කරනකොට ඒ ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිය යුතුයි. අපි කළේ ඒක.
ප්‍රශ්නය :- ඔබ එක්තරා අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ අතහැරලා යහපාලන ආණ්ඩුවේ ඇමැතිකමක් ගත්ත එකත් මේකට හේතුවක්ද?
නෑ. යහපාලන ආණ්ඩුව කාලේ මම ඇමැතිකමක් ගත්තේ මැතිවරණයෙන් පස්සේ තනියෙන් ආණ්ඩුවක් හදන්න බැරිවෙන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි ගිවිසුමක් අත්සන් කළා අවුරුදු දෙකකට. ඒ අවුරුදු දෙකත් අවසන් වෙලා තවදුරටත් මේ අය යන්න හදනකොට තමයි අපි අයින් වුණේ. හැබැයි මැතිවරණයට පෙරාතුව. ජනවාරි 10 ඉඳලා ජූනි මාසෙ 23 වැනිදා වෙනකම් තිබුණ ආණ්ඩුවේ මම හිටියේ නෑ. ඒ යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරු මේ කැබිනට් එකෙත් ඉන්නවනේ. මම නම් කියන්නේ නෑ. රාජ්‍ය ඇමැතිවරුන් ඉන්නවා. අපි තනතුරු ගත්තේ නෑ. අපි තනතුරු ගත්තේ පක්ෂයේ ස්ථාවරයට අනුවයි. ඒවා ගැන කියන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාට තරග කරන්න ලකුණක් නැතිව ඉන්නකොට පොහොට්ටුවක් තිබුණේ නෑනේ. ඒ වෙලාවේ මමයි අනුර යාපයි ජෝන් සෙනෙවිරත්නයි, නිමල් සිරිපාලයි තමයි ඔක්කෝමත් එක්ක සාකච්ඡා කරලා එක තැනකට ගෙනල්ලා මන්ත්‍රීධුර 95 ක් ගත්තේ. අපි ඒ මැතිවරණය දිනනවා. ඡන්දෙට දවස් දෙකකට කලින් මගෙයි අනුරයාපාගෙයි පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා ලේකම් ධුරවලින් එළියට දැම්මා. ඒ මැතිවරණයක් තුළ අපිව පීඩාවට පත්කළේ එහෙමයි. හැබැයි ඉතින් සමහරුන්ට දැන් ඒවා අමතක වෙලා. ඒක නිසා අපි ප්‍රතිපත්තියක් අනුවයි වැඩ කරලා තියෙන්නේ.
ප්‍රශ්නය :- ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා ‘හොඳ වැඩේ. මේක කරන්න තිබුණේ මීට කලින්’ කියලා?
ජොන්ස්ටන් ප්‍රනාන්දුලා කවුද අනේ මේවා කියන්න. ඒගොල්ලො කොහේද හිටියේ? මහින්ද රාජපක්ෂ මහත්තයා විපක්ෂනායක වෙන කොටත් අපි ඔතැන. එතුමා අගමැති වෙනකොට මම සන්ධානයෙ ලේකම්. අපිට කොච්චර මහන්සි වෙන්න වුණාද බහුතරය හදාගන්න. එතකොට ඒගොල්ලො හිටියෙ රනිල් වික්‍රමසිංහත් එක්ක. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පළමු වැනි ජනාධිපතිවරණයේදිත් ඔය තොගයම හිටියෙ එක්සත් ජාතික පක්ෂයේ. අපේ පාක්ෂිකයන්ගේ ඔළුවලට මිලිමීටර නවයේ පිස්තෝල අල්ලපු මිනිස්සු මේ. දැන් මෙහෙම කතා කළාට. ඒවා මතක නෑ කාටවත්. ඒකයි වෙලා තියෙන්නේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ගොඩ නගාගත්ත පදනමත් එක්කනේ පහුගිය මැතිවරණ දෙක දිනුවේ. නැතුව අලුතෙන් ඡන්ද ලක්ෂ 69 ක් හැදුනේ නෑනේ. පරමාදර්ශි චරිතය එතුමනේ. එතකොට එතුමා ගොඩනගා ගෙන ආපු ක්‍රියාදාමයේ අග්‍රඵලය හැටියටනේ මේ මැතිවරණ දෙක දිනුවේ. මුල නොහිටිය අය තමයි අග අල්ලගෙන කියන්නේ ‘අපි තමයි දැන් ලොක්කෝ’ කියලා. එතකොට මුල අමතකයි. ඕනැවට වඩා වහල් මානසිකත්වයට යන්න අවශ්‍ය නෑ. මේ ඉතිහාසය මට කියන්න වෙන්නේ ඒගොල්ලන් එහෙම කතා කරන නිසයි. අපට හොඳ වැඩේ කියන්න මේගොල්ලෝ කවුද අනේ? මහින්ද මහත්තයා පරාජය කරන්න වැඩ කරපු අය. අපි කවදාවත් මහින්ද මහත්තයා පරාජය කරන්න වැඩ කරලා නෑ. මම පැහැදිළිව කියනවා ඔය කතා කරන එක්කෙනෙක්වත් ප්‍රගතිශීලි ව්‍යාපාරයෙ ජයග්‍රහණයට අපි තරම් වැඩ කරලා නෑ කියලා.
ප්‍රශ්නය :- මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි කියනවා බුද්ධි අංශ වාර්තාවකට අනුවයි මේ තීරණය ගත්තේ කියලා?
ඔතැනනේ ප්‍රශ්නය. බුද්ධි අංශයේ වාර්තාවක් කොහොමද මෙයාගේ අතට ගියේ. බුද්ධි අංශ වාර්තාවක් දෙන්න ඕනැ බුද්ධි අංශ ප්‍රධානියා. එයා ඒක දේශපාලන අංශ ප්‍රධානියාට දෙන්න ඕනැ. ගොඩක්ම බරපතළයි නම් ආරක්ෂක මණ්ඩලයෙ සාකච්ඡා කරන්න ඕනෑ. මෙයා කොහොමද කියන්නේ මෙයාට කොහොමද දැනුම ආවේ බුද්ධි අංශ වාර්තාවක් තියෙනවා කියලා. මේක බරපතළ ප්‍රශ්නයක්. මේක රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. පළමු වතාවට පාර්ලිමේන්තුවට ආපු, ඉතිහාසය පුරාම හිටියේ යූඑන්පී එකේ. 2018 දී පොහොට්ටුවට එකතුවෙලා තමයි පාර්ලිමේන්තුවට ඇවිත් මේගොල්ලෝ ඔය වගේ බොළඳ කතා කියනවා. ඒ කිව්ව කතාවේ බරපතළකම එයා දන්නේ නෑ. අනික් කාරණය බුද්ධි අංශයට වෙන වැඩ නැද්ද අපේ පස්සෙන් එන්න. මිනිස්සු පෝලිම්වල ක්ලාන්ත වෙලා වැටෙනවා. අප්‍රමාණ පීඩාවකින් ඉන්නේ. මේ ගැන වාර්තා හදලා එපැයි ජනාධිපතිතුමාටයි ඇමැති මණ්ඩලයටයි දෙන්න ඕනැ. එහෙම නම් අපිට මෙහෙම කතාකරන්න අවශ්‍ය වෙන්නේ නෑ.
ප්‍රශ්නය :- අගමැති මහින්ද රාජපක්ෂ ඔබලා ගැන හොයන්න බලන්නේ නැද්ද?
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලනයයි අද තියෙන දේශපාලනයයි දෙකක්. එදා තිබුණේ දේශපාලනය. අද තියෙන්නේ දේශපාලනය ද කියලා මට කියන්න බෑ. එතුමා දේශපාලනඥයෙක්. දේශපාලනඥයෙක් එක්ක අපිට වැඩ කරන්න පුළුවන්. ඒ අයට දේශපාලනය තේරෙනවා. ඒ නිසා තමයි එදාම හවස එතුමා මට දුරකථන ඇමතුමක් දුන්නේ.
ප්‍රශ්නය :- අගමැතිවරයා මොකක්ද කිව්වේ?
එතුමා කිව්වා ‘අනේ සුසිල් මම මේක දැනගත්තේ නෝනා කිව්වාමයි’ කියලා. මම කිව්වා ‘ඔව් සර් ඕවා ඔහොම තමයි’ කියලා. එතුමා එක්ක මම අවුරුදු 11 ක් සන්ධානයෙ ලේකම්වෙලා හිටියා. ඇමැතිකම් තුන හතරක් දැරුවා. අපිට මේ වගේ ප්‍රශ්නයක් වුණේ නෑ. ප්‍රශ්නයක් තිබුණොත් එතුමා කතා කරලා අහනවනේ. ‘මොකක්ද සුසිල් ප්‍රශ්නය’ කියලා. දැන් එහෙම ඇහිල්ලක් නෑ. සෙවිල්ලක් නෑ.
ප්‍රශ්නය :- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ෆේල් කියලා සමහරු කියනවා. ඔබත් එහෙම කියනවද?
නෑ මම එහෙම කියන්න යන්නේ නෑ. මොකද අපිම අපේ ඡන්දෙන් අපිම හදපු ජනාධිපතිතුමානේ. රටේ සිදුවන ක්‍රියාවන්ගෙන් ජනතාව දක්වන ප්‍රතිචාරයන්ගෙන් තමයි තේරුම් ගන්න ඕනැ. යම් යම් දේවල් අතපසු වෙලා තියෙනවා නම් ඒවා නිවැරැදි කරගන්න ඕනැ.
ප්‍රශ්නය :- ඇත්තටම රටට මේ මොකද වුණේ කියලා ඇහුවොත්?
ඉතාම හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. මගෙනම් මතය තමයි මේ ආණ්ඩුව හදපු වෙලාවෙ ඉඳලම කැබිනට් එක හදපු විදියත් වැරදියි. මෙතැන තමයි පටලැවිල්ලෙ මුල. ඇමැතිවරු නොකීවට සමහරු අමාත්‍යාංශ තියෙනවා ඇමැතිවරයට වැඩ කරන්නත් බෑ. රාජ්‍ය ඇමැතිට වැඩ කරන්නත් බෑ. මේවා මතුවුණේ නොදන්නා කමටද දන්නා කමටද කියලා කියන්න මම දන්නේ නෑ. එක්කෝ උගත්කමක් තියෙන්න ඕනැ. විෂය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනැ. ඒවා කිසිම දෙයක් සැලකුවේ නෑ. මේ ප්‍රශ්න ඒ නිසානේ. එක්කෝ දන්න කෙනෙක්ගෙන් අහන්න ඕනැ.
ප්‍රශ්නය :- ඔබ මෙතැනින් කොතනටද?
මම මගේ නීතිඥ වෘත්තිය නිදහසේ කරගෙන යනවා. මොකද අපිට යැපෙන්න ආදායම් තිබිය යුතුයිනේ. අනික් පැත්තෙන් මන්ත්‍රීවරයෙකු හැටියට පසුපෙළට ගිහිල්ලා, හොඳ වැඩවලට හොඳයි කියාගෙන වැරැදි දේ වෙනවා නම් ඒක කලින් පෙන්වලා දෙනවා. අලුත් විදියට හිතන දේශපාලන ගමනක් ගැන තමයි මගේ අවධානය.
සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්