ඉන්දියාවේ හින්දු පුවත්පත සමග හිටපු ජනපති කළ ආන්දෝලනාත්මක සාකච්ඡාව
මීරා ශ්‍රී නිවාසන් විසිනි
- පළාත් සභා අහෝසි කිරීම ගින්දර එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක්
හිටපු ජනපති මෛත්‍රීපාල
සිරිසේන මහතා හින්දු පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට එක් විය. හිටපු ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවට එක් කර ගත්තේ ඉන්දීය මාධ්‍යවේදිනී මීරා ශ්‍රීනිවාසන් ය. කොළඹ සිය නිවසේ සිට සම්මුඛ සාකච්ඡාවට එක් වූ හිටපු ජනාධිපතිවරයා නිදහස් පක්ෂයේ අනාගතය, සුළු ජාතීන්ගේ අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඓතිහාසික ජයක් හිමිකර ගනිමින් බලයට පත්වූයේ 2015 දීය. ඒ රාජපක්ෂවරුන්ගෙන් වෙන් වෙමිනි. දැන් ඔහු යළිත් වරක් රාජපක්ෂ සොයුරන් සමග එක් වී සිටින්නේ පොදුජන පෙරමුණ සමග එක්වී පාර්ලිමේන්තුවේ අසුන් ගනිමිනි.
පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල අසාධාරණයක් සිදුවුණු බව ඔබ පවසනවා. පළාත් සභා මැතිවරණයේ දී ඔබ පක්ෂය වෙනම තරග කරන්න සූදානම් යැයි ඉඟි කරනවා. ඔබ එසේ කරනවා ද?
2020 අගෝස්තු මහ මැතිවරණයේ දී, අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී අපට අසාධාරණයක් වුණා. කළුතර හෝ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් තරග කරන්න අවස්ථාවක් දුන්නේ නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලැබුණේ එක් අවස්ථාවක් පමණයි. කුරුණෑගලින් අවස්ථා දෙකයි. මේ දිස්ත්‍රික්කවල අපේ බලය වැඩියි. ඒත් අපට අවස්ථාවක් දුන්නේ නැහැ. අප අපේක්ෂකයන් 30 ඉල්ලුවා. අපට ඒ 30 දෙනා ලැබුණා නම්, අපි පාර්ලිමේන්තුවේ ආසන අඩුම තරමින් 25ක් දිනා ගන්නවා. ඔවුන් (පාලක පක්ෂය) අපේ අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් දේශපාලනික වශයෙන් පහරදීම් කළා අපේ අපේක්ෂකයන්ට. පළාත් සභා මැතිවරණයේ දී අප තවමත් සන්ධානගතව ඊට ඉදිරිපත් වෙන්නයි හිතාගෙන ඉන්නේ. ඒ අදහස වෙනස් කරලා නැහැ. අප හිතනවා අපට සාධාරණ ආකාරයට ආසන හිමි වේවි කියලා. එහෙම වෙනවා නම් ගැටලුවක් නැහැ. ඒත් අපට අසාධාරණයක් වෙනවා නම්, තනිවම තරග කරන්න අප පසුබට වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට අප බැඳී සිටිනවා. එය ශක්තිමත් කරන්නයි අපට ඕනෑ. අප සන්ධානගතව මැතිවරණයට ඉදිරිපත් වුණත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම්වලට ගරු කළ යුතුයි. දැහැමි අයුරින් රාජ්‍ය පාලනය කළ යුතු ආකාරය බුදු දහමේ ඉගැන්වෙනවා.
ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අවධාරණය කරනවා. බොහෝ රජයන් සුළු ජාතීන්ගේ අයිතීන් නොතකා අධිකාරිත්වය කරා යනවා යැයි ඔබ සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව පැත්තෙන් මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද?
මහ ජාතිය විදියට අපේ වගකීමක් තිබෙනවා සුළු ජාතීන් ගැන හැමවිටම සිතන්න. ශ්‍රී ලංකාවේ මහ ජාතිය සිංහල. ඒක සිහියට නගා ගනිමින් දෙමළ, මුස්ලිම්, බර්ගර් වැසියන්ට සමානව ඔවුන්ගේ අයිතීන් ලබා දීමට වගබලා ගන්න ඕනෑ. උදාහරණයක් විදියට කොරෝනා රෝගීන් ආදාහනයට මුස්ලිම් ප්‍රජාව විරුද්ධයි. ඔවුන්ට ඕනෑ භූමදානය කරන්න. මුස්ලිම්වරුන්ට ඒ සඳහා ඉඩ ලබා දිය යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පවසා තිබෙනවා මිහිදන් කරන්න හැකියාවක් ඇති බව. හිටපු සෞඛ්‍ය ඇමැති ලෙස මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස අනුමත කරනවා. සුළු ජාතීන්ගේ සිත් රිදවා රට සංවර්ධනය කරන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සංවර්ධනය සියලු වැසියන් අතරේ බෙදී යා යුතුයි. සහජීවනයෙන් ජීවත් වන්න බුදු දහම අපට උගන්වනවා. බුදුන් වැඩසිටි සමයේ ඉන්දියාවේ ආගම් සහ භාෂා සිය ගණනක් තිබුණා. බුදුන් වහන්සේ සිය ධර්මය දේශනා කරද්දී වෙනත් ආගමක් සමග හෝ ජන සමූහයක් සමග හෝ ගැටුමක් තිබුණේ නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය දැන් පවතින තත්ත්වයේ හැටියට කුමක් වේවිද? මේ තරම් පරිත්‍යාග කරලත් අවසානයේ පොදු ජන පෙරමුණේ කොටසක් හැටියට නවතින්න සිදුවෙලා ද?
අපට ඉතා හොඳ ශක්තිමත් සැලැස්මක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ගැන. ලබන අවුරුද්දේ අපි අලුත් මුහුණු රාශියක් ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාසවල දී අපේ සංවිධායකයන් බිම් මට්ටමෙන් තරුණ පෙළ වෙනුවෙන් වැඩසටහන් මාලාවක් දියත් කිරීමට සැලසුම් කරලා තියෙනවා. පක්ෂය සතුව ඊට ආවේණික ස්වාධීන පරිපාලනයක් තියෙනවා. තීන්දු තීරණ ගැනීම සිදු කරන්නේ එහි මධ්‍යම කාරක සභාව හා දේශපාලන මණ්ඩලය මගිනුයි.
පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ නව වැඩපිළිවෙළට 2015 මැතිවරණ ජයග්‍රහණයට පෙරාතුව කළාක් මෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගි කර ගැනීමට ඔබ බලාපොරොත්තුවෙනවා ද?
ඇය තවදුරටත් පක්ෂයේ නැහැ. 2019 නොවැම්බරයේ ජනාධිපතිවරණයේ දී ඇය සහය දුන්නේ සජිත් ප්‍රේමදාසටයි. ඒ නිසා ඇයට පක්ෂයෙන් යන්න කියන්න සිද්ධ වුණා. ඇය අපේ පක්ෂයෙන් කොටසක් කඩාගෙන ගිහින් සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති ඔහුගේ රැලියට එක් වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහය ඔහුට ලැබෙන බව අඟවමින්. ඒක අපේ පක්ෂයේ ස්ථාවරයට එරෙහි වීමක්.
ඔබ කීවා ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ දී මත දෙකක් ඉදිරිපත් වී ඇති බව. ආණ්ඩුව ඇතුළේම සමහර අය පළාත් සභා අහෝසි කළ යුතු යැයි කියනවා. ඒ අතර පළාත් සභා මැතිවරණය පවත්වන්න කටයුතු සූදානම් කරන්ට යයි අගමැතිතුමා නිලධාරින්ට කියා තිබෙනවා. ඇතැම් අය කියනවා පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ යෝජිත නව ව්‍යවස්ථාවෙන් පසුවයි කියා. ආණ්ඩුව ඇතුළේ පවතින එකිනෙකට පරස්පර මේ මත දෙක ඔබ දකින්නේ කොහොමද?
දැනට අප මේ පළාත් සභා ක්‍රමය වසර 30ක් තිස්සේ පවත්වා ගෙන ගිහින් තියෙනවා. ඒවා පිහිටුවීමේ අරමුණු ඉටු කිරීමට ඒවා සමත් වී තිබේ ද කියා අප මෙතෙක් ගැඹුරින් විමසා බලා නැහැ. ඒවායින් මහජනතාවට ඇත්තෙන්ම සේවයක් වුණා කියා ආණ්ඩුවෙන් සොයා බැලිය යුතුයි. මං විශ්වාස කරනවා පළාත් සභා ක්‍රමය සඳහා යම් යම් සංශෝධන ගෙන ආ යුතුයි කියා. එහි ඇති එක් ප්‍රධාන ගැටලුවක් වන්නේ වාර්ෂිකව පළාත් සභාවලට ලබා දෙන මුළු ප්‍රතිපාදන ප්‍රමාණයෙන් සියයට 25ක් පමණයි පළාතේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතුවලට යෙදවෙන්නේ. ඉතිරි සියයට 75ම වැය වන්නේ එහි සේවක පඩිනඩි, යාන වාහන, දුරකතන, විදුලි බිල්පත් ආදිය සඳහායි. පළාත් සභාවලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශාල සේවක සංඛ්‍යාවක් යොදවා තියෙනවා.
මධ්‍යම රජය පළාත් සභා සඳහා මුදල් යොදවන්නේ රටේ සංවර්ධනයට කරන ආයෝජනයක් හැටියටයි. කෙසේ වෙතත් ඒ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිඵල ඉතා අඩුයි. ඒ නිසා එහිදී සිදුවන නාස්තිය අඩු කිරීමට අප ක්‍රියා කළ යුතුයි. සමහර විට මහජන නියෝජිතයන්ගේ හා සේවකයන්ගේ ප්‍රමාණය අඩු කිරීමෙන් මෙය කළ හැකි වේවි. එවිට ආයෝජන ප්‍රමාණය වැඩි කළ හැකි වේවි. ආණ්ඩුව ඇතුළේම මේ පිළිබඳ වෙනස් මත තියෙනවා. ඒවා මග හරවා ගෙන නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුවේ වගකීමයි.
සංවර්ධනය පැත්තෙන් නම් මා හිතන්නේ දිස්ත්‍රික්ක මට්ටමෙන් සංවර්ධන මණ්ඩලයක් පිහිටුවීම පළාත් සභාවලට වඩා හොඳ වේවි, මොකද අපේ රට කුඩා එකක් නිසා. අපට පුළුවන් දිස්ත්‍රික්ක මට්ටමෙන් සංවර්ධන මණ්ඩලයක් හදන්න, ඒ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු නියෝජිතයන්, ප්‍රාදේශීය සභාපතිවරුන් හා නගරාධිපතිවරුන් යොදා ගෙන. ඉන්දියාව වගේ ලොකු රටකට නම් මේ පළාත් සභා ක්‍රමය හොඳ වේවි. අපේ රට මිලියන 21ක් ඉන්න කුඩා එකක්.
මේ ක්‍රමයෙන් කොහොමද බලය බෙදාහැරීම සහතික වෙන්නෙ? ඔබ බලය බෙදා හැරීමට එකඟ වුවත් පළාත් සභා අහෝසි කරන්නැයි කියලා කෑගහන අය බලය බෙදා හැරීමට විරුද්ධයි නේද?
අපි දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩලයේ බලය වැඩි කරන්න ඕනෑ. ඒත තමා විසඳුම. අපි දැන් තියෙන නාස්තිකාර වියදම් අඩු කරන්න ඕනෑ, ඒ ගමන්ම ප්‍රදේශීය පරිපාලන ආයතනවල බලය වැඩි කරන්න ඕනෑ. දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩල හරහා බලය විමධ්‍යගත කිරීමෙන් අපට යම් එකඟතාවකට එන්න පුළුවන් වේවි.
අපේ අත්දැකීම්වලින් පෙනී ගොස් තියෙනවා පළාත් සභා ක්‍රමය යටතේ දී පවා සෑම පහසුකමක්ම ලැබෙන්නේ මහ ඇමතිවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයට බව. ඔවුන් තමන්ගේ දිස්ත්‍රික්කවලට පමණක් සේවාවන් සපයනවා කවදා හෝ පාර්ලිමේන්තු යන අදහසින්. අදටත් පළාත් සභා යටතේ සේවය සැලසෙන්නේ දිස්ත්‍රික්කවලටයි.
ප්‍රතිපත්තියක් වශයෙන් බලය බෙදා හැරීමට හා විමධ්‍යගත කිරීමට මා එකඟයි. යුද්ධය පැවති ප්‍රදේශවල පවතින දිළිඳු බව අදටත් ඉතාමත් වැඩියි. ඒවායේ පළාත් සභා හා ජාතික ආණ්ඩුව අතර ගැටුම් පවතිනවා. ඒක හොඳ තත්ත්වයක් නොවෙයි. ඒකෙන් ජනතාවට සේවය කිරීමට හැකි වන්නේ නැහැ.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා ඇති පළාත් සභා අහෝසි කරන්නැයි ආණ්ඩුව තුළින් නැගෙන විරෝධය ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, 1987 ඇති කරගත් ඉන්දු-ලංකා ගිවිසුම යටතේ බිහි වූවක්. පළාත් සභා ක්‍රමය ඇතුළත් වන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේයි. ඒ නිසා පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඉන්දියාව සතුටු වෙන එකක් නැහැ, අපි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම ගැන. මේ අපේ කලාපයේ කටයුතුවල දී ඉන්දියාවේ මිතුරුකම ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා අපේ දෙරටේ ඇති මිතුරුකම ශක්තිමත් කිරීම සෑම රජයක් විසින්ම කළ යුතු දෙයක්. පළාත් සභා අහෝසි කිරීමට කටයුතු කිරීම ගින්දර එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක්.
ඒ සමඟම පළාත් සභා ක්‍රමය පවත්වා ගෙන යාමේ දී වසර 30ක් තිස්සේ ලද අත්දැකීම් අනුව රටේ සෑම ප්‍රදේශයක්ම සංවර්ධනය කිරීම ඒ ක්‍රමයෙන් ඉටු නොවූ බව පැහැදිලියි. අපට අවබෝධය තුළින් එකඟතාවකට පැමිණීමට සිදු වී තිබෙන්නේ ඒ නිසයි. මා මුලින් කීවා වාගේ පළාත් සභා ක්‍රමය පිහිටුවීම ආයෝජනයක්. අවුරුදු 30ක් අප එය පවත්වා ගෙන ගොස් තිබෙනවා. අවශ්‍ය ආකාරයට සංවර්ධනයේ ප්‍රතිඵල නොලැබෙන විට ජනතාව හා රජය විසින් ඒ පිළිබඳව සාධාරණ තීන්දුවක් ගැනීම අවශ්‍යයි.
ජපාන රජය විසින් සංවිධානය කරන ලද සමුළුවක දී ඔබ කියා තිබුණා, බෞද්ධ දර්ශනය හා ප්‍රජාතන්ත්‍රවාදය සමීපව එකට බැඳී තිබෙන බව. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන කුලුනු තුන ගැන සඳහන් කරමින් ඉන් එකක් අනික් දෙක යට කරගෙන ගියහොත් එවිට ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදුවන බව ඔබ කීවා. එසේ නම් ඔබත් සහභාගිව පිහිටවූ රජයක් විසින් ජනාධිපතිවරයාට අසීමිත බලතල හිමි වන 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම ගැන, එදා ඡන්දය දෙන අවස්ථාවේ දී ඔබ පාර්ලිමේන්තුවේ නොසිටියත්, ඔබ එය දකින්නේ කෙසේද? ඔබේ පක්ෂය එයට සහයෝගය දුන්නා. 2015 දී ඔබ ජනාධිපති පදවියට පත් වී මාස කීපයක් ඇතුළත ගෙනා 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ විධායක බලතල කප්පාදු කළා නේද?
19 වැනි සංශෝධනය මුළුමනින්ම අහෝසි කිරීමට මම එකඟ නැහැ. මම ජනාධිපති පදවියේ සිටියා නම් 19 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අවශ්‍ය යම් යම් වෙනස්කම් ඇති කරන්න ඉඩ තිබුණා. එහි පසුබෑම් ඇති කරන අඩුපාඩු තිබුණා.
අඩුපාඩු තිබුණේ ඒ සංශෝධනයෙහිම නොවෙයි. ඒ අනුව පත් කෙරුණු ස්වාධීන කොමිෂන් සභාවල සහ ව්‍යවස්ථාදායක කවුන්සිලයේයි. ව්‍යවස්ථාදායක කවුන්සිලයට පත් කළ සමහර සාමාජිකයන් ඒ තනතුරුවලට ඔබින අය වුණේ නැහැ. ස්වාධීන කොමිෂන් සභාවලටත් නොගැළපෙන අය පත් වී සිටියා. ඒවා මා කළ පත්වීම් නොවෙයි, හිටපු අගමැතිවරයා (රනිල් වික්‍රමසිංහ) විසින් 19 වැනි සංශෝධනයෙන් ඔහුට ලැබුණු බලතල අනුව කරන ලද ඒවායි.
මම විධායක ජනාධිපති වශයෙන් මට තිබූ පූර්ණ බලතල අත්හැරියා. ඒ වන විට රජකුට සමාන බලතල තිබුණා. මා අත්හළ බලතලවලින් කොටසක් අගමැතිවරයාටත්, පාර්ලිමේන්තුවටත්, ස්වාධීන කොමිෂන් සභාවලටත් පැවරුණා. එහෙම නම් කොහොමද වැරදි පුද්ගලයන් ඒ තැන්වලට පත් වුණේ? ඒ අගමැතිවරයාට පැවරුණු බලතල ඔහු විසින් අවභාවිත කරනු ලැබූ නිසයි. ඒ නිසා ස්වාධීන යැයි සලකනු ලැබූ කොමිසන්වලට එරෙහිව නොයෙක් චෝදනා නැගුණා. එක නිදසුනක් තමා මැතිවරණ කොමිසම. එය බොහෝ අයගේ දෝෂ දර්ශනයට ලක්වුණා.
ඒ නිසයි, මා කීවේ ප්‍රජතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න නම් 19 වැනි සංශෝධනයේ වෙනස්කම් කරන්න ඕනෑ කියා. මම 20 වැනි සංශෝධනයට ඡන්දය දුන්නේ නැහැ.
ඇයි ඔබේ පක්ෂය ඒකට සහය දුන්නේ?
ඒ සංශෝධනය මගේ ප්‍රතිපත්තියට විරුද්ධ එකක්. දැන් 20 සංශෝධනයෙන් ජනාධිපතිවරයාට සියලුම බලතල හිමිවෙලා තියෙනවා. මා විශ්වාස කරනවා ඔහු මේ බලතල අයුතු විධියට පාවිච්චි කරන එකක් නැහැ කියලා. ව්‍යවස්ථාවෙන් ඔබට යම් බලයක් ලැබුණත් ඒ තනතුරට පත් වෙන පුද්ගලයා තමයි, එය භාවිත කළයුතු ආකාරය ගැන තීරණ ගත යුත්තේ.
නිදසුනක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා 2010 දී 18 වැනි සංශෝධනයෙන් බලතල රාශියක් තමා වෙත පවරා ගත්තා. නමුත් මා බලයට ආ පසු 2015 දී ගෙනා 19 වැනි සංශෝධනයෙන් මා ඒ බලතල ගණනාවක් අත්හැරියා. මට දැන් කියන්න බැහැ අනාගතයේ බලයට එන අයකු 20 වැනි සංශෝධනයෙන් මෙන් තවත් බලතල මෙයට එක්කර ගැනීමට හෝ 18 වැනි සංශෝධනයෙන් මා කළාක් මෙන් මෙයින් කොටසක් අත්හැරීමට හෝ ඉඩ තියෙනවා.
ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වයේ වැදගත්කම ඔබ පැවැසුවා. 2015 දී ඔබ බලයට පත් වූ විට, ඔබ පොරොන්දුවක් දුන්නා අපක්ෂපාතී ආකාරයේ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. බිඳුණු සබඳතා යළි ශක්තිමත් කරන්න. වත්මන් රජයේ විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස කුමක්ද?
මට පෙනෙන විදියට වත්මන් රජය ඉන්දියාව සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යනවා. ඒ ගැන සතුටුයි. නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් අපට හඳුන්වා දුන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්මයා. මගේ පක්ෂයේ නායකයා. 1956 දී මං විශ්වාස කරන විදියට ශ්‍රී ලංකාවේ සියලු රජයන් නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි.
ධුර කාලයේ සිටිද්දී කළ දෙයක් සම්බන්ධයෙන් පසු තැවෙනවා ද?
තවමත් ශ්‍රී ලංකා වැසියන් මම ඔවුන්ට ලබා දුන් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳිනවා. තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර ගැනීම මගේ කාලයේ සිදුවුණු ඓතිහාසික සිදුවීමක්. ස්වාධීන කොමිෂම්වලට බලය දීම විශේෂයි. මා සෑම රටක් සමඟම යහපත් සබඳතා පැවැත්වීමට කටයුතු කළා. ඇමෙරිකාව, චීනය, රුසියාව, ඉන්දියාව, ජපානය, පාකිස්තානය ආදිය. අවුරුදු 50 ක දේශපාලන අත්දැකීම් තිබුණු පළියට, ජනාධිපතිවරයකු ලෙස රට පාලනය කිරීම පහසු කටයුත්තක් නොවේ. කළ දේවල් සම්බන්ධයෙන් මා සතුටුයි. මා සියල්ල කළේ යහපත් චේතනාවෙන්. පසු තැවෙන්නේ, මට කරන්න බැරි වුණු දේවල් සම්බන්ධයෙන්. කිසිම රාජ්‍ය නායකයකු ධුරයෙන් සමුගනිද්දී ඔහුට පැවරුණු සියලු රාජකාරි සම්පූර්ණ කරලා නැහැ. අම්මා තාත්තා ජීවිතයෙන් සමු ගනිද්දී, දරුවෝ දුක්වෙනවා, ඔවුන්ට හරියට සලකා ගන්න බැරි වුණා කියලා. ඒ වගේම, සැබෑ දේශපාලන නායකයකු දේශපාලනයෙන් සමු ගනිද්දී, ඔහුටත් එවැනි හැඟීමක් දැනෙනවා. රට වෙනුවෙන් ඇති තරම් කරන්න බැරි වුණා කියලා.
මොකක් හෝ පසුතැවීමට කාරණාවක් තියෙනවාද?
නැහැ. මං කළ හැමදේම ගැන සතුටුයි. මම සියල්ල කළේ යහපත් චේතනාවෙන්. මගේ ජනපති ධුර කාලය ඓතිහාසිකයි. රජයේ ගිනි අවියකින් කිසිදු රට වැසියකුට වෙඩි කන්න වුණේ නැහැ. මගේ කාලයේ දිනපතා විරෝධතා වීදිවල පැවැත්වුණා ශිෂ්‍යයන්, සේවකයන්. මම පොලිසියටත් හමුදාවටත් අණ කළා ඔවුන්ට වෙඩි නොතබන්න. නීති මගින් පසුව කටයුතු කරන්න උපදෙස් දුන්නා. විරෝධතා මට විශාල මානසික පීඩනයක් ගෙනාවා. නායකයකු හැටියට ඒක මාගේ ලොකු ජයග්‍රණයක්. මගේ ධුර කාලයේ මහා පරිමාණයේ ව්‍යාපෘති ආරම්භ කළා. මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනක් ආරම්භ කළා. පරිසර වැඩසටහනක් ආරම්භ කළා, වසරකට අලුතින් වකුගඩු රෝගීන් 5,000 ක් හමුවෙනවා. එම වකුගඩු රෝගීන් වෙනුවෙන් ආරම්භ කළ එක් වැඩසටහන් තමයි දේශීය ආහාර නිෂ්පාදනය. මේ දේවල් සම්බන්ධයෙන් සතුටුයි.
සකස් කළේ - ලුසිත ජයමාන්න