හිටපු මුදල් ඇමැති මංගල සමරවීර
අපේකත්වයෙන් ඉල්ලා අස්වූ මංගල සමරවීර සමග සාකච්ඡාවක්
- සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායමේ නායක හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්වන බව ප්‍රකාශකර තිබේ. ඒ ඇයි? මේ ඒ ගැන ඒ මහතා විමසමින් කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය - ඔබ ඇයි එකපාරටම මැතිවරණ ක්‍රියාවලියෙන් ඉවත් වෙන්න තීරණය කළේ?
පිළිතුර - ඇත්ත වශයෙන්ම එක පාරටම ගත්ත තීරණයක් නොවෙයි මේක. කොරෝනා වයිරසය නිසා ගෙදර හිටපු කාලය තුළ ඒ කාලයෙ රටේ දක්නට තිබුණ තත්ත්වය තුළත් ඉතා බැරෑරුම් ලෙස කල්පනා කරලා ගත්ත තීරණයක්.
ප්‍රශ්නය - නමුත් ඔබ මාතර දිස්ත්‍රික්කයෙ නායකයා හැටියට නාම යෝජනා බාරදුන්නා?
පිළිතුර - ඇත්ත වශයෙන්ම ඔව්. නාමයෝජනාත් බාරදුන්නා. ඒක ඇත්ත. ඒ ගැන කෙටියෙන් කිව්වොත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් එක්ක දේශපාලනය සම්බන්ධයෙන් විශාල කලකිරීමක් ඇතිවුණා. නමුත් ගෝඨාභය රාජපක්ෂ රජය ඉතාම කෙටි කාලයක් තුළ තමන්ගේ නොහැකියාව හා විනාශය කරා යන ගමන අපට පේන්න ගත්තා. ඒ වෙලාවේ මම හිතුවා මේක මේ වෙලාවේ දේශපාලනයෙන් ඉවත්වෙන්න හොඳ වෙලාවක් නොවෙයි කියලා. මම මාසයක් විතර විදේශගත වෙලා ඉඳලා ජනවාරියේ ලංකාවට ආවා. එහෙම ඇවිත් එක්සත් ජාතික පක්ෂයේ ඇතිවූ බෙදීම් වෙනුවෙන් පෙනීහිටින්න පටන්ගත්තා. මම මලික් සමරවික්‍රම, කබීර් හෂීම් වැනි කිහිප දෙනෙක්ම එක්සත් ජාතික පක්ෂයෙ විවිධ කණ්ඩායම් එකට තියාගන්න යම්කිසි සූත්‍රයක් යෝජනා කළේ.
ප්‍රශ්නය - ඔබ යෝජනා කරපු සූත්‍රය මොකද්ද?
පිළිතුර - ඒ සූත්‍රය තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂයෙ නායකයා හැටියට ඉන්දැද්දී සජිත් ප්‍රේමදාස මහත්තයාට අලුත් සන්ධානයක නායකත්වයක් දීලා. ඒ සන්ධානයෙ අගමැති අපේක්ෂකත්වය ලබාදිය යුතුයි කියන එක. ඒ යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළේත් මම. අනිත් අයත් ඒක ඒකමතිකව සම්මත කළා. ඒ අනුව තමයි සමගි ජන බලවේගය නිර්මාණය වුණේ. නමුත් මමවත් කවුරුවත් සමගි ජන බලවේගය වෙනම දේශපාලන පක්ෂයක් හැටියට නොවෙයි බිහිකරන්න හිතුවේ.
ප්‍රශ්නය - ඔබලා යෝජනා කළේ සන්ධානයක්. නමුත් සජිත් හැදුවේ පක්ෂයක්.
පිළිතුර - ඔබ හරි. එක්සත් ජාතික පක්ෂය මූලික කරගත් සන්ධානයක් තමයි අපි යෝජනා කළේ.
මව් පක්ෂය යටතේ තියෙන සන්ධානයක් තමයි අපි සැලසුම් කළේ. නමුත් අවාසනාවකට වගේ අවසාන මොහොතේදී ලාංඡනය පිළිබඳව ඇතිවුණ තත්ත්වයක් නිසා අපි හිතන්නේ නැති විදියටම පක්ෂ දෙකක් බවට පත්වෙලා. ඇත්ත වශයෙන්ම පක්ෂයෙ බහුතරයක් සමගි ජන බලවේගය සමග එකතුවෙන්න තීරණය කළ වේලාවේ මමත් ඒ සමගි ජන බල වේගයෙන්ම නාම යෝජනා බාරදුන්නා.
ප්‍රශ්නය - අයින් වෙන්න බලපාපු හේතුව මොකද්ද?
ඔබ තෝරාගත්ත නායකයා අප්සෙට් කියලා හිතුවද?
පිළිතුර - එහෙම නොවෙයි. රටේ ඇති වෙලා තිබෙන දේශපාලන තත්ත්වය තුළ සමගි ජන බලවේගයටත් විකල්ප මතයක් ඉදිරිපත් කිරීමට බැරිවීම මට විශාල ප්‍රශ්නයක්.
ප්‍රශ්නය -ඒක තේරෙන්නේ පස්සේද?
පිළිතුර - සිද්ධීන් සමගනේ අදහස් මතුවෙන්නේ. උදාහරණයක් විදියට 2000 දී කුඩාදරුවන් අමුඅමුවේ මැරුවැයි මහින්ද රාජපක්ෂ රජය කාලයේම උසාවියකින් මරණ දඬුවම් නියම කළ පුද්ගලයාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති සමාව දුන්නා. ඒ වෙලාවේ ඒ තුළින් සමස්ත හමුදාවටම විශාල කැළලක් ඇතිවුණා. නමුත් අපේ අයට ඒ සම්බන්ධයෙන් ස්ථාවරයක් ගැනීමට තරම් කොන්දක් නැතිවුණා. ඒ වගේම කොරෝනා ආසාදිත මුස්ලිම් කෙනෙක් මියගියා. භූමිදානය කරනවද ආදාහනය කරනවාද කියන එක සම්බන්ධයෙන් ස්ථාවරයක් ගන්න බැරිවුණා. ඇත්ත වශයෙන්ම මට පෙනීගියා කොයිතරම් දක්ෂයන් හිටියත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට මම පෞද්ගලිකව ආදරය කරනවා. එතුමා දක්ෂයෙක්. නමුත් සමගි ජනතා බලවේගයට විකල්පයක් ඇත්තෙත් නෑ. බොහෝ අයගේ අදහස් තිබුණේ පොහොට්ටුවේම අදහස්. පොහොට්ටුවේම ඩුප්ලිකේට් එකක් කරනවා මිසක් විකල්පයක් නොවෙයි. ඇත්ත වශයෙන්ම මේ රටේ විකල්ප ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් වෙන්න තරම් දැක්මක් සමගි ජන බලවේගයට නෑ. එහෙම උවමනාවක් තිබුණෙත් නෑ. ඒ නිසා මම ක්‍රමයෙන් කලකිරීමට පත්වුණා වගේම මගේ අදහස් ගැන යම් යම් අයට ප්‍රශ්න මතුවෙන්න පටන්ගත්තා.
- මගේ කතා නිසා සමහරු හිතුවා, අම්මෝ මංගලගේ කතා නිසා අපි පරාද වෙනවා කියලා
- රටේ ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය තුළ සමගි ජන බලවේගයටත් විකල්ප මතයක් ඉදිරිපත් කිරීමට බැරිවීම මට විශාල ප්‍රශ්නයක්
- මේ රටේ විකල්ප ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් වෙන්න තරම් දැක්මක් සමගි ජන බලවේගයට නෑ
- එජාපයේ හිටිය හොඳම පිරිසක් පයෙන් බැහැරවීමට හේතුව ඔය වජිර අබේවර්ධන වගේ අය
ප්‍රශ්නය -ඔබේ සංඝ කල්ලි වැනි ප්‍රකාශ නිසා ඡන්ද නැති වෙනවා කියලා චෝදනාවක් ආවා?
පිළිතුර - ඔව්, ඔය සංඝ කල්ලි ගැන කතා කළේ අහම්බෙන් නොවෙයි. කට කහනවටත් නොවෙයි. පරම්පරාගත බෞද්ධයෙක් විදියට මගේ හදවතේ කාලයක් තිස්සෙ කැකෑරෙන ප්‍රශ්නයක්. ඒ ගැන චන්ද්‍රිකා කාලෙත් මම කතාකරලා තියෙනවා. අද මේ සංඝ කල්ලි ගැන තියෙන මාතෘකාව සංඝ සාසනය තුළත් මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා. ඔබ කිව්වා වගේම මම මේවා ගැන කතාකරන කොට සමහරු කියන්න පටන් ගත්තා. ‘‘අම්මෝ මංගලගේ කතා නිසා අපි පරාද වෙනවා’’ කියලා. ඔය වගේ සිද්ධීන් එක්ක මම හිතුවා මම මෙතැනින් අයින් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් වෙනුවෙන් ඒ වෙනුවෙන් පෙනී සිටින ජනතාවක් සමග ඉදිරියට යන වැඩපිළිෙවලකට සම්බන්ධ වෙන එක හොඳයි කියලා.
ප්‍රශ්නය - වජිර අබේවර්ධන කියලා තිබුණ මංගලව කඩලා ගත්තේ රනිල් වික්‍රමසිංහගේ මෙහෙයුමකින් කියලා.
පිළිතුර - ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න දක්ෂතම පිරිස් පක්ෂයෙන් බැහැරවීමට ප්‍රධාන හේතුවක් ඔය වජිර අබේවර්ධන වගේ අය. මම ගත්ත තීරණය මම කා එක්කවත් කතා කරලා කාගෙවත් ප්ලෑන් එකකට ගත්ත එකක් නොවෙයි. දීර්ඝ වශයෙන් කල්පනා කරලයි මම මේ තීන්දුව ගත්තේ. ඒ තීරණය ගත්තට පස්සේ පළමුවෙන්ම හමුවුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව. එතුමා මා ගැන යම් විශ්වාසයක් ඇතිව කටයුතු කරපු නිසා මම සදාචාරාත්මක වගකීමක් තිබුණා එතුමට මගේ තීරණය දැනුම් දෙන්න. රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමත් එරාන් වික්‍රමරත්න මැතිතුමත් හමුවෙලා මගේ තීරණය දැනුම්දීලයි මම ආවේ.
ප්‍රශ්නය - කොහොම වුණත් ඔබ රනිල් වික්‍රමසිංහවත් හමු වුණා?
පිළිතුර - ඔව්, එක්සත් ජාතික පක්ෂයෙ නායකයා හැටියට මම එතුමත් හමුවෙලා මේ තීරණය දැනුම් දුන්නා. එච්චරයි. එහෙම නැතිව කා එක්කවත් කතා කරලා ප්ලෑන් කරපු එකක් නොවෙයි. ඔය වජිරලා වගේ අය පැත්තක ඉඳගෙන අනික් අයගේ තීරණවලටත් ලකුණ දාගන්න හදන කූඩැල්ලෝ ජාතියක් විතරයි කියලයි මම හිතන්නේ.
ප්‍රශ්නය - යූඑන්පීය දෙකඩවීමේ වගකීම බාරගත යුත්තේ ඔබට අනුව රනිල්ද, සජිත්ද?
පිළිතුර - කවුරුවත් යූඑන්පීය දෙකඩ වෙනවට කැමති නෑ. නමුත් යම් අන්තවාදී පිරිස් දෙපැත්තෙම හිටියනේ. පක්ෂය කැඩුණම කැඩුණු පැත්තේ හරි නායකයා වෙන්න ඕනෑ කියලා හිතන පිරිසක් ඉන්නවනේ. පොදුවේ ගත්තාම කාටවත් කැඩිලා යන්න වුවමනාවක් තිබුණේ නෑ. නමුත් අවසානයේ මම අර කිව්වා වගේ ලාංඡනය ප්‍රශ්නය නිසා වෙන්වීම සිදුවුණා. ඒකත් ඇත්ත වශයෙන්ම මට ලොකු ප්‍රශ්නයක්. මොකද මම අර මුලින් කිව්වා වගේම ජනාධිපතිවරණයෙන් පස්සේ මාසයක් විදේශගත වෙලා ඉඳලා ඇවිත් සියලු දෙනාම එකතුකරගෙන සමගිය සඳහා වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළා. එහෙම ගිහිල්ලා ලාංඡනය ප්‍රශ්නයක් කරගෙන දෙපැත්තෙම පිරිස් දැඩි ස්ථාවරයක ඉඳිමින් කටයුතු කළ නිසයි මේක කැඩුණේ. එහෙම කැඩුණත් මගේ සිත තුළ ලොකු බලාපොරොත්තුවක් තිබුණා කොරෝනා වසංගතයක් එක්ක ඡන්දෙ කල්යන වෙලාවේ අලුතෙන් නාමයෝජනා ගන්න කියලා අධිකරණය තීන්දුවක් දුන්නොත් මේ කණ්ඩායම් දෙක නැවත එකතුකරගන්න පුළුවන් වෙයි කියල.
ප්‍රශ්නය - ඒ අවසන් බලාපොරොත්තුවත් ගහලා ගියා.
පිළිතුර - ඔව්, ඒක වුණෙත් නෑ. මේ කණ්ඩායම් දෙක එකතු වෙනවට අකමැති පිරිසකුත් ඉන්නවා. මේ තත්ත්වය තුළ මම මේවායින් අයින්වුණාට අනික් පැත්තෙන් මම හිතනවා, මම ප්‍රාර්ථනා කරනවා ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් රටට අවශ්‍යයි. විශේෂයෙන්ම මේ යන විනාශකාරි ගමන නතර කරන්න ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. ඒ සඳහා ඡන්දෙන් පස්සෙ හරි මේ දෙගොල්ලෝ එකතු කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාසය මට තියෙනවා.
ප්‍රශ්නය - ඔබ මේ තීන්දුව ගන්න අධිකරණයෙ තීන්දුව එනකම් හිටියා?
පිළිතුර - ඔව්, එහෙම තමයි හිටියේ. මේ ලැබුණු තීන්දුව වෙනුවට අලුතෙන් නාමයෝජනා කැඳවන්න කියලා තීන්දුවක් ආවත් දෙපැත්තම ඉන්න දැඩි මතධාරීන්ගේ වැඩ නිසා එකතු කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ.
ප්‍රශ්නය - මහ මැතිවරණයේදී අන්න පරාජයක් ලබනවා. ඒ නිසා කල් ඇතුවම ඔබ ඉවත්වුණා කියලත් සමහරු කියනවා?
පිළිතුර - මම පරාජය ඉදිරියේ පසුබාපු මිනිහෙක් නොවෙයි. මගේ දේශපාලන ජීවිතයේත්, මගේ පෞද්ගලික ජිවිතයේත් පරාජයේ වේදනාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක් මම. ඒ හැම අවස්ථාවකදීම මම ඒ පරාජය ඊළඟ මගේ ජයග්‍රහණයෙ අත්තිවාරම කරගත්තා. නමුත් ඇත්ත වශයෙන්ම මම මේ වතාවෙනම් දිනනවද පරදිනවද කියලා හිතුවේ නැතිවුණාට මම හිතනවා මේ වතාවේ මම තරග කළානම් මටම 2004 දි තියපු මනාප වාර්තාව මට කඩන්න පුළුවන් වෙනවා. 2004 දි මම මාතර දිස්ත්‍රික්කයේ මනාප එක්ලක්ෂ දහඅටදාහකට වැඩියෙන් ගත්තා. ඒ වාර්තාව තවමත් මම කඩලත් නෑ. වෙන කවුරුවත් කඩලත් නෑ. නමුත් මම මේ වෙලාවේ හිටපු මුදල් ඇමැති විදියට පසුගිය අවුරුදු හතරහමාර තුළ මාතරට විශාල වැඩ කොටසක් කළා. මං හිතන්නේ රොනී ද මැල් මැතිතුමාගෙන් පස්සේ මාතරට ලැබුණ විශාලතම සංවර්ධන ක්‍රියාදාමය ලබාදීලා තියෙනවා. මම මේ කතා කරන්නේ ගම්පෙරළියෙන් හැම ආයතනයකටම ලබාදුන් රුපියල් කෝටි 30 ක මුදල ගැන නොවෙයි. තව තවත් විශාල ව්‍යාපෘති මම කළා.
උදාහරණයක් හැටියට මාතර දිස්ත්‍රික්කයටම මහින්ද රාජපක්ෂ ජනාධිපති වශයෙන් අවුරුදු 10 ක් ඉදලත් තමන්ගේ ගමට බෙලිඅත්තට වතුර දීලා තිබුණේ නෑ. ඒ ප්‍රදේශයටත් ජලය ලබාදෙන්න මහවැලි යෝජනා ක්‍රමයටත් වඩා වැඩි ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ කටයුතු එන අවුරුද්ද වෙනකොට අවසන් වීමට නියමිතයි. 2040 දක්වා මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට යළි වතාවක් වතුර නෑ කියලා කියන්න අවශ්‍ය නෑ. ඒ විදියේ විශාල සංවර්ධන ව්‍යපෘති මම කළා. නිල්වලා එළිය කියලා මාතර ටවුන් එකේම නිල්වලා ඉවුරේ ඒ වැඩ කටයුතු පටන්ගත්තා. 2017 අයවැයෙන්ම මම ඒකට මුදල් වෙන්කළා. එ්ක පුරාණයෙ ග්‍රීසියෙ තිබුණ සංකල්පයක් අනුව එකම ස්ථානයක තරුණ තරුණියන්ට ලස්සන උද්‍යානයක් සමග කායවර්ධන මධ්‍යස්ථානයක්, ලංකාවේ තියෙන අලංකාරම පුස්තකාලය, හොඳම ශ්‍රවණාගාරයක් සහිත එම ව්‍යාපෘතිය මම ආරම්භ කළා. දැනට බාගයක් වැඩ අවසන්. මම මුදල් ඇමැති හැටියට මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලනවා සල්ලි වෙන් කරලා ඒක අවසන් කරන්න. එතුමාගේ නම ගහ ගත්තත් කමක් නෑ. ඒ වැඩේ අවසන් කරන්න. ඒ නිසාම මම ලොකු විශ්වාසයක් තිබුණා, 2004 වාර්තාව අලුත් කරන්න මට පුළුවන් වෙයි කියල.
ප්‍රශ්නය - 2015 දී මහින්ද රාජපක්ෂ පරාජය කරලා සතියකින් ඔබ සමග සම්මුඛ සාකච්ඡාවක් කළ මොහොතෙදි ඔබ කිව්වේ ‘‘මීට පස්සේ මැදමුලනෙන් බල්ලෙක්වත් නැවත පාර්ලිමේන්තු යන්නේ නෑ’’ කියලා. නමුත් අද රාජපක්ෂ පොකුරක් රට පාලනය කරනවා. ඔබ දේශපාලනිකව පරාදයි. ඒ නිසා ඔබ ඉවත් වෙනවා.
පිළිතුර - ඇත්ත වශයෙන්ම එ්කත් එක හේතුවක්. ඒ අපේ වැඩපිළිවෙළ අසාර්ථක වුණා. මේ රටේ ජනතාව 2015 දි රාජපක්ෂ බල යාන්ත්‍රණය මැර බලය සියල්ල යොදවපු වෙලාවක මේ රටේ ජනතාව අප කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා මෛත්‍රීපාල සිරිසේන ගැන ලොකු විශ්වාසයක් තියලා, එක්සත් ජාතික පක්ෂය ගැන ලොකු විශ්වාසයක් තියලා අපට විශාල ජන වරමක් ලබාදුන්නා. ඒ විශ්වාසයට යටත්ව අපි සෑහෙන වැඩ කොටසක් කළත් අපි නොකරපු දේවල් නිසාම ඒ රැල්ල වෙන පැත්තකට ගියා. ඒක රාජපක්ෂලාගේ දක්ෂකමකට වඩා අපි විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මේකට වගකියන්න ඕන. අර තරම් විනාශයක් කරපු රාජපක්ෂලා යළි වතාවක් බලයට ගෙනාවේ මෛත්‍රීපාල සිරිසේන මිසක් වෙන කවුරුවත් නොවෙයි.
ප්‍රශ්නය -ඔබ මෙතැනින් කොතැනටද?
පිළිතුර - මගෙ ක්‍රියාකාරිත්වය වෙනදටත් වඩා ශක්තිමක් වෙනවා. මට මින් ඉදිරියට මගේ විශ්වාසය අනුව කටයුතු කරන ජනතාව සමග එකතුවෙලා අලුත් ගමනකට මුල පුරනවා. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වෙනුවෙන් පෙනී ඉන්න විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. මේ රටේ සාමාන්‍ය ජනතාව ගෝඨාභයට ඡන්ද දීලා වරදක් කරගත්තේ කියලා දිනෙන් දින පිළිගනිමින් ඉන්නවා. නිදහසෙන් පස්සේ තියෙන ලොකුම අර්බුදයට රට තල්ලු කරලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ තියෙන්නේ. ආර්ථිකය මුළුමනින්ම කඩාවැටිලා. මම හිතන්නේ විරැකියාව හා බඩගින්න තියන එක පාලනය කරගන්න බැරි තැනකට එනවා. ඒකට මුහුණ දෙන්න මිලිටරිකරණයට, මර්දනයට රජය තල්ලු වෙනවා. මෙන්න මේ වගේ වෙලාවක ශක්තිමත් විපක්ෂයක් නොසිටියත් ශක්තිමත් ජනතා බලයක් ඇතිවුණොත් ඒක රටේ ජයග්‍රහණයක්. ඒ වෙනුවෙන් මම කැපවෙනවා.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්