දැන් ඉතින් ඒවා මතක නෑ
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
කුමාර වෙල්ගම
2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුව මහින්ද සුළඟ සමඟ එක්වී යළිත් මහින්ද රැල්ලක් නිර්මාණය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ෙනාවැනී මැදිහත් විය. එහෙත් ඔහු දැන් කියන්නේ අමුතු කතාවකි. මේ සම්මුඛ සාකච්ඡාව ඊට දෙස් දෙයි.
ප්‍රශ්නය- රටේ අලුත් දේශපාලන තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
පිළිතුර- අලුත් කියලා දෙයක් නැහැ. තවම තියෙන්නේ පරණ දේශපාලන පෙළගැසීම්. අලුත් කියනවා නම් අලුත් කණ්ඩායමක් ඉන්න එපැයි. තවම පරණ මුහුණු තියෙන්නේ.
ප්‍රශ්නය- නමුත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ අලුත් දේශපාලන තත්ත්වයක් ඇතිවෙනවා.
පිළිතුර- පාස්කු ප්‍රහාරය අපි ඔක්කොම හෙළා දකිනවා. අපි ත්‍රස්තවාදයට විරුද්ධයි. නමුත් මිනිස්සු හොඳටම භය වුණා. අවුරුදු දහයකට පස්සේ යළිත් බෝම්බ පිපිරෙන්න පටන් ගත්තා. ඒක ඉතාම කණගාටුදායක සිද්ධියක්. මේකට ආරක්ෂක ඇමැතිතුමා, අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම වග කියන්න ඕනෑ. ඒ නිසා තමයි මම කියන්නේ අලුත් මුහුණු නෑ. තවම තියෙන්නේ පරණ මුහුණු කියලා.
ප්‍රශ්නය- ජනාධිපතිවරණයට මාස කිහිපයයි තියෙන්නේ. මොකක් වෙයිද?
පිළිතුර- මට එහෙම විශේෂ දෙයක් කියන්න බෑ.
ප්‍රශ්නය- ජනාධිපති මෛත්‍රී යළිත් ඉල්ලයිද?
පිළිතුර- ඒකත් මම දන්නේ නැහැ. ඒක බලාගන්න පුළුවන් කාලයට ඉස්සර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළොත්. එහෙම වුණොත් එතුමා අනිවාර්යයෙන්ම එනවා. එහෙම නැත්නම් එතුමා එන එක සැක සහිතයි. මොකද එතුමා කිව්වනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෞරවණීය තත්ත්වයක් හදනවා කියලා.
ප්‍රශ්නය- ඔබේ ගණන් බැලීමට අනුව එක්සත් ජාතික පක්ෂයෙ අපේක්ෂකයා කවුරු විය හැකිද?
පිළිතුර- යූඑන්පී පෙරමුණම එකතුවෙලා හොඳ අපේක්ෂකයෙක් දායි කියලා මම හිතනවා. පරණ මුහුණක් නැතිව හොඳ මුහුණක් දායි. අලුත් මුහුණු එන්න ඕනෑ. එහෙම අලුත් මුහුණක් දායි කියලා මම හිතනවා.
ප්‍රශ්නය- එතකොට පොහොට්ටුව?
පිළිතුර- පොහොට්ටුවත් දැන් ප්‍රධාන පක්ෂයක්. එතැනදි විවිධ මත තියෙනවා. නමුත් කවුරුවත් හරියට කියන්නේ නෑ පොහොට්ටුවේ නායකයාගෙන් ඇහුවම කියන්නේ අගෝස්තු 11වැනිදට කියනවා කියලයි. ඒක තමයි දැනට තියෙන්නේ.
ප්‍රශ්නය- ඔබ කිව්වා එක්සත් ජාතික පෙරමුණෙන් අලුත් මුහුණක් දායි කියලා. එහෙම නම් පොහොට්ටුවෙනුත් අලුත් මුහුණක් අවශ්‍යයි කියලා ඔබ හිතන්නේ නැද්ද?
පිළිතුර- ඔව්. ඇත්තටම ඔව්. දේශපාලනය කරපු, ටිකක් හොඳ අවබෝධයක් තියෙන ගැලපෙන පුද්ගලයෙක් එන්න ඕනැ අපේ පොහොට්ටුවෙනුත්.
ප්‍රශ්නය- පොහොට්ටුවෙන් එන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලා තිමයි කියන්නේ?
පිළිතුර- මමත් ඒක මාධ්‍යයෙන් දැක්කා. විවිධ අය විවිධ මත ඉදිරිපත් කරනවා.
ප්‍රශ්නය- ගෝඨාභයගේ නම ඉදිරිපත්වීම ගැන?
පිළිතුර- ඒක ගැන මට කියන්න තියෙන්නේ එයාට දේශපාලන අත්දැකීම් අඩුයි. ඒ වගේම හොඳ පිරිසුදු පසුබිමක් තිබිය යුතුයි කෙනෙකුට ජනාධිපතිවරණයට එන්න. ඒ කියන්නේ අත් දෙක පිරිසුදු වෙන්න ඕනෑ. '
ප්‍රශ්නය- ඔබ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලද?
පිළිතුර- මම එහෙම කියන්නේ නැහැ. නමුත් පහුගිය කාලයේදි සෑම ආණ්ඩුවක්ම අපේ ආණ්ඩුව විතරක් නොවෙයි සෑම ආණ්ඩුවක්ම බලය රැක ගන්න මිනිසුන්ව ඝාතනය කළානේ. ඒක පිළිගන්න ඕනැනේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකාලෙත් කළා. ඒ කාලයේ ත්‍රීමා විතාන මැරුවා. බටලන්දේ වධාකාගාරයක් ගැන කිව්වා. විවිධ අය ඒ කාලයෙ මැරුණා. ඒ වගේම අපේ කාලයෙදිත් ලසන්ත වික්‍රමතුංග මහත්තය ඝාතනය වුණා. එක්නැලිගොඩ මහත්තයා අතුරුදන් වුණා. ඒ විදියේ නම් ගොඩාක් තියෙනවා. ඒ ඝාතන ලැයිස්තුවෙත් ඒ ගැනත් දැන් පරීක්ෂණත් කරගෙන යනවා. මේ රට තුළ මිනිසුන්ට ජීවත්වීමේ අයිතිය තිබිය යුතුයි. ඒ නිසා හොඳ පිරිසුදු පාලකයෙක් අවශ්‍යයි. පිරිසුදු කියන්නේ හැම එක්කෙනාගෙම වැරැදි තියෙනවා. වැරැදි නැති එක්කෙනෙක් නැහැ. නමුත් මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ට හිරිහැර නොකරන කෙනෙක් ගේන්න තමයි මම සටන් කරන්නේ.
ප්‍රශ්නය- ඔබට ගෝඨාභයත් එක්ක තියෙන්නේ ක්‍රියාමාර්ග ගැන හෝ ප්‍රතිපත්ති ගැන හෝ ප්‍රශ්නයක් නොවෙයි. පෞද්ගලික ප්‍රශ්නයක්?
පිළිතුර- එහෙම පෞද්ගලික ප්‍රශ්න නැහැ. ඉඩකඩම් බෙදා ගැනීමේ ප්‍රශ්නයක් මට නැහැ. එහෙම කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් මට එයත් එක්ක අැත්තෙම නෑ. මට තියෙන එකම දේ අපේ ආණ්ඩුව කාලයෙදි වෙච්ච සිද්ධිවලට මම බයයි. නැවතත් ඒවගේ දේවල් සිද්ධවෙයි කියල මම බයයි.
ප්‍රශ්නය- පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සෙ එක පැත්තකින් කියැවුණා ‘ගෝඨාභය හිටියානම් මෙහෙම වෙන්නේ නෑ’ කියලා.
පිළිතුර- මම ඒකට කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. මොකද ආරක්ෂාව සම්බන්ධයෙන් ඊට වඩා හොඳ දක්ෂ පුද්ගලයෙක් තමයි සරත් පොන්සේකා මහත්තයා. එතුමා තමයි යුද්ධ හමුදාව සම්පූර්ණයෙන්ම මෙහෙයැව්වේ. අනික් එක තමයි එතුමා හමුදාවට බැඳිච්ච දවසේ ඉඳන් විශ්‍රාම යන තෙක්ම හමුදාවේ හිටියා. සටන් බිමේ හිටියේ. ඒ නිසා එතුමාට ආරක්ෂාව පිළිබඳ මනා අවබෝධයක් තියෙනවා. ඔබ ඔය කියන පුද්ගලයා වෙනත් රටක ගිහින් පදිංචි වුණා. ඒ රටේ පුරවැසිභාවය පවා ගත්තා. නැවතත් ආවේ 2005දී. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණාට පස්සේ තමයි එයා ආවෙ. අපි තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් සම්පූර්ණයෙන්ම දරදිය ඇද්දේ. ඉතින් ඒ වගේ කෙනෙකුටද හොඳ දැනුමක් තියෙන්නේ? අර ෆොන්සේකා මහත්තයා වගේ යුද බිමේ පටන් ගත්තු දවසේ ඉඳලා අවසන් වෙනතුරු හිටපු හමුදා නිලධාරියකුටද?
ප්‍රශ්නය- ඔය ඔබ උත්කර්ෂයට නංවන සරත් ෆොන්සේකා කුදලාගෙන ගිහින් හිරකරනකොට ඔබත් ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක්.
පිළිතුර- ඔව්! ඒ වෙලාවේ මම හරියටම දුක්වුණා. නමුත් අපට ඒ වෙලාවේ කරන්න දෙයක් තිබුණේ නෑ. අපට හයියක් තිබුණෙ නෑ. අපට කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ. අපි කතා කළා නම් අපිටත් ඒ දේ සිද්ධ වෙන්න ඉඩ තිබුණ. ඉතින් ඒ නිසා එදා වැරැදි වැඩක් කළේ. එතුමව කුදලාගෙන ගියේ එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච නිසයි. වෙන වෙන හේතු දක්වලා හමුදා අධිකරණයෙන් තමයි ජම්පර් ඇන්දෙව්වේ. එතුමා බය නැතිව ජම්පරේ ඇඳලා ගියා ඇතුළට. හැබැයි අනික් අය ජම්පරේ අඳින්න බයයි. නමුත් එතුමා බය වුණේ නෑ. මම මේ එතුමව වර්ණනා කරනවා නොවෙයි. එතුමා ආරක්ෂාව පිළිබඳ හොඳ දැනුමක් තියෙන ලංකාවේ ඉන්න පළමුවැනියා කිව්වොත් නිවැරැදියි.
ප්‍රශ්නය- සරත් ෙෆාන්සේකා ජනාධිපතිවරණයට ඉල්ලූ 2010 දී ඔබ හිටියේ ඔහුට එරෙහිව?
පිළිතුර- ඔව්! මගේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා. මම මහින්ද රාජපක්ෂ මහත්තයාට බොහොම ගරුකරන කෙනෙක්. එතුමා නිසා මට සරත් ෆොන්සේකා මහත්තයාට පක්ෂව ඡන්දය දෙන්න බැරිවුණා.
ප්‍රශ්නය- ඔබ කියලා තිබුණා ඔබේ ජ්‍යෙෂ්ඨත්වය නොසළකා ගෝඨාභයට අපේක්ෂකත්වය දුන්නොත් ඔබ තීන්දුවක් ගන්නවා කියලා.
පිළිතුර- මට ජ්‍යෙෂ්ඨත්වය තියෙනවා. මම අවුරුදු 37ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක්. මැතිනියට පින් සිද්ධ වෙන්න මම එතැනට ඇවිල්ලා ක්‍රම ක්‍රමයෙන් මම ඉදිරියට ආපු මිනිහෙක්. ඒ ජ්‍යෙෂ්ඨත්වයේ මම අදත් ඉන්නවා. අනිත් එක මම අවුරුදු විසිපහක් පාර්ලිමේන්තුවේ. මට හොඳ සුදුසුකම් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ සුදුසුකම්වලට සළකන්න ඕනැ කියලයි. 1951 දී ඩී.එස්. සේනානායක මහත්තයා මැරුණම ඊළඟට ජ්‍යෙෂ්ඨත්වයෙන් හිටියේ බණ්ඩාරනායක මැතිතුමා. නමුත් එතුමට ඒක නොලැබුණ නිසා තමයි එතුමා ගිහින් විපක්ෂයෙ වාඩිවුණේ. ඒ නිසා ජ්‍යෙෂ්ඨත්වයට සලකන්න නායකයෝ දැනගන්න ඕනෑ.
ප්‍රශ්නය- එහෙම නොසැළකුවොත් බණ්ඩාරනායක මහත්තයා වගේ ඔබත් තීරණයක් ගන්නවා?
පිළිතුර- එහෙම කියන්නෙ නෑ. නමුත් නායකයෝ දැනගන්න ඕනැ ජ්‍යෙෂ්ඨයන්ට සළකන්න.
ප්‍රශ්නය- ඔය ඔබ කියන ජ්‍යෙෂ්ඨත්වය මන්ත්‍රී එස්.බී. අභියෝගයට ලක් කළා. ඔහු කිව්වා ඔබ ජ්‍යෙෂ්ඨයෙක් වුණේ ඔහු ඇමැතිකම් දරමින් ආණ්ඩුවේ හිටපු නිසා කියලා!
පිළිතුර- එස්.බී. මන්ත්‍රීතුමාට මම මතක් කරලා දෙන්න ඕනෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ආසන සංවිධායකවරයෙක් හැටියට ලෝකයේ ප්‍රථම අගමැතිනි සිරිමාවෝ මැතිනියි මාව පත් කළේ 1982 දී. කොබ්බෑකඩුව මහත්තයාගේ ඡන්දයට ඉස්සෙල්ලා. ඒ කාලයේ එස්.බී. දිසානායක මහත්තයා අපිත් එක්ක හිටියෙ නෑ. මම දන්නෙවත් නෑ එහෙම කෙනෙක් ගැන. එතුමාගේ මූලාරම්භය කොමියුනිස්ට් පක්ෂය. ඉතින් එතුමා කොහොමද ජ්‍යෙෂ්ඨත්වය ගැන කතා කරන්නේ? මං වගේ ජ්‍යෙෂ්ඨයෙක්ව පල්ලෙහාට දාලා එතුමා උඩට යන්නේ කොහොමද?
ප්‍රශ්නය- ඔබ කෙළින්ම කියනවද පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඔබට ඕනෑ කියලා.
පිළිතුර- නෑ. මම එහෙම කියන්නේ නෑ.
ප්‍රශ්නය- එහෙමනම් මොකද්ද මේ ඔබ කියන්නේ?
පිළිතුර- මම කියන්නේ ඒකාබද්ධ විපක්ෂයෙ අපේ ජ්‍යෙෂ්ඨයො ඉන්නවනේ. වාසුදේව නානායක්කාර මහත්තයා ඉන්නවා. දිනේෂ් ගුණවර්ධන මහත්තයා ඉන්නවා. ඊළඟට තමයි මම ඉන්නේ. එතකොට ජ්‍යෙෂ්ඨත්වයට දෙන්න ඕනෑ. මොකද ඒක යුතුකමක්. ඒක නායකයන්ගේ යුතුකම. එහෙම නැතිව තමන්ගේ සහෝදරයෙක් වෙච්ච පලියට පවුලටම දෙනවා නම් එහෙමනම් මේ පක්ෂය පවුල්වාදී පක්ෂයක්නේ.
ප්‍රශ්නය- පොහොට්ටුවේ නායකයෝ නම් කියන්නේ ‘රටම ඉල්ලන්නේ ගෝඨාභය’ කියලයි?
පිළිතුර- මම නම් දන්නෑ රටම ඉල්ලන්නේ ගෝඨාභය කියලා! එහෙමනම් එක්සත් ජාතික පක්ෂයට පාක්ෂිකයන් නැතිව ඇති! ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ඉන්න ටික දෙනෙක් හරි සාමාජිකයෝ, දෙමළ සන්ධානය, මුස්ලිම් සන්ධානය මේ ඔක්කොම ඉල්ලන්නෙත් ගෝඨාභයවද?
ප්‍රශ්නය- අපි කිව්වොත් රටේ බහුතරය කියලා?
පිළිතුර- බහුතර බෞද්ධ ජනතාව වෙන්න පුළුවන්. එහෙම අහන්න. රටේ බහුතර බෞද්ධ ජනතාව වෙන්න පුළුවන්. ඒක මම පිළිගන්නවා. එහෙම නැතිව රටේම ජනතාව ගෝඨාභයව ඉල්ලන්නේ නැහැ. ඒ ඒ පක්ෂවල නායකයන්ටත් ජනතාව කැමැතියි.
ප්‍රශ්නය- ඔය ඔබේ මතය පොහොට්ටුව ඇතුළේ ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙයිද බැරිවෙයිද?
පිළිතුර- බොහෝ දුරට මට පොහොට්ටුව ඇතුළේ නම් ජයග්‍රහණය කරගන්න නම් හම්බ වෙන්නේ නෑ. මොකද නායකයා ගන්න තීරණයට නේ යන්නේ. මේකෙන් පස්සේ එනවනේ මහ මැතිවරණය. ඒ මහ මැතිවරණයෙදි පාර්ලිමේන්තුවට යන්න ඕනැ නම් නායකයත් එක්ක ඉන්න ඕනැ. ඒ නිසා හුඟාක් දෙනෙක් එළියට එන්නේ නැහැ. නමුත් මගේ අදහස පිළිගන්න අය තව ඕනෑ තරම් ඉන්නවා. මම ගත්තොත්, මම තවම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. එතකොට මේ මගේ මතය පවුල්වාදයට විරුද්ධව කතා කරන මතය තියෙන අය තවත් විශාල පිරිසක් ඉන්නවා.
ප්‍රශ්නය- මන්ත්‍රී දයාසිරි ජයසේකර වගේ අය?
පිළිතුර- ඔව් ඔව්! ගොඩක් ඉන්නවා! එක්කෙනෙක් දෙන්නෙක් නොවෙයි. ඉතින් ඒ නිසා ඒ වගේ පෙළගැසීමකුත් සිද්ධවෙන්න පුළුවන්. ඒ අය ඇවිල්ලා සාකච්ඡා කරලා තීරණයකට එන්න බැරිකමකුත් නෑ.
ප්‍රශ්නය- ඔබ එහෙම සාකච්ඡාවක් කළාද?
පිළිතුර- නෑ. නෑ තවම නෑ.
ප්‍රශ්නය- ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ පොදු සම්මුතියකින් නොවෙයිද?
පිළිතුර- මෙහෙමයි. මම ඉන්නවා අපේ පක්ෂයෙ පක්ෂ නායකයන්ගේ රැස්වීමේ. ඒක මධ්‍යම කාරක සභාව කියලා කිව්වොත් වැරැදි නෑ. ඒකේ මමත් ඉන්නවා. හැබැයි තාම කිසිම නමක් මට නම් ඉදිරිපත් කරලා නෑ. මම දැක්කා දේශපාලන සංවාදවලදී අපේ පොහොට්ටුවේ අය කියනවා ගෝඨාභය තමයි අපේක්ෂකයා කියලා. නමුත් එහෙම කිව්වට තවම නිල වශයෙන් කාටවත් දැනුම් දීලා නෑ. ඒ ගැන අපේ අදහස්වත් විමසලා නෑ.
ප්‍රශ්නය- අගෝස්තු 11වැනිදාට අපේක්ෂකයා කවුද කියලා රටට කියනවා කියලා පොහොට්ටුව කියනවා?
පිළිතුර- ඔව් එහෙම කිව්වා. මහින්ද රාජපක්ෂ මහත්තයත් කිව්වා.
ප්‍රශ්නය- ඔය තීන්දු තීරණ ගන්න සාකච්ඡාවලට ඔබව ගන්නේ නැද්ද?
පිළිතුර- නෑ නෑ ඉතින් අපේ රැස්වීම් කියලා කියන්නේ පක්ෂනායක රැස්වීම. එහෙම නැත්නම් මධ්‍යම කාරක සභාව. එහෙම තැන්වල කතා කරන්නේ නැත්නම් ඊට ඉහළින් තැනක් නැහැනේ කතා කරන්න. ඒ නිසා එතැන කතා වුණේ නෑ.
ප්‍රශ්නය- තීන්දු ගන්නේ කුස්සි කැබිනෙට්ටුවේ!
පිළිතුර- ඔව්! හුඟාක් නායකයෝ අපි දැකලා තියෙනවා. අපි තරුණ කාලයෙ ඉඳලම දේශපාලනය කරනවා. හුඟාක් දෙනෙක් තීරණ ගන්නේ ගෙදර තියෙන කුස්සි කැබිනට් එකේදි තමයි. කිචන් කැබිනට් එකෙන් තීන්දු අරගෙන තමයි පවුලේ උදවියගෙන් තීන්දු අරගෙන තමයි ඉදිරියට දාන්නේ. ඒ වගේ දෙයක් තමයි මෙතැන වෙලා තියෙන්නේ කියලා මට පේනවා.
ප්‍රශ්නය- ඔබ කියලා තිබුණ මහින්ද මහත්තයා දකුණු පැත්තෙන් ඉන්නේ නිමල් සිරිපාල ඉස්සරහින් ඉන්නේ ඩිලාන් පෙරේරා. ඔබ පිටිප්සසේ ඉන්නේ කියලා. ඔබව පිටිපස්සට තල්ලු කළාද? ඔබම පිටිපස්සට ගියාද?
පිළිතුර- නෑ. ඉතින් අපිව පස්සට තල්ලුවෙනවා. තමන්ට උදව් කරපු නැති අයනේ ඒ. මම මහින්ද රාජපක්ෂ මහත්තයාට මුල ඉඳලම උදව් කරපු මිනිහනේ. 2015 ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති ධුරයට පත්වෙනකොට එතුමා අපට කතා කරලා කිව්වා ඇමැතිකම් ගන්න කැමැත්ත දෙන්න කියලා. ඒ වෙලාවේ ඒකට විරුද්ධව කතා කළේ මම විතරනේ. මට කැබිනට් ඇමැතිකම් එපා. මම ඔබතුමත් එක්ක එන්නෙත් නෑ. එළියට බහිනවා. ඒක ලියාගන්න කියලා එළියට බැහැපු මිනිහනේ මම. එතකොට ඔය ඔක්කොම එවුන් බිම බලාගෙන හිටියේ. දින 100 ආණ්ඩුවේ ඇමැතිකම් ගත්තු ඒ අය තමයි ඔය ඉන්නේ. ඇයි දින 100න් පස්සේ ගියානේ යූඑන්පියත් එක්ක එකතු වෙන්න. ඒ කැබිනට් එකෙත් හිටියනේ ඔය කට්ටිය. සමහර අය කැබිනට් එකේ ඉඳලා දාලා ආවා. තමන්ට නිසි තනතුරු නොලැබුණ නිසා කැබිනට් ඇමැතිවරුන්ට රාජ්‍ය ඇමැතිකම් ලැබුණ නිසා සමහරු දාලා ආවා. ඒ ගොල්ලෝ කැබිනට් එකෙත් හිටියා. ආණ්ඩුවෙත් හිටියා. එතකොට අපි කිහිප දෙනෙක් පමණයි ඔය මහින්ද මහත්තයාට හිටියෙ. නුගේගොඩ රැස්වීමට නගින්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මන්ත්‍රී කෙනෙක් හිටියෙ නෑ. නැග්ගෙ මමයි ටී. බී. ඒකනායක මහත්තයයි විතරයි. පල්ලෙහා හිටියා ප්‍රසන්න රණතුංග මහත්තයා. අනික් ඔක්කොම හිටියෙ අහුමුළුවල. සමහරු පැත්ත පළාතෙකවත් ආවේ නෑ. අපි තමයි මහින්ද මහත්තය වෙනුවෙන් ඉදිරියට ඇවිත් කෑගහලා පෙරමුණ ගත්තේ. දැන් ඒවා ඉතින් මතක නෑ.
ප්‍රශ්නය- ඇයි මහින්ද රාජපක්ෂ ඔබට ඔය ඔබ කියන විදියට සළකන්නේ?
පිළිතුර- මට විතරක් නෙවෙයි. හැම නායකයෙක්ම එහෙම තමයි. ගිය අය ආපහු එනකොට ඒ අයට මුල්තැන දෙනවා. පාර්ලිමේන්තුවේදී ඡන්දය ඒ අයට අවශ්‍යයිනේ. අපේ ඡන්දය හැමදාම තියෙන බව දන්නවනේ? ඒ නිසා අර ගොල්ලන්ව ඉස්සරහින් තියා ගන්නවා. එතකොට අපි නිකම්ම පිටිපස්සට යනවා. අපෙන් අදහස් විමසන්නෙත් නෑ. මගෙන් ඇහුවම මම ඇත්ත කතා කරනවා. දින 52 ආණ්ඩුවෙ අගමැතිකම බාරගන්න එපා කියලා මම කිව්වනේ. මම කොච්චර කෑගැහුවද? ‘අපට පාර්ලිමේන්තුවේ බහුතර බලය නෑ. අපි නම්බු පිටින් ගෙදර යමු’ කියලා මම කිව්වා. නමුත් ඉතින් ඒක ඇහුවේ නැහැ. අහන්නේ නැතිව ගිහින් අන්තිමට අමාරුවේ වැටුණා.
ප්‍රශ්නය- ඉරිදා ලංකාදීපයත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ කිව්වේ ‘ඔබ මේ ඉෂ්ඨ කරන්නේ අගමැති රනිල්ගේ කොන්ත්‍රාත්තුවක්’ කියලයි.
පිළිතුර- මම රනිල් ගාවට කවදාවත් ගිහිල්ලත් නෑ. යන්නෙත් නෑ. මම එක්සත් ජාතික පක්ෂයට යන්නෙත් නෑ. දණ ගහගෙන ඇමැතිකම් ගන්න ගිය අය තමයි ඔහොම කියන්නේ. ඒ ගැන අපට කියන්න පුළුවන්. නමුත් මුළු ලංකාවම දන්නවා කුමාර වෙල්ගම ගියෙ නෑ කියලා. මේ වෙල්ගම තමයි මේ ආණ්ඩුවට විරුද්ධව මුලින්ම එළියට බැස්සේ. එතකොට මහින්දානන්දලා කොහේද හිටියෙ? මහින්දානන්ද අඩු ගානේ මහනුවර රැස්වීමට නැග්ගද? දිළුම් අමුණුගම මහත්තයා විතරයි නැග්ගේ. ඉතින් ඒ වගේ මිනිස්සු තමයි මේ ලොක්කෝ වගේ කෑගහන්නේ.
ප්‍රශ්නය- ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභයට දෙන්න එපානම් ඔබත් කෙළින්ම ඔබේ නම කියන්නෙත් නැත්නම් ඔබ ඉදිරිපත් කරන වෙනත් අපේක්ෂකයා කවුද?
පිළිතුර- මම එහෙම යෝජනා කරන්නේ නෑ. එහෙමනම් අපෙන් අදහස් විමසන්න එපැයි. අපෙන් අදහස් විමසන්නේ නැතිව තීන්දු ගන්න එක හොඳ නෑ කියන එකයි මගේ මතය. මුල අමතක කරලා වෙන අයගේ අදහස් විමසනවා නම් ඒක මම අනුමත කරන්නේ නැහැ. මට එහෙම බලහත්කාරයෙන් යන්න ඕනැත් නෑ. මම ඇවිල්ලා ඇමැතිකම්වලට පයින් ගහපු මිනිහෙක්. සිරිසේන මහත්තයා ඇමැතිකම් දෙන්න හදනකොට එපා කිව්වා. දින 52 ආණ්ඩුවේදි මහින්ද මහත්තයා ඇමැතිකම් දෙන්න හදනකොට එපා කියලා මම එළියට බැස්සා. අපට ඇමැතිකම් ලොකු නෑ. අපට මන්ත්‍රීකම් ලොකු නෑ. අපට අංක එක රට පමණයි. මේ රට ගැන කතා කරනකොට මම මගේ පුතා ගැනවත් කතා කරන්නේ නෑ. එයාගේ ජීවිතය එයා බලාගනීවි. මුළු රටේම ඉන්න දරුවෝ වෙනුවෙන් මම මේ කතා කරන්නේ. මට බලයට කෑදරකමක් නෑ.
ප්‍රශ්නය- ඔබගේ වෙනස්වීමත් එක්ක මහින්දානන්දගේ චෝදනාව ගැලපෙනවා.
පිළිතුර- රනිල්ගේ කොන්ත්‍රාත් කළේ කවුද කියලා අපි දන්නවා. එතකොට ඒ කාලේ මහින්ද මහත්තයාට විරුද්ධව කොන්ත්‍රාත් කළේ කවුද කියලා අපි දන්නවා. නමුත් දැන්ම ඒවා එළියට දාන්නේ නෑ. වෙලාවක් ආවොත් නොකියා ඉන්නෙත් නෑ. එදා කිසිම වේදිකාවකට නැග්ගෙ නැති මිනිහෙක් තමයි අද මේ වීරයා වගේ කෑ ගහන්නේ.
ප්‍රශ්නය- ඔබ ඔහොම කතා කරලා ඊළඟ පාර පොහොට්ටුවේ ඡන්ද දායකයාගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙයි කියලා හිතනවද?
පිළිතුර- මහත්තයෝ මේ මට මන්ත්‍රීකම ලොකු නෑ. ගාමිණී ජයසූරිය මහත්තයත් ගෙදර ගියා හරි දේ කරලා. හිත සතුටෙන් මැරුණා. ඒකයි මම කිව්වේ මම තනතුරු බලන්නේ නැහැ. මන්ත්‍රීකම් ඇමැතිකම් මට වැඩක් නෑ. අපි තව අවුරුදු කිහිපයකින් මැරිලා යයි. එතකොට මේ ඇමැතිකම් මන්ත්‍රීකම් අරගෙන යනවද? හිස් පෙට්ටියේ යන්නේ. ඒ නිසා අපට ඒවා ලොකු නෑ. ඒවා ලොකුයි මොකුත් නැති එකෙකුට. මුකුත් නැතිව දේශපාලනයට ආපු එවුන්ට ඒවා ලොකුයි. අපේ දෙමාපියන්ට පින්සිද්ධ වෙන්න අපට උත්පත්තියෙන්ම යමක් කමක් තියෙන අය. හොඳ පවුල්වල අය අපි. ඒ නිසා හිතන්න එපා මම ඡන්දවලට බයේ මම බොරු කියයි කියල. මම කවදාවත් ඡන්දවලට බයේ බොරු කියන්නේ නෑ. මට ඡන්දය දුන්නත් එකයි. නැතත් එකයි. මට ඒක ප්‍රශ්නයක් නෑ. මම හරි දේ කියනවා රට වෙනුවෙන්. මම හරි දේ වෙනුවෙන් පෙනී හිටිනවා. මම හොඳ සිහි බුද්ධියෙන් හොඳ මානසිකත්වයෙන් මම මැරෙනවා.
ප්‍රශ්නය- මේ ප්‍රශ්න ගැන මහින්ද රාජපක්ෂ එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබුණෙම නැද්ද?
පිළිතුර- කතා කරන්න හොඳම තැනනේ පක්ෂ නායක රැස්වීම. ඉතින් එතැන කතා කරන්නේ නැත්නම් මම මොකටද ගිහින් කතා කරන්නේ? මම තැන් කිහිපයකට කතා කරලා තියෙනවා. නමුත් ඒවා අහන්නේ නැහැ. මම එහෙම බලහත්කාරයෙන් යන්නේ මොකටද? මටත් ආත්ම ගරුත්වයක් තියෙනවා. මම දණින් වැටෙන්නේ නැහැ.මාව හිරේ දැම්මත් කමක් නෑ. ඒකටත් මම ලෑස්තියි.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්