අපට අවශ්‍ය ක්‍රියාකාරී අධිකරණ සංඝ නායක ධූරයක්


රාමඤ්ඤ මහා නිකායේ

දක්ෂිණ ලංකාවේ නායක

ඕමල්පේ සෝභිත හිමි

අධිකරණ සංඝ නායක ධුරය ගැන දැනුම්වත් වෙමු

 

 

අධිකරණ සංඝ නායක ධුරයේ වගකීම හා කාර්යභාරය පිළිබඳව මේ කාලීන වැදගත් කමින් යුත් අදහස් දැක්වීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ මහානායක ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේගෙනි.


ප්‍ර :අධිකරණ සංඝ නායක ධුරය පිළිබඳව හැදින්වීමක් කරමින්ම අපි කතාව පටන්ගමු හාමුදුරුවනේ......


ශ්‍රී ලංකාවේ පවතින භික්ෂු නිකායවල පරිපාලන රටාව කේන්ද්‍රීය වෙන්නෙ මහා නායක පදවියත් සමග. මහනායක පදවිය තමයි ඒ ඒ නිකායවල තියෙන උත්තරීතර පදවිය. මේ ඉහළම පදවිය වටා ඒ ඒ ප්‍රධාන විෂය මාතෘකා බෙදී යන අතර භික්ෂුන් අතර තිබිය යුතු ධනාත්මක යෝග්‍යතාව වන විනය පවත්වාගෙන යෑම, ඒ පිළිබඳව අධිකාරිය සකස් කිරීම, ඒ පිළිබඳව සොයා බැලීම සහ වගවීම පිළිබඳවත් නිලයක් පත් කරනවා. ඒ නිලය තමයි අධිකරණ නායක කියන්නේ. අධිකරණ සංඝ නායක පදවිය මහනායක පදවියට දෙවෙනි වෙන ඉතා වැදගත් වගකීමක්. ඒ ඒ නිකායවලින් මේ සඳහා පත්කරන්නේ මහා ස්ථවිරයන් වහන්සේ නමක්.


අධිකරණ නායක පදවියට අදාළ ප්‍රධානම කටයුත්ත තමයි ඒ ඒ නිකාය ව්‍යවස්ථාවට අදාළ නීති ආරක්‍ෂා කිරීම, පවත්වාගෙන යාම සහ විනය නීතියට අදාළ තමන්ගේ නිකායික සාමාජිකයන් වහන්සේලා පරිපාලනය කර ගැනීම.


ප්‍ර :එය එසේ නොවෙන තැනකදී යම් යම් දඬුවම් නියම කිරීම දඬුවම් පිළිබඳව නියෝග නිකුත් කිරීම දඬුවම් දීම ආදි සියලුම දෑ කෙරෙන්නෙත් අධිකරණ නායක පදවිය යටතේ.අධිකරණ නායක පදවියට හිමි බලය කොයි වගේ ද නිකායක් ඇතුළේ?


ඒ ඒ නිකායන්වල කතිකාවත්වලින් තමයි ඒ බලය පැවරෙන්නේ. කතිකාවත කියන්නේ ඒ ඒ භික්ෂුන් වහන්සේලාගේ නිකාය විසින් සම්මත කරගන්නා නීතිරීති මාලාවට. රජයකට නම් ව්‍යවස්ථාවක් තියෙනවනේ. ඒ වගේ තමයි නිකායන්ට තියෙන ව්‍යවස්ථා මාලාව තමයි කතිකාවත. ඒ කතිකාවතට අනුව තමයි බලය පැවරෙන්නේ අධිකරණ නායක හාමුදුරුවන්ට. අධිකරණ සංඝ නායක හාමුදුරු නමකට හිමිවෙන බලය පදනම් වෙන්නේ ඒ ඒ නිකාය සම්මත කරගෙන පවත්වාගෙන යන කතිකාවතට අනුව.


ප්‍ර :නිකායෙන් නිකායට මේ බලතල වෙනස් වෙනවද?


හැම නිකායකම අධිකරණ නායක පදවියක් තියෙනවා. යම් යම් සුළු සුළු චාරිත්‍රමය වෙනස්නම් ඇරුණු කොට මූලික වශයෙන් එකම බලතල තමයි හැම නිකායකම වගේ අධිකරණ නායක පදවියට හිමි වෙන්නේ. හැම නිකායකම අධිකරණ නායක හාමුදුරුවන් වහන්සේ කෙනෙක්ම බැඳී සිටිනවා මම කලින් කියපු වගකීම් ඉටු කරන්න.


ප්‍ර :නිකායක අධිකරණ නායක පදවි පත් කෙරෙන රටාව කොයි වගේද? එක් එක් දිසාවන්වලට වෙන වෙනම අධිකරණ සංඝනායක හාමුදුරුවරු ඉන්නවා අපි දකිනවා. කොහොමද මේ පිරමීඩය හැදෙන්නේ?


සාමාන්‍යයෙන් මේ පදවි පත් කිරීමේදී විවිධ නිකාය විවිධ ක්‍රම භාවිත කරනවා. ඇතැම් නිකායන්වල ප්‍රාදේශීය වශයෙන් අධිකරණ නායක හාමුදුරුවරු ඉන්නවා. ඒ අයගේ වගකීම ඒ ඒ ප්‍රදේශවල විනය පවත්වාගෙන යාම, වැරදි කරන අයට දඬුවම් දීම වගේ අදළ කරුණු ඉටුකිරීම.


දැනට ඉතාමත් සක්‍රීය අධිකරණ පද්ධතියක් දකින්නට ලැබෙන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පමණයි. අධිකරණ සංඝ නායක පදවියට අදාළ කටයුතු ශක්තිමත්ව පවත්වාගෙන යන නිකාය හැටියට රාමඤ්ඤ නිකාය හඳුන්වන්න පුළුවන්.


පොදුවේ ගත්තොත් මේ අධිකරණ නායක පදවිවලට අදාළ බලතල ලිඛිතව තිබුණට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ අඩුපාඩුවක් තියෙනවා. එහෙම තත්ත්වයක් යටතේ අධිකරණ නායක පදවි කියන්නේ නිකංම නිකං පත්වීමක් නැතිනම් සන්නස් ප්‍රත්‍රයක් පමණයි. එහෙම අවස්ථා තමයි වැඩි. උත්සව පවත්වලා පෙරහැර පවත්වල මේ පදවි සන්නස් ලැබෙනවා. හැබැයි ඒවයි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය දුර්වලයි. ඒක හැම නිකායකටම පොදු තත්ත්වයක්. ඇතැම් විට හිතෙනව අධිකරණ සංඝ නායක පදවිය කියන්නේ කොළ කෑල්ලක් විතරද කියලත්.


ප්‍ර :විනය විරෝධී කටයුතුවලට ලක්වුණු ස්වාමින්වහන්සේලට ඇත්තටම එහෙම දඬුවම් ලැබෙනවද?


අධිකරණ නායක පදවියට අදාළ වගකීම ක්‍රියාත්මක නොවීම තමයි මේ යුගයේ අපි දකින මහා ඛේදවාචකය. අපිට පේනවා භික්ෂුන්  වහන්සේලා අතර ඉතාමත් නරක විදියේ අවගති. නීති විරෝධී සදාචාර විරෝධී විනය විරෝධී ක්‍රියා සිදු කරන අය අපිට දකින්න ලැබෙනවා. එ්ක හංගන්න දෙයක් නෙවෙයි. මාධ්‍ය මගින් මේවා ප්‍රචාරය වෙනවා. මේ ගැන ගිහි පැවිදි හැම දෙනා තුළම බලවත් සංවේගයක් තමයි තියෙන්නේ. ඒ තරම් ඇතැම් භික්ෂුන් පිරිහිලා. සාමාන්‍ය සාදාචාරවත් ගිහියෙකු සතුව පවතින ගුණ ධර්මවත් ඇතැම් භික්ෂුන් ළඟ නෑ. මේකට ප්‍රධානම හේතුව අධිකරණ ක්‍රියාවලිය භික්ෂු සමාජය තුළ මැනවින් ක්‍රියාත්මක නොවීම භික්ෂුන්ගේ විනය සම්බන්ධයෙන් අධිකරණ නායක ස්වාමින්වහන්සේලාගේ වගකීම හරි හැටි ඉටු වෙනවා නම් මේ වගේ අපචාර භික්ෂු සමාජයේ දකින්න ලැබෙන්නේ නෑ.


ප්‍ර :හරිහැටි ක්‍රියාත්මකවීම නොවීම කෙසේ වෙතත් ඔය අධිකරණ ක්‍රියාවලියේ සොබාවයන් ටිකක් පැහැදිලි කරමුකො.....


රාමඤ්ඤ නිකාය ගත්තොත් ව්‍යවස්ථානුකූලව අධිකරණ ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රියාත්මක වෙන ආයතන ටිකක් තියෙනවා. ඒවා විශේෂ නම්වලින් හැඳින්වෙනවා. ඒවා පිළිවෙළින් මෙහෙමයි.


1. ප්‍රාදේශීය අනු විජ්ජක 2. ජෙට්ටානු විජ්ජක 3. උපරිමානු විජ්ජක 4 උත්තරීතර අනු විජ්ජක


මේ විදියට අධිකරණ ක්‍රියාවලියේ අවස්ථා හතරක් තියෙනවා. මුළු ලංකාවෙම බෙදිල ඉන්නවා ප්‍රදේශීය සංඝ සභා හතළිස් අටකට. ඒ හැම එකකටම අධිකරණ නායක කෙනෙක් ඉන්නවා. ප්‍රාදේශීය අධිකරණ විනිශ්චයකාර කියලා හඳුන්වන්නේ. ඊළඟට තියෙනවා ජෙට්ටානු විජ්ජක මණ්ඩලය. එ්ක හරියට මහේස්ත්‍රාත් උසාවිය වගේ. උපරිමනු විජ්ජක මණ්ඩලය තමයි ඊළඟට තියෙන්නේ. අවසාන වශයෙන් උත්තරීතර අනු විජ්ජක මණ්ඩලය තියෙනවා. 


ප්‍රාදේශීය සංඝයා වහන්සේ නමක් වැරැද්දක් කළාම ප්‍රාදේශීය සංඝ සභාවෙන් ඒක විසඳනවා. ඒ විසඳුම පිළිගන්නේ නැත්නම් ඒ ස්වාමින් වහන්සේට පුළුවන් ඊළඟ මණ්ඩලයට ඇපීල් කරන්න. එහෙම උඩටම යන්න පුළුවන් ඕනෑ නම්. මේ මම කිව්වේ රාමඤ්ඤ නිකායේ ක්‍රමවේදය. නඩු විසඳීම අධිකරණ නායක සතු දෙයක් වුණාට තීන්දුව පිළිගැනීම හෝ නොගැනීම අදාළ පුද්ගලයා සතු දෙයක්. සමහරවිට දෙන තීන්දුව ගණන් නොගෙන ඉන්න පුළුවන්. එහෙම වෙලාවක ඒ ස්වාමීන් වහන්සේට යන්න පුළුවන් රජයේ අධිකරණයට. උදාහරණයකට විහාරාධිපති පදවියක් ගැන අරවුලක් කියලා හිතමු. ඒ පිළිබඳව අධිකරණ නායක ස්වාමින්වහන්සේලගේ තීන්දුව නොසලකා රජයේ අධිකරණ ඉදිරියට යන්න පුළුවන්. එහෙම ගියාම මහා නායක හාමුදුරුවොත් සාක්කිකාරයෙක් වෙනවා අන්තිමට. එතනදි නඩුව විසඳන්නේ විනයානුකූල ක්‍රමයට වඩා නීති තර්ක උඩ.


රාජ්‍ය අධිකරණයකින් තීන්දුවක් දුන්නම ඒක ක්‍රියාත්මක නොකර ඉන්න බෑ. ඒක බලාත්මක කරන්නම වෙනවා. හැබැයි සංඝාධිකරණයකින් දෙන තීන්දු එහෙම නෑ. ඒ බලය එතන නෑ. ඒ නිසාම මේවා බලයක් නැති නාමික ආයතන විතරයි. මේ පිළිබඳව කරුණු හදාරපු උගත් ගිහි පැවිදි ඇත්තෝ කාලයක් තිස්සේ ආණ්ඩුවලින් ඉල්ලා හිටිනවා සංඝයාටත් අධිකරණ බලය දෙන්න කියලා. රාජ්‍ය බලය මේවට සම්බන්ධ කරන්න කියලා අපි කියන්නේ. එහෙම නැතුව දෙන දඬුවම් වචන විතරයි.


දැන් බලන්නකෝ විවිධ නිකායන්වලට අයත් සිවුරු පොරවගත්තු චීවරධාරීන් කරන ආපචාර. ඒ අය මේ වගේ දරුණු අපචාර කළාම පැවිද්දෙන් නෙරපීම දක්වා විවිධ දඬුවම් දෙන්න පුළුවන්. හැබැයි ඒවා ක්‍රියාත්මක කිරීමේ බලයක් නෑ. ඒ නිසා ඒ වගේ අපචාර කරන අයටත් දඬුවමක් සංඝාධිකරණයේ නොලැබෙන බව දන්න නිසා බය නැතුව ඉන්නවා. ඒ අනුව දාමරිකයෝ දූෂකයෝ අපරාධ කාරයෝ බාධාවකින් තොරව චීවරයට මුවාවෙලා භික්ෂු සංස්ථාව ඇතුළෙ ඉන්නවා හැමදාම. අපිට දැන් අවශ්‍ය ක්‍රියාකාරී අධිකරණ සංඝ නායක පදවියක්. රාජ්‍ය බලය සහිත ක්‍රියාකාරී අධිකරණ සංඝ නායක ධුරයක් නැතුව මේකට විසඳුමක් නෑ. පවතින මේ දූෂිත තත්ත්වය එහෙම නැතුව මඟහරවන්න අමාරුයි.


ප්‍ර :නිකායන් අතර මේ සම්බන්ධව එකඟතාවයක් නැත්ද? රජයෙන් මේ පිළිබඳව ඉල්ලීම් කරලා නැද්ද ඔබ වහන්සේලා?


මේ සම්බන්ධයෙන් කාලයක පටන් අපි ඉල්ලීම් කරලා තියෙනවා එන එන හැම ආණ්ඩුවකින්ම. මේ ගැන මුල්ම ඉල්ලීම කරලා තියෙන්නේ  රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව. ඒ ඉල්ලීම කරන්නේ 1980 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගෙන්. අති පූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මහානායක හාමුදුරුවෝ මේ ගැන ඉල්ලීම කළේ. ඊට පස්සෙත් දිගින් දිගටම ඉල්ලුවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලේ නාපාන පේ‍මසිරි මහනායක හාමුදුරුවෝ පෙරටුකොටගෙන භික්ෂුන් වහන්සේලා සියක් නමක් පාගමනින් ඇවිත් ජනාධිපතිතුමාගෙන් මේ ගැන ඉල්ලීමක් කෙරුවා. ඒ හැම වෙලාවෙම ආණ්ඩුවල නායකයන්ගේ අදහස වුණේ එක නිකායක ඉල්ලීමකට එහෙම බලයක් දෙන්න බෑ. සියලු නිකායන්වල එකඟතාවකින් මේ ගැන ඉල්ලීමක් කෙරෙන්න ඕනෑ කියලා. නමුත් සියලු නිකායන් මේකට එකඟ වෙන්නේ නෑ.


ප්‍ර :එහෙම එකඟතාවකට එන්න බැරි නිකායන්වලට තියෙන ඇත්ත හේතු මොනවද?


අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න තරම් ආත්ම ශක්තියක් ඇතැම් සංඝ සභාවලට නැතිකම තමයි මේකට ප්‍රධාන හේතුව. ඕනෑ දෙයක් වෙච්චාවේ කියලා කරබාගෙන ඉන්න පුළුවන්නේ එතකොට. සිවුර පොරවගෙන කරන ඇතැම් ක්‍රියා ආණ්ඩුවෙ නීතියට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. එ්ත් එ්ක සංඝනීතියට පටහැනියි. උදාහරණයකට හාමුදුරු කෙනෙක් සිවුරක් පොරවගෙන මස් මාංශ ප්‍රවර්ධනය කරනවානම් ඒක රාජ්‍ය නීතියට යටත් නැති වෙන්න පුළුවන්. එ්ත් එ්ක සංඝ නීතියට පටහැනියි. ඔය වගේ තවත් නොයෙක් දුර්දාන්ත වැඩ කරමින් භික්ෂු සංස්ථාව ඇතුළේ ඉන්න පුළුවන්. හරි නම් සංඝයා වහන්සේලා හැම දෙනාම එකඟතාවකට ඇවිත් රාජ්‍ය බලය සහිත සංඝාධිකරණ ස්ථාපිත කරගෙන මේ අශ්ලීල භික්ෂුන් සසුනෙන් නෙරපා දාන්න ඕනෑ. එහෙම කරන්න තරම් හයියක් සංඝ සභාවලට දැනට නෑ.


ප්‍ර :හැම එකටම උපදෙස් ගන්න පලතුරු වට්ටි අරගෙන යන දේශපාලන නායකයින්ට මේ ගැන අවධාරණය නැත්තේ ඇයි?


අපිටත් තියෙන ප්‍රශ්නය එ්ක තමයි. ඇයි මහනායක හාමුදුරුවරු මේ පිළිබඳව ක්‍රියාත්මක නොවෙන්නේ. ඇත්ත වශයෙන්ම මහා නායක හාමුදුරුවරු තමන් සතු වගකීම මෙතැනදි පැහැර හැරලා තියෙනවා. ඒ වගේම අධිකරණ සංඝ නායක හාමුදුරුවරුත් තමන්ගේ වගකීම් පැහැර හැරලා තියනෙවා. ඒක ඔවුන් සතු ශාසනික හා සාමාජීය වගකීමක්. මේ පිළිබඳ සදාචාර සම්පන්න සාමාජයක් ප්‍රාර්ථනා කරන ඕනෑම කෙනෙක් කෙළින්ම ඇඟිල්ල දික්කරන්න ඕනෑ මහානයක හාමුදුරුවන්ට. ඇයි මහානායක හාමුදුරුවරු මේ අගතීන් දුරාචාර මේ තරම් භික්ෂු සංස්ථාව ඇතුළෙ පැන නගිද්දිත් මේ ගැන පියවරක් ගත්තේ නැත්තේ. හාමුරුවන්ට දන් දෙන හැම දායකයෙක්ම සදාචාර සමාජයක් පතන හැම ගිහියෙක්ම මේ ප්‍රශ්නය නැගිය යුතුයි. සිවුරු පොරවගෙන මේ තරම් දරුණු අපචාර කරනකම් ඇයි ඒවා නොදැක්කා වගේ ඉන්නේ.


දැන් මේ දවස්වල ජෙරම් ප්‍රනාන්දු කියලා කෙනෙක් ගැන කතා කරනවානේ හැබැයි ජෙරම් ප්‍රනාන්දුලට වඩා දහස් ගුණයකින් බුදු දහමට විරුද්ධ වැඩ කරන අය සිවුරු පොරවගෙන මේක ඇතුළෙ ඉන්නවා. මේ කතාව සංවාදයකට විවෘත කරන්න ඕනෑ දෙයක්. හංගගෙන ඉන්න දෙයක් නෑ. මම සුදානම් මේ පිළිබඳව ඕනෑම විවාදයකට එන්න. අපිම අපේ තැන අපිරිසිදු කරන්න ඉඩ දීලා ඇස් කන් පියාගෙන ඉන්න එක යුතු නෑ.

 

 

■ ප්‍රියන්ත කොඩිප්පිලි